Categories
විචිත්‍ර සිනමාව හින්දි චිත්‍රපටි

3 IDIOTS | DON’T BE STUPID! BE AN IDIOT!

මේක සෑහෙන්න කලින් ලියන්න හිටපු ලිපියක්. ඒ වුනාට දැන් වුනත් ඒ ලියමනට ප්‍රමාද නැහැ කියලයි හිතුනෙ. මතකයට නැගෙන විශේෂ දවසක් වුන ඒ දවසෙ වි‍ශේෂ සිද්ධියකින් පස්සෙ මමත්, තවත් අපේ ගැන්සියේ කිහිපදෙනෙක් එකට ‍එකතු වුනේ චිත්‍රපටියක් බලන්න යන්න. සාමාන්‍යපෙළ විභාගය ලියපු අන්තිම දවසෙ රබ් නේ බනා ඩි ජෝඩී චිත්‍රපටිය බලන්න එකතුවුන අපේ නේවාසිකාගාරයේ ගැන්සිය තවමත් තැන තැන චිත්‍රපටි බලන්න තැන තැන එකතුවෙනව. මේකත් ඒ ‍වගේ අවස්ථාවක්.

චිත්‍රපටිය බලන්න යනකොට මැජෙස්ටික් සිටි ‍සිනෙමා එකට සෑහෙන්න පෝලිමක්. චිත්‍රපටිය ප්‍රදර්ශනය ආරම්භ කරල සැලකිය යුතු සෑහෙන්න කාලයක් ඒ වෙනකොට ගතවෙලා තිබුනත්, තවම චිත්‍රපටියෙ උණුසුම නොගිහින් තිබීම පිළිබඳව අපට දැනුනෙ පුදුමයක්. සෑහෙන්න වෙලාවක් පෝලිමේ රැඳුන අපි, අන්තිමේ තදබදය අස්සෙ ඇතුළට ගියේ චිත්‍රපටිය බැලීමේ පුදුම ආශාවකින්.

අමීර් ඛාන් නළුවෙක් විදිහට අපේ ජීවිත වලට සෑහෙන්න බලපෑම් කරපු කෙනෙක්. ඒක හරි පුදුමාකාර දෙයක්. චිත්‍රපටි වලට සෑහෙන්න ‍ලොකු බලපෑමක් මිනිස් ජීවිත වලට කරන්න පුලුවන්. සිතිවිලි ආකල්ප වෙනස් කිරීමේ හැකියාවක් අපිට තියේනම්, අපිට සෑහෙන්න වෙනසකට මුල පුරන්න පුළුවනි. වෙනසක් තමයි වැදගත්. අමීර් ඛාන් දිහා ආපස්සට හැරිල බැලුවොත්, අමීර් ඛාන්ගෙ රංගනය ඉදිරිපත් වුන මෑත චිත්‍රපටි පෙළගැස්ම සැලකිල්ලට අරගත්තොත්, පිළිවෙලින් මංගල් පාණ්ඩේ, ‍රංග්දෙ බසන්තී, ෆනා, තාරේ සමීන් පර්, ගජිනි. මේ චිත්‍රපටි අතරින් නැවත නිෂ්පාදනයක් වෙන ගජිනි චිත්‍රපටිය මඳකට අත්ඇරියොත් ඉතිරි හැම චිත්‍රපටියකම කතා තේමාවන් අති‍ශයෙන්ම සුවිශේෂීයි. ඒ අතරෙන් රං‍ග්දේ බසන්තී චිත්‍රපටිය සුවිශේෂයි. ගජිනි චිත්‍රපටිය ගත්තොත් චිත්‍රපටියේ කූටප්‍රාප්ති දර්ශනය එහෙම නැතිනම් climax එක, අමීර් ඛාන්ගේම රචනයක්. ඒක දමිළ චිත්‍රපටියට වඩා වෙනස්.

‍‍අමීර් ඛාන් ගැන අතිරේක විස්තරයක් ගෙනාවෙ චිත්‍රපටියට ඇතුළත්වෙන්න පාර හදාගෙන. කලින් රඟපෑම්වල අපූර්වත්වය දන්න නිසාම. අමීර් ඛාන්ගේ චිත්‍රපටියක් අතඅරිනවා බොරු! ඒකයි ආයෙමත් සැරයක් චිත්‍රපටිය බලන්න ගියෙත්!

වැඩවසම් ක්‍රමයයි, වර්තමාන ක්‍රමයයි අතර වෙනසක් නැහැ කියල තේරුම්ගියෙත් ‍මේ චිත්‍රපටිය බලලම තමයි. ඒක සංකීර්ණ කතාවක්. කෙටියෙන් කිව්වොත්… වැඩවසම් ක්‍රමය ඇතුළෙ කෙනෙක්ගෙ උපතින් කෙනෙකුගේ කුලය තීරණය වුනා. රැකියාව කුලය මත පදනම් වීම නිසා, කෙනෙක් කරන්නෙ තමන්ට කරන්න තියෙන දේ මිස, තමන්ට ඕනෙ දේ නොවෙයි. අලුත් ක්‍රමයත් වැඩවසම් ක්‍රමයට අලුත් ඇඳුම් ඇන්දවීමක් විතරයි. ඒක ටිකක් වැඩවසම් ක්‍රමයට වඩා සංකීර්ණයි. උපතින් මඟපෙන්වන්නෙ ඉංජිනේරුවෙක් හෝ වෛද්‍යවරයෙක් වෙන්න විතරයි. ඒක ලංකාවෙ විතරක් නෙවෙයි. තවත් තැන් වල එහෙමමයි. ඒ අතින් බැලුවාම ඒක තමයි හැමදාටම ගැලපෙන ඇත්ත. ඒක ගැනයි අපි මෙච්චර වදවෙන්නෙ. නිව්ටන්ගෙ තියරි වගේ, ලෝකය කැරකෙන්නෙ අපිට තේරෙන්නෙ නැති ක්‍රමයක්, සිස්ටම් එකක් ඇතුළෙ. ඉතින් එහෙව් එකේ ‍ඒක වෙනස් කරන්න වෙරදරන කාලය හිත සතුටින් ජීවත් වීම, ක්‍රමය වෙනස් වීම නිසා සිහින කඩාගෙන බිම ඇදවැටීමෙන් ඇතිවන සමාජ කලකිරීමට වඩා හොඳයි කියලයි එක වෙලාවකට හිතෙන්නෙ.

කතා කරන්න පටන්ගත්තෙ ත්‍රී ඉඩියට්ස් චිත්‍රපටය ගැන. තමන්ගෙ ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කරගන්න ඉංජි‍නේරු පීඨයට එන දෙන්නෙකුට. අපූරු කාමර සගයෙක් හම්බවෙනව. ඒ රැන්චෝ. යාලුවෝ දෙන්නාගෙ නම් කිව්වොත්, එක්කෙනෙක් ෆර්හාන් කුරේෂි. අනිත් කෙනා රාජු රස්තෝගි. මේ තුන්දෙනාගෙ චරිත වලට පණ පොවන්නෙ රංග්දේ බසන්ති චිත්‍රපටියෙදි මුනගැහුන යාළුවෝම තමයි. ඒ අමීර් ඛාන්, මාධවන් ‍වගේම ෂර්මන් ජෝෂි. තිරයෙ විවේක කාලයෙන් පස්සෙ ඇඟටයි හිතටයි දැනෙන්නෙ කම්පනයක්! ඒ කම්පනය දැනෙන්න නම් චිත්‍රපටිය බලන්නම ඕනෙ.

චිත්‍රපටය බොලිවුඩ් විලාසිතාවේම චිත්‍රපටයක් වුනත්, ඇතුළෙන් අපට නොදැනී ගලාගෙන යන කතාව විශ්වීයයි. සමහර වෙලාවට අපි හිනාවුනේ අපි අපිටම. අපි හිනාවුනේ නවකවදයට වෙන්න පුලුවන්. අපි හිනාවුනේ මොකක්හරි රඟපෑමකට වෙන්න පුලුවන්. ඒත් ඒ හිනාවුනේ අපි අපිටමයි.

චිත්‍රපටියෙ තියෙන්නෙ හිනාව විතරක් නෙවෙයි. කටේ හිනාව පුරවගෙන ඉදිද්දි එකපාරටම මුළු හිනාවම අපෙන් ඈතට අයින් කරල අපි හිනාවුනේ අපිටම කියල පෙන්නනව. කවදාවත් ප්‍රශ්න වලින් පැනල යන්න එපා. All Is Well කියල  හිතාගන්න. තමන්ගෙ හදවතට ඒක දැනෙන්න දෙන්න. එතකොට හැමදේම හරියාවි.

‍මේ චිත්‍රපටිය අපි විතරක් බලල ‍තේරුමක් නැහැ. අපෙ අම්මල තාත්තලාට මේව පෙන්නන්න ඕනෙ. ඒත් ඒ අයට කෝ මේව බලන්න වෙලාවක්?

මේ තියෙන්නෙ 3 IDIOTS චිත්‍රපටයේ වීඩියෝ කිහිපයක්. වෙබ් පිටුව මත පෙන්වීමේ හැකියාව නම් නැතිකරල. ඒක නිසා ගිහිල්ලම බලන්න වෙනව. බැලුවා කියල පාඩුවක් නම් නෑ!

තවත් වීඩියෝ මෙතැන තියෙනවා – http://www.youtube.com/user/3idiots

ජීවිතය, ආදරය, මිත්‍රත්වය, දෙමව්පිය දූදරු බැඳීම්, වගකීම් ගැන නිදහසේ කතාකරන මේ චිත්‍රපටිය කවදාවත් මඟහරින්න එපා. තියෙන තැනක් ‍හොයාගෙන බලන්න යන්න අද හෙටම.

ජීවිතය තනිකරම රේස් එකක්. දුවන්න, ඒත් හති වැටිලා නතර වෙන්න නම් එපා!

Categories
ජීවිතේ

අවුරුදු දෙකක බ්ලොග් කෙරුවාව

කාලයක්ම බ්ලොග් අවකාශයේ නිහඬව හිටියා නෙව. ඒත් දැන් නිහැඬියාවට තිත තියන්න ඕනෙ කාලෙ ඇවිත් කියලයි හිතෙන්නෙ. මං හිතන්නෙ මාස දෙක තුනකින් හරියට කෙටි කතාවක්වත් ‍ලිව්වේ නැති තරම්. ඉතින් ඔය ඉන්න එකේ ඒවත් ඉඩ තියෙන තියෙන විදිහට ලියන්න ඕනෙ. මාතෘකාවෙන් පිට යාම මගේ සිරිත නිසාම මුලින් කිව්වෙම මාතෘකාවට එච්චර අදාළ නැති දෙයක්.

බ්ලොග් අවකාශයේ නිහඬව ඉන්න තවත් හේතු වුනේ හෙන ගැහුව වගේ අන්තර්ජාල සම්බන්ධතාව බිඳවැටීමත්. ඒත් එක්කම බ්ලොග් අඩවිය බිම ඇදගෙන වැටීමත් හරි. ඔන්න ඒ ප්‍රශ්න ඉවරයක් වුනා කියමු‍කෝ. වර්ඩ්ප්‍රෙස් ඩොට් කොම් උඩ‍ට බ්ලොග් අඩවිය අරගෙන එද්දි, මට නිකමට වගේ හිතුන කවද්ද මුලින්ම බ්ලොග් එක ලියල තියෙන දවස කියල හොයල බලන්න. බැලින්නම් දෙදාස් අට අවුරුද්දෙ ජනවාරි 20. ඒක බ්ලොග් ලිපියක් නෙවෙයි. බ්ලොග් එක හදන මුල් කාලෙ නිකන් ‍විහිළුවට වගේ දාපු පොඩි සටහනක්. ඒ අර්ථයෙන් ගත්තම ඊට පහුවෙනිද ඕම් ශාන්ති ඕම් චිත්‍රපටිය ගැන ලියල තමයි මේ ලියවෙන සුදාරකගේ අන්තර්ජාල සටහන ලියවෙන්න පටන් අරගෙන තියෙන්නෙ.

මීට කලින් බ්ලොග්-ස්‍‍පොට් ඇතුළෙ මුලින්ම බ්ලොග් කෙරුවාව පටන්ගත්තත්. ඒක එතන තියාගෙන හිටියෙ නම් නැහැ. කෙලින්ම වර්ඩ්ප්‍රෙස් වලිනුයි වැඩේ පටන්අරගත්තෙ. ඉතින් එහෙම බලනකොටත්, ඕම් ශාන්ති ඕම් චිත්‍රපටියෙන් ලිවිල්ල ඇරඹුන දිනය 21වීමත්, මේ කියන හැම මාසෙම විසි එක්වෙනි දිනය ජීවිතයත් එක්ක මහ ගුප්ත විදිහට බැඳිල තියෙන නිසාත්. මමම බ්ලොග් අඩවියේ ආරම්භක දිනය විදිහට දෙදාස් අටේ ජනවාරි විසිඑක්වෙනි දිනය තීරණය කළා. ඒක තනිකර ඒකමතික ඒකාධිපති තීරණයක්!

එහෙම ගත්තාම 2010 ජනවාරි 21වෙනි දිනයට මේ බ්ලොග් අඩවියට අවුරුදු 2ක්. “සුදාරකගේ අන්තර්ජාල සටහන” කියන නම මේකට වැටුනෙ හිතාමතා නෙවෙයි. ඒක නිකම්ම ඔළුවට ආපු නමක් වෙන්න ඇති. කොහොමහරි මේ නම මේකට වැටෙන්න හේතුවක් වෙන්න ඇත්තෙ ඒ කාලෙ අන්තර්ජාලයේ තිබුන සීමිත සිංහල බ්ලොග් ප්‍රමාණයක් අතරින් නිතිපතා වගේ යාවත්කාල වුන, හැම වෙලාවෙම වගේ කියවපු “මලින්තගේ සටහන” වෙන්න ඕනෙ. “මලින්තගේ” නම කපල ඒකට “සුදාරක” දාලා, ඒ මැදට “අන්තර්ජාල” ඔබල තමයි බ්ලොග් අඩවියට නම හදාගත්තෙ. මට මතක විදිහට නම් වුනේ එහෙමයි. 🙂

ඒ කාලෙ මම පොඩි එකා. දැනුත් මහලොකු වෙනසක් නැහැ ඉතින් බැලුවම. තාමත් ඒ උස ඒ උසමයි, ඒ කොට ඒ කොටමයි! 😀 හැබැයි බ්ලොග් ලියන්න පටන්ගත්ත එකෙන් ජීව විද්‍යාත්මකව වෙන වැඩිවිය පැමිණීම ඉක්මවෙලා ගිහින් නියම විදිහට සිතිවිලි පරිණත කරගන්න ලැබුනෙ ‍මේ අවුරුදු දෙකක් වගේ සුලු කාලයක් ඇතුළත. ඒ කාලයේ බ්ලොග් ලිවීමත්, ඒකට එන ප්‍රතිචාරත්… ඒ වගේම අන්තර්ජාලය හරහා ඇසුරුකරන්න ලැබුන පුද්ගලයින් කිහිප දෙනෙක් නිසා හිතන විදිහ සෑහෙන්න මට්ටමකින් වෙනස් වුනා. ඒක අන්තර්ජාලයට පහසුවෙන් සිංහල එකතුවීම කියන කාරණය වෙන්න පුලුවන්. මම ඒකෙන් අදහස් කරේ, ‍කෙනෙක්ට තමන් හිතන භාෂා‍වෙන් වැඩකරන්න, අන්තර්ජාලයේ සැරිසරන්න වැඩිපුර අවස්ථාව ලැබුනොත් ඒකෙන් ලොකු ආකල්ප වෙනසක් කරන්න පුලුවනි. ඒක කෙලින්ම බලපාන්නෙ රටේ දියුණුවට. ඒකයි මොන මඩ ප්‍රචාර, දේශපාලනික, ‍අදේශපාලනික, වැඩිහිටි අන්තර්ගත අරව මේව තිබුනත් මේව බලෙන් වාරණය සහ පාලනය නොකර ඉන්න ඕනෙ. කුතුහලය තියෙනවානම් ඒවා සොයායෑමේ වරදක් දකින්න නැහැ. මේව වාරණය වුනොත් අපිට ඉතිරිවෙන්නෙ බබාලන්තයක් විතරයි. සමහරවිට මුකුත්ම ඉතිරිවෙන එකක් නැතිවෙන්නත් පුලුවන්!

ආයෙත් මාතෘකාව වෙනත් පැත්තකට හැරෙව්ව නෙව. ඒක මගේ හැටි.

මට කියන්න ඕනෙ වුනේ බ්ලොග් අවකාශය කෙනෙක්ව උපරිම වශයෙන් පරිණත කරනව. ඒ කියන්නෙ අපි හරිහැටි ප්‍රස්ථාරගත කිරීමක් කරොත් කෙනෙක් බ්ලොග් අවකාශයට ඇතුළත් වීමට පෙර හා පසු කියල. අහස උසට කඩාගෙන යන වර්ධන රේඛාවක් දකින්න ලැබෙයි. ඒක තමයි ඇත්ත.

ඉතින්‍ සුදාරකගේ අන්තර්ජාල සටහනට අවුරුදු දෙකයි. ඉස්සරහට පන කෙන්ද රැකුණොත් සහ 2012 ‍‍ලෝක විනාශය සිද්ධ නොවුනොත්, තව ඉස්සරහට ‍මොනවහරි ලියන්න ලැබෙයි. මතක තියාගන්න. මේ බ්ලොග් එකේ තියෙන්නෙ 100%ක්ම වල්-පල්. මුල ඉඳල අගට බැලුවොත් සමහර විට කියවපු දෙයක් ඇත්තෙ නෑ වගේ දැනෙන්නත් පුලුවනි. ඒක තමයි මේ ලිවිල්ලෙ හැටි.