Categories
ජීවිතේ

ජීවි‍තේ… ජීවි‍තේ… ‍ජීවි‍තේ…

ජීවිතේ හරි පුදුමයි කියන්නෙ නිකමට නෙවෙයි.
අද දෙසැම්බර් පළවෙනිද. උඳුවප් පෝය දවස.
කලා උළෙලකුත් කරල හති ඇර ඇර ඉන්න කියාපු දවස.
කොහෙද,
ගෙදරින් කෑ ගහනව පාඩං කරපං කියල…

ගෙදරින් කියන්නෙ,
පුතේ කලා උළෙල නං හොඳයි…
දැං ඉතින් තමන්ට වැඩක් කරගනිං කියල.

මේක මට විතරක් නෙවෙයි.
අපේ හැමෝටම අහගන්න ලැබුන දෙයක්.

හ්ම්…

ඔන්න ඔහොම තමයි ජීවි‍තේ. මේ දවස්වල හති අරිනව. ඒත් හති අරින්නෙ බාගෙට. සම්පූර්ණයෙන් හති ඇරල ඉවරකරන්න වෙන්නෙ 2011 අවුරුද්දෙ තමයි. තවත් අවුරුදු එකහමාරක් විතර වගේ තිබුනාට මේ යන වේගෙට එහෙ බලල මෙහෙ බලනකොට ඔය දවස් ටික වාෂ්ප වෙලා තියේවි. කැලැන්ඩරේ පිටු ගැලවෙනකොට දැනෙන්නෙ දුකක්. 2009 අතඇරල යන්න බෑ වගේ. මොනව කරන්නද? අපිට කාලය වෙනස් කරන්න බෑ. කාලයත් එක්ක අපි වෙනස් වෙන එක තමයි වැදගත්. ලියන්න කියන්න ගොඩක් දේවල් තිබුනාට ‍දැන් ලියවෙන්නෙ නෑ. මේ දවස්වල එළියෙ පහළියෙ කතාකරන්න නම් ගොඩක් මාතෘකා. හැබැයි මම දැන් ඒ දේවල් කතා කරන්න කැමති නෑ. ඒ තරමටම ඒ දේවල් එපා වෙලා. මේ ‍මොනව ගැනද කියල ආයෙ අමුතුවෙන් කියන්න අවශ්‍යතාවක් නැහැ. කතා කරන්න එපා වෙලා තියෙන්නෙ මේ රට යන අත ගැන. රට යන අත බලාගෙන ඉන්නෙ නැතුව. අඩුගානෙ තමන් යන අතවත් හරියට හදාගන්න උත්සාහ කරන්න වෙන කාලයක් මේක. හැබැයි ලැබෙන හැම වෙලාවකම එක්කෙනෙක්ගෙ හරි ආකල්ප හොඳ අතකට වෙනස් කරන්න ලැබෙනවානං ඒක නොකර ඉන්නෙ නැහැ.

මේ දවස්වල උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙලානෙ. මට නම් ප්‍රතිඵල ගැන වැඩිය දෙයක් දැනගන්න ලැබුනෙ නැහැ. මොකද මේ කලා උළෙලකට හිර වෙලානෙ. මොනව වුනත් ඒක නිසා මේ අපේ ගෙදර අයත් කම්පනයට පත් වෙලා වගෙයි පේන්නෙ. කෙනෙක්ට උසස් පෙළ නැතිවුනත්. දියුණුවෙන්න තමන්ගෙම මාර්ග නිර්මාණය කරගන්න පුලුවන් වුනත්, ඕ‍නකෙනෙක් උසස් පෙළ දකින්නෙ තමන්ව දියුණුවට ගෙනයන්න පුලුවන් ‍ෂෝට්කට් එකක් විදිහට. ඒකෙ ඇති වරදක් නැහැ. අපේ අයට තියෙන්නෙ හොඳ තෝරාගැනීම් දෙකයි. එක්කො මෙඩිසින්. නැතිනම් ඉංජිනියරින්. කොහොමහරි මම මේ කලා උළෙල කරද්දි මුනගැහුන අයගෙ සමහර රැකියා දැකල පුදුමයෙන් පුදුමයට පත් වුනා. තමන් තමන්ගෙ රැකියාව ගැන උපරිමයෙන් තෘප්තියෙන් ඉන්නවා වගේම. හරිම නිදහස් සහ උපරිම ඉපැයීම් (මාසයකට ලක්ෂය ඉක්මවා යන) රැකියා. ඒ අය ඒ රැකියාවලට යොමු වෙලා තියෙන්නෙ අපේ සම්මත අධ්‍යාපන විභාග ප්‍රතිඵලත් නැතිවයි! මට ඉතින් ඒවා කරන්න අවශ්‍ය නැහැ. මම බැලුවෙ ඒ රැකියා ගැන…

සාහිත්‍ය ඒකකයේ සභාපතිකම ගන්නත් ඉල්ලීමක් තියෙනව. ඒ අතරෙ කිරුළ සඟරාවටත් පුංචි පහේ දායකත්වයක් දක්වන්නත් හිතෙනව. මේ පාරනම් අධ්‍යාපන කටයුතු බාධා නොකරගන්න දැඩි විශ්වාසයක් තියෙනව. ආයෙමත් අපේ බාසාවෙන් කිව්වොත් වල නම් බහින්නෑ. වෙලාව කළමණාකරණය කරගෙන. කට්ටියත් එක්ක එකතුවෙලා. කලා කටයුතු හිමින් සීරුවෙ දියත් කරනව. එහෙමයි මගේ බලාපොරොත්තුව.

ඔය අතරමඟ පුංචි ආදර කතාවකුත් තියෙනව. ඒවා නං ඉතින් රාජ්‍ය රහස්!

Categories
විචිත්‍ර

හිතට වද දෙන දැවෙන ප්‍රශ්නය…

බඩු මිල ඉහළයාම ද?
ම්හු…

කෙල්ලක් ද?
නැහ්…

ලව් සීන් එකක් ද?
නෑ… නෑ… බං! එහෙම එකක් නෙවෙයි…

එහෙනං මොන රෙද්දක්ද බං?

ඒක මේ වචනයකින් දෙකකින් විස්තර කරන්න පුළුවං කාරණයක් ‍නෙවෙයි බං,

මං මේ කල්පනා කලේ මං සාමාන්‍ය පෙළ කරන කාලේ ඉඳලාම හිතට ආපු ප්‍රශ්නයක් ගැන. සාමාන්‍ය පෙළ කරායින් පස්සේ උසස් පෙළට මොන විෂය ධාරාවක් යටතේ ඉඳගෙනද අධ්‍යාපනේ කරගන්න ඕනේ කියලා හිතාගන්න බැරිවයි මං හි‍ටියේ. වෙලාවකට කලාව කරන්නත්. තව වෙලාවකට ගණිතය කරන්නත් අවශ්‍යයි කියලා ම‍ගේ මොලේ මටම එරෙහිව දෙකට බෙදිලා වාද විවාද කරගත්තු එකෙන් මට වුන සෙතක් නැහැ. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල “හොඳ යැයි” පිළිගන්නා මට්ටමක තිබීම නිසා සමාජය විසින් ඇතිකරපු විද්‍යාව හැදෑරවී‍‍මේ බලපෑම සහ මොලේ එක පැත්තක් කරපු බලපෑමත් දෙක එකට එකතු වෙලා මගේම අර්ධයකට එරෙහිවුනා වගේ හැඟීමක් තමයි මට නං දැන් දැනෙන්නේ. ආසාව තියෙන්නේ කලාව කිරීමත්. කලා පංතිය තමයි ගැලපෙනම නිවහන කියලා දැං විතරක් නෙවෙයි විටින් විට හිතට ගෙනාවේ මගේ අනික් අර්ධය. ශිෂ්‍යත්වය සැලකිය යුතු මට්ටමකින් සමත් වීමත්, සාමාන්‍ය පෙළත් කරුමයකට හෝ සමත් වීමත් තමා විද්‍යාව කළ යුතුයැයි හැඟීමක් මගේ අනිත් අර්ධය කරන බලපෑමත් තාමත් එහෙම…

හැබැයි, මේ වෙනකොට ඒ මගේ අනිත් බාගෙ. එහෙමත් නැත්තං ගණිත බාගෙත් තාර්කිකව මට කියනවා කලාව අංශයෙන් ඉගෙනීම හොඳ බවක්. ඒත් දැං කාලය සැලකිය යුතු මට්ටමකින් ප්‍රමාද වී තිබීමත්, පාසලේ ගුරුවරුං මං ගැන මොනවා හිතයිද කියලත්, එහෙම මාරු වෙන්න ආපහු ගියොත් අහගන්න වෙන බැනුම් කන්දරාව ගැනත් ලොකු ගැටලුවක් මගේ ඔලුවේ දැං තියෙනවා.
නවකතාවක් ලියන්නත්, කවිකතාවක් ලියන්නත්, අලුත් දෙයක් ඉගෙනගන්න මට්ටමකට හිත ‍නිදහස් නොවීමත් කියන කාරණා මට දැං බලපෑම් එල්ල කරනවා කලාව කරන්න ඕනෑයි කියලා.

වෙනස් දෙයක් කරන්න අවශ්‍ය කරන වෙලාව ගණිත-විද්‍යා අධ්‍යයනට යොමු කරන්න වීම ගැන ලොකු ප්‍රශ්නයක් දැං තියෙන්නේ.  විද්‍යාව ‍කිරීමෙන් ඇති නොවන සෙතක් කලාව අධ්‍යනයෙන් ලැබේ යැයි මට දැං හොඳ බලාපොරොත්තුවක් තියෙනවා. ඒත්, තියෙන ලොකුම අවුල විෂය ධාරාව මාරු කිරීම.

මං පළවෙනි වාරය පටන්ගත්තාම ගෙදර කැමැත්තත් ඇතිව ඉස්කෝලෙට ගිහිල්ලා කලාව කරන්න ඉල්ලුවාම ලොකු ගැටලු වලට මුහුන දෙන්න සිද්දවුනා. කලා කිරීමට මාරු වෙන්නේ ඇයිදැයි අහපු ගුරුවරයෙක්ට ඇයි කලාව කරන්නේ කියලා, කියලා ඉවරවෙලා අනිත් පැත්ත හැරිලා යද්දී…

“එහෙනං ඉතින් දෙයියන්ගේම පිහිටයි” කියලා තමා ළඟ උන්නු අනිත් ගුරුවරයාට කියලා කියනවාත් මං අහගෙන. ජනමාධ්‍යකරණය හැදෑරිය යුතුයි කියලා අදහසකින් ගියත්, ජනමාධ්‍යකරණය නොමැති වීම කියන ප්‍රශ්නය උඩ ආපහු දවස් දෙකක් ඇතුළත ගණිත අංශයට මාරු වීමට තීරණයක් ගත්තා. ඒකෙදිත් නොසෑහෙන්න අහගත්තා… ඒක ජීවිතයේ ගත්ත ලොකු තීරණයක් කියලා තේරෙන්නේ දැං.

මට කලා කරන්න අවශ්‍ය මේකයි,
නවකතා කෙටිකතා රචනයට වගේම සාහිත්‍යකරණ‍ය පිවිසීමට ඇති අවශ්‍යතාව නිසා
අලුත් දේ ඉගෙනීමට කාලය ලබාගැනීමට තියෙන අවශ්‍යතාව නිසා
ඊට පස්සේ කැළණිය, හෝ පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්නත්.
අවසාන වශයෙන් ජනමාධ්‍යකරණය හා සම්බන්ධ තෘප්තිමත් වගේම නිදහස් වෘත්තියකට යොමුවීමට අවශ්‍ය නිසා.

එතකොට ඉස්කෝලේ ජනමාධ්‍යකරණය විෂය ‍නැතිවුන නිසා ගණිතය තෝරාගත්තේ…
ගණිතය අංශයෙන් උසස්‍ පෙළ සමත් වෙලා. කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පැත්තෙන් හදාරලා ජනමාධ්‍යලට පිවිසෙන්න…

ඒ වුනාට. ගණිතය කරනවාට වඩා කලාව කිරීම මට අවශ්‍ය ශ්‍රාස්ත්‍රීය හැදියාව නිර්මාණය කරන නිසා මෙතන කලාව පැත්තෙන් යාම තමයි වැදගත්…

ඉතින් මාස ගාණක් ගියත්. මේක මට විසඳුමක් නැති දැවෙන ප්‍රශ්නයක්. ඒක දැවෙන ප්‍රශ්නයක් වෙන්නේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ හැටියට ඇලෙව්වොත් ඇලෙව්වාමයි වගේ තෝරගත්තොත් තෝරගත්තාමයි වගේ “නිදහස්” අධ්‍යාපන ක්‍රමයක් තියෙන නිසා. ඉතින් ක්‍රමේට බැන බැන හූල්ල හූල්ල තමයි මටනං ඉන්න වෙලා තියෙන්නේ… 🙁

සටහනට තවත් විශේෂ, සුවිශේෂ යාවත්කාලීන කිරීමක් එකතු කරන්න හිතුනා. ඒ, මේ ලිපි‍යේ අන්තිමට. සෝමලතා සුබසිංහ මහත්මියගේ, විකෘති වේදිකා නාට්‍යයෙන් සිත් ඇදගන්නා සුළු, රැඩිකල් සිංදුවක් එකතු කරන්න. මේ තියෙන්නේ ඒ සින්දුව.

විභාගෙ විභාගෙ
එහෙ බැලුවත් විභාගෙ
මෙහෙ බැලුවත් විභාගෙ
විභා…ගේ තමයි අපේ අභාගේ
විභා…ගේ තමයි අපේ අභාගේ

විභාගෙ විභාගෙ
එහෙ බැලුවත් විභාගෙ
මෙහෙ බැලුවත් විභාගෙ
විභා…ගේ තමයි අපේ අභාගේ
විභා…ගේ තමයි අපේ අභාගේ

විහිළුවකට හිනාවකට විනෝදෙකට වෙන වැඩක‍ට
විහිළුවකට හිනාවකට විනෝදෙකට වෙන වැඩක‍ට
නෑ… වෙලා…ව විභා…ගේ…
නෑ… වෙලා…ව විභා…ගේ…

එකේ ඉඳන් දොළහ දක්වා දක්ව
ලොකු පොඩි හැම පන්තියකම
ඇතෙක් බරට විභාගෙ
ඇතෙක් බරට විභාගෙ

ඉරක් හඳක් ගහක් කොලක්
මනුස්සයෙක් පේන්නෙ නෑ
ඔහු සැපදුක අහන්නෙ නෑ
කන්න බොන්නෙ අඳින්නෙ නෑ

විභා…ගේ…

අම්ම තාත්ත අයිය අක්ක නංගි මල්ලි විතරක් යැ
නැන්ද මාමා බාප්ප මහප්ප
යාළුවො යෙහෙලියො අහල-පහල අය
යාළුවො යෙහෙලියො අහල-පහල අය

කොහොමද ළමයෝ… විභාගේ…?

තව සුමානෙකින් ප්‍රතිඵල එයි…

කොහොමද විභාගෙ ප්‍රතිඵල?
ප්‍රතිඵල ප්‍රතිඵල ප්‍රතිඵල ප්‍රතිඵල

බස්සෙකෙ කොච්චියෙ පාරෙ තොටේ…
යන එන හැමතැන කොහොමද ප්‍රතිඵල…

බස්සෙකෙ කොච්චියෙ පාරෙ තොටේ…
යන එන හැමතැන කොහොමද ප්‍රතිඵල…

විභා…ග ප්‍රතිඵල වසංගතේ…

ඒ විතරක්යැ,
විද්‍යා විෂයද? කලාවද…?

කලා…ව කිව්වොත්…, මලා… වගේ…
චී… චී… චී… ලැජ්ජ නැද්ද?
අපේ එකෙක් කලාව කරන්න?

කවුද උඹ දිහා බලන්නෙ,
විද්‍යාවයි ගණං ගන්නේ…
අඩු ගණනේ වාණිජවත්?

ඉතිං පුතේ නම්බුවක්නේ
ෆේල් වුනත් විද්‍යාවෙන් විභාගෙ කොරලා

විභාගෙ විභාගෙ
එහෙ බැලුවත් විභාගෙ
මෙහෙ බැලුවත් විභාගෙ
විභා…ගේ තමයි අපේ අභාගේ
විභා…ගේ තමයි අපේ අභාගේ

විභාගෙ විභාගෙ
එහෙ බැලුවත් විභාගෙ
මෙහෙ බැලුවත් විභාගෙ
විභා…ගේ තමයි අපේ අභාගේ
විභා…ගේ තමයි අපේ අභාගේ

සැලකිය යුතුයි: මේක මං ගැන පම්පෝරියක් කියලා හිතන්න එපා. මං මේක ලිව්වේ මං වගේ තවත් අය ඉන්නා නිසා…