Categories
නිර්මාණ

සංක්‍රාන්ති සමය – not a love story

අඳුර ගලා ගොස්
දැන්,
යන්තමින් ආලෝකය පැමිණෙමින් පවතී…
සයුරු රළ බිඳෙන හඬ දැන් නෑසේ.
ඇත්තේ මන්ද ආලෝකයක් පමණි.

නමුත් හිස් අවකාශය තවමත් එසේමය. අන්ධකාරයේ ශාපය මා වෙලාගනිමින්, තවමත් බලපවත්වනු දැනේ…
රස්තියාදු ගැසූ සිත ඔත්පලව එක තැන නැවතී ඇත්දැයි බියෙන් මන්දාලෝකයේ උදව්වෙන් සිත අත පත ගා බැලීමි.

සිත ඔත්පලව නැත.
සිත පනගසයි.
සිත තවමත් බලවත්ය.

තැන තැන තුවාල වී ලේ ගලද්දී මම නැගී සිටීමට උත්සාහ කළෙමි.
හදවත පුපුරා යළිත් ඇද වැටුනෙමි. සිටි තැනටම.

නැවතත් ඝන අන්ධකාරය මා වෙලාගත් අතර, කාලය හා අවකාශය පිළිබඳව අනවබෝධයෙන් මම සිරවුනෙමි.
කොතෙක් කාලය ගියේදැයි නොදනිමි.

යහළු යෙහෙලියන් මා අමතනු ඇසේ.
ඔවුන් මා නැවත් ඔවුන් වෙත ඔසවාගෙන යාමට උත්සාහ කරනු දැනින. ඒ වෙනුවෙන් ඔවුන් මා සිත තුළට වීමට උත්සාහ කරයි.

නමුත් මා සිත මගේය.
පනගන්වාගත යුත්තේ මාය.

දෙමසකුත් තවත් භාගයකට පසු…
***

දෙමසකුත් තවත් භාගයකට පසු…
ප්‍රචණ්ඩ රළ පහරක් වේගයෙන් මා වෙලාගත් බව දැනින.
වැල්ලේ ගොඩනැගූ මාලිගා සියල්ලේ නටඹුන්වත් දැන් පෙනෙන්නට නැත.

මා ඒ චණ්ඩ රළ පහර නම් කිරීමට නමක් සෙව්වෙමි.
කැත්‍රිනා?
ක්‍රිස්ට්‍රිනා?
ජූලියා?

නැත. මා හට ඒ නම් අවැසි නැත. හිතට ළඟ එකම නම යෙදීමටද මට සිත් නොදේ. වැල්ලේ මාලිගා තැනීමට යෙදූ අඩිතාලම ඕස්ට්‍රේලියා පුරය දෙසට ඈත සයුරේ ගසා යනු දුටුවෙමි.

අල්වාගන්නට දෑත දිගු කළ නමුදු දෑත දිග මදිය. අවසානයේ මිත්‍ර පාර්ශව එන්නත් ආධාරයෙන් මා යළි නැගී සිටියෙමි.

යලිදු සිහිනය ගොඩනැගීමට මට අවැසිව ඇත. අවසානයේ කිසිවකුත් නොමැති, ඉමක් කොනක් තොතේරෙන, තැන තැන නටඹුන් පෙනෙන අවු රශ්මියෙන් දැවුන අත්හැර දමා තිබූ මිටියාවතක් වෙත මා ඉබේ පැමිණියෙමි. එසේ නොවේ නම් නම හොඳින් දන්නා කවුරුන් විසින් හෝ මා ගුප්ත ලෙස මෙතැනට කැඳවා අත්හැර දමා ඇත. ඔබනාඳුනන මා පමණක් හොඳින් හඳුනන මළ හදවතක් මේ ගුප්ත මිටියාවතේ ඇවිදිමින් සිටියි…

මිතුරන් පෙනෙන්නට ඇත. නමුදු ඒ බොහෝ දුරිනි…
පෙරදා තෝරාගත් මාර්ගයේ වූ කටු පඳුරු සිදුරු කළ හදවත දෝතට ගෙන කාත් කවුරුත් නොමැති මාගේ, මටම පමණක් අයිති වූ, මේ මිටියාවතේ නිදන් කළෙමි. හදවතින් පිටවන වේගවත් රුධිර දහරා යවා ඒ තුළින් බල ගැන්වෙන රුධිර-විදුලි බලාගාරයක් නිර්මාණය කිරීමට මම සමත්වුනෙමි… එයට බොහෝ කල් ගතවූ බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ.

ජීවිතයේ කෙටි මං නොමැති බව හඳුනාගතිමි.

අලුත් දවසක්, අලුත් බලාපොරොත්තු සහ පරණ මම.

Categories
ආදර සිතුවිලි ගීත

කුඩේ යටින් ඔබ යන කල… එපා තනිය දැනෙන්න…

උපදෙස්: ඉදිරියට කියවාගෙන යන්න කලින්, සින්දුව අනිවාර්යයෙන්ම රසවිඳල ඉන්න. ඊට පස්සෙ සැහැල්ලුවෙන් කියවාගෙන යන්න

[youtube=http://www.youtube.com/watch?v=1YudWDXULps&hl=en_US&fs=1&rel=0]

හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න…
මා නොදකින ඒ, පුර හඳ ඔබට හැකිය දකින්න…

හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න…
මා නොදකින ඒ, පුර හඳ ඔබට හැකිය දකින්න…

අඳුරු ගලා වහිනා කල, සරසවි බිම තෙමෙන්න…
අඳුරු ගලා වහිනා කල, සරසවි බිම තෙමෙන්න…
කුඩේ යටින් ඔබ යන කල… එපා තනිය දැනෙන්න…

ලතා මඩුලු අත වනාවි, එපා අහක බලන්න…
ලතා මඩුලු අත වනාවි, එපා අහක බලන්න…
මා ගැන මතකය ගුලි කර, මහවැලියට දමන්න…

හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න…
මා නොදකින ඒ, පුර හඳ ඔබට හැකිය දකින්න…

හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න…
මා නොදකින ඒ, පුර හඳ ඔබට හැකිය දකින්න…

ගායනය: අමරසිරි පීරිස්
පද රචනය: ධම්මික බණ්ඩාර
සංගීතය: විශාරද ඩෙනිස්ටර් පෙරේරා

සාමාන්‍යයෙන් සුදාරක සින්දුවක් ගැන බ්ලොග් සටහනක් නොලියාම ඇති තරම්. සුදාරක කවි/ගීත විචාරයට එතරම් දක්ෂ පුද්ගලයෙකු නොවුනත්, රූප පෙට්ටියේ සුපිරි(/සිහින)තරු පිළිබඳ දැන්වීමක් අතරමඟදි සිහිනතරුව‍ක‍ගේ හඬින් ඇහුන අමරසිරි පීරිස් ගායකයාගේ හඬින් ගායනා වෙන “හන්තානට පායන හද” ගීතයේ මුල් පද පේලි ඇහුන විගසින්ම ගීතයට ආකර්ෂණය වුනා කිව්වොත් හරි. සාමාන්‍යයෙන් ගීතයේ මුල් පදයෙන්ම ගීතයට ආකර්ෂණය වෙනවානම්, ඒ ගීතයේ තමන්ගෙ ජීවිතයට සම්බන්ධ දෙයක් කොහේහරි ඇති කියල මගේ හිත කියනව. එහෙම වෙන එක පැහැදිලි කරගන්න නම් අතුරු කතාවක් කියන්න වෙනව. සාමාන්‍යයෙන් පන්ති ඉවරවෙලා යැවෙන සරසවියේ සිංහල පොත් තියෙන උඩුමහලේ මම දැක්ක එක පොතක්. ඒ පොත එක පාරටම අතට ගත්තාට මම වැඩිය කියෙව්වේත් නැහැ. කොහොම හරි මේ පොත මට ආපහු තිබුන තැනින් තියන්න හිතුනෙම නැහැ. අන්තිමේ පොත අරගෙන කියවලා බලද්දි, මට තේරෙනව මේකෙ සමහර තැන් මගේ ජීවිතයත් එක්ක සසඳන්න පුලුවනි කියල. ඒක හරි පුදුමාකාර කතාවක්! ඒ කියන්නෙ, විශ්වාස කරනවනම් විශ්වාස කරන්න. නැතිනම් නිකන් ඉන්න!

හරි, ආයෙත් මාතෘකාවට එමුකො. මේ ගීතයේ පළමු ‍පේලියෙන්ම ගීතයට ආකර්ෂණය වුනාට පස්සෙ, අන්ත‍ර්ජාල පිහිටෙන් සින්දුව හොයාගත්ත. මුළු සින්දුවම, සින්දුවේ ආකාරයෙන් නොවුනාට සීයට සීයේ ප්‍රතිශතයෙන්ම ජීවිතානුබද්ධයි. ඒකයි සීරියස්ම කතාව.

ගීතයෙන් කි‍යවෙන්නෙ හරිම සරල කාරණයක්. ගීතය ගායනා කරන්නා පෙම්වතා නම්, අපිට ඉතිරි ටික සැහැල්ලුවෙන් ආදේශ කරගන්න පුලුවනි. මේ ගීතය පෙම්වතා කියන්නෙ, උසස් පෙළ හොඳින් සමත්වෙලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්න සමත්වුන තමන්ගෙ පෙම්වතියට. හන්තාන තියෙන්නෙ පේරාදෙණිය සරසවිය ආසන්නයේ නෙව. ඉතින් මෙතන හන්තාන කිව්වත්, හන්තාන කියන ‍එකෙන් අදහස් කරන්නෙ පේරාදෙණිය සරසවියමයි.

හන්තානට පායන හ‍‍ඳේ ලස්සන පෙම්වතාට බලන්න බැරිවෙන්නෙ පෙම්වතාට උසස් පෙළ සමත්වෙන්න බැරි ‍වීම හේතුවෙන් පේරාදෙණිය සරසවියට එන්නට නොහැකිවීම හේතුවෙනුයි. සමහරවිට අපිට මෙහෙම හිතන්නත් පුලුවනි උසස් පෙළ කෙසේවෙතත්, ඔහුට පේරාදෙණියට එන්න නම් කිසිම හැකියාවක් නැහැ. පේරාදෙණිය කියන්නෙ, පේරාදෙණිය සරසවියට.

සරසවි ජීවිතය හරිම සුන්දරයි, හරියට සිනිඳුවට කඩාගෙන වැටෙන වැස්සක් වගේ. ඒ වගේම සරසවි ජීවිතයෙ කටුක දේ ‍නැත්තෙම නැහැ. මේ කතාව ගීතයෙ හරි අපූරුවට ව්‍යංගයෙන් කියල තියෙනවා කියලයි මට නම් හිතෙන්නෙ.

අඳුරෙන් සරසවියෙ කටුක ජීවිතය නියෝජනය කෙරෙනවා නම්, වැස්සෙන් සුන්දර සරසවි ජීවිතය නියෝජනය කරනවා වෙන්න පුලුවනි.

ඉතින්, මේ ජීවිතයෙදි තමන් ළඟින්ම තමන්ට දුක සැප බෙදාගෙන ඉන්න කෙනෙක් ළඟ ඉන්නව නම්, ඒක ගොඩක් වටිනව. ඉතින් ‍ඒකයි පෙම්වතා කියන්නෙ…

අඳුරු ගලා වහිනා කල, සරසවි බිම තෙමෙන්න…
කුඩේ යටින් ඔබ යන කල… එපා තනිය දැනෙන්න…

දුරස්ථ ආදරයකදි, දෙන්නට දෙන්න නොපෙනෙන එක අර්බුදකාරී අවස්ථාවක ලොකු ගැටලු මතුකරන තැනක්. කොහොමනමුත් තමන් ආදරය කරන කෙනෙක් දුර හිටියත්… සමහර වෙලාවට දුකෙන් ඉන්න වෙලාවට ආරක්ෂාව රැකවරණය ඒ දුර ඉන්න කෙනාගෙන් ලබාගැනීමට හරි අසීරු දෙයක්. ඒ කියන්නෙ, ප්‍රායෝගික නැති කාරණයක්. ඒකයි පෙම්වතා කියන්නෙ,

කුඩේ යටින් ඔබ යන කල… එපා තනිය දැනෙන්න…

ඒ මුලින් ඇතිවෙන රාගයෙන් තොර ආදරය. ළඟදි හොයාගත්ත වචනයක් වන ප්ලේටොනික ආදරය. එතනින් එහාට යන ඊළඟ තැන… රාගයත් එක්ක එකතු වුන ආදරය. මහවැස්සෙ තනියම ‍නොයා අලුත් පෙම්වතාගෙ ආරක්ෂාව යටතෙ ය‍‍නකොට, දෙන්නටම තනිවෙන්න තැන් ලැබේවි. ඒ අවස්ථාව මඟඅරින්න එපා, මගෙන් නොලැබෙන දේ ලැබෙනවා නම්… මා ගැන මතකය හිතෙන් අමතක කරල දාන්න. අලුත් ජීවිතයක් ආරම්භ කරන්න… දුක්විඳිනවාට වඩා සතුටට, නිවීමට පත්වෙන්න. ඒකයි වැදගත්. කාලය නමැති මහවැලි ගඟ මාවත් ඇදගෙන ගහගෙන යාවි.