Categories
ජන මාධ්‍ය විචිත්‍ර විවිධ හින්දි චිත්‍රපටි

අඬ අඬ බැලීම සහ බල බල ඇඬීම.

Taare Zameen Par Movie Poster

ඕන් සිරසෙන් හොඳ වැඩක් කලා ඊයේ. ඊයේම මේ සටහන ලියන්න හිටියාට පාඩම් වැඩ වැඩි නිසා මේක ඊයේ ලියලා දාන්න බැරිවුනා. වැඩේ කියන්නේ මං දැන් ඒක දාන්න කලින්ම අපේ අසාමාන්‍ය මලී අක්කා මේක ගැන ලියලා. ඉතින් මේ පෝස්ට් එකෙන් එයාට අසාධාරණයක් වෙයිද දන්නෙත් නෑ. මලී අක්කේ, අසාධාරණයක් වුනානම් සොරි ඩොට් කොම් හොඳේ… 😀

සිරසෙන් හොඳ වැඩක් කිව්වාම දැන් මාව මරාගෙන කන්න වගේ නම් බලන්න එපා 😀 . ලෝක ළමා දිනය වෙනුවෙන් වෙන එකම නාලිකාවක්වත් කරපු නැති ‍විදියේ වැඩක් තමයි මෙවර සිරස නාලිකාව කලේ. ‍අනිත් නාලිකා වලත් ළමා දිනයට චිත්‍රපටි පෙන්නනවා තමයි, ඒත් ඉතින් ‍ඒ ළමයින්ට බලන්න පුළුවන් ඒවා විතරයි නේ. මේ පාර සිරස නම් එහෙම නෙමෙයි; ගුරුවරුන්ටයි දෙමව්පියන්ටයි අසාමාන්‍ය ළමයින් ගැන අවධානය යොමු කරන්න ඕන හැටි කියා‍ දෙන චිත්‍රපටියක් වෙන, ප්‍රවීණ නළුවෙක් වගේම ආධුනික (ආධුනික කිව්වාට තමන්ගේ පළවෙනි අධ්‍යක්ෂණයෙන්ම මේ වගේ සුපිරි ගණයේ චිත්‍රපටියක් නිර්මාණය කරපු එක නම් නියමයි!) අධ්‍යක්ෂකවරයෙකු වෙන ආමීර් ඛාන්ගේ කුළුඳුල් අධ්‍යක්ෂණය වෙන, තාරේ සමීන් පර් (Tare Zameen Par) චිත්‍රපටිය ප්‍රදර්ශණය කරපු එක නම් ලොකු දෙයක්. මෙන්න බොලේ චිත්‍රපටිය බලන්න ඇරගෙන ටික වෙලාවක් යද්දී ඇහෙන් කඳුළු හෝ ගාලා කඩාගෙන හැලෙනවා. හැබැයි එදා සිරස තව වරදක් කරා 😀 චිත්‍රපටියේ උච්ජතම අවස්තා වලදී දැන්වීම් දාපු එක තමයි ඒක. චිත්‍රපටියටම උචිත සංගීතයෙන් හා ගීත වලින් මේ චිත්‍රපටියේ හැඟීම් උත්සන්න කරන්න ගත්ත උත්සාහය නම් උපරිමයි. ඒ උත්සාහයත් මට නම් පේන්නේ හොඳටම සාර්ථකයි කියලායි. මේ ගැන මම තව කියන්නේ නෑ. මටත් වඩා හොඳට අපේ බෝ අක්කා මේක ගැන ලියලා තිබුනා කියලා මතකයි…. ම්…. ආ…. මේ තියෙන්නේ!

මේකේ ළමා නළුවා ගැන නම් විශේ‍ෂයෙන් මතක් කරන්න ඕනේ. එහෙම නැත්තන් එයාට කරන ලොකු අපරාධයක්. නමින් දර්ශීල් සෆාරි වෙන මේ පොඩ්ඩා සිනමාවට නම් දැන් නම් පොඩ්ඩෙක් නෙවෙයි! 2008 ෆිල්ම් ෆෙයාර් සිනමා උළලේ තව පොඩ්‍ඩන් ෂාරුක් ඛාන්ගේ සම්මානෙටත් ගහලා යනවා මේ පොඩ්ඩා නිසා 😀 ඒ කියන්නේ ඒ තරම්ම මෙයා දක්ෂයි කියන එකයි! ඔන්න සුදාරකගෙන් සුභ පැතුම්! ආමීර් මාමාවත් මතක් කරා කියන්නකෝ එයා‍ගේ ඔස්කාර් සම්මාන බලාපොරොත්තුවත් ඒ වගේම ඉටුවෙන්න ඕනෑ! කලාපේ රටක් විදිහට ඉතින් කාටද ආ…ඩම්බර ආ… නැද්ද මං අහන්නේ? 😀

චිත්‍රපටිය බැලුවේ නැත්නම් දැන්ම හොයාගන්න! එහෙම නැත්තං ටොරන්ට් එකක් වත් හොයාගන්න. හැබැයි සිංහල උපසිරැසි එක්කම බැලුවා නම් තමයි වටින්නේ.

ඇනේ, ලියන්න නම් වැඩි වෙලාවක් නෑ. තාරේ සමීන් පර් ගැන වැඩිපුර දැනගන්න වෙබ් අඩවියට යන්න.
මෙන්න වෙබ් අඩවියේ ලිපිනය – http://www.taarezameenpar.com
විකීපීඩියා – http://en.wikipedia.org/wiki/Taare_Zameen_Par

ඇති යාන්තම්! සිරස හොඳ වැඩක් කරා! 😛 හැබැයි ඉතින් අඬවනවා කියලා ඔහොම අඬවන්නත් එපා! මං හිතන්නේ ගිය පාර ලියපු එකට හරියන්න සිරස මේ පාර චිත්‍රපටිය පෙන්නලා පළිය ගන්න ඇති 😀

Categories
අධ්‍යාපනික විවිධ හිනා

සුපුන් ගියා දිව්‍ය ලෝකෙ

ඕන් සුදාරකගේ ජීවන අත්දැකීම් එකතුවට තවත් දවසක් එකතු වුනා! දැන් ඒ එකතු වෙච්ච ජීවන අත්දැකීම බ්ලොග් සටහනක කොටන්නයි‍ මේ හදන්නේ. හැබෑටම මොකක්ද මේ දිව්‍යලෝකේ? ආ… ඒක මහ ‍ලොකු දෙයක් නෙවෙයි. සාහිත්‍ය මාසේ නිසා දැන් ව්‍යංගාර්ථයෙන් කතා කරන්න පුරුදු වෙලා! 😀 පසුගිය බ්ලොග් සටහන් එක්ක එකතු වෙලා හිටියානම් වැඩේ තේරෙන්න ඇති. ඔව්, ඔබ හරි! 😀 මම ගියා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට. ඒකත් මරු රසවත් කතාවක් (මට). මගේ වෙබ් හෝස්ටින්ග් පාරිභෝගියන්ට පින් සිද්ධ වෙන්න එකතු කරගෙන හිටපු රුපියල් පන්දාහා ඊයේ පන්ති ගිහිල්ලා එද්දී ඇරගෙන ආවේ අද පොත් ප්‍රදර්ශනයට යන්නම සූදානම් වෙලයි. අද ඉස්කෝලෙත් ගොඩක් තියෙන්නේ ඩබල් පීරියඩ් නිසා පොත් බෑගයෙන් මහා පතරංග ජාතකේ ‍ව‍ගේ ලොකු අච්චු පොත් ටික කප්පාදු කරේ බෑග් එකේ ඉඩ ඇරගන්න. ඒක හොඳට ගියා. මොකෝ මට වෙන අයට වගේ පොත් උස්සන් එන්න ගෑනු ළමයි ඉන්න එකක්යැ 😉 . ම්… ඔන්න ඉතින් උදෙත් වුනා. මම කොහොමත් පාන්දර නැගිටින කෙනානේ. පාන්දර නැගිටින එක හොඳ පුරුද්දක් තමයි! ඒත් මම නම් පාන්දර නැගිටින්නේ හොඳ පුරුද්දක් අනුගමනය කරන්න ඕන නිසා නෙවෙයි 😀 මොකද උදේ පාන්දර නැගිටලා පිටත් වෙන්න බැරිවුනොත් අතර මඟදී ට්‍රැෆික් වලට අහුවුනොත් ඉස්කෝලේ ගිහිල්ලා හමාරයි! පොත් ප්‍රදර්ශනයට ඉතින් තනියම යන්න බෑනේ. කතා කරා මගේ අතිජාත නේවාසිකාගාර යාළුවෝ දෙන්නෙක්ට. හැබැයි ඒ අය නම් දැනටමත් පොත් ප්‍රදර්ශනේ බලන්න ගිහිල්ලා හිටපු නිසා පොඩි පගාවක් දෙන්න වුනා එක්ක ගෙන යන්න :D. ‍ඉස්කෝලේ ඉවර වෙන බෙල් එක වැදෙනකන් රජ (රාජකීය 😉 ) තුන් කට්ටුව හිටියේ ඉවසිල්ලක් නැතිව.

දුන්නෙන් විද්ද හීයක් වගේ මේ ලැරී… නෑ නෑ වැරදුනා 😀 . ඔන්න මුල ඉඳලා… දුන්නෙන් විද්ද හීයක් වගේ අපි තුන්දෙනා කෙලින්ම පිටත්වුනේ BMICH එකට. ම්… වෙනදා තරම් නම් කට්ටියක් අද පේන්න නම් හිටියේ නෑ. එක අතකට ඒක හොඳයි. නිදහසේ පොතක් තෝරතෑකි කියලා හිතාගෙන ඇතුල් වුනාට පස්සේ කොහෙන් පටන්ගෙන කො‍හෙන් ඉවරකරන්නද කියලා හිතාගන්න බැරිව උහතෝකෝටික ප්‍රශ්නයකට තමයි මුහුන දෙන්න වුනේ. ඉතින් වෙළඳ කුටි තියෙන පිළිවෙළින් අපිත් ඇතුල් වුනා. හප්පේ… බලන්න එපැයි තියෙන පොත් කන්දරාව… පොත් වල සුවඳ දැනෙනකොට නිකන් කරකවලා අතඇරියා වගේ. මොකක් ගන්නද? මොකක් නොගන්නද කියලා හිතාගන්න බැරිවුනා. මෙවර රාජ්‍ය සම්මාන දිනූ නවකතාව වුන අටවක පුත්තු පොත ගන්නමයි ගියේ. ඒත් ‍පොතේ මිල දැක්කාම නම් අදහස ගැන විචිකිච්ජාවක් ඇතිවුනා. වැඩ පොත් වගයක් ගන්නත් තියෙන නිසා, සල්ලි ටික අරපරිස්ස‍මින් වියදම් කරන්න ඕන වුන නිසා, අටවක පුත්තු පොත එක පාරටම ගන්න හිතුනේ නැ. දෙවෙනි වටේදී ගන්නවා කියලා හිතලා ඒ පොත ගන්නවාද?, නැද්ද?, ගන්නවාද?, නැද්ද?  කියලා හිත හිත අනිත් ‍පොත් තෝරන්න ගත්තා. අරිසෙන් අහුබුදු ශූරි‍න්ගේ ඉර හඳ නැඟි රට පොත හෙව්වත් ඒකත් ‍හොයාගන්න බැරිවුනා. සමහර විට මඟ ඇරුනාද මන්දා. ඒ ව‍‍ගේම ගුණදාස අමරසේකර ශුරින්ගේ විල් තෙර මරණය පොතත් හොයාගන්න බැරි වෙච්ච එක තමයි දුක. පොත් ගන්න එක පටන් ගත්තේ භද්‍රජී මහින්ද ගුණතිලක‍ගේ පොතකින්. ඉර හඳ නැඟ රට පොත හොයාගන්න බැරි වෙච්ච නිසාම, ආයේ දෙපාරක් හිතන්නේ නැතිව “ශ්‍රී රාවණ්ණා පුවත – හෙළ යක් පරපුරේ කතාව” කියන පොතින් තමයි වැඩේ පටන්ගත්තේ. ඊට පස්සේ ඇවිදලා ඇවිදලා හොයාගත්තා “ප්‍රතිභා ප්‍රකාශණ” කුටිය. ඒ මොකටවත් නෙවෙයි, මං කැමතිම (මං හිතන්නේ මං විතරක් නෙවෙයි තව ගොඩක් අය කැමති ඇති) පරිවර්තකයාගේ පොත් ඇරගන්න. කොනන් ඩොයිල් විසින්ම ලිව්වේ නැති වුනත් ෂර්ලොක් හෝම්ස් නමට ආසා නිසාම චන්දන මෙන්ඩිස් විසින් රචිත හා පරිවර්තිත “ගින්දර සමඟ සෙල්ලම්” පොතයි, “ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ විශිෂ්ඨ කෙටි කතා – 2 – සොඳුරු සිතුවම්” කියන පොතයි ඇරගත්තා. ඒ වගේම ප්‍රතිභා ප්‍රකාශකයන්ගෙන්ම ඇරගත්තා නැඟී එන නව කතා, කෙටි කතා රචක ලසිත රවීන් උමගිලියගේ අළුත් පොත් දෙකකුත්. ඔය විදිහට වටේම ඇවිදලා මාස්ටර් ගයිඩ් එකෙනුත් වැඩ ‍පොත් ටිකකුත් ඇරගත්තා.

මරු ආතල්ම වැඩේ වුනේ සතර ප්‍රකාශකයන්ගේ කුටියෙදී. එකොළහේ අපිට තියෙන අළුත් සිලබස් එක නිසා නන්නත්තාර වෙලා ඉන්න අපිට ආදර්ශ ප්‍රශ්න පත්‍ර වල අවශ්‍යතාව හුඟක්ම දැනිලා තිබ්බා. සතර කුටියේ ප්‍රධාන දැන්විම වෙලා තිබ්බෙත් අළුතෙන් සාමාන්‍ය පෙළට නිකුත් කරපු ආදර්ශ පොත් ටික ගැනමයි. විද්‍යාව ප්‍රශ්න පත්‍ර පොතේ අවශ්‍යතාවය මට විතරක් නෙවෙයි මගේ යාළුවෝ දෙන්නාටත් දැනිලා තිබ්බ නිසා ගිහිල්ලා මුලින්ම හෙව්වේ විද්‍යාව ප්‍රශ්න පත්‍ර පොත. කෝ! මේක නෑනේ! අයියෝ! වැඩේ කියන්නේ, විද්‍යාව ‍ප්‍රශ්න පත්‍ර පොත විකිණිලා ඉවරයි. ඔන්න ඊට පස්සේ ආපහු සැරයක් අපි තුන්දෙනා දැන්වීම දිහා හැරිලා බැලුවේ දැන්වීමේ නියම අරුත තේරුම් ගන්න. දැන්වීමේ ඉන්නේ අපේ වයසේ සහෝදරියක් වෙන්න ඇති. එයා කවුරු වුනත් කමක් නෑ, විද්‍යාව ප්‍රශ්න පත්‍ර පොත අල්ලගෙන අපේ දිහාට හිනාවෙලා බලාගෙන ඉන්නවා වගේ තමයි පෙනුනේ. ආ…! හරි…! වැඩේ තේරුනා… මෙයා අපිට බයිට් එකට තමයි එහෙනම් මේ හිනා වේගෙන කෝචෝක් පාර දාගෙන ඉන්නේ! එයා මෙන්න මෙහෙම කියනවා ඇති… කියලා අපි තුන්දෙනාටම එක පාර හිතිච්ච එක තමා පුදුමේ!! අපිටත් ඉතින් හරි හිනා!

හූ හූ…! අයියෝ චාටර් ‍නේ! මේ බලනවා ඕයි මට නම් විද්‍යාව ප්‍රශ්න පත්‍ර පොත හම්බවුනා! තමුසෙලා මෙච්චර ගාටලා ගාටලත් පොත හොයාගන්න බැරිවුනානේ! හූ හූ අයියෝ බයිට්!

😀 😀

ඔන්න ඔහොමයි ඉතින් අද දවස ගෙවිලා ගියේ. පොත් අතරේ හිර වෙලා ඉඳලා එළියට ‍එන කොට තමයි ඔරලෝසුව බලන්න මතක් වුනේ! මලා! වෙලාව හතරා මාරා…යි!! එතන ඉඳලා අඩුගානේ පැය දෙකක් වත් යනවා ගෙදර එන්න. කකුලුත් රිදෙනවා. ඒත් ඉතින් කරන්න දෙයක් නෑනේ. කාර්යාල අරින වෙලාව නිසාත් බස් එකේ සීට් එකක් ලැබෙයිද කියලා දෙගිඩියාවන් ගියේ. ඇයි ආරක්ෂක තත්ත්වෙත් හොඳ නෑනේ. පොත් ටික කඳ මළු බැඳගෙන බස් එකේ හිටගෙන යන්න ‍බෑ නොවැ. හොඳ වෙලාවට එකම එක සිට් එකක් ඉතිරිවෙලා තිබ්බා වාසනාවට! ටිකෙන් ටික බස් එක සම්පූර්ණයෙන් ලෝඩ් වෙච්ච විදිය දැක්කාම මට හිතුනේ මේ සීට් එක ලැබුනේ පෙර වාසනාවටයි කියලා. හැබැයි අන්තිමේ බස් එකෙන් බහින්න වුනේ වෙනදා බහින හෝල්ට් දෙකකුත් පහු කරලා. ඇඟිල්ලක් ගහන්න බෑ බස් එකේ සෙනඟ. ඇවිද්ද පය දහස්වටී කියන උතුම් ප්‍රාර්ථනාව හිතේ තියාගෙනම ඉතින් ගෙදරට සේන්දු වෙනකො‍ට නම් කාලා හමාරයි! පරක්කු වෙච්ච නිසා හොඳවයින් බැනුම් ඇහුවා. හැබැයි අම්මා සිංහල ගුරුවරියක් නිසා ගත්ත පොත් ටික පෙන්නලා යන්තම් ෂේප් කරගන්න පුළුවන් වෙච්ච එකත් පූරුවේ පිනක්. නැත්තන් ඇපත් නෑ!

😀 😀

දැන්නම් මාර මහන්සියි. සිදුවීම් ටික අමතක වෙන්න කලින් බ්ලොග් ‍එකේ ලියලා මම එහෙනම් නිදාගන්න යනවා. හෙට ඉස්කෝලේ යන්න උදෙන්ම නැගිටින්න එපැයි ඉතින් 😉 ආ… තව එකක්, කලින් සටහනට ප්‍රතිචාර ඉදිරිපත් කරපු හැමදෙනාටම බොහෝම ස්තූතියි…