ආදරය, රාගය, විවාහය (සහ සංස්කෘතිය)

මේ මාතෘකාව ගැන ලියන්න මම වයස මදිද කියල මම දන්නෙ නැහැ. මම ලියනව. කියවන්නෝ කියවනව. ඉතින් ම‍ගේ වයසේ සුදුසුකම තීරණය කිරීම ඔබේ අතේ.

කෙලින්ම මාතෘකාව යන්න කලින් කතාවට අවශ්‍යකරන පදනම දාලාම කතාව ඉදිරියට අරගෙන යන්නම්. ලංකාව කියන්නෙ විශේෂයෙන්ම සංස්කෘතික රාමුවකින් විශේෂයෙන් කොටුවූ රාජ්‍යයක්. රාජ්‍යයක් ඉදිරියට යාමට, රාජ්‍යයේ ස්ථාවරත්වය ආරක්ෂා කරගැනීමට මේ සංස්කෘතිය කියන රාමුව අවශ්‍යයි. උදාහරණයක් විදිහට ඇමරිකාවටත්, ඇෆ්ගනිස්ථානයටත් ඒ රටටම අනන්‍ය වුන සංස්කෘතික රාමුවක් ගොඩනගාගෙන තියෙනව. ඇමරිකාවෙ නිරුවතින් පෙළපාලි කරොත් හොඳයි, හැබැයි ඇෆ්ගනිස්ථානෙ නිරුවත තියා අඩ නිරුවතවත් බැහැ.

සාමාන්‍යයෙන් ලංකාවෙ පුරවැසියන් විදිහට අපි සමීපවෙලා තියෙන්නෙ ශ්‍රී ලංකාවෙ සංස්කෘතියත් එක්ක. ශ්‍රී ලංකාවෙ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම විකෘති වුන සංස්කෘතියක් කියල පේන්නෙ අපිට ඒ සංස්කෘතිය එක්ක තියෙන බැඳීම නිසා. අනික ඕනෑම රටක සංස්කෘතිය සම්මත කරන්නෙ ඒ රටේ ආගමික පූජකවරුන්, රදළයන් (දේශපාලකයන්) වුනත්. ඒක පොතක පතක ලියැවෙන දෙයක් නෙවෙයි. සංස්කෘතිය සම්මතවෙන්නේ සමාජයේ පුද්ගලයන්ගේ භාවිතයත් එක්කයි.

එතකොට සංස්කෘතිය මිනිසුන්ගේ නිර්මාණයක්. ඒක කාලයෙන් කාලයට වෙනස්වෙනව. සංස්කෘතිය පේන්න තියෙන භෞතික දෙයක් නෙවෙයි. ඒක තියෙන්නෙ විවිධ මිනිසුන් හිතන පතන විදිහෙන්.

එතකොට රාජ්‍යයක් නිර්මාණය වෙන්නෙ එක විදිහට හිතන පතන මිනිසුන්ගෙන් නිසා, මිනිසුන් හිතන පතන ආකාරයේ සංස්කෘතියේ බහුතරයක් සමාන වෙනකොට එතන රාජ්‍යයක් උපදිනවා.

එතකොට ශ්‍රී ලංකාව කියන රාජ්‍යය ඇතුළෙ සංස්කෘතික බිඳීම් හරිම විකෘති සහගතයි.

සංස්කෘතිය ගැන වැල්වටාරම් කියාගෙන ආවෙ, අදාළ තැනට එන්නයි. මේ මාතෘකාව අදාළ තැන වෙන්නෙ; ආදරය, රාගය හා විවාහය කියන තැනයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මේ දේවල් ගැන කතාවෙන්නෙ රහසිගතව, පුද්ගලිකව. එහෙමත් නැතිනම් ‍තරුණයන් අතර ‍මේ දේවල් ගැන කතා නොවෙනා තරම්. තරුණ තරුණියන් බොහෝවිට එකතුවුනාම කතාවෙන්නෙ තමන්ගෙ විරුද්ධ පාර්ශවයේ අයගේ හැසිරීම, ලාලිත්‍ය පිළිබඳව මිසක්, ඒ හැසිරීමෙන් ඔබ්බට යන මේ සංකීර්ණ මාතෘකා ගැන කතා කිරීමට නොපෙළෙඹෙන තරම්.

මූලික වශයෙන් අපි මේ කතාකරන ආදරය (අතුරු කතා: මේ ආදරය, දෙමාපිය-දූදරු ආදරය වැනි දේ සමඟ පටලවා ගත යුතු නැහැ. මේ කතා කරන්නෙ ස්ත්‍රී-පුරුෂ රෝමාන්තික ආදරය ගැනයි) ඇතිවෙන්නෙ දෙන්නෙක්ගෙ පෙනුම මත, කතාබහ කරන විලාශය අනුව වගේ සරල දේවල් වලින්. ‍මම ආදරය
ගැන කතාකරන්නෙ මූලික වශයෙන් සමාජයේ බහුලව පෙනෙන ආදර සම්බන්ධතා පදනම් කරගෙන. ආදරයේ තවත් සංකීර්ණතා තියෙන්න පුලුවනි.  ඒ ගැන කතාකිරීමට මම කැමැත්තක් දක්වන්නෙ නැහැ. (උවමනා කෙනෙකුට කතාකරන්න පුලුවනි) මේ ආදරයට තවත් කල්යද්දි බොහෝවිට එකිනෙකාගේ රුචිඅරුචිකම් අනුව රාගය ලිංගික ආශාවන් එකතුවෙන්න පුලුවනි. ඒ වගේම ලංකාවෙ බොහෝ දෙනෙක් මුලින්ම හිතන දේ තමයි, ආදරය සම්බන්ධතාවකට මුලපුරන්නෙ ලිංගිකත්වය, ලිංගික ආශාවන් මත පදනම් වෙලා කියල, ඒක වැරදියි. මෘදු සිපගැනීම්, සැහැල්ලු බදාගැනීම් (Hugging) වලින් එහාට යන දේවල් තියෙන්න පුලුවනි. ඒත් ප්‍රථමයෙන් ආදරයක් ඇතිවෙන්නෙ එහෙම දෙයක් සඳහා නෙවෙයි. ඔබට එහෙම දෙයක් පිළිබඳ සිතිවිල්ලකින්, එය ඔබට ආදරයක් කියලා හැඟුනොතිත්, ප්‍රවේශමෙන්! ආදරය සහ රාගය දෙකක්!

සරලම උදාහරණය:
ආදරය කියන දේ විකුණන්න බැහැ.
රාගය විකුණන්න පුලුවනි

ඉතින් මේ දෙක දෙකක්.

ආදරය හරහා රාගය ඇතිවීම සාමාන්‍ය දෙයක්. ආදරය හරහා අන්‍යේන්‍ය ආකාර්ශනයක් තුළින් රාගික සිතිවිලි ඇතිවීමට පුලුවනි. ඒකෙ ප්‍රශ්නයක් නැහැ. එහි අතුරු කතා පසුවට!

ආයෙත් සංස්කෘතිය සම්බන්ධවෙන්නෙ මෙතනට, ලංකාවෙ සංස්කෘතික රටාව ඇතුළෙ, මේ දේ ගැන තේරුම්ගන්න තරුණයෙකුට, තරුණියකට අවකාශ හිමිවෙන්නෙ නැහැ. ඒ ගැන ලියවුන පොතක් ‍සාමාන්‍යයෙන් පහළ පන්තියේ, පහළ මධ්‍යම පන්තියේ තරුණ තරුණියකට හිමිවන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් තරුණයන්ට නිසි උපදේශනයක් නැහැ. ඉතින් පුද්ගලිකව මේ අත්දැකීම් වලට එකතුවීමෙන් තමයි, තමන්ට මේ පිළිබඳව‍ තේරුම්ගන්න වෙන්නෙ. ඉතින් එහෙම වෙනකොට කෝච්චිය ගිහින් ඉවරයි. ඒ වගේම, මේ ගැන ඒ අත්දැකීම් ලැබුන අය වුනත් විවෘතව කතාකරන්නෙ නැත්තෙ ඇයි කියන එකවුනත්, සෑහෙන්න ලොකු ගැටලුවක්. ඒ විවෘතභාවය නැතිවෙලා තියෙන්නෙ මේ තියෙන සංස්කෘතික රාමුව නිසාවෙන්.

මනුෂ්‍ය ආදරය ඇතිවෙලා තියෙන්නෙ, තම පරම්පරාව ගෙනියාම කියන ප්‍රාථමික අවශ්‍යතාව ඉදිරියට ගෙනයාමට පදනමක් විදිහෙනුයි. හැබැයි, ආදරය හරහා බැඳීම ඇතිවුනත්, තම පරම්පරාව ගෙනියාමට අවශ්‍ය පාර නිර්මාණය වෙන්නෙ රාගයෙනුයි, ලිංගික ආශාවන් තුළිනුයි. මේක ස්වභාවික දෙයක්.

එතකොට ලංකාවෙ සංස්කෘතියට සාපේක්ෂව ආදරය කරන්න නියමිත වයස වෙන්නෙ පාසළෙන් පිටවුනාම වයසයි. ඒ මොකද, ලංකාවෙ මිනිස්සුන් ආදරය ගැන හිතන්නෙ, ආදරය කරන්නෙ රාගය මූලික කරගෙන කියන මතයත් එක්ක නිසාවෙන්. (ප්‍ර‍යෝගික ලෝකෙදි, 99%ක්ම එහෙමම තමයි) ඒ වුනාට ප්‍රයෝගිකව, ආදර සම්බන්ධකම් පාසල් වයසේම ඇතිවෙනව-නැතිවෙනව. සමහරුන් තමන්ට ආදරයක් නෑ කියා දුකෙන් ඉන්න අතරෙ, සමහරු තමන් ආදරය කියලා, ඇති කරගත්ත බැඳීම නිසා දුක්වෙනව.

ඉතින් විවාහය කියන මාතෘකාවට ඇතුළත්වෙන්නෙ දැන්. විවාහය කියන්නෙ සංස්කෘතිකමය වශයෙන් නීත්‍යානුකූල ඇතිවෙන බැඳීමක්. මේකෙන් ආදරය කරන දෙන්නාගේ එකට ජීවත්වීමේ අයිතින සංස්කෘතිය (aka: සමාජය) විසින් සම්මත කරනව. එතකොට මංගල රාත්‍රිය වැදගත්වෙන්නෙ එතනදි. රාගය හරහා ඇතිවෙන අන්‍යෝන්‍ය ආකර්ෂණය නිසාවෙන් විවාහය ස්ථාවර වෙනව.

ආදරය කරන්න දෙන්නා අතර අන්‍යෝන්‍ය අවබෝධය තිබීම ප්‍රමාණවත්. ඒත්,
(http://kawuluwa.blogspot.com/2010/05/blog-post_04.html ලිපිය සඳහා ප්‍රතිචාරය:)

මෙහෙමයි, ඕකෙ එක එක ‍මනෝවිද්‍යාත්මක, ජීව විද්‍යාත්මක කාරණා නැතුවා නෙවෙයි. විශේෂයෙන්ම ඔය සම්බන්ධයක් තියෙන්න මූලිකවම දෙන්නාගේ අවබෝධයක් තියෙන්න ඕනෙ කියන කතාව මම පිළිගන්නවා වුනත්,

අවුරුදු 10ක් 15ක් ආශ්‍රය කරපු අය කසාද බැඳල, අවුරුද්දෙන් දෙකෙන් දික්කසාද වෙන වෙලාවලුත් තියෙනව.

වයස ගැන මතවාද ගොඩක් හැදිල තියෙන්නෙ ‍මේ ලෝකෙ ආරම්භ‍යේ ඉඳලම එක එක අයගෙ අත්දැකීම්, ආගමික මතවාද සහ එක එක වැඩවසම් වරප්‍රසාද ලත් පැලැන්තියේ (උදා: බමුණන්, රජවරු) අයගෙ උවමනාවට හදාගන්න එක එක මතවාද එක්ක.

ඉතින්,
විවාහය කියන එක සෑහෙන්න සීරියස් දෙයක්. දෙන්නට දෙන්න ජීව විද්‍යාත්මකවත්, මනෝ විද්‍යාත්මකවත් ගැලපෙන්න ඕනෙ.

‍කොච්චර දෙන්නාව තේරුම්අරගෙන තිබුනත් විවාහ‍යේදී ජීව විද්‍යාත්මකව කරුණුත් බලපානව.

උදාහරණයක් විදිහට තමාට වඩා වයසින් වැඩි කාන්තාවක් විවාහයේදී පිරිමියාට වඩා ඉක්මනින් කාන්තාව වයසට පත්වීම නිසා එක එක ගැටලු නිරායාසයෙන්ම ඇතිවෙන්න පුලුවනි. (හැබැයි වයස කොච්චර ගියත්, ඒ ආසාවන්, හැකියාවන් ඒ විදිහට රැක‍ගැනීමේ හැකියාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනව)

ඔය කවුරු බණ දේශනා කරත්, ප්‍රායෝගික ලෝකෙදි නොයෙකුත් ප්‍රශ්න එනව.

ආදරය කියන සංකල්පයත්, විවාහයත් පටලවාගත යුතු නැහැ. විවාහය ගොඩනැගෙන්නෙ ආදරයත් රාගයත් එකතු වෙලා එතනින් තමන්ගෙ පරම්පරාව ඉදිරියට අරගෙන යන්න.

ඒත්, ආදරය කියන්නෙ වෙනම මතවාදයක්.

ඕනෙම කෙනෙකුට ආදරය කරන්න පුලුවනි. ඒත් ආදරයත් රාගයත් එකතුකරගත්තොත්, එතනදි ඒක වෙන්නෙ විවාහවීමේ අපේක්ෂාවත් එකතුකරගෙන නොබිදිය හැකි බැඳීමකුත් එකතුවෙලා.

රාගය අවශ්‍ය වෙන්නෙ විවාහය රැකගන්න.

මේ කරුණු පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂයි. තමන්ට හොඳයි, ගැලපෙනවා කියල හිතෙනවනම්, ඒ ‍දේ කරන්න ඕනෙම කෙනෙකුට අයිතිය තියෙනව.

සංස්කෘතික රාමුවලින් එළියට යෑමේ අවසරය ඕනෑ කෙනෙකුට තියෙනව. මොකද ලංකාවෙ සංස්කෘතිය නෙවෙයි ඇමරිකාවෙ. 🙂


පසු ලිවීම: මේක මාතෘකානුකූල රචනාවක් නෙවෙයි. සිතිවිලි දහරාවක එකතුවක්. 🙂

මැරතන් දිවීම සහ තවත් අතුරු කතා.

කොහොමින් කොහොමින් හරි තුන්වෙනි සිංහල බ්ලොග්මැරතන් ඉසව්වට ලිවිල්ලෙන් සහභාගී වීමට හිටියත් ‍මොකද, හිතේ කිසිම ඒකාග්‍රතාවක් නොමැති වීම සහ මෙවර මැරතන් ඉසව්වට සහභාගි වුනේ මැරතන් මූලස්ථානයේ සිට නිසා වීමත් හේතු කරගෙන මගේ අතින් කිසිම දෙයක් ලියැවුනේ නැහැ. ඒ ගැන බ්ලොග් අඩවියේ කියවන්නන්ගෙන් සමාව ඉල්ලන්නයි මේ ලිපිය විශේෂයෙන් ලියන්නෙ.

මැරතන් ලිවිල්ලට මැරතන් මූලස්ථානයට ගිහින් නිදි මැරුවට මොකද, එතනට එකතුවෙලා හිටපු මලින්ත, කාලිංග, තිළිණ, සූ, බුද්ධික, ඉන්ද්‍රනාම සහ කාලිංග මෙනෙවිය (හෝ මහත්මිය) එක්ක සතුටු සාමිච්චියේ යෙදීමත් එක්තරා ආකාරයක අපූරු අත්දැකීමක්.

(අතුරු කතා: කො‍හොම නමුත් මම ගෙදරින් පිට හිඳීම එක්තරා කෙනෙකුට නම් අපූරු අත්දැකීමක් වුනේ නැහැලු. ඇයත් නිදිමරාගෙන, පැයෙන් පැය නින්දෙන් අවදිවෙමිනුයි ඉඳල තියෙන්නෙ)
මොනව වුනත් මට දැන් වෙරි වගෙයි. වෙරි වෙන්න ‍බොන්නම අවශ්‍ය නැහැ. නිදිමැරුවම හොඳටම ඇති. 🙂 මේ ලිපිය ලියල සෑහෙන්න හොඳ නින්දක් දාන එකයි දැන් මගේ එකම බලාපොරොත්තුව.

කොහොම නමුත් ඊළඟ මැරතන් එකේ හරි ලියන්නයි හිතාගෙන ඉන්නෙ.

‍කො‍‍හොමහරි මේ දවස්වල මගේ හිතට නම් කිසි නිවනක් නැහැ. ඒකම හේතුවක් වෙන්න ඕනෙ මේ කවදාවත් නැතුව බ්ලොග් ලිවිල්ලත් ‍නොලියවෙන්න හේතුව. කොහොමහරි හිත සැහැල්ලුවෙන් තියාගෙන ජීවිතය ගෙනියන්නයි මට ඕනෙ. බලමු. පුද්ගලයෙක් වයසෙන් වැඩිවෙනකොට තමන් මත ගොඩගැහෙන වගකීම් කන්දරාව ගැන තේරෙන්නෙ දැනුයි.

පොඩිකාලෙ ඉක්මනට කාල ලොකු වෙන්න කියල බලෙන් කැවුවෙත් මේ වගකීම් ගොඩ අපිට දැනෙන්න දෙන්නද කියලත් මට හිතෙනව.

ඒ නමුත්, අපිත් හෙන ආසාවෙන් කෑම කෑවෙ ඉක්මනට ලොකු වෙන්න ඇති ඕනෑකම නිසාත්, කවපු අයට වරදක් පටවන්නත් බැහැ.

මට මේ වයසට මෙහෙමනං, මට බය තියෙන්නෙ තව අවුරුදු දහයක් පහළොවක් යද්දි කොහොම වෙයිද කියල.

ඒ වුනාට ඉතින් බයවෙලත් බැහැ නෙව. ජීවිතයට මුහුනදෙන්න ඕනෙ.

සතුටින්. 🙂

අහෝ මැරතන්!‍‍

මැරතන් දිවිල්ල පටන්ගත්තාට මොකද මට තාම ඉරෙන් ඉස්සරහට එක අඩියක්වත් තියාගන්න බැරිවුනා නෙව. මං දැන් මේ ඉන්නෙ මැරතන් මූලස්ථානයේ… මැරතන් මූලස්ථානයට එකතුවෙලා ඉන්න කාලිංග, මලින්ත, තිළිණ, සූ, ඉන්ද්‍රනාම, බුද්ධික කට්ටිය බරටම වැඩ‍‍.‍‍.

ඒ අ‍‍තරෙ මැරතන් දුවන අයගෙ කතා කාමරේට එකතුවෙලා ඉන්න අය බරටම වැඩ පටන් අරගෙන. කොහොම වුන‍ත් මඩ ගැහිලි, වතුර ගැහිලි සහ රේඩියෝවේ උණුසුම් වීම තවත් රෑ වෙද්දි බලාපො‍රොත්තු වෙන්න පුලුවනි.‍

මේ සේරම අතරතුරේ මැරතන් රේඩියෝවට කන්දීගෙන ඉන්න පුලුවනි.

ඊළඟ විනාඩි 15 ඉඳලවත් මොනවහරි ලියන්න බලන්න ඕනෙ! 😀

අවුරුදු මතක

අලුත් අවුරුද්ද ලබන්න තව ඉතින් සුළු වෙලාවක් වෙනකොටත් මට තවමත් ‍අවුරුද්ද ගැන මුකුත් ලියාගන්න බැරිවීම නං ටිකක් කණගාටුවට කරුණක්. මේ දවස්වල ටිකක් ආතතිය වැඩියි. අනේමන්ද ඇයි කියල. අවුරුද්දට ලියන්නෙ මොකක්ද කියල හිත හිත ඉන්නකොට එකපාරම හිතගියේ මීට අවුරුදු ගානකට කලින් සැමරුන අවුරුද්ද ගැන. ශිෂ්‍යත්වය පාස් වෙලා කොළඹ එන්න කලින් තිස්සමහරා‍මෙ ගත වුන කුඩා කාලෙ අවුරුද්ද සැම‍රුනේ පුදුම සැහැල්ලුවක් හිතේ තියාගෙන.

අපේ කාලෙ වෙනකොට සාම්ප්‍රදායික සිංහල ගැමි ක්‍රීඩා නම් බො‍හෝමයක් අපේ අතර තිබුනෙ නැහැ. ඔළිඳ කෙළිය, චක්ගුඩු, එල්ලේ, පංච කෙලිය තිබුනෙ ටීවි එකෙයි පොත් පත් වලයි විතරයි. එල්ලේ ගැහිල්ලට නම් හොඳ ඉඩක් නැති නිසාම ඒක අපේ අතරින් වෙන්වෙලයි තිබුනෙ. කොහොම නමුත් අපේ සෙල්ලම වුනේ ක්‍රිකට්. වෙනද ‍වගේ නෙවෙයි, නොනගතේට හැම වැඩක්ම අතෑරලා ඉන්න වැඩිහිටි අයත්, පොඩි අයත් එක්ක ක්‍රිකට් සෙල්ලමට එකතු වෙන නිසා, එතන සතුටු සාගරයයි!

මේ අතර හිටියා කඩයක අයිතිකාරයෙකුත්. ඉතින් දිනන පිලට තෑග්ග විදිහට ලැබෙන කේක් එක ලැබෙන්නෙ මේ කඩකාරයාගෙනුයි. කොහොමවුනත් පැවැත්වෙන ක්‍රිකට් තරග තුනෙන් පස්සෙ දෙපිල කෙසේ වෙතත්, කේක් කෑල්ල සමසේ බෙදෙනවා. 🙂

අවුරුදු කාලෙට ගෙන්ගෙට යන එකත් එකතු කරේ පුදුම සතුටක්. ගෙන් ගෙට යන එකත්, ගෙදරට තවත් කෙනෙක් එනකොටත් දැනුන සතුට පුදුමාකාරයි.

කො‍හොම නමුත් දැන් අවුරුදු ගානක් ගතවෙලා ගිහින්. පවුලේ තනියම සිටින්නා වීමත්, පාඩම් වැඩවලට, පරිගණකයට සහ ගමෙන් බොහෝ දුර ගෙයක සිරගතවෙලා ඉන්න නිසාත් අවුරුද්ද, “අවුරුද්ද” තරම්ම නොදැනෙන තරම්. ඒ වගේම ආරන්චි විදිහට දැන් තිස්ස ගම් පළාතෙත් අවුරුද්ද ඒ හැටි සැමරෙන්නෙ නැත්තෙ මීට අවුරුදු ගානකට කලින් මගේ මිතු‍රන්ගෙ නෑදැයන් බොහෝ ප්‍රමාණයක් සුනාමියෙන් අන්ත්‍රා වීම නිසාවෙන්. ඒ වගේම ශිෂ්‍යත්වයෙන් සමත් වුන බොහෝ දෙනෙක් දැන් තැන තැන විසිරිලා. කොළඹම ඇවිත් පදිංචි වෙලා කිව්වොත් හරි.

කාලයත් එක්ක සමාජය වෙනස් වෙනවා. ටිකෙන් ටික අපි හුදකලා වෙනව වගෙයි දැනෙන්නෙ. ෆේස්බුක් එකේ යහ‍ළුවෝ දහස් ගණනින් හිටියත්, එකතුවෙලා අවුරුද්ද සමරන ප්‍රීතියක් දැනෙන්නෙම නැති තරම්. කොහොමහරි ඇත්තම කිව්වොත් මම දැන් අවුරුදු පහ හයකින් අවුරුද්දකට නිලා කූරක්, රතිඤ්ඤයක් ආසාවට පත්තු කරලා නැති තරම්. ඒක සෑහෙන්න දුකක්.

මොනව වුනත් තව අවුරුදු දෙක තුනකට පස්සෙ වත් අවුරුද්ද හොයාගෙන යන්න පුලුවන්කම ලැබෙයි. එතකන් බලාගෙන ඉමු! 🙂 කොහත් නිවාඩුවට ගමේ ගිහින් නිසා, කොහෝ සද්දෙත් ඇහෙන්නෙ අපි වගේ ටවුමෙ නතරවුන බිසී කොහෙක්ගෙන් විතරයි. ඒත් ඌට නිවාඩු පාඩුවක් ලැබෙන කලාතුරකින් විතරයි.

ඔහොම තමයි ජීවිතේ… එන්න එන්න සංකීර්ණ වෙනව.

මොනව වුනත්,

ලබන්නා වූ මේ ශ්‍රී සුබ නව වසර සාමය සතුට සෞභ්‍යාග්‍ය පිරි ශ්‍රී සුබ නව වසරක් වෙන්නත්, සිතේ දුක් කම්කටොළු සියල්ල අමතක කරල අලුතෙන් ජීවිතය අරඹන්න සුබ මොහොතක් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනව. අලුත් වෙන්නත්, වෙනස් වෙන්නත් මේක සුබ ‍මොහොතක් කරගන්න. ඉදිරියට එන නව වසර සෑම අතින්ම සාර්ථක කරගන්න අවකාශ ලැබෙන්නත්, ඒ සඳහා අවශ්‍ය ධෛර්යය ලැබෙන්නත් මේ සටහන කියවන ඔබටත්, සකල ලෝක වාසී සියලුම දෙනාටත් සුබ ප්‍රාර්ථනා කරනව.

සුබම සුබ, සුබ අලුත් අවුරුද්දක් වේවා!

මැතිවරණ කතා

ජීවිතේ කුණාට සමය පහු කරගෙන ටිකෙන් ටි‍ක ඉදිරියට ඇදෙන මේ වයසෙදි මට නං ලංකාවෙ සිස්ටම් එක ගැන තියෙන්නෙ පුදුම අප්සට් එකක්. සිස්ටම් එකට අදාල නොවන‍ කෙනෙක් සිස්ටම් එකේ බලෙන් හිරකරල තියෙනකොට දැනෙන හැඟීම විස්තර කරන්න අමාරුයි. මෙවර මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කරපු අති බහුතරයකගේ තත්වයත් එහෙම වෙන්න ඕනෙ.

වෙනද ඡන්ද ප්‍රතිඵල බලන්න රෑ නිදිවරාගෙන ඇස් ඇරගෙන ඉන්න මම, මේ පාර ඡන්දෙදි රූපවාහිනිය ඉස්සරටවත් නොගිය එක මට මම ගැනම ප්‍රශ්නාර්ථයක් මතුකරපු දෙයක්. මොනව වුනත් මෙවර ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානය හිමිකරගත් මේ දේශපාලනික ජයග්‍රහණය අනෙකුත් පක්ෂ වලට සාපේක්ෂව අති විශිෂ්ට ජයග්‍රහණයක්. දේශපාලන කටයුතු වි‍ශ්ලේෂණය හරියට සිදුනොවුනොත් වෙන්නෙ ලොකු අඩුපාඩුවක්. මේ මැතිවරණය “සාධාරණ හා නිදහස් මැතිවරණයක්” වුනා නම්, මේකෙන් පේන්නෙ ශ්‍රී ලංකාවෙ බහුතර ජනතාව පවතින ක්‍රමයට විරුද්ධ බවත්. ආණ්ඩුවට ඡන්දය දුන් අය පැවති ආණ්ඩුවට ඡන්දය ලබාදෙන්නේ යුධ ජයග්‍රහණයත්, පාරවල් කාර්පට් වීම නිසා සහ ගුවන් පාලම් ඉදිවන නිසා බවත්, ගුවන් තොටුපලවල් හා වරායවල් ඉදි‍වීමේ අපේක්ෂාවෙනුත්, රටේ “භෞතික” දියුණුව පිළිබඳ පැහැදීමෙනුත් බවයි පේන්න තියෙන්නෙ.

කිසිම පක්ෂයකට ඡන්ද නොදුන් අති බහුතරයෙන් පේන්නේ ‍තමන් මේ ර‍ටේ ආණ්ඩුව කෙරෙන විදිහට ඇති විරුද්ධත්වයත්, ප්‍රජාතන්ත්‍රවාදය හා කතාකිරීමේ නිදහස තමන්ගෙන් ගිලිහෙන බව තමන්ට දැනෙන නිසා බවත් කියන්න පුලුවනි. විශේෂත්වය, තමන් විරුද්ධ පක්ෂ එකක්වත් විශ්වාස නොකරන බව පෙන්වීම.

ජනාධිපති ඇතුළු එක්සත් ජනතා නිදහස් සංධානය මේ නිතරගයෙන් ලබාගත් ජයග්‍රහණය රටේ දියුණුවටත්, පශ්චාත් යුධ වාතාවරණය යටතේ අස්ථානගත වුන ප්‍රජාතන්ත්‍රවාදය හා කතාකිරීමේ නිදහස නැවත ස්ථාපනය කිරීමට කටයුතු කරනවානං ඒක වැදගත්. ටිකෙන් ටික රජ‍යේ මාධ්‍ය ග්‍රහනය ලිහිල් කිරීමටත්, ආණ්ඩුව කොම්පැණියක් නොවී (රියල්) ආණ්ඩුවක් කිරීමටත්, කටයුතු කරනවානං වැදගත්.

පෙනෙන විදිහට එක්සත් ජාතික පක්ෂය (/පෙරමුණ) සහ තුන්වෙනි පාර්ශවය වන ජනතා විමුක්ති පෙරමුණ (aka: ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානය) තමන්ගෙ දේශපාලනික ගමන්මග අර්බුදකාරී තත්වයකට රැගෙන ආ බවයි පේන‍්නේ. ‍මොනදේ වුනත්, ශක්තිමත් විපක්ෂයක් ‍නොතිබීමේ අවාසිය ජනතාවටයි!

දැන් ඉතින් අපට බලාපොරොත්තු විතරයි. මේ වගේ තත්වයක් තුළ ජනතාව තවත් ආත්මාර්ථකාමී වීම අහඹු තත්වයක් නොවේ.

අතුරු කතා: මෙවර මහ මැතිවරණයෙන් පාර්ලි‍මේන්තුවට තේරී පත්වූ අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයාට සුබ පතන්නට මෙය අවස්ථාව කරගන්නවා. ඒ බ්ලොග් රචකයෙක් පාර්ලිමේන්තුවට පත්වීම නිසාවෙන්!

ආනන්දය…

පසුගිය දිනෙක රාජකීය විද්‍යාලය වෙත කඩාවැදුනු ආනන්ද විද්‍යාලයීය (ශිෂ්‍ය) මැරයන් සිය ආනන්දය සපුරාගත්තේ මේ ආකාරයෙන්. තත්වය‍ ගෞරවනීයව සමනය කිරීමට පැමිණි රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායකයන් දෙදෙනෙකුට බරපතළ තුවාල කරල තමන්ගේ ආනන්දය සපුරා ගත් ආනන්දයීයන් ගැන අපිට තියෙන්නෙ පුදුම කණගාටුවක්. සැමට සහෝදර ප්‍රතිපත්තිය අනුගමනය කරන රාජකීය විද්‍යාලය, ආනන්ද මල්ලිලාගේ මේ දඩබ්බර වැඩේ ඉවසලා මල්ලිලාට සමාව දීමයි කළ යුත්තෙ. අපි-අපි වගේ වෙලා, ආනන්ද වගේ නොවී ඉමු කියලයි කියන්න තියෙන්නෙ. ආනන්ද විද්‍යාලයට එරෙහිව අවි එසවීමෙන් වැලකෙන්න. රාජකීයත්වය රැකගන්න. රාජකීයයන් රාජකීය සම්ප්‍රදාය රකින්නේ අතින් පයින් නෙවෙයි. ආනන්ද විද්‍යාල‍‍යේ මේ ක්‍රියාකාරීත්වයට එරෙහිව ලෝක ප්‍රජා‍වගේ ඇස් අරින්න නම්, හැමවෙලාවෙම සාමකාමීව කටයුතු කරන්න. මේ වේලාව නිහඬව සිටි අප හැමදෙනාගේම හඬ අවදි කරන්නයි. ආනන්ද විද්‍යාලයට වඩා බුද්ධිමත්ව කටයුතු කරමු. ශ්‍රේෂ්ඨ ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍යයින්ට නම් අපිට කියන්න තියෙන්නෙ බොහොම කණගාටුයි කියල විතරයි. මේක හරියට උඩ බලාගෙන කෙල ගහගත්ත වගේ වැඩක්.

ආනන්දය ආනන්දනීයයි…

තවත් සියදිවිනසාගැනීමක්!

වෙනද වගේ සංගම් වැඩවලට පන්තියේ වැඩ අතපසු කරගන්නෙ නැතුව හොඳ ළම‍ය වගේ කලාතුරකින් පන්තියට වෙලා ඉන්නකොට, පන්තියේ යාළුවෝ කතා වෙන දෙයක් එක පාරටම කනට වැටුන. කනට වැ‍ටුනෙ නම් එච්චර සුබ ආරන්චියක් නෙවෙයි. මේක තවත් සිය දිවි නසාගැනීමක්!

සියදිවි නසාගෙන ඇත්තේ පාසල් ශිෂ්‍යයෙක්. නම ගම වයස මම කියන්නෙ නම් දන්නේ නැහැ. නමුත් මරණයට මුල්වූ සිද්ධිය, එහෙමත් නැත්නම් සියදිවි නසාගැනීමට හේතුවක් වුන කාරණය නම් මගේ යාළුවන්ගේ කතාබහෙන් දැනගන්න ලැබුන. ඒ කතාව කෙටියෙන් කිව්වොත්; තමන් ආදරය කරපු තමන්ගේ පෙම්වතිය. තමන්ව අතඇරලා තමන්ගේ හොඳම යාළුවෙකුගේ පෙම්වතිය වීමයි මේ අවාසනාවන්ත සියදිවි නසාගැනීමට හේතුව.

පහුගිය වර්ෂයේ එක්තරා විශේෂ සහගත සියදිවි නසාගැනීමේ සිද්ධියකින් පස්සෙ, ජනමාධ්‍යවලට විකිණීමට සුදුසු මට්ටමෙන් ඉහළ ගියපු ප්‍රවෘත්ති ඉල්ලුම වුනේ සියදිවි නසාගැනීම් පිළිබඳ ඉල්ලුම. සියදිවි නසාගැනීමක් පිටිපස්සෙ බොහෝ සංවේදී කතා රැසක් ‍ගොනු වෙලා තියෙන නිසා තමයි, බොහෝ දෙනා නිරායාසයෙන්ම මේ වගේ ප්‍රවෘත්ති පිළිබඳව වැඩි උනන්දුවක් දක්වන්නට ඇත්තෙ.‍ කොහොම වුනත්, මනෝවිද්‍යාත්මක සාධක මත සියදිවි නසාගැනීම් පිළිබඳ ප්‍රවෘත්ති දැන් වාර්තා වෙන්නේ නැහැ.

කොහොමහරි තවමත් සියදිවි නසාගැනීම් වෙනව. ඒක තවත් වැඩිවෙන ප්‍රතිශතයක් මිසක්, අඩුවෙන ප්‍රතිශතයක් ගැන නම් හිතාගන්න බැහැ. සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය අතින් ඉහළම රට ජපානය. ළඟදි නිකුත් වුන “ත්‍රී ඉඩියට්ස්” චිත්‍රපටිය යටින් යන්නෙත් සියදිවි නසාගැනීම පිළිබඳ කෙරෙන වි‍වේචනයක් හරහා. සියදිවි නසාගැනීම් සියයට සියයකින් නවත්වන්න නම් බැරිවෙයි. ඒත් අවාසනාවන්ත සියදිවි නසාගැනීම් එකක් දෙකක් හෝ නවත්වාගන්න හැකි‍වුනොත්, මේ ලෝකය තවත් ලස්සන වෙන්න පුලුවන්.

මීට කාලයකට පෙර සිසු සිසුවියන් කණ්ඩායමක්ම සියදිවි නසාගත්තේ තම ගුරුවරයා විසින් තමන්ගේ නිවෙස් වලට තමන්ගේ පෙම් සම්බන්ධාව එළිදරව් කියනවා කෙ‍රුනු තර්ජනය උඩ. සියදිවි නසාගැනීම් සඳහා මුල් වෙන ප්‍රධානම සාධකය අද ආදරය කියන මාතෘකාව වෙලා.

ආදරය සුන්දර නම්, ඇයි ආදරය නිසා සියදිවි නසාගන්නෙ?

මේක බරපතළ කාරණයක්. ආදරය තරම් දරුණුවට දැනෙන තවත් දෙයක් නැති බව මමත් පිළිගන්න කාරණයක්. මමත් මේ වෙනකොට පෞද්ගලිකව සමහර දේවල් ගැන ගොඩක් හිතන්න බලන්න පුරුදු වෙලා තියෙන කෙනෙක්. ආදරය සුන්දර නිසා, ආදරය නිසා සියදිවි නසාගැනීමට පෙළබෙන්නෙ, ඒ ආදරයේ සුන්දරත්වය තමන්වෙත අහිමි වීමේ විරහවෙන්ද? තමන්ට තමන් පිළිබඳ අවතක්සේරුවක්, එහෙමත් නැත්නම් තමන්ගේ හිත ඇතුළෙ විශාල රික්තයක් නිර්මාණය වෙලා, ඒ රික්තයේ පුපුරායාමක් විදිහට මේක දකින්නත් පුලුවන්.

තමන් ආදරය කරන්නේ සාපේක්ෂව කියන කාරණය මම බොහෝ විට කියල ඇති. ‍ඉතින් තමන් ආදරය කරන කෙනාගේ සිතැඟි තේරුම්ගෙන ඇයට හෝ ඔහුට කැමති තෝරාගැනීමක් කරගැනීමට ඉඩදීම උපේක්ෂාවෙන් භාරගැනීමට අර මුලින් කියපු කතා නායකයාට හැකියාවක් තිබුනානම්, ඒ අවාසනාවන්ත මරණය නවත්වාගැනීමට හැකියාව තිබුනා වෙන්න පුලුවන්. ඒත් අපි කියන තරම් මේ කාරණය ලෙහෙසි පහසු කාරණය නෙවෙයි. හුදෙක් ආදරය, බොහෝවිට ආත්මාර්ථකාමය වෙන්නත් පුලුවන්. මේ ආත්මාර්ථකාමය මගේ, ඔබේ කාගෙහරි හිතක හොර රහසේ සැඟවිලා ඉන්න පුලුවන්. අපි මොනව කිව්වත්, අපි පෘතග්ජන මිනිස්සු.

තවත් දෙයක්, බොහෝ දෙනෙක් ආදරය කළත්. ආදරයේ සොබාවික නීති පද්ධතිය අඳුනගෙන ඉන්න එක වැදගත්. ඉතින් මේ දේවල් අපේ පාසලේ සිලබස් එකේ නැහැ. තියෙන තරගකාරී සමාජය ඇතුළෙ මේ දේවල් අඳුරගන්න මටත් බැරිවෙලා තියෙනව. මොනදේ වුනත්, ඔබ ආදරය කරන කෙනා එක්ක විවෘතව කතා කරන්න. ආදරය කරන කෙනා අඳුරගන්න. සමහර විට ඔබේ ආදරය අවුරුදු 5ක් 10ක් වෙන්නත් පුලුවන්. ඒත් අපි නොදන්න පැති ගොඩක් තියෙන්න පුලුවන්. ‍බොහෝවිට වර්තමානයේ පෙනෙන දෙයක් තමයි අවුරුදු ගාණක් පෙම් සම්බන්ධතා පවත්වාගෙන ඉඳල, විවාහ වෙලා ටික දවසකින් තමන්ගෙ විවාහ ජීවිතය කටුගාන අය.

ආදරය හා ලිංගිකත්වය කියන්නෙ සෑහෙන සීරියස් දෙයක්. අපේ වැරදි ගොඩක් තියෙනවා වෙන්න පුලුවන්. ඒ වැරදි අවබෝධ කරගෙන ඉදිරියට යන්න. කවදාවත් තමන්ගෙ ගමන සියතින් නසාගන්න උත්සාහකරන්න එපා. පුලුවන්තරම් ඔබේ යහළුවන්, මිතුරු මිතුරියන්, පෙම්වතා හෝ පෙම්වතිය එක්ක ඇතිතරම් කතාකරන්න. ප්‍රශ්න විසඳගන්න. තත්වය දරුණු නම් හෝ පාලනය කරගැනීමට නොහැකි නම් කරුණු අවබෝධයෙන් යුතුව දෙපාර්ශවයම සතුටෙන් වෙන්වෙන්න. හැබැයි, අමතක කරන්න එපා! තමාට තමාවත් විශ්වාස කරගන්න බැරි ලෝකයකයි අපි ඉන්නෙ.

විශ්වාසය ගැන අතුරු කතාවක් මේ මාතෘකාව ඇතුළටම ගේන්නම්. කවදාවත් ජනමාධ්‍ය විශ්වාස කරන්න එපා. විශේෂයෙන්ම ලංකාවෙ ජනමාධ්‍ය. කවුද ඇත්ත කියන්නෙ, කවුද බොරු කියන්නෙ කියල තේරුම්ගන්න බැරි ලෝකයක් මේක. එහෙම කවුරුවත් තේරුම්ගන්න බැරිවෙන ලෝකයක ඉන්න අපි, සියදිවිනසාගන්නේ අපිට කවුරුවන්වත් විශ්වාස කරන්න බැරි නිසාද? ලෝකෙ අපිට විශ්වාස කරන්න පුලුවන් කවුරුත්ම නැද්ද?

අපි අසරණයි.

ගෝලීය උණුසුම

මෙච්චර කල් මට පෞද්ගලිකව නොදැනුන දෙයක් දැන් දැනෙන්න පටන් අරගෙන. ඒ මොකක්වත් නෙවෙයි. ගෝලීය උණුසුම. ගෝලය කෙසේවෙතත්. ගෝලය මැද්දෙ පුංචි (අ)මුතු ඇ‍ටේ නම් මේ දවස්වල විඳින්නෙ පුදුම පීඩාවක්. මේ තත්වෙ දිගටම තිබුනොත් නම්, මැතිවරණ උණුසුම කෙසේවෙතත්. කට්ටිය ගෝලීය උණුසුමෙන් හෙම්බත්වෙයි කියලයි මට නං හිතෙන්නෙ.

වැඩවසම් යුගයෙන් පස්සෙ එන කාර්මික විප්ලව යුගයෙ අවුරුදු 200 පහුකරගෙන එනකොට අපි හැමෝම ආතතියෙන් කඩා වැටිල. සල්‍ලි පස්සෙ දුවගෙන යන සමාජ ක්‍රමයක් ඇතුළෙ පරිසර පද්ධති වලට ඒක සෑහෙන්න බලපෑවෙ නොමිලේ සොබාදහමෙන් ලැබෙන ගස්, වැල්, ගල්, මුල්, මල්, තෙල් මේ හැමදෙයකටම ආර්ථික වටිනාකමක් එකතුවුන නිසා. ලොකු ලොකු ඉඩම් එකතුකරගත්ත අයට පස්සෙ කාලෙ ආර්ථික වශයෙන් සෑහෙන්න වාසියි!

මේ අවුරුදු දෙසිය ගාණ ඇතුළෙ පරිසර සම්පත් සීඝ්‍ර වශයෙන් මුදල් බවට පරිවර්තනය වෙලා වාෂ්ප වේගෙන යනකොට, බහුතරය‍‍කගෙ ඔළුවෙ මේ සම්පත් රැකගන්නෙ කොහොමද කියල කිසීම හැඟීමක් තිබුනෙ නැහැ. භෞතික දියුණුව සියයට දාහකින් අඛණ්ඩව වර්ධනය වෙනකොට ඊට ප්‍රතිලෝමව ආධ්‍යාත්මික දියුණුව පාරිසරික බැඳීම් පද්ධතිය සියයට දස දහසකින් කඩාගෙන වැටෙන්න පටන්ගත්ත.

පරිසරය සමඟ බැඳුන විශිෂ්ට ජන කොට්ඨාශ වුන මායාවරු, රතු ඉන්දියන්වරු සහ ඕස්ට්‍රේලියානු ඇබරින්ජියානුවන් සමූල ඝාතනය කරල ඔවුන්ගෙ නිජ භූමි අයිතිකරගත්ත සුදු ජාතියන්, දැන් ඉන්නෙ සෑහෙන්න දියුණු මට්ටමක. ඊට පස්සෙ ඒ සුදු ජාතීන්ට තමන්ගෙ පුද්ගල ශ්‍රමය අලෙවි කිරීමේ කඩිසර දක්ෂයින් වුන ජපානය තවත් ඉහළ තැනක. ඒත් ලංකාව කියන්නෙ කිසිම විදිහකින් ක්‍රමානුකූලව භෞතික දියුණුවක් අත්පත්කරගත් රටක් නෙවෙයි. දියුණුව අතින් අපි සෑහෙන්න පිටිපස්සෙන් වගේම, පාරිසරික අතිනුත් අපිට පේන්න තියෙන දියුණුවක් නැත්තෙ ගෝලීය උණුසුම හා සමගාමීව ඉහළ යන මැතිවරණ උණුසුමේ අශෝභනම ප්‍රතිඵලයක් වෙන ඡන්ද පෝස්ටර් කටවුට් වලින් පිරිච්ච තාප්ප දැක්කාම. ඒක තනිකරම අපේ හිත්වලට ගෙන‍එන්නෙ මානසික අසහනයක්. ඒකත් එක්තරා ආකාරයක පාරිසරික දූෂණයක්. කෙලින්ම කිව්වොත් සොබාදහම් මාතාව අතවරයට ලක් වෙලා ඉවරයි!

ගෝලීය උණුසුම ඉහළ යාම පිළිබඳව සෑහෙන්න කරුණු කාරණා තොගයක් තියෙනව. ඒව එකින් එක විස්තර කිරීම අවශ්‍ය නැහැ. පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනී සහ අන්තර්ජාලය වගේ මාධ්‍යවලින් ‍පොඩ්ඩක් හොයල බැලුවොත් සෑහෙන්න තොරතුරු දැනගන්න පුලුවන් වෙයි. සාමාන්‍යයෙන් මම කතාකරන්නෙ වල්-පල් නෙව. ඉතින් අපි ටිකක් වල්පල් කතාකරමු.

මේ දවස්වල ඡන්ද උණුසුමත් එක්ක ‍ගෝලීය උණුසුම ඉහළ යනඑක ඉස්සරහට සෑහෙන්න බලපාන කාරණයක්. උණුසුම ඉහළ යාම නිසා සාමාන්‍ය මිනිස්සුන්ගෙ ලේ රත්වෙන එක ස්වභාවිකයිනෙ. මේ ලේ රත්වෙන උණුසුම පිටකරගන්න බොහෝ විට උත්සාහ කරන්නෙ ගැටුම් වලින් බව පේන්න තියෙන කාරණයක්. ඉතින් ඡන්ද උණුසුමත් එක්ක මිනිස්සුන්ගෙ ලේ රත්වෙන එකත්, මේ ගෝලීය උණුසුම වැඩිවෙනකොට ඒ රත්වීම දෙගුණ වීමත් නිසා අපිට ඉස්සරහට ගැටුම් වලින් පිරුණු ලංකාවක් දකින්න ලැබෙයි කියල තමයි අපිට අනාවැකි කියන්න පුලුවන්.

එහෙම නොවෙන්න නම් කරන්න දේවලුත් නැතුවා නෙවෙයි.

යන යන තැන ජංගම නාන තටාක ගෙනියන එක ඇඟට ගුණයි. මොකද එතකොට පුලුවන් තමන්ගෙ ජනතාව ඒකට බස්සලා පවත්වන දේශන පවත්වගෙන යන්න. ඒ වගේම ජනතාවට ටවල් එකක් දීල, ගුවන් යානා මඟින් වතුර ඉහින එකත් නරකම නෑ. මොකද ජනතාව කූල් ඩවුන් එකේ තියාගන්න එකයි වැදගත්. නැතිනම් ලේ කුපිත වෙන ජනතාව මැතිවරණ වේදිකාව උඩට කඩාගෙන පනින්න පුළුවන්! කවුරුහරි ප්‍රතිවාදියො කැති පොලු මුගුරු අරගෙන ආවොත් ගහගන්න යන්න එපා. කරන්න තියෙන්නෙ නාවන එකයි. මේකට අපේ පොලීසිය ගාව හොඳ උපකරණයක් තියෙනවා නෙව. අර අපේ කැම්පස් අයියල පාරට බැහැල උද්ඝෝෂණය කරනකොට විදින්නෙ, අන්න ඒක මේ ගෝලීය උණුසුම ඉහළ යාමත් එක්ක පොලීසියෙන් ක්‍රියාවට නැගුන හොඳ අදහසක් කියල තමයි සුදාරකගෙ පුංචි මොල ගෙඩියට තේරෙන්නෙ.

‍මේ දේශපාලන වසන්තය නිසා කට්ටියගෙ මඩ ප්‍රහාර සැලකිය යුතු මට්ටමින් ඉහළ යනකොට, ඕනෑම දේශපාලන පක්ෂයක ඉන්නව රෙදි හෝදන ‍කෙනෙක්. ඉතින් මිනිහට ගජ වාසි. රෙදි හෝදනව කියන රාජකාරිය හැමෝටම කරන්න බැහැ. පොඩ්ඩ වැරදුනොත් ඉතින් මඩ නාගෙන තමයි ගෙදර යන්න වෙන්නෙ. ඉතින් එහෙව් එකේ මේ ගෝලීය උණුසුමෙන් හොඳට ප්‍රයෝජන ගන්න පුලුවන්. රෙදි හෝදලා ඉක්මනට වේලගන්න පුළුවන් නිසා ආයෙත් දේශපාලකයින්ට මහජනතාව ඉදිරියේ පාරෙ බැහැල යන්න පුලුවන්.

ඉතින් රෙදි හෝදන්නන්ට ජයවේවා!

ප. ලි: ගෝලීය උණුසුම ගැන විකීපීඩියාවෙන් කියවන්න අමතක කරන්න එපා!

3 IDIOTS | DON’T BE STUPID! BE AN IDIOT!

මේක සෑහෙන්න කලින් ලියන්න හිටපු ලිපියක්. ඒ වුනාට දැන් වුනත් ඒ ලියමනට ප්‍රමාද නැහැ කියලයි හිතුනෙ. මතකයට නැගෙන විශේෂ දවසක් වුන ඒ දවසෙ වි‍ශේෂ සිද්ධියකින් පස්සෙ මමත්, තවත් අපේ ගැන්සියේ කිහිපදෙනෙක් එකට ‍එකතු වුනේ චිත්‍රපටියක් බලන්න යන්න. සාමාන්‍යපෙළ විභාගය ලියපු අන්තිම දවසෙ රබ් නේ බනා ඩි ජෝඩී චිත්‍රපටිය බලන්න එකතුවුන අපේ නේවාසිකාගාරයේ ගැන්සිය තවමත් තැන තැන චිත්‍රපටි බලන්න තැන තැන එකතුවෙනව. මේකත් ඒ ‍වගේ අවස්ථාවක්.

චිත්‍රපටිය බලන්න යනකොට මැජෙස්ටික් සිටි ‍සිනෙමා එකට සෑහෙන්න පෝලිමක්. චිත්‍රපටිය ප්‍රදර්ශනය ආරම්භ කරල සැලකිය යුතු සෑහෙන්න කාලයක් ඒ වෙනකොට ගතවෙලා තිබුනත්, තවම චිත්‍රපටියෙ උණුසුම නොගිහින් තිබීම පිළිබඳව අපට දැනුනෙ පුදුමයක්. සෑහෙන්න වෙලාවක් පෝලිමේ රැඳුන අපි, අන්තිමේ තදබදය අස්සෙ ඇතුළට ගියේ චිත්‍රපටිය බැලීමේ පුදුම ආශාවකින්.

අමීර් ඛාන් නළුවෙක් විදිහට අපේ ජීවිත වලට සෑහෙන්න බලපෑම් කරපු කෙනෙක්. ඒක හරි පුදුමාකාර දෙයක්. චිත්‍රපටි වලට සෑහෙන්න ‍ලොකු බලපෑමක් මිනිස් ජීවිත වලට කරන්න පුලුවන්. සිතිවිලි ආකල්ප වෙනස් කිරීමේ හැකියාවක් අපිට තියේනම්, අපිට සෑහෙන්න වෙනසකට මුල පුරන්න පුළුවනි. වෙනසක් තමයි වැදගත්. අමීර් ඛාන් දිහා ආපස්සට හැරිල බැලුවොත්, අමීර් ඛාන්ගෙ රංගනය ඉදිරිපත් වුන මෑත චිත්‍රපටි පෙළගැස්ම සැලකිල්ලට අරගත්තොත්, පිළිවෙලින් මංගල් පාණ්ඩේ, ‍රංග්දෙ බසන්තී, ෆනා, තාරේ සමීන් පර්, ගජිනි. මේ චිත්‍රපටි අතරින් නැවත නිෂ්පාදනයක් වෙන ගජිනි චිත්‍රපටිය මඳකට අත්ඇරියොත් ඉතිරි හැම චිත්‍රපටියකම කතා තේමාවන් අති‍ශයෙන්ම සුවිශේෂීයි. ඒ අතරෙන් රං‍ග්දේ බසන්තී චිත්‍රපටිය සුවිශේෂයි. ගජිනි චිත්‍රපටිය ගත්තොත් චිත්‍රපටියේ කූටප්‍රාප්ති දර්ශනය එහෙම නැතිනම් climax එක, අමීර් ඛාන්ගේම රචනයක්. ඒක දමිළ චිත්‍රපටියට වඩා වෙනස්.

‍‍අමීර් ඛාන් ගැන අතිරේක විස්තරයක් ගෙනාවෙ චිත්‍රපටියට ඇතුළත්වෙන්න පාර හදාගෙන. කලින් රඟපෑම්වල අපූර්වත්වය දන්න නිසාම. අමීර් ඛාන්ගේ චිත්‍රපටියක් අතඅරිනවා බොරු! ඒකයි ආයෙමත් සැරයක් චිත්‍රපටිය බලන්න ගියෙත්!

වැඩවසම් ක්‍රමයයි, වර්තමාන ක්‍රමයයි අතර වෙනසක් නැහැ කියල තේරුම්ගියෙත් ‍මේ චිත්‍රපටිය බලලම තමයි. ඒක සංකීර්ණ කතාවක්. කෙටියෙන් කිව්වොත්… වැඩවසම් ක්‍රමය ඇතුළෙ කෙනෙක්ගෙ උපතින් කෙනෙකුගේ කුලය තීරණය වුනා. රැකියාව කුලය මත පදනම් වීම නිසා, කෙනෙක් කරන්නෙ තමන්ට කරන්න තියෙන දේ මිස, තමන්ට ඕනෙ දේ නොවෙයි. අලුත් ක්‍රමයත් වැඩවසම් ක්‍රමයට අලුත් ඇඳුම් ඇන්දවීමක් විතරයි. ඒක ටිකක් වැඩවසම් ක්‍රමයට වඩා සංකීර්ණයි. උපතින් මඟපෙන්වන්නෙ ඉංජිනේරුවෙක් හෝ වෛද්‍යවරයෙක් වෙන්න විතරයි. ඒක ලංකාවෙ විතරක් නෙවෙයි. තවත් තැන් වල එහෙමමයි. ඒ අතින් බැලුවාම ඒක තමයි හැමදාටම ගැලපෙන ඇත්ත. ඒක ගැනයි අපි මෙච්චර වදවෙන්නෙ. නිව්ටන්ගෙ තියරි වගේ, ලෝකය කැරකෙන්නෙ අපිට තේරෙන්නෙ නැති ක්‍රමයක්, සිස්ටම් එකක් ඇතුළෙ. ඉතින් එහෙව් එකේ ‍ඒක වෙනස් කරන්න වෙරදරන කාලය හිත සතුටින් ජීවත් වීම, ක්‍රමය වෙනස් වීම නිසා සිහින කඩාගෙන බිම ඇදවැටීමෙන් ඇතිවන සමාජ කලකිරීමට වඩා හොඳයි කියලයි එක වෙලාවකට හිතෙන්නෙ.

කතා කරන්න පටන්ගත්තෙ ත්‍රී ඉඩියට්ස් චිත්‍රපටය ගැන. තමන්ගෙ ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කරගන්න ඉංජි‍නේරු පීඨයට එන දෙන්නෙකුට. අපූරු කාමර සගයෙක් හම්බවෙනව. ඒ රැන්චෝ. යාලුවෝ දෙන්නාගෙ නම් කිව්වොත්, එක්කෙනෙක් ෆර්හාන් කුරේෂි. අනිත් කෙනා රාජු රස්තෝගි. මේ තුන්දෙනාගෙ චරිත වලට පණ පොවන්නෙ රංග්දේ බසන්ති චිත්‍රපටියෙදි මුනගැහුන යාළුවෝම තමයි. ඒ අමීර් ඛාන්, මාධවන් ‍වගේම ෂර්මන් ජෝෂි. තිරයෙ විවේක කාලයෙන් පස්සෙ ඇඟටයි හිතටයි දැනෙන්නෙ කම්පනයක්! ඒ කම්පනය දැනෙන්න නම් චිත්‍රපටිය බලන්නම ඕනෙ.

චිත්‍රපටය බොලිවුඩ් විලාසිතාවේම චිත්‍රපටයක් වුනත්, ඇතුළෙන් අපට නොදැනී ගලාගෙන යන කතාව විශ්වීයයි. සමහර වෙලාවට අපි හිනාවුනේ අපි අපිටම. අපි හිනාවුනේ නවකවදයට වෙන්න පුලුවන්. අපි හිනාවුනේ මොකක්හරි රඟපෑමකට වෙන්න පුලුවන්. ඒත් ඒ හිනාවුනේ අපි අපිටමයි.

චිත්‍රපටියෙ තියෙන්නෙ හිනාව විතරක් නෙවෙයි. කටේ හිනාව පුරවගෙන ඉදිද්දි එකපාරටම මුළු හිනාවම අපෙන් ඈතට අයින් කරල අපි හිනාවුනේ අපිටම කියල පෙන්නනව. කවදාවත් ප්‍රශ්න වලින් පැනල යන්න එපා. All Is Well කියල  හිතාගන්න. තමන්ගෙ හදවතට ඒක දැනෙන්න දෙන්න. එතකොට හැමදේම හරියාවි.

‍මේ චිත්‍රපටිය අපි විතරක් බලල ‍තේරුමක් නැහැ. අපෙ අම්මල තාත්තලාට මේව පෙන්නන්න ඕනෙ. ඒත් ඒ අයට කෝ මේව බලන්න වෙලාවක්?

මේ තියෙන්නෙ 3 IDIOTS චිත්‍රපටයේ වීඩියෝ කිහිපයක්. වෙබ් පිටුව මත පෙන්වීමේ හැකියාව නම් නැතිකරල. ඒක නිසා ගිහිල්ලම බලන්න වෙනව. බැලුවා කියල පාඩුවක් නම් නෑ!

තවත් වීඩියෝ මෙතැන තියෙනවා – http://www.youtube.com/user/3idiots

ජීවිතය, ආදරය, මිත්‍රත්වය, දෙමව්පිය දූදරු බැඳීම්, වගකීම් ගැන නිදහසේ කතාකරන මේ චිත්‍රපටිය කවදාවත් මඟහරින්න එපා. තියෙන තැනක් ‍හොයාගෙන බලන්න යන්න අද හෙටම.

ජීවිතය තනිකරම රේස් එකක්. දුවන්න, ඒත් හති වැටිලා නතර වෙන්න නම් එපා!