Categories
විවිධ

සා.පෙ සාපයක් නොවූ වගයි!

ඔන්න අපි සාමාන්‍ය පෙළ නීත්‍යානුකූලව අවසන් කරලා ඉවරයි!  මට මේ Post එක කොහෙන් පටන් ඇරගෙන කොහෙන් ඉවරකරන්නද කියලා හිතාගන්න බෑ. හරි, මෙහෙම පටන්ගමු. සාමාන්‍ය පෙළ විභාගෙට ලියපු හැටි ගැන අතීතාවර්ජනයක් කරලාම පටන්ගනිමුකෝ… ම්… මේ ගැන සටහනක් මම කලින් ලියලා ඇති

මම සාමාන්‍යයෙන් නැවතිලා ඉන්නේ ඉස්කෝලේ ඉඳලා ඩොටේ (ඩොටේ කියන්නේ හුඟක් දුර, හද්ද පිටිසර) නිසා මේ පාර විභාගෙ ලිව්වේ හොස්ටල් එකේ ඉඳලා කියලා කියවපු අයට මතක ඇතිනේ. ඉතින් විභාගේ ලියපු කාලේ නොකෙලපු පිස්සුවක් නෑ. ඉස්කෝලේ ළඟ තියෙන café අස්සේ රිංගුවා. ඒක එක පිස්සු තමයි. ඇයි මහ රෑ වෙනකන් හින්දි සින්දු ඇහුවා… අයියෝ නිකම් ‍ඉස්කෝලේ යන කාලේවත් එහෙම පිස්සුවක් කරේ නෑ ඕං. ඇයි ඒ විතරක්ද? රෑට Raheema එකෙන් කන්න හොස්ටල් එකෙන් රෑ පැන්නත් එක්ක.

ඉතින් ඔන්න ඔහොම තමයි මම සාපෙට ලිව්වේ. ඇත්තම කිව්වොත්… මම හරියට මගේ එක සටහන් පොතක්වත් සම්පූර්ණ කරලා තිබුනේ නෑ (ඔව්! සිරාවටම) ‍‍ මේ දවස්වල උසස් පෙළ ගණිත ගැටළු විසදන්න ගන්නේ ඒ පොත් ටික තමයි! 😀

දන්නෙම නැතිව විභාගේ ලියලා මාස 4ක් ගියා කිව්වාම ඉතින් කාටද පිස්සු නොහැදී තියෙන්නේ. ඔන්න දැන් තමයි කතාවේ හොඳ හරිය. කට්ටිය අහනවා/කියනවා…

කවදාද රිසල්ට් එන්නේ?
අන්න සයිට් එකේ රිසල්ට් දාලාලු
නෑ පිස්සුද බං අද අප්‍රේල් පළවෙනිදානේ
අපෝ ඉවරයි
ෂික් මේ මඟුල දීලා ඉවර කරන්නේ නෑ බං
අපෝ… රිසල්ට් ඕනේ නෑ වගේ බං…

ඔන්න ඊයේ (අප්‍රේල් 03) මොබිටෙල් එකෙන් හෙන ගහනවා වගේ මගේ ෆෝන් එකට SMS එකක් පතබෑවා කියහංකෝ. මේකේ කියාපි… ඔන්න පුතේ රිසල්ට් ආවාම, ආපු ඉක්මනින් රිසල්ට් එවනවා දැන්ම ප්‍රතිඵල සඳහා ලියාපදිංචි වන්න…

ඔන්න දැං කට්ටිය බය වෙලා. Facebook එක ඇතුලේ එකම ගාල ගෝට්ටියයි. මාත් ඇතුලුව අපේ කට්ටිය ඔන්න දැන් හිටු කියලා Status Update කරනවා. සමහරු Doenets එකට බනිනවා… තව සමහරු Mobitel එකට බනිනවා ඉවරයක් නෑ. කොහොමහරි තත්ත්වය ටිකක් සමනය වෙලා ගියා පෙරුම් පුරාගෙන අන්තර්ජාලයෙන් ප්‍රතිඵල බලන්න හිටියාට… එදා ආපු රිසල්ට් එකක්නම් නෑ ඕං.

ඔන්න අද කාලිංග මාමාගේ 30වෙනි උපන්දිනේ. (51 නෙවෙයි 😉 ) ඉතින් මටත් පොඩි ආරාධනාවක් ලැබුනා එතුමාගේ ප්‍රිය සම්භාෂනයට ගොඩ වදින්න. ඔන්න එදා තමයි ඇහැට නොදැකපු බ්ලොග් ලියන යාලුවෝ හතර පස් හත හත අට දෙනා අඳුරගත්තේ… මට ඉතින් මුකුත් කියවගන්නත් බෑ මං ඉතින් කට වහගෙන බලාගෙන හිටියා මොකද වෙන්නේ කියලා. ඔළුව ඇතුලේ එක එක මඟුල්. අරයා, ප්‍රතිඵල, අරයාගේ ප්‍රතිඵල, මගේ ප්‍රතිඵල… හිත ඇතුලේ එක එක එව්ව‍ා කෝටියයි.

ඔන්න කාලිංග මාමා තමයි මගේ ප්‍රතිඵල මුලින්ම බලලා දුන්නේ. මටවත් අදහගන්න බෑ ඒ මමද කියලා. හිත කිව්වත්, ආපහු නම්බරේ චෙක් කරලා බලන්න කියලා… මට ඒක කියැ‍වුනේ නෑ ඕං ආපු පීඩනයට…
පාටියත් ඉවරවෙලා… ඉස්කෝලෙටත් ඇවිල්ලා. එතැනිනුත් ප්‍රතිඵල තහවුරු කරගෙන යහතින් ගෙදර ආපු එක තමයි ඊළඟට වු‍නේ. අන්තිමට ගෙදර ඇවිල්ලා ආපහු Internet එකෙනුත් බැලුවා…

ආ… මේ තියෙන්නේ…

results

ඉතින් ඔන්න ඔහොමයි වෙලා තියෙන්නේ… මට අප්සට් ඇයි හත්තිලව්වේ අච්චර ලේසි විද්‍යාව පේපරේ කෙලවගත්තේ කියලා… හැබැයි මං හිතන්නේ, මට ඒකට B එකක් ආවේ මගේ වාසනාවකට කියලා (හැමදේම වෙන්නේ හොඳටයි කියනවා නෙව) දැන් මට විද්‍යාවට වැඩිපුර ගැම්මක් දාලා උසස් පෙළ කරන්න පුලුවන් වෙයි කියලා හිතනවා. කොහොමත් මට විද්‍යාව කියන්නේ එච්චර පත්තියං වෙච්ච විෂයක් නෙවෙයි. අනික මං පන්ති ගියෙත් නෑ. පංති ගියෙත් ගණං වලට විතරයි. ඉතින් මට මාර සතුටුයි! විද්‍යාවට B එකක් හරි තියෙන එක ගැන. Re correction  දාන්න කියලා කිව්වත් මං දාන්නේ නැත්තේ ඕක C වලට බහියි කියන බයට 😀

මට ඇත්තටම පුදුමයි, හරියට සටහන් ‍පොත නොලියා, අන්තර්ජාලේ බ්ලොග් ලිය ලිය පිස්සු කෙළ කෙළ හිටියාට ලැබිච්ච ප්‍රතිඵලේ ගැන (බලපු අයට වැරදිලාද මන්දා හැබෑටම)  හැබැයි පුතෝ උසස් පෙළට නම් ඔහොම පිස්සු කෙලින්න බෑ කියලා හොඳට තේරුම් ඇරගෙන තියෙන්නේ දැන්නම්.

ඇත්තටම සා.පෙ කියන්නේ එච්චර ලොකු විභාගයක් නෙවෙයි කියලා තේරෙන්නේ දැං තමයි. ඔන්න දැං තමයි නියම ගේමට බැහැලා තියෙන්නේ… අපි බලමුකෝ තව අවුරුදු 2කින් මොනවා වෙයිද කියලා හා…

UPDATE:
ඇයි හත්තිලව්වේ මට මේක ලියන්න අමතක වුනේ. හදිස්සියට වෙන්න ඇති. සමාවෙන්න ඕ‍නේ. මේ වෙලාවේ අපේ ගුරුවරු නම් අමතක කරන්න බෑ. විශේෂයෙන්ම ඉතිහාසය උගන්නපු පංති භාර ගුරුතුමිය. ඒ වගේම වාණිජ අධ්‍යයනය උගන්නපු ගුරුතුමිය මතක් කරන්න ඕනේ. (අපිට උගන්නන්ම අ‍පේ Commerce මිස් හෙන කට්ටක් කෑවේ – මගේ යාලුවාගේ අදහසක්) ආ ඒ විතරක්ද? අපේ ඉංග්‍රීසි ගුරුතුමිය? සිරාවටම ඉගැන්නුවා. ලියුම් ලියලා, ‍පේ‍පර් කරලා කියලා වැඩක් නෑ.  ඒත් එක්කම අපේ නාට්‍ය හා රංගකලාව ගුරුතුමිය, රත්නා ලාලීනී ගුරුතුමියත්. තොරතුරු තාක්ෂණය උගන්නපු ගුරුතුමියත්. අමතක කරන්න බෑ. මම කෙළවගත්තත් විද්‍යාව 10 වසරේ උගන්නපු ගුරුතුමියයි, 11 වසරේ උගන්නපු ගුරුතුමායි අමතක කරන්නම බෑ.

මේ සුභපැතුම් එක්ක‍රන්නේ මාත් එක්කම සාමාන්‍ය පෙළ ලියපු මගේ බ්ලොග් ලියන ‍සහෝදරයන්ටයි.

ඉද්දා
සුපුන් බුධාජීව
ගයාන් කල්හාර
අංජු ජයතිලක

(සමාවෙන්න, මට දැන් හරියට වචන පිටවෙන්නේ නෑ. වචන හිරවෙලා. සටහන කියවාගෙන යන්න අමාරු ඇති කියලා හිතෙනවා)

ඒ වගේම, කාලිංග මාමාට සුබම සුබ උපන්දිනයක් වේවා.

කතාව සාරාංශයක් කරලා කිව්වොත්, අද ම‍ට පට්ට සුවිශේෂී දවසක්
අංක එක – ප්‍රතිඵල ආපු එක
අංක දෙක – ඇහැට නොදැක්ක යාලුවෝ තොගයක් මුනගැහෙන්න ලැබිච්චි එක
අංක තුන- අන්තර්ජාලයෙන් මුලින් බලන්න හිටපු ප්‍රතිඵල ඉස්කෝලෙටම ගිහිල්ලා බලන්න වෙච්ච එක
අංක හතර – 2008 ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල (නැවත විකාශය) බලන්න ලැබුන එක

සුබ පතපු, සුබ පතන සුබ නොපතන හැම දෙනාටම ස්තූතියි 🙂

Categories
කෙටි කතා

සිම්පල් ප්ලෑන් එක – කොටම කොට කෙටිකතාවකි

*මෙය ලේඛකයාගේ පුද්ගලික අත්දැකීමක් මත ලියැවුනක් නොවේ!!!

“ටියුෂන්, ටියුෂන් සහ ටියුෂන්! මට දැං මේ ටියුෂන් කෙරුවාව එපා වෙලා! ඇත්තටම ඉගෙනගන්න වෙන සිම්පල් ප්ලෑන් එකක් ඇත්තෙම නැද්ද?”

මගේ හදවත විලාප දෙනවා. ඉගෙනගන්නවා කියලා මෙහෙමත් ඉගෙනගන්නවාද? මගේ තරුණ කාලේ මං හිතුවේ එහෙමයි.
පොඩි කාලෙ මං ඉස්කෝලෙට බාරදෙද්දී අම්මා කිව්වා ඕං පුතේ දොස්තර කෙනෙක් වෙයං කියලා. තාත්තා කිව්වා නෑ පුතේ උඹ ඉංජිනේරුවෙක් වෙයං කියලා. බාප්පා කිව්වා උඹ මං වගේ ලෝයර් කෙනෙක්‍ වෙයං කියලා. එතකොට මට හිතුනා ඔව් ඔව්, එතකොට මට පුළුවං හොඳට දුප්පත් එවුන්ගෙන් ගරාගන්න කියලා.
කොහොමහරි මං ශිෂ්‍යත්වේ පාස් වුනා. නිකම්ම පාස් වුනා නම් මදෑ කියමුකෝ, මං උඩින්ම පාස් වුනා. මගේ කරුමෙට මට ගම දාලා කොළඹ එන්න වුනා සදහටම. මං කොළඹ මහප්ප්‍රාණ තාප්ප අතරේ අතරමං වුනා. උඩ බැලුවාම බිල්ඩිමේ  මුදුන හොයාගන්න බැරිවුනා. කොළඹ පාරකට අඩිය තිව්වේ කොයි වෙලාවක හරි යෝධ වාහනයක් ඇවිල්ලා මාව චප්ප චපිරි කරලා දාවි කියලා හිතාගෙන. කන් බෙරේ පලාගෙන යන හෝන් සද්දෙට මගේ කං දෙක බීරි වුනා. මං පංති ගිහිල්ලා කට ඇරගෙන බීරි වෙච්ච කං වලින් යකඩ කටින් ඇහෙන සද්දෙට අනුව ටයිප් රයිටරයක් වගේ අතට පෑන අරං ඇක්සයිස් පොතේ කොටාගෙන කොටාගෙන ගියා. දවසට දෙකට පෑන් ඉවරවුනා. ඇරිච්ච කට වහගන්න බැරිවුනා. අන්තිමට මට කතාකරගන්න බැරිවුනා. රෑ එළිවෙනකන් මම පාඩම් කරා. ගෑනු පරාණයක් දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ. දවසක් මෙසේ යට තියලා තිබ්බ වතුර බාල්දියට නිදිමතේම පොත අතෑරියා. නිදිමතේම මේසේ උඩට වෙලා නිදාගත්තා. පහුවෙනිදා උදේ බලද්දී පොත දියවෙලා. මං ඉතින් මොකෑ කරේ, මං වගේම තවත් එකෙක් මහන්සියෙන් ලියපු පොතක් ඉස්සුවා.
මම ඊට පස්සේ විශ්ව විද්‍යාලයට රිංගලා ලක්ෂ කෝටි ගාණක් වටින පාඨමාලා නොමිලේ හදාරලා, නමට යටින් ඉංග්‍රීසි හෝඩියේ අකුරු දහ පහළොහක් ගහගෙන කොටට තිබ්බ මගේ නම ඉස්සරහින් තව මහා… කෑල්ලක් ගහගෙන විශ්ව විද්‍යාලයෙන් එළියට බැස්සා. බැහැලා, පත්තරේ දාලා තිබ්බ දැන්වීමක් බලලා ලොකු පවුලක වරදට සමාව ඉල්ලපු ගෑනු කෙනෙක් එයාගේ දෑවැද්ද එක්කම කසාද බැඳලා අවුරුදු පහ හයකට පස්සේ හීං සීරුවේ දික්කසාද කරලා දැම්මා.
දැං මං රජයේ ආයතනයක ලොකු පුටුවක්. මං ඉගෙනගන්න කාලෙදී වැඩි දියුණුකරගත්ත පොට්ටකම, බීරිකම, හොරකම මට ගොඩක් ප්‍රයෝජනවත් වුනා මට මේ තැනට එන්න. මං මගේ දෙමව්පියෝ අමතක කරලා දැම්මා, මට හිත මිතුරෝ නෑ.
ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද? අහ්, මගේ කොන්ද පන නෑ වගේ! මං හිතන්නේ මේ මම දේශපාලනයට එන්න ඕනේ කාලේ කියලා…

නිමි