Categories
කෙටි කතා

කුරුලු කුමාරයා

ඔන්න එකමත් එක රටවල් දෙකක බොහොම කඩවසම් කුමාරයෙක් සහ කැතම කැත කුමාරිකාවක් ජීවත් වුනා. කුමාරයාගෙ රාජධානියට අසල්වැසි රාජධානි වල ලස්සන කුමාරිකාවන්ගෙන් කුමාරයාට විවිධාකාරයේ විවාහ යෝජනා ආවත් කවුරුත් නොදන්න හේතුවක් නිසා කුමාරයා ඒ විවාහ යෝජනා වලට කැමති වුනේ නැහැ.

මේ කාලෙ තමයි කොමියුනිස්ට්කාරයෝ රාජාණ්ඩු වලට එරෙහිව කැරලි ගහන්න පටන්ගත්තේ. කුමාරයාගේ රටේ වගේම අසල්වැසි රාජධානි වලත් රාජාණ්ඩු වල රජ පවුල් සිරභාරයට ගනු ලැබෙනවා. අවාසනාවට අර ලස්සන කුමාරිකාවෝ හැම දෙනෙක්ම වගේ සිරභාරයේදී කොමියුනිස්ට්කාරයෝ අතින් දූෂණය වෙලා මරා දැමෙනවා. කුමාරයා දූෂණය කරන්න නම් කවුරුවත් එන්නෙ නෑ.

මේ කුමාරයාට මිතුරියක් හිටියා. ඇය තරුණ මන්ත්‍රකාරියක්. මිතුරියක් කිව්වාට ඉතින් කුමාරයාගේ හිතේ නම් ඈ ගැන තිබුනෙ ආදරයක්. ඒ වුනත් රාජාණ්ඩුවේ නීති අනුව කුමාරයාට රාජ්‍යය හිමිවෙද්දි ඔහුට අයිතිවෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය විතරයි. රැජිනටයි භූමියේ බලතල හිමිවෙන්නේ. ඉතින් කොහොමත් මිනිස්සු තුළ මන්ත්‍රකාරියන් ගැන තිබුනෙ පැහැදීමක් නොවෙයි නිසා, මේ දෙන්න කවදාවත් එකතු වුනේ නම් නෑ.

සිරගෙයි හිර වෙලා හිටපු කුමාරයා බේරාගන්න, මන්ත්‍රකාරිය මේ කුමාරයාව කුරුල්ලෙක් කරනවා. කුරුලු වෙස්ගත්ත කුමාරයා හිරෙන් පැනලා යනවා. බොහෝ දින ගණන් පියාසර කරන කුරුලු කුමාරයා අන්තිමට එන්නෙ අර කැත කුමාරියගෙ රාජධානියට. කොමියුනිස්ට්කාරයන්ගේ කැරැල්ල පරාජය කරන්න සමත් වුනේ මේ රාජධානිය විතරයි. රාජාණ්ඩුව විසින් කැරලිකාරන්ව සමූල ඝාතනය කරලා නැවත රාජාණ්ඩුව පිහිටවනවා. තමන් ඇතුළුවන්නේ රජ උයනටයි නොදන්නා කුරුලු-කුමාරයා උයනේ මදක් නැවතිලා ගිමන් හරිනවා. ඒ අතරේ තමන්ට අර මන්ත්‍රකාරිය ගැන හිතේ තිබුන ආදරය ගීතයක් බවට ප්‍රකාශ කරලා ගායනා කරනවා.

උයනෙන් ඇහෙන කුරුලු ගී හඬට වහ වැටුන කුමාරිකාව රාජ පුරුෂයෝ යොදවලා කුරුලු-කුමාරයාව අල්ලලා කූඩු කරනවා. කෑම බීමත්, ආරක්ෂාවත් තියෙන නිසා… මන්ත්‍රකාරිය ඇවිත් බේරාගනිවී යැයි හිතාගෙන කූඩුවේ ජීවිතයට කුමාරයා පුරුදු වෙනවා. ඔහොම අවුරුදු ගතවෙන අතරෙ කොමියුනිස්ට් විප්ලවේ ප්‍රධාන සාමාජිකයෙක් එක්ක මන්ත්‍රකාරි විවාහ වෙන්න තීරණය කරනවා.

කල්ගතවෙද්දි කූඩුවේ ජීවිතය එපාවුන කුරුල්ලා සින්දු කියන එකත් නතර කරනවා. වැඩකට නැති කුරුල්ලාව කුමාරියටත්, රජ මාලිගාවේ සේවකයින්ටත් අමතක වෙනවා. කලට වේලාවට ආහාර හා සැලකිලි නොලැබෙන කුරුල්ලා අන්තිමේ ඇස් පියාගන්නවා… රටේ කලබල ඉවරවුනත්, අරාජිකත්වය සහ කොමියුනිස්ට්වාදීන්ගේ පාලනයේ දුර්වලතා නිසා රටේ බලය අස්ථාවර වෙනවා. බලය සඳහා රටේ සීතල යුද්ධයක් ඇවිලෙන මොහොතේදී, මන්ත්‍රකාරිය තීරණය කරනවා ගිහින් කුමාරයාව බේරගන්න. ඒත් එතකොට ඈ ප්‍රමාද වැඩියි. ඇගේ ඉදිරිපිටදී කුරුලු-කුමාරයා අවසන් හුස්ම හෙලනවා.

මළ පුද්ගලයෙකුට නැවත ජීවිතය දීම බොහොම අපහසු කාර්යයක්. ඒ සඳහා ජීවත් වන පුද්ගලයෙක් මිය යා යුතුයි. මිය යන පුද්ගලයාගේ ආත්මයද බොහෝ බලගතු හා මියගිය පුද්ගලයාගේ ආත්මයට සම්බන්ධ විය යුතුයි. එහෙම හිටියේ මන්ත්‍රකාරිය විතරයි. ඒත් ඒ වෙනකොටත් ඇයට බලාගන්න පවුලක් තිබුනා. මායා ගින්නෙන් පුළුස්සන කුරුලු-කුමාරයාගේ අළු රැගෙන නැවත මව්බිමට එන ඈ, භූමියේ අළු නිදන් කරනවා.

Categories
කාලීන විවිධ

මම කවුද?

බුදුන් කීවේ මම යැයි කියා දෙයක් නැතැයි කියාය. මට මගේ ජාතිය පිළිබඳ ප්‍රශ්නයක් ඇත. මම සිංහලද, දෙමළද, ශ්‍රී ලාංකිකද එසේත් නැතිනම් නිකන්ම නිකන් මනුස්සයෙක්දැයි යන්න මට ප්‍රශ්නයකි. මගේ මිතුරන් ඔවුන් කියාගන්නා ජාතියේ නිසා ඔවුන්ගේ ජාතිය ගැන මට ප්‍රශ්නයක් නැත. ඉතින් මට සිංහල මිතුරෝද, දෙමළ මිතුරෝද, මුස්ලිම් මිතුරෝද, බෞද්ධ මිතුරෝද, කතෝලික මිතුරෝද වෙති. ඔවුන්ගේ ජාතියෙන් මට වැඩක් නැත.

“ආදරය කරනවානම් මචං දෙමළ කෙල්ලෙක්ට ආදරේ කරපං. උන්නං පණ වුනත් දෙයි.” මිතුරන් එසේද කියයි. අපේ තාත්තාද මට හොයන්නේ දෙමළ කෙල්ලකි. ජාතියක් අනුව ආදරයේ ස්වභාවය වෙනස්වන අයුරු මට ප්‍රශ්නයකි. ඒත් දෙමළ කෙල්ලන් හොඳ බව මමද සිතමි.

මගේ උප්පැන්න සහතිකයේ බෞද්ධ බව සඳහන්ය. නමුත් මා පන්සලකට ගිය කාලයක් මතක නැත. ගංගාරාමයට යන්න නම් කැමතිය. හැම පන්සලකම පරිසරයට මම කැමැත්තෙමි. ඒ නිස්කලංක බව නිසාය. දිනක්  බසයේ ගමන් කරද්දි වයස්ගත චීවරධාරියෙක් පන්සලට එන්නැයි යෝජනාවක් කළේය. මට මා ගැනම පිළිකුල් හැඟීමක් ඇති විය.

මම මස් අනුභව කරමි. ඒවාට හලාල් තිබේදැයි, නැතිදැයි මට අදාළ නොවේ. මම ඒ ලකුණ තිබේදෝ හෝ නැත්දෝ හෝ බලන්නේ නැත. එසේ නොබැලුවා කියා තවම නිෂ්පාදයනයක් හේතුවෙන් මට කිසි අසනීපයක් හැදී නැත. ඉතින් මගේ සෞඛ්‍ය තත්වය හොඳයැයි මම සිතමි. බෞද්ධ හිමිකාරීත්වය ඇතැයි පැවසෙන ඔඩෙල් ඇඳුම් මට මිල වැඩිය. සමහරවිට ඔඩෙල් එකට නොයන්නේම නොවේ. නමුත් නෝ-ලිමිට් එකේ ඇඳුම් මට ලාභය. ඇඳුම් පැළඳුම් වලට – ආහාර වලට මොන ආගමක්දැයි මට සිතේ. ඒ මගේ හැටිය.

අවසානයේ මා, උත්පත්තියේදී ප්‍රභාෂ්වරව තිබූ සිත වයස විස්සක් තුළ නොයෙකුත් දෙයින් කිළිටි වූ තවත් එක් මිලේඡ්ච මිනිසෙක්යැයි සිතේ. මම හොඳද නැත. ඇති නරකකුත් නැත.