Categories
Uncategorized

Nothing Else Matters: Metallica #පර්යේෂණසටහනක්

රොක් සංගීතය පිළිබඳව නම් මා එපමණ දන්නේ නැහැ. මා ලියන්නෙක් මිසක්, සංගීත විශේෂඥයෙක් නොවෙයි. (මං රාජ කුමාරයෙක් නෙවෙයි. ගමේ කොල්ලෙක්!) නමුත් මීට මාස කිහිපයකට අහම්බෙන් අහන්න ලැබුන මේ ගීතය මා කොපමණ වෙනස් මානයකට ගෙන ගියාද නම්, මා බොහෝ විට වියවුල් වූ විට නැවත නැවත මේ ගීතයට සවන් දීමට පුරුදු වුණා. වාර්තාව පැය තුනක් – කාමරය තුළ – එක දිගට!

ගීත රසවිඳීමට සංගීතය පිළිබඳව එපමණ දැනුමැත්තෙක් විය යුතු නොවීම ම, සංගීතය නම් කලාවේ සර්වකාලීනත්වය ආරක්ෂා කරනවා. ආදරය පිළිබඳ ශ්‍රී ලංකාවේ සංස්කෘතික රටා පිළිබඳ කතිකා කරන්නට මේ ගීතය තරම් සුදුසු අන් කිසිවක් නැහැ. පහත උත්සාහය ගීතය එසේම වදනින් වදන පරිවර්තනය කිරීම ප්‍රයත්නයක් නොවේ. නමුත් ගීතයේ අර්ථය සිංහලට නැගීටම ගත් අසාර්ථක උත්සාහයක්. ඕනෑ වුනේ ගීතය නැවත වරක් බෙදාහරින්නට. රස විඳින්නට සලස්වන්නට. ඉතින්, සවන් දෙනු මැන.

[youtube=http://www.youtube.com/watch?v=Lli99OmkPwM][/youtube]

So close no matter how far කොතෙක් අප දුරස් වූවද
Couldn’t be much more from the heart හදවතේ සිට දුරක් නැත
Forever trust in who we are අප පිළිබඳ අප විශ්වාස තබනා කල
And nothing else matters අන් කිසිවක් ගැන වගක් කුමටද?
Never opened myself this way මෙලෙස මා හද විවර කර නොමැත
Life is ours, we live it our way ජීවිතය ජීවත් විය යුතු ය. එය අපගේම අරුතිනි.
All these words I don’t just say එ බව අමුතුවෙන් පැවසිය යුතු නොවූවද…
And nothing else matters අන් කිසිවක් ගැන වගක් කුමටද?
Every day for us something new දිනෙන් දින අපි අලුත් වෙමු නොවෙ ද?
Open mind for a different view දෙනෙත් විවර කරනා කල වෙනස් දැක්මට…
And nothing else matters අන් කිසිවක් ගැන වගක් කුමටද?
Never cared for what they do කුමක් කළද අනෙකා මට කුමකට ද?
Never cared for what they know අනෙකා දන්නා දෙයින් මට මොකට ද?
But I know නමුදු දනිමි මම යමක් නිසැකව…
එය නම්…
So close no matter how far කොතෙක් අප දුරස් වූවද
Couldn’t be much more from the heart හදවතේ සිට දුරක් නැත
Forever trust in who we are අප පිළිබඳ අප විශ්වාස තබනා කල
And nothing else matters අන් කිසිවක් ගැන වගක් කුමටද?

[youtube=http://www.youtube.com/watch?v=QohUdrgbD2k][/youtube]

Categories
Uncategorized

මෙතැන් සිට තව සුළු මොහොතක් ගිය පසු.

මෙම සටහන ඩේටාබේස් එකේ ගැටලුවක් නිසා අතුරුදහන් වුනා. වේලාවට බැකප් එකක් ළඟ නොතබාගැනීම නිසා ලැබී තිබුණු ප්‍රතිචාරත් අතුරුදහන්. ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටිනවා.

ආයුබෝවන්. මගේ ජාතියේ අය එහෙමයි ඕනෑම කතාවක් පටන් ගන්නේ. ඒකෙ තේරුම ආයුෂ බොහෝ වේවා කියලයි.

එක්සත් ඇමරිකා ජනපදයේ විශ්ව විද්‍යාලයක සම්මන්ත්‍රණයක් අමතන තවමත් අවුරුදු පහළොවක් නැති මේ පොඩි දරුවා ශ්‍රී ලාංකිකයෙක්. නමින් ඇන්ඩෘ ස්වස්තික ලියනගේ. අපි ඔහුගේ කතාවට සවන් දෙමු.

පොඩි කාලෙ ඉඳල මට ප්‍රශ්නයක් තිබුනා. මගේ අම්මා තාත්තා සහ මම, ඔබගෙන් බොහෝ වෙනස්. මට එය මුලින්ම තේරුණේ හමේ පැහැයෙන්. මාත් එක්ක එකම පාසලේ ඉගෙනගත් ළමයින්ගේ දෙමව්පියන් එක්ක සසඳනකොට මගේ දෙමව්පියන් ඉංග්‍රීසි කතා කරන විදිහ හරි අමුතුයි. ඉතින් මම දවසක් අම්මගෙන් ඇහුවා…

“ඇත්තටම අපි කවුද?”

අම්මා මට හිනාවෙලා සෑහෙන්න දිග කතාවක් කිව්වා. ඒක ඇත්තටම පුදුම එළවන සුළු කතාවක්. දිග ගමනක්.

මම පැවත එන්නෙ ශ්‍රී ලාංකිකයන්ගෙන්. ශ්‍රී ලංකාව නමැති රට ඇත්තටම පිහිටලා තියෙන්නේ ඉන්දියන් සාගරයේ. ඉන්දියාවට පහළින්. අම්මා මට ලෝක සිතියමක් අරගෙන පෙන්නුවා. අද ශ්‍රී ලංකාව මහජන චීන සමූහාණ්ඩුවට අයිති දූපතක්. කලින් ජීවත් වු මිනිසුන්ට ගරු කිරීමක් වශයෙන් තවමත් මේ දූපතට කියන්නේ ශ්‍රී ලංකාව කියලා.

ශ්‍රී ලංකාව අද මිනිසුන්ට ජීවත් වීමට නුසුදුසු රටක් වශයෙක් එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කරලා අවසන්. ඇත්තටම මගේ සීයලාගේ කාලයේ තිබුන සරුපස දැන් හොයාගන්නට නැහැ. ඉස්සර ඒ රටේ මිනිස්සුන්ට වගා කරන්න සහනාධාර වශයෙන් අඩුමිලට ලබාදුන් පොහොර වල තිබුන කැඩ්මියම් ආදී බැර ලෝහ පසේ තැන්පත් වෙලා පස දූෂණය වුනායින් පස්සේ නැවත වගා කටයුතු කරන්න අපහසු වුනා වගේම, පානීය ජලයත් දූෂිත වුනා. බොහෝ අහිංසක මිනිසුන් ප්‍රමාණයක් වකුගඩු රෝග වලට ලක් වුනා. මීට අමතරව නිසි ප්‍රමිතියෙන් තොර කර්මාන්තශාලා නිසාද බොහෝ පිරිසකට නොමිලේ හිමිවුන පානීය ජලය උල්පත් දූෂිත වුනා.

මේ සියල්ල සිදුවෙන අතරේ රටේ විවිධ වූ ආගමික කල්ලි ඇතිවුනා. පල්ලි වලට ගල් ගැහුවා, බෝ ගස් කැපුවා… තමන්ගේ අනිකා සැක කිරීම නිසා බොහෝ දෙනා එකිනෙකාගෙන් දුරස් වුනා. මගේ අම්මා සිංහල නිසා සහ තාත්තා දෙමළ නිසා එයාලාට නොයෙකුත් ප්‍රශ්න වලට මුහුනදෙන්න සිදුවුනා. අන්තිමේ ඔවුන් දෙදෙනා තීරණය කරේ ඇමරිකාවට එන්න. මම සිංහලද, දෙමළද කියලා මම තවම තීරණය කරලා නැහැ.

ශ්‍රී ලංකාව ඇත්තටම ලස්සන රටක්. මගේ අම්මා ළඟ තවමත් එහි පින්තූර තියෙනවා. සුන්දර මුහුදු වෙරළක් සහ රට මැද කඳුකරය අතිශයින්ම දර්ශනීයයි. ඒත් මෑතකදි ලබාගත් ඡායාරූප නම් අතිශයින්ම බිය උපදවන සුළුයි. රතු වූ පස් කඳු, දුමින් පිරුණ වළාකුළු මීට වසර කිහිපයකට පෙර තිබූ  ලංකා භූමිය පිළිබඳව සාධක කිසිවක් ඉතිරි කර නැහැ.

ඒ මගේ කතාව. මම ශ්‍රී ලාංකිකයින්ගෙන් පැවත ඒම පිළිබඳව මම සෑහෙන්න සතුටුවෙනවා. නමුත් මට කවදාවත් මගේ මව්රට දකින්නට ලැබෙන්නේ නම් නැහැ. ඉතින් මගේ කතාව මෙහින් අවසාන කරන්නම්. මේ පිළිබඳ නිගමන වලට එළඹීම ඔබට බාරයි.

ආයුබෝවන්. ආයුෂ බොහෝ වේවා ඔබට.

ප.ලි: පහත වීඩියෝව බලන්න. හදිස්සියේවත් එක්කෙනෙක් අතින් මෙහි රිද්මය වෙනස් වුනානම්, හැමදේම අලුතෙන් කරන්න සිද්ධ වෙනවා. ඇත්තෙන්ම එහෙම කරන්නත් ඇති. ඒ වුනත් වැදගත්කම, තමන්ගේ අනිකා විශ්වාස කිරීම සහ තමන්ගේ කාර්යය අවබෝධ කරගෙන නිවැරදිව කිරීම. ඒකට අපි!

[youtube=http://www.youtube.com/watch?feature=player_embedded&v=Hz63M3v11nE][/youtube]