Categories
වේදිකා නාට්‍ය

පෙම් යුවලක් එපාකර තිබේ.

pem-yuwalak-cropped

තරමක් ආකර්ෂණීය දැන්වීම් කිහිපයක් නිසා දැනගත් පෙම් යුවලක් ඕනෑකර තිබේ වේදිකා නාට්‍යය බලන්න ගියේ පසුගිය ජනවාරි 17 වෙනිදා. ඒ මරදාන ටවර් රඟහලේ දී. වේදිකා නාට්‍යය හිතූ තරම් සාර්ථක නෑ. ඒ වුනාට ලංකාවෙ වේදිකා නාට්‍ය වලට සහයෝගය දක්වන්න ආධාර කරන්න හිතාගෙන ඉන්නවා නම් ගිහින් බලන්න.

වේදිකා නාට්‍යය පිළිබඳ දැන්වීම් කොච්චර ආකර්ෂණීය වුනත්, එදා නාට්‍යය බලන්න රඟහලට ඇවිත් තිබුනේ ටික දෙනයි. ඒක ඉතින් බලාපොරොත්තු වෙන්න පුලුවන් දෙයක්. රංගකලාව අධ්‍යයනයේදී බොහොම සරලම සංසිද්ධියක් වන ප්‍රේක්ෂකාගාරයට මුහුණලා ඉදිරිපත් කිරීම සමහර තැන්වල උල්ලංඝනය කරලා තිබුනා. නළු-නිළියන් කතා කරද්දී ප්‍රේක්ෂකාගාරයට පිටුපා රඟ දැක්වීම නිසා ඔවුන්ගේ සාත්වික අභිනයන් දැකගන්න බැරිවුනා.

ඒක වේදිකා පරිපාලනයේදී සිද්ධවුන බරපතල වැරැද්දක්.

කතාවෙ අමුතු දෙයක්, පණිවිඩයක්, ප්ලොට් ට්විස්ට් එකක් තිබුනෙත් නෑ ඔහේ ගලාගෙන ගිහින් නැවතුනා මිසක්. ඒ වගේම කතාව කියන්නට අනවශ්‍ය කාලයක් ගත්තා වගේම ඒ කාලයෙන් ප්‍රේක්ෂකයන්ට කිසි ප්‍රයෝජනයක් ලැබුනෙත් නෑ. ප්‍රේක්ෂකයින් “අයියෝ සල්ලි” කියන්නෙ මේ වගේ වෙලාවට තමයි.

වේදිකා නාට්‍යය ආධුනික අධ්‍යක්ෂකවරයෙක්ගේ උත්සාහයක්දැයි මා දන්නේ නැහැ. ඒත් සිංහල වේදිකා නාට්‍යය ගොඩ ගන්න දරන ඕනෑම උත්සාහයක් අගය කළ යුතුයි.

Categories
වේදිකා නාට්‍ය

මකරට සහ තවත් කතා.

දැන් නම් කැම්පස් එකේ නිවාඩුව ඉවරවෙන්න ළඟයි. මේ නිවාඩු කාලයේදී ස්ලිට් එකෙන් නාට්‍ය හා රංග කලාව පිළිබඳව වැඩමුළු කිහිපයක් සංවිධානය කරන්නට යෙදී තිබුනා. ඒ, ප්‍රතිභා හෙට්ටිආරච්චි මිස්ගේ මූලිකත්වයෙන්. තොරතුරු තාක්ෂණය ඉගෙනගන්න කේතනය වුන හිත් වලට නාට්‍ය හා රංගකලාව වගේ මානව කලාවක් අලුත් රිලැක්සේෂන් එකක් වුනා. හැමෝම බොහොම කැමැත්තෙන් වැඩමුලු වලට සහභාගී වෙත්දී, මම තමයි පළමු වසර සිසුන්ගෙන් එතන හිටි එකම එක කෙනා.

නාට්‍ය පිටපත් රචනයෙන් පටන්ගැනුන දේශන මාලාවන් අංගරචනය, රසවින්දනය වැනි විෂය පථයන් ආවරණය කළා. ඉතිරි කාලය සම්පූර්ණ වෙලා තිබුනේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින්. වැඩමුළු සඳහා වෙන් වූ දින අට, ස්ලිට් එකේ තමන් ගත කළ හොඳම දින අට වූ බවයි හැම දෙනාගෙම අදහස වුනේ. අවසන් දින තුනේ ප්‍රායෝගික ක්‍රියාකාරකම්, ක්‍රීඩා සැසි ඉතාමත් නිහතමානීව මෙහෙයවූ සරත් කරුණාරත්න සර්ටත් මෙහිදී විශේෂ ස්තූතියක් පුදකළ යුතුයි.

නාට්‍ය වැඩමුළුවේම කොටසක් විදිහට පේරාදෙණිය සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ රඟදැක්වුන චාමික හත්ලහවත්තගේ අලුත් නාට්‍ය නිෂ්පාදනය වුන “මකරට” බලන්න ක්ෂේත්‍ර චාරිකාවක් සංවිධානය වෙලා තිබුනා. මීට කලින් වේදිකා නාට්‍ය බලල තිබුනත්, ඒ කොළඹ අවට ලයනල් වෙන්ඩ්ට්, එල්ෆින්ස්ටන්, ටවර් හෝල් වගේ තැන්. එළිමහන් වේදිකාවක රඟදැක්වෙන නාට්‍යයක් බලලා තිබුනේ නෑ. අනිත් එක, පේරාදෙණිය සරසවිය. වළට ගොඩවෙන්න කලින් සරසවියෙ ඇස ගැටුන තැන්වලින් පේරාදෙණි සරසවියෙ ලස්සන මැනගන්න පුලුවන් වුනා වගේම. “හන්තානට පායන හඳ”(සිංදුව)ත් මතක් වුනා.

“මකරට” වේදිකා නාට්‍යය සෑහෙන්න සාර්ථක නිර්මාණයක්. චාමික හත්ලහවත්තගේ අනෙකුත් නිර්මාණ වුන “හරි අපූරු දවසක්” වගේ නිර්මාණ ගැන අසා තිබුනත් නරඹලා තිබුනෙ නම් නැහැ. නාට්‍යයේ රංගනයෙන් දායකත්වය දක්වන චරිත අතර ජයලත් මනෝරත්න, නලීන් ප්‍රදීප් උඩුවෙල, සරත් කරුණාරත්න සිටියා. නරඹන්න පෙර කියවූ ලියවිලි වලින් හඳුනාගත් විදිහටම නාට්‍ය කෝලම් සම්ප්‍රදාය ආශ්‍රයෙන් නිර්මාණය වෙලා තිබුනා. නාට්‍යය, යථාර්ථය හා සරල මායාව අතර දෝලනය වන්නක්. මේ දිනවල ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන පවතින ක්‍රමය විචාරය කිරීමයි මේ නාට්‍යයෙත් අරමුණ. එය බොහෝ ලස්සනට මෙහි සිදුකෙරී තිබුනා. ජයලත් මනෝරත්නගේ රංගනය මේ වේදිකා නාට්‍යයේදී “විශිෂ්ටයි” කියන්න නම් මට අමාරුයි. නමුත්, තමන්ගේ කොටස බොහොම අපූරුවෙන් රංගනයේ යෙදෙනවා දුටුවා. නාට්‍ය රසික පිරිසක් විදිහෙන්ම නැතිව නාට්‍ය හා රංගකලාව ඉගෙනගන්නා පිරිසක් වශයෙන් මේ නාට්‍ය නැරඹූ අපිට නම් මෙයින් සෑහෙන්න දේ ඉගෙනගන්න ලැබුනා. එහෙම බැලුවාම “මකරට” වේදිකා නාට්‍යය, රංගකලාව අධ්‍යයනයේ යෙදෙන්නන්ට සෑහෙන්න පිටිවහලක්.

මකරට වේදිකා නාට්‍ය ඔබ වේදිකා නාට්‍ය රසිකයෙක් නම් නැරඹිය යුතු වේදිකා නාට්‍යයක්. ඒ වගේම වේදිකා නාට්‍ය නැරඹීම පටන්ගන්නට හිතාගෙන්න ඉන්නවානම්, ඒකටත් හොඳ වේදිකා නාට්‍යයක්. මොකද ඔබ “දොළහක්” වගේ වේදිකා නාට්‍යයකින් රසවින්දනය ආරම්භ කළොත් සෑහෙන්න තැන් වල හිරවෙන්න පුලුවන් නිසා.

නැවත හමුවෙනකන්….