Categories
විවිධ හිනා

අනේ අපොයි සහ තවත් බොහෝ දෑ…

සාමාන්‍යයෙන් කෙනෙක්ට අනේ අපොයි කියලා කියැවෙන්නේ කරදරයක් වුනාම. ඔව්! මටත් දැන් අනේ අපොයි කියැවුනේ ඒක නිසාම තමයි! කරදර ගොඩකට මැදිවෙන්න වුනා කලින් මේ බ්ලොග් එක තිබ්බ සේවාදායකයත් (Server) එක්ක. ඒක නිසා මට හිතුනා මගේම ‍තැන හොඳයි කියලා. ඕන් ඒක නිසාම, ආපහු මගේ තැනටම මාරු වුනා. ඒක තමයි පළවෙනි කාරණය. මේ දෙවැනි කාරණය. සාමාන්‍ය පෙළට තව මාස දෙකයි. ඒත් තාම ජාතික හැඳුනුම්පත නම් දකින්න ලැබුනේ නෑ. ඕන් අද එක්කෙනෙක් පන්තියට ඇවිල්ලා කියාපි, ජාතික හැඳුනුම්පත් දැන්ම හැදෙන්නේ නෑ ඒක නිසා ඉක්මනට තැපැල් හැඳුනුම්පත හදාගන්නයි කියලා! හත්තිලව්වට ගහපු කලා‍බරේ කිව්වාලු! ඇයි දෙයියනේ දැන් මේ හදිස්සියේ දුවපන්කෝ තැපැල් කාර්යාලේ. අනික… මේ දවස්වල ඉස්කෝලේ මඟහරින්නත් බෑ. සෙනසුරාදා තමයි වැඩිපුර පාඩම් කරන දවස. කොච්චර පාඩම් කරලා හිටියත් විභාගෙට ලියන්න බැරිවෙන නිසා සෙනසුරාදා දවසක් නිරපරා‍‍දේ වියදම් කරන්න නම් අනිවාර්ය‍යෙන්ම වෙනවා. මොනවා කරන්නද? මේක අපේ ඉස්කෝලේවත්, පණිවිඩේ ගෙනාපු කෙනාගේවත් වරදක් නෙවෙයි. සම්පූර්ණ වරද තියෙන්නේ පුද්ගලයින් ලියාපදිංච් කිරීමේ දෙපාර්තමේන්තුවේ! මුළු ලංකාවටම හැඳුනුම් පත් හදන්න භාරව ඉන්න මේකේ පරිගණක අංශයේ ඉන්නේ පස් දෙනයිලු! මල කෙළියයි! පස් දෙනෙක්ගෙන් කොහොමද මුළු රටටම හැඳුනුම් පත් හදන්නේ? අනේ මන්දා එතකොට අපේ හැඳුනුම්පත් හැදිලා ලැබෙනකොට දත් වැටිලා, කොණ්ඩේ ඉදිලා නාකි වෙලා තියෙයි!

ඔන්න ඔහොමයි හැටි. මම ඉතින් ඕවාට කට අරි‍න්න යන‍්නේ නෑ. මොකද මට වෙන වැඩ තියෙන නිසා. පස්සේ වෙලාවක බලාගමුකෝ… 😀 දැනට බේරුනා කියලා හිතාගනින්! 😉

ඉතින් කාලය ඔහොම ගතවෙද්දී අපේ ඉස්කෝලේ අපේ ශ්‍රේණියේ පන්තියක සහෝදරයන්ගේ ආරාධනාවකින් රාජකීය විද්‍යාලයට ආවා සුප්‍රසිද්ධ ධනාත්මක චින්තනය පිළිබඳ දේශකයෙක්. ඒ වෙන කවුරුවත් නෙවෙයි. ඒ තමයි නාලක හේවාමද්දුම මහතා. ඒ ආවේ වෙන මොකකටවත් නෙවෙයි! තව මාස දෙකකින් තියෙන සාමාන්‍ය පෙළ විභාගේ සමත්වෙන්නේ කොහොමද කියලා දේශනයක් තියන්න. 11 වසරේ අපි කවුරුත් වගේ දේශනයට සවන්දුන්නේ හරිම ආසාවෙන්. ඒ වගේම අපිට තියෙන ප්‍රශ්නත් අහන්න අවස්ථාව ලබලා දුනා ඉතින් හැමෝටම හොඳ උපදෙස් රාශියක් ලැබුනා. කට්ටිය වැඩියෙන්ම අහපු ප්‍රශ්නේ තමයි… (අනේ මන්දා…, කියන එකත් හරිද මන්දා… :D) තමන්ගේ ගෑනු ළමයා මතක් වෙනවාලු පාඩම් කරනකොට. ඉතින් එයා දීපු උපදෙස තමයි, විභා‍ගේ දිනුවේ නැත්තන් ඔය කවුරුත් අපිට නැ. ඒක නිසා එයා ලබාගන්නවා කියලා හිතලාම විභාගෙන් සමත්වෙන්න පාඩම් කටයතු කරන්න කියලා. ‍(හොඳ වෙලාවට මට නම් එහෙම ප්‍රශ්නයක් නෑ තාම 😉 )

මේ ඒ දේසනේට සවන්දෙන්න බැරිවෙච්ච ලංකාව වටේ ඉන්න අපේ එකොළහේ යාළුවන්ට… (සහ ඉදිරියට විභාග වලට සූදානම් වෙන්න ඉන්න හැමෝටම)
දැන් විභාගේ ලංවෙලා තියෙන නිසා, දැන් ඒක රේස් එකකට සූදානම් වෙනවා කියලා හිතාගන්න. දැන් තියෙන්නේ රේස් එකේ පිට්ටනියට බැහැලා දුවලා දුවලා පුරුදුවෙන්න කියලත් හිතාගන්න. ඒක නිසා… දැන් කරන්න තියෙන්නේ පනදාගෙන පාඩම් කරනවා වෙනුවට, ප්‍රශ්න පත්‍ර ලියලා පුරුදුවෙන එකයි. මොකද කට්ටිය ගොඩක් පාඩම් කරගෙන හිටියත් ප්‍රශ්න පත්තරේ දැක්කාම උත්තර මතක් වෙන්නේ නැති ගතියක් එහෙම තියෙනවා නේද? ඒක නිසා… දැන් කරන්න තියෙන හොඳම වැඩේ තමයි දවසකට අවම වශයෙන් පැය 4ක්වත් ආදර්ශ ප්‍රශ්න පත්‍ර තනිවම ලියන්න. ප්‍රශ්න වලට උත්තර දන්නේ නැත්තම් ඒත් කලබල වෙන්න එපා. ගන්න අච්චු පොත හරි ලියන පොත හරි. ඒකෙන් අවශ්‍ය පාඩම පෙරලාගෙන කියවලා උත්තරය ලියන්න. මේ වෙලාවේ ප්‍රශ්න පත්තරේ උත්තර පත්‍රය පෙරළගෙන ඒකේ තියෙන උත්තරේම ලියන්න එපා. වෙන්න ඕනේ තමන්ම අවබෝධයෙන් ප්‍රශ්නයට උත්තරය සොයාගැනීමයි.
ඒ වගේම රාත්‍ර 12.00 ත් 4.00ත් කාලයේ නින්ද ලබාගැනීම වැදගත් වගේම අවම වශයෙන් පැය 6ක්වත් නින්ද ලබාගන්න. ඒ වගේම දවල්ට නින්ද ලබාගන්න එක අඩුකරගන්න. මාත් මගේ බස් එකේ නිදාගන්න නරක පුරුද්ද අතඅරින්න ගොඩක් උත්සාහ කරනවා. ඒ වගේම තවත් දෙයක්! හැමවෙලාවෙම වගේ වතුර බොන්න. ඒ කියන්නේ බෝතල් ගනනින් නෙවෙයි! 😀 බෝතලක් ළඟ තියාගෙන උගුර වේලෙන්න දෙන්නේ නැතිව තියාගන්න. නැත්තන් එතකොට පාඩම් කරනකොට පොඩි stress ගතියක් දැනෙන්න එහෙම පුළුවන්. ඔන්න ඕක තමයි අපිට නාලක හේවාමද්දුම මහත්තයා කියලා දුන්නේ. ඔයාලටත් වැදගත් වේවි කියලා හිතෙන නිසයි බ්ලොග් එකේ දැම්මේ. ඒ ඇරෙන්න තමන් විසින්ම නිර්මාණය කරගත්තු පාඩම් ක්‍රම අනුගමනය කරන්න.

ඒ අතරේ විභාග පීඩනයෙන් මිදෙන්න කරන වැඩ දෙකෙන් එකක් තමයි බ්ලොග් එක ලියන එක. ඒ වගේම ඉඩ තියෙන වෙලාවක හොඳ හින්දි චිත්‍රපටියක් බලන්න අමතක කරන්නේ නෑ. මේ ළඟදී බලපු හින්දි චිත්‍රපටි දෙකක් තියෙනවා. එයින් එකක් තමයි…

කිස්මත් කනෙක්ෂන් (Kismat Konnection)
හරිම අපූරු හින්දි චිත්‍රපටියක්. රඟපාන්නේ වෙන කවුරුවත් නෙවෙයි සායිඩ් කපූර් සමඟින් විද්‍යා බාලන්. හැබැයි මට සායිඩ් කපූර්ව නම් මේ චිත්‍රපටියේ පෙනුනේ ෂාරුක් ඛාන් විදිහට. මට විතරක් නෙවෙයි, මේ හින්දි චිත්‍රපටිය බලපු මගේ යාළුවෙකුටත් පෙනිලා තියෙන්නේ ඒ විදියට. ඒ කියන්නේ… සායිඩ් කපූර් ෂාරුක් ඛාන්ව අනුකරණය කරනවා වත්ද? හැබැයි නැටුම් ගැන නම් කියලා වැඩක් නෑ! එළම එළ කිරී!

බොරු නම් බලන්කෝ! සින්දුත් ඒ වගේමයි.

ඔන්න මේ චිත්‍රපටිය නම් බලන්න අමතක කරන්න එපා! ටොරන්ට් ඇති හොයලා බලන්න (14ට වැඩි අයට 😉 )

මේ දෙවෙනි එක

බච්නා ඒ හසීනෝ (Bachna Ae Haseeno)
සාවරියා චිත්‍රපටිය රංගන දිවිය ආරම්භ කරපු රන්බීර් කපූර්ගේ මේ චිත්‍රපටියෙත් රඟපෑම හොඳයි. හැබැයි උසස්ම නිර්මාණයක් විදිහට මම නම් දකින්නේ නෑ. ඒ වුනාට සාමාන්‍ය වශයෙන් හොඳයි. බටහිර රොමෑන්ස් කොමඩි චිත්‍රපටි අනුගමනය (හෝ අනුකරණය) කරමින් නිර්මාණය කරලා තියෙන මේ චිත්‍රපටියේ රඟපාන්න තවත් නිළියන් තුන්දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් දීපිකා පදුකෝන්, අනිත් කෙනා බිපාෂා බාසු, අනිත් කෙ‍නාගේ නම නම් මතක නෑ :D. ඒ වුනාට එයත් ‍‍හොඳට රඟපානවා කියලා කියන්න පුළුවන්. පොඩ්ඩක් හොයලා බැලුවොත් අළුතෙන්ම නිකුත් කරපු DVD එකේ DVDRip එක හොයාගන්න බැරිවෙන එකක් එහෙම නෑ. (මෙන්න හොරූ…ඌ… 😛 ) මේ චිත්‍රපටිය හැබැයි 15ට වැඩි අයට 😉

ආ මේක මතක් වුනේ පහුවෙලා 😀
ලෝක ගුරු දිනය යෙදිලා තිබුනේ මේ ළඟදී නේ… අපේ මාධ්‍ය ඒකකයේ ල රෝයාල්, (LÈ ROYALE) කණ්ඩායම ඒ වෙනුවෙන් අපේ පාසලේ පවත්වපු උත්සවේ වීඩියෝ කිහිපයක් අන්තර්ජාලයට එකතු කරලා තියෙනවා දැක්කා. ඒ වගේම සිංහල සාහිත්‍ය දිනයේ වීඩි‍යෝ කිහිපයකුත් එකතු කරලා තිබුනා ඒ ඔක්කොම බලන්න http://www.leroyale.tv හරහා යූටියුබ් නාලිකාවට පිවිසෙන්න අමතක කරන්න එපා. ආ කියන්න හැදුවේ ගුරු දිනය ගැනනේ. ගුරුදිනය වෙනුවෙන් උත්සවය සමරන වෙලාවේ අපේ පන්තියේ අයත් ගුරුදිනය ඉහළින්ම සැමරුවා. පන්තිය මැද්දේ පොඩි ගිනි මැලයක් ගහලා කට්ටිය ඒක වටේ පොඩි ගෝත්‍රික නැටුමක් දාලා ඉතාම සතුටෙන් ගුරු දිනය සැමරුවේ එදා හැම ගුරුව‍රයෙක් වගේම මේ උත්සවයට සහභාගි වෙලා හිටපු නිසයි 😀 කියලා වැඩක් නෑ එදා ගත්ත ආතල් එක :D. මම මේ පොඩි සිදුවීමක් කිව්වේ. දන්නේ නැද්ද ඉතින්, පන්ති ගිහිල්ලා විභාග ලියලා, තවත් ලියන්න හෙම්බත් වෙලා ඉන්න කොල්ලෝ සෙට්ටෙක ඉතින් මේ වගේ අවස්ථාවක් ආවාම මඟහරින්න කොහොමවත් කැමති නෑ නොවැ 😀 . හැබැයි ඒකෙන් කාටවත් හිරිහැරයක් වුනේ නෑ. ඒක නිසා ප්‍රශ්නයකුත් නෑ 😉

ඒක නම් සුබම සුබ ගුරුදිනයක්!

ආ…
මලින්ත අයියා අළුත් සයිට් දෙකක් ඇරලා. අම්මේ… ලස්සනේ බෑ 😀 කෙල ‍බේරෙනවා! නැද්ද මං අහන්නේ?
ගිහිල්ලාම බලන්නකෝ..
මැගී ආච්චි – www.maggieaachchi.com
ලංකා කොමික්ස් – www.lankacomics.com

තවත් සිදුවීම් එමටයි. ඒත් ඉතින් ඒවා ලියන්න ගියොත් මට පාඩම් කරන්න හම්බවෙන්නේ නෑ! ඒවා පස්සට…. හ්ම්… දැන් පාඩමට! ගම‍නේ… යා!!!

Categories
අධ්‍යාපනික විවිධ හිනා

සුපුන් ගියා දිව්‍ය ලෝකෙ

ඕන් සුදාරකගේ ජීවන අත්දැකීම් එකතුවට තවත් දවසක් එකතු වුනා! දැන් ඒ එකතු වෙච්ච ජීවන අත්දැකීම බ්ලොග් සටහනක කොටන්නයි‍ මේ හදන්නේ. හැබෑටම මොකක්ද මේ දිව්‍යලෝකේ? ආ… ඒක මහ ‍ලොකු දෙයක් නෙවෙයි. සාහිත්‍ය මාසේ නිසා දැන් ව්‍යංගාර්ථයෙන් කතා කරන්න පුරුදු වෙලා! 😀 පසුගිය බ්ලොග් සටහන් එක්ක එකතු වෙලා හිටියානම් වැඩේ තේරෙන්න ඇති. ඔව්, ඔබ හරි! 😀 මම ගියා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට. ඒකත් මරු රසවත් කතාවක් (මට). මගේ වෙබ් හෝස්ටින්ග් පාරිභෝගියන්ට පින් සිද්ධ වෙන්න එකතු කරගෙන හිටපු රුපියල් පන්දාහා ඊයේ පන්ති ගිහිල්ලා එද්දී ඇරගෙන ආවේ අද පොත් ප්‍රදර්ශනයට යන්නම සූදානම් වෙලයි. අද ඉස්කෝලෙත් ගොඩක් තියෙන්නේ ඩබල් පීරියඩ් නිසා පොත් බෑගයෙන් මහා පතරංග ජාතකේ ‍ව‍ගේ ලොකු අච්චු පොත් ටික කප්පාදු කරේ බෑග් එකේ ඉඩ ඇරගන්න. ඒක හොඳට ගියා. මොකෝ මට වෙන අයට වගේ පොත් උස්සන් එන්න ගෑනු ළමයි ඉන්න එකක්යැ 😉 . ම්… ඔන්න ඉතින් උදෙත් වුනා. මම කොහොමත් පාන්දර නැගිටින කෙනානේ. පාන්දර නැගිටින එක හොඳ පුරුද්දක් තමයි! ඒත් මම නම් පාන්දර නැගිටින්නේ හොඳ පුරුද්දක් අනුගමනය කරන්න ඕන නිසා නෙවෙයි 😀 මොකද උදේ පාන්දර නැගිටලා පිටත් වෙන්න බැරිවුනොත් අතර මඟදී ට්‍රැෆික් වලට අහුවුනොත් ඉස්කෝලේ ගිහිල්ලා හමාරයි! පොත් ප්‍රදර්ශනයට ඉතින් තනියම යන්න බෑනේ. කතා කරා මගේ අතිජාත නේවාසිකාගාර යාළුවෝ දෙන්නෙක්ට. හැබැයි ඒ අය නම් දැනටමත් පොත් ප්‍රදර්ශනේ බලන්න ගිහිල්ලා හිටපු නිසා පොඩි පගාවක් දෙන්න වුනා එක්ක ගෙන යන්න :D. ‍ඉස්කෝලේ ඉවර වෙන බෙල් එක වැදෙනකන් රජ (රාජකීය 😉 ) තුන් කට්ටුව හිටියේ ඉවසිල්ලක් නැතිව.

දුන්නෙන් විද්ද හීයක් වගේ මේ ලැරී… නෑ නෑ වැරදුනා 😀 . ඔන්න මුල ඉඳලා… දුන්නෙන් විද්ද හීයක් වගේ අපි තුන්දෙනා කෙලින්ම පිටත්වුනේ BMICH එකට. ම්… වෙනදා තරම් නම් කට්ටියක් අද පේන්න නම් හිටියේ නෑ. එක අතකට ඒක හොඳයි. නිදහසේ පොතක් තෝරතෑකි කියලා හිතාගෙන ඇතුල් වුනාට පස්සේ කොහෙන් පටන්ගෙන කො‍හෙන් ඉවරකරන්නද කියලා හිතාගන්න බැරිව උහතෝකෝටික ප්‍රශ්නයකට තමයි මුහුන දෙන්න වුනේ. ඉතින් වෙළඳ කුටි තියෙන පිළිවෙළින් අපිත් ඇතුල් වුනා. හප්පේ… බලන්න එපැයි තියෙන පොත් කන්දරාව… පොත් වල සුවඳ දැනෙනකොට නිකන් කරකවලා අතඇරියා වගේ. මොකක් ගන්නද? මොකක් නොගන්නද කියලා හිතාගන්න බැරිවුනා. මෙවර රාජ්‍ය සම්මාන දිනූ නවකතාව වුන අටවක පුත්තු පොත ගන්නමයි ගියේ. ඒත් ‍පොතේ මිල දැක්කාම නම් අදහස ගැන විචිකිච්ජාවක් ඇතිවුනා. වැඩ පොත් වගයක් ගන්නත් තියෙන නිසා, සල්ලි ටික අරපරිස්ස‍මින් වියදම් කරන්න ඕන වුන නිසා, අටවක පුත්තු පොත එක පාරටම ගන්න හිතුනේ නැ. දෙවෙනි වටේදී ගන්නවා කියලා හිතලා ඒ පොත ගන්නවාද?, නැද්ද?, ගන්නවාද?, නැද්ද?  කියලා හිත හිත අනිත් ‍පොත් තෝරන්න ගත්තා. අරිසෙන් අහුබුදු ශූරි‍න්ගේ ඉර හඳ නැඟි රට පොත හෙව්වත් ඒකත් ‍හොයාගන්න බැරිවුනා. සමහර විට මඟ ඇරුනාද මන්දා. ඒ ව‍‍ගේම ගුණදාස අමරසේකර ශුරින්ගේ විල් තෙර මරණය පොතත් හොයාගන්න බැරි වෙච්ච එක තමයි දුක. පොත් ගන්න එක පටන් ගත්තේ භද්‍රජී මහින්ද ගුණතිලක‍ගේ පොතකින්. ඉර හඳ නැඟ රට පොත හොයාගන්න බැරි වෙච්ච නිසාම, ආයේ දෙපාරක් හිතන්නේ නැතිව “ශ්‍රී රාවණ්ණා පුවත – හෙළ යක් පරපුරේ කතාව” කියන පොතින් තමයි වැඩේ පටන්ගත්තේ. ඊට පස්සේ ඇවිදලා ඇවිදලා හොයාගත්තා “ප්‍රතිභා ප්‍රකාශණ” කුටිය. ඒ මොකටවත් නෙවෙයි, මං කැමතිම (මං හිතන්නේ මං විතරක් නෙවෙයි තව ගොඩක් අය කැමති ඇති) පරිවර්තකයාගේ පොත් ඇරගන්න. කොනන් ඩොයිල් විසින්ම ලිව්වේ නැති වුනත් ෂර්ලොක් හෝම්ස් නමට ආසා නිසාම චන්දන මෙන්ඩිස් විසින් රචිත හා පරිවර්තිත “ගින්දර සමඟ සෙල්ලම්” පොතයි, “ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ විශිෂ්ඨ කෙටි කතා – 2 – සොඳුරු සිතුවම්” කියන පොතයි ඇරගත්තා. ඒ වගේම ප්‍රතිභා ප්‍රකාශකයන්ගෙන්ම ඇරගත්තා නැඟී එන නව කතා, කෙටි කතා රචක ලසිත රවීන් උමගිලියගේ අළුත් පොත් දෙකකුත්. ඔය විදිහට වටේම ඇවිදලා මාස්ටර් ගයිඩ් එකෙනුත් වැඩ ‍පොත් ටිකකුත් ඇරගත්තා.

මරු ආතල්ම වැඩේ වුනේ සතර ප්‍රකාශකයන්ගේ කුටියෙදී. එකොළහේ අපිට තියෙන අළුත් සිලබස් එක නිසා නන්නත්තාර වෙලා ඉන්න අපිට ආදර්ශ ප්‍රශ්න පත්‍ර වල අවශ්‍යතාව හුඟක්ම දැනිලා තිබ්බා. සතර කුටියේ ප්‍රධාන දැන්විම වෙලා තිබ්බෙත් අළුතෙන් සාමාන්‍ය පෙළට නිකුත් කරපු ආදර්ශ පොත් ටික ගැනමයි. විද්‍යාව ප්‍රශ්න පත්‍ර පොතේ අවශ්‍යතාවය මට විතරක් නෙවෙයි මගේ යාළුවෝ දෙන්නාටත් දැනිලා තිබ්බ නිසා ගිහිල්ලා මුලින්ම හෙව්වේ විද්‍යාව ප්‍රශ්න පත්‍ර පොත. කෝ! මේක නෑනේ! අයියෝ! වැඩේ කියන්නේ, විද්‍යාව ‍ප්‍රශ්න පත්‍ර පොත විකිණිලා ඉවරයි. ඔන්න ඊට පස්සේ ආපහු සැරයක් අපි තුන්දෙනා දැන්වීම දිහා හැරිලා බැලුවේ දැන්වීමේ නියම අරුත තේරුම් ගන්න. දැන්වීමේ ඉන්නේ අපේ වයසේ සහෝදරියක් වෙන්න ඇති. එයා කවුරු වුනත් කමක් නෑ, විද්‍යාව ප්‍රශ්න පත්‍ර පොත අල්ලගෙන අපේ දිහාට හිනාවෙලා බලාගෙන ඉන්නවා වගේ තමයි පෙනුනේ. ආ…! හරි…! වැඩේ තේරුනා… මෙයා අපිට බයිට් එකට තමයි එහෙනම් මේ හිනා වේගෙන කෝචෝක් පාර දාගෙන ඉන්නේ! එයා මෙන්න මෙහෙම කියනවා ඇති… කියලා අපි තුන්දෙනාටම එක පාර හිතිච්ච එක තමා පුදුමේ!! අපිටත් ඉතින් හරි හිනා!

හූ හූ…! අයියෝ චාටර් ‍නේ! මේ බලනවා ඕයි මට නම් විද්‍යාව ප්‍රශ්න පත්‍ර පොත හම්බවුනා! තමුසෙලා මෙච්චර ගාටලා ගාටලත් පොත හොයාගන්න බැරිවුනානේ! හූ හූ අයියෝ බයිට්!

😀 😀

ඔන්න ඔහොමයි ඉතින් අද දවස ගෙවිලා ගියේ. පොත් අතරේ හිර වෙලා ඉඳලා එළියට ‍එන කොට තමයි ඔරලෝසුව බලන්න මතක් වුනේ! මලා! වෙලාව හතරා මාරා…යි!! එතන ඉඳලා අඩුගානේ පැය දෙකක් වත් යනවා ගෙදර එන්න. කකුලුත් රිදෙනවා. ඒත් ඉතින් කරන්න දෙයක් නෑනේ. කාර්යාල අරින වෙලාව නිසාත් බස් එකේ සීට් එකක් ලැබෙයිද කියලා දෙගිඩියාවන් ගියේ. ඇයි ආරක්ෂක තත්ත්වෙත් හොඳ නෑනේ. පොත් ටික කඳ මළු බැඳගෙන බස් එකේ හිටගෙන යන්න ‍බෑ නොවැ. හොඳ වෙලාවට එකම එක සිට් එකක් ඉතිරිවෙලා තිබ්බා වාසනාවට! ටිකෙන් ටික බස් එක සම්පූර්ණයෙන් ලෝඩ් වෙච්ච විදිය දැක්කාම මට හිතුනේ මේ සීට් එක ලැබුනේ පෙර වාසනාවටයි කියලා. හැබැයි අන්තිමේ බස් එකෙන් බහින්න වුනේ වෙනදා බහින හෝල්ට් දෙකකුත් පහු කරලා. ඇඟිල්ලක් ගහන්න බෑ බස් එකේ සෙනඟ. ඇවිද්ද පය දහස්වටී කියන උතුම් ප්‍රාර්ථනාව හිතේ තියාගෙනම ඉතින් ගෙදරට සේන්දු වෙනකො‍ට නම් කාලා හමාරයි! පරක්කු වෙච්ච නිසා හොඳවයින් බැනුම් ඇහුවා. හැබැයි අම්මා සිංහල ගුරුවරියක් නිසා ගත්ත පොත් ටික පෙන්නලා යන්තම් ෂේප් කරගන්න පුළුවන් වෙච්ච එකත් පූරුවේ පිනක්. නැත්තන් ඇපත් නෑ!

😀 😀

දැන්නම් මාර මහන්සියි. සිදුවීම් ටික අමතක වෙන්න කලින් බ්ලොග් ‍එකේ ලියලා මම එහෙනම් නිදාගන්න යනවා. හෙට ඉස්කෝලේ යන්න උදෙන්ම නැගිටින්න එපැයි ඉතින් 😉 ආ… තව එකක්, කලින් සටහනට ප්‍රතිචාර ඉදිරිපත් කරපු හැමදෙනාටම බොහෝම ස්තූතියි…