Categories
නිර්මාණ විකාර හිනා

විකාර

ඔව්… මේ දවස්වල විකාරයි තමයි. ඔන්න ඔහේ බකන් නිලාගෙන ඉඳිද්දී නිදාගන්න යන්න ඕනෙයි කියලා නිකම් පුරුද්දට වගේ ලියැවුනා Facebook එකේ තවත් විකාර status message එකක්. ඒ මොකක්ද ඒ? මේ… තියෙන්නේ ඒක.

අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා හරිහම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් කොස් කොටන්න දාලා යුද්දෙට නැති කඩුව උනු හින්දා බොන්න බැරි නිසා බලල්ලු ලවා කොස්සැට බෑව්වා…

කිසිම තේරුමක් නෑ… හරියට නිකම් රම්බරී සින්දුව වගේ නේ… 😉

ඉතින් ඕක ඔළුවේ තියාගෙන නිදාගන්න යනකොට ඇඳ ළඟ තියෙන මේසෙ උඩ ගණං හදන්න කටු කොලයක් විදිහට ගත්තු Tuition ක‍ඩ ගැන තියෙන කොලේක තව තව එව්වා ලියන්න හිතු‍නේ නිකමට…

යුද්දෙට නැති කඩුව කොස් කොටන්න අරගෙන වඳින්න ගිය දේවාලේ ඉහේ කඩාගෙන වැටුනාම කටුස්සාගේ කරේ රත්තරන් බැඳලා දවල් වැටුන වලේ රෑ වැටිලා කබරගොයා තලගොයා කරගෙන ඌරෝ කැකුන තලන්න ගත්තා…

විකාරයි වගේ නේ… මෙන්න නිකම්ම ලියැවෙන්න ගත්තා… තව එකක්! 😮

අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා බෝක්කුවක් උඩ ඉන්නකොට දුන්න දුනුගමුවේ ඊතල කිතලගමුවේ කියාගෙන ආපු මනුස්සයෙක් රම්බරී කියපං උඹේ නොම්‍බරේ කියලා පාරේ යන ගෑනු ළමයෙක්ට කෝචොක් පාරක් දැම්මා…

මෙලෝ තේරුමක් නෑ… ඒත් පොඩියක් ගතියක් තියෙනවානේ…

පිටුවේ ගණං හදලත් තිබ්බ නිසා… ඒ පිටුව ඉවරයි. ආපහු පොඩ්ඩක් කැරකිලා ඇවිල්ලා වාඩි වුනාමයි දැක්කේ තවත් කොල කෑල්ලක්…

නිකන් තියෙන කොලේ මෙන්න මේකත් ලියවුනා…

මල් පිට මල් වැටෙන දිගු මාවතේ වාහනේ එළවාගෙන යනකොට දිය මත පිය තබමින් හිනැහෙන නුඹ දැකපු මගේ සුක්කානම හුරු දෑතට දහ අට වංගුව මතක් වෙලා වගේ, ගාල කඩාගත්ත හරකා වගේ වාහන් එළවලා දඩයක් කන්න වුනා…

අන්න ඒකේ නම් යම්කිසි තේරුමක් තියෙනවා නේ… ඔළුවට ආපු ගී පද දෙකක් එකතු කරලයි ඒක නම් ලියැවුනේ. ඒ… අමල් පෙරේරා කියන ගායකයා‍ කියන “මල් පිට මල්” සින්දුවයි, “එක හිත නැති උඹේ හිතත් දහඅට වංගුව වාගේ” (මේකේ ගායකයා නම් මතකෙට එන්නේ නෑ 🙁 ) කියන සින්දු දෙකේ පද ඇරගෙනයි…

මෙන්න තව එකක්… ඒකෙ‍ත් ඉතින් ඒ හැටි තේරුමක් නෑ හැබැයි… කො‍හොම නමුත් හොඳ ‍හොඳ තේරුම් තියෙන ඒවා පස්සේ පස්සේ ලියැවෙන්න ගත්තා… ඔහොම ඉස්සරහට කියවාගෙන යන්නකෝ…

නිකන් දෙන අස්සයාගේ දත් ගනින්න එපා කිව්වාම උගේ වයස දැනගන්න දත් ගනින්න කට ඇරියාම ඌ හිනාවෙලා මට අනිත් පැත්ත හැරිලා පයින් දෙකක් දුන්නාම ආලෝක වර්ෂ ගානක් එහාට පෙනිච්ච තරු ඔළුව වටේ කැරකැවෙන්න පටන්ගත්තා…

හෙ‍හ්… රෑට ඔළුවට එන විකාර නේ… අප්පා… 😀

මෙන්න සිරාම තේරුමක් තියෙන එකක්. කසුන් කල්හාරගේ “ආදර මල්වල” කියන සින්දුවෙන්… පොඩි උපුටාගැනීමක්…

උදේ පාන්දර ආදර මල්වල පාට හොයන්න ගිහිල්ලා ඇස් නිලංකාර වුනාමයි, කරපු වැරදි තේරුනාමයි මතක් වුනේ අස්සයා පැනලා ගිහාට පස්සේ ඉස්තා‍ලේ වහලා යරියන්නේ නම් නෑ කියලා…

මෙන්න මෙතැනින් පස්සේ තමයි ලියැවුනේ සිරාම ටික. නොකඩවා කියවාගෙන යන්නකෝ එහෙනං… 😉

ගමේ තිබිච්ච අවුරුදු උත්සවේ කොට්ටා පොර ගහන්න ගිහිල්ලා ගමේ ගෑනු ළමයෙක් ඉස්සරහා එක ඇහැක් පියවුනාම කොහෙන්දෝ කඩා පාත් වෙච්චි සද්දන්තයෙක් කොට්ට 4ක් 5ක් සයිස් සද්දන්ත හස්තයෙන් ඔළුවට නෙලනකොටයි මතක් වුනේ තාම තර‍ඟේ පටන් ගත්තේ නෑ කියලා…

සොයන්නාට සම්බවේ කියලා කියාපු නිසා දහ අතේ රට වටේ හොය හොය ඉන්නකොට පිටට තට්ටු කරපු එකෙක් ඇහුවා “මොනවාද හොයන්නේ?” කියලා… එතකොටයි මතක් වුනේ මාත් වැඩකරලා තියෙන්නේ “කළුවා මාරපන් ගියා වගෙයි” කියලා…

අවුරුදු ගානක් කට්ට කාලා ඉගෙනගත්තු දේවල් පේපරේ ලියන්න පැය 5ක් මදි නිසා අවුරුද්දෙන් අවුරුද්දට එක ප්‍රශ්නෙට උත්තරේ ගානේ ලියන ‍මගේ මේ පස් වෙනි අවුරුද්ද…

පවතින ක්‍රමේ ඉඳගෙන පවතින ක්‍රමේට බැන බැන ක්‍රමේ කඩාගෙන බිඳගෙන එන්න දඟලන එවුන් පවතින ක්‍රමේ  විසින්ම තලා පෙලා පොඩිකර දාන අපූරුව…

විද්‍යා‍වේදී එකෙක් කියපු දේ තව එකෙක් බොරු කරලා, ඌ කියපු දේ තව එකෙක් බොරු කරලා මෙහෙම බලාගෙන යනකොට විද්‍යාව කියන්නේ පට්ටපල් බොරු!

මහ නගර සභාවෙන් අවුරුදු ගානකට පස්සේ ඇවිල්ලා කුණු ගොඩ අස් කරනකොටයි තේරුනේ අපි ජීවත් වෙලා ඉන්නේ කුණු ලොරියකය කියලා…

නිවුටෝනියානු යාන්ත්‍රණේ අයින්ස්ටයින් මාමාගේ සාපේක්ෂතාවාදයෙන් ‍බොරු වෙලා යනකොට අපිට තාම උගන්නන්නේ නිවුටෝනියානු යාන්ත්‍රණයමයි. හැබැයි සූත්‍ර වලින් එන උත්තර ආසන්න වශයෙන් සමානයිලු. ඒත් ඉතින් හත්තිලව්වේ අපි ඉගෙනගන්නේ බොරුමනේ…

අයිසෙක් නිව්ට‍න්ගේ ඔළුවට ඇපල් ගෙඩියක් වැටෙන්නේ නැතිව පොල් ගෙඩියක් වැටුනානං අපි මෙච්චර දුක් විඳින්න ඔනේ නෑ කියලා කවුද එකෙක් කියනකොට, එහේ ඒ ‍කාලේ පොල් තියෙන්නේ නැතුව ඇති කියලා ප්‍රති උත්තර දුන්නාට මගේම යටි හිත කියනවා මගේ ඔළුවට පොල් ගෙඩියක් වැටුනානං ලෝකෙම වෙනස් කරන්න තිබුනා කියලා… ඔච්චර පොඩි ඇපල් ගෙඩියක් ඔහොම ඔළුවට වැටිලා ඔච්චර දෙයක් හොයාගත්තානං ඔළුවට ‍හොඳවයින් පොල් පරාලයක්, යගුලියක් හරි තඩි කලු ගලක් හරි වැටුනානං මොනවා කරන්න තිබුනාද කියලා කාටද කියන්න පුලුවන්?

ඇහැට නොපෙනෙන ‍ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ගැන ඉගෙනගෙන හිරෝෂිමාවට බෝම්බ දාලා ලක්ෂ ගණනින් මරණවාට වඩා හොඳ නැද්ද තමුන්ගෙම කියලා කුඹුරක් කොටාගෙන දෙ‍තුන් දෙනෙක් ජීවත් කරන එක?

ධන වාදය, සමාජ වාදය, නාසි වාදය, අර වාදය මේ වාදය ගැන වාද කර කර හිටපු කාලේ වෙන වැඩකට යොදාගන්න පුලුවං වුනානං දහස් ගානක ජීවිත බේරන්න තිබුනා. පරිසර දූෂණේ නැති කරන්න තිබුනා… සැහැල්ලුවෙන් ජීවත් වෙන්න තිබුනා…

හික් හික් තව තව එව්වා ලියැවුනා… ඒවායේ නං කිසි වැදගම්මක් ඇති දේවල් නෙවෙයි… බලන්නකෝ ‍ප්‍රස්ථාව පිරුළු වලින් පටන්ගෙන ඉවරවෙනකොට මොකද වෙලා තියෙන්නේ කියලා… මට නං හොඳටම විකාර! මං යනවා නිදාගන්න 😀 මේවා හීනෙනුත් පෙනෙයිද මන්දා… 😮

Categories
හිනා

“බබාටත් අයිඩෙන්ටියක්” සමඟින් තවත් බොහෝ දෑ!

😀

මුලින්ම පොඩි හිනාවක් දාලා පටන්ගන්නම්. මම කියලා තියෙනවානේ මට විභාග පීඩනයෙන් මිදෙන්න ‍කරන්න පුළුවන් හොඳම දේ බ්ලොග් ලිවිල්ලයි හින්දි චිත්‍රපටි බැලිල්ලයි කියලා. ඔව් ඔව් මං දන්නවා ඔයා අහන ප්‍රශ්නේ! ඉන්න මංම අහලා මංම උත්තර දීලා ඉන්නම්

තමුසේ ඉන්දියානු මැදිහත්වීමට විරුද්ධ නම් ඇයි ‍යකෝ හින්දි චිත්‍රපටි බලන්නේ?

ආ… ඒක මගේ රසවින්දනය පිළිබඳ ප්‍රශ්නයක් නම් තමයි. ඒත් මම කලින් සටහන් කරේ ඉන්දියාවේ දේශපාලනික තත්ත්වය පිළිබඳව දැනුවත් කරන්න. අනික ගොඩක් අළුතෙන් එන හින්දි චිත්‍රපටි පරණ හින්දි චිත්‍රපටි වගේ මල් ගස් වටේ දුව දුව ආ‍ද‍රේ කරන ඒවාත් නෙවෙයි. අන්න ඒකයි මම හින්දි චිත්‍රපටි බලන්නයි හින්දි ගීත අහන්නයි කැමති. දැන් හින්දි චිත්‍රපටි බලලා බලලාම හින්දි භාෂාවත් ටිකක් විතර පුළුවන් 😀 ඉතින් කෙනෙක්ට කියන්න පුළුවන් හින්දි චිත්‍රපටි හරහාත් බ්‍රේන්‍ වොෂ් කරන්න පුළුවන් කියලා. ඔව් ඒක හරි. ඒත් ගොඩක් හින්දි චිත්‍රපටි නිර්මාණය වෙන්නේ වාණිජ පරමාර්ථයක් එක්ක නිසා වැඩිපුර එහෙම දේවල් නිර්මාණය වෙනවා අඩුයි. ඒත් මට හිතෙනවා‍නම් චිත්‍රපටියක බ්‍රේන් වොෂ් කරන ගතියක් තියෙනවා කියලා චිත්‍රපටිය බලලා රසවිඳිනවා විතරයි. ඒකෙන් ඔළුව පුරවගන්න හිතන්නේ නෑ. හරියට මේ කනෙන් අහලා අනික් කනෙක් පිට කරා වගේ.

හොඳයි. දැන් මාතෘකාවේ ප්‍රධාන කාරණාවට බහිමු

මම කලින් සටහනක කිව්වානේ මට ජාතික හැඳුනුම්පතක් ගන්න ප්‍රමාදවෙනවා කියලා. ඉතින් මම හිටියේ තැපැල් හැඳුනුම්පතක් ගන්නනේ. ඒ වුනත් ජාතික හැඳුනුම්පතක් නැතුව හිතට මදි වගේ 😀 ඉතින් මොකද කරේ එක් දින සේවාවෙන් හැඳුනුම්පතක් ගන්න හිතුවා. මුලින්ම ජාවත්ත තියෙන්නේ ‍කො‍හේද කියලා හොයාගන්න ඕනේ වුනා. ඉතින් ඉස්සෙල්ලාම අන්තර්ජාලයේ හෙව්වා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හොයාගත්තා. (http://www.rpd.gov.lk) හොයාගෙන. වෙබ් අඩවියේ නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි දැක්ක ගමන්ම පුෂ්පේ පැන්නා 😀 ඒ මොකද කියලා කිව්වොත් ඒකේ පුවත් හා සිදුවීම් කියන අංශයේ තියෙන්නේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තුවන පාසල් සිසුන් සඳහා ජාතික හැඳුනුම්පත් කියලානේ. ඉතින් පුෂ්පේ පනින්නේ නැතිව තියෙයියැ?

ඊට පස්සේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලිපිනයත් බලලා. ගත්තා 1919ට ඒක තමයි රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය. ගත්තේ නිකන් ආතල් එකකටත් එක්ක. ගත්තේ දවසෙන් හැඳුනුම්පත හදාගන්නේ කොහොමද කියලා දැනගන්න. ම්… වරදක් නෑ සතුටුදායකයි. ඒකෙනුත් ඉතාමත්ම සතුටුදායක විදිහට ප්‍රතිචාර ලැබුනා. දැන් තිබ්බ එකම ප්‍රශ්නේ තමයි කොහොමද දැන් ඕක තියෙන තැන හොයාගන්නේ කියලා! හික්! ඒක ගැන නම් කතා කරලා වැඩක් නෑ… තියෙන්නේ කොළඹ 5 නිසා ගිහිල්ලා බැස්සේ කිරුළපණ. වැඩේ කියන්නේ උදේ ඉඳලාම වර්ශාවෙන් බාධා. මහවැලි ගඟ කොළඹට හැරෙව්වා ව‍ගේ තමා මහාමාර්ගය ගැන අතිශයෝක්තියෙන් කියනවානම්! 😀 ඉතින් ඊට පස්සේ නැග්ගා බස් එකක. ඒකෙන් ආවා නාරාහෙන්පිටට. නාරාහෙන්පිටින් නැග්ගා 173ක. කිව්වා පු.ලි.දෙ එක ලඟින් බස්සන්නයි කියලා. හුටා! කොන්දා කියාපි මේ පාරන් නම් පු.ලි.දෙ ළඟට යන්න බෑ. හැබැයි කෙටි පාරක් තියෙනවා එතනින් බස්සන්නම්. ඒ පාරෙන් යන්න කියලා. හරි ඔන්න දැන් එතැනින් බැස්සා කියමු‍කෝ… ගියා පාර දිගටම මල ‍කෙළියයි. මේ ගහලා තියෙන්නේ පුද්ගලික පාරකි කියලා නේ! දැන් මොකද කරන්නේ? ආවා ආපහු හැරිලා… ඔන්න ඔහොම ආපහු ‍එනකොට හම්බවුනා ත්‍රී රෝද රථ ‍සහෝදරයෙක්. එයා කිව්වා හරි හරි එය ගියපු පාරම තමයි කෙලින්ම යන්නයි කියලා. හරි ඉතින් ආපහු හැරිලා ගියා. යනකොට ඉතින් මුළු සප්ත මහා සාගරයම පාර්. වැහැලා වැහැලා මඩවෙලා! 😀 ඉතින් ඔන්න කොහොම කොහොම හරි ළඟා වුනා කියමුකෝ. වැස්සයි, රවුම් ගහන්න වුන නිසයි හොඳටම හෙම්බත් වෙලා තමයි හිටියේ. ඉතින් ඔන්න ඇතුලට ගියා. මම හිතේ මවාගෙන හිටපු අකාර්යක්ෂම ‍සේවය ගැන තිබ්බ අදහස නම් පොඩ්ඩක් අඩුවුනා මොකද එතන තියෙන විමසීම් කවුළුවෙන් පරිගණක ආශ්‍රිත දත්ත පද්ධතියකින් හැඳුනුම්පතේ අයදුම්පත පිළිබඳ විස්තර ලබාගන්න පුළුවන්. ඊට පස්සේ ගියා ඇතුලට හැබැයි එතන කට්ටියනම් පොඩ්ඩක් විතර කදේ දාගෙන හිටියේ කොහොමහරි මොකද පරක්කු‍ වෙන්න හේතුව කියලා හොයාලා බැලුවාම වැඩේ මාට්ටු වුනා. බැලුවාම වැරැද්ද තිබිලා තියෙන්නේ අපේ ඉස්කෝලේමයි. ප්‍රමාද වෙලා අයදුම්පත් ටික පු.ලි.දෙට බාර දීලා ඒ වැරැද්ද වහගන්න අපිට එක් දින සේවයෙන් අයදුම්පත් ගන්න කියලා. හොඳ වෙලාවට මම කලින් සටහනේ බැන්නේ නැතුව පස්සට කල් දැම්මේ.

දැක්කානේ…

හැමදේම වෙන්නේ හොඳටයි කියලා කියලා තියෙන්නේ කට කහනවට නෙවෙයි 😉

එක්දින සේවාව ලබාගන්න පළවෙනි කවුළුවට සල්ලි දිලා පැය 2ක් විතර බලන්න ඉන්න වුනා. ඒක නිසා කම්මැලි කම යන්නත් එක්ක ෆෝන් එකට ඊ බඩී දාගෙන මලින්ත අයියාත් එක්ක පොඩි සංවාදයකට සෙට් වෙලා හැඳුනුම්පත හදලා දෙනකන් බලං හිටියා. හරියටම පැය එකකුත් විනාඩි 45කින් විතර යන්තම් හැඳුනුම්පත ලබාගන්න පුළුවන් වුනා.

ඔන්න ඔහොමයි බබාට අයිඩෙන්ටිය හම්බවෙලා රටට වගකිවයුතු ‍මහ එකෙක් වුනේ! 😀

ඔන්න පහුවදා ඉස්කෝලේ යනකොට අපේ ඉස්කෝලේ ලංවෙද්දී ලාවට වගේ දැක්කා කැප්පෙටිපොල මාවත කියලා පුවරුවක්. ඒත් එක්කම ව‍ගේ ඒ ළඟ තිබ්බ කඩේක පුවරුවකටත් ඇහැ යොමු වුනේ ‍පුදුම විදිහට. හුටා! කොළඹ 05!! මල කෙළියයි දැන් තමයි වැඩේ සුසර (Tune) වුනේ! ඊයේ එතකොට මම පු.ලි.දෙට යනවා කියලා රවුමක් ගහලා නෙව. බලනකොට මම හරියට පු.ලි.දෙ.ට ගිහිල්ලා තියෙන්නේ…

පරංගියා කෝට්ටේ ගියා වගේ
නේ!

ඔන්න එතකොට වැහි අඳුර තිබ්බ නිසා වහලා තිබ්බ බස් එකේ මගේ ඔළුවට උඩින් තිබ්බ ලයිට් එක ආපහු දැම්මා! බලන්නකෝ ඒකෙත් ගැලපීම! කාටූන් බලනවානම් ඔයාලා දන්නවා ඇතිනේ මොකක් හරි කාටූන් චරිතයකට අදහසක් හරි නුවණක් හරි පහල වුනාම ඔළුවට උඩින් දැල්වුනු බල්බ් එකක් මතු වෙනවා. ඉතින් මේක පුදුම සම්බන්ධයක්නේ! මට ඉතින් තනියම හිනා. මෙච්චර මේ පාරේ ඇවිදලා අදම මේ බෝඩ් එකට අවධානය යොමු වෙච්ච එක මාර පුදුමයක්නේ! හික්! පාරේ යනකොට හොඳට අවධානයෙන් යන්න ඕනේ කියන්නේ ඒක තමයි. ඔන්න ඕකට තමයි කියන්නේ…

ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දන්න බෑ කියලා!

මටත් ඉතින් මේ වගේ මරු වැඩ තමා වෙන්නේ!

හරි මේ ඊළඟ කතාව. අපේ නෑ වෙන අයියා කෙනෙක් මේ ළඟදී අපේ ගෙදර ආවා. ඉතින් ඒ ගමන් එයා සී. ඩී එකක් දුන්නා බලන්න. බලපු ගමන්ම තිබ්බ හින්දි පිස්සුව ඩබල් වුනා. මේක ‍පොඩි ළමයි හින්දි සින්දු කියන තරඟයක්. හරියට සුපර්ර්ර් ස්ටාර්ස් වගේ…

මේ අයත් ලොකු අයත් එක්ක හරි හරියටම ගැලපෙනවා වගේ! කියලා වැඩක් නෑ!! මාර ලස්සනයි. මේකේ නම තමයි Little Champs. සී. ඩී එකේ තිබ්බ ඒවායින් විතරක් සතුටු වෙන ජාතියේ කෙනෙක් නෙවෙයි මම නම්! කෙලින්ම ගියේ යූ ටියුබ් එක පැත්තට ගිහිල්ලා Little Champs කියන සෙවුම් වදන දාලා හොයලා බැලුවා… අප්පේ ‍මේක නම් එපා වෙන්නේ නෑ. පිස්සු හැදෙනවා!

මෙන්න මට අල්ලලා ගියපු වීඩියෝ ටිකක්!

මේ ඉන්නේ තන්මේ චතුර්වේදි‍ මෙයා මගේ අංක එක! හැබැයි තරඟයෙන් තුන් වෙනියා. බලන්නකෝ මේ පොඩි ‍කොල්ලා සින්දු කියන ලස්සන. එකක්! හින්දි වචන තේරුනේ නැති වුනාට අහලා බලන්න. මොකද සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්නේ… 😉

මුජ්සේ ෂාදී කරෝගී? 😀

මෙරෙ සප්නොකි

දු පට්ටා මෙරා…

මෙයානේ නම වෛශාලි. මෙයාත් මාර ලස්සනට සින්දු කියනවා. කියලා වැඩක් නෑ බලන්නම ඕනේ මේකනම්! 🙂
පියා රේ…

මේ වෛශාලි‍ගේ දස්කම් වල එකතුවක්. මෙයාට අවසානය දක්වාම තරඟයේ ඉන්න බැරි වෙච්ච එක නම් දුකයි.

ආ… මේ තව එකක් තියෙනවා… මාර ශක්තිමත් හඬක් නොවැ මෙයාට තියෙන්නේ…

මේ බාබී… මගේ ඩ්‍රීමි ගර්ල්… 😉 ෂහ්! මෙයා නම් මාර ලස්සනයි… මං කිව්වේ සින්දු කියන එක ගැන හොඳේ… 😉

මේ තව එකක්… පිස්සු හැදෙනවා!

ෂෝරී කී ආදත්… (මේකටත් පිස්සු හැදෙනවා)

මේ තියෙන්නේ එයාගේ දස්කම් වල එකතුවක්

මෙයාත් එළම තමා! මාර කට හඬක්. මේ ආමීර් හෆීස්…
මම කැමතිම චිත්‍රපටියේ කැමතිම සින්දුවක්…

මස්තී… මස්තී… මස්ති කලන්ඩර්…

චා…න්ද් චුපා…

ජාදු….

තව වීඩියෝ තියෙනවා YouTube වල ‍හොයලා බලන්න. කොහොමද කට්ටිය? ලංකාවෙත් මේ වගේ එකක් තියෙනවා තමයි! ඒකෙත් හොඳ අය නැතිවා නෙවෙයි. ඒත් මේ අය නම් සින්දු කියාගෙනම ඉපදිච්ච අය වගේ. අද සටහනෙන් යම් කිසි සතුටක් ලැබුවා කියලා හිතන ගමන් අදට නවතින්නයි හදන්නේ… නැවත හමුවෙමු!

ඔන්න… මාතෘකාව දැකලා…

උඹ බබා!

කියලා කියනවා එහෙම නෙවෙයි! 😉 ආ ඒක නෙවෙයි! කොහොමද මගේ රූඪි, ප්‍රස්ථාව පිරුළු පාඩම එහෙම?