Categories
විවිධ

සාහිත්‍ය සහ සමාජ විප්ලවය

මේ සැප්තැම්බර් මාසයයි. එපමණක් නෙවෙයි, මේ සාහිත්‍ය මාසයයි. සාහිත්‍ය, ග්‍රන්ථකරණය පිළිබඳ උනන්දුවක් දක්වන්නාවූ බුද්ධිමතුන්ටනම් වසරේ සෑම මාසයක්ම වැදගත් වන්නක් වන නමුත්, සාහිත්‍යයට පිළිබඳ උනන්දුවක් දක්වන සාමාන්‍ය පාඨකයාටනම් මේ සාහිත්‍ය මාසයේ අගය ගැන නම් විවාදයක් නැත්තේය. එමෙන්ම වාර්ෂිකව පවත්වනු ලබන ජාත්‍යන්තර‍ පොත් ප්‍රදර්ශණය නිසා තවත් සමාජ කොට්ඨාසයක් පොත් අතරට ඇඳී එන බව නම් නොරහසකි. ඔවුන් පොත් මිළ දී ගනු ලබන්නේ කියවීමට නොවේ, විලාසිතාවටය. කෙසේ නමුත් මේ තුන් කොට්ඨාසයෙන්ම ග්‍රන්ථ රචකයන්ට හා මුද්‍රකයන්ට හිමිවන්නේ ඉමහත් වාසියකි. මුද්‍රණ වියදම් ඉහළ යෑම නිසාවෙන් පොත් මිළදී ගැනීමට පෙර තමා මේ පොත මිළදී ගත යුතුමද යන්න දෙවරක් සිතිය යුතු කාලයක් එළැඹ ඇත. එමෙන්ම සිංහල රචකයන්ගේ පොත් වලට වඩා, ඉංග්‍රීසි හා එම ඉංග්‍රීසි පොත් වල පරිවර්තනයන්ට පාඨක සිත් ඇඳී ගොස් ඇති බවද ‍නොරහසකි. එයටද හේතු බොහෝමයක් ඇත. වර්තමානයේ ලියැවෙන සිංහල ස්වතන්ත්‍ර ප්‍රබන්ධ කතා පොත් අතුරින් විශාල ප්‍රමාණයක් ලියැවෙන්නේ තරුණ පාඨක පිරිස ඉලක්ක කරගනිමිනි. නමුත් මේවායින් 80%කම පමණ ඇත්තේ බොළඳ ආදර වෘතාන්ත පමණි. බොළඳ බස් වහර හා සරල කතාන්දර ඇතුලත් මෙවන් කෘති කියවන බොහෝ පිරිසකගේ මානසිකත්වයද බොළඳ වන බවට ඉතින් ‍අන් කුමන කතා ද? නමුත් විදේශීය කෘතීන් හා පරිවර්තන විශාල ප්‍රමාණයකට පාඨක ජනතාව ඇඳී යෑම විශේෂයෙන් සැලකිය යුතු කරුණකි. හැරී පොටර් කතා පෙළ ඒ අතුරින් ප්‍රධාන තැනක් ගන්නා බව නොරහසකි. කෙසේ වෙතත් කොළඹ නිර්මාණය වී ඇති බටහිර උප සංස්කෘතියේ හැඳී වැඩෙන අන්තර්ජාතික පාසල් වලින් අයනු ආයනු නොකියා, ඒ. බී. සී අකුරු කියවන කුඩා ළමුන් තම දේශීය ජාතික වීරයන් අංශු මාත්‍රයක්වත් දැනගෙන සිටීන්නේදැයි සැකයකි. ඔවුන්ගේ වීරයා වන්නේ සිතේ නිර්මාණය කරනු ලැබ ඇති ෆැන්ටසියකි. ඒ හරියට ඇඳුමක් වත් ඇඳගැනීමට නොදන්නා (Super Man) සුපිරි වීර චරිත කිහිපයක් පමණි. අවම වශයෙන් රාවණ රජු ගැන, පණ්ඩුකාභය රජු ගැන (මේ කියන්නේ අබා චිත්‍රපටිය ගැන නොවේ) උනන්දුවක් දක්වන්නේ කීයෙන් කී දෙනාද? ඒ කොළඹ සාහිත්‍ය කතාවයි.

පරිපූර්ණ මිනිසකු බිහි කිරීමට සාහිත්‍යයෙන් ලබාදෙන්නේ ඉමහත් පිටිවහලකි. 10, 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන්ට නව විශය නිර්දේශය යටතේ ලබා දී ඇති සිංහල පොත් එකින් එකට ගෙන බැලූ විට එයින් දිස්වන්නේ ශ්‍රී ලාංකික අධ්‍යාපනයේ සිදු කෙරෙනු ලබන විශාල කප්පාදුවයි. හොඳම උදාහරණය සිංහල පාඨ ග්‍රන්ථය හා සිංහල සාහිත්‍ය අධ්‍යයන ග්‍රන්ථයයි. කිසිදු තෝරා බලාගැනීමකින් තොරව පාඩම් එකතු කර ඇත. සිංහල පාඨ ග්‍රන්ථයේ ඇති පාඩම් අතුරින් 75%ක්ම වාගේ ඇත්තේ වාර්තාමය ලිපි කිහිපයක් පමණි හරවත් රසවත් සිංහල කියැවීම් ඇත්තේම නැති තරම්ය. මාගේ මව සිංහල ගුරුවරියක වූ නිසාවෙන් මා හට ඈ සතුව තිබූ පරණ නිර්දේශ ය‍ටතේ ලියැවුනු සිංහල පාඨ ග්‍රන්ථ මා කුඩා කල සිටම කියවීමට ලැබීම වාසනාවක් සේ සලකමි. නමුත් ඒ වාසනාව නොමැති අනෙකුත් සිසුන්ට සිදුවී ඇත්තේ ඉමහත් පාඩුවකි. ලංකා‍‍වේ නාමික වශයෙන් හෝ ක්‍රියාත්මක වන නිදහස් අධ්‍යාපනය නැත්තටම නැති කිරීමට ගෙනයනු ලබන ‍මේ අන්ත දුක්ඛදායී වැඩපිළිවෙල නිසාවෙන් පීඩාවට පත් වන්නේ ඉහත කී උප සංස්කෘතියේ හැදී වැඩෙන පිරිසට නොවේ, ගම්බද ග්‍රාමීය ජනතාව හා ඔවුන්ගේ දූ දරුවන්ටය. මෙවර උතුරුමැද විභාග ප්‍රශ්න පත්‍ර වලට මුහුනදුන් සිසුන්ට එල්ලෙන්නට වැලේ වැල් නැතිවිය. ඔවුන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් අහෝසි වී ‍ගොසිනි. එමෙන්ම අධ්‍යාපන කප්පාදුවේ තරම පෙන්වන තවත් කණගාටුදායක අවස්ථාවකි, මෙවර 5 ශිෂ්‍යත්ව විභාගය. පළමු ප්‍රශ්ණ පත්‍රයෙන්ම කුඩා ළමයාගේ මානසිකත්වය දෙදරා යැවීමට ඔවුන්ගත් උත්සාහය සාර්ථක විණි. ඒ අධ්‍යාපනය හා සාහිත්‍ය අතර ඇති සියුම් සම්බන්ධතාවය හා ලංකාවේ සමාජ තත්ත්වයේ සිදුවෙන් අහිතකර වෙනස්වීම් පෙන්වීම සඳහා උදාහරණ කිහිපයකි.

ලෝක ඉතිහාසයේ සමාජ විප්ලවයන් ගණනාවක් සිදුවී ඇති. මෑතකාලීන ඉතිහාසයේ වූ විප්ලවයන් අතර රුසියානු විප්ලවයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. රුසියාව සිය සමාජවාදී ආකල්ප ලොව පුරා පතුරවමින් සීතල යුධ සම‍යේ බල කඳවුරු නිර්මාණය කරගැනීම සඳහා සාහිත්‍ය උපයෝගී කරගත් ආකාරය සුවිශේෂී ය. ලංකාවේද මෑත කා‍ලයේ සමාජ විප්ලවයන් සිදු කිරීමට ගියේ රුසියානු ආකල්ප සිත්හි දරාගනිමිනි. එය ලංකාවට ගැලපීමට උත්සාහ කරාද යන්න නම් සැක සහිතය. ඒ කාලයේදී සාහිත්‍යමය හා කලාත්මක පැත්තෙන් විප්ලවයට උරදුන් චරිත බොහෝමයකි. නමුදු, විප්ලවය සාර්ථක වූයේ නැත. නන්දා මාලිනී ගේ හඬින් එදා ශක්තිමත් වූ තුරුණු ප්‍රජාවක් අද සිටීද? එදා තුවක්කුවෙන්, තුණ්ඩුවෙන් විප්ලවය කරන්නට උත්සාහ කර නුමුදු විප්ල‍වයේ තැත වැරදිනි. එයට හේතු ක‍වරේද? ඒ අන් කවර හේතුවක් නොවේ. අතීතයේ වීර කැප්පෙටිපොළ සමයේද ඔවුන්ගේ විප්ලවය අසාර්ථක වීමට හේතුවක් වූයේ පාවාදෙන්නන්ගෙන් සිදුවූ පාවාදීම් නිසාවෙනි. ඒ අයුරින් පාවාදෙන්නන් නිසාවෙන් ශ්‍රී ලංකාවේ සමාජ විප්ලවයන් අසාර්ථක විය. නමුත් ඒ පාවාදෙන්නන්ගේ බලපෑම් මධ්‍යයේ විප්ලවයන් යම් තාක් දුරකට ක්‍රියාත්මක විණි. පාවාදෙන්නන් බිහිවූයේ ශක්තිමත් මානසික පදනමක් නිර්මාණය ‍නොවූ නිසාවෙනි. ශක්තිමත් මානසික පදනමක් නිර්මාණය වීම සඳහා ශක්තිමත් සාහිත්‍යයක්-කලාවක් නිර්මාණය විය යුතුය. නමුත් එසේ සාහිත්‍යයක් හා කලාවක් නිර්මාණය වූවාදැයි සැක සහිතය. රුසියානු සාහිත්‍යයෙන් යම් තාක් දුරකට බලාත්මක වූ නමුත් ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් යුතු සාහිත්‍යකින් තොරව විප්ලවයකට ඉදිරියට යෑමට නොහැකිය. විප්ලවය-සාහිත්‍ය-කලාව අතර අද්විතීය සම්බන්ධතාව එසේය. නමුත් සමාජ විප්ලවයකට උරදෙන සාහිත්‍යයක් ලංකාවේ මෙතෙක් නිර්මාණය වී නැති බව ඔබ විශ්වාස නොකරන්නේද? වර්තමානයේ විප්ලවය කරහැක්කේ තුවක්වෙන් නොවේ. විප්ලවය සිදු කරහැක්කේ මානසික ව්‍යායාමකිනි. නමුත් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය නිසාවෙන් මොටවී ඇති නූතන තරුණ පරම්පරාවට කුමන විප්ලවද? අන්තර්ජාතික පාසලට යන ඔවුන්ගේ එකම ඉටු දෙවියා ‍අමෙරිකාවය, එසේත් නැතිනම් ලෝක බැංකුවය. හැරී පොටර්, සුපර් මෑන් රසවිඳ ෆැන්ටසියන් නිර්මාණය කරගැනීමේ කිසිදු ගැටළුවක් නැත. මා පැවසුවේ රටක දියුණුව උදෙසා නූතන දේශීය සාහිත්‍යක් නිර්මාණය වීමේ අවශ්‍යතාවය පිළිබඳව ය.

ලංකාවට සමාජ විප්ලවයක් අවශ්‍යය. නමුත් ඒ මානසික විප්ලවයකිනි. සාහිත්‍යයෙන් තොර මානසික විප්ලවයක් නිර්මාණය කර නොහැක. ලංකාවට ශක්තිමත් සාහිත්‍යයක් නිර්මාණ‍ය කිරීමට අප සියළුදෙනාම එක්වෙමු!


පසු සටහන – වෙනස් ආරකින් මෙවර සටහන ලියන්න හිතුනා. මේ මාසේ සාහිත්‍ය මාස වීම ඒකට එක ‍හේතුවක්. ඒ ‍වගේම ළඟ ළඟ විභාගය එන නිසා සිංහල රචනා ලිවීමත් පුරු‍දුවෙන්න ඕනැකම තියෙනවා. ඒකනිසා, ස‍ටහන කියවලා සටහනේ අදහස් ගැන ප්‍රතිචාර දෙනවා වගේම, සටහනේ අක්ෂර වින්‍යාස, පද බෙදීම් වැරදි ගැනත් කියලා යන්න අමතක කරන්න එපා. 🙂

Categories
විවිධ

මරණය, ශෝකය සහ යථාර්ථය

මාතෘකාව ලිව්වාට සටහන අරඹන්නේ කොතැනකින්ද කියලා මට තාම හිතාගන්න අමාරුයි. සටහන ලියන්නේ කොහොමද කියලා විතරක් නෙවෙයි. මේ සිදුවීම සිදුවුනේ කොහොමද කියලාත් හිතාගන්න අමාරුයි. කමක් නෑ. සටහනේ පිළිවෙල ගැන හිතන්න එපා. කැමතිනම් කියවාගෙන යන්න. ඔන්න මුලින්ම කිව්ව ස‍ටහන අපිළිවෙලයි කියලා. (වෙන ඒවාත් අපිළිවෙලයි තමයි. ඒත් මේක ඊටත් වඩා අපිළිවෙල වෙයි)

එදා නිවාඩුකාලේ සිකුරාදා දවසක්. අම්මාගේ උපන්දිනය එදා නිසා එදා අපේ ගෙදර හැම දෙනාම හිටියේ සතුටින්. අම්මාගෙන් එදා උපන්දින සංග්‍රහය විදිහට උදේ ආහාරය විදිහට කලින්ම ඉල්ලලා තිබුනේ පොල් සම්බලුයි බතුයි තමයි. උදේ ආහාරය සතුටින් ගත්තා විතරයි, උදේම ලොකු අම්මාගෙන් දුරකථන ඇමතුමක් ආවා. ඒක ‍නම් කොහෙත්ම සතුටුදායක ආරන්චියක් නොවෙයි. දුරකථන ඇමතුමෙන් කියැවුනේ ඔපරේෂන් එකකට භාජනය වෙලා හිටපු අ‍පේ එකක මාමාට 99%ක්ම අසාධ්‍යයි කියලයි. එදා උසේ තිබ්බ සතුට කොහෙන් ගිහාද දන්නේ ගෙදර හැම දෙනාම හිටියේ පුදුමාකාර සංවේගයකින්. එදා උදේම අපේ හොඳ ඇඳුම් හෝදලා තිබු‍න නිසා. ගමනක් යන්න හරියට ඇඳුමක් තිබ්බෙත් නෑ. තිපුනේ ගෙදරට අඳින ඇඳුමක් විතරයි. ගමනක් යන්න පුළුවන් ඇඳුම් සේරම තිස්ස ගමන නිසා කිළිටු වුන නිසා තමයි මේ ප්‍රශ්නෙට මුහුනදෙන්න වුනේ. ඒක නිසා, අපි ලැහැස්ති වුනේ සෙනසුරාදා උදේම ගාල්ලේ යන්නයි. ඒක නිසා ගෙදර හැමදෙනාම බලාගෙන හිටියේ කොයි වෙලාවෙද පහුවදා පාන්දර වෙන්නේ කියලා. ඒත් අපිට පාන්දර වෙනකම්ම ඉන්න ලැබුනේ නම් නැහැ. හවස් වෙද්දී තව දුරකථන ඇමතුමක් ලැබුනා. ඒ පණිවිඩයෙන් නම් කියවුනේ මාමාට අන්තිම අසාධ්‍යයි, ජීවිතේ ගැන විශ්වාසයක් නැහැයි කියලයි ඒක නිසා අපිට හෙට උදේ වෙනකම් බලාඉන්න හිතක් දුන්නේ නෑ. ඒ වෙලාවේ වේලිලා තිබ්බ ඇඳුම් දෙකක් ඇඳගෙන ‍වේලිච්ච නැති ඇඳුම් දෙකක් පොලිතින් බෑග් එකක දාගෙන අපි කොටුව බස් ස්ටෑන්ඩ් එකට එනකොට හවස 6යි. ගියේ ලං.ග.ම ස්ටෑන්ඩ් එකට. පුද්ගලික බස් නැවතුම් පොළට යන්න තරම් ඒ වෙලාවේ හිතු‍නේ නෑ. එහෙම හිතන්න පුළුවන් තත්ත්වයක් අපිට තිබුනේ නැහැ. ගිහිල්ලා බස් එකට නැගලා ඉන්නකොට තමයි හිතුනේ, ඇවිල්ලා තියෙන්නේ වැරදි බස් ස්ටෑන්ඩ් එකට කියලා. බස් එකට නැගලා විනාඩි තිහකටත් වැඩියෙන් බලං ඉන්න වුනා බස් එක පිටත් වෙනකන්. කොහොමහරි රෑ දහය වෙද්දී තිරාණගම. ඒත් ඒ වෙලාවේ ත්‍රී වීල් එකක් තිසා විල්බැරෝවක් වත් ‍හොයාගන්න බැරිවෙච්ච නිසා අපිට තවත් කළකිරුනා. තිරාණගම හන්දියේ ඉඳලාම අපි පයින්ම අපේ අම්මලාගේ මහගෙදරට එනකොට රෑ දහයාමාරත් පහුවෙලා. එත‍කොට හැම නෑයෙක්ම වගේ මහගෙදරට ඇවිල්ලායි හිටියේ. ගිහිල්ලා අපිට හදලා තිබ්බ පානුයි පරිප්පුයි කාලා පිරිමි අපි කට්ටිය සාලෙටත්, අම්මලයි, ලොකු අම්මලයි ආච්චිගේ කාමරේටත් වෙලා කසු කුසු ගගා හිටියේ. මාමාට තරුණ කාලේ ගෑස්ට්‍රයිටීස් වැඩිවෙලා බඩවැල්වල තුවාලයක් වෙලයි තිබුනේ. ‍කොහොමහරි ඔපරේෂන් 4කට මුහුණදීලායි හිටියේ. එයිනුත් 3වෙනි ඔපරේෂන් එක වෙද්දී ඇත්තටම හිටියේ මරණාසන්නව. තුන්‍ වෙනි ඔපරේෂන් එක වෙලාවේදී අසාධ්‍යව හිටපු මාමා ඒ වෙනකොට හිටපු කරාපිටිය ශික්ෂණ රෝහලෙන් මාරු කරලා කොළඹ ගෙනිච්චාට පස්සේ පෙර පිනකින් වගේ ජීවත්වෙන්න වාසනාව ලැබුනා. මාමා තමන්ගේ මිතුරෙක් එක්ක කියලා තියෙනවා ‍තමන් ඒ ඔපරේෂන් එක කරද්දී සිහිය නැතිවුනාට පස්සේ තමන්ට දැනුනාලු උඩ පාවෙනවා වගේ දෙයක්. බැලුවාම එයා ඉඳලා තියෙන්නේ තමන්ගේ ඔපරේෂන් තියටර් එකේ. එයා උඩ පාවෙමින් තමන්ගේ ඔපරේෂන් එක සියැසින් දැකලා තිබුනා කියලා. ඒත් ඒ ගැන පවුලේ නෑයොත් එක්ක කතා කරලා නැහැ. සමහරවිට එයා හිතන්න ඇති තමන්ව විශ්වාස නොකරයි කියලා. ඒ වගේ මරණාසන්න අත්දැකීමක් ලබපු මාමා, තමන්ගේ 5වෙනි ඔපරේෂන් එක කරද්දී එතරම් අසාධ්‍ය වෙලා හිටියේ නැහැ. ඔපරේෂන් එක කරේ හර්නියා රෝගයට, ඒත් ඔපරේෂන් එක කරද්දී බඩවැල් දියවෙලා කියලා දැනගන්න ලැබිලා තියෙà¶
±à·€à· ඩොක්ටර්ලාට. ඊට පස්සේ බඩවැල් මහලා ඔපරේෂන් එක කරලා තියෙනවා. මාමා ජීවිතේ අන්තිම කාලේ හිටියේ හරිම දුකින්, ඒකට හේතුවක් තියෙනවා. ඒක නිසා වැඩිපුර මත්ද්‍රව්‍ය පානය කරලාත් තියෙනවා. ඒක වෙන්න ඇති බඩවැල් දි‍යවෙන්න හේතුව. ඔපරේෂන් එකෙන් පස්සේ මාමාට සිහිය ගන්න අපහසු වුනා. සිහිය ලැබුනේම නැහැ. අපි මෙහෙම කතා කර කර ඉඳලා 12ට විතර නිදාගන්න හදද්දීම දුරකථන ඇමතුමක් ලැබුනා. ඔව්, ඔබ හරි. ඒ තමයි මාමා අප අතරින් වෙන්වූ බවට ලැබුනු පණිවිඩය. මේක මට විතරක් නෙවෙයි, හැමදෙනාටම දැඩි කම්පනයක් ගෙනදුන්නා. ඇහින් කඳුළු පිටවෙන්න නොදී අපි හැමදෙනාම හිරකරගෙන හිටියේ ආච්චිටයි, මාමාගේ බිරිඳ; නැන්දාටයි නොපෙනෙන්න වුනත්, වැඩි වෙලාවක් අපිට එහෙම හංගගෙන ඉන්න ලැබුනේ නැහැ. අම්මායි, ලොකු අම්මලා දෙන්නායි හඬා වැලපෙනවා දැක්ක නැන්දා, සිහි  නැතුව පොළවට ඇඳන් වැ‍ටුනා. සිහිය ගන්නකොට ආච්චිටත් ඇහැරිලා. දැන් ගෙදර එකම යුද්ධයක් වගේ. පිරිමි අය හැමදෙනාම ගැහැනු හැමදෙනාවම සනසවනවා. අහල පහල ගෙවල්වලින් කට්ටියත් ඇවිල්ලයි හිටියේ ඒ වෙලාවේ. උදේ වෙද්දී නොපැමිණිලා හිටපු පවුලේ අනිත් ඥාති බොහෝ දෙනෙක් මහගෙදරට එකතු වුනා. හවස් වෙද්දී මාමාගේ මෘත ශරීරය මහගෙදරට ගේනකොට හිතට දැනුනේ පුදුමාකාර කම්පනයක්. මුලින්ම ඇවිල්ලා කාපට් එක එලුවා. ඊට පස්සේ ස්ටෑන්ඩ් එකක් ගෙනල්ලා දිගඇරියා. ලයිට් හතරක් හතරපැත්තෙන් ගෙනැල්ලා තිබ්බා. පොල්තෙල් පහන් දෙකක් එකපැත්තකිනුත් තිබ්බා. මගේ හිතට නම් ඒ වෙලාවේ එක සිතුවිල්ලක් වත් හරියට ආවේ නැහැ. නිකන් චිත්‍රපටියක් ඇස් ඉදිරියේ දිගඇරනෙවා වගේ දැනුනා. ‍මේ දකින්නේ හීනයක්ද කියලත් හිතුනා. අන්තිමට පෙට්ටිය ගෙදර උළුවස්ස අතරින් ගේනකොට හදවතේ ගැස්ම දෙගුණ තෙගුණ වුනා. පෙට්ටිය ගෙනාපු හදරදෙනා පෙට්ටිය ස්ටෑන්ඩ් එක උඩින් තිබ්බා… පෙට්ටිය අරිනවා දැක්කේ නෑ. මම දැක්කේ හරියට පෙට්ටිය ඇරෙනවා ‍වගේ. ඒක මහා පුදුමාකාර සිතිවිල්ලක්. විස්තර කරන්න බැරි සිතිවිල්ලක්. පෙට්ටිය ඇතුලේ සැතපිලා හිටියේ මාමා!
මට නිකන් සිහි නැතිවෙනවා වගේ දැනුනත්, අවස්ථාවේ හැටියට සිහිය එළඹවාගත්තා. අම්මා එක පැත්තකින් අඬා වැලපෙනවා වගේ දැක්කා. එක පැත්තකින් නැන්දා, අනිත් පැත්තෙන්, තමාගේ එකම පුතා අහිමිවෙච්ච ආච්චි අම්මා… මේ කම්පනය දිගටම තිබුනා. ඊට පස්සේ මොකද කරන්නේ කියලා හිතාගන්න බැරිවයි හිටියේ. ඊට පස්සේ පිරිමි හැමදෙනාම එකතුවුනා. මූලිකත්වය ගත්තේ සංවිධා‍නයට ශක්තිමත් හදවතක් තිබුනු මුදිත අයියා. එයා හිටියේ නැතිනම් අවමංගල්‍ය කටයුතු කොහොම කෙරෙයිද කියලා හිතාගන්න බැරිවෙන තරම්. මමත් පුළු පුළුවන් තරම් අවමංගල්‍ය කටයුතු වලට දායක වුනා. අවමංගල්‍ය කෑම මේසයට අයත් වැඩ වලටත් මට දායකත්වය ලබාදෙන්න වුනා. ඒ හැම එකක්ම මාමා වෙනුවෙන් ඉටුකරන්න ලැබීමත් පිනක් විදිහටයි මට හිතුනේ. මේක හිනා වෙන්න කාරණයක් විදිහට සලකන්න එපා. ඒත් මේක කියන්න ඕ‍න. කෑම මේසයට ආහාර බෙදන වැඩත් මට භාරවුනා. මාමා හුරතලයට ඇති කරපු බල්ලා මෙල්ල කරන්න පුළුවන් වුනේ මාමාටම විතරයි. ඉතින් ඌ හිටියේ නිදැල්ලේ. බොහොම අමාරුවෙන් කට්ටිය එකතුවෙලා කූඩුව‍ට දැම්මාත් වැඩේ හරිගිගේ නැහැ. කූඩුව කඩලා කොහොමහරි පනිනවා. කෑම මේසයට බත් බෙදාගෙන එද්දී, මෙන්න මූ ඇඟට පැන්නේ නැතැයි. බත් එකත් එක්ක මම බිම. ඔන්න ඒක විතරයි. මගේ අතින් අතපසු වීමකට වුනේ. ඒ ඇරෙන්න මාමාට අවසන් ගෞරව දක්වන්න එන හැම‍දෙනාමට බීම, තේ, බිස්කට් වලින් සංග්‍රහ කරන්නත් මට පැවරුනා. ඒ හැම දෙයක්ම පුළුවන් තරම් හොඳින් කරන්නත් පුළුවන් වුනා. ගෙදර වැඩිහිටි කෙනෙක් ජීවත්ව ඉන්නවානම් ආදාහනය කරන එක හොඳ නෑ කියලා චාරිත්‍රයක් තිබුනත්, ගෙදර වත්තේ භූමිදානය කරේ නැත්තේ, මේක නිසා ගෙදර අයට විශාල මානසික පීඩනයක් ලැබෙන්න පුළුවන් නිසා. භූමිදානය කරන තැන දැකලා හැම වෙලාවේම මරණය නිසා පීඩාවට පත් වෙනවාට වඩා හොඳයි පොදු සුසාන භූමියක භූමිදානà¶
º කරනවා කියලා යෝජනා වුනත් ඒකට රුපියල් 50,000කට වඩා වියදම් වෙන නිසා, චාරිත්‍රය ගැන නොසිතා යන්ත්‍රාණුසාරයෙන් ආදාහනය කරන්න තීරණය කරා. මේ පිළිබඳව යෝජනාවට සැමදෙනාම එකඟවුනා. හැමදෙනාම අවමංගල්‍ය කටයුතු සාර්ථකව කරන්න (අනිත් අය වගේ නෙවෙයි. පවුලේ හැමදෙනාම මාමා ජීවත්ම ඉන්න කාලේදීත් හොඳින් සැලකුවා. මරණයේදීත් හොඳින් ගෞරවාන්විතව කටයුතු කරන්න අපිට ඕනෑකම තිබුනා) උත්සාහ ගත්ත නිසා අප අතරින් වෙන් වන දවසේ ජායාරූප ගැනීම ගැන කවුරුවත් වැඩිය හිතුවේ නැහැ. ඒ වෙලාවේදී හොයාගත්ත සේයාපටල කැමරාවේ වැඩෙත් භාරවුනේ මට. ඩිජිටල් කැමරා ඕන තරම් අල්ලලා තිබුනාට, මම සේයාපටල කැමරාවක් හරියට පාවිච්චි කරලා තිබුනේ නැහැ. මට ඒ ගැන හරි සිහියකිනුත් නෙවෙයි හිටියේ. මාමාව අන්තිමට දකින නිසා මට තිබුන මානසික පීඩනය මෙහෙමයි කියලා කියන්න බැහැ. කොහොමහරි ඇඬූ කඳුලින් හිටපු මම, අවසන් අවස්ථාවේ ජායාරූප ටික ලබාගත්තා. කොහොමහරි පුදුමයකට වගේ ජායාරූප ටික නම් හොඳට තිබුනා. ගමේ නම් පුදුම පාළුවක් තිබුනේ. හැමදෙනාම අපේ අම්මලා වගේ ගමෙන් පිටවෙලා. ඒක නිසා වැඩි දෙනෙක් ගමේ නැහැ. මරණය වෙලාවේදී මට අවුරුදුගානකින් වගේම ජීවිතේටම දකින්නට නොලැබුනු ගොඩක් ළඟ, දුර ඥාතීන් මුනගැහෙන්නත් ලැබුනා. ඉතිරි දවස් 4ම වාගේ මායි අයියලායි එකතුවෙලා නිදි මැරුවේ ඒක චාරිත්‍රයක් නිසා. දින හතක් යනකන්. ගෙදර පාළුවෙන්න දෙන්න බැහැ. ජනෙල් දොරවල් ඇරලා තියෙන්නේ ඕනේ. නිදිමරපු හැමදෙනාම වගේ විහිළු කතා කිය කිය හිනා‍වුනේ සිදුවීම අමතක කරලා නම් නෙවෙයි. එක පැත්තකින් නිදිමත නැතිකරගන්න. අනිත් පැත්තෙන් දුක තුනී කරගන්න. මම අහලා තියෙනවා මළ ගෙවල්වල වෙස්සන්තර ජාතකය, මළ පොත ව‍ගේ පොත් කියවනවා කියලා. ඒත් දැන් කාලේ ඒ පොත් හොයාගන්නවත් නෑ නොවැ. හත්දවසේ දානේ දවස වෙනකම්ම හැමදෙනාම තම තමන්ගේ දුක බෙදාගත්තා. හත්දවසේ දානෙන් පස්සේ හැමෝම තම තමන්ගේ ගෙවල් වලට පිටත් වෙන්න පටන්ගත්තා. අපිත් පිටත්වුනේ හැමදෙනාම පිටත් වුනාට පස්සේ.

ඔන්න ඔහොමයි ජීවිතේ හැටි. අනපේක්ෂිත හමුවීම්, අනපේක්ෂිත වෙන්වීම්… මේක තමයි යථාර්තය. මේ ලෝකෙට එනකොට හැමදෙනාම එන්නේ තමා වටේ ඉන්න හැමෝවම හිනස්සවාගෙන. ඒත්! ඒත්, මේ ‍ලෝකෙන් වෙන්වෙද්දී තමාගේ වටේ ඉන්න ‍හැමෝවම අඬවාගෙන තමයි යන්නට යන්නේ. අපිත් කවදාහරි දවසක යන්නටම යාවි. එදාවෙනකම් කාටවත් වරදක් නැතිව ජීවත් වෙන්න පුළුවන් නම්, ඒ ටිකම ඇති.

විභාගයත් අත ළඟ. තව මාස දෙකයි හරියටම තියෙන්නේ. පුළුවන් තරම් වැඩ ටික හොඳට කරගෙන යනවා. වාර විභාගෙත් ප්‍රතිඵල ටිකක් හොඳයි. ගණිතයට ළකුණු අනූවයි. හැබැයි විද්‍යාවට නම් ටිකක් මහන්සි වෙන්න වෙයි වගේ. පොඩි දුකක් තියෙන්නේ ඉතිහාස ප්‍රශ්න පත්‍රයට ලියන්න බැරි වෙච්ච එකයි. වාර විභාගේ ඉතිහාස ප්‍රශ්න පත්‍රයට ලියන්න කලින්ම අපිට නිවාඩු ලැබුනා‍නේ. සාක් සමුළුව නිසා. ඒක නිසා ඉතිහාස ප්‍රශ්න පත්‍රයට ලියන්න තිබුනේ නිවාඩු‍වෙන් පස්සේ. ඉතින් ඒ වෙලාවේ හිටියේ ගාල්ලේ නිසා ප්‍රශ්න පත්‍රයට ලියන්න බැරිවුනා. කමක් නැහැ. ප්‍රශ්න පත්‍රයට ලියන්න බැරිවෙච්ච එක ගැන මහ ලොකු දුකක් නැහැ. මාමාගේ අවසන් කටයුතු වලට දායකත්වය දක්වන්නට ලැබිච්ච එක නිසා ඒ දුක මැකිලා යනවා.

තවත් ලියන්න බැහැ. නැවත තවත් සටහනකින් හමුවනතෙක් ඔබට ආයුබෝවන්…