බුදුන් කීවේ මම යැයි කියා දෙයක් නැතැයි කියාය. මට මගේ ජාතිය පිළිබඳ ප්‍රශ්නයක් ඇත. මම සිංහලද, දෙමළද, ශ්‍රී ලාංකිකද එසේත් නැතිනම් නිකන්ම නිකන් මනුස්සයෙක්දැයි යන්න මට ප්‍රශ්නයකි. මගේ මිතුරන් ඔවුන් කියාගන්නා ජාතියේ නිසා ඔවුන්ගේ ජාතිය ගැන මට ප්‍රශ්නයක් නැත. ඉතින් මට සිංහල මිතුරෝද, දෙමළ මිතුරෝද, මුස්ලිම් මිතුරෝද, බෞද්ධ මිතුරෝද, කතෝලික මිතුරෝද වෙති. ඔවුන්ගේ ජාතියෙන් මට වැඩක් නැත.
“ආදරය කරනවානම් මචං දෙමළ කෙල්ලෙක්ට ආදරේ කරපං. උන්නං පණ වුනත් දෙයි.” මිතුරන් එසේද කියයි. අපේ තාත්තාද මට හොයන්නේ දෙමළ කෙල්ලකි. ජාතියක් අනුව ආදරයේ ස්වභාවය වෙනස්වන අයුරු මට ප්‍රශ්නයකි. ඒත් දෙමළ කෙල්ලන් හොඳ බව මමද සිතමි.
මගේ උප්පැන්න සහතිකයේ බෞද්ධ බව සඳහන්ය. නමුත් මා පන්සලකට ගිය කාලයක් මතක නැත. ගංගාරාමයට යන්න නම් කැමතිය. හැම පන්සලකම පරිසරයට මම කැමැත්තෙමි. ඒ නිස්කලංක බව නිසාය. දිනක් බසයේ ගමන් කරද්දි වයස්ගත චීවරධාරියෙක් පන්සලට එන්නැයි යෝජනාවක් කළේය. මට මා ගැනම පිළිකුල් හැඟීමක් ඇති විය.
මම මස් අනුභව කරමි. ඒවාට හලාල් තිබේදැයි, නැතිදැයි මට අදාළ නොවේ. මම ඒ ලකුණ තිබේදෝ හෝ නැත්දෝ හෝ බලන්නේ නැත. එසේ නොබැලුවා කියා තවම නිෂ්පාදයනයක් හේතුවෙන් මට කිසි අසනීපයක් හැදී නැත. ඉතින් මගේ සෞඛ්‍ය තත්වය හොඳයැයි මම සිතමි. බෞද්ධ හිමිකාරීත්වය ඇතැයි පැවසෙන ඔඩෙල් ඇඳුම් මට මිල වැඩිය. සමහරවිට ඔඩෙල් එකට නොයන්නේම නොවේ. නමුත් නෝ-ලිමිට් එකේ ඇඳුම් මට ලාභය. ඇඳුම් පැළඳුම් වලට – ආහාර වලට මොන ආගමක්දැයි මට සිතේ. ඒ මගේ හැටිය.
අවසානයේ මා, උත්පත්තියේදී ප්‍රභාෂ්වරව තිබූ සිත වයස විස්සක් තුළ නොයෙකුත් දෙයින් කිළිටි වූ තවත් එක් මිලේඡ්ච මිනිසෙක්යැයි සිතේ. මම හොඳද නැත. ඇති නරකකුත් නැත.