Categories
කෙටි කතා

සිම්පල් ප්ලෑන් එක – කොටම කොට කෙටිකතාවකි

*මෙය ලේඛකයාගේ පුද්ගලික අත්දැකීමක් මත ලියැවුනක් නොවේ!!!

“ටියුෂන්, ටියුෂන් සහ ටියුෂන්! මට දැං මේ ටියුෂන් කෙරුවාව එපා වෙලා! ඇත්තටම ඉගෙනගන්න වෙන සිම්පල් ප්ලෑන් එකක් ඇත්තෙම නැද්ද?”

මගේ හදවත විලාප දෙනවා. ඉගෙනගන්නවා කියලා මෙහෙමත් ඉගෙනගන්නවාද? මගේ තරුණ කාලේ මං හිතුවේ එහෙමයි.
පොඩි කාලෙ මං ඉස්කෝලෙට බාරදෙද්දී අම්මා කිව්වා ඕං පුතේ දොස්තර කෙනෙක් වෙයං කියලා. තාත්තා කිව්වා නෑ පුතේ උඹ ඉංජිනේරුවෙක් වෙයං කියලා. බාප්පා කිව්වා උඹ මං වගේ ලෝයර් කෙනෙක්‍ වෙයං කියලා. එතකොට මට හිතුනා ඔව් ඔව්, එතකොට මට පුළුවං හොඳට දුප්පත් එවුන්ගෙන් ගරාගන්න කියලා.
කොහොමහරි මං ශිෂ්‍යත්වේ පාස් වුනා. නිකම්ම පාස් වුනා නම් මදෑ කියමුකෝ, මං උඩින්ම පාස් වුනා. මගේ කරුමෙට මට ගම දාලා කොළඹ එන්න වුනා සදහටම. මං කොළඹ මහප්ප්‍රාණ තාප්ප අතරේ අතරමං වුනා. උඩ බැලුවාම බිල්ඩිමේ  මුදුන හොයාගන්න බැරිවුනා. කොළඹ පාරකට අඩිය තිව්වේ කොයි වෙලාවක හරි යෝධ වාහනයක් ඇවිල්ලා මාව චප්ප චපිරි කරලා දාවි කියලා හිතාගෙන. කන් බෙරේ පලාගෙන යන හෝන් සද්දෙට මගේ කං දෙක බීරි වුනා. මං පංති ගිහිල්ලා කට ඇරගෙන බීරි වෙච්ච කං වලින් යකඩ කටින් ඇහෙන සද්දෙට අනුව ටයිප් රයිටරයක් වගේ අතට පෑන අරං ඇක්සයිස් පොතේ කොටාගෙන කොටාගෙන ගියා. දවසට දෙකට පෑන් ඉවරවුනා. ඇරිච්ච කට වහගන්න බැරිවුනා. අන්තිමට මට කතාකරගන්න බැරිවුනා. රෑ එළිවෙනකන් මම පාඩම් කරා. ගෑනු පරාණයක් දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ. දවසක් මෙසේ යට තියලා තිබ්බ වතුර බාල්දියට නිදිමතේම පොත අතෑරියා. නිදිමතේම මේසේ උඩට වෙලා නිදාගත්තා. පහුවෙනිදා උදේ බලද්දී පොත දියවෙලා. මං ඉතින් මොකෑ කරේ, මං වගේම තවත් එකෙක් මහන්සියෙන් ලියපු පොතක් ඉස්සුවා.
මම ඊට පස්සේ විශ්ව විද්‍යාලයට රිංගලා ලක්ෂ කෝටි ගාණක් වටින පාඨමාලා නොමිලේ හදාරලා, නමට යටින් ඉංග්‍රීසි හෝඩියේ අකුරු දහ පහළොහක් ගහගෙන කොටට තිබ්බ මගේ නම ඉස්සරහින් තව මහා… කෑල්ලක් ගහගෙන විශ්ව විද්‍යාලයෙන් එළියට බැස්සා. බැහැලා, පත්තරේ දාලා තිබ්බ දැන්වීමක් බලලා ලොකු පවුලක වරදට සමාව ඉල්ලපු ගෑනු කෙනෙක් එයාගේ දෑවැද්ද එක්කම කසාද බැඳලා අවුරුදු පහ හයකට පස්සේ හීං සීරුවේ දික්කසාද කරලා දැම්මා.
දැං මං රජයේ ආයතනයක ලොකු පුටුවක්. මං ඉගෙනගන්න කාලෙදී වැඩි දියුණුකරගත්ත පොට්ටකම, බීරිකම, හොරකම මට ගොඩක් ප්‍රයෝජනවත් වුනා මට මේ තැනට එන්න. මං මගේ දෙමව්පියෝ අමතක කරලා දැම්මා, මට හිත මිතුරෝ නෑ.
ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද? අහ්, මගේ කොන්ද පන නෑ වගේ! මං හිතන්නේ මේ මම දේශපාලනයට එන්න ඕනේ කාලේ කියලා…

නිමි

Categories
විවිධ

ඇයි මේ සිම්පල් ප්ලෑන් එකකට හිර වෙලා?

ඇයි මේ දවස්වල පුද්ගලික දේවල්ම ලියන්නේ? හැබෑටම වෙන දෙයක් ගැන කතාකරන්නේ නැත්තේ? සිරස ගැන? දේශපාලනේ ගැන? ඉතිහාසය ගැන අඩුගානේ ෆිල්ම් එකක් ගැනවත් ලියන්නේ නැත්තේ ඇයි? ඇයි මේ සිම්පල් ප්ලෑන් එකකටම හිර වෙලා? සංකීර්ණ ප්ලෑන් එකකට ගියොත් නරකද?

ඔන්න ඕක තමයි මටත් තියෙන ප්‍රශ්නේ…

මේ දවස්වල මම හිතන්නේ මේ පහුගිය සටහන් වල සිද්ධ වෙච්ච දේවල් ගැනම නෙවෙයි. ලොකු ප්ලෑනක් හිතේ තියාගෙන හෙන ගේමකට ලෑස්ති වෙමිනුයි ඉන්නේ. ඒ ගැන ළඟදීම දැනගන්න ඔන්න පුළුවන් වේවි. ඔය බ්ලොග් කියවන, බ්ලොග් ලියන කාට කාටත් වැඩක් ඇති වැඩක්!

දේශපාලනේ ගැන නම් කියලා වැඩක් නෑ! ඔන්න බස්නාහිර පළාත් සභා ඡන්දයටත් තියෙන්නේ තව දවස් කීපයක් නෙව. අපි ඉතින් තාම වැඩිහිටියෝ නෙවෙයි නෙව. 18 පනින්න එපැයි ඡන්දේ දාන්න. ඒ වුනාට කිවුවාට මොකද පුංචි අපිත් ඔය ඡන්ද ගැන හෙන උනන්දුයි. මේ දවස්වල ප්‍රවෘත්ති වලට යොමු කරලා තියෙන අවධානයේ නම් කිසි අඩුවක් නෑ!. මැතිවරණ වේදිකාවේදී ඒ ඒ අය කියාගන්න කතා ඇහුවාම ඉතින් බිම පෙරළි පෙරළි සිනාසෙනවා ඇරෙන්න වෙන ‍මොනවා කරන්නද?

ඒ වගේම බ්ලොග් ලියන, එකම දේශපාලකයා වන අධිනීතිඥ අජිත් පී පෙරේරා මහත්මාත් අමතක කරන්න බෑ. බ්ලොග් ලියන අපිටත් ආඩම්බරයක්.  ඔන්න මගෙන් එතුමාට උණුසුම් සුභපැතුම්…

මේ අතරේ ලෝකයේ එක එක අර්බුද. ජල අර්බුද, බලශක්ති අර්බුද… ආ ඇයි ඒ විතරක්ද? දේශපාලනික අර්බුද? ආර්ථික අර්බුද? ඔව් ඒවත් නොසෑහෙන්න තියෙන කාලයක් තමයි මේක. ඉදිරි අනාගතය ගැන හිතන්නේ නැතිව අද ගැන හිතලා වැඩ කරන එක ඇඟට ගුණයි. නිකමට හිතලා බලන්න… වතුර නැතිවුනොත්? අතේ රුපියලක් නැතිවුනොත්? ගෙදරට ලයිට් නැතිවුනොත් මොනවායින් මෙනවා වෙයිද කියලා? පිස්සු හැදෙයි ‍නේ? මානව ශිෂ්ඨාචාරය නැවතත් ගල් යුගයටම යයි නේ. මෙන්න මේ වගේ කාරනා නිසා ඒ අංශ වලින් අනාගතය ගැන හිතන්න දෙන්නේ නැතිව හිතට වාරණයක් දාලායි මේ දවසේ ඉන්නේ. ඒක නිසා හරියට මුකුත් ලියැවෙන්නෙත් නෑ.

ආ… අපේ බ්ලොග් සහෘදයෙක් මට අලුත් නමක් දාලා තිබුනා දැක්කා. මොනවා වුනත් ඒක සිරා නම… හික්! ගල්බනිස් සදාචාර… 😀 මම කැමතියි ඒකට! 😀