Categories
ආදර සිතුවිලි නිර්මාණ විචිත්‍ර

හමුවෙමු අපි මතු සසරක – අලුත් උදෑසනක

රාත්‍රිය නිසලමුත්,
සිත තාම චංචලයි.
මිනිස් කය නිසලමුත්,
සිත තාම චංචලයි.

සුදෝ සුඳු සඳ රිදී රළ පෙළ
කවුළුවෙන් ඇස තුළට
වැදී තෙරපී හඬා…
කළෙත් මා සිත අවදි,
සිත කෙළේ කය අවදි.

සුරත් ගත් මිතුරු පන්හිඳ,
සරත් සුදු පත්ඉරුව මත.
සිපගනිමින්…

නමුත් සොඳුරිය, වත නුඹේ ඔය,
නොලද්දෙමි අවසර සිඹින්නට.
නමුත් මා සිත තුළ ‍නුඹේ වත රුව,
සිතින් පමණක් සිප සැනහෙන්නට,
ලදිමි අවසර ආදරේ නා‍මෙන්…
නමුත් එය ආදරය නම් නොව,
අඩක් පිරවූ – අඩක් හිස්වූ,
සොඳුරු පැහැදිලි අති අංකෘත,
බි‍ඳෙන සුළු බඳුනක් ය. වීදුරු.

අහෝ…
වැටුනි වීදුරුව බිම,
හදවතද කඩාගෙන,
බිඳුනි සීසීකඩ වැටෙන්නට.

සියුම් තුඩු සම කපා යද්දී..
හදවතට ඇනුනා මහමෙරක් මෙන්.
රුධිර ධාරා ගලා නොමයයි.
කඳුළු දහරා ගලා යයි.

රුධිර දහරා නොම ගලන්නට,
ඇදිමි සියුම් වීදුරු කැබලිති.
එකින් එක ගෙන ඒ කැබැල්ලෙන්,
සැදුවෙමි අලුත් වීදුරුවක්.

අහෝ…
පතුලේ සියුම් සිදුරකි.
සෙවූමුත් සැමතැනම වීදුරු කැබැල්ල,
නොමැත මා හට හමුවුනේ.

හදවත කෙවෙන කල…
විදුලි පන්දම ගෙන අතට,
ගැසුවා ආලෝක ධාරා හදවතට.
දිලිසි දිලිසී මුතු මැණික විලසින්,
හද වතේ මැදටමම සිරවී,
කුරිරු විලසින් මා වෙත සිනාසුනි.

වීදුරු කැබැල්ල…
“මට ඉන්න දීපං උඹේ හදවතත් එක්ක,
ගැලොව්වොත් හදවතින් මාව,
අලුත් වීදුරුවක් හැදුවත් වැඩක් නෑ…
මා ගලවා දැමු සැනින්…
රුධිර දහලා ගලාවි එළියට!”

අහෝ…

මා තැනූ මගේම වීදුරුව,
මගේ ආදරයෙන්ම පිරවූ…
මටම එරෙහිව – මටම මරණය,
කැඳවන්නටයි මේ හදන්නේ.
එපා හදවතේ කෙවෙන්නට…
රිදෙයි මට මරණයටත් වඩා එය.
එහෙයින් මා අසුරු සැනින්,
නුඹ ගලවා ඉවත් කරමි!

ඉතින් ආයුබෝවන්…
හමුවෙමු අපි මතු සසරක
තවත් අලුත් පන්තියක…
තවත් අලුත් උදෑසනක…

නමුත්,
මීට වඩා උදෑසනින්…

අතුරු කතා: රචකයාට කඳුළු කඩාහැලෙයි…

Categories
නිර්මාණ

කාමරේ…

මේ දවස්වල සුදාරකට නොසෑහෙන්න වැඩ. එක වැඩක් කරද්දී තව වැඩ දහයක් ඔළුවේ. ඒ වැඩ දහය ගැන හොයලා බැලුවොත් ඒ වැඩත් එක්ක තව දහසක් වැඩ. ඒ වැඩ මේ වැඩ අර වැඩ මේ ඔක්කොම වැඩ-වැඩ-වැඩ ගොඩගැහිලා තියෙන වෙලාවේ ඒ වැඩ දැක්කාම පිස්සු හැදිලා ඒ වැඩ ‍ඔක්කොම කරන මගේ කාමරේ දැක්කාම පිස්සු ඩබල් වුනා.

ඉතින් ගොඩ ගැහිලා තියෙන ඒ-මේ වැඩ ඔක්කොම කරන්න ඕනේ කියලා හිතාගෙන කාමරේ අස්කරද්දී පොත් ටිකක් අස්-පස් කරනකො‍ට ඒ අස්සෙන් මේ අස්සෙන් බිමට ඇදගෙන වැටුනු කොල කෑලි ටික අරගෙන බැලුවා අනේ හැබෑටම අත්‍යවශ්‍ය දෙයක්ද, නැත්තං මොනවාහරි ගණිත ගැටලු විසඳපුවාදවත් කියලා බලන්න…

මොන ගණිත ගැටලුද සුදාරකට…

කොල ටික අතට අරගෙන එහෙට මෙහෙට කරලා බලනකොටයි දැක්කේ මීට මාස ගානකට කලින් ලියපුවා නේද මේ කියලා. හත්වලාමයි ගෙදරට ‍මේ ලියපුවා අහුවුනානම් මෙලහකට, මේ බ්ලොග් පෝස්ට් එක ලියන්න වෙන්නේ ‍මුල්ලේරියාවට යන ගම‍න් ලැප්ටොප් එකක් අතට අරගෙන. ලියලා විතරක් නම් මදෑ. පෝස්ට් කරන්න‍ වෙනම ඩොන්ගල් එකකුත් අරගන්න වෙනවා.

හරි. ඒ අතුරු කතා. ඒ ඒ කොල අස්සේ තිබුනේ මම අර මුලින් බ්ලොග් සටහනකට අරගෙන ලියපු විකාර ලිපි. ඊ‍ට පස්සේ බාගෙට ලියපු කෙටිකතාවක්. ඒවායේ ඇති මඟුලක්, ගන්න දෙයක් නෑ. නිකන් වචන ටිකක් කොලේකට අතෑරලා දාපුවා විතරයි… ඒ අස්සේ… හම්බුනා බ්ලොග්කරණ තරගාවලිය ගැන අයිඩියාර් එක ආපුවාට පස්සේ ලියපු එක එක එව්වා. ඊට පස්සේ ගෙදර ආපු වෙලාවක එක්කෙනෙක් ගැන හිත හිත ලියපුවා. ඉතින් අපේ ඉද්දා සහෝ ළඟදී තමන් ලියපු කවි පද පේලියකුයි, චිත්‍රයකුයි පො‍ටෝ ගහලා ෆේස්බුක්කුවට දාපු එක මගේ ඔළුවට ඇවිල්ලා මාත් ඒකම අනුකරණය කරන්න ඕනේමයි කියලා හිතලා ගත්තා මගේ අධි සුපිරි බලවේගී w200 ජංගම දුරකථනය අතට. ඒක අතට අරගෙන ගැහුවා පොටෝ… 90%ක්ම පරණවිතාන මහත්යාටවත් අඳුරගන්න බැරිවෙන සයිස් පොටෝ… අනිත් එව්වා ටික අප්ලෝඩ් කරලා දැම්මා ෆේස්බුක්කුවට.
බ්ලොග් එකත් දැන් දින ගානක ඉඳලා වේලි වේලි ඉන්න නිසා පාඨකයන්ට අසාධාරණයක් ‍නොවෙන්න, ලියන මටත් අසාධාරණයක් නොවෙන්න ඔන්න සුදාරක බ්ලොග් එකටත් පොටෝ ටික අප්ලෝඩ් කරා. කට්ටියට කියවන්න… මේ කොල ටික ආ‍යේ එහේ මෙහේ අස්ථානගත වුනොත්, ගෙදර අයට නිකමට හරි අහුවුනොත් අර මං මුලින් කියපු සංසිද්ධියම සිද්ධ වෙයි කියලා හිතලා ‍මේවා ටික කොහේ හරි තැනකට දානවා. හිතු‍‍නොත් අර ලියපු සමහර එව්වා දෙන්න කවුරුත් ඇත්තේ නැති නිසා පුච්චලා අළු කරලා දානවා. ඒක ඉතින් හිතටත් හොඳයි නෙව 😉

හුටා, කාමරේ අස්කිරිල්ලයි අනිත් වැඩ ගොඩයි පැත්තක. මම මෙතන බ්ලොග් ලියනවා… අනේද කියන්නේ… මට නම් සිරාවටම පිස්සු…

ආ… දන්නෙම නැතිව බ්ලොග් සටහනකුත් ලියැවිලා එහෙනං… නරක නෑ පුතෝ! 😀

හිත: යකෝ ගිහිල්ලා කාමරේ අස්කරලා, හදන්න තියෙන ගණන් ටික හදලා දාපං නිකං පිස්සු කෙලින්නේ නැතිව!