Categories
Uncategorized

ටෙලි නාට්‍ය ජවනිකා කිහිපයක්.*

ජවනිකා අංක 13 සිට 21 දක්වා තැනින් තැන උපුටා ගත් ජවනිකා කිහිපයක්.

සාරධා: ඇයි?
මහේල: ඇයි?

සාරධා: ඇයි ඔයා කතා නැත්තෙ?
මහේල: මම කතා කරන්න ඕනෙමද?

සාරධා: කතා නොකර ඉන්නකොට හරිම මූසලයි, පාලුයි.
මහේල: මම කතා කරනකොටත් මූලසයි, පාලුයි.

සාරධා: නෑ. එහෙම නෑ.
මහේල: එහෙනම් මම කතා කරන්නද?

සාරධා: ඔව්. කතා කරන්න.
~~
මහේල: මම ගොළුවෙක් වුනානං
සාරධා: ඔයා ගොළුවෙක්ද, නැද්ද කියන එක අපේ කතාවට බාධාවක් නෙවෙයි.

මහේල: ගොළුවෙක් කසාද බැඳල වැඩක් තියේද?
සාරධා: නෑ.

මහේල: එහෙනං කසාද බඳින්නෙ?
සාරධා: ‍ඔයා ගොළුවෙක් නෙවෙයිනෙ.

මහේල: මම ගොළුවෙක් වුනානම් ඔයා මාව කසාද බඳින්නෙ නැද්ද?
සාරධා: මම ඔයාව කසාද බඳින්න ඕනෙමද?

මහේල: නෑ.
සාරධා: ඒකනෙ. ඒ වුනාට මම ඔයාව කසාද බඳිනවා.

මහේල: බොරු.
සාරධා: ඔයා කොහොමද ඒක බොරු කියල ඔප්පු කරන්නෙ?

මහේල: සමහර බොරු, බොරු කියල ඔප්පු කරන්න අමාරුයි.
සාරධා: නෑ. සමහර ඇත්ත, ඇත්ත කියලයි ඔප්පු කරන්න අමාරු.

සාරධා: අපි බල්ලෙක් හදමු?
මහේල: O.o

සාරධා: ෂීඊඊ… නෑ. මම කිව්වෙ අරන් හදාගමු.

මහේල: මේක වෙයිද?
සාරධා: මම හිතන්නෙ මේක වෙයි.

මහේල: ඒ වුනාට අපි කවද මැරෙයි කියල කවුද දන්නෙ?
සාරධා: ඉතින්?

මහේල: ඒකත් ඇත්ත. හැමදේම වෙන්නෙ හොඳට.
සාරධා: ඒකනෙ.

සාරධා: මම එනකන් ඉන්න පුලුවන්ද?
මහේල: ඉන්න සිද්ධ වෙලා තියෙනවා නේද?

සාරධා: එහෙම නෑ.
මහේල: ඒ වුනාට මම ඉන්නං.

සාරධා: මට වඩා හොඳ කෙනෙක් ලැබුනොත්?
මහේල: වැඩක් නෑ. උඹට වඩා හොඳ අය ඔක්කොම මට වඩා උසයි නෙ.

සාරධා: උස වැඩක් නෑ.
මහේල: එහෙනං මොකක්ද වැදගත්?

සාරධා: ආදරේ.
මහේල: ඒ ෆිල්ම් වලටයි, බ්ලොග් වලටයි, කමෙන්ට් වලටයි විතරයි.

සාරධා: ඇයි මට?
මහේල: ඔයාට කිසිම දේක වැදගත්කමක් නෑනෙ. කොළඹ මෙඩිකල් ෆැකල්ටිය ඇරෙන්න.

සාරධා: ඔව්. මම ෆැකල්ටියට ආදරෙයි.
මහේල: එතකොට මට ආදරේ නැද්ද?

සාරධා: ඔයාටත් ආදරෙයි.
මහේල: එකපාර දෙන්නෙක්ට ආදරේ කරන එක චපල නැද්ද?

සාරධා: චපලයි.
මහේල: එහෙනං එහෙම ආදරේ කරන්නෙ?

සාරධා: මම චපල නිසා.
මහේල: කමක් නෑ.

මහේල: ජනතා විමුක්ති පෙරමුණට මොනව වෙලාද?
සාරධා: භාරතටයි, දුමින්දටයි වුන දේමයි.

මහේල: සමාජවාදෙයි, කුඩුයි පටලගන්න හොඳ නෑ.
සාරධා: එයාලාට සමාජවාදෙ නෑ වගේම, මෙයාලට කුඩුත් නෑ.

මහේල: එහෙනං?
සාරධා: හැමෝටම බලය ඕනෙ.

*මෙහි එන චරිත නාම අශෝක හඳගමගේ සින්තටික් සිහින ටෙලි නාට්‍ය පිටපතෙන් උපුටාගන්නා ලද්දකි. චරිත ස්වභාවයන් ඒ පිටපතේ හා මේ පිටපතේදී සමාන නැත. ඒ කෙසේදයත් කෙතරම් සමාන පුද්ගල නාමයන් සමාජයේ මුනගැසුනද චරිත ලක්ෂණ බොහෝ වෙනස්වන නිසාවෙනි.

Categories
කෙටි කතා නිර්මාණ

ජනාධිපති මියයයි #කෙටි-කතාවකි

මෙය ප්‍රබන්ධයකි. සියලු නම්, ගම් හා සිදුවීම් මනඃකල්පිත වේ.

තේමා ගීතය වාදනය වේ…

ආයුබෝවන්, මේ සිරස විශේෂ ප්‍රවෘත්ති විකාශයයි. මීට සුළු මොහොතකට පෙර තිස්සමහාරාමයේ පැවති දේ‍්ශපාලනික රැස්වීමක් අමතමින් සිටි ජනාධිපති මනෝද්‍ය රුක්ෂාන් සෙනෙවිරත්න ස්නයිපර් වෙඩි ප්‍රහාරයකට ලක්විය. මේ වන විට එතුමා තිස්සමහරාම දිසා රෝහල වෙත ගුවන් මඟින් රැගෙනයමින් සිටියි. මේ ප්‍රහාරය සම්බන්ධ වැඩි විස්තර අප වෙත ලැබුනු සැනින් ඔබ වෙත ගෙන ඒමට අපි සූදානම්. රැදී සිටින්න වී රිපෝර්ට් – යූ ඩිසයිඩ් සමඟින්…

අලුත්ම පදේ ශ්‍රී!

තක දුන් තක දුන් තක දුදුන් දුන් – තක තක තක තක… මීට ටික වෙලාවකට කලියෙං තිස්සමහරාම පැත්තෙන් ස්නයිපර් වෙඩිල්ලක් පත්තුවෙලා. වෙඩි කාගෙන බිමට ඇදං වැටුන ජනාධිපති දැන් හෙලිකොප්ටරයකින් තිස්සමහරාම දිසා රෝහල වෙත අරගෙන යනවා කියල අපේ ප්‍රාදේශීය වාර්තාකරු සුරාජ් මාපා අපට කිව්වා. ජනාධිපතිට මොනවහරි වුනොත් අපි මුලින්ම දන්වන්නම්. එතකන් ඉරාජ්ගේ අලුත්ම ශ්‍රාස්තීය ගීතය රසවිඳින්න…

රෑ අට පසු වී තත්පරයයි…

ස්වර්ණවාහිනී ලයිව් ඇට් එයිට්.

අද මුළු ශ්‍රී ලංකාවට හරිම අදුරු දවසක්. ආයෙත් වෙනද වගේ ලංකාවට ආයෙ ඉර පායන්නෙ නැතිවෙයි, ඒ ලංකාව බබලමින් මෙතෙක් කල් රජකරපු අපේ අතිගරු ජනාධිපති තුමා…

“මොන මඟුලක්ද යකෝ මේ කියවන්නෙ? දාපං ගෑණියෙ දෙරණ!”
“ඇයි වදේ, ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති නෙව හොඳ.”
“මගෙන් තෝ හොඳවයින් අහගන්නයි හදන්නෙ, කෝ ඕක මෙහෙ දියං.”

…ස්නයිපර් වෙඩි පහරින් බරපතල තුවාල ලබා තිස්සමහරාම දිසා රෝහලට ඇතුළත් කරන ලද ජනාධිපති මනෝද්‍ය රුක්ෂාන් සෙනෙවිරත්න මහතා ඉන් සුළු මොහොතකට පසු අභාවප්‍රාප්ත විය. මීට දොළොස් වසරකට පෙර ශ්‍රී ලංකා ප්‍රතිසංස්කරණවාදී පෙරමුණ නියෝජනය කරමින් ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාන්තත්‍රවාදී ජනරජයේ ජනාධිපති ලෙස පත්වූ එතුමා දෙස් විදෙස් ජන ප්‍රසාදය මැද වසර දොළහක කාලයක් මුළුල්ලේ ජනාධිපති ධූරය හෙබවූයේය. සිව්වෙනි ලෝක යුධ සමයේ ඉන්දු-චීන-ශ්‍රී ලංකා බල ත්‍රිකෝණය ආරම්භ කරමින් නොබියව ඇමරිකාව හා රුසියාව ප්‍රමුඛ යුරෝපා න්‍යෂ්ඨික බලය බිදි මනෝද්‍ය රුක්ෂාන් සෙනෙවිරත්න මහතා එක්සත් ජාතීන්ගේ කමිටුවේ විශේෂ ප්‍රසාදය හිමි කරගත්තේය.

මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක්!
– විපක්ෂ නායක සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා (සිළුමිණ පුවත්පත)

පසුදින ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති

… පුරප්පාඩුවට පත්වූ ජනාධිපති ධූරයට, අග්‍රාමාත්‍ය සුභාෂ් දිල්ෂාන් කටුවනයාපාආරච්චි මහතා වැඩබලන ජනාධිපති ලෙස පත්කෙරින. ජනාධිපතිවරයාගේ අභාවය පිළිබඳ අද දින මාධ්‍ය සාකච්ඡාවකට එක්වූ ජාතික හෙළ උරුමයේ සභාපති වැඩිදුර අදහස් දක්වමින්…

මේ මීට අවුරුදු තිහකට පෙර බිමට සමතලා කළ කුරිරු දෙමළ ඊළාම් ත්‍රස්තවාදයේ යලි හිස එසවීමක්. ජනාධිපති සෙනෙවිරත්න විසින් ගෙනගිය සැහැල්ලු ලිබරල්වාදී දේශපාලනික ආර්ථික ප්‍රතිපත්ති නිසාවෙන් ඔහුටම එහි ප්‍රති විපාක විඳින්නට සිදුවීම දෛවයේ සරදමක් ලෙස අපි දකිනවා…

මේ අතර තවත් මාධ්‍ය සාකච්ඡාකවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණු ජනාධිපති අපේක්ෂිකා මෙන්ම හිටපු ජනාධිපති මනෝද්‍ය රුක්ෂාන් සෙනෙවිරත්නගේ බිරිඳ සහ අධිකරණ වෛද්‍යවරියකද වන පබසරා කාවින්දි මාධ්‍ය අමතා ප්‍රකාශ කරමින්…

අපි දෙදෙනා අතර දේශපාලනික  වශයෙන් මතවාදීමය ගැටළු තිබුනත් අපි අතර කවදාක හෝ පවුල තුළ ගැටුම් ඇතිවී නැහැ. ඔහු හොඳ දේශපාලඥයෙක් වගේම හොඳ සැමියෙක්. කෙසේ නමුත් අප පක්ෂයක් වශයෙන් මෙම ප්‍රහාරය හෙළා දකින අතරම මෙය නව යුගයක් සනිටුහන් කරනු ඇති බව අප පක්ෂයක් වශයෙන් විශ්වාස කරනවා.

(Gossip Lanka news වෙබ් අඩවියේ මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වන මොහොතේ ඇගේ ඇස් වල කඳුළු රැඳී තිබුණු බවත් කෙසේ නමුත් ඇගේ හඬ සෘජුව, ගාම්භීරව තිබූ බවත් සඳහන් වුනා)

… ​ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති

ඊයේ මිලින වූ පහන් තරුව, අති ගරු ජනාධිපති මනෝද්‍ය රුක්ෂාන් සෙනෙවිරත්න මහතාගේ අතීතය හාරා අවුස්සා බලන්න අපි නං ඔන්න අමතක කරේ නෑ. එතුමා කොළු ගැටයා කාලෙ ලියපු බ්ලොග් සටහන් කියවද්දි, Ex, Bitch වගේ නම් වලින් අමතපු චරිතයක් අපි හොයාගෙන ගියා. නව තාක්ෂණයට පිංසිද්ධ වෙන්න අපි ඇයව ඕස්ට්‍රේලියාවෙන් සොයාගත්තා. ඇය දැන් දෙදරු මවක්. එයාගෙ නම නම් අපි පුද්ගලික හේතු මත කියන්නේ නෑ. ඇය කැමති වුනෙත් නෑ මේ ගැන කතාකරන්න. ඒත් අපි බොහොම අමාරුවෙන් ඇයව කැමති කරගත්තා අපිත් එක්ක වචන දෙකතුනක් කතා කරන්න.

(තිරයේ කොටු කොටු. පහළින් දැන්වීමක් යයි: සියවස් ගණනක ඉතිහාසය! රුවන්වැල්ලේ සොභිත මහත්මාගේ පුතාගේ විශේෂ වෂී ගුරුකම්. ඔබත් කරවාගන්න. ප්‍රතිපල එසැණින්)

මට ඔය තුච්ච මනුස්සයා මතක් කරන්න එපා. ඌ මගේ ජීවිතේ කෑවා. මම ඌව අතෑරියාම ඌ මගේ පස්සෙන් වැඳ වැඳ ආවාත් මම ගණන් ගත්තෙ නෑ. පස්සෙ මම ආයෙ ඌ ගැන හොයන්න බලන්න ගියේ නෑ. මම ඕස්ට්‍රේලියාවට වෙලා දැන් සතුටෙන් මගේ මහත්තයත් එක්ක ජීවත් වෙනව.

දෙරණ ප්‍රවෘත්ති…

මේ අතර මාධ්‍ය වෙත සිය අදහස් දක්වමින් ප්‍රවීණ සාහිත්‍යවේදී මාහාචාර්ය ලිෂාන් ජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ…

මට ඌ වගේ පොරක් කවදාවත් මුනගැහිලා නෑ. ඌ මට මගේ මල්ලි වගේ. අපි හිතුවෙ නෑ මූ මෙච්චර දුර යයි කියල. ඒත් ඌ සිරා. මට මාර දුකක් ඇතිවුනේ මේ ප්‍රවෘත්තිය අහලා.

මාධ්‍ය වෙත සිය අදහස් දැක්වූ චිත්‍රපට අධ්‍යක්ෂ ලක්පති එගොඩවත්ත මහතා…

මේක හරිම කණගාටුදායක අවස්ථාවක්. රාජකීය විද්‍යාලයේ අපිත් එක්ක එකට ඉගෙනගත්තු සහෝදරයෙක් හැටියට ඔහුට බොහෝ දුර යා හැකි බව අපි දැනගත්තා. ඔහු ඒ වගේම ඔහුගෙ ගමන ඔහු ගියා. දේශපාලනයට සම්බන්ධ වීම මම නම් අනුමත කරන්නේ නෑ. ඔහු සාහිත්‍යවේදියෙක් වුනානම් ඔහුට හොඳ ගමනක් යන්න තිබුනා.

රාජකීය විද්‍යාලයේ හිටපු විදුහල්පති උපාලි ලියනගුණවර්ධන මහතා…

මට මතකයි, ඔහු ඉස්කෝලෙ වැඩ පවා අත්ඇරලා ඉස්කෝලෙ සංගම් වෙනුවෙන් වැඩ කරා. සාහිත්‍ය.lk අඩවිය පටන්ගත්තා. ඇත්තටම ඔහු ඒ වෙනකොට උසස් පෙළට මුහුනදෙන්න 80% නැතිවයි හිටියේ. මම ඔහුට උසස් පෙළ ලියන්න නුදුන්නා නම් ඔහුගේ ගමන එතැනින්ම නතර වෙන්න තිබුනා.

මීට සති දෙකකට පෙර, අරලිය ගහ මන්දිරය – ජනාධිපති කාර්යාලය.

“මම මේක කරන්න ඕනේමද ප්‍රසිඩන්ට්? මට මං ගැන ප්‍රශ්නයක් නෑ. ඒත්,”

“උඹ බය නැතුව මේ වැඩේ කරන්න ඕනෙ. උඹට මුකුත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියල මම පොරොන්දු වෙනව. උඹ මේ වැඩේ ඉවර කරල කෙලින්ම USA පනින්න ඕනෙ. මම උඹේ වීස ලෑස්ති කරලයි තියෙන්නෙ ”

“මම කිව්වනෙ මිස්ට ප්‍රසිඩන්ඩ් මට මං ගැන ප්‍රශ්නයක් නෑ කියල. ඇයි ඒත් මේක කරගන්නෙ?”

“මගෙන් වෙන්න ඕනෙ දේවල් මේ රටට මම කරල ඉවරයි.”

“ඉතින් ඇයි මැරෙන්නෙ? සර්, මැඩම් මේ ගැන දන්නවද?”

“තාම නෑ. මැරුනට පස්සෙ දැනගනියි.”