Categories
Uncategorized

/*NO COMMENTS*/

කැම්පස් එකේ පළමුවෙනි සෙමෙස්තරය ඉවරයි. මේ දවස්වල විභාගෙ. ඒකෙනුත් විෂයන් හතරක් ඉවරයි. මේ හැමදේම සිදුවෙන අතරේ තමයි මේ ලිපිය ලියන්න හිතුනේ. ලිපි විතරක් නෙවෙයි. ජීවිතය වුනත් අලුතෙන් ලියවෙන කාලයක් මේ.

කැම්පස් එකේ මුහුනදෙන අත්දැකීම් සහ යොවුන් වියේ උච්චතම කාලයේ අත්දැකීම් අකුරු වලට හැරවීම බොහොම සියුම් වැඩක්. ලියුවාට විතරක් මදි නෙව. ඒව කියවන්න පුලුවන් වෙන්නත් ඕනෙ. කියවීම පාඨකයින්ට භාරයි. සුදාරකගේ අන්තර්ජාල සටහන ලියවෙන්න පටන්අරගෙන දැනට අවුරුදු 5කට ආසන්නයි. මේ කාලය ඇතුළත සිදුවූ සිදුවීම් ජීවිතය බොහෝ වෙනස්වීම් වලට ලක් කිරීම ආශ්වාදජනකයි. ඒ කියන්නේ ලිවීම ඇරඹීම සහ ජීවිතය වෙනස්වීම ඇරඹීම සමපාත වීම හරිම සහසම්බන්ධයි.

අන්තර්ජාලයට ලිවීම නිසා එක අතකින් යතුරු ලියනය වේගවත් වුනා කිව්වොත් හරි. සිංහල යුනිකෝඩ් සමූහයෙන් පටන් අරගෙන, එළකිරි ඩොම් කොම් එකේ සැලකිය තරම් නොහැකි කුඩා කාලයකුත්, ඊට පස්සෙ සිංහල බ්ලොග්කරුවන්ගෙ සංසදයත් ඇතුළෙත් එකිනෙකා සමඟ අතත්‍යව හඳුනාගත් මිත්‍රකම් තවමත් තියෙනවා. ඒ මිත්‍රකම් වල සමහර උදව්වල ණය නැවත ගෙවීමට නොහැකිවීම කණගාටුවට කරුණක්. අධ්‍යයන කටයුතු වලින් නිදහස් වූ වහාම ඒ වැඩෙත් කළ යුතුයි.

අවුරුදු උත්සව, සහ නොයෙකුත් හමුවීම් වලට නම් වැඩි කැමැත්තක් නැහැ දැන්. විශේෂයෙන්ම ප්‍රසාරණය වෙලා තියෙන සිංහල බ්ලොග් අවකාශයේ තියෙන ගුණාත්මක අවපාතය නිසා අදහස් දක්වන්න වුනත් හිතෙන්නේ නැහැ. බ්ලොග් කියන්නේ ජීවිතේ නෙවෙයි. බ්ලොග් කියන්නේ පොරත්වය නෙවෙයි. කීබෝඩ් එකෙන් ෆේස්බුක් එකෙන් එහාට තථ්‍ය ජීවිතයක් තියෙනවා යැයි හැමෝම තේරුම්ගත යුතුයි. ඒ වගේම අනන්‍යතා අර්බුද හඹා යෑම, සෙක්ස් ඇරියස්, හලාල් ප්‍රශ්න වගේ අනවශ්‍ය ප්‍රශ්න නිසා ලංකාවෙ මිනිස්සුන්ගෙ දූපත් මෙන්ටැලිටි එක එලියට එනකොට ඒක හරිම විකාර රූපී සහ ජුගුප්සාජනක දෙයක්.

අපි මේ වටකරගෙන පාලකයන්ට බැන්නාට මිනිස්සුන්ගෙ හැටියටයි පාලකයෝ. දූෂකයින්/ඝාතකයින් නිදැල්ලේ සිටියදී පාසල් ගාස්තු ගෙවාගැනීමට පොල් ගෙඩි අහුලන ගෑනු ළමයෙක් ලක්ෂ ගණන් ඇප දී බේරගන්න වෙනවා. පත්තර වල තව දුරටත් තියෙන්නෙ සෙක්ස් කතා සහ මන්තර ගුරුකම් ගැන විතරයි. මේ අතරෙ Google ආයතනය ලංකාවෙ මිනිස්සු සෙක්ස් වලින් අංක එකට පත් කරනවා. (සෙක්ස් සොයන්නන්!)

බ්ලොග් වලින් වුනත් ප්‍රතිරූපනය වෙන්නෙ මේ විකාර රූපී සමාජයම තමයි. මාත් ඒ විකාර රූපයට අයිතියි. මීට ටික කාලයකට කලින් පටන්ගත්ත වේදිකා නාට්‍ය ට්‍රෙන්ඩ් එක වුනත් දැන් ඩවුන්. වැඩේ කියන්නෙ විශ්ව විද්‍යාල වල මානව විද්‍යා ඉගෙන ගන්න උනුත්-නාට්‍ය කාරයොත්, ආදරය ගැන කවි ලියන උනුත් හලාල් ප්‍රශ්නය ගැන බැරෑරුම් දෑ සමාජ ජාල වල ෂෙයාර් කිරීම දකින්න ලැබෙන එක. ඒ කියන්නෙ අධ්‍යාපනයේ හිලක්.

අධාපන ප්‍රතිසංස්කරණ කිහිපයකට කලින් තිබූ පාඨ ග්‍රන්ථ සහ සහ දැන් පාසල් සිසුන්ගේ පාඨ ග්‍රන්ථ සැසඳීමෙන් මේ විකෘතියේ මූලාශ්‍ර සොයාගන්න පුලුවන්. පිට කවර ලස්සන වුනාට, ඇතුළ හිස්.

අවසන් වශයෙන් චිත්‍රපටි කිහිපයක් රෙකමදාරු කරන්නම්.

  • Inglorious Bastards.
  • Good Will Hunting.
  • Memento.
  • The Last Samurai.
  • V for Vendetta.
  • The Perks of Being a Wallflower.
  • Django Unchained.
  • X-Men First Class.
  • The Truman Show.
Categories
විවිධ

ප්‍රේම පාරමිතාව.

මේක මේ මම ලියපු එකක් නොවෙයි. මටම කියල දෙයක් ලියාගන්න බැරි නිසා උපුටා ගත්තා පද පේළියක්. පොත බත්තලංගුණ්ඩුව. පොත ලියන්නේ මංජුල වෙඩිවර්ධන.
පොතේ කතාවේ හැටියට ලියන්නා මේ පද පේළි උපුටාගන්නේ බයිබලයෙන්. බයිබලය කියවලා නැති නිසා සහ කතාවට අකුරු පැටලිලා තියෙන එළිසමයෙන් පද එළියට ගලවාගන්න බැරි නිසා මට හිතාගන්න බැරි මේ පද පේළි ඇත්තටම බයිබලයේ තියෙන ඒවාද නැතිනම් මංජුල වෙඩිවර්ධනගේ හිතෙන් ලියවුනාද කියලයි.

උපුටාගැනීම ඇරඹේ…

ප්‍රේම පාරමිතාව
මා මිනිසුන්ගෙන් ද, දේව දූතයන්ගේද,
භාෂා වලින් කතා කරතත්
ප්‍රේමය මට නැත්නම්
මම ගෝෂා කරන ඝණ්ඨාරයකට හෝ,
කටුක රාවය දෙන
කයිතාලමකට හෝ සමාන වෙමි.
දිවැසි වැකි දෙසීම වරම මට තිබුණත්
සියලු අභිරහස් ගැන අවබෝධයක් ද
සකල ඥානයද මට ඇතත්
කඳු සෙලවීමට තරම් බලවත් විශ්වාසයක් මට තිබුණත්
ප්‍රේමය මට නැත්නම්
මම හිස් තැනැත්තෙක්මි.

දන් දීම සඳහා මා සතු සියල්ල වෙන් කළත්,
මගේ සිරුර ගිනි පූජාවක් සඳහා බිලි දුන්නත්
ප්‍රේමය මට නැත්නම්
මට කිසි පලක් නැත.
ප්‍රේමය, ඉවසිලිවන්තය; කරුණාවන්තය;
ප්‍රේමය ඊර්ෂ්‍යාව වන්නේ නැත.
පාරට්ටු කරගන්නේ නැත.
උඩඟුවන්නේ නැත.
ප්‍රේමය, අවිනීත නොවේ.
ආත්මාර්තකාමී නොවේ.
හනික නොකිපේ.
නපුර සිතේ ධාරණය කර නොගයි.
ප්‍රේමය, අනුන්ගේ වරද ගැන ප්‍රීති නොවේ.
හරි දේ ගැන ප්‍රීති වේ.
ප්‍රේමය, සියල්ල උසුලයි.
ප්‍රේමයෙහි, විශ්වාසයට ඉමක් නැත.
බලාපොරොත්තුවට නිමක් නැත.
ඉවසීමට අගක් නැත.
ප්‍රේමය සදාතනියකය.
දිවැසි වැකි වුවද පහව යන්නේ ය.
විවිධ ශබ්ද දෙසුම් වුවද නිම වන්නේ ය.
ඥානයද නැතිවන්නේ ය.
මන්ද අපේ ඥානය අසම්පූර්ණය.
දිවැසි වැකි දෙසීම ද අසම්පූර්ණවය.
සම්පූර්ණ දේ පැමිණි විට
අසම්පූර්ණ දේ පහව යන්නේ ය.

ඇදහිල්ල, බලාපොරොත්තුව හා ප්‍රේමය සදහටම පවතින ධර්මතා තුනකි. මෙයින් ශ්‍රේෂ්ඨතම වන්නේ ප්‍රේමයයි.

උපුටාගැනීම අවසන් වේ.

සෑහෙන දවසකට කලින් කියවීම පටන්ගත්ත බත්තලංගුණ්ඩුව ඉවරවුනේ අද උදේ. ලැබ් රිපෝර්ට්, ව්‍යාපෘති මැද ගෙවෙන ජීවිතේ ඒකාකාරී නෑ. ඒත් මොකක්ද ඩිප්‍රෙස් ගතියක් තියෙනවා.

ඇයි දන්නෑ. වෙලාකට මැරෙන්න හිතෙනවා. 😛