Categories
විවිධ

නිදහස් අදහස් : ආරාධිත සටහන.

මෙම බ්ලොග් සටහන ලියන්නේ නිදහස් අදහස් බ්ලොග් අඩවියේ හිමිකරු වන වරුණ කණිෂ්කයි.

අපේ සුපුන් සුදාරක මලය ගෙ බ්ලොග් අඩවියෙ ආරාධිත සටහනක් ලියන්න කියල කිව්වෙ ටික දවසකට කලින් වුනත් වැඩේ ටිකක් අතපසු වුනා. ඒ පාර රාත්‍රියේ ඇහැරගෙන හරි ලියල දාන්න කල්පනා කලා. මොනවද ලියන්නෙ කියන කල්පනාව ආවා ඊ ළඟට. අපේ බ්ලොග් කරුවන් පහුගිය දවස් වල ලියපු Ten random things that makes me happy කියන මාතෘකාව යටතෙ ලියන්න කියල දිලින සොහොයුරාගෙන් ආරාධනාවක් ලැබිල තිබුනත් ඒක කල් ගියා දවසින් දවස. ඒක නිසා මේ ආරාධිත සටහනට “මම සතුටට පත්වන කාරණා දහයක්” කියන මාතෘකාව යටතේ ලියන්න හිතුවා.
එහෙනම් ඉතින් ඔන්න පටන් ගත්තා.

1) හොඳ/රසවත් කෑම වේලක් –

සාමාන්‍යයෙන් මේ කාරණාව මුලට ආවේ පෙරේත කම හින්දා නම් නෙවෙයි. කොහොමටත් මම ඒ තරම් කෑම පස්සෙ එළවන්නෙ නෑ. නමුත් ආහාර කියන එක අපේ මූලික අවශ්‍ය තාවයක් නෙ . ඒක නිසා හොඳ ආහාර වේලක් ගත්තට පස්සෙ හිතට සතුටක් දැනෙනවා. ටිකක් වුනත් රහට කන්න තියෙනවනම් තමයි මම කැමති. අම්මා උයන කෑම තමයි අංක එකට එන්නෙ. හැබැයි අවස්ථාව ලැබුනොත් අල තෝසෙ කන්න ලැබෙනවනම් බොහොම කැමතියි.

2) සුවදායක නින්දක් –

මේකත් බොහොම වැදගත් එකක්. මේ දවස් වල මට නොලැබෙන ප්‍රධාන දේ තමයි මේ. හේතුව වැඩ බහුල කම නම් නෙවෙයි. මොකද්දෝ හේතුවක් නිසා රෑට හරියට නින්ද යන්නෙ නෑ. ඒක නිසා උදේට නැගිටින්නෙ බාගෙට නිදි මතේ. නරකම ප්‍රථිඵලය තමයි දවල් දවසෙත් නිදි කිරා වැටෙන එක. නිදිමත වැඩි වුනාම වැඩක් කරන්නත් බෑ. වැටුණු තැනක නිදා ගන්න රක තමයි කරන්න තියෙන්නෙ. හැබැයි කාලයක් තිබ්බා දවසට නිදාගන්න ලැබෙන්නෙ උපරිම පැය හයක විතර කාලයක්. හැබැයි මැරුණා වගේ සනීපෙට නින්ද යනවා. රෑ ජාමේ ඇහැරෙන්නෙ නෑ. උදේට නැගිට්ටමත ඇඟට හරි ප්‍රබෝධයක් දැනෙනවා හරියට නින්ද ලැබුනම. මේ දවස් වල නම් එපා වෙලා ඉන්නෙ.

3) පොත් කියවීම

පොත් එක්ක මගෙ තියෙන්නෙ බොහොම තද බැඳීමක්. පුංචි කාලෙ ඉඳන් පාලුව , තනිකම මක් ගන්න පුරුදු වුනේ පොත් කියවල. ඒ කියවන කොට පොතේ ඉන්න චරිත හිතේ මැවෙනවා. සමහර වෙලාවට ටික දවසක් යනකම් මම ජීවත් වෙන්නෙ පොතේ චරිත එක්ක මනංකල්පිත ලෝකයක. කලබල වෙලා හරි දුකෙන් ඉන්න වෙලාවක දි හරා පොතක් කියවල හිත හදා ගනන පුලුවනි. හැබැයි අන්තිම කාලෙ (අවුරුදු තුනකට විතර කලින් ඉඳල) පොත් එක්ක තිබුන බැඳීම අඩු වුනා. හොඳ පොත් හොයාගන්න බැරි වීමත් සහ තව විවිධ හේතු ඒකට බල පෑවා.

4) මිත්‍රයෙක් ගෙන් ලැබෙන/ මම මිතුරන් හට ලබා දෙන දුරකථන හෝ කෙටි පණිවිඩ

මොන හේතුවකට ද මන්දා මට අනිත් මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ජීවත් වෙන එක හරි අමාරු වැඩක්. සමහර වෙලාවට වැඩිය අනිත් උදවිය එක්ක ආශ්‍රයක් නැතිව හුදකලාව ජීවත් වෙන්න උත්සහ කරල තියෙනව. ඒ වුනාට ඒක සාර්ථක වෙලා නෑ. හුදකලා වීමට තියෙන බය මොකක් හරි දුර්වල කමක් ද කියන්න දන්නෙ නැති වුනත් කවුරුන් හෝ සමීප කෙනෙක් ඇසුරු කරන්න ලැබෙන එකේ සතුට අති විශාලයි. හැබැයි මම ආශ්‍රය කරන පිරිස ඒ තරම් විශාල නැහැ. ඉතින් ආශ්‍රය කරන කෙනෙකා ගෙන් ලැබෙන දුරකතන හෝ කෙටි පණිවිඩයකින් හිතට ලොකු සතුටක් දැනෙනවා. හැබැයි ඉස්සර වගේ සමීපතමයෙක් අමතන එක ගැන එච්චර ආසාවෙන් බලාගෙන ඉන්න ගතිය මග ඇරිලා ගිහින්. සමහර වෙලාවට වෙනදා හැකියාවක් ලැබුන විගස අමතන මිත්‍රයන්ට මාස ගානකින් කතා කලේ නෑ. උදාසීන භාවයත් එක්ක චර්යාවන් වෙනස් වෙනවා කියල දැනෙන්නෙ එතකොට.

5) ක්‍රීඩා කරන එක

මගේ සෙල්ලම හොකී. ඊට අමතරව සැහැල්ලු පන්දු ක්‍රිකට් සෙල්ලමටත් කැමතියි. ක්‍රීඩා කරන කොට හිනා වෙලා , සැහැල්ලුවෙන් වෙලාව ගතවෙන එක නිසා තමයි මට හිතෙන විදිහට මම ගොඩක්ම ආස වෙන්න හේතුව. ඊට අමතරව කණ්ඩායමක කොටස් කාරයෙක් වෙන්න ලැබෙන එක ගැන මම හරි සතුටු වුනා.

6) ක්‍රීඩා තරඟ නරඹන එක –

හොකී තරඟ නම් මම සමහර වෙලාවට තනියම යනව බලන්න. අපේ සම වයසෙ සඟයො අපේ විදුහලේ වාර්ෂික මහා හොකී තරඟය බලන්න එනවා බොහොම අඩු වුනත් මම නම් නොවැරදී ම යනවා හැම අවුරුද්දෙම. ඊට අමතරව රගර් තරඟ නරඹන එක තමා ආසම. ක්‍රිකට් ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැති වුනත් දැන්නම් පොඩි කාලේ වගේ උනන්දුවෙන් බලනවා අඩුයි කම්මැලි කම නිසා.

7) “මගේ සටහන” ලියන/නොලියන එක

ලියන්න පුංචි කාලේ ඉඳන්ම ආසාව තිබුනත් එක දිගට ලියන්න ගත්තෙ “නිදහස් අදහස්” බාලොග් අඩවිය ලියන්න ගත්තට පස්සෙ. ඒක මට වෙලාවකට බොහොම ආස්වාද ජනක වැඩක් වුනත් වෙලාවකට ඒක නොලිය් ඉන්න එක සැපක්. ලියම් දෝ නොලියම් දෝ කියන දෙගිඩියාවෙන් ඉඳු ඉරිදා රෑ කලබලේට ලියපු සටහන් තියෙනවා මෙතෙක් ලියපු ඒවා අතර. ඒක නිසා මම ඉන්න මානසික ස්භාවය සනුව වෙලාවකට ලියන එක සැපයි. වෙලාවකට වදයක්. එක පාරක් “උපුල් ශාන්ත සන්නස්ගල” කිව්වා මෙහෙම. “ඉස්සර මම විඳපු දුක් මට සැපක්. අද මම විඳින සැප වෙලාවකට මට දුකක්”

8) ගෙදරට වෙලා නිදහසෙ ඉන්න එක

ගෙදර ගිහින් පැත්තකට වෙලා වැඩක් කරමින් හෝ නොකරමින් ඉන්න එකත් ලොකු සතුටක්. මනෝ රාජධානිවල කිමිදෙමින් ඉන්නවා සමහර වෙලාවට

9) චිත්‍රපට බැලීම

මේකත් මම ආස වැඩක්. වැඩියෙන්ම බලන්නෙ ඉංග්‍රීසි ඒවා තමයි. අන්තර්ජාලය තියෙනකං මේ වැඩේ කරගෙන යන්න පුලුවන්. ළඟදි බැලුවා Euro trip, 2 Days in Paris, 100 girls වගේ ඒවා

10) ආදරය කිරීම

මේක අන්තිමට එන්නත් පුලුවන් උඩින්ම එන්නත් පුලුවන් එකක්.නමුත් මේ ගැන මුකුත් ලියන්නෙ නෑ

එහෙනම් ඉතින් සුදාරක මලයගෙ ඉල්ලීම පරිදි ආරාධිත ලිපිය ලිව්වවා. අවස්ථාව ලබා දීම ගැන බොහොම ස්තූතියි.

පසු සටහන – ඔබේ ආරාධිත සටහනින්, සුදාර‍කගේ අන්තර්ජාල සටහන වර්ණවත් කිරීම වෙනුවෙන් බොහොම ස්තූතියි.

Categories
විවිධ

සුදාරකට දහසයයි!

ඔන්න ඉතින් මම මේ ලෝකෙට ඇවිල්ලා අවුරුදු 16ක් නොදැනීම ගතවෙලා! ඉතින් මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනේ අන්තර්ජාලයේ මුලින්ම සුබ පතපු සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට හා SMS, E-Mail මඟින් සුබ පතපු අන්තර්ජාලයේ මිතුරන්ටත්. ඒ වගේම මට සුබ පතපු, සුබ නොපතපු, සුබ පතන්න අමතක වෙච්ච හැමදෙනාටම මේ අවස්ථාව කරගන්නවා මගේ බ්ලොග් අඩවිය සමඟ රැඳී සිටියාට ස්තූති කරන්න.

ලාංකීය වර්තමාන හැම ශිෂ්‍යයෙකුට තමන්ගේ 16වෙනි වසර කියන්නේ විශාල අභියෝග වලින් පිරුණු වසරක්. ඉතින් මේ අවුරුද්දේ 11ශ්‍රේණියේ හැමෝම සූදානම් වෙනවා තමන් ජීවිතේ පනින ලොකුම පිම්ම පනින්න. ඒක තමයි අධ්‍යන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගය. ඉතින් මේ දවස්වල මාත් දිගටම වැඩ කරනවා. හොඳම වැඩේ තමයි කාලසටහනකට අනුව වැඩ කරන එක. එහෙම කරන කෙනාට කිසිම වැඩක් අතපසු වෙන එකක් නෑ.

ඉතින් මෙන්න මගෙන් කේක්, කැවුම්, කිරිබත්, ඉල්ලපු අයට තෑගි දෙන්න වෙලාව ඇවිල්ලා! VHOST වෙතින් නොමිලේම වෙබ් අඩවියට ඉඩ ලබාගන්න දැන් ඔබට පුලුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. www.vhost1st.com වෙබ් අඩවියට පිවිසිලා Student වෙබ් පැකේජය මිළදී ගැනීම සඳහා ඇනවුමක් යොමුකරන්න.

කෙලින්ම ඇනවුම් කිරීම සඳහා http://www.vhost1st.com/manage/cart.php?a=add&pid=2 වෙත පිවිසෙන්න. එහි ඇති පහසු පියවරයන් අනුගමනය කොට. පහත දැක්වෙන කූපන කේත (Coupon Codes) යොදා නොමිලේම වෙබ් ඉඩ ලබාගැනීමට හැකියි.

මේ කූපනය කේක් ඕනයි කිව්ව අයටයි – cake
මේ කූපනය කැවුම් ඕනයි කිව්ව අයටයි – kewum
ඒ වගේම මේ කූපනය කිරිබත් ඕන කිව්ව අයටයි – kiribath

ඔබට මෙම කුපන් කේත යොදා ලියාපදිංචි වී, ඔබ‍ගේම බ්ලොග් අඩවියක් WordPress හරහා ආරම්භ කර හැකියි. මෙම වෙබ් ඉඩ ඔබට ලබාදෙන්නේ, ඔබේ පුද්ගලික බ්ලොග් අඩවියක් සඳහා පමණක් බවත් මතක තබාගන්න. එමෙන්ම ඔබට මෙම වෙබ් අඩවිය ලබාගැනීම සඳහා ඩොමේන් නාමයක්ද තිබිය යුතුයි. මුදල් ගෙවන්න අවශ්‍ය නැහැ. ඔබටම ඩොමේන් නාමයක් තියෙනවානම් එය සම්බන්ධ කළ හැකියි. එසේත් නැතිනම් www.co.cc වෙත පිවිස කෙටි ඩොමේන් නාමයක් ලියාපදිංචි කරගැනීමටද ඔබට හැකියාව තියෙනවා. එම කෙටි ඩොමේන් නාමය අ‍පගේ DNS සමඟ සම්බන්ධ කිරීමෙන් ඔබට ඔබේ වෙබ් අඩවිය ක්‍රියාත්මක කළ හැකියි.

ඔබට නොමිලේ ලැබෙන සේවාවන්…

  • මෙගාබයිට් 5,000ක (5,000MB / 5GB) වෙබ් ඉඩක්
  • මෙගාබයිට් 50,000ක (50,000MB / 50GB) දත්ත පරාසයක් (Bandwidth)
  • cPanel වෙබ් අඩවි පාලක පැනලය
  • Fantastico ස්වයංක්‍රීය වෙබ් මෘදුකාංග ස්ථාපනය කරවීමේ වැඩසටහන (වර්ඩ්ප්‍රෙස් ඇතුලු වැඩසටහන් රාශියක්)
  • Google Aps සඳහා සහයෝගීතාවය
  • හා තවත් බොහෝ දෑ.

ඉතින් දැන්ම www.vhost1st.com වෙත පිවිස ලියාපදිංචි වී මෙම විශේෂ දීමනාව අත්විඳින්න. මෙම විශේෂ දීමනාව ක්‍රියාත්මක වන්නේ කෙටි කාලයක් සඳහා පමණක් බැවින් දැන්ම ක්‍රියාත්මක වන්න.

ඉතින් අදට මෙපමණයි. සුබ පතපු, සුබ පතන ඔබ හැමදෙනාටම ස්තූතියි.