මේ දවස්වල ඉන්නෙ කැනඩාවෙ.
NPP එකට ඡන්දෙ දාලා රට දාලා ගියා කියල නේද හිතුවෙ? නෑ නෑ ආයෙ ලංකාවට එනව. පොත් ප්‍රදර්ශනේට යන්නත් එපැයි.
ඉස්සර මට ඇත්තටම උවමනාවක් තිබුනෙ නෑ වෙන රටකට ජීවත් වෙන්න යන්න. ලංකාවෙ ෂේප් එකේ ඉන්න පුලුවන්නෙ කියලයි හිතුවෙ. ඒත් ඇත්තටම රටින් පිටට ගියාට පස්සෙ තේරෙනව ඇයි ලංකාවෙන් වෙනත් රටවලට ගියාට පස්සෙ මිනිස්සු ආයෙමත් ලංකාවෙ පදිංචියට එන්නෙ නැත්තෙ කියල. එහෙම ලංකාවට එන අය නැතුව නෙවෙයි. තමන්ගෙ නෑදැයො – දන්න කියන අය එක්ක ලංකාවෙ ඉන්න එක දරුවගෙ හොඳ වෙයි කියල ඕස්ට්‍රේලියාවෙ ඉඳල ලංකාවට ආපු පවුලකට 2019 පාස්කු ප්‍රහාරයේදි වුනේ මොකක්ද කියල මේක කියවන සමහර දෙනෙකුට මතක ඇති.
කැනඩාව ඇත්තටම හොඳ රටක්. එහාපැත්තෙ තියෙන ඇමරිකාව තරම් අප්සට් නෑ. එලියට බැහැල ඇවිද්දොත් විවිධාකාර ජාතීන්වලට අයිති මිනිස්සු ඉන්නවා. ඒක මරු. කැනඩාව තාමත් සංක්‍රමණිකයන්ට හිතවත් රටක්. ඒ වුනාට ඇමරිකාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව වටේ රටවල්වලනං සංක්‍රමණිකයන්ට හඬක් නැගෙමින් තියෙන තත්වයක් තමයි තියෙන්නෙ.
දැං මේ ලියන්නෙ වික්ටෝරියා වල ඉඳගෙන. මට බැන්ෆ්, ටොරොන්ටෝ පැතිවලත් ඇවිදින්න ලැබුනා. බැන්ෆ් පැත්තෙ ඇවිදිද්දි තේරුන දෙයක් තමයි මෙහේ රජය – මිනිස්සු සෑහෙන්න උත්සාහ කරනව පරිසරය – පරිසරයටම ආවේණික – ලස්සනෙන්ම තියාගන්න. ඒ වගේම මේ බිම් වල මුල් අයිතිකාරයන්ටත් ලොකු ගෞරවයක් දෙන්න උත්සාහ කරනවා. මේ රට තාම බ්‍රිතාන්‍ය කිරීටයට යටත්. ඒ වුනාට ඒක මෙහේ ඉන්න අයට ලොකු ප්‍රශ්නයක් නෙවෙයි.
කැනඩාවෙ පාන් කෑවට පස්සෙ තමයි මට තේරුනේ ප්‍රංශෙ මාරි ඇන්ටොනට් බිසව “පාං නැත්තං කේක් කාපිය” කියල කිව්වෙ ඇයි කියල. ලංකාවෙ සාමාන්‍යයෙන් ගන්න තියෙන පාං වලට වඩා මෙහේ පාං කේක් වගේම මෘදු සහ අලුත්. පැනි රසක් නං නෑ.
ලංකාවට කැනඩාව වගේ වෙන්න ඕනෙ නෑ. ලංකාව කියන්නෙ ලංකාව. ඒ වුනාට මං හිතනවා ලංකාව කැනඩාව වගේ
- මිනිස්සුන්ගෙ විවිධත්වයට ගරු කරන
- ආහාර වල ගුණාත්මකභාවය රැකගන්න නීති තියෙන, ඒ නීති ක්‍රියාත්මක කරන
- පාරෙ පිළිවෙලකට යන්න පුලුවන්
රටක් වෙනවනං ඒක හිට්ලර්ල වගේ නායකයොන්ට බලෙන් මිනිස්සුන්ව හික්මවල කරවන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඒක කරන්න පුලුවන් ලංකාවෙ මිනිස්සුන්ටම තමයි.
ගිහින් එන්නං!
