Categories
දේශපාලනික

ඉදිරියට වෙන්න නියමිත දේවල්, ආර්ථික ප්‍රතිපත්ති ස​හ ​දේශපාලනය.

මේක ටිකක් දිගයි. ඒ වුනාට තෙල් පෝලිමක හරි ගෑස් පෝලිමකහරි ඉන්න ගමන් කම්මැලිකමට කියවන්න පුලුවන්වෙයි කියල හිතෙනවා.


රජය Debt restructuring සහ IMF වෙත යන්න එකඟ වුනත්, මූලික ප්‍රතිපත්ති සඳහා එක​ඟ වෙන්න අඩුම තව මාස හයක්වත් යනව. ඉන්දියාවෙන් ටික ටික ඩොලර් (මැරෙන්න ඉන්න ලෙඩෙක්ට වතුර දිදී තියාගන්න වගේ) පොම්ප කරත්, මේ තෙල්, ගෑස් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල හිඟකම තවත් වැඩිවෙන එක නතරකරගන්න බැරිවෙනව.


කබ්රාල් හිටු කියල රුපියල් මුද්‍රණය කරා සහ කරමින් ඉන්න​ව. ඒකට හේතුව තමයි රජයේ පඩි ගෙවන්න දැන් භාණ්ඩාගාරයේ මුදල් නැහැ. මේ නිසා තව දුරටත් රුපියල අවප්‍රමාණය වෙන්න ගන්නව. අපි තේරුම්ගන්න ඕනෙ සමස්ත ආර්ථිකය කියන්නෙ පද්ධතියක්. ඒකෙ එක සාධකයක් විතරක් නිදහස් කරල නිකන් බලාගෙන ඉන්න බෑ. ඩොලරයේ අගය වෙළඳපොළ මත තීරණය වෙන්න දෙනව වගේම, රජය තමන්ගෙ ආදායම ඉහළ දමාගන්න වැඩ කරන්න ඕනෙ සහ උද්ධමනය පාලනය කරන්න පියවර ගන්න ඕනෙ.


රජය බදු ඉහළ නොදැම්මොත්, ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ නොදැම්මොත් අතිඋද්ධමන තත්වයකට රට යන එක නවත්තන්න සක්කරයටත් බැරිවෙනව.
රජයේ බදු ඉහළ දැමීම හරි ප්‍රතිපත්තියකට කරන්න ඕනෙ. අපි දැක්ක කෝවිඩ් කාලෙ රටේ ධනවත් අය සහ ව්‍යාපාර තවත් ධනවත් වෙනව වුනාට, දුප්පත් අය අන්තම දුප්පත් වෙනව. ඒ කියන්නෙ, මේ මුද්‍රණය කරන සල්ලි ආයෙමත් ගිහින් නතරවෙන්නෙ රටේ මොනොපොලි ඇති කරල තියෙන ව්‍යාපාරිකයො ගාව. එහෙනං වහාම මේ ධනවතුන්ගෙන් සෘජු බදු අයකරන්න ඕනෙ වගේම, පොදු ජනතාවගෙන් බදු අයකිරීම ඔවුන්ගෙ ආදායම් මට්ටම අනුව හරියට කරන්න ඕනෙ.


IMF එනව කියල හරි, ඉන්දියාවෙන් බිලියන එක දෙක එනව කියල හරි මේ ප්‍රශ්නය පටගාල විසඳෙන්නෙ නෑ. IMF එක විසින් ඉල්ලන ප්‍රතිපත්ති වෙනස්කම් කරනවා වගේම, පැත්තකින් ර​ටේ සම්පත් ඉන්දියාවත් එක්ක හුවමාරු කරගන්න වෙන්න. දැන් ​මේ ඉන්දියාවට උදාවෙලා තියෙන්නෙ කල්ල මරේ, කවදාවත් ලැබුනෙ නැති අවස්ථාවක්. ලංකාවෙ තියෙන සම්පත් වලට බොහොම අඩු මුදලකට හිමිකම් කියන්නට ලැබෙන එක චීනෙටවත් නොලැබුනු අවස්ථාවක්.
ඉන්දියාවට මේක හොඳ අවස්ථාවක් වගේම අපිටත් මේක පෙරලුනු පිට හොඳයි කියල ඉන්න වෙන අවස්ථාවක්.


දැන් අපි තේරුම්ගන්න ඕනෙ දේවල් කිහිපයක් තියෙනව. ඒ ටික තේරුම් නොගත්තොත් අපි ආයෙ පස්සටම යන එක නවත්තන්න බෑ.

  • පවතින අර්බුදය විසින් උද්ධච්ඡ ආණ්ඩුව දණගස්සවල නොකර ඉන්නම බැරි ප්‍රතිසංස්කරණවලට යොමු කරමින් ඉන්නව. මේක දීර්ඝ කාලීනව රටට හොඳයි කියලයි මට හිතෙන්නෙ.
  • අපේ රට තමයි ලෝකෙන්ම උතුම්, අපේ රට ස්වයංපෝෂිතයි කියල මායාවෙන් දැන්වත් ගැලවෙන්න ඕනෙ කියන එකත් තේරුම්ගන්න ඕනෙ.
  • මේ අර්බුදය නිර්මාණය වුනේ කිසිම කළමණාකරනයක් නැතුව ණය ගත්ත එකෙන්. ණය ගත්ත විතරක් නෙවෙයි, ඒ ගත්තු ණය වලින් කරපු ව්‍යාපෘති වලින් කොමිස් ගැහුවා, ​හොරකම් කරා, මුදල් නාස්ති කරා, රොකට් යැව්වා, දුවන මංතීරු කැලෑවල්වල හැදුවා වගේ වැඩ කරපු නිසා. ඒක ක​රේ මේ රට රකිනව, මේක අපේ මව්බිම කියල පපුපට ගහගත්තු නායකයො කියන එකත් අමතක කරන්න එපා.
  • තවදුරටත් රජයේ රැකියා ගැන සිහින අමතක කරන්න. රජයේ රැකියාවකනං ඉන්නෙ හොඳට හිතල බලල තමන්ගෙ හැකියාවන් දියුණු කරගන්න උත්සාහ කරල රජයේ රැකියාවකින් අයින් වෙලා වෙනත් දේකට යන්න උත්සාහ කරන්න (ලේසි නෑ).

දැන් දේශපාලනේ…


පහුගිය දවසක සජ​බෙ රැළියෙන් පෙනුනෙ, අඩුගානෙ විපක්ෂ නායකයටවත් මේ අර්බුදය ගැන කිසිම ​තේරුමක් නෑ කියන එක. ඒ වෙලාවෙ කරපු කතාවෙන් මටනං පෙනුනෙ එයා තාම ඉන්නෙ අර හඳෙන් හාල් ගෙනත් දෙන්නං, තුනයි පනහට පාන් දෙන්නං වගේ ළඳරු මානසිකත්වයක. ඒ රැළිය, මිනිස්සුන්ගෙ හැඟීම් අවුස්සල, මේ අර්බුදය ඒ මිනිස්සුන්ට කියල දෙන්න පාවිච්චි කරන්න තිබුන හොඳ අවස්ථාවක්. ඒ අවස්ථාව විපක්ෂ නායකයා විසින් “මං පොර” වෙන්න පාවිච්චි කරපු එක හරිම කණගාටුදායක අවස්ථාවක්.


දැන් මේ IMF විසින් ඉල්ලා සිටින ආර්ථික ප්‍රතිසංස්කරණ රටට අත්‍යාවශ්‍යයි. හැබැයි දැන් විරුද්ධවෙලා බලය ගන්​න කෙල හලාගෙන ඉන්න පාර්ශව දෙකක් ඉන්නව. එකක් තමයි විමල්ලගෙ පක්ෂ 11. අනිත් පාර්ෂවය තමයි ජවිපෙ.


IMF ප්‍රතිසංස්කරණ සහ ඉන්දියාවට රටේ සම්පත් විකුණනකොට මෙයාල කිසිම තේරුමක් නැතිව යටිගිරියෙන් කෑ ගහල මිනිස්සුන්ව අවුස්සල බලයට ඇවිත්, මේ ප්‍රතිසංස්කරණ reverse කරල, ඊනියා දේශීය ආර්ථික “මොකක්හරි” කරන්න ගියොත් අපිට ආයෙමත් මේ විෂම දාමයේ හිරවෙන්න සිද්ධ වෙනව. ඒක නිසා මං විශ්වාස කරන විමල්ලට සහ ජාතික චින්තනකාරයෝ ටිකට නැවත බලයට එන්න නොදී තියාගන්න ඕනෙ කියල.


ජවිපෙ නායකත්වය දුන්නත්, NPP එකේ ඇත්තටම හොඳ කණ්ඩායමක් ඉන්නවා කියල මං විශ්වාස කරනව. හැබැයි දැන් NPP එක බලයට එන්න ඕනෙනං, IMF එක සහ ඉන්දියාව එක්ක ඔයිට වඩා සාධනීය විදිහට ගනුදෙනු කරන්න ලෑස්ති වෙන්න ඕනෙ. එහෙම නැතුව එයාලත් ජවිපෙට පුරුදු ප්‍රතිපත්තිවල හිටගෙන IMF එපා, ඉන්දියාව එපා කියල ඡන්දෙට කලින් පිස්සු කෙලියොත් එයාලට බලය ලැබෙනවා වෙනුවට එයාලට වඩා ​​හොඳට ජාතික චින්තනේ වවාගෙන කන විමල්ලගෙ පැත්තට මිනිස්සු හැරෙන්න තියෙනවා.


ඒ වෙනුවට, IMF සහ ඉන්දියාව පිලිබඳ මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් රටේ ජනතාවට මේ අර්බුධය ඇත්තටම පැහැදිලි කරන්න හැදුවොත්, NPP එකටත් හොඳ අවස්ථාවක් තියෙනව කියලයි මටනං හිතෙන්නෙ.
මේ අතරෙ තව අලුත් ව්‍යාපාරයකටත් අවස්ථාවක් ලැබෙමිනුයි තියෙන්නෙ. ඒ…. මේ සමාජවාදී, ජතික චින්තනවාදී, මැදමුලනවාදී දේශපාලනයෙන් එහාට… වෙනම ලිබරල් ව්‍යාපාරයකටත් ඉඩක් නිර්මාණයවෙමින් තියෙනව. ඒ අවස්ථාව කවුද ගන්නෙ කියන එක තමයි ප්‍රශ්නෙ.


අපිට මේකෙන් ගැලවෙන්න ඕනෙනං අපි කරන්න ඕනෙ මේව… හැබැයි මතක තියාගන්න ඕනෙ, මේව අද කරා කියල අපිට හෙට සෞභාග්‍ය ලැබෙන්නෙන​ං නෑ. මේ තත්වයෙන් ගොඩ එන්න අවම අවුරුදු පහකුත්, මේකෙන් ගොඩ ගිහින් හොඳ මාවතකට ආවොත්, අපිට ඇත්තටම යහපත් රටක් වෙන්න නොහැකි නෑ.

  • අපි ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරන්න ඕනෙ. ඒකට IMF ප්‍රතිපත්ති කියන්නෙ හොඳ ආරම්භයක්. හැබැයි අපි ඒ මතම යැපෙනවා වෙනුවට ඇත්තම facts සහ දත්ත මත පදනම්වුන ආර්ථික ප්‍රතිපත්තියක් හදන්න දැනුම් තේරුම් තියෙන මිනිස්සුන්ට භාරදෙන්න ඕනෙ.
  • රටේ තියෙන මොනොපොලි ​ටික නැති කරන්න අවශ්‍ය නීති සම්පාදනය කරන්න ඕනෙ. රටේ පාලකයින්ගේ හිතවතුන්ට වරප්‍රසාද ලැබෙන ක්‍රමය වෙනස් කරන්න ඕනෙ.
  • කලින් කිව්ව වගේ රජයේ රැකියා පිළිබඳ මානසිකත්වයෙන් මිදෙන්න ඕනෙ. හැම මනුස්සයෙක්ටම දැන් අන්තර්ජාලය නිසා වෙනද නොතිබුන අධ්‍යාපනික අවස්ථා උදාවෙලා තියෙනව. ඒව ප්‍රයෝජනයට අරගෙන දියුණු වෙන්න මිනිස්සුන්ව පොළඹවන්න ඕනෙ.
  • රාජ්‍ය විශ්ව විද්‍යාල සතුව තියෙන දැනුම වහ වහාම Open Domain කරන්න ඕනෙ. ඒවයෙ තියෙන දැනුම හැමෝටම accessible වෙන්න ඕනෙ.
  • මේ රදලයො ටික ඇත්තටම පන්නල දාන්න ඕනෙ, පුලුවනං හරි විමර්ශනයක් කරල කරපු හොරකං එලිදරව් කරල ඒ ධනය නැවත භාණ්ඩාගරයට ගන්න ඕනෙ. උන්ට දඬුවම් දීල රටේ ඊළඟ පරම්පරාවට පූර්වාදර්ශයක් දෙන්න ඕනෙ.
  • රටේ බලය බෙදන්න ඕනෙ. දෙමළ ඩයස්පෝරාවට මේකට ඇවිත් ආයෝජනය කරන්න නිදහස දෙන්න ඕනෙ. සහජීවනයෙන් වැඩකරන්න ඕනෙ. ජාතිවාදීන්ව පිටුදකින ක්‍රමයක් හදන්න ඕනෙ.

ඔන්න ඕකයි මේ මොහොතෙ තත්වය.

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.