Categories
නිර්මාණ

ඉස්කෝලෙදී…

මේ දවස්වල කට්ටියම තම තමන්ගෙ උසස් පෙළ ඉතාමත් ඉහළින්ම සමත්වෙන්න පුදුම උත්සාහයක. ඔය එක එක වැඩවලට ගණිත පංති ළඟින් යනකොට ඒවාටත් හොට දාගෙන යන‍කොට සමහර පන්ති වල ගුරුවරු නැති වුනත්, කට්ටිය කිසි සද්දයක් බද්දයක් නෑ. ඔළුව නවාගෙන ගණං හදනවා. ටියුට් බලනවා… එක එක වැඩ. හැබැයි තාම ඔය ලෙ‍ඩේ අපේ පන්තියට නම් බෝ වෙලා නෑ. අපේ පන්තියේ කට්ටිය මේ දවස්වල ක්‍රිකට් ගැනයි කතාව. එංගලන්තෙ ගැන මහලොකු බලාපොරොත්තු තියාගෙන හිටියෙ අපේ ටීම් එක ගැන බලාපොරොත්තුවක් නැති නිසා වෙන්න ඕනෙ. දැං ටික කාලයක ඉඳල ක්‍රිකට් වලට තිබ්බ ආසාව අඩු වුන නිසා වැඩිය ක්‍රිකට් නොබලන නිසා මාත් ඉතින් මොකෙක් හරි ක්‍රිකට් ගැන ඇහුවම හරක වගේ ඔළුව වනලා නිකං ඉන්නවා මිසක් වැඩිය ක්‍රිකට් ගැන කතාවක් නෑ. පන්තිය ඇතුළෙ ඉන්නකොට හෙනම කම්මැලියි. ඉතින් මං කරන වැඩේ කවි ලියන එක. මේ තියෙන්නෙ ලියපු කවි දෙකක්. නිකන් ඔහේ ඕනෑවට එපාවට ලියපු කවි දෙකක්. හොඳද මන්දා…

——————————

ගඟක් නම් ගලන්නේ
ඇඹරි – ඇඹරී
පෙරැළි – පෙරැළී
හැමදාම – හැමදාක
මහ සයුර බලාගෙන

හිරුට පෙර අවදි වී
නිදිමතින් – වැනි වැනී
හෝදගෙන මුහුන කට
ගෙයින් එළියට එන්නෙ
සිප් සතර බලාගෙන

උඹ යන්නෙ දිය පාරෙ
මං යන්නෙ මහ පාරෙ
ඇඹරි – ඇඹරී
තෙරපි – තෙරපී
ලෙවල් නැති මහ පාරෙ

කවදාක ‍කෝ උඹට
හමුවේවි මහ සයුර
එයයි උඹෙ ඉලක්කය
උඹ දුවයි එදෙස වෙත
උඹේ තනියට
උඹත් එක්කම
ලොකු මාළු – පොඩි මාළු
ඒ නිසා උඹට නං
තනියකුත් නැතිව ඇති

මං එක්ක මහපාරෙ
යන උන් බලන්නෑ
කතාවට එන්නෙ නෑ
උන් හැල්මෙ දුවනවා
ඔහෙ බලා-ගත්තු අත
බලාගෙන ඉන්නවා
නැතිනම් දුවනවා.

නිව්ටන්ගේ පළමු නියමය:
“යම් වස්තුවක් මත
බාහිර අසංතුලිත බලයක්
නොයෙදේ නම්,
එය නිශ්චලතාවේ
හෝ
ඒකාකාර ප්‍රවේගයෙන්
සරල රේඛාවක
චලිතය වෙමින් පවතී”

ග‍ඟේ උඹ කවදාද
උඹෙ ගමන ඇරඹුවේ
තාමත් නිමක් නැති
උඹේ මහ ලොකු ගමන
කවදාක ඉවරයක්
කරන්නේ නැද්ද උඹ?

මාත් දැං උඹ වගේ
මගෙ ගමන ඉවර නෑ
මඟ දිගට ගලනවා
නැවතුනොත් ඇනෙනවා
මහ මඟක, හංදියක.

උඹ යනව
මං යනව
අපි යනව
ඉවර නෑ.

අපි යන්න – තව යන්න
ඉලක්කය දුර යනව
ළං වේවි හිතාගෙන
දුවනවා දුවනවා…

මට – දැං – හති

——————————

ෆේස්බුක් –  ඉස්කයිප්
යාහු චැට් – ජී‍-මේල්
ඇහැට ඇහැ දැක්කෙ නැති
අ‍පි අපේ ආදරයෙ

නුඹට මං පේන්නෑ
මට උඹව පේන්නෑ
සිපගන්න ඉඩක් නෑ
අතින් අල්ලන්න නෑ

පැය යනව දන්නෙ නෑ
එළි වෙනව දන්නෙ නෑ
නුඹ ඔහේ
මම මෙහේ
අපිට අපි පේන් නෑ
ඒත් අපි හදවතින්
ආදරය කරනවා.

මගේ ගැන නුඹෙ හිතේ
තියෙන දේ ෆේස්බුක්
ගියොත් දැකගත්ත හැකි
නුඹ ලියල හැමතැනම

අපි දෙන්නාගෙ ලව් එක
බලන අය ඉරිසියාවෙන්
පැලනවා… ඇති මෙහෙම
“පිස්සු,

මෙහෙම ලව් කරනවද?
අතින් අල්ලන්නෙපැයි
ළඟින් ඉන්නට එපැයි
බදාගන්නට එපැයි
ඇඟිල්ලෙන් ආදරෙන්
අනින්නත් බැරි හැඩයි.”

ඇප්ලිකේෂන් තියෙනව
මෙන්න නුඹ බදාගන්නව
මෙන්න නුඹ ඉඹිනව
මෙන්න අතිනුත් අදිනව

මෙන්න උපන්දින තෑගි
අරගන්න බය නැතුව

කිසි වියදමක් නෑ
අතුරු ආබාධ නෑ
අපි අපේ පාඩුවේ
ෆේස්බුක් එක ඇතුළෙ
ඊ-මේල් එක ඇතුළෙ
ආදරේ කරනවා

කරපු ගොං විහිලුවට
හිනාවක් නොගියාට
දෙතිත සහ D අකුර
මූනට හිනා ගේනව

නුඹ මාව දැකල නෑ
මම නුඹව දැකල නෑ
නුඹ මාව නොදැක්කත්
මම නුඹව නොදැක්කත්
ඉතින් මොකටද අපිට
අපි අපිට ආ‍දරේ නං

——————————

15 replies on “ඉස්කෝලෙදී…”

නුඹ මාව දැකල නෑ
මම නුඹව දැකල නෑ
නුඹ මාව නොදැක්කත්
මම නුඹව නොදැක්කත්
ඉතින් මොකටද අපිට
අපි අපිට ආ‍දරේ නං

හරියට ම හරි ඒ කතාව. ආදරය කියන්නේ සදාකාලික, සර්වපාක්ෂික, සර්වලෝක පොදු සිද්ධාන්තයක් නිසා….

ප.ලි: මරු ලියමන. අමුතු ගලා යාමක් සහිත කවි වැලක්…! මම ආසයි ඒ අමුත්තට.

උඹට වරදින්නේ නෑ මල්ලී, දිගටම ලියපං. කවි ටික ඉස්තරම්, මම මේ කවි එකතු කරන්න පටං ගන්න ඕනා.

මල්ලීට සුභාසිරි!

අදයි දැක්කෙ… කවි ටික නම් එළම එළ….
හැබැයි ඔය විදිහට දැනෙන දේ ආදරේම නෙමෙයි මලයො… වෙන මොකද්දෝ දෙයක්… මටත් තාම හිතාගන්න බෑ ඒ මොකද්ද කියලා… හැබැයි ඕක ආදරේ නම් නෙමෙයි කියලා ෂුවර්ම ෂුවර්…

Leave a Reply to Chrishi -- ක්‍රිෂි Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.