හිතට වද දෙන දැවෙන ප්‍රශ්නය…

බඩු මිල ඉහළයාම ද?
ම්හු…

කෙල්ලක් ද?
නැහ්…

ලව් සීන් එකක් ද?
නෑ… නෑ… බං! එහෙම එකක් නෙවෙයි…

එහෙනං මොන රෙද්දක්ද බං?

ඒක මේ වචනයකින් දෙකකින් විස්තර කරන්න පුළුවං කාරණයක් ‍නෙවෙයි බං,

මං මේ කල්පනා කලේ මං සාමාන්‍ය පෙළ කරන කාලේ ඉඳලාම හිතට ආපු ප්‍රශ්නයක් ගැන. සාමාන්‍ය පෙළ කරායින් පස්සේ උසස් පෙළට මොන විෂය ධාරාවක් යටතේ ඉඳගෙනද අධ්‍යාපනේ කරගන්න ඕනේ කියලා හිතාගන්න බැරිවයි මං හි‍ටියේ. වෙලාවකට කලාව කරන්නත්. තව වෙලාවකට ගණිතය කරන්නත් අවශ්‍යයි කියලා ම‍ගේ මොලේ මටම එරෙහිව දෙකට බෙදිලා වාද විවාද කරගත්තු එකෙන් මට වුන සෙතක් නැහැ. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල “හොඳ යැයි” පිළිගන්නා මට්ටමක තිබීම නිසා සමාජය විසින් ඇතිකරපු විද්‍යාව හැදෑරවී‍‍මේ බලපෑම සහ මොලේ එක පැත්තක් කරපු බලපෑමත් දෙක එකට එකතු වෙලා මගේම අර්ධයකට එරෙහිවුනා වගේ හැඟීමක් තමයි මට නං දැන් දැනෙන්නේ. ආසාව තියෙන්නේ කලාව කිරීමත්. කලා පංතිය තමයි ගැලපෙනම නිවහන කියලා දැං විතරක් නෙවෙයි විටින් විට හිතට ගෙනාවේ මගේ අනික් අර්ධය. ශිෂ්‍යත්වය සැලකිය යුතු මට්ටමකින් සමත් වීමත්, සාමාන්‍ය පෙළත් කරුමයකට හෝ සමත් වීමත් තමා විද්‍යාව කළ යුතුයැයි හැඟීමක් මගේ අනිත් අර්ධය කරන බලපෑමත් තාමත් එහෙම…

හැබැයි, මේ වෙනකොට ඒ මගේ අනිත් බාගෙ. එහෙමත් නැත්තං ගණිත බාගෙත් තාර්කිකව මට කියනවා කලාව අංශයෙන් ඉගෙනීම හොඳ බවක්. ඒත් දැං කාලය සැලකිය යුතු මට්ටමකින් ප්‍රමාද වී තිබීමත්, පාසලේ ගුරුවරුං මං ගැන මොනවා හිතයිද කියලත්, එහෙම මාරු වෙන්න ආපහු ගියොත් අහගන්න වෙන බැනුම් කන්දරාව ගැනත් ලොකු ගැටලුවක් මගේ ඔලුවේ දැං තියෙනවා.
නවකතාවක් ලියන්නත්, කවිකතාවක් ලියන්නත්, අලුත් දෙයක් ඉගෙනගන්න මට්ටමකට හිත ‍නිදහස් නොවීමත් කියන කාරණා මට දැං බලපෑම් එල්ල කරනවා කලාව කරන්න ඕනෑයි කියලා.

වෙනස් දෙයක් කරන්න අවශ්‍ය කරන වෙලාව ගණිත-විද්‍යා අධ්‍යයනට යොමු කරන්න වීම ගැන ලොකු ප්‍රශ්නයක් දැං තියෙන්නේ.  විද්‍යාව ‍කිරීමෙන් ඇති නොවන සෙතක් කලාව අධ්‍යනයෙන් ලැබේ යැයි මට දැං හොඳ බලාපොරොත්තුවක් තියෙනවා. ඒත්, තියෙන ලොකුම අවුල විෂය ධාරාව මාරු කිරීම.

මං පළවෙනි වාරය පටන්ගත්තාම ගෙදර කැමැත්තත් ඇතිව ඉස්කෝලෙට ගිහිල්ලා කලාව කරන්න ඉල්ලුවාම ලොකු ගැටලු වලට මුහුන දෙන්න සිද්දවුනා. කලා කිරීමට මාරු වෙන්නේ ඇයිදැයි අහපු ගුරුවරයෙක්ට ඇයි කලාව කරන්නේ කියලා, කියලා ඉවරවෙලා අනිත් පැත්ත හැරිලා යද්දී…

“එහෙනං ඉතින් දෙයියන්ගේම පිහිටයි” කියලා තමා ළඟ උන්නු අනිත් ගුරුවරයාට කියලා කියනවාත් මං අහගෙන. ජනමාධ්‍යකරණය හැදෑරිය යුතුයි කියලා අදහසකින් ගියත්, ජනමාධ්‍යකරණය නොමැති වීම කියන ප්‍රශ්නය උඩ ආපහු දවස් දෙකක් ඇතුළත ගණිත අංශයට මාරු වීමට තීරණයක් ගත්තා. ඒකෙදිත් නොසෑහෙන්න අහගත්තා… ඒක ජීවිතයේ ගත්ත ලොකු තීරණයක් කියලා තේරෙන්නේ දැං.

මට කලා කරන්න අවශ්‍ය මේකයි,
නවකතා කෙටිකතා රචනයට වගේම සාහිත්‍යකරණ‍ය පිවිසීමට ඇති අවශ්‍යතාව නිසා
අලුත් දේ ඉගෙනීමට කාලය ලබාගැනීමට තියෙන අවශ්‍යතාව නිසා
ඊට පස්සේ කැළණිය, හෝ පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්නත්.
අවසාන වශයෙන් ජනමාධ්‍යකරණය හා සම්බන්ධ තෘප්තිමත් වගේම නිදහස් වෘත්තියකට යොමුවීමට අවශ්‍ය නිසා.

එතකොට ඉස්කෝලේ ජනමාධ්‍යකරණය විෂය ‍නැතිවුන නිසා ගණිතය තෝරාගත්තේ…
ගණිතය අංශයෙන් උසස්‍ පෙළ සමත් වෙලා. කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පැත්තෙන් හදාරලා ජනමාධ්‍යලට පිවිසෙන්න…

ඒ වුනාට. ගණිතය කරනවාට වඩා කලාව කිරීම මට අවශ්‍ය ශ්‍රාස්ත්‍රීය හැදියාව නිර්මාණය කරන නිසා මෙතන කලාව පැත්තෙන් යාම තමයි වැදගත්…

ඉතින් මාස ගාණක් ගියත්. මේක මට විසඳුමක් නැති දැවෙන ප්‍රශ්නයක්. ඒක දැවෙන ප්‍රශ්නයක් වෙන්නේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ හැටියට ඇලෙව්වොත් ඇලෙව්වාමයි වගේ තෝරගත්තොත් තෝරගත්තාමයි වගේ “නිදහස්” අධ්‍යාපන ක්‍රමයක් තියෙන නිසා. ඉතින් ක්‍රමේට බැන බැන හූල්ල හූල්ල තමයි මටනං ඉන්න වෙලා තියෙන්නේ… 🙁

සටහනට තවත් විශේෂ, සුවිශේෂ යාවත්කාලීන කිරීමක් එකතු කරන්න හිතුනා. ඒ, මේ ලිපි‍යේ අන්තිමට. සෝමලතා සුබසිංහ මහත්මියගේ, විකෘති වේදිකා නාට්‍යයෙන් සිත් ඇදගන්නා සුළු, රැඩිකල් සිංදුවක් එකතු කරන්න. මේ තියෙන්නේ ඒ සින්දුව.

විභාගෙ විභාගෙ
එහෙ බැලුවත් විභාගෙ
මෙහෙ බැලුවත් විභාගෙ
විභා…ගේ තමයි අපේ අභාගේ
විභා…ගේ තමයි අපේ අභාගේ

විභාගෙ විභාගෙ
එහෙ බැලුවත් විභාගෙ
මෙහෙ බැලුවත් විභාගෙ
විභා…ගේ තමයි අපේ අභාගේ
විභා…ගේ තමයි අපේ අභාගේ

විහිළුවකට හිනාවකට විනෝදෙකට වෙන වැඩක‍ට
විහිළුවකට හිනාවකට විනෝදෙකට වෙන වැඩක‍ට
නෑ… වෙලා…ව විභා…ගේ…
නෑ… වෙලා…ව විභා…ගේ…

එකේ ඉඳන් දොළහ දක්වා දක්ව
ලොකු පොඩි හැම පන්තියකම
ඇතෙක් බරට විභාගෙ
ඇතෙක් බරට විභාගෙ

ඉරක් හඳක් ගහක් කොලක්
මනුස්සයෙක් පේන්නෙ නෑ
ඔහු සැපදුක අහන්නෙ නෑ
කන්න බොන්නෙ අඳින්නෙ නෑ

විභා…ගේ…

අම්ම තාත්ත අයිය අක්ක නංගි මල්ලි විතරක් යැ
නැන්ද මාමා බාප්ප මහප්ප
යාළුවො යෙහෙලියො අහල-පහල අය
යාළුවො යෙහෙලියො අහල-පහල අය

කොහොමද ළමයෝ… විභාගේ…?

තව සුමානෙකින් ප්‍රතිඵල එයි…

කොහොමද විභාගෙ ප්‍රතිඵල?
ප්‍රතිඵල ප්‍රතිඵල ප්‍රතිඵල ප්‍රතිඵල

බස්සෙකෙ කොච්චියෙ පාරෙ තොටේ…
යන එන හැමතැන කොහොමද ප්‍රතිඵල…

බස්සෙකෙ කොච්චියෙ පාරෙ තොටේ…
යන එන හැමතැන කොහොමද ප්‍රතිඵල…

විභා…ග ප්‍රතිඵල වසංගතේ…

ඒ විතරක්යැ,
විද්‍යා විෂයද? කලාවද…?

කලා…ව කිව්වොත්…, මලා… වගේ…
චී… චී… චී… ලැජ්ජ නැද්ද?
අපේ එකෙක් කලාව කරන්න?

කවුද උඹ දිහා බලන්නෙ,
විද්‍යාවයි ගණං ගන්නේ…
අඩු ගණනේ වාණිජවත්?

ඉතිං පුතේ නම්බුවක්නේ
ෆේල් වුනත් විද්‍යාවෙන් විභාගෙ කොරලා

විභාගෙ විභාගෙ
එහෙ බැලුවත් විභාගෙ
මෙහෙ බැලුවත් විභාගෙ
විභා…ගේ තමයි අපේ අභාගේ
විභා…ගේ තමයි අපේ අභාගේ

විභාගෙ විභාගෙ
එහෙ බැලුවත් විභාගෙ
මෙහෙ බැලුවත් විභාගෙ
විභා…ගේ තමයි අපේ අභාගේ
විභා…ගේ තමයි අපේ අභාගේ

සැලකිය යුතුයි: මේක මං ගැන පම්පෝරියක් කියලා හිතන්න එපා. මං මේක ලිව්වේ මං වගේ තවත් අය ඉන්නා නිසා…

Join the Conversation

21 Comments

  1. මටත් තියෙන්නෙ ඔබ ප්‍රශ්නෙම තමයි…

  2. ඉස්කෝලෙ උගන්නන කෙහෙම්මල් වලින්ම අපිට ඕන තැනට යන්න බෑ නෙව. උඹට තියෙන්නේ ජනමාධ්‍යකරණය ගැන එළියෙන් හදාරණ එක. කොහොමත් උඹට – වගේම කාටත් – ඉස්සරහට ජනමාධ්‍යයේ මාධ්‍යය වශයෙන් භාවිතා කරන්න වෙන්නේ අන්තර්ජංජාලේ තමයි. ඒක ගැන ඉතිං උඹට අමුතුවෙන් දැනීමක් ඕන නැහැ නේ.

    1. ඊයෙ නිදිමතේ හරියට කියවලා නෑ නෙව කමෙන්ට් එක. ජනමාධ්‍ය විතරක් ඉගෙනගත්තාට වැඩක් නෑ නෙව. භාෂාව වගේ දේවලුත් ඉගෙන ගන්න එපායැ. ඉතින් ඒකයි. කලාව කරන එක වැදගත්.

  3. මලයෝ.. මේ ප්‍රශ්ණයට මාත් මුහුණ දීලා තියෙනවා.. ඒ වගේම අද පසුතැවෙනවා.. ඉතින් අත්දැකීම් තියෙන මනුස්සයෙක් විදිහට මේ ගැන මගේ අදහස කියන්න හිතුනා… මාත් ඔයා වගේම ශිෂ්‍යත්වෙත් සා/පෙළත් හොඳට පාස් වුනා. ඒත් මං උසස් පෙළට විෂයයන් තෝරා ගද්දී මට වැරදුනා… මට ගැලපෙන විෂයයන් නෙමෙයි තෝර ගත්තේ.. විෂයයන් මාරු කරන්න ඕනේ කියලා හිතද්දී මං පරක්කු වැඩී.. ඒක නිසා මං අදත් පසුතැවෙනවා… අනෙක් අය දිහා බල බලා අනෙක් අය කියන ඒවා අහ අහා ගියොත් අපිට අපි නැතිවෙයි..

    ඉතින් මලයෝ මං කියන්නේ ඔයා තාමත් පරක්කු නෑ කියලා.. මං ඔයාගේ ලිපි කියවලා තියෙනවා.. ඒ අනුව නම් ඔයා ගැලපෙන්නෙම කලාවට, සූත්‍ර සමීකරණ වලට නෙමෙයි.. මං මෙච්චර කල් හිතං හිටියෙත් ඔයා කලා විෂයයන් කරනවා කියලයි.. ඉතින් හොඳ තීරණයක් ගන්න..

    තාමත් පරක්කු නෑ…

    1. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට. දැං කලාව කරන්න අවශ්‍ය වුනත්, ඉස්කෝලේ ඇතුළෙන් ලොකු ප්‍රශ්නයක් එයිද කියලා මුකුත් හිතාගන්න බැරුව ඉන්නේ. ඒත් ඉතිං ප්‍රශ්න වලට මුහුන නොදී කොහොමද නේද… ෂහ්. පඹගාලක පැටලුනා වගේ. මං පළවෙනිම පාරට මාරු වෙනවානං අවුලක් නැහැ. මේ දෙවෙනි පාරට මාරු වෙන එකක් නේ… එතකොට ලෙඩ වැඩී…

  4. මල්ලියේ මම තවත් නම් මේ ගැන කියන්නෙ නෑ, මම කියන්න ඕනි දේ කීව මුලදීම මේ ගැන අහපු වෙලේ. හැබැයි දෙයක්, වැඩිය ඕනවට වඩා ඕනෑම දෙයක් ගැන සිතන්න එපා. ඒක ඔළුවට වදයක් වෙයි.

  5. අනේ සුදෝ උඹට කීපරක් කියල තියෙනවද කැමති දේ තෝරගෙන ඒක හරියට කරන්න කියලා,නැත්නම් විභාග අභාගේ නෙවේ,තමන් කැමති දේ දැනගෙන හරියට කරානම්,මගේ යාලුවක් ඉන්නවා,ඔහොම වැරදිලා විද්‍යාව කරා අවුරුද්දක්,පස්සේ කලාවට මාරු උනා.තමන් දක්ෂ දේට,අන්තිමේ අවුරුද්දෙන් කලාව කරලා ලංකාවේ 32,උඹත් කරන දෙයක් දැන්ම හරියට තීරණය කරපන්,ගණිතය කරනවනම් ඔහොම පිස්සු කෙළලා හරියන්නේ නේ,එක ගැම්මට කරගෙන යන්න ඕනි,හොද දෙයක් කරපන් 🙂

    1. නාගයාගේ කථාවට මම එකඟයි. මාත් උදාර වගේම නිවැරදි අංශයෙන් හදාරන්නේ නැතිව සමාජයේ හා බාහිර පුද්ගලයින්ගේ කියමනට ගණිත අංශය කළා, ඒ එක්කම මගේ විනෝදාංශයක් විතරක් වෙලා තිබ්බ පරිගණක ක්‍රේෂත්‍රය ගැන ඊනියා බලාපොරොත්තුවක් ඇති කර ගත්තා. මම හිතන්නේ ඊට සමාජයේ රුල්ල හා ලංකාවේ ඊට තිබෙන තැන බලපාන්න ඇති. කලින් තිබු ප්‍රේම සම්බන්ධය නිසා ඒ විද්‍යා අංශය අත්හැර කලා අංශය කලොත් ඒ මගේ තීරණයක් ලෙස සලකනවාට වඩා ඒ සම්බන්ධය නිසා ගත්ත එකක් ලෙස සලකා අනවශ්‍ය ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙතැයි සිතා මම අකැමැත්තෙන් කලා. නමුත් අන්තිමේදි මම ඉතුරු වුණ එකක් නෑ. ඒත් වෙනත් අවශ්‍යතාවයක් නිසා විදේශගත වු නිසා මට අවස්ථාවක් ලැබුණත් විශ්ව විද්‍යාලයට යන්නත් මගේ හිතේ පසුතැවිල්ලක් එහෙනම් මම අතහැරපු කලා හැකියා සපුරා ගන්නත් ජිවිතේ තවත් කාලයක් හා මුදලක් වැය කරන්න වෙලා.

      මල්ලී, මේක හිතට ගනින්. මට මේක කිව්වේ අපේ මාමා කෙනෙක් මම වැටුණ කාලයක.

      “Take the opportunity of a lifetime in the lifetime of the opportunity”

      මාත් අර්බුද අස්සේ උඩු ගං අතට පීනන්නට හදනවා, උඹත් තීරණයක් අරං පීනාපිය (ගඟේ පාවෙන මාලුවන් ගස්කොටන් දිහා බලාගෙන ඉන්න එපා).

  6. Maths karala engineering karanna Peradeniya university ekata yanna.

    ethakota Arts saha Engineering deka windinna awakashayak lebewi.

  7. විද්‍යාවෙන් ගණිතයෙන් උසස් පෙල කරලා වැරදුනාට අවුලක් නැහැ..විද්‍යාව ටිකක් හෝ දුරට අපි ඉගෙන ගත යුතුයි..සාර්ථක මිනිහෙක් කියන්නෙ හැම දේම ටිකක් හරි දැනගත් පුද්ගලයෙක්ට.මේ අවුරැදු‍ දෙකේ බොක්කෙන්ම විද්‍යාවෙන් ඉගෙන ගන්න.පස්සෙ නෝමල් එකේ කලාවට සාහිත්‍යට බරවෙන්න..කලාව ‍ඉගෙන ගන්න පස්සෙ පුළුවන් වුනාට අවස්ථා තිබුනට විද්‍යාව ඉගෙන ගන්න පිටතදී තියෙන අවස්ථා අඩුයි..
    හැමදේම කරන්න හිතන්න ගිහිල්ලා ඔළුව චාටර් කරගන්න එපා..

    විද්‍යාව එලට ඉගෙන ගෙන ඒ විද්‍යාවිෂය දැනුමෙන් ජීවිතය සමාජය විස්තර කිරිම අපුරෑ කලාවක්..

  8. සුදා
    දැන් කරන එකම කරගෙන යන්න කියලා තමයි මම කියන්නේ. ගණිතයත් එච්චරම අමාරු දෙයක් නෙමෙයිනේ. පස්සේ කලාව පැත්තෙන් හැකියාවන් දියුණු කරගන්න. එතකොට තාක්ෂණයයි කලාවයි දෙකම එකතු වෙනවා. එකක් කරනවට වැඩිය වටින්නේ ඒක.

    අනිත් එක පාසැලින් කරන දේත් එච්චර වැඩි දියුණු නෑ. ඒ දේවල් පස්සේ අල්ල ගන්න පුලුවන්.

    ජනමාධ්‍යකරණය ගැන මගේ අදහස මේක. අපේ රටේ ජනමාධ්‍යකරුවො විවිධ වර්ග වලින් ඉන්නවා. හැබැයි මොන වර්ගයේ වුනත් ගොට්ට අල්ලන්නේ නැතුව ඉහළට යන එක බොහොම අමාරුයි. අවංක ජනමාධ්‍යකරුවන්ට අත්වෙන්නේ වෙනමම ඉරණමක්. මම දන්න මගේ යාළුවෙක් ඉන්නවා. මිනිහා පේරාදෙණිය විද්‍යා පීඨයෙන් හොඳ උපාධියක් ලබපු කෙනෙක්. ආසාවට ජනමාධ්‍යකරණයට ඇවිත් දැන් පසුතැවෙනවා ඒක හිතපු තරම් නිදහස් රස්සාවක් නෙමෙයි කියලා. මට වැඩිය ගොඩක් අත්දැකීම් මිනිහට තියෙන නිසා මමනම් අවවාද කරන්නේ දැන් කරගෙන යන එක කරන්න.

    කොහොමත් ඉදිරියෙදී ජනමාධ්‍යකරණය කියන දේ ඒකටම වෙන්වුන රස්සාවක් නෙමෙයි. ජනමාධ්‍යකරණය සාමාන්‍ය මිනිසුන් අතරින්ම එළියට එයි.

    එක විද්‍යාවක් විතරක් හදාරනවට වැඩිය පුලුවන් තරම් දේ ගැන දැනගෙන ඉන්න එක හොඳයි.

  9. මල්ලි
    ඔයගේ මේ ලිපියට මට ඔයාට පිලිතුරක් පුද්ගලිකව දෙන්න ඕන . . .එක නිසා ඔයාගේ ඊ මේල් එක මට දෙන්න . . . . !

  10. මල්ලි
    මේ ප්‍රශ්නේට මමත් කාලයකට මුහුන දුන්නා . . . මට වැටහීමක් තිබුනේ නෑ කොයි එකද හොඳ කියල හිතන්න . . . ඒ දවස්වල බැංකුවක වැඩ කරන කෙනෙකුට හොඳ පිලිගැනීමක් තියෙනවා වගේ දැකපු නිසා මම කොමර්ස් කලා . . . ලව් සීන් හින්දා එග්සෑම් අනා ගත්තා . . . පස්සේ කාලෙක පෙර පිනක් තිබිලා මැත්ස් කරපු අයගේ ෆීල්ඩ් එකක් වූ ඉංජියරින්ග් වලම වෙන කොටසකට එන්න ලැබුනා . . . ඒකෙන් ලොකු පඩියකුත් ලැබෙනවා . . . ආර්ථික ප්‍රශ්න නැතිනිසාම කැමැත්තක් තියෙනවානම් නිර්මාන කරන්න තරම් මානසික නිදහසක් තියෙනවා . .

    මේ ෆීල්ඩ් එකේ තවදුරට ඉගෙනීම කරගෙන යද්දි මැත්ස් නැති අඩුව හොඳටම දැනෙනවා . . .

    ඒක නිසා ෆේල් වෙන්න හරි මැත්ස් කරන්න කියල තමයි මට නම් කියන්න තියෙන්නේ . . . මැත්ස් කරල ෆේල් උනත් වෙන වෙන ඔප්ෂන් ගොඩක් තියෙනව මැත්ස් වලටම සම්බන්ධ ලොකු ගානක් අනාගතයේදී හම්බුකරන්න පුලුවන් රැකියා කරන්න ඉඩ සලසා දෙන අවස්ථා . .

  11. හිත හිතා ඉන්න දෙයක් නැහැ. ගණිත අංශයෙන්ම උපේ කරනවා මිසක්. කවදාවත් වරදින එකක් නැහැ. කලා හැකියාවන් අර බුධෘ කියනවා වගේ බාහිරින් වැඩිදියුණු කරගන්න ඕන තරම් අවස්තා අපේ රටේ තිබන නිසා කිසිදේකට කණස්සළු වෙන්න එපා. කාලය හරියට කලමණාකරණය කර ගත්තොත් ගොඩ යනඑක ගේමක් නෙවෙයි.

  12. සුදාරක,
    කාල වේලා ප්‍රශ්නයක් නිසා කමෙන්ට්ස් දැම්මේම නෑ පහුගිය කාලේම. ඒත් මේ වෙලාවේ, වෙලාව ගැන නොසිත් යමක් කියන්න ඕනෙ කියල හිතුනා.
    පුතේ, මේ සටහනේ ඔබ කියනා කරුණු-කාරණාත්, හිතවත්තුන් දක්වා ඇති ප්‍රතිචාරත් බොහෝ දුරට යථාර්ය පැහැදිලි කරනවා. ගණිතය හෝ විද්‍යාව තෝරා ගන්නා බොහෝ දෙනෙක් (විශේෂයෙන් ගණිතය) වසරක් පමණ යද්දී, නැත්නම් විභාගයෙන් පසුව, බොහෝ විට ප්‍රතිඵල ආ විට තමන් ගත් තීරණය ගැන පසුතැවෙනවා. ඊ ළඟට අර කිහිප දෙනෙක් සටහන් කරල තිබුණා වගේ ‘ෆේල් වුනත් කමක් නෑ විද්‍යාව කරල‘ (…ඉතිං පුතේ නම්බුවක්නේ ෆේල් වුනත් විද්‍යාවෙන් විභාගෙ කොරලා….-ඔබ සටහන් කළ ගීතයේත් තියෙන්නේ) කියල හිත හදා ගන්නවා. මේක ආත්ම වංචාවක් වගේ පෙනුනත් ඇත්තකුත් තියෙනවා. ගණිතය කරල හොඳින් සමත් නූනත් (සරසවි යාමට තරමින්) තවත් පැති කිහිපයක්ම තියෙනවා යොමු වෙන්න. NDT, HNDT, TTI, Tec., ඔය වගේ. වෙනත් විශය ධාරා වලින් යන්න පුළුවන් විකල්ප වලදී වුනත් අර එක් හිතවතෙක් සටහන් කරල තිබුනා වගේ කරගෙන යනකොට ‘මැත්ස් කරල තිබුණනම්‘ කියල හිනෙවා, ඒවායේදීත්. අනෙක් අතට AL වලින් තෝරා ගන්නා රැකියාවලදී ගණිතය කරපු අයට විශේෂ අවස්ථා හිමි වීමේ ප්‍රවනතාවයකුත් තියෙනවා. (‘මැත්ස් කරන්න යන්නේ ටිකක් හරි බ්‍රයිටෙක් නිසානේ කියල‘ හිතනවා ඇති)
    ඒ භාගෙට සමත් වුනාම.
    ෆේල් වුණත්, කලා කරල ෆේල් වෙන අයට වඩා අවස්ථා තියෙනවා රැකියා වෙළඳ පොලේ.
    ඒ සේරම අල්ල දාන්නකො.
    දැන් තියෙන තත්වයට මුහුණ දීම තමා හොඳම පිළියම. ඔබගේ ක්‍රියාකාරකම් හරහා මම තේරුම් ගත්ත විදිහට නම් ඔබ ගණිතය අංශයෙන් වුවත් හොඳින් ම සමත් විය හැකි දරුවෙක්. ඒ විශ්වාසය ඔබේ හිතෙත් ඇති කරගන්න. අඩමානයේ හිත තියගෙන ඉගෙන ගන්න බෑ. මීට පෙර ඔබගේ සටහනකම සඳහන් කරල තිබුණ විදිහට මේ තියෙන්නේ තිබිය යුතු ‘හොඳම අධ්‍යාපන ක්‍රමය‘ නෙමේ. ඒත් අපිට මේ ක්‍රමය වෙනස් කරන්නත් මේ ක්‍රමයෙන්ම ‘හොඳට‘ ඉගෙන ගන්න වෙනවා. ඒ නිසා ඔබට තිබෙනා අභියෝග, පියවරවලට බෙදා ගෙන පියවරෙන් පියවර ජයගන්න. පළමුවම උසස් පෙළ උසස් ලෙස සමත් වෙන්න. දෙවනුව ඔබ සුදුසුකම් ලබණා ඉහලම විශය ධාරා හරහා සරසවි අධ්‍යාපනය ලබන්න. උපාධිධාරයෙකු වූවාටම ප්‍රමාණවත් නෑ. එක්කෝ වෘත්තීයමය උපාධියක් ලබා ගත් යුතුයි. නැත්නම් ශ්‍රේණියකුත් සමග සමත් වෙලා ‘ඉන්ටෙක්‘ වෙලා විද්‍යාඥ්ඥයෙක් විය යුතුයි. එහෙම නැත්නම් ‘රැකියා විරහිත උපාධිධාරීන්ගේ සමාගමේ‘ තමා රස්සාව කරන්න වෙන්නේ. ඔබ අදහස් කරනා පරිදි නිර්මාණ කරණයට (ජනමාධ්‍ය වේදියෙක් කියන්නෙත් නිර්මාණ කරුවෙක්) අධ්‍යන විශය ධාරාව ගැටළුවක් වෙන්නේ නෑ. හොඳ කාල-කළමනාකරණයකින් වැඩ කළොත් තමාගේ සිත් ගත් අමතර දෙයක් සාර්ථකව කරන්න බැරි නෑ. පරිගණක අධ්‍යාපනය ගැනත් ඔබ සඳහන් කරල තිබුණා. ඒ ගැනත් කියන්න තියෙන්නේ අද රටට අවශ්‍ය පරිගණක උපාධිධාරීන්ම පමණක් නොවේ. පරිගණක (IT-තොරතුරු තාක්ෂණය) උපයෝගී කර ගන්නා පරිපාලකයින් හා කළමනාකරුවන් පිරිසකුත් අවශ්‍යයි. සෑම ක්ෂේත්‍රයකම ඒ අඩුව තිබෙණවා. එබැවින් කළමනාකරණය හැදෑරීම පිළිබඳවත් හිතන්න. ඒ ගැනත් සූදානම් වෙන්න.
    ඔබටත්, ඔබ වගේම තවත් දරුවෝ රාශියක් තැවෙනා කාරණයක් නිසා මේ සටහන ලිව්වේ (මමත් ඒ කලේ කාපු කට්ටක් මේක). අන්තිමටම කියන්න තියෙන්නේ ඔබල කරන්න ආස කරන ඕනේම ‍දෙයක් කරන්න අනාගතය තවත් විශාල කාලයක් ඔබ වෙනුවෙන් ඉතිරි කරගෙන ඉන්නවා. ඒ නිසා දැන්ම කලබල වෙන්න එපා. අතීතයේ ගත්ත තීරණ ගැන සිතමින් වර්මානය ඇන ගන්න එපා. තෝරා ගත් විශය ධාරාවෙන් උපරිමය කරන්න. අනාගතය වරදින්නේ නෑ. ජය ශ්‍රී!

  13. ඇත්තටම ශිෂ්‍යත්වයේ හා සා.පෙ ප්‍රතිඵල වලින් උ.පෙට බලපෑමක් නෑ. ගණිතය කරනවා නම් හරියට කරගෙන යන්න. කලා හැකියාවක් එක්ක ගණිත අංශයෙන් උ.පෙ. කරලා ඉදිරියට ආවම ඔයාට තියන පරාසය ගොඩක් වැඩී. මම පෞද්ගලීකව දැකලා තියන දෙයක් තමා මම ඉගෙන ගන්න ෆීල්ඩ් එකේ (මෘදුකාංග නිර්මාණය ) ඉතා ඉහල තර්කික ඥානය තියන අයට ඉන්ටර්ෆෙස් එකක් ඩිසයින් කරගන්න බෑ. ඒ හින්දා ගණිතයෙන් විද්‍යාත්මක පැත්තයි කලාවෙන් කලාත්මක පැත්තයි එකතුකර ගත්තොත් හොඳ අනාගතයක් තියෙවි. මොකද අද නිර්මාණාත්මක අදහස් වලට ඉහල මිළක් ලැබෙනවා

  14. දැන් තවදුරටත් පහුගිය, සිදුවුනු දේවල් සම්බන්දයෙන් පසුතැවිලි වෙන එක හරි, ඒ සම්බන්ධයෙන් දෙගිඩියාවකින් කල්පනා කරමින් ඉන්න එක හරි ප්‍රයෝජන්‍යක් නැහැ නේද?
    අනික, ජනමාධ්‍යකරැවෙකු හෝ කලාකරුවෙකු වෙන්න කලා විෂය ධාරවෙන් උසස් පෙළ කල යුතුම නැහැ, ඒ පිළිබඳව ඕනෑ තරම් නිදසුන් තියෙනවා.

    අපේ අධයාපන ක්‍රමය සැකසිලා තියෙන යාන්ත්‍රික හා අතාර්කික සැකැස්ම අනුව අපි කැමති හා අපි වඩාත් යොමුවීමට ආශා කරන දේ වෙත යොමුවෙන්න ලැබෙන ඉඩ ප්‍රස්ථාවන් අඩුයි තමයි. ඒත් ඒ නිසාම ඒ අරමුණු සාක්ෂාත් කරගන්න නොහැකිමත් නෑ.

    කණගාටුවෙන්න එපා, ඒ වෙනුවට සිදුවුනු දේ වඩාත් යහපත් කියල හිතන්න.
    (මම හිතන විදියට නම්, ගණිත අංශයෙන් උසස් පෙල කිරීමේ තීරණය වඩා නිවැරදියි. එහෙම කිව්වේ මේ සමාජය තුල කියෙන ක්ෂේත්‍රයට ඇති පිළිගැනීම, රැකියා ආදී ඒ වගේ පසුගාමී අදහස් ගැන හිතල නෙමෙයි.. .. )

    සුභ අනාගතයක් !

  15. maths karala fail wunath aththatama samajaye piliganimak thiyenawa.arts karala fail wunoth ethin jeevithema apayak wage kiyala thama ada kale minissu hiththanne.kohoma wunath nivaradi therimakadi thamange kamaththath ,ediri anagathayath kiyana dekama balapanawa.me dekem wadiya loku mokadda kiyana eka pudhgalaya anuwa wenas.mama nam mage kamaththata yana kenek.monawa karath karana de hariyata karana ekai wadhgath.
    meka ethin mama hithana hati!

Leave a comment

Leave a Reply to මම මචන' Cancel reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: