ජීවත් වෙලා මක්කටෙයි?

අපිව මේ ලෝකයේ ජීවත් කරවන කරුණු කාරනා කිහිපයක්ම තියෙනවා කියලා මට මතක් වුනේ කෑමෙන් පස්සේ දත් ටික මැද මැද ඉන්නකොට. දත්ටික නැත්තං ජීවත් වෙලා හමාරයි වගේ තේරුමක් දත් ටික මැද මැද ඉන්නකොට හිතට ආවත්. මනුස්සයා කියන සතා දස්සයා නිසා දත්ටික බඩට යන්න පාරක් වැදිලා හිටියත් බටේකින් හරි ආහාර අරගෙන ජීවත් වෙන්න ට්‍රයි කරන නිසා… දත් ටික මිනිසා ජීවත් කිරීම ‍හෝ කරවීම පිළිබඳ ලොකු බලපෑමක් එල්ල කරන්නේ නැහැ කියන කාරණය තමයි එතනින් ගම්‍ය වෙන්නේ. ඒ වුනාට දත් ටික නැතිව ජීවත් වෙලා මොකටද වගේ කතාවක් කතා කෙරුනත්. ඔය ඕනතරම් මිනිස්සු දත් ටික නැතිව ජීවත් වෙන්නේ…

අර සින්දුවකුත් තියෙන්නේ…

ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ…
‍ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙක් ඕනෑ වේ…

මංජූ…… හ්ම්… හ්ම්…

ඕක අපේම අය. මේ විදිහට කිව්වා.

ලෝකේ ජීවත් වන්නට බත් ටික ඕනෑ වේ…
ඒ බත් ටික කන්නට දත් ටික ‍ඕනෑ වේ…
ඒ දත් ටික කන්නට පනුවෝ ඕනැ වේ…
…………………………….. ඕනැ වේ…

ඔහොම ඉවරයක් නැති සින්දුවක් කියාගෙන ගියපු එකෙක්ව නවත්තන්න වුනේ කටට ප්ලාස්ටරයක් දාලා…

නෑ. ඒක බොරු. අපිත් හිනාවෙවි අහ අහ හිටියා මිසක් (සමහර කෑලි අපිත් එකතු කළා මිසක්) ප්ලාස්ටර් දාන්න යන්න තරම් වාරණ චේතනාවක් අපට ඇතිවුනේ නැහැ.

හරි. ඒ අතුරු කතා. මං කියාගෙන ගියේ මේ. ජීවත් වෙන්නේ ඇයි කියන කාරණේ ගැන නෙව. හරි. වෙනදා වගේම මාතෘකාවෙන් පිට පැන්නත් ආයෙමත් මාතෘකාවටම එමු.

හරි. දැන් අර කලින් කියපු විදිහට ලෝකේ ජීවත් වෙන්නට බත්ටික ඕනෑ ‍වේ කියන කා‍රනේ වෙනම අරගෙන බැලුවොත් එතන පේනවා ජීවත් වෙන්න නං ආහාර ගන්නම ඕනෑ කියලා. ඒක ගැන කල්පනා කර කර ඉන්නකොට මගේ ඔළුවට ආවේ අපේ හොස්ටල් කන්න පෝලිම් ගැහිලා පැරේඩ් එකේ ඉන්නකොට එතනට ආපු හොස්ටල් එකේ නතර වෙලා හිටපු සිංහල ගුරුවරයෙක් කියපු කතාවක්.

සමහරු ජීවත් වෙන්න කනවා.
සමහරු කන්න ජීවත් වෙනවා.

අපි පොඩි එවුන් නිසා අපිට හිතුනේ‍ මේක ගුරුවරයාම කියපු කතාවක් කියලා. ඒත් ඒක ‍එහෙම නෙවෙයි. පස්සේ තමයි දැනගත්තේ ඒක ප්‍රසිද්ධ කියමනක් කියලා. හරි. එහෙම බැලුවාම ඇයි අපි ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නයට තවත් උත්තරයක් ලැබෙනවා. ඒ ජීවත්වෙන්නේ… කන්න. ඔය කෑමත් ඉතින් බඩට යන කෑම විතරක් නෙවෙයි නෙව. ගසා කෑම. සූරා කෑම. ඉතින් ඒ මිනිස්සු ජීවත් වෙන්නේ ගසා කන්න. සූරා කන්න. ඉතින් ඒ දිහා බලන් ඉන්න අපිට හිතෙනවා තමයි මුං ජීවත් වෙලා ඇති වැඩේ මොකක්ද කියලා. බලාගෙන ගියාම සූරං කන්නේ ජීවත් වෙන්න. ජීවත් වෙන්නේ සූරං කන්න. හරිම පුදුම අනුලෝම ප්‍රතිලෝම සම්බන්ධයක්.
කාගෙහරි ඔළුවට අදහසක් ආවාද නිකං ජොලියට හරි මැරිලා බලන්න. ඒත් ඕනම කෙනෙක්ට අවාසනාවට මැරෙන්න පුලුවන් එක පාරයි. ඔය කවුරු කිව්වත් මං මැරිලා ඉපදුනා කියලා… ඒක බොරු. නිකං අහලා බලන්න මැරුනාම කොහොමද දැන්නේ කියලා… මං කියන්නේ මැරෙන එකෙත් ආතල් එකක් තියෙනවා කියන එක. ඒ වුනාට ආතල්ද නැද්ද කියලා මට තාම හරියටම කියන්න බෑ. මොකද මං තාම මැරිලා ‍නෑ නෙව. පහුගිය ආත්ම භව වල මැරිලා තියෙන්න පුළුවන් බව හැබැයි. ඒත් කවුද දන්නේ මට පහුගිය ආත්ම භවයක් තිබුනාද කියලා. සමහර විට මේ මගේ පළවෙනි ආත්ම භවේ වෙන්න ඇති. පහුගිය ආත්ම භාව තිබ්බා නං අනිවාර්යයෙන්ම පව් කරන්න 90%ක සම්භාවිතාවක් තියෙන නිසා මේ ආත්මේ මනුස්ස භාවයක් ලබන්න නං පහුගිය ආත්ම භාවයක් තිබිලා නෑ කියලා තමයි මට නං හිතෙන්නේ. කොහොමත් මට ආගම දහම ගැන වැඩි දැනීමක් නැති නිසා මෙතනින් එයාට යන්නේ නැහැ. මොකද බුදුහාමුදුරුවෝ දේසනා කරලා තියෙනවා බුදුදහම සර්පයෙක් වගේ. වලිගයෙන් අල්ල‍ගත්තොත් නං ඉවරයි, ඒක නිසා හරියටම ඔළුවෙන් අල්ලගන්න කියලා. ඉතින් ආගමික දේවල් ගැන විවාද කිරීම ඒ ගැන හරිහැටි දැනීමක් නැතිව වාද කිරීම හරි බැරෑරුම්. ඉතින් වැඩිදුර ඒ ගැන කතාකරන්න යන්නේ නැතිව මාතෘකාවට එමුකෝ…

මාතෘකාවට එන අතරේ මට ලෝවැඩ සඟරාවෙන් කවියක පද දෙකක් මතකයට ආවා…

කලකිනි බුදු කෙනෙකුන්     උපදින්නේ
දුකකිනි මිනිසත් බව ලැබ    ගන්නේ

ඉතින් අපි මේ අපිට ලැබුනු මනුස්සකම අරගෙන ජීවත් වෙනවා. ඇයි ඉතින් අපි ජීවත් වෙන්නේ?
ඕකට හරි කෙටි පිළිතුරක් තියෙනවා ජීව විද්‍යාවේ.

තමන්ගේ වර්ගයා බෝ කරන්න.

ඒත් මට ඒකෙන් සෑහීමට පත් වෙන්න කොහෙත්ම නං බෑ. ඔන්න ඕක ඇමීබාවා වගේ එකෙක්ට කිව්වානං අවුලක් නෑ. ඌට කං ඇහෙන්නෙත් නැති නිසා ඌ ඒක වැඩි ගානකට ගන්න එකකුත් නෑ.

මේක සිරා ප්‍රශ්නයක්. ඇයි අපි ජීවත් වෙන්නේ… හරි. අපි ජීවත් කරවන කරුණු කිහිපයක් තියෙනවා.

එකක්. “අම්මා.”
අනික “ආදරය.”
තව එකක් “මුදල්”
තව එකක් “ආහාර”
තව එකක් “ගින්දර”

ඔය වගේ කරුණු ගොඩක් කිව්වත්. ඕකෙන් පළවෙනි කාරණය විතරයි හරියටම අපිව ජීවත් කරවන්නේ. ආදරය (මං මේ කියන්නේ කෙල්ලෙක් ගැන කොල්ලෙක්ට හිතේ ඇතිවන ආදරය ව‍ගේ දෙයක්. සරලව. ඔයිට වඩා සංකීර්ණතා තියෙනවා ලෝකේ. ඒත් මං කතාකරන්නේ මේ ආදරය ගැන) එතනට ආසන්නව ලං වුනත්. ආදරය නිසා මැරිච්ච අය ලෝකේ ඕනේ තරම් ඉන්නවා. හොඳම උදාහරණය රෝමියෝ අයියයි. ජුලියට් අක්කයි. ඕවා පොතේ තිබුනාට. පොතෙන් මෙහාටත් ඒක එහෙම්මම තමයි. මුදල්, ආහාර, ගින්දර, ජලය වගේ තවත් දේවල් තිබුනාට. ඒවාම අනිත් පැත්තට අපිව මරවන කාරණා. ඉතින් අම්මා තරම් තවත් වස්තුවක් මේ ලෝකේ නෑ කියන්නේ කට කහනවට නෙවෙයි.

ඉතින් අම්මා වුනත් මේ මැරීමට සමහර විට දායක වෙන තැන් අපි දැකලා තියෙනවා නෙව. ඒ අතින් බැලුවාම ගබ්සාව හරිම අමානුෂිකයි තමයි. ඒත් සමාජය විසින් මේ වගේ සමාජ තත්වයන් ඇති කරලා තියෙනවා.

ඉතින් මං තාමත් හොයනවා ජීවත් වෙන්නේ ඇයි කියලා…
හැබැයි මගෙ නං තාම මැරෙන්න අදහසක් නැහැ.

ලෝවැඩ සඟර‍ාවේ කවිය සම්පූර්ණ කරලාම මම එහෙනං නවතින්නම්.

කලකිනි බුදු කෙනෙකුන්         උපදින්නේ
දුකකිනි මිනිසත් බව ලැබ            ගන්නේ
මෙදෙකින් මෙසසර දුක් දුර        ලන්නේ
සුදනෙනි කිම වීරිය නො          කරන්නේ

Join the Conversation

12 Comments

  1. නියම පෝස්ට් එකක්.. සිරා ප්‍රශ්ණයක්…

  2. කතාවක් තියෙනවා
    ” මේ ලොවේ පැවැත්ම පවතින්නේ අම්මාගේ කිරි වලිනුත්,
    හිරුගේ රැස්වලිනුත්” කියලා

    ඕක කියවන කොට මට ආවේ ඔය අදහස.., නමුත් අදහස මම ගැලපිය යුතු වන්නේ මේ ලිපි කොතනට ද කියලා මට හරි අදහසක් නෑ….
    නමුත් මචං සුදාරක, හරිම වටින ලිපියක්.., අපි ගැන හොයන්න අපිව පොලොඹවන..

  3. මචං.. විශ්වයේ ග්‍රහලෝක නිකං ඔහේ කැරකි කැරකි තියෙන්නෙ නැතිව ඒකෙ ජීවයක් කියල දෙයක් බිහිවුනෙත්, ඒ ජීවයේ ක්‍රියාකාරීත්‍වයන් නිසා බුද්ධිය බිහිවුනෙත්, ඒ බුද්ධියේ යම් ක්‍රියාකාරීත්‍වයක් නිසා අනාගතයේ යම් පියවරක් තැබෙන්නෙත් නිකම්ම වෙන්න බෑ. මොකක්හරි අරමුණක් තියෙන්නට ඕනෑ කියලා සමහරු හිතනවා.

    අරමුණක් ? අරමුණක් පහළවෙන්න ඕන සිතක. සිතක ? ඒ කියන්නෙ විශ්වයේ ක්‍රියාකාරීත්‍වය තීරණය කරන සිතක්. බුද්ධිමත් නිර්මාණකරණය ? නෑ නෑ වෙන්න බෑ.

    අපි ආපහු බලමු. ජීවය බිහිවුනා. බුද්ධිය බිහිවුනා. දැන් බුද්ධිය පවතිනවා.

    හොඳයි බටහිර විද්‍යාව කියනවා ජීවියාගේ පරම කෘත්‍යය ප්‍රජනනයයි කියලා. බුදුන් කියනවා “පුත්තා වත්තු මනුස්සානං” (මනුෂ්‍යයාගේ වස්තුව පුත්‍රයාය) කියලා. හරි ඒක හරි, ඒත් මොන කෙහෙම්මලකටද ප්‍රජනනය කරන්නේ ? පරිණාමය වෙන්න. මොකක්ද පරිණාමය වෙන්නේ ? ශරීරය ? ඔවු ශරීරයත් පරිණාමය වෙනවා. එතකොට අනික ? බුද්ධිය. ජීවියාගේ පරම කෘත්‍යය ප්‍රජනනය නම්, ප්‍රජනනයේ පරම කෘත්‍යය බුද්ධියේ පරිණාමය. හොඳයි බොරුද ? තාත්තට අම්මට වඩා උඹ බුද්ධිමත් නැද්ද ? නැති වෙන්න පුළුවන්, නමුත් උඹ ඉපදුනේ වඩා බුද්ධිමත් වෙන්න. පෙර නිෂ්පාදනයට වඩා පසු නිෂ්පාදනයේ කොලිටි අඩුවෙන්නෙ කොයි ලෝකෙද ?

    එහෙනම්,

    ජීවත්වෙන්නෙ මක්කටෙයි ? -> ප්‍රජනනය කරන්න -> ප්‍රජනනය කරන්නෙ මක්කටෙයි ? -> බුද්ධිය පරිණාමය කරන්න.

    මැදකෑලි හළලා මුලයි අගයි යාකරමු,

    ජීවත්වෙන්නෙ මක්කටෙයි -> බුද්ධිය පරිණාමය කරන්න.

    1. ඒක ඇත්ත. ඒත් ඇයි අපි බුද්ධියත් පරිණාමනය කරන්නේ? මාර ප්‍රශ්නයක් නෙව. 😀 බුද්ධිය පරිණාමනය කරගෙන කරන්නේ ආයෙමත් ජීවත් වීම පහසු කරගන්න එකම නේද? 😀

  4. මේක බර වැඩී බං මට…

    මේ කෝඩ් කෑලි ටික ගහගන්න බැරි වුණොත් උඹව අල්ලගන්නම්කෝ..

    මරු සටහන මල්ලී…

    හිතන්න දේවල් ගොඩක් ඉතුරු කළා උඹ…

  5. @සුදාරක:
    [said:සුදාරක]
    බුද්ධිය පරිණාමනය කරගෙන කරන්නේ ආයෙමත් ජීවත් වීම පහසු කරගන්න එකම නේද?
    [/said]
    ඒක එහෙමමයි කියල කියන්න බෑ. ආතර් චාල්ස් ක්ලාක් අනුමාන කරල තියනවා බුද්ධියේ මීලඟ පියවර දුර්වල රසායන ද්‍රව්‍ය වලින් තැනුනු දුර්වල “කේසින්”එක අයින් කරලා, යාන්‍ත්‍රික ලෝහමය ඉලෙක්ට්‍රොනික “කේසින්” එකක් තෝරා ගැනීමයි කියලා. ඒ බුද්ධිය වත්මන් බුද්ධියේ මීළඟ අවස්ථාවක් හෝ මෙම බුද්ධිය විසින් තැනුනු වෙනත් බුද්ධියක් වෙන්නට පුළුවන්.

    අළුත් ශරීරයක් වර්ධනය කරගත්තු හෝමෝ සේපියන් දිහා හෝමෝ ඉරෙක්ටස්ලා බලං ඉඳපු විදියට අළුතින් නිර්මාණය වුනු බුද්ධිය දිහා මිනිස් බුද්ධිය උපේක්‍ෂා සහගතව බලාගෙන ඉන්න කාලයක් ඒවි. ඉන් ටික කාලෙකට පස්සේ – මානව පරිණාමයේ ටික කාලයන් වල දිග දන්නවානේ ? – ඒ බුද්ධිය ඉස්සර ජීවත් වුනු හෝමෝ සේපියන්ගේ පොසිල ගවේෂණය කරාවි.

  6. මම නම් ජීවත් වෙන්නේ මැරෙනකම් මිසක් ජීවත් වෙන්නේ ඇයි කියලා හොයන්න නම් නෙමෙයි බං

  7. එළ එළ… ඇත්තටම අපි ජීවත් වෙන්නෙ මක්කටෙයි??? අනේ මටනම් ඔය සුදා වගේ ඔය ගැන හිතන්න වෙලාවක් නැහැ… වෙලාවක් තිබ්බත් ඔය ගැන හිතන්නෙ නෑ… මොකද ඒක ගැන හිතන්න ගියොත් ඔලුව රිදෙනව… ඔන්න ඔහේ අපිත් ජීවත් වෙනව අනේ… ලස්සන කෙල්ලෙක් ගැන හිත හිත ගොඩක් සරළව ඉන්නව… 😀

  8. මට නම් නෑ මොකවත් තේරෙන්නෙ

Leave a comment

Leave a Reply to සුපුන් සුදාරක Cancel reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: