නව රසායන විද්‍යා විෂය නිර්දේශය සිසුන්ට විෂ වෙයිද?

හපුතලේ කන්ද දැකලා කරත්තකාරයෙක්ට බඩදන විදිහටමයි මට අලුත් රසායන විද්‍යා සිලබස් එක දැකලා බඩ දන්න ගත්තේ. අහල පහළ ඩයජින් එකක්වත් හොයාගන්න තරම් පිනක් නොතිබුන නිසා ෆේස්බුක් එකේ Status Message පාරකට ‍හේත්තු වෙලා ඉන්නකොටයි අපේ තූර්ය අයියා කතාවට එකතු වුනේ. අලුත්ම අලුත් රසායන විද්‍යා විෂය නිර්දේශය ගැනයි මේ කතාබහ ඇතිවුනේ… ඉතින් ඒ කතාබහ. බ්ලොග් සටහනකට පෙරළලා ලියන්න ඔන්න සුදාරක ආරාධනා කරා තූර්ය අයියාට. මෙන්න කාලෙකට පස්සේ සුදාරකගේ බ්ලොග් අඩවියේ ලියැවෙන ආරාධිත බ්ලොග් සටහනක්… වැඩි අටුවා ටිකා මොකටද? මේකත් ඉතින් අපේ ආතල් අධ්‍යාපනේ ගැන තමා.!

මුලින්ම මට මේ සටහන ලියන්න ආරාධනා කල සහ නව රසායන විද්‍යා විෂය නිර්දේශය පිළිබඳ දැනුම් දුන් සුපුන් සුදාරක මල්ලිට මම ස්තුති කරනව. ඇත්ත වශයෙන්ම පැරණි විෂය නිර්දේශය යටතේ එක් වරක් විභාගයට මුහුණ දුන් කෙනෙක් විදිහට මේ ගැන යමක් ලියන එක වැදගත් කියල මට හිතුණ. මක්නිසාදයත් උසස් පෙළ භෞතිය විද්‍යා හා ජීව විද්‍යා යන විෂය මාලා දෙකටම මේ විෂය ඇතුලත් වන නිසාවෙන්. තවත් එක් වැදගත් කරුණක් වන්නේ රසායන විද්‍යාව අමා…..රුයි කියල සිසුන් අතර මුල් බැහැගෙන තියෙන මිත්‍යාව. මේ මිත්‍යාව නිසා සමහර සිසුන්ට උසස් පෙළ පන්තියට ඇතුල් වෙනකොටම රසායනය එපා වෙලා ඉවරයි.

උසස් පෙළ රසායනයට අලුතෙන් එකතු වුනේ මොනව්ද කියල බලන්න කලින් අපි බලමු සාමාන්‍ය පෙළ රසායනයට අලුතෙන් ඇවිල්ල තියෙන්නෙ මොනවද කියල. මටනම් පැරණි සා.පෙළ විද්‍යා විෂය නිර්දේශය හා අලුත් එක අතර මහ වෙනසක් පේන්නෑ. තාප රසායනය, රෙඩොක්ස් ප්‍රතික්‍රියා, යකඩ විඛාදනය වැනි කොටස් අලුතෙන් එකතු කර තිබුනත් ඒවා දීර්ඝ වශයෙන් සාකච්ඡා වෙලා නෑ. එමනිසා අලුත් උ.පෙළ විෂය නිර්දේශයේද එම කොටස් “අ” යන්නේ සිටම ඉගැන්වීමට උපදෙස් දීලා තියෙනවා. ඒ නිසා, මේ සා. පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශ වෙනස්වීමෙන් ප්‍රායෝගිකව අලුත් දෙයක් සිසුන්ට ලැබුනේද යන්න මට ගැටලුවකි. නමුත් ගණිතය නව නිර්දේශයන්ගෙන් ( සා.පෙළ හා උ.පෙළ ) චන්ද්‍රිකා-තාරා මුග්ධ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් ඉවත් කරන ලද වැදගත් කොටස් කිහිපයක් නැවත එකතු කර තිබේ.

දැන් අපි උසස් පෙළ රසායනයට බහිමු. මෙම නව විෂය නිර්දේශය පිලිබඳව අධ්‍යයනය කිරීමේදී පෙනීයන එක් කරුණක් නම් 21වැනි සියවසට ගැලපෙන ආකාරයට විෂය කොටස් එක් කිරීමට දරා තිබීමයි. එම උත්සාහය ගැන පැසසිය යුතුය. අප මේ ඉගෙන ගන්නා රසායන විද්‍යාවේ සමහර කොටස් දියුණු රටවල් අතහැර තිබෙන්නේ 2වන ලෝක යුධ සමයේදීය. එමගින් අප ලොව තුල සිටින්නේ කොපමණ පිටුපසින්දැයි ඔබට සිතාගත හැකිය. නමුත් මෙම එකතු කිරීම නිසා ප්‍රායෝගිකව ගැටළු කිහිපයක් මතුවේ. අලුතෙන් කොටස් එකතු කළද පැරණි කොටස් එලෙසම පවතී. එම නිසා විෂය නිර්දේශය ඉතා දිගුවීම වලැක්විය නොහැක. පැරණි නිර්දේශයේ පවතින ඒකක ගණන 15කි. අලුත් නිර්දේශයේ එය 16කි. ඉලක්කම් වලින් ගණන් කල විට එහි වැඩිවීම එකක් වුවත් සැබෑ වෙනස තේරෙන්නේ එහි අන්තර්ගතය බැලූවිටය. පැරණි නිර්දේශය, සාමාන්‍ය රසායනය (ඒකක 4), භෞතික රසායනය (ඒකක 4), කාබනික රසායනය (ඒකක 4), අකාබනික රසායනය (ඒකක 3) යනුවෙන් ප්‍රධාන කොටස් 4කින් සමන්විත විය. මෙහිදී නව නිර්දේශයේ වැඩි වෙනසක් නොවී පවතින්නේ කාබනිකයේ ඒකක 4 සහ අකාබනිකයේ එක ඒකකයක් පමණි. පැරණි නිර්දේශයේ සාමාන්‍ය රසායනයේ ඒකක 3ක් වූ පරමාණුක ව්‍යුහය, ආවර්තිතාව හා මූලික සංකල්ප (කොටසක්) නව නිර්දේශය යටතේ පළමු ඒකකයේ අනු කොටස් ලෙස එක් ඒකකයට ගෙන තිබේ. මෙහිදී මෙම කොටස් වල පැරණි නිර්දේශයේ අතුලත් වූ සියල්ල අතුලත් වන අතර තවත් අලුතෙන් කොටස් කිහිපයක් ද එකතුවී තිබේ. ඉතින් මෙවැනි අති දීර්ඝ විෂය නිර්දේශයක් අවුරුදු දෙකක් වනි කෙටි කලකින් අවසන් කිරීමටනම් ගුරුවරු “ෆාස්ට්” එකේ ඉගැන්විය යුතුය. නමුත් එය සිසුන්ට “ෆිට්” නොවන බවට මට විශ්වාසය. මක්නිසාදයක් පැරණි නිර්දේශයේ ඒකක 15 නිම කිරීමටද මෙම අවුරුදු 2 ප්‍රමාණවත් වූයේ යන්තමිනි.

භෞතික රසායන කොටසට නව අංග රාශියක් එකතු වී තිබේ. සන්නයනමිතිය, වර්ණාවලීක්ෂය භාවිතය වැනි කොටස් එකතු වීම එක් අතකින් හොඳය. මේවා අද ලෝකයට ගැලපෙන වැදගත් ක්‍රමවේදයන්ය. එහෙත් මෙම විෂය කරුණු ග්‍රහණය කරගැනීමට තරම් මූලික දැනුමක් අප සිසුන්ට ලැබී තිබේද යන්න විමසා බැලිය යුතුය. 2011 උසස් පෙළට මුහුණ දෙන කණ්ඩායමට නම් මෙම නව නිර්දේශය මහත් අභියෝගයකි. ඒ ඔවුනට මෙම නිර්දේශයට අදාල වන ලෙස මූලික අධ්‍යාපනයක් නොලැබ තිබීමයි. නමුත් අද දවසේ 6, 7 පන්තියේ නව අධ්‍යාපන රටාව යටතේ ඉගෙනුම ලබන සිසුන්ට නම් මෙම නිර්දේශය අපහසු නොවනු ඇත.

තවත් එක් ගැටළුවක් නම් කොපමණ විෂය කරුණු අතුලත් කළද රචනා ප්‍රශ්න පත්‍රයට ඇතුලත් වන්නේ ප්‍රශ්න 10කි. එමනිසා හැම ඒකකයකින්ම ප්‍රශ්න අතුලත් කල නොහැක. එසේ කලහොත් සිදුවන්නේ මෙවර සා.පෙළ ගණිතය 2 පත්‍රයට වුණු හදියයි. ප්‍රශ්නයක අඩංගු කොටස් ගණන වැඩීවී වැඩේ අච්චාරු වීමයි (මෙම තත්වය ප්‍රධාන පාසල් වල උ.පෙළ අවසන් වාර විභාග වල පවතී). උ. පෙළ සංයුක්ත ගණිත ප්‍රශ්න පත්‍රය සලැකීමේදී ඉතා වැදගත් විෂය කොටසක් වන දෛශික වලින් 2000 සිට මේ දක්වා එකඳු ගණනක් දී නොමැත. එනිසා බොහෝ සිසුන් දැන් දෛශික කොටස ඉගෙනුම අත් හරී. මෙම නව රසායන විද්‍යා නිර්දේශයේ දිගු බව නිසා ඉහත අයුරින් සමහර විෂය කොටස් සදහටම විභාගයට නොඒමට ඉඩ තිබෙන ඉඩකඩ වැඩිය. එම නිසා උ.පෙළ විභාග දෙක තුනක් යනවිට සිසුන් විභාගෙට නොආ කොටස් තම හිසේ බර සැහල්ලු කරගැනීමට අත්හරිනු ඇත.

මෙවැනි ගැටළු නිසා රසායන විද්‍යාව පිළිබඳව සිසුන් තුළ දැනට පවතින අනියත බිය සත්‍ය භීතියක් වීමට ඉඩ තිබේ. මා මෙතෙක් ඉදිරිපත් කලේ උසස් පෙළට එක් වරක් මුහුණ දුන් සහ මෙවරත් මුහුණ දීමට සූදනම් වන සිසුවෙක් හැටියට මට වැටහුණු දේ සහ මට පැණ නැගුණු ගැටළුයි. මේ ගැන මට වඩා කරුණු දන්නා අය බොහෝ සිටින බව මම දනිමි. ඔවුන්ගේ අදහස් උදහස් ඉතා ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. හිතට තව බොහෝ දේ ආවත් ලිපිය තව දිගු වන නිසාත් විභාගෙට තව දින 68 ක් පමණක් තිබෙන නිසා මෙතැනින් නවතිමි.

තූර්ය ඕවිටිපාන

නව රසායන විද්‍යා විෂය නිර්දේශය මෙතැනින් ලබාගන්න…

ඉතින් ඔන්න ඕකයි කතාව. මේ බ්ලොග් සටහනෙන් සුදාරකගේ අන්තර්ජාල සටහනට තවත් අලංකාරයක් එකතු කරපු තූර්ය අයියාටයි මේ ස්තූතියි පුදකරන්නේ… ඉතින් අධ්‍යාපනය ගැන මොකද හිතෙන්නේ?

Join the Conversation

25 Comments

  1. මම නං අළුතෙං එන්න තියෙන Information and Communication Technology එකේ පිහිටෙං රසායන මාරකෙං ගැලවෙන්නයා මාන බලන්නෙ !

  2. අපේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉතිං කවදත් ඔහොමනේ. මොකක් හරි අවුලක්. මමත් ඕලෙවල් කාලෙදි කෙමිස්ට්‍රි වලට හරි ආසාවෙන් හිටියේ. ඒත් ඒලෙවල් සිලබස් එකට ආවාම මට කෙමිස්ට්‍රි එපා උනා. දෙපාරක් ඒලෙවල් කරලත් C එකක් විතරයි ගන්න පුලුවං උනේ.

    අනිත් ප්‍රශ්නෙ තමයි නව ලෝකයට ගැලපෙන සංකල්ප එකතු කලත් ඒවා ප්‍රායෝගිකව පරීක්ෂණ කර බැලීමට අවශ්‍ය උපකරණ පාසැල් පද්ධතියේ නොතිබීම.

    හිතාගන්න බෑ කොතන ඉඳන් ද ප්‍රතිසංස්කරණය පටන් ගන්න ඕනෙ කියල.

  3. අපෝ ඔය රසායනේ නම් මතක් කරන්න එපා. විභාගේ කරලා අවු 2 -3 ක් ගියත් ඕක මතක් වෙද්දි තාමත් බඩ දනවා…

  4. පේන විදිහට කට්ටියම රසායන භීතිකාව හැදුණු අය වගේ. මටනම් රසායනෙ තමා නැගල ගියෙ. ෆර්ස්ට් ෂොට් එකෙන්ම ගොඩ. කරුමෙට අනිත් දෙක අනාගත්තනෙ. ඇත්තටම අපේ නිර්දේශයේ ප්‍රශ්න පත්‍ර 2000 සිට ටික ටික කට පාඩම් ක්‍රමය වෙනුවට තර්ක කරල උත්තර හොයන්න ඕන පැත්තට බර උනා. ඒ නිසා එන්න එන්න ප්‍රශ්න පත්‍ර ලේසි උනා.

    @බුධාජීව: මල්ලි, විෂයන් තෝරගන්න කලින් පොඩ්ඩක් හොයල බලන්න තමන් ඒ තෝරගන්න විෂයන් කරල, තමන් බලාපොරොත්තු වෙන උසස් අධ්‍යාපන පාඨමාලවට යන්න පුලුවන්ද කියල. උදාහරණයක් ලෙස අපේ නිර්දේශය යටතේ ඉන්ජිනේරු විද්‍යාව කරන්න රසායනය අනිවාර්යයි.

  5. සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයෙ තිබුණ මූලික සංකල්ප ටිකත් ගෙනත් උසස් පෙළට එබුවට පස්සෙ තමයි උසස් පෙළ රසායන විද්‍යාවට කෙළවුණේ.

  6. හැබැයි දැන් සාමාන්‍ය පෙළ විද්‍යා නිර්දේශයෙ මවුල ව‍ගේ මූලික සංකල්ප පාඩම් එකතු කරල තියෙන නිසා උසස් පෙළට යනකොට අපිට තිබුණු දැනුම නෙවෙයි දැන් එන අයට තියෙන්නෙ.
    තව කතාවක් මට අහන්න ලැබුණා, දැන් ටියුෂන් මාස්ටර්ලා මවුල ගණන් හදන එක ගොඩක් පහුකරනවලු විෂය එපා වෙන එක නවත්තන්න.

  7. ආ… ආපහු සාමාන්‍ය පෙළට මවුලය පාඩම එකතු කරලද? ඇති යන්තම්.

    “තව කතාවක් මට අහන්න ලැබුණා, දැන් ටියුෂන් මාස්ටර්ලා මවුල ගණන් හදන එක ගොඩක් පහුකරනවලු විෂය එපා වෙන එක නවත්තන්න.”

    මේක මහ මෝඩ වැඩක්. ඉගැන්වීම පිළිබඳ ගුරුවරයාගේ ඇති නොහැකියාවයි මෙතනින් පෙනෙන්නේ. මවුලය කියන සංකල්පය ඔළු කට්ට ඇතුලට දාගන්න බෑ කියන්නෙ රසායන විද්‍යාව බෑ කියන එක. රසායන විද්‍යාව එපා වීම නවත්තන්න කරන්න තියෙන්නෙ උදාහරණ සහිතව වැඩි කාලයක් ගෙන ඒ සංකල්පය කියා දීම.

    උසස් පෙළ විද්‍යා විෂයයන් කරන්න කෙනෙක් අදහස් කරනවනම් මවුලය පිළිබඳ සංකල්පය මුලින් ඉගෙනගත යුතුයි කියල මම හිතනවා. ඒක පහු වෙලා හරි ඉගෙනගන්න බැහැ කියල හිතෙනවනම් රසායන විද්‍යාව හැදෑරීමේ අදහස අත්හැරීම නුවණට හුරුයි.

  8. අනේ මන්දා… මම නම් රසායන විද්‍යාවට තමයි ආසම… ඕක ඔය කියන තරම් අමාරු නෑ… මට හම්බවුන එකම A අකුරත් රසායන විද්‍යාවට තමයි. 😀

  9. හුදෙක් විද්‍යාත්මක දැනුම ලබා දීමේ අරමුණින් විද්‍යාව ඉගැන්වීම සාමාන්‍ය පෙළින් අවසන් විය යුතුය. උසස් පෙළ විෂය නිර්දේශ සකස් විය යුත්තේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයට පෙර හුරුවක් ලෙසිනි. රසායන විද්‍යාව සම්බන්ධයෙන් මෙහිදී පැන නඟින විශාලම ගැටළුවක් වන්නේ, වෙනත් විෂයයන් මෙන් නොව, විශ්ව විද්‍යාලයේදී අවශ්‍ය වන රසායන විද්‍යා දැනුම විෂයධාරානුබද්ධ වීමය. (උදා. ජීව විද්‍යා උපාධියක් සඳහා ඉගෙනීමේදී කාබනික රසායනයට ලැබෙන වැදගත්කම භෞතික විද්‍යා ක්ෂෙත්‍රයේදී නොලැබේ.) රසායන විද්‍යා විෂය නිර්දේශය මහා පතරංග ජාතකයක්ව ඇත්තේ මේ හැම දෙනාටම අවශ්‍ය කොටස් අඩංගු කිරීමට යාමෙනි. හැම විෂය ධාරාවකම අවශ්‍යතා ඉටු කරන්නට ගියොත් නම් මෙහි ඉවත් කරන්නටය කියා දෙයක් ඉතිරි නොවේ.

    මෙය විසඳිය හැකි එක් ආකාරයක් නම් එක් එක් කොටසට ගැළපෙන පරිදි ඔප්සනල ඒකක ඇතිව එක ප්‍රශ්න පත්‍රයක් වෙනුවට ප්‍රශ්න පත්‍ර කිහිපයක් මඟින් දැනුම මැනීමය. නමුත් හැම දෙනාම එකම දේ ඉගෙන ගත යුතුය සිතන අපේ යල් පැන ගිය මානසිකත්වයෙන් යුතු අධ්‍යාපන විශේෂඥයන්ට මේ යෝජනා ඉදිරිපත් කිරීමෙන් ඵලක් නැත.

    උසස් පෙළ රසායන විද්‍යා නිර්දේශය ගැන මගේ තවත් නිරීක්ෂණයක් නම් එහි ඇති සංකීර්ණම කොටස්, පසු අධ්‍යාපනයේදී අවශ්‍යම කොටස් වන බවය. උදාහරණයක් හැටියට සතරවන ඒකකය තේරුම් ගන්නට බැරිනම් Thermodynamics ඉගෙනීම විශාල ගැටළුවක් වේ. මේ නිසා තමන්ගේ පහසුව තකා ශිෂ්‍යයින්ට සංකීර්ණ කොටස් අතහැර සරල කොටස් වලින් පමණක් විෂය ගොඩ දාගැනීමට ඉඩ ඇති පරිසරයක් නිර්මාණය කිරීම ඔවුන්ට කරන දරුණු අනර්ථයකි.

    විෂය නිර්දේශයට අමතරව ඉතා දරුණු ප්‍රශ්න රසායන විද්‍යාව සම්බන්ධව ඇත. විශ්ව විද්‍යාලයට පිවිසෙන රසායන විද්‍යාවට A සාමාර්ථ ගත් සිසුන්ගේ පවා ප්‍රායෝගික දැනුම ඉතා අල්පය. සරල අනුමාපණයක් ඉගෙන ගැනීමට පවා ඔවුන්ට ඉතා දීර්ඝ කාලයක් ගතවේ. (අංකිත තරාදි වලට පින් සිද්ද වන්නට දැන් කිරීම පිළිබඳ ගැටළුවක් නැත.) ප්‍රායෝගික පරීක්ෂණ වලින් තොරව, දේශපාලන හේතූන් මත, පොතේ ගුරුන් බිහි කරන්නට තැත් කරන විද්‍යා අධ්‍යාපන ක්‍රමය මීට වගකිව යුතුය.

    අපේ රටේ රසායන විද්‍යා විෂය නිර්දේශය බඳු තාක්ෂණික ගැටළු වලට පවා දේශපාලන මුහුණුවරක් ඇත. (උදා: කොටසකට පහසුකම් නැතිය, දෙමළුන් වර්ගයාට වැඩි ලකුණු දෙනවාය කියා රසායන විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ අවලංගු කිරීම.) මුලින්ම කළ යුත්තේ මේවා දේශපාලනයෙන් වියුක්ත කර ගැන්මය. අවාසනාවකට මෙන් එය පවත්නා තත්වයන් මත ඉටු නොවන සිහිනයකි.

  10. “අප මේ ඉගෙන ගන්නා රසායන විද්‍යාවේ සමහර කොටස් දියුණු රටවල් අතහැර තිබෙන්නේ 2වන ලෝක යුධ සමයේදීය. එමගින් අප ලොව තුල සිටින්නේ කොපමණ පිටුපසින්දැයි ඔබට සිතාගත හැකිය.”

    මේ විවාදාපන්න කියමනකි. රටක් විෂය නිර්දේශ සකස් කරන්නේ තමන්ගේ අවශ්‍යතා අනුවය. Tailor made කළ රැකියා ඇති සංවර්ධිත රටවලට tailor made කළ විෂය නිර්දේශ තිබිය හැකිය. එසේ නොවන අප වැනි රටවලට ඉතා පුළුල් පරාසයක විෂය ඉගැන්වීමට සිදුවේ. මෙය රසායන විද්‍යාවට පමණක් නොව අනෙක් විෂයන්ටද අදාළය. පරිගණක විද්‍යාව ගත්තත් දියුණු රටක විෂය නිර්දේශය අපේ මෙන් පුළුල් නැත. විෂය නිර්දේශයක් පුළුල් වෙත්දී ඉබේම එහි ඇති ගැඹුර නැතිවේ. මෙය අපට මඟ හැරිය නොහැකි දුර්වලතාවයකි.

    කොයි තරම් පැරණි වුව යම් දැනුම් කොටසක් අවශ්‍ය නම් එය ඉගැන්විය යුතුය. නිව්ටන් තම ගුරුත්වාකර්ෂණ න්‍යායන් ඉදිරිපත් කර ඇත්තේ දෙවන ලෝක යුද්ධයට බොහෝ කලිනි. ඒවායේ සීමාවන් පවා දරුණු ලෙස සාකච්ඡාවට භාජනය වී තිබේ. එහෙත් එසේ වූ පළියට අප නිව්ටන් යාන්ත්‍රිකය නූගන්වා සිටින්නේ නැත. ඒ හේතුවක් ඇතිවය.

  11. @ Thurya :
    ඔවු, මම රසායන විද්‍යාව අතහරින්නෙ සොයල බලල තමා. මට ඉංජිනේරු විද්‍යාව කරන්න අවැසි නැති නිසා, මම රසායන විද්‍යාව කරන එකේ තේරුමක් නැහැ. මට අවශ්‍ය පරිගණක අංශයෙන් ඉදිරියට යන්න නිසා මම Information and Communication Technology කරනවා Chemistty වෙනුවට.

  12. “අප මේ ඉගෙන ගන්නා රසායන විද්‍යාවේ සමහර කොටස් දියුණු රටවල් අතහැර තිබෙන්නේ 2වන ලෝක යුධ සමයේදීය. එමගින් අප ලොව තුල සිටින්නේ කොපමණ පිටුපසින්දැයි ඔබට සිතාගත හැකිය.”

    ඔව්, ඔබ මේ පවසන දේ ඇත්තය. මූලික සිද්ධාන්ත කොපමණ පැර්ණි වුවද ඒවා ඉගැන්වීම අත්‍යවශය. නමුත් මා මෙහිදී අදහස් කලේ යම් යල් පැනගිය ප්‍රායෝගික පරීක්ෂණ ගැනය. මේවා කොපමණ දුරට අද ලෝකයට වලංගුදැයි සලකා බැලිය යුතුය.

    —-

    උ. පෙළ රසායන විද්‍යා අභියෝගය ජයගැනීමට නම් අනිවාර්යයෙන් විෂය පිළිබඳ ඇල්මක් තිබිය යුතුය. ඔහේ ගිරවුන් වාගේ කට පාඩම් කලාට දැන් රසායනය පාස් විය නොහැක. අනිත් එක විෂය මාලාව 100% බදාගෙන පාඩම් කිරීම අත්‍යාවශ්‍ය නොවේ. තමා දන්නේ යම් ප්‍රමාණයක්ද එම ප්‍රමාණය ඉතා හොඳින් අධ්‍යනය කිරීම ප්‍රමාණවත්ය. ඉතින් රසායනයට සිසුන් බය විය යුතු නැත.

  13. “කොයි තරම් පැරණි වුව යම් දැනුම් කොටසක් අවශ්‍ය නම් එය ඉගැන්විය යුතුය. නිව්ටන් තම ගුරුත්වාකර්ෂණ න්‍යායන් ඉදිරිපත් කර ඇත්තේ දෙවන ලෝක යුද්ධයට බොහෝ කලිනි. ඒවායේ සීමාවන් පවා දරුණු ලෙස සාකච්ඡාවට භාජනය වී තිබේ. එහෙත් එසේ වූ පළියට අප නිව්ටන් යාන්ත්‍රිකය නූගන්වා සිටින්නේ නැත. ඒ හේතුවක් ඇතිවය”

    ඔව්, ඔබ මේ පවසන දේ ඇත්තය. මූලික සිද්ධාන්ත කොපමණ පැර්ණි වුවද ඒවා ඉගැන්වීම අත්‍යවශය. නමුත් මා මෙහිදී අදහස් කලේ යම් යල් පැනගිය ප්‍රායෝගික පරීක්ෂණ ගැනය. මේවා කොපමණ දුරට අද ලෝකයට වලංගුදැයි සලකා බැලිය යුතුය.

    —-

    උ. පෙළ රසායන විද්‍යා අභියෝගය ජයගැනීමට නම් අනිවාර්යයෙන් විෂය පිළිබඳ ඇල්මක් තිබිය යුතුය. ඔහේ ගිරවුන් වාගේ කට පාඩම් කලාට දැන් රසායනය පාස් විය නොහැක. අනිත් එක විෂය මාලාව 100% බදාගෙන පාඩම් කිරීම අත්‍යාවශ්‍ය නොවේ. තමා දන්නේ යම් ප්‍රමාණයක්ද එම ප්‍රමාණය ඉතා හොඳින් අධ්‍යනය කිරීම ප්‍රමාණවත්ය. ඉතින් රසායනයට සිසුන් බය විය යුතු නැත

  14. “මට ඉංජිනේරු විද්‍යාව කරන්න අවැසි නැති නිසා, මම රසායන විද්‍යාව කරන එකේ තේරුමක් නැහැ. මට අවශ්‍ය පරිගණක අංශයෙන් ඉදිරියට යන්න නිසා මම Information and Communication Technology කරනවා Chemistty වෙනුවට.”

    මේ යහපත් ප්‍රවණතාවයකි. තමන් යන්නේ කොහේදැයි මුල සිටම තීරණය කර තිබීම වැදගත්ය. පරිගණක ක්ෂේත්‍රයේ රැකියාවක් ලබා ගැනීමට අදහස් කරන්නේ නම් අඩු තරමින් උසස් පෙළ සමත්වීම වත් අනිවාර්ය නොවේ. අවාසනාවකට තවමත් ලංකාවේ පරිගණක රැකියා වෙළඳපළ අස්ථාවරය. මේ නිසා වැඩි රැකියා සුරක්ෂිතභාවයක් උදෙසා බොහෝදෙනෙක් සම්මත මාර්ගයේම ගමන් ගනිති. එහිදී ඔවුන් ඉගෙන ගන්නා දේ බොහොමයක් පසු කාලීනව වැදගත් නොවේ. පරිගණක ක්ෂේත්‍රයේ රැකියාවකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල අණුක සුත්‍රය තියා කර්චොෆ් නියමය වත් දැන සිටීම අවශ්‍ය නොවේ. නමුත් “ඕවා ඉගෙනගන්නට එපා” යි කියන්නටද බැරි අනාගතය සුරක්ෂිත නොවන නිසාය.

  15. @Budhajiwa

    ඒක කරන්න එපා, ICT විශය අනුමත කරලා තියෙන්නේ කලා සහ වානිජ සිසුන්ට

  16. @Taboo Subjects,
    ‍සම්පූර්ණයෙන් එකඟයි. මටත් කෙළවුණේ ඔය සම්මත මාර්ගයෙන්ම තමයි.

  17. @ ඩනිෂ්ක :
    > “ICT විශය අනුමත කරලා තියෙන්නේ කලා සහ වානිජ සිසුන්ට”

    ආ.. ඒක යකාගෙ වැඩක් නෙ. NIE එකෙන් විෂය නිර්දේශය අරං බලන්න (මෙන්න : http://www.nie.sch.lk/ebook/e12syl33.pdf), ඒක ටිකක් advanced විෂය නිර්දේශයක් වගෙයි පෙනෙන්නෙ. ඉතිං එහෙම එකක් ඇයි කලා සහ වානිජ වලට ?

    උසස් පෙළ විද්‍යා-ගණිත අංශයෙ ඉඳං ICT කරන්නම බැරි නම් මම ඒකෙන් අයින් වෙලා කලා වලට යනව. මට ඉගන ගන්න ඕන එක තියෙන්නෙ කලා වල නං ඇයි නිකං ෆැෂන් එකට ගණිතය කරන්නෙ ? :-O

  18. “ඒක කරන්න එපා, ICT විශය අනුමත කරලා තියෙන්නේ කලා සහ වානිජ සිසුන්ට”

    ඇත්තක් නම් මේ තනිකරම දේශපාලන තීන්දුවකි. මෙය කරන්නට ඇත්තේ, පරිගණක විද්‍යාව ඉගැන්වීමෙන් කලා හා වාණිජ සිසුන්ට වැඩි රැකියා අවස්ථා ලැබේය සිතා විය යුතුය. එහෙත් එසේ වන්නේ නැත. වන්නේ ඒ අහිංසකයන් අතරමං වීම පමණකි.

    මීට ටික කාලයකට පෙර ලංකාවේ එක් මෝඩ උපකුලපතිවරයෙක් කලා විෂය ධාරාව යටතේ පරිගණක විද්‍යා උපාධියක් හඳුන්වා දුන්නේය. මෙහිදී සිසුන්ට උගන්වන ලද්දේ පරිගණක විද්‍යාව වුවත් ඩිග්‍රිය BA ය. කලා උපාධිය ගැන රැකියා වෙළඳ පළේ ඇති ඍණාත්මක මත නිසා මොවුන්ට බලපොරොත්තු වූ රැකියා අවස්ථා ලැබුනේ නැත. රාජ්‍ය අංශයෙන් පවා බලාපොරොත්තු වූයේ BSc මිස BA කාරයින් නොවේ. අන්තිමට ඔවුන්ට සිදුවූයේද දැනුම පැත්තක තියා අනෙක් කලා උපාධිධරයන් මෙන් රැකියා හිඟා යාමටය.

    මගේ පුද්ගලික අත්දැකීම නම් විෂයයන් කවර හෝ වේවා, විද්‍යා උපාධියක් කලා/වාණිජ උපාධියකට වඩා දහස් වාරයක් සුරක්ෂිත බවය.

  19. @බුධාජීව,
    කරන දෙයක් දැනගෙන කරන්න. මට දෙන්න පුළුවන් එකම අවවාදය ඒකයි. කලා/ වාණිජ කරල විශ්වවිද්‍යාලයට යන්නත් ටිකක් අමාරුයි. A3 ඒවම ඉල්ලනවා. මම නම් කියන්නේ ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව හදාරන්න පුළුවන් නම් අන්න නියම විෂය සංකලනය. මැත කරල නන්නත්තාර වෙච්ච එවුන්ටත් මොකක් හරි ජොබක් තියෙනවා.

  20. @සුදාරක @බුධාජිව

    ඔබේ ගුරුවරයාගෙන් සහ විදුහල්පතිගෙන් ලිකිත සටහන් ගන්න.
    ඔවුන් නොදැන කියන දැ නිසා ඔබ අතර මොන් විය හැක. ගුරුන්ගේ වරදින් අනාත වූ සිසුන් එමටයි!

    ඒ විශය නර්දේශය හොඳ වුවත් එය UGC එකේ අනුමත වී නැ විද්‍යා විශයක් සඳහා විශ්ව විද්‍යාල ගත වීමට. අන්න එතනයි ගැතලුව.

    අනෙක් කාරණය තමා පඩියට පමනක් වැඩකරන ගුරුවරු බහුතරයක් සිටින රටේ පළවෙනි වරට මෙම පාඨමාලාව සාර්තක වේද යන්න.

    මගේ නම් අදහස උ:පේ වලදි IT නොකළා කියලා ඊට පස්සේ IT කරන්න බැරි කමක් නැනේ.. එනිසා මේ A/L එකේ IT නිසා ඔබේ වටිනා අනාගතය විනාශ නොකරගෙන ගෙන හොදින් විමසා බලා තීරණ ගන්න.

    ඔබ සැවොටම ජයෙන් ජය!!!!

    “ඇත්තක් නම් මේ තනිකරම දේශපාලන තීන්දුවකි.”
    ඔව මොනවද GIT සඳහා ගුරුපුහුණු කිරීමත් අලකරගෙන 😀

  21. ටැබූ කියන කතාව හරි… උදාහරණයකට ගත්තොත් අපිට රසායනය කියලා නාමයක් අපේ උපාධිය යටතේ උගන්නන්නේ නෑ… රසායනය කියන්නේ ඇත්තටම මටනම් ඉතාම රසවත් විශයක්.. ප්‍රායෝගික දැනුම නැත්නම් ටිකක් අමාරුයි යූ ටියුබ් එකෙන් අදාල පරීක්ෂන බාගත කරගෙන බලන්න. තොරතුරු සහ සන්නිවේදන විශය ධාරව ගණිත විෂය ධරාව යටතේ අදාල ලෙස කිරීමට හැකිවූවත් එය කලා සහ වානිජ විෂය ධාරාවන්ට සීමා කිරීම ඇත්තටම කණගාටුවට කරුණක්… එකට හේතුව ගණිත විශය ධාරාවට අදාල වානිජ හා කලා සිසුන් සමීප නොවන තර්කණය ( ළ්OඝෛC ) ආදී විශයන් තිරතුරු තාක්ශනයටද අඩාල වීමය.. මම හිතන විදිහට තිරතුරු තාක්ෂනය වෙනම විශය ධාරාවක් ලෙස තිබුනොත් හොඳයි… සුදාරක මලයා… රසායනය අතාරින්න එපා.. ටිකක් ප්‍රායෝගික පැත්ත අඩුවුනත් රසවත්… ඒත් ඕනිනම් ප්‍රායෝගිකව භාවිත වෙන්නෙ නැතුවමත් නෙමෙයි….

  22. මම හිතන්නේ ‍මෙදා සැරේ රසායන විද්‍යා‍ව පරන නිර්දෙශයට වඩා අමාරැයි.මමත් ලියන්නේ අලුත් නිර්දෙශයට.කොහොම උනත් මම මේ විෂයට කැමතියි.

  23. මම හිතන්නේ ‍මෙදා සැරේ රසායන විද්‍යා‍ව පරන නිර්දෙශයට වඩා අමාරැයි.මමත් ලියන්නේ අලුත් නිර්දෙශයට.කොහොම උනත් මම මේ විෂයට කැමතියි

  24. Sorry I cannot type in sinhala, so I’m writing in English.

    There are many good sections in the new syllabus, but the problem of time required to cover the syllabus remains the biggest problem. And the addition of new fields such as spectroscopy is really good, but it seems to have limited to UV/Visible spectroscopy. I believe IR / Mass and NMR also should be included (just introductions), yet again time will be a problem. In developed countries, the chemistry syllabus is short, but it contains many practical aspects and applications of the subject. I think, out people have to consult those things before introducing new items into a syllabus.

  25. කාට හරි පුථවන්ද මට රසායන විද්‍යාවෙ ගැටලු ටිකක් නිරාකරනය කරලා දෙන්න මාට රසායන විද්‍යාවෙ තේරැනේ නැති තැන් කිපයක් තියේ(‍වර්ණාවලිය/අයනීකරණ ශක්තින) කාට හරි පුලුවනිද මට මෙ වා කියලා දෙන්න් මෙන්න් මගේ email id aka dushanta@gmail.com ස්තතියි ‍
    ආයුබොවන්

Leave a comment

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: