වර්තමාන තරුණයාගේ තාරුණ්‍යය?

මේක නම් විශාල ප්‍රශ්නයක්. මම මේක ලියන්නද? නොලියන්නද කියලයි කල්පනා කරේ. දැන් නගරබද පාසල් වල ඉගෙනගන්න සිසුන්ට තමන්ගේ තරුණ කාලය විනෝදයෙන් ගෙවාගන්න විදිහක් නෑ. ඉගෙනගන්නත් අවශ්‍යයි තමයි. ඒත් ඉගෙනීමට විතරක් සීමා වෙලා හිටියොත් ඉස්සරහට ලංකාවට බිහිවෙන්නේ ඉතාමත් අසමබර පුරවැසියන්. හරියට නිකම් රො‍බෝවරුන් වගේ. උදේට නැගිටිනවා, කනවා, රස්සාවට යනවා, ගෙදර එනවා, කනවා, නිදාගන්නවා… එච්චරයි. හැමදාම එකම ‍දේ. හරිම ඒකාකාරී රටාවක් බිහිවේවි ඉස්සරහට. නිකම් ඉපදිලා, මැරිලා යන එක විතරයි වෙන්නේ. ඉපදිච්ච රටට, ලෝකයට අලුත් දෙයක් කරලා යනවානං, අන්න ඒක ලොකු දෙයක්. වි‍ශේෂයෙන්ම මේ තරණ කාලය පාවිච්චි කරන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. මේ කාලය, නිර්මාණාත්ම‍ක දේවල් ඉදිරිපත් කරන්න පෙළඹෙන කාලයක්. අලුතෙන් යමක් හිතන්න තමන්ගේ මනස වෙනස් වෙන කාලයක්. වෙනත් බාධක මනසට එල්ලවෙන්නෙත් නෑ… (වැඩිහිටියන් එක්ක සාපේක්ෂව ගත්තොත්)

පන්ති පන්ති පන්ති. මට හිතෙන විදිහට උසස් පෙළ කරන කා‍ලේ තමයි ජීවිතේ තියෙන හොඳම කාලෙ. ඇයි පන්ති වලට හිරවෙන්නේ? මම තාම ඉස්කෝලේ A/L පටන්ගත්තේවත් නෑ. ඒත් පන්ති පටන් ඇරගෙන. තරඟය තරඟය තරඟය. සමහර අය පන්ති හත අටකටවත් යනවා කියලා තමයි ආරන්චි. එකම විෂයට පන්ති දෙක තුන. මේක ළමයින්ට අවශ්‍ය නිසා වෙන දෙයක් නෙවෙයි. බොහෝ විට දෙමව්පියන්ට අවශ්‍ය නිසා වෙන දෙයක්. ඒ වගේම සල්ලි කඩාගන්න බලාගෙන ඉන්න ගුරුවරුන්ගේ අවශ්‍යතාවටත් මේ වගේ දේවල් සිදුවනවා. බලන්න. එක Group Class එකකට කොළඹදී රුපියල් 1200/=යි Mass Class එකකට රුපියල් 600/= සල්ලිත් නිකන් වියදම් වෙනවා වැඩිපුර පන්ති ගියාම කියලා තමයි මට හිතෙන්නේ. ඒ වගේම මම හිතන්නේ ගොඩක් දේවල් පැටලැවෙන්නත් පුලුවන්. ඔන්න After O/L ඉවරවෙලා කරන්නම දෙයක් නැතිනම්… හොඳ වෘත්තිමය පාඨමාලා ටිකකට අත ගහන එක ඇඟට ගුණ වේවි.

නිදහසේ හිතන්න වෙලාවක් ඉතිරිකරගත්තොත්… ඒක හුඟක් වාසිදායක වේවි. හැමෝටම බැහැ ඉංජිනේරුවෝ, දොස්තරලා වෙන්න. නිර්මාණාත්මකව හිතලා යමක් කරොත් ගොඩේ ගොඩ. අන්තර්ජාලයේම ඕන තරම් උදාහරණ තියෙනවා. Google, Yahoo එවාට උදාහරණ දෙකක් විතරයි.

ඊළඟට භායානකම ප්‍රශ්නය මත්ද්‍රව්‍ය. “මරණය” බ්ලොග් අඩවියේ කලින් ලියැවිලා තිබුනා මේ ගැන. මෙන්න මේක නිසා වර්තමා‍නයේ විශාල ප්‍රමාණයක් ශිෂ්‍ය ජීවිත ‍විනාශ වෙනවා කියන එක… අලුත් දෙයක් නෙවෙයි. අලුත් දෙයක් නොවුනාට මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ඇරගෙන තියෙනවාද කියන එක ප්‍රශ්නයක්. මම වැඩිය මේ ගැන කියන්න යන්නේ නෑ. වැඩි විස්තර “මරණය” බ්ලොග් අඩවියෙන් බලාගන්න.

තව සීන් ගොඩයි… කොළඹ වගේම, වෙනත් තදාසන්න ප්‍රදේශවල ‍පාසල් ශිෂ්‍යයින්… දැන් ගණිකාවනුත් හොයාගෙන යනවාලු… වයසත් අඩු නිසා… බැරි වෙලාවත් සමාජ රෝගයක් හැදුනොත්? උහ්! විනාසයි!

මට මේ ප්‍රශ්නේ ඇතිවුනේ සා.ගා බලන්න යන්න ගිහින්. කෝ… බලන්න යන්න දුන්නේ නෑ නෙව. A/L පටන්ගත්තා විතරයි දැන් තහංචි වැඩියි. කලින් නම් ෆිල්ම් එකක් හරි බලන්න ගියා. ඒත් දැන්නම් බැරිවෙන පාටයි. අපේ අම්මා ගුරුවරියක් නෙව. ඉතින් ඔය Staff Room එක ගැන කතා කරන්න දෙයක් ‍නෑනේ. ඕපා-දූප සාගරයයි. ඉතින් වෙන ගුරුවරුත් ඇවිල්ලා අම්මාගේ කනේ තියනවා කොළඹ තියෙන ඔක්කොම දහ ජරා වැඩ ටික. ඉතින් ඒක නිසා… අපිට දැන් ගෙයිං එළියට බහින්නත් බැරි තරමට තහංචි.

වෙන ඉස්කෝල වල අය එක්ක කතා කරන්න යන්න එපා…
පොත ‍දෙන්න යන්න එපා…
ගැන්සි වලට යන්න එපා….
ඒ අය තමුන්ව අල්ලගෙන ඒ අ‍ය‍ගේ ගැන්සි වලට ඇදගනීවි…
ගෑනු ළමයි අල්ලලා දේවි…
කුඩු දේවි…
බොන්න දේවි…
ඕවාට අහුවෙන්න එපා…
පරණ හොස්ටල් එකේ යාලුවෝ ආස්සරේ කරාට නම් කමක් නෑ…
ඔන්න ඔය විදිහට එක එක තහංචි.

බැලුවාම ඉතින් ඒක එක පැත්තකින් හරි… මේ ලෝකේ මුදල් වලට කෙරෙන වැඩයි… තරඟකාරී බව නිසයි… අපි නිකම්ම කොටුවෙලා…
ආරංචි විදිහට ඇඹිලිපිටිය පැත්තේ ඉස්කෝලෙක අයියලා සෙට් එකක් ගංජා ගහලා හෝටලයකට ගිහිල්ලා… ඇවිල්ලා හිටපු Tourist ලා කට්ටියකයේ බඩු වගයකුත් කොල්ල කාලා ලු.
අයියෝ… අයියෝ…. අපේ තාරුණ්‍යය! මොකට කොළඹ ආවාද මන්දා… ගමට වෙලා වැඩක් කරගෙන හිටියානං මේ මොන මඟුලක්වත් නෑ නෙව.

Join the Conversation

20 Comments

  1. ඇත්ත තමා මල්ලී, මොනව කරන්නද මම නම් A/L කරන්න පාසලට ඇතුලත් වුනාට පස්සෙ තමා පන්ති යන්න පටන් ගත්තෙ. හැබැයි ඒ වගේම අන්තර්ජාලයත් ඒ තරම්ම හොද නෑ, 😀

    අන්තර්ජාල යාළුවො එහෙම හික්..

  2. මල්ලිගෙ කතාව ඇත්ත. දැන් කාලෙ ළමයින්ට ළමා කාලයක් නැහැ. තරුණයින්ට තරුණ කාලයක් නැහැ.
    ටියුෂන් පන්ති නම් ගොඩකට ගියය් කියල ඇතිවෙන හොඳක් නැහැ මල්ලි. මම දන්න සමහර ළමයි ඉස්කෝලෙ ඉග්නගත්තුදේ පාඩම් කරණ එක විතරය් කලේ. පන්ති 100කට ගියත් පාඩම් නොකර වැඩේ හරියන්නෙ නැහැනේ!!

  3. ඔව්. ‍මට කොළඹින් පෙනීසිට, උපකාරක පංති නොගිහින් A/L පාස්වෙලා අඩුම තරමින් ෆිසිකල් යන්න පුළුවන් මට්ටමෙන් පාස්වෙන්න පුළුවන් වුනා. ඒත් ඉතින් A/L පංති නොගියේ මම බ්‍රයිට් කියලා හිතාගෙන නෙමෙයි. සල්ලි නැති නිසා. ඒ දවස් වල යාළුවන්ට නම් කිව්වේ මට ක්ලාස් යන්න එන්න යන පැය ගාන අපරාදේ කියලා. ඒකටනම් ඉතින් කියන්න තියේන්නේ අර මොකෙක්ද සතෙක් කිව්වා කියන්නේ මිදි තිත්තයි කියලා ඒවගේ. ඒත් ඉතින් මටත් වෙලාවකට හිතෙනවා පංතිගියා කියලා ඔයිට වඩා වැඩි ප්‍රති ඵලයක් ගන්න පුළුවන් වෙන නැතිවෙයි කියලා.

  4. මම නම් ගියේ හෝල් ක්ලාස් 3 කට… මම කොහොමහරි ඉංජිනීයරින් යන්න කරගත්තා..මට දැන්තමා ජීවිතේ එපා වෙලා තියෙන්නේ…පුදුම කාංසාවක්……

  5. හ්ම්ම්.. කතාව නම් ඇත්ත. දැන් හැදෙන අයට ළමා කාලයක් නැහැ. තරුනයන්ට තරුනකාලයක් නැහැ. ඒ වගේම අපේ තරුණයෝ දැන් වස කම්මැලි වෙලා ගැන්සි ගහන්නත පටන් අරන්.
    මමනම් ක්ලාස් ටිකකටයි ගියේ. යන්තම් ගොඩ. ඉස්කෝලේ උගන්නන එක හරියට අල්ල ගත්තම ක්ලාස් සුම්මා.
    හැබැයි පුතෝ මේ තමයි හොදම කාලේ ජීවිතේ. පිස්සු කෙලින්නත්, හොද අත්දැකිම් විදගන්නත්. උපේ කරන කාලේ අරක්කුයි, සිගරටුයි, ගෑනුයි ගාව ගත්තේ නැත්නම් මේ තමයි ජීවිතේ විදින්න තියෙන හොඳම කාලේ.
    අනිත් එක අපිව අපිට ෂුවර්නම් අනුන් නිසා අපි විනාශවෙන්නෙ නැහැ…ඒ මිනිස්සු තමන් සුදනා කියලා පෙන්නන්න අනිත් අයගේ කරපිටින් යවන්න තමයි කියන්නෙ. යාළුවෝ අශ්‍රය කලොත් නරක් වෙනවා කියලා. සුදාරක හොද පුතානේ ඒ නිසා බය වෙන්න ඕන නැහැ. නමින්ම කියල තියෙන්නෙ.. 🙂

    උඩින් ලියලා තියෙන්නේ බයිලා හොදේ… 🙂 මමනම් ඔය විදියට හිටියේ නැතෝ….. හික් හික්.

  6. අනේ එහෙම ගියොත් ඔය පරණ හොස්ටල් යාලුවොත් ආශ්‍රය කරන එක හොඳ නෑ.
    යාලුවොන්ගේ බලපෑම එච්චරම දෙයක් වුනෙ නෑ මටනම්. මම නම් ඔය හොඳ නෑ කියන එක එක එවුනුත් හොඳයි කියන එවුනුත් ආශ්‍රය කරා. ඒත් මම වැඩිය පිස්සු නටන්න ගියේ නෑ. තමන්ට පාලනයක් තියෙනවානම් එයින් එහාට එච්චරයි. යාලුවෝ ආශ්‍රය කියන එක එච්චර සීරියස් ගන්න එපා‍. මොකෝ, උන් මැජික් කාරයොද අපිව නරක් කරන්න? අපියි නරක් වෙන්නේ. අපිව නරක් කරනවා නෙමෙයි.

  7. වර්තමාන තරුණයො කොහොම වුනත් උඹේ අනාගතයනම් ඉතාම පැහැදිලි. උඹ විතරක් නෙවෙයි සිංහල බ්ලොග් ලියන උඹේ වයසෙ ඉන්න සියලුම දෙනාගෙ.උඹලා ආකල්පමය ලෙස අපි ඒ කාලේ හිටියට වඩා සෑහෙන ඉදිරියෙන් ඉන්නෙ.මේ වගේ කොල්ලො ටිකක් හැදුනොත් රටේ ඉදිරි අනාගතය ගැන නම් බයවෙන්න දෙයක් නෑ.

  8. @චමිල – ඒක තමයි. දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ කියලා, කියලා තියෙන්නේ කට කහනවට නෙවෙයි නේ. ඒත් ඉතින් ගෙවල්වල අය ඕවා පිළිගන්න එකක්යැ. බය බිරාන්ත වෙලා ඉන්නේ කොළඹ වෙන දේවල් අහලා 😮

  9. ඔබගේ අදහස් වටියි නමුත් ඇයි හැමෝම කොළඔ‍ට බනින්නෙ ලංකාවේ හැම ජහ ජරා වැඩක්ම වෙන්නෙ කොළඔ‍ විතරද?මම හිතන්නෙ අද ගම නගරය පරතරය ඉතා අඩුයි අද කොළඔ‍ දකින බොහෝ දේවල්ද ගමේ දැකිය හැකියි(හොද නරක දෙකම)එම නිසා එක් ප්‍රදේශයක් පමණක් දෝෂ දර්ශනයට ලක් කිරිම අසාධරණය.

  10. මේ ගැන මම ටිකක් විස්තර කරන්න හදලා තියෙනවා.
    http://chamila-dealwis.blogspot.com/2009/02/blog-post_13.html
    (සමා වෙන්න. ස්පෑම් නෙවෙයි)

    ඒක කාලයක් තිස්සේ සමාජයට එක එක පුද්ගලයින් විසින් ඇතුලත් කරපු අදහස් නිසා ඇතිවෙච්ච සිතිවිල්ලක්. ඇත්ත ඒක නෙවෙයි. විශේෂයෙන්ම දේශපාලකයොන්ට බලයට එන්න තියෙන එක සාධකයක් වෙලා දැන් ඔය කොළඹද ගමේද කියන එක.

    මගේ උත්තරය. හැම දහජරා වැඩක්ම වෙන්නේ කොළඹ විතරක් නෙවෙයි. ඒවා ගමෙත් වෙනවා. හැම තැනම වෙනවා. කොළඹට හරි ගමට හරි එක තැනකට විතරක් බනින්නේ එකම තැනකට වෙලා පන්ඩිතකම් කියන අය විතරයි. ඒ තැන් දෙකම ගැන දන්න අය දන්නවා මනුස්සයා කොහෙ ගියත් එකයි කියලා. ඕනවට වැඩිය සිංහල චිත්‍රපටි බැලුවාමත් ඔය චින්තනය එනවා

  11. මේ වයසේදී විරුද්ධ ලිංගික ඇසුරට දෙමාපියන් වැට බැඳීම අනුමත කරන්න බෑ. ඇත්තටම කිසිම වයසකදී එය නොවිය යුතුයි. අපේ රටේ බොහෝ දුරට ඒකලිංගික පාසල් ව්‍යුහය තුළ මෙබඳු තහංචි කිසිවකු නොසිතන පැත්තකට යොමු විය හැකියි. මා උසස් පෙළ කරන කාලයේ විශාල පිරිසක් සමලිංගික ඇසුරට යොමුවීම මෙහි අතුරුඵලයක් විය හැකියි.

    ඇත්තටම මගේද ප්‍රථම ප්‍රේමය උ.පෙළ පළමු වසරේදී ඇතිවූ සමලිංගික ඇසුරක්. එය කායික ඇසුර ඉක්මවා සංකීර්ණ රෝමෑන්තික ආදරයක් දක්වා වර්ධනය වුනා. (විද්‍යාලයේ පවා එය එක්තරා මට්ටමකට ප්‍රසිද්ධ රහසක් වුනා.) මොකද කිසිම බාධාවක් නෑනේ. අපේ වැඩිහිටියන්ගේ පටු චින්තනය ඇතුළේ තියෙන්නේ සුගත්ලා දම්මිලාට වෙරළු දෙන විරුද්ධ ලිංගික ආදරයන් විතරයිනේ. ඉතින් ඕනේ තරම් නිදහස ලැබුනා.

    හැබැයි දෙන්නාම ඒ නිසා අධ්‍යාපනය අඩාල කර ගත්තේ නෑ. විශ්ව විද්‍යාල අවදියෙන් පසු එය ඉබේම නතර වුනා. මං හිතන්නේ වඩා හොඳ අවස්ථා ලැබීම නිසා වන්නට ඇති. දැන්නම් මතක් වනකොතක් හිනා යනවා එවැන්නක් විය හැකිද කියලා.

  12. ඇත්ත. ඒ වුනත් කොළඹ ‍මේ තත්ත්වය සාපේක්ෂව වැඩියි නේද? ඒක තමයි මම කියලා තියෙන්නේ ඇඹිලිපිටිය ගැන කතාවකුත්. වැරදියට හිතන්න එපා. කොළඹ විතරක් නෙවෙයි දැන් ලෝකේ හැම තැනකම මේ වගේ දේවල් වෙන එක ඇත්ත. කොළඹට විතරක් බැනලා නෑ. හැබැයි මම දැන් ඉන්නේ කොළඹ නිසාත්, ගෙදර අයට කොළඹ ගැනම ආරංචි වෙන නිසාත්… අපිට දැන් මුකුත් කරගන්න බැරිවයි ඉන්නේ… 🙂

  13. හැම පන්තියෙන්ම එක ගෑනු ළමය ගානෙ යාලු කර ගත්තනම් හරි නේ .. 😀

  14. ‍‍කාලය වෙනස් වෙමින් පවතී.‍…
    අනිත් අයට අපිව වෙනස් කරන්න බැහැ කියලා ගෙවල් වල අය තේරුම් ගන්න ඕනි.. අපිට වෙනස් වෙන්න උවමනා නැත්නම් අපි වෙනස් වෙන්නේම නෑ.. උවමනා නම් තනියම හිටියත් වෙනස් වෙනවාමයි!

  15. මල්ලී, මම ඔයාව පෞද්ගලිකව දන්නවා නොවෙන්න පුළුවන්. මාත් ඔය කාල පහු කරලා ආවේ, ඒ කියන්නේ සාමන්‍ය පෙළ වගේම උසස් පෙළ කාලයත්. මල්ලි, මෙ තත්වේට හේතු වෙලා තියෙන්නේ රැල්ලට අහු වුණ අපේ අයත් වගේම ඉගෙන ගැනිමට ඉගැන්විමෙන් බැහැරව ගිය ක්‍රමය නිසයි. මේ ගැන පුළුල්ව කතා කරන්න ඔනේ මල්ලි, මම කාල වේලා තියෙන දවසක කරුණු එකතු කරලා කියන්න බලන්නම්. ස්තුතියි මල්ලි මේ ගැන කිව්වට.

  16. කොළඹ සහ ගම ගැන කියන්නත් මොකක්ද ව‍ගේ. පහුගිය ටිකේ කතා වගයක් ගියානේ. ඇත්තටම කොළඹ සහ ගම අතර වෙනසක් තියෙනවා. හැබැයි ඒ වෙනස ටික ටික නැති වෙමින් තියෙනවා. මේ හැම දේම විද්‍යුත් මාධ්‍ය (අන්තර්ජාලයත් එක්ක) කේන්ද්‍ර වෙලා බිහිවෙමින් පවතින සංස්කෘති‍යෙ ලක්ෂණ. මම නම් උසස් පෙළ කලේ ගමේදි. අමතර පන්ති තුනකට ගියා. නමුත් හොඳට අමතර වැඩත් කරන්න වෙලා තිබුණා. මටත් වඩා ඒකෙන් ප්‍රතිඵල ගත්තෙ මගෙ යාළුවෝ. මම කොළඹ වැඩට ආවා. කැම්පස් ගිය යාළුවන්ට එයාලගෙ බැච් වල ලොකු ඉඩක් ලැබුණා. මොකද ඇවිත් හිටපු බොහොමයක් දෙනා පොත් පාඩම් කරන්න විතරක් දැනගෙන හිටපු අය. වෙන දේවල් දන්නෙත් නෑ. කරන්න උනන්දුවකුත් නෑ. ඒකට මුකුත් කියන්නත් බෑ. අපි කරපු දේවල් අපට තෘප්තිමත් වුණාට අනිත් අයට එහෙම නෑනේ.

  17. ඕනෑම මානව (හෝ වානර ) කොට්ඨාශයක් තමන්ගේ පැවැත්මට යම් දීර්ඝ කාලීන තර්ජනයක් ඇතැයි සිතන අවස්ථාවක අවිඥානකව ඊළඟ පරම්පරාව ආරක්ෂා කිරීමට අමතර වෙහෙසක් දරනවා. එය පරිනාමික අවශ්‍යතාවයක්. අද අපේ රටේ වැඩිහිටියන් මෝඩ ලෙස කියා අපට හිතෙන ලෙස මේ කරන්නේ මෙය මිස වෙනත් දෙයක් නොවෙයි. වසර තිස් ගණනක් තිස්සේ යුද්ධයෙන් බැටකන සංවෘත සමාජයක මේවා නොවුනා නම් තමයි පුදුමය. යුද්ධයට ආවැඩූ පුද්ගලයන් එහි අහිතකර විපාක විඳ ගත යුතුයි. යුද්ධය නිමා වුනත් නැතත් මේ ප්‍රවනතාවයේ අඩු වීමක් නම් මට පෙනෙන්නේ නෑ.

    යුද්ධයේ අහිතකර විපාක මෙපමණක් නෙවෙයි. අද ඕනෑම සුළු කරුණකට පවා අනෙකාගේ මාළු කන්නට තරම් රෞද්‍රව අප ප්‍රතිචාර දක්වන්නේද යුද මානසිකත්වය අපේ ඇඟ ලේ මසට කා වැදී ඇති නිසයි. අප මේ දකින්නේ මහින්ද රාජපක්ෂට පෙර පිරිස් කළ විනාශය. රාජපක්ෂ කළ විනාශයත් මෙබඳු සමාජ විපර්යාස මඟින් ඉදිරියේදී පෙනේවි.

  18. ඔය පංති සීන් එකනම් සහතික ඇත්ත! අපේ අම්මයි තාත්තයි මාව පංති 6ට යවන්නෙ මගේ කිසිම අනුමැතියක් නැතිව! එගොල්ලෝ කියනවා ඔහොම වැඩ කොරන්න නැතිව ඈ ලැවෙල් කොර ගන්ට බැරිලු! බම්බුව තමයි! මේ තත්වෙ මත අම්මා තාත්තා ගැන තිබු‍නු හොද ආකල්පත් මගෙන් බැහැර වෙනවා! මොනා කොරන්ඩද? මට නම් ජීවිතය විදීමට නොව විදවීමට සිදුවී ඇත! මේ කරුනු ටික අපේ අම්මට තේරුං කරන්න මට අවුරුදු 2 1/2 ගිහිල්ලවත් බැරි වුනා නෙව! මොනා කොරන්‍ඩද මගේ කරුමෙ තමයි! මැරියංකො ඉතිං මේ අවුරුදු දෙකත්!
    ඊට පස්සෙවත් නිදහසක් ලැබේ නෙව!

Leave a comment

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: