මරණය, ශෝකය සහ යථාර්ථය

මාතෘකාව ලිව්වාට සටහන අරඹන්නේ කොතැනකින්ද කියලා මට තාම හිතාගන්න අමාරුයි. සටහන ලියන්නේ කොහොමද කියලා විතරක් නෙවෙයි. මේ සිදුවීම සිදුවුනේ කොහොමද කියලාත් හිතාගන්න අමාරුයි. කමක් නෑ. සටහනේ පිළිවෙල ගැන හිතන්න එපා. කැමතිනම් කියවාගෙන යන්න. ඔන්න මුලින්ම කිව්ව ස‍ටහන අපිළිවෙලයි කියලා. (වෙන ඒවාත් අපිළිවෙලයි තමයි. ඒත් මේක ඊටත් වඩා අපිළිවෙල වෙයි)

එදා නිවාඩුකාලේ සිකුරාදා දවසක්. අම්මාගේ උපන්දිනය එදා නිසා එදා අපේ ගෙදර හැම දෙනාම හිටියේ සතුටින්. අම්මාගෙන් එදා උපන්දින සංග්‍රහය විදිහට උදේ ආහාරය විදිහට කලින්ම ඉල්ලලා තිබුනේ පොල් සම්බලුයි බතුයි තමයි. උදේ ආහාරය සතුටින් ගත්තා විතරයි, උදේම ලොකු අම්මාගෙන් දුරකථන ඇමතුමක් ආවා. ඒක ‍නම් කොහෙත්ම සතුටුදායක ආරන්චියක් නොවෙයි. දුරකථන ඇමතුමෙන් කියැවුනේ ඔපරේෂන් එකකට භාජනය වෙලා හිටපු අ‍පේ එකක මාමාට 99%ක්ම අසාධ්‍යයි කියලයි. එදා උසේ තිබ්බ සතුට කොහෙන් ගිහාද දන්නේ ගෙදර හැම දෙනාම හිටියේ පුදුමාකාර සංවේගයකින්. එදා උදේම අපේ හොඳ ඇඳුම් හෝදලා තිබු‍න නිසා. ගමනක් යන්න හරියට ඇඳුමක් තිබ්බෙත් නෑ. තිපුනේ ගෙදරට අඳින ඇඳුමක් විතරයි. ගමනක් යන්න පුළුවන් ඇඳුම් සේරම තිස්ස ගමන නිසා කිළිටු වුන නිසා තමයි මේ ප්‍රශ්නෙට මුහුනදෙන්න වුනේ. ඒක නිසා, අපි ලැහැස්ති වුනේ සෙනසුරාදා උදේම ගාල්ලේ යන්නයි. ඒක නිසා ගෙදර හැමදෙනාම බලාගෙන හිටියේ කොයි වෙලාවෙද පහුවදා පාන්දර වෙන්නේ කියලා. ඒත් අපිට පාන්දර වෙනකම්ම ඉන්න ලැබුනේ නම් නැහැ. හවස් වෙද්දී තව දුරකථන ඇමතුමක් ලැබුනා. ඒ පණිවිඩයෙන් නම් කියවුනේ මාමාට අන්තිම අසාධ්‍යයි, ජීවිතේ ගැන විශ්වාසයක් නැහැයි කියලයි ඒක නිසා අපිට හෙට උදේ වෙනකම් බලාඉන්න හිතක් දුන්නේ නෑ. ඒ වෙලාවේ වේලිලා තිබ්බ ඇඳුම් දෙකක් ඇඳගෙන ‍වේලිච්ච නැති ඇඳුම් දෙකක් පොලිතින් බෑග් එකක දාගෙන අපි කොටුව බස් ස්ටෑන්ඩ් එකට එනකොට හවස 6යි. ගියේ ලං.ග.ම ස්ටෑන්ඩ් එකට. පුද්ගලික බස් නැවතුම් පොළට යන්න තරම් ඒ වෙලාවේ හිතු‍නේ නෑ. එහෙම හිතන්න පුළුවන් තත්ත්වයක් අපිට තිබුනේ නැහැ. ගිහිල්ලා බස් එකට නැගලා ඉන්නකොට තමයි හිතුනේ, ඇවිල්ලා තියෙන්නේ වැරදි බස් ස්ටෑන්ඩ් එකට කියලා. බස් එකට නැගලා විනාඩි තිහකටත් වැඩියෙන් බලං ඉන්න වුනා බස් එක පිටත් වෙනකන්. කොහොමහරි රෑ දහය වෙද්දී තිරාණගම. ඒත් ඒ වෙලාවේ ත්‍රී වීල් එකක් තිසා විල්බැරෝවක් වත් ‍හොයාගන්න බැරිවෙච්ච නිසා අපිට තවත් කළකිරුනා. තිරාණගම හන්දියේ ඉඳලාම අපි පයින්ම අපේ අම්මලාගේ මහගෙදරට එනකොට රෑ දහයාමාරත් පහුවෙලා. එත‍කොට හැම නෑයෙක්ම වගේ මහගෙදරට ඇවිල්ලායි හිටියේ. ගිහිල්ලා අපිට හදලා තිබ්බ පානුයි පරිප්පුයි කාලා පිරිමි අපි කට්ටිය සාලෙටත්, අම්මලයි, ලොකු අම්මලයි ආච්චිගේ කාමරේටත් වෙලා කසු කුසු ගගා හිටියේ. මාමාට තරුණ කාලේ ගෑස්ට්‍රයිටීස් වැඩිවෙලා බඩවැල්වල තුවාලයක් වෙලයි තිබුනේ. ‍කොහොමහරි ඔපරේෂන් 4කට මුහුණදීලායි හිටියේ. එයිනුත් 3වෙනි ඔපරේෂන් එක වෙද්දී ඇත්තටම හිටියේ මරණාසන්නව. තුන්‍ වෙනි ඔපරේෂන් එක වෙලාවේදී අසාධ්‍යව හිටපු මාමා ඒ වෙනකොට හිටපු කරාපිටිය ශික්ෂණ රෝහලෙන් මාරු කරලා කොළඹ ගෙනිච්චාට පස්සේ පෙර පිනකින් වගේ ජීවත්වෙන්න වාසනාව ලැබුනා. මාමා තමන්ගේ මිතුරෙක් එක්ක කියලා තියෙනවා ‍තමන් ඒ ඔපරේෂන් එක කරද්දී සිහිය නැතිවුනාට පස්සේ තමන්ට දැනුනාලු උඩ පාවෙනවා වගේ දෙයක්. බැලුවාම එයා ඉඳලා තියෙන්නේ තමන්ගේ ඔපරේෂන් තියටර් එකේ. එයා උඩ පාවෙමින් තමන්ගේ ඔපරේෂන් එක සියැසින් දැකලා තිබුනා කියලා. ඒත් ඒ ගැන පවුලේ නෑයොත් එක්ක කතා කරලා නැහැ. සමහරවිට එයා හිතන්න ඇති තමන්ව විශ්වාස නොකරයි කියලා. ඒ වගේ මරණාසන්න අත්දැකීමක් ලබපු මාමා, තමන්ගේ 5වෙනි ඔපරේෂන් එක කරද්දී එතරම් අසාධ්‍ය වෙලා හිටියේ නැහැ. ඔපරේෂන් එක කරේ හර්නියා රෝගයට, ඒත් ඔපරේෂන් එක කරද්දී බඩවැල් දියවෙලා කියලා දැනගන්න ලැබිලා තියෙà¶
±à·€à· ඩොක්ටර්ලාට. ඊට පස්සේ බඩවැල් මහලා ඔපරේෂන් එක කරලා තියෙනවා. මාමා ජීවිතේ අන්තිම කාලේ හිටියේ හරිම දුකින්, ඒකට හේතුවක් තියෙනවා. ඒක නිසා වැඩිපුර මත්ද්‍රව්‍ය පානය කරලාත් තියෙනවා. ඒක වෙන්න ඇති බඩවැල් දි‍යවෙන්න හේතුව. ඔපරේෂන් එකෙන් පස්සේ මාමාට සිහිය ගන්න අපහසු වුනා. සිහිය ලැබුනේම නැහැ. අපි මෙහෙම කතා කර කර ඉඳලා 12ට විතර නිදාගන්න හදද්දීම දුරකථන ඇමතුමක් ලැබුනා. ඔව්, ඔබ හරි. ඒ තමයි මාමා අප අතරින් වෙන්වූ බවට ලැබුනු පණිවිඩය. මේක මට විතරක් නෙවෙයි, හැමදෙනාටම දැඩි කම්පනයක් ගෙනදුන්නා. ඇහින් කඳුළු පිටවෙන්න නොදී අපි හැමදෙනාම හිරකරගෙන හිටියේ ආච්චිටයි, මාමාගේ බිරිඳ; නැන්දාටයි නොපෙනෙන්න වුනත්, වැඩි වෙලාවක් අපිට එහෙම හංගගෙන ඉන්න ලැබුනේ නැහැ. අම්මායි, ලොකු අම්මලා දෙන්නායි හඬා වැලපෙනවා දැක්ක නැන්දා, සිහි  නැතුව පොළවට ඇඳන් වැ‍ටුනා. සිහිය ගන්නකොට ආච්චිටත් ඇහැරිලා. දැන් ගෙදර එකම යුද්ධයක් වගේ. පිරිමි අය හැමදෙනාම ගැහැනු හැමදෙනාවම සනසවනවා. අහල පහල ගෙවල්වලින් කට්ටියත් ඇවිල්ලයි හිටියේ ඒ වෙලාවේ. උදේ වෙද්දී නොපැමිණිලා හිටපු පවුලේ අනිත් ඥාති බොහෝ දෙනෙක් මහගෙදරට එකතු වුනා. හවස් වෙද්දී මාමාගේ මෘත ශරීරය මහගෙදරට ගේනකොට හිතට දැනුනේ පුදුමාකාර කම්පනයක්. මුලින්ම ඇවිල්ලා කාපට් එක එලුවා. ඊට පස්සේ ස්ටෑන්ඩ් එකක් ගෙනල්ලා දිගඇරියා. ලයිට් හතරක් හතරපැත්තෙන් ගෙනැල්ලා තිබ්බා. පොල්තෙල් පහන් දෙකක් එකපැත්තකිනුත් තිබ්බා. මගේ හිතට නම් ඒ වෙලාවේ එක සිතුවිල්ලක් වත් හරියට ආවේ නැහැ. නිකන් චිත්‍රපටියක් ඇස් ඉදිරියේ දිගඇරනෙවා වගේ දැනුනා. ‍මේ දකින්නේ හීනයක්ද කියලත් හිතුනා. අන්තිමට පෙට්ටිය ගෙදර උළුවස්ස අතරින් ගේනකොට හදවතේ ගැස්ම දෙගුණ තෙගුණ වුනා. පෙට්ටිය ගෙනාපු හදරදෙනා පෙට්ටිය ස්ටෑන්ඩ් එක උඩින් තිබ්බා… පෙට්ටිය අරිනවා දැක්කේ නෑ. මම දැක්කේ හරියට පෙට්ටිය ඇරෙනවා ‍වගේ. ඒක මහා පුදුමාකාර සිතිවිල්ලක්. විස්තර කරන්න බැරි සිතිවිල්ලක්. පෙට්ටිය ඇතුලේ සැතපිලා හිටියේ මාමා!
මට නිකන් සිහි නැතිවෙනවා වගේ දැනුනත්, අවස්ථාවේ හැටියට සිහිය එළඹවාගත්තා. අම්මා එක පැත්තකින් අඬා වැලපෙනවා වගේ දැක්කා. එක පැත්තකින් නැන්දා, අනිත් පැත්තෙන්, තමාගේ එකම පුතා අහිමිවෙච්ච ආච්චි අම්මා… මේ කම්පනය දිගටම තිබුනා. ඊට පස්සේ මොකද කරන්නේ කියලා හිතාගන්න බැරිවයි හිටියේ. ඊට පස්සේ පිරිමි හැමදෙනාම එකතුවුනා. මූලිකත්වය ගත්තේ සංවිධා‍නයට ශක්තිමත් හදවතක් තිබුනු මුදිත අයියා. එයා හිටියේ නැතිනම් අවමංගල්‍ය කටයුතු කොහොම කෙරෙයිද කියලා හිතාගන්න බැරිවෙන තරම්. මමත් පුළු පුළුවන් තරම් අවමංගල්‍ය කටයුතු වලට දායක වුනා. අවමංගල්‍ය කෑම මේසයට අයත් වැඩ වලටත් මට දායකත්වය ලබාදෙන්න වුනා. ඒ හැම එකක්ම මාමා වෙනුවෙන් ඉටුකරන්න ලැබීමත් පිනක් විදිහටයි මට හිතුනේ. මේක හිනා වෙන්න කාරණයක් විදිහට සලකන්න එපා. ඒත් මේක කියන්න ඕ‍න. කෑම මේසයට ආහාර බෙදන වැඩත් මට භාරවුනා. මාමා හුරතලයට ඇති කරපු බල්ලා මෙල්ල කරන්න පුළුවන් වුනේ මාමාටම විතරයි. ඉතින් ඌ හිටියේ නිදැල්ලේ. බොහොම අමාරුවෙන් කට්ටිය එකතුවෙලා කූඩුව‍ට දැම්මාත් වැඩේ හරිගිගේ නැහැ. කූඩුව කඩලා කොහොමහරි පනිනවා. කෑම මේසයට බත් බෙදාගෙන එද්දී, මෙන්න මූ ඇඟට පැන්නේ නැතැයි. බත් එකත් එක්ක මම බිම. ඔන්න ඒක විතරයි. මගේ අතින් අතපසු වීමකට වුනේ. ඒ ඇරෙන්න මාමාට අවසන් ගෞරව දක්වන්න එන හැම‍දෙනාමට බීම, තේ, බිස්කට් වලින් සංග්‍රහ කරන්නත් මට පැවරුනා. ඒ හැම දෙයක්ම පුළුවන් තරම් හොඳින් කරන්නත් පුළුවන් වුනා. ගෙදර වැඩිහිටි කෙනෙක් ජීවත්ව ඉන්නවානම් ආදාහනය කරන එක හොඳ නෑ කියලා චාරිත්‍රයක් තිබුනත්, ගෙදර වත්තේ භූමිදානය කරේ නැත්තේ, මේක නිසා ගෙදර අයට විශාල මානසික පීඩනයක් ලැබෙන්න පුළුවන් නිසා. භූමිදානය කරන තැන දැකලා හැම වෙලාවේම මරණය නිසා පීඩාවට පත් වෙනවාට වඩා හොඳයි පොදු සුසාන භූමියක භූමිදානà¶
º කරනවා කියලා යෝජනා වුනත් ඒකට රුපියල් 50,000කට වඩා වියදම් වෙන නිසා, චාරිත්‍රය ගැන නොසිතා යන්ත්‍රාණුසාරයෙන් ආදාහනය කරන්න තීරණය කරා. මේ පිළිබඳව යෝජනාවට සැමදෙනාම එකඟවුනා. හැමදෙනාම අවමංගල්‍ය කටයුතු සාර්ථකව කරන්න (අනිත් අය වගේ නෙවෙයි. පවුලේ හැමදෙනාම මාමා ජීවත්ම ඉන්න කාලේදීත් හොඳින් සැලකුවා. මරණයේදීත් හොඳින් ගෞරවාන්විතව කටයුතු කරන්න අපිට ඕනෑකම තිබුනා) උත්සාහ ගත්ත නිසා අප අතරින් වෙන් වන දවසේ ජායාරූප ගැනීම ගැන කවුරුවත් වැඩිය හිතුවේ නැහැ. ඒ වෙලාවේදී හොයාගත්ත සේයාපටල කැමරාවේ වැඩෙත් භාරවුනේ මට. ඩිජිටල් කැමරා ඕන තරම් අල්ලලා තිබුනාට, මම සේයාපටල කැමරාවක් හරියට පාවිච්චි කරලා තිබුනේ නැහැ. මට ඒ ගැන හරි සිහියකිනුත් නෙවෙයි හිටියේ. මාමාව අන්තිමට දකින නිසා මට තිබුන මානසික පීඩනය මෙහෙමයි කියලා කියන්න බැහැ. කොහොමහරි ඇඬූ කඳුලින් හිටපු මම, අවසන් අවස්ථාවේ ජායාරූප ටික ලබාගත්තා. කොහොමහරි පුදුමයකට වගේ ජායාරූප ටික නම් හොඳට තිබුනා. ගමේ නම් පුදුම පාළුවක් තිබුනේ. හැමදෙනාම අපේ අම්මලා වගේ ගමෙන් පිටවෙලා. ඒක නිසා වැඩි දෙනෙක් ගමේ නැහැ. මරණය වෙලාවේදී මට අවුරුදුගානකින් වගේම ජීවිතේටම දකින්නට නොලැබුනු ගොඩක් ළඟ, දුර ඥාතීන් මුනගැහෙන්නත් ලැබුනා. ඉතිරි දවස් 4ම වාගේ මායි අයියලායි එකතුවෙලා නිදි මැරුවේ ඒක චාරිත්‍රයක් නිසා. දින හතක් යනකන්. ගෙදර පාළුවෙන්න දෙන්න බැහැ. ජනෙල් දොරවල් ඇරලා තියෙන්නේ ඕනේ. නිදිමරපු හැමදෙනාම වගේ විහිළු කතා කිය කිය හිනා‍වුනේ සිදුවීම අමතක කරලා නම් නෙවෙයි. එක පැත්තකින් නිදිමත නැතිකරගන්න. අනිත් පැත්තෙන් දුක තුනී කරගන්න. මම අහලා තියෙනවා මළ ගෙවල්වල වෙස්සන්තර ජාතකය, මළ පොත ව‍ගේ පොත් කියවනවා කියලා. ඒත් දැන් කාලේ ඒ පොත් හොයාගන්නවත් නෑ නොවැ. හත්දවසේ දානේ දවස වෙනකම්ම හැමදෙනාම තම තමන්ගේ දුක බෙදාගත්තා. හත්දවසේ දානෙන් පස්සේ හැමෝම තම තමන්ගේ ගෙවල් වලට පිටත් වෙන්න පටන්ගත්තා. අපිත් පිටත්වුනේ හැමදෙනාම පිටත් වුනාට පස්සේ.

ඔන්න ඔහොමයි ජීවිතේ හැටි. අනපේක්ෂිත හමුවීම්, අනපේක්ෂිත වෙන්වීම්… මේක තමයි යථාර්තය. මේ ලෝකෙට එනකොට හැමදෙනාම එන්නේ තමා වටේ ඉන්න හැමෝවම හිනස්සවාගෙන. ඒත්! ඒත්, මේ ‍ලෝකෙන් වෙන්වෙද්දී තමාගේ වටේ ඉන්න ‍හැමෝවම අඬවාගෙන තමයි යන්නට යන්නේ. අපිත් කවදාහරි දවසක යන්නටම යාවි. එදාවෙනකම් කාටවත් වරදක් නැතිව ජීවත් වෙන්න පුළුවන් නම්, ඒ ටිකම ඇති.

විභාගයත් අත ළඟ. තව මාස දෙකයි හරියටම තියෙන්නේ. පුළුවන් තරම් වැඩ ටික හොඳට කරගෙන යනවා. වාර විභාගෙත් ප්‍රතිඵල ටිකක් හොඳයි. ගණිතයට ළකුණු අනූවයි. හැබැයි විද්‍යාවට නම් ටිකක් මහන්සි වෙන්න වෙයි වගේ. පොඩි දුකක් තියෙන්නේ ඉතිහාස ප්‍රශ්න පත්‍රයට ලියන්න බැරි වෙච්ච එකයි. වාර විභාගේ ඉතිහාස ප්‍රශ්න පත්‍රයට ලියන්න කලින්ම අපිට නිවාඩු ලැබුනා‍නේ. සාක් සමුළුව නිසා. ඒක නිසා ඉතිහාස ප්‍රශ්න පත්‍රයට ලියන්න තිබුනේ නිවාඩු‍වෙන් පස්සේ. ඉතින් ඒ වෙලාවේ හිටියේ ගාල්ලේ නිසා ප්‍රශ්න පත්‍රයට ලියන්න බැරිවුනා. කමක් නැහැ. ප්‍රශ්න පත්‍රයට ලියන්න බැරිවෙච්ච එක ගැන මහ ලොකු දුකක් නැහැ. මාමාගේ අවසන් කටයුතු වලට දායකත්වය දක්වන්නට ලැබිච්ච එක නිසා ඒ දුක මැකිලා යනවා.

තවත් ලියන්න බැහැ. නැවත තවත් සටහනකින් හමුවනතෙක් ඔබට ආයුබෝවන්…

Join the Conversation

5 Comments

  1. මරණය- ‍ප්‍රියයන්ගෙන් වෙන් වීම වේදනාවක් තමයි.ඒත් යථාර්තය තමයි ඒ. කවදා හරි අපි හැමෝම මේ සියල්ලම හැරදා අපිට යා යුතු වෙනවා.

  2. මෙලොවට පැමිණි සියලු දෙනාම ආපසු යා යුතු යැයි කියැවුනත් එසේ ගිය විට තමයි දැනෙන්නේ අප කෙතරම් ඒ අයට ලං වී සිටියාද කියා. අප පාරේ යද්දී මල ගෙවල් කීයක් නම් දකිනවද? නමුත් ඒ ගැන අබ මල් රේණුවකවත් අපට දැනෙනවද? නැහැ නේද? නමුත් අපේ කෙනෙක් වියෝ වුනහම තමයි, ඒ ගැන අපට දැනෙන්නේ. නියම ආකාරය නම් අප නිතරම මල ගෙයක් දුටු විගසම මෙය අප සැමෝටම මුහුණ දෙන්න වෙන තත්වයක් බව මතක තබා ගත යුතුය.

  3. අපි හැම දෙනාටම පොදු දෙයක්‍….ඉපදුනා වගේම මිය යාමත්…ඒත් මැරෙන කෙනාට නෙවෙයි ඡිවත් වෙන අයටයි දුක වැඩියෙන්ම දැනෙන්නේ…..ඒත් එහෙමයි කියලා මැරුණු කෙනා මත්තේ අපි මැරෙන්නේ නෑ…කාලයත් එකක් අපි ඉදිරියට යනවා මිසක්

    කොහොම උනත් සුදාරක මල්ලි‍ගේ මාමා ට නිවන් සුව ලැබේවා!

  4. මේ පොස්ට් එක මට කියවන්න ලැබුනෙ අහම්බෙන්. මුලින් තිබ්බ එවා කියෙව්වම ආස හිටුන ඩිගටම කියවන්න. එක නිසා ගූග්ල් රීඩරයට දාගෙන බැලුවා.

    “මුලින්ම ඇවිල්ලා කාපට් එක එලුවා. ඊට පස්සේ ස්ටෑන්ඩ් එකක් ගෙනල්ලා දිගඇරියා. ලයිට් හතරක් හතරපැත්තෙන් ගෙනැල්ලා තිබ්බා. පොල්තෙල් පහන් දෙකක් එකපැත්තකිනුත් තිබ්බා. මගේ හිතට නම් ඒ වෙලාවේ එක සිතුවිල්ලක් වත් හරියට ආවේ නැහැ. නිකන් චිත්‍රපටියක් ඇස් ඉදිරියේ දිගඇරනෙවා වගේ දැනුනා. ‍මේ දකින්නේ හීනයක්ද කියලත් හිතුනා. අන්තිමට පෙට්ටිය ගෙදර උළුවස්ස අතරින් ගේනකොට හදවතේ ගැස්ම දෙගුණ තෙගුණ වුනා. පෙට්ටිය ගෙනාපු හදරදෙනා පෙට්ටිය ස්ටෑන්ඩ් එක උඩින් තිබ්බා… පෙට්ටිය අරිනවා දැක්කේ නෑ. මම දැක්කේ හරියට පෙට්ටිය ඇරෙනවා ‍වගේ. ඒක මහා පුදුමාකාර සිතිවිල්ලක්. විස්තර කරන්න බැරි සිතිවිල්ලක්”

    මේක කියවනකොට මට මතක් උනේ අපේ අම්ම පෙට්ටියකින් ගෙදරට ආපු දවස. එදා මගේ හිත ඇඩුව විදිය ඔයා ඒ විදියටම ලියල. ඒක කියවනකොට මට ආයෙත් ඇඩුන.

    ඔයාගේ මාමාට කොහේ හරි හොද තැනක ඉපදිලා ඇති.ඒ උනාට නැන්දා තාමත් අඩනවා ඇති. මාමාට දුවල පුතලා හිටියනම් එයාලට හිතෙන්වා ඇති ඒක නපුරු හීනයක් කියල.ඒ දුක නැති කරගන්න හරිම අමාරුයි.

    ඒ උනාට මොනව කරන්න්නද. මේක තම ජිවිතෙ කියන්නෙ. පුලුවන් හම වෙලවකම නන්ද ලගින් ඉන්න. එක තම එය වෙනුවෙන් ඔයට කරන්න පුලුවන් ලොකුම දේ.

Leave a comment

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: