Categories
Social Media ජන මාධ්‍ය තොරතුරු තාක්ෂණය බ්ලොග් මතවාද

බ්ලොග්කරුවනි, අහවල් එකක් කරනවාද?

බ්ලොග් ගැන බ්ලොග් ලිවිල්ල දැන් නම් එක්තරා ආකාරයක කම්මැලි වැඩක්. නොලියාම බැරි නිසා ලියවෙනව මිසක්, හීනෙකින්වත් ලියන්න හිතාගෙන හිටපු දෙයක් නෙවෙයි. බොරු කියන්න ඕනෙ නෑ මම නං හරිහමන් බ්ලොග් එකක් කියවපු කාලයක් මතක නෑ. කමෙන්ට් කරලත් නෑ සෑහෙන්න කාලෙකින්. (ඔය ළඟදි බ්ලොග් කියවන්න කියල හිතල දහයක් පහ‍ළොවක් බලල කියවපු පහ හයකින් දෙක තුනක කමෙන්ට් කරත්) සිංහල බ්ලොග් අවකාශයට ඇතිවෙලා තියෙන ශෝචනීය ඉරණම වෙනස් කරන්න, U TURN එකක් දෙන්න ඕනෙ කියල හිතන්න පුලුවන් කාලයක් මේ.

ප්‍රධානම බ්ලොග් කියවනය වන සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ, ​සිංහල බ්ලොග් කියවනය දිහා බැලුවම දැනට ඇතුළත් වුන බ්ලොග් අඩවි ප්‍රමාණය එක්දහස් එකසිය දහ නවයක්. මේක පහුගිය අවුරුද්දු දෙකත් එක්ක බැලුවාම 200%ක විතර වැඩිවීමක්. (හරිහැටි ගණන් බැලීමකින් තොරව කට වහරෙන් අර්ථ දක්වනවානං) ඒත් ඒ හා සාපේක්ෂව ගුණාත්මක කියවීමක් කරන්න පුලුවන්ද? මේක නිකන් හරියට ලංකාවෙ පාර්ලිමේන්තුව වගේ. ඔළු ගාණ (මගේ ඔළුවත් ඇතුළත්ව) කොච්චර වුනත් කිසිම ගුණාත්මක භාවයක් නෑ.

(මාත් ඇතුළත්ව අනිත් අයත් ලියන) පුද්ගලික කතා-ස්වයං වින්දන කතා හැරුණ කොට අන්තර්ජාලයේ සිංහල කියවන්නන්ට වෙන හොඳ කියවීමක් ඇත්තේම නැද්ද?

තවත් දෙයක්, කට්ටිය බ්ලොග් ලියන්නෙ සින්ඩියකට වැටෙන්න බලාගෙන මිසක්, තමන්ගෙ ස්වයං අරමුණු සාක්ෂාත් කරගන්න නෙවෙයි වගේ. එහෙම කරන අය ඉන්නෙ එකක්-දෙකක් වගේ පිරිසක්. ඒ වගේම කට්ටිය ලියන්නෙ කමෙන්ට් බලාගෙන, හිට්ස් බලාගෙන. ඒක වැරදියි. තමන් අන්තර්ගතය නිර්මාණය කරන්න ඕනෙ තමුන්ට ඕනෙ විදිහට. මේක නිකන් රටේ ජනාධිපතිට හරි විපක්ෂ නායකට හරි තමන්ගෙ ළමය හදන්න දීල (ඒ අයගෙ ළමයි හැදීමේ හැකියාව ගැන කතා නොකර ඉමු නේද?) පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා වගේ වැඩක්. සින්ඩිකේටර මත යැපෙන්න එපා. හිට්ස් ලැබෙන්න ඕනෙ තරම් විකල්ප තියෙනවා. අන්තර්ගතය ලස්සන නම් එතනට හිට්ස් අනිවාර්යෙන්ම වැඩි වෙනවා සත්තයි. Google, Google Reader, Twitter, Buzz, Facebook සහ Social Bookmarking tools තියෙන්නෙ ඒකට තමයි.

මේ අවකාශය ඇතුළෙ පෙම් කෙළින, බූට් කන තරුණ තරුණියෝ විතරක් ඉඳල මදි. මේකට දෙමව්පියෝ, සාදාචාරවාදීන්, රස්තියාදුකාරයින්, ගුරුවරු, වඩුවො, බේබද්දො, ගණිකාවො, සල්ලාලයො, වෛද්‍යවරු, කුකරි ක්ලාස් කාරයො, සැලොන් කාරයො අනිවාර්යයෙන්ම ඕනෙ.

ඒ කිව්වෙ මෙහෙමයි… දැනටමත් වෙදකම, ගුරුකම වගේ දේවල් ගැන ලියන අය ඉන්නවා. හැබැයි ටිකයි. තව වැඩිවුනොත් තමයි වටින්නෙ. ඒක තනි වෙදෙකුට, ගුරුවරයෙකුට විතරක් කරන්න බෑ. තව අය එතනට ඕනෙ. ස්ටයිල් ගැන කාලයක් කෙරුණ බ්ලොග් එකත් අතෑරල දාලා…

මේක මේ කනෙන් ඇදල බලෙන් ලියවන්න හදන ලිපියක් නෙවෙයි. කොහොමත් කනෙන් අල්ලන්න තරම් මට උස මදි. මම කියන්නෙ කට්ටියට තවත් බොහෝ දේවල් කරන්න පුලුවන් කියල හැඟීමක් එන්න ඕනෙ.

තව කට්ටියක් Social Media ගැන කොහෙන්හරි course එකක් කරල, ඒක ලංකාවට ඇප්ලයි කරන්න හදල ලංකාවෙ බිස්නස් “so called win-win situation” එකට කරන්න හදනව. කොහොමද, ගෙදරට බොරු කියල, ක්ලාස් කට් කරල කොම්පැණියකින් තියපු පාටියකට ගිහින් තමන්ගෙ පොටෝ එකක් පත්තරේ පලවුනාම තියෙන ආතල් එක? කෝ අපේ මිනිස්සුන්ගෙ privacy policies?

වෙලාවකට හිතෙනව මේ රටේ විශ්ව විද්‍යාල වලට හෙණ ගහලද කියලත්. ඒක විශ්ව විද්‍යාල වල වරදද? ඉගෙන ගන්න එවුන්ගෙ වරදද? ක්‍රමේ වරදද?

Categories
තොරතුරු තාක්ෂණය

බ්ලොග්කරණ තරගාවලියක්? ඒ මොන අහවල් එකටද?

කලින් බ්ලොග් සටහන ටිකක්… නෙවෙයි හොඳටම සංකීර්ණ වැඩියි කියලා තමයි ලැබිච්චි ගොඩක් ප්‍රතිචාර වලින් කියැවුනේ. ඇත්තටම ඒක සංකීර්ණයි. මටවත් හරියට තේරුම්ගන්න අමාරුයි මොකක්ද ඒකේ තියෙන්නේ කියලා. ඒ කොහොමවුනත්, මං දැන් මේ කියන්න යන්නේ බ්ලොග්කරණ තරගාවලිය ගැන. ඇයි අපි බ්ලොග්කරණ තරගාවලියක් සූදානම් කරන්නේ කියන දේ ගැන පොඩ්ඩක් ම‍‍‍ගේ පැත්තෙන් කතා කරන්න.

සිංහලෙන් ලියන බ්ලොග් අඩවි හැම එකක්ම වගේ ලියැවෙන්නේ පුද්ගලික තෘප්තිය සඳහා මිසක් ලාභ අපේක්ෂාවෙන් නම් නෙවෙයි. තමන්ට ලැබෙන ප්‍රතිචාර වලින් තමන්ට ලැබෙන තෘප්තිය නිසාමයි බ්ලොග් අඩවි ලියැවෙන්නේ. ඒක පුද්ගලිකව ලියැවෙන දෙයක්. මොකද අඩුම තරමෙන් Google Adsenseවත් හරියට සිංහල බ්ලොග් අඩවි වලට සහය දක්වන්නේ නැති එකේ. ගොඩක් දෙනෙක් සිංහලෙන් බ්ලොග් ලියන එක දකින්නේ කිසිම තේරුමක් නැති දෙයක් විදිහට. එහෙමත් නැතිනම් කාලය නාස්ති කිරීමක් විදිහට.

ඒක එක පැත්තකින් සාධාරණ ‍‍හේතු දැක්වීමක්. අපිට කිසි සෙතක් නැතිනං ඇයි අපි බ්ලොග් ලියන්නේ? ඒක ගොඩක් දෙනෙක් පුද්ගලිකව හිතන‍ දෙයක්. ලංකාවේ ඉන්ටර්නෙට් පාවිච්චි කරන ගොඩක් දෙනෙක් දැන් බ්ලොග් ගැන දන්නවා වුනත් බ්ලොග් ලියන්න එන්නේ නැති එකට හේතු කිහිපයක් අතුරින් ප්‍රධානම දේ තමයි ඒක. අනිත් ප්‍රධානම දේ තමයි සිංහලෙන් යතුරුලියනය කරන්න “අමාරුයි” කියලා ඔළුවට දාගෙන ඉන්න මතය. මං කිව්වානේ පළවෙනි එකනම් සාධාරණයි කියලා.

මෙන්න මේ පළවෙනි කාරණේ එක හේතුවක් බ්ලොග් අඩවි ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවෙන්න. බ්ලොග් අඩවි ප්‍රමාණය අඩුවෙනවා කියන්නේ සාපෙක්ෂව සිංහල භාෂාවෙන් අන්තර්ජාලයේ තියෙන අන්තර්ගතය අඩුවෙනවා. සිංහල භාෂා අන්තර්ගතය අඩුවෙනවා කියන්නේ. එක පැත්තකින් සිංහල භාෂාවට ලොකු බාධකයක් වෙනවා වාගේම, සිංහල භාෂාවෙන් දැනුම නිර්මාණය නොවීමටත් ඒක ලොකු බාධාවක්.

අපි පිළිගන්න ඕනේ දෙයක් තමයි ලෝකයේ තියෙන දැනුමෙන් 99%ක්ම අන්තර්ජාලයට එකතු වෙලා තියෙනවා කියන කාරණය. විකීපීඩියා අඩවිය ගත්තොත් එතන තියෙන දැනුම අරගෙන අපිට ලොකු විප්ලවයක් කරන්න පුළුවන්. මේ දැනුම නිර්මාණය වෙලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් කියන දේත් අපි දන්නවා. ඉතින් මේ දැනුම ලොකු පැලැන්තියකට විතරක් අවසානයේ සීමා වෙනවා. රටක දියුණුවට වැඩකරන්නේ ඒ වරප්‍රසාදලත් පැලැන්තිය පමණක් නෙවෙයිනේ. අර කට්ටියට දැනුම නැතිවුනාම රටේ දියුණුව ලත් තැනම ලොප් වෙනවා. ඒක රටක් විදිහට ඉස්සරහට යන්න ලොකු බාධාවක්. ඉතින් අපි කියන්නේ හැමදෙනාටම ඉංග්‍රීසි භාෂා දැනුම ලබාදෙන්න ඕනේ. ඒක ඇත්ත. ඒත් ඒක ප්‍රායෝගිකව වෙන දෙයක් නෙවෙයි කියන අපි පිළිගන්න ඕනේ. ඉතින් මේ දැනුම ගමට ගෙනියන්න තියෙන හොඳම ක්‍රමය තමයි අන්තර්ජාලය. පාසලට ලැබෙන අන්තර්ජාල සම්බන්ධතාව පාවිච්චි කරලා අර පොඩි එකාට පුළුවන් ලොකු දැනුමක් ලබාගන්න. ඉතින් ඒකට ඉංග්‍රීසි භාෂා දැනුම නැතිනම්, එයා ලොකු අමාරුවක වැටෙනවා. ඉතින් සිංහල භාෂාවෙන් හෝ‍ දෙමළ භාෂාවෙන් මේ දැනුම තියෙනවානං එයාට ලොකු දෙයක් කරන්න පුළුවන්. ඉතින් ඒකට අපිට පුළුවන් Google Translate වගේ දෙයක් පාවිච්චි කරලා අර ලිපිය කෙලින්ම තම ස්වභාෂාවට හරවාගන්න පුළුවන් වෙන විදිහට සකසන්න. අර ඉංග්‍රීසි ලිපියයි, පරිවර්තනය වෙලා තියෙන සිංහල ලිපියයි සසඳලා දැනුම වැඩිදියුණු කරගන්නවාත් එක්කම. එයාට පුලුවන් ඉංග්‍රීසි දැනුමත් වැඩි කරගන්න. ඒත් ලොකු ප්‍රශ්නයක්! Google Translate වලට සිංහල භාෂාව සහය දක්වන්නේ නෑ! සිංහල භාෂාවෙන් සහය දක්වන්න නම්… අන්තර්ජාලයේ සිංහල භාෂා අන්තර්ගතය වැඩි වෙන්න ඕනේ. ඉතින් ඒක කරන්න පහසුම ක්‍රමය තමයි සිංහල බ්ලොග්!

ඉතින් සිංහල බ්ලොග් ප්‍රමාණය අද, මේ සටහන ලියන වෙලාව වෙනකොට 350කට අඩු ප්‍රමාණයක්. කාලයත් එක්ක මේ දාහ දෙදාහ වෙයි, ඒත් අපි පරක්කු වැඩියි. ලෝකය ඉතාමත් වේගයෙන් දියුණු වෙනවා. මේ දියුණු වෙන වේගයත් එක්ක තරගකරන්න අපිට අවශ්‍යනම් අපි පුළුවන් තරම් ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි. මෙන්න මේක ඔළුවට ඇරගත්තු අපි අර සිංහල භාෂාවෙන් බ්ලොග් ලියන්න එකතු වෙන අයව දිරිගන්වන්නත් එක්ක සිංහල බ්ලොග්කරණ තරගාවලිය නිර්මාණය කරා. අපේ අරමුණ අවම වශයෙන් මාසයක් දෙකක් ඇතුළත බ්ලොග් අඩවි විශාල ප්‍රමාණයක් නිර්මාණය කරවන එක. බ්ලොග්කරුවන් දහස්ගණනින් කෙටි කාලයක් ඇතුළත එකතු කරගන්න එක. ඉතින් ඒක ලොකු අභියෝගයක්. ඒත් අපි පුලුවන් තරම් ලොකු උත්සාහයක් දරනවා. ඒ බ්ලොග්කරණ තරගාවලියට විවෘත අංශයෙන් මේ බ්ලොග් ලිපිය කියවන ඔයාලාටත්, ඔයාලාගේ යාළුවන්ටත් එකතු වෙන්න පුලුවන්. හරිම සරලයි. පටන්ගන්න බ්ලොග් අඩවියක්. එකතුවෙන්න සිංහල බ්ලොග්කරණ තරගාවලියට! මේක තරගයක් කිව්වාට මේක එකා පාගගෙන එක එකාව මරාගෙන ගහගෙන ඉදිරියට එන තරගයක් නම් නෙවෙයි. බොහොම සුහද තරගයක්. අනිත් අයගේ බ්ලොග් කියවන්න. ඒවාට ප්‍රතිචාර එකතු කරන්න. බ්ලොග්කරුවන් අතර සුහදත්වය වර්ධනය කරන එක අපේ තවත් ලොකු බලාපොරොත්තුවත්. මතභේද විවිධ වෙන්න පුලුවන්. ඒකේ ප්‍රශ්නයක් නෑ. හැමෝම “අපි බ්ලොග්කරුවෝ” කියන මතයකට ගෙන ඒමයි වැදගත්. බ්ලොග්කරණය හරිම බලවත් අවියක් වෙන්නයි අපිට අවශ්‍ය…

අපි විවෘත අංශයෙන් තරගයට එකතු වෙන අයව වර්ගීකරණය කරනවා ඒ ඒ බ්ලොග් අඩවි වල තියෙන අන්තර්ගතයත් එක්ක සසඳලා. අවසානයේ අපි අපේ “අසෙනිය කුසුම” සාහිත්‍ය කලා උළෙල දවසේදී ඔබට සම්මාන ප්‍රදානය කරනවා. කට්ටිය දැකලා ඇති නේ චිත්‍රපටි සම්මාන උළෙලක්… ඉතින් මේකත් ඒ වගේම තමයි. හොඳම නළුවා, නිළිය වෙනුවට මෙතන ඉන්නේ ‍හොඳම බ්ලොග්කරුවා! බ්ලොග්කරණ කණ්ඩායම!

ඒ සම්මාන දෙක විතරක් නෙවෙයි. පහත අංශ වලින් අපි සම්මාන දෙනවා ඔබට. ඒ වෙන මොනවත් අහවල් දේකට නෙවෙයි. ඔබට දිරිමත් කරන්න. සිංහල බ්ලොග්කරණය දිරිමත් කරන්න. අවසානයේ තොරතුරු තාක්ෂණය හරහා දැනුම මුළු ලංකාව පුරාම ගලායන්න සලස්වන්න. මේක වෙන මොකක්වත් නෙවෙයි! මේක විප්ලවයක්!

අපි මේකට පාසල් අංශයෙන් තරගවදින පාසල් වලට දෙන තෑග්ග මොකක්ද දන්නවාද? නෑ? හරි. අපි දෙන්නේ පරිගණක විද්‍යාගාරයක්! ඔව්. අංගසම්පූර්ණ පරිගණක විද්‍යාගාරයක්.!!! ඉතින් විවෘත අංශයෙන් තරගවදින අයට දෙන තෑගි තාම අභිරහසක්. හිතාගන්නකෝ පාසලට අපි පරිගණක විද්‍යාගාරයක් දෙනවානං… විවෘත අංශයෙන් තරගවදින කෙනෙක්ට අපි මොනවාද දෙන්නේ කියලා…

‍අපි හොඳම බ්ලොග් අඩවිය තෝරන්නේ ඒ බ්ලොග් අඩවියේ අන්තර්ගතය බලලා. කොහොමද ලියලා තියෙන්නේ… කියන දේ ගැන හොයලා බලලා. ඒකේ කිසිම වර්ගීකරණයක් නෑ. මෙහෙමයි මෙහෙමයි කියලා දෙයක් නෑ. බ්ලොග් අඩවිය පවත්වාගෙ යන හැටි ගැනයි අපි එතැන අවධානය යොමු කරන්නේ…

ඊළඟට හොඳම පුද්ගලික බ්ලොග් අඩවිය. මේක ඉතින් ඔය සාමාන්‍යයෙන්, සාමාන්‍ය ජීවිතය බ්ලොග් කරන අයට. තමන් පාරේ යද්දී, සාමාන්‍ය ජීවි‍‍තේදී අත්විඳපු දේවල් ගැන කතාකරන මේ පුද්ගලික බ්ලොග් අඩවි බ්ලොග් අවකාශයේ සුවි‍ශේෂී තැනක් හිමිකරගන්නවා. සාමාන්‍යයෙන් කෙනෙක්ට විඳගන්න බැරිවෙච්ච අත්දැකීමක් තවත් බ්ලොග්කරුවෙක් අත්විඳලා තියෙන්න පුලුවන්. ඉතින් මේ සම්මානය හිමිවන්නේ අන්න ඒ විදිහට, හොඳම විදිහට ජීවිතය බ්ලොග් කරලා තියෙන අයටයි!

හොඳම විනෝදාත්මක බ්ලොග් අඩවිය!
හිනාවෙන්න අපි කවුරුත් ආසයි! ආයෙත් ඉතින් ඒකේ වරදක් නෑ නෙව. කවුදෝ කෙනෙක් “සිනාසී තරවෙන්න” කියලා තියෙන්නේ කට කහනවාට නෙවෙයිනේ… හැබැයි. සිංහල බ්ලොග් අවකාශය ඇතුළේ නම් දැනට මම දැකපු තරමින් හාස්‍යජනක බ්ලොග් අඩවි අඩුයි. ඉතින් මේක ලොකු අවස්ථාවක්! හාස්‍යජනක අන්තර්ගතයන් ඇතුළත් කරමින් බ්ලොග් අඩවි නිර්මාණය කරන්න. හැබැයි උපහාසයම මිසක්, අපහාසය නම් එපා! 😀

හොඳම වින්දනාත්මක බ්ලොග් අඩවිය.
මේ අංශය තියෙන්නේ චිත්‍රපටි ගැන, සිංදු ගැන, පරිගණක ගැන සහ ‍තවත් නොයෙකුත් නොයෙකුත් entertainment පැති ගැන බ්ලොග් ලියන අයටයි. දැනටමත් බ්ලොග් කිහිපයක් පේන්න තියෙනවා. ඒවා අමුතුවෙන් කියන්න ඕනේ නෑ නෙව. 😉 ඉතින් මේකත් හොඳ තරගකාරී අංශයක් වේවි හැමෝටම. මේක ගොඩක් ජනප්‍රිය අංශයක්!

හොඳම තාක්ෂණික බ්ලොග් අඩවිය.
ෂහ්! මේකත් ගොඩක් තරගකාරී අංශයක් වේවි. ගොඩක් දෙනෙක් තාක්ෂණික දේවල් ලියනවා. මේක ගැජට් බැජට් ගැන ලියන අයට විතරක් නෙවෙයි, එක එක කේතකරණ ක්‍රම ගැන… හැක්, ක්‍රැක් ක්‍රම ගැන… වගේම මෘදුකාංග ගැන ලියන අයටත් විවෘතයි. ‍පරිගණක තාක්ෂණය විතරක්ම නෙවෙයි, වෙන ඕනෑම තාක්ෂණයක් ගැන ලිව්වාට කිසිම ප්‍රශ්නයක් නෑ!

හොඳම විද්‍යා බ්ලොග් අඩවිය.
මෙන්න මේකනං ඉතාමත් වැදගත් අංශයක්. අනිත්වා අවැදගත් ඒවා කියනවා නෙවෙයි, විද්‍යාව නිසා නේ මේ ලෝකය දියුණු වෙලා තියෙන්නේ. ඒ වගේම විද්‍යා අංශයෙන් අධ්‍යාපනය කරන අයත් ඉන්නවා නෙව. ඉතින් හැමෝටම පුලුවන් විද්‍යාත්මක දේවල් ගැන තමතමන්ගේ බ්ලොග් අඩවි වලට ලියන්න. ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, තාරක විද්‍යාව ගැන විතරක් නෙවෙයි, ඔය ලෝකේ තියෙන ඕනේම විද්‍යාවක් ගැන ලියන්න පුලුවන්. පොත්පත් කියවලා. ඒ තොරතුරු සකස් කරලා ඔබ‍ට විද්‍යාත්මක බ්ලොග් අඩවියක් ලියන්න පුලුවන්. ඕනේනං විද්‍යාගාරයේ තමන් කරමු පරීක්ෂණයක වාර්තාවක් වුනත් තමන්ට ලියන්න පුලුවන්. ඉතින් ඒක කියවන අනිත් අයට පුලුවන් ප්‍රතිචාර එකතු කරන්න. ඒ ප්‍රතිචාර බලලා බ්ලොග් අඩවිය ලියන කෙනාට පුලුවන් තමන්ගේ දැනුම පුළුල් කරගන්න. මං කිව්වානේ… අන්තර්ජාලය කියන්නේ දැනුම් සාගරයක්!

හොඳම අධ්‍යාපනික වැදගත්කමකින් යුතු බ්ලොග් අඩවිය
මේකත් බොහොම වැදගත් අංශයක් අර විද්‍යා බ්ලොග් අඩවියේ තියෙන්නේ විද්‍යාත්මක තොරතුරු නේ. ඒක සෘජුව අධ්‍යාපනය සම්බන්ධයි තමයි. ඒත් මේ අධ්‍යාපනික වැදගත්කමකින් යුතු බ්ලොග් අඩවි වල අපි සලකා බලන්නේ මේක සම්මත පාසල් අධ්‍යාපනයට කොහොමින් බලපානවාද කියන කාරණයයි. ඉතිහාසය, සිංහල, දේශපාලන විද්‍යාව, භු‍ගෝලය, නාට්‍ය හා රංග කලාව, පෙරදිග සංගීතය වගේම මේ එකී-නොකී-මෙකී ඕනෑම විෂයක්, පාසල් අධ්‍යාපන සීමාවේ ඉඳගෙන ලියැවෙන බ්ලොග් අඩවි වලටයි මේ සම්මානයට උරුමකම් කියන්න ලැබෙන්නේ. නරක නෑ නේ! 😉

ඊළඟට… හොඳම සාහිත්‍ය රසයකින් යුතු බ්ලොග් අඩවිය. ෂහ්! මේකත් නියම අංශයක්. කවි කතා ලියන, ලියැවෙන බ්ලොග් අඩවි වලට තමයි මේ අවස්ථාව. මං දැක්කා එක තැනක අන්තර්ජාලයේ කවි කතානං චාටර්මැයි කියලා. ඉතින් ඔන්න අලුතෙන් එන නිර්මාණශීලීන්ට මේක හොඳ අවස්ථාවක්. සිංහල බ්ලොග් අවකාශය වින්දනයේ උපරිමයටම ගෙනියන්න ඔබට පුලුවන්. ලියන්න හොඳ හොඳ කවි, කෙටිකතා, නවකතා… නවකතා කිව්වාම පොඩි අදහසක් දෙන්නම්. ලියාගෙන යන්න කොටසින් කොටස නවකතාවක්. ඒ නවකතාව බ්ලොග්කරණ තරගාවලිය ඉවරවෙන කාල සීමාව එනකොටම, නවකතාවත් ඉවරකරන්න. ඒක හොඳ අත්දැකීමක් වේවි. දන්නෙම නැතිව නවකතාවක් ලියලා ඉවරකරන්න පුලුවන් වේවි! මොකද කියන්නේ? ආයේ බල බල ඉන්න දෙයක් නෑ! දැන්ම වැඩ පටාන් ගන්න!
ඊළඟට තියෙන්නේ හොඳම ව්‍යාකරණය වලින් ලියැවෙන බ්ලොග් අඩවියි, හොඳම පාඨක ප්‍රතිචාර හිමි බ්ලොග් අඩවියි, හොඳම සමූහ බ්ලොග් අඩවියි කියන අංශ තුන. ඇත්තටම ව්‍යාකරණ කියන දේ ගැන භාෂා විශාරදයින් සැලකිලිමත් වෙන දෙයක් නෙව. දැන් ටීවීයෙකේ, පත්තරේ වුනත් සම්මත ව්‍යාකරණ, අක්ෂර වින්‍යාස රටාවෙන් තොරව භාෂාව භාවිතා වෙන කාලයක්. ඉතින් බ්ලොග් අවකාශයත් එහෙම වුනොත් කට්ටිය කෑගහවි “මෙන්න භාෂාව කනෝ!” කියලා. ඉතින් අපි ‍මොකටද දෙවෙනි වෙන්නේ? ලියන්න හොඳ භාෂා දැනුම හොයා බලාගෙන. ඒක ඔබව ජයග්‍රහණය කරා ගෙනියාවි.

පාඨක ප්‍රතිචාර ගැන කිව්වාම නං ඉතින් මට බිම පෙරළි පෙරළි හිනාවෙන්න හිතෙනවා. මෙකේ අපි අදහස් කරන්නේ තම තමන්ම ප්‍රතිචාර දාගන්න එක නෙවෙයි. ඒ ඒ ලිපි වල ධනාත්මක සංවාද ඇතිවෙලා තියෙනවාද කියන කාරණයයි. මේවා පිළිබඳව විනිශ්චය මණ්ඩලය සැලකිලිමත් වේවි.

ඊළඟට අපි කණ්ඩායම් වශයෙන් කෙරෙන බ්ලොග් අඩවි වලටත් අනිවාර්යයෙන්ම තැන දෙනවා. කණ්ඩායම් හැඟීමකින් යුතුව එකතු වෙලා විවිධ විවිධ විද්‍යා-සාහිත්‍ය-කලා-සමාජ පර්යේෂණ කරන එක කොච්චර සුන්දර අත්දැකීමක් වෙයිද? ඉතින් ඒ හොඳම කණ්ඩාම දිරිමත් කරන එකයි අපේ අරමුණ.

දැන් ක‍ට්ටියට පොඩිම හරි මෙව්වා එකක් එන්න ඇති බ්ලොග්කරණ තරගාවලිය ගැන. ඉතින් ප්‍රමාද වෙන්න එපා. යන්න අලුත් දැනුම හොයාගෙන. තමන්ගේම, තමන්ගේ කණ්ඩායමේම බ්ලොග් අඩවි නිර්මාණය කරන්න. ඕනෑම පුද්ගලයෙක්ට ඕනෑම තරමක් බ්ලොග් අඩවි තමන් කැමති කැමති මාතෘකාවන්, අංශ යටතේ නිර්මාණය කරන්න පුලුවන්. අපිට වැදගත් අන්තර්ගතය විතරයි!

අලුත් අලුත් නිර්මාණ කරන අයට ලොකු තැනක් ලැබේවි. ගන්න වීඩියෝ කැමරාවක් අතට. අරගෙන කරන්න වාර්තාමය වැඩසටහන්. දාන්න යූටියුබ් එකට. ඊටපස්සේ බ්ලොග් එකට දාන්න. ඒක ලොකු අගයක් එකතු කරාවි බ්ලොග් අඩවියට.

ඇයි ඒ විතරක්ද? පොඩ්කාස්ට්!? ඒකත් වැදගත්ම බ්ලොග්කරණ ක්‍රමයක් නෙව. ඉතින් ඒ විදිහට වෙනස් විදිහකට හිතලා වෙනස්ම දෙයක් කරන්න. අපිට පුලුවන් කවුරුත් නොහිතන පුළුල් පරාසයක් ආවරණය කරන්න. ඉතින් කට්ටියම එකතුවෙන්න…. අකුරු වලින් විප්ලවය කරන්න! අකුරු අකුරු ගැටගහන්න… අලුත් දේවල් අලුත් අදහස් නිර්මාණය කරන්න! අපි ඉන්නවා ඔබව දිරිමත් කරන්න!!!!

සාහිත්‍ය – සාහිත්‍යකරණ‍යේ ඊළඟ යුගය
සාහිත්‍ය බ්ලොග් කියවනය
බ්ලොග්කරණ තරගාවලිය
උපකාරක අංශය (අන්තර්ගතයන් එකතු කෙරෙමින් පවතී)
Facebook පිටුව
Twitter

අපේ ගූගල් සමූහයට එකතු වෙන්න අමතක කරන්න එපා. අපි කතා කරමු සාහිත්‍ය ගැන, බ්ලොග්කරණය ගැන, අලුත් අලුත් සංකල්ප නිර්මාණය කරමු! අපිට ඔබේ අදහස් වැදගත්!