Categories
කාලීන

ඉර හඳ යට බඹර වළල්ල සහ අතුරු කතා

මේ කතාව ළඟදි ආපු අලුත් සිංහල චිත්‍රපටි දෙකක් ගැන. එකක් බෙනට් රත්නායකගේ “ඉර හඳ යට” වෙන අතරෙ, අනිත් චිත්‍රපටිය අතුල ලියනගේගේ “බඹර වළල්ල” චිත්‍රපටි දෙකම නරක නෑ. සමහර විට මේ චිත්‍රපටි දෙකම සිංහල වාණිජ සිනමාව අලුත් පාරකට ගෙන යන චිත්‍රපටි දෙකක් වෙන්න පුලුවන්.

හැම දෙයක්ම ක්‍රමිකව විකාශනය වෙන්න ඕනෙ. එහෙම නැතිනම් ඒකෙ අගයක් නෑ. භෞතික විද්‍යා විෂය ගත්තොත් අපි ඔක්කොම දොහොත් මුදුන් දීල වන්දනා කරන අයිසැක් නිව්ටන්ට තමන්ගෙ ජනප්‍රිය නිව්ටන් නියම තුන ඉදිරිපත් කරන්න ලැබෙන්නෙ නැහැ ඇරිස්ටෝටල්ගෙ ඉඳල ගැලීලියෝගෙ මතවාද පර්යේෂණ ඉදිරිපත් නොවුනානම්. හැම දෙයක්ම ක්‍රමිකව විකාශනය වෙන්න ‍ඕනෙ. බොහෝ දෙනා මියගිහින් පළවෙනි ලෝක යුද්ධය නිමාවෙලා දෙවෙනි ලෝක යුද්ධයක් ඇති වෙන්නත්, ඊළඟට සීතල යුද්ධයක් ඇතිවෙන්නත්, එයට උපකාරයක් වෙන්න අන්තර්ජාලය නිර්මාණය වීමත් ක්‍රමිකව විකාශනය වුන දෙයක්. අන්තර්ජාලය නැතිනම්, මෙතන ඔබත් නෑ මමත් නෑ.

දහස් ගණනින් මියයාම හෝ මරණයට පත් කිරීම සාධාරණීකරණය කරා නොවෙයි. මම කිව්වෙ ‍මේ ලෝකයේ හැටි. හැමදෙයක්ම සාධාරණත්වයක් නෑ. ඒත් මිනිස්සු ජීවත්වෙනව, මැරෙනවා. සංසාර චක්‍රය කියන්නෙ ඒකයි.

ලංකාව ඒ අතින් පුදුම රටක්. ලංකාව කවදාවත් ක්‍රමිකව දියුණුවට පත් වුන රටක් ‍නෙවෙයි කියලයි හිතෙන්නෙ. ගණිතයට අනුව හැමදෙයකම කිසියම් රටාවක් (pattern එකක්) තියෙනව. ගණිතඥයෝ ගණිතය සම්බන්ධ රටා හොයද්දි, සමාජ විද්‍යාඥයෝ තවත් රටා හොයන රාජකාරි වල. ගල් යුග, වැඩවසම් යුග, කාර්මික විප්ලව යුග පහු කරගෙන අපි නූතන යුගයට ඇවිත්. ලංකාව අපි අත්දකින සිතුම් පැතුම් වෙනත් රටවල‍ට සාපේක්ෂව බොහෝ යල්පැන ගිය දේවල්. ඒකනෙ ලංකාව තවම ඉන්නෙ වික්ටෝරියානු යුගයෙ කියන්නෙ.

අපි මේ ජීවත්වෙන්නෙ පුදුමාකාර යුගයක. ආණ්ඩුවෙන් මොනවහරි කරාද, ඒකට විපක්ෂයෙන් විරුද්ධ වෙනව. එහෙම නැතුව ඒක විපක්ෂයක් නොවෙයි නෙ. ඒ වුනාට දැන් විපක්ෂයක් නැති ගානයි. හිතන්න. ලංකාව එහෙන් මෙහෙන් දියුණු වෙනව. වරායවල් හැදෙනව, අධිවේගී මාර්ග හැදෙනව, ගුවන් පාලම් හැදෙනව, අසබ්‍ය වෙබ් අඩවි තහනම් වෙනව, පෞද්ගලික විශ්ව විද්‍යාල පටන්ගන්නව, ෆේස්බුක් නිසා කෙල්ලො අනාථ වෙනව, මොබයිල් ෆෝන් නිසා ගෑනු ළමයි සියදිවි නසාගන්නව, ළමා අපචාර වැඩිවෙනව, සිරා නාට්‍ය වේදිකාගත වෙනව (උදා: කලම්බො ‍කලම්බෝ), පරණ නාට්‍ය අලුත් වෙලා එනව (උදා: ඒකාඅධිපති), ඉන්දියාවෙ චිත්‍රපටි ගෙඩි පිටින් කොපි කරල නිෂ්පාදනය කරනව (උදා: සුවඳ දැනුනා ජීවිතේ), ගස් බැදීමේ ‍වීදි නාට්‍ය සංදර්ශනය කරනව

ඉස්සර වුනේ බෝම්බ පිපිරුන එක විතරයි. (ඒකත් කිව්වෙ සාපේක්ෂව)

ඉස්සල්ල කියපු ලැයිස්තුවට අලුතෙන් යමක් එකතුවෙන්න ඕනෙ. ඒ අලුතෙන් “සිරා” චිත්‍රපටි නිෂ්පාදනය වෙන එක.

සිරා කිව්වෙ සාපේක්ෂව. බඹර වලල්ල චිත්‍රපටිය වටේට සෑහෙන්න ප්‍රතිචාර. තැන තැන සම්මන්ත්‍රණ. ඒ විතරක් නොවෙයි, අන්තර්ජාලයෙත් සෑහෙන්න කතා වෙනව. බඹර වලල්ල චිත්‍රපටිය ගැන මට කියන්න තියෙන්නෙ බොහොම ටිකයි. චිත්‍රපටිය හොඳ වුනත් ප්‍රචාරණය කෙරෙන තරමට චිත්‍රපටිය හොඳ නම් නැහැ. කො‍හොම නමුත් චිත්‍රපටිය හරිම තාත්විකයි. Realistic!

ඊළඟ චිත්‍රපටිය ඉර හඳ යට. චිත්‍රපටියේ සිනමාකරණය නම් උපරිමයි. සිංහල චිත්‍රපටි වලට සාපේක්ෂව අති විශිෂ්ඨයි! ඒත් දෙබස්. අහෝ! මං හිතන්නෙ දෙබස් ලියල තියෙන්නෙ ප්‍රබුද්ධ ලේඛකයෙක්. චිත්‍රපටිය බලන්න. බො‍හෝ තැන් වල කතා කරන්නෙ ලියන භාෂාවෙන්. එතකොට චිත්‍රපටියෙ තියෙන බොහොම සංවේදී තැන් වල ඒ හැඟීම දැනෙන්නෙ නෑ. මට හිනා වෙන්නත් වුනා එයාල අඬන තැන් වල. දෙබස් වලට ලකුණු බින්දුවක් දෙන්නවත් වටින්නෙ නැහැ. ඒත් කතාව, චිත්‍රපටියෙ බෙනට් රත්නායක සිංහල සිනමාව වෙනුවෙන් කරල තියෙන අලුත් පර්යේෂණ බොහොම වැදගත්. ඒ පර්යේෂණ බඹර වළල්ලට වඩා මේ චිත්‍රපටිය (ඉර හඳ යට) නිසා සිංහල සිනමාවට විශේෂ සේවාවක් වෙයි.

චිත්‍රපටි දෙකට ලකුණු දෙන්න කිව්වොත් සමස්තයක් විදිහට අරගෙන මගෙන් බඹර වළල්ලට දහයෙන් හයකුත්, ඉර හඳ යට චිත්‍රපටියට දහයෙන් පහයි දශම පහකුත් දෙන්න පුලුවනි.

ඉඩ තියෙන වෙලාවක චිත්‍රපටි දෙක බලන්න යන්න. වියදම් කරන මුදල නම් නාස්තියක් වෙන්නෙ නෑ සිකුරුයි!

මේ තියෙන්නෙ තවත් අනාගත බලාපොරොත්තු තියාගන්න පුළුවන් චිත්‍රපටි දෙකක්. එකක් නිනෝ ලයිව්. අනිත් එක  “How I wonder what you are”. මේ චිත්‍රපටි ‍දෙකේම පූර්ව ප්‍රචාරක පට මේකට එකතු කරන්නම්. ඒත් එක්කම තව දෙයක් කියන්න ඕනෙ. මේ චිත්‍රපටි අතරට කඩාගෙන පනින සුපර් සික්ස් චිත්‍රපටිය Total Disaster එකක් වෙයි කියල අනාවැකි කියන්න පුලුවන්. ඒ වගේ චිත්‍රපටි දැන් Out of Fashion. නිනෝ ලයිව් චිත්‍රපටියේ තාක්ෂණය පර්යේෂණාත්මක අත්දැකීමක් වෙයි. ඒ ඇරෙන්න ආරන්චි විදිහට නියෝ ලයිව් කියන්නෙ The Truman Show චිත්‍රපටියේ කොපියක්! කොහොම නමුත්, හිතපු ඉක්මනින් විදූ චිත්‍රපටිය සිනමා ශාලා වෙත නිකුත් නොවීම නම් දුකට කාරණයක්.

How I Wander What You Are

[youtube=http://www.youtube.com/watch?v=YNkH-vMWjLs]

Nino Live

[youtube=http://www.youtube.com/watch?v=tqdP7lgJDL0]

Super Six (The Total Disaster)


මට ජීවිතේ ගැන ගොඩක් දේවල් ලියන්න තියෙනව. ඒත් ලියන්න හිතෙන්නෙ නෑ. වෙනද වගේ නෙවෙයි. දැන් ජීවිතේ හරි සංකීර්ණයි. ඒ ඇති දැනට. 🙂

Categories
නිර්මාණ විකාර හිනා

විකාර

ඔව්… මේ දවස්වල විකාරයි තමයි. ඔන්න ඔහේ බකන් නිලාගෙන ඉඳිද්දී නිදාගන්න යන්න ඕනෙයි කියලා නිකම් පුරුද්දට වගේ ලියැවුනා Facebook එකේ තවත් විකාර status message එකක්. ඒ මොකක්ද ඒ? මේ… තියෙන්නේ ඒක.

අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා හරිහම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් කොස් කොටන්න දාලා යුද්දෙට නැති කඩුව උනු හින්දා බොන්න බැරි නිසා බලල්ලු ලවා කොස්සැට බෑව්වා…

කිසිම තේරුමක් නෑ… හරියට නිකම් රම්බරී සින්දුව වගේ නේ… 😉

ඉතින් ඕක ඔළුවේ තියාගෙන නිදාගන්න යනකොට ඇඳ ළඟ තියෙන මේසෙ උඩ ගණං හදන්න කටු කොලයක් විදිහට ගත්තු Tuition ක‍ඩ ගැන තියෙන කොලේක තව තව එව්වා ලියන්න හිතු‍නේ නිකමට…

යුද්දෙට නැති කඩුව කොස් කොටන්න අරගෙන වඳින්න ගිය දේවාලේ ඉහේ කඩාගෙන වැටුනාම කටුස්සාගේ කරේ රත්තරන් බැඳලා දවල් වැටුන වලේ රෑ වැටිලා කබරගොයා තලගොයා කරගෙන ඌරෝ කැකුන තලන්න ගත්තා…

විකාරයි වගේ නේ… මෙන්න නිකම්ම ලියැවෙන්න ගත්තා… තව එකක්! 😮

අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා බෝක්කුවක් උඩ ඉන්නකොට දුන්න දුනුගමුවේ ඊතල කිතලගමුවේ කියාගෙන ආපු මනුස්සයෙක් රම්බරී කියපං උඹේ නොම්‍බරේ කියලා පාරේ යන ගෑනු ළමයෙක්ට කෝචොක් පාරක් දැම්මා…

මෙලෝ තේරුමක් නෑ… ඒත් පොඩියක් ගතියක් තියෙනවානේ…

පිටුවේ ගණං හදලත් තිබ්බ නිසා… ඒ පිටුව ඉවරයි. ආපහු පොඩ්ඩක් කැරකිලා ඇවිල්ලා වාඩි වුනාමයි දැක්කේ තවත් කොල කෑල්ලක්…

නිකන් තියෙන කොලේ මෙන්න මේකත් ලියවුනා…

මල් පිට මල් වැටෙන දිගු මාවතේ වාහනේ එළවාගෙන යනකොට දිය මත පිය තබමින් හිනැහෙන නුඹ දැකපු මගේ සුක්කානම හුරු දෑතට දහ අට වංගුව මතක් වෙලා වගේ, ගාල කඩාගත්ත හරකා වගේ වාහන් එළවලා දඩයක් කන්න වුනා…

අන්න ඒකේ නම් යම්කිසි තේරුමක් තියෙනවා නේ… ඔළුවට ආපු ගී පද දෙකක් එකතු කරලයි ඒක නම් ලියැවුනේ. ඒ… අමල් පෙරේරා කියන ගායකයා‍ කියන “මල් පිට මල්” සින්දුවයි, “එක හිත නැති උඹේ හිතත් දහඅට වංගුව වාගේ” (මේකේ ගායකයා නම් මතකෙට එන්නේ නෑ 🙁 ) කියන සින්දු දෙකේ පද ඇරගෙනයි…

මෙන්න තව එකක්… ඒකෙ‍ත් ඉතින් ඒ හැටි තේරුමක් නෑ හැබැයි… කො‍හොම නමුත් හොඳ ‍හොඳ තේරුම් තියෙන ඒවා පස්සේ පස්සේ ලියැවෙන්න ගත්තා… ඔහොම ඉස්සරහට කියවාගෙන යන්නකෝ…

නිකන් දෙන අස්සයාගේ දත් ගනින්න එපා කිව්වාම උගේ වයස දැනගන්න දත් ගනින්න කට ඇරියාම ඌ හිනාවෙලා මට අනිත් පැත්ත හැරිලා පයින් දෙකක් දුන්නාම ආලෝක වර්ෂ ගානක් එහාට පෙනිච්ච තරු ඔළුව වටේ කැරකැවෙන්න පටන්ගත්තා…

හෙ‍හ්… රෑට ඔළුවට එන විකාර නේ… අප්පා… 😀

මෙන්න සිරාම තේරුමක් තියෙන එකක්. කසුන් කල්හාරගේ “ආදර මල්වල” කියන සින්දුවෙන්… පොඩි උපුටාගැනීමක්…

උදේ පාන්දර ආදර මල්වල පාට හොයන්න ගිහිල්ලා ඇස් නිලංකාර වුනාමයි, කරපු වැරදි තේරුනාමයි මතක් වුනේ අස්සයා පැනලා ගිහාට පස්සේ ඉස්තා‍ලේ වහලා යරියන්නේ නම් නෑ කියලා…

මෙන්න මෙතැනින් පස්සේ තමයි ලියැවුනේ සිරාම ටික. නොකඩවා කියවාගෙන යන්නකෝ එහෙනං… 😉

ගමේ තිබිච්ච අවුරුදු උත්සවේ කොට්ටා පොර ගහන්න ගිහිල්ලා ගමේ ගෑනු ළමයෙක් ඉස්සරහා එක ඇහැක් පියවුනාම කොහෙන්දෝ කඩා පාත් වෙච්චි සද්දන්තයෙක් කොට්ට 4ක් 5ක් සයිස් සද්දන්ත හස්තයෙන් ඔළුවට නෙලනකොටයි මතක් වුනේ තාම තර‍ඟේ පටන් ගත්තේ නෑ කියලා…

සොයන්නාට සම්බවේ කියලා කියාපු නිසා දහ අතේ රට වටේ හොය හොය ඉන්නකොට පිටට තට්ටු කරපු එකෙක් ඇහුවා “මොනවාද හොයන්නේ?” කියලා… එතකොටයි මතක් වුනේ මාත් වැඩකරලා තියෙන්නේ “කළුවා මාරපන් ගියා වගෙයි” කියලා…

අවුරුදු ගානක් කට්ට කාලා ඉගෙනගත්තු දේවල් පේපරේ ලියන්න පැය 5ක් මදි නිසා අවුරුද්දෙන් අවුරුද්දට එක ප්‍රශ්නෙට උත්තරේ ගානේ ලියන ‍මගේ මේ පස් වෙනි අවුරුද්ද…

පවතින ක්‍රමේ ඉඳගෙන පවතින ක්‍රමේට බැන බැන ක්‍රමේ කඩාගෙන බිඳගෙන එන්න දඟලන එවුන් පවතින ක්‍රමේ  විසින්ම තලා පෙලා පොඩිකර දාන අපූරුව…

විද්‍යා‍වේදී එකෙක් කියපු දේ තව එකෙක් බොරු කරලා, ඌ කියපු දේ තව එකෙක් බොරු කරලා මෙහෙම බලාගෙන යනකොට විද්‍යාව කියන්නේ පට්ටපල් බොරු!

මහ නගර සභාවෙන් අවුරුදු ගානකට පස්සේ ඇවිල්ලා කුණු ගොඩ අස් කරනකොටයි තේරුනේ අපි ජීවත් වෙලා ඉන්නේ කුණු ලොරියකය කියලා…

නිවුටෝනියානු යාන්ත්‍රණේ අයින්ස්ටයින් මාමාගේ සාපේක්ෂතාවාදයෙන් ‍බොරු වෙලා යනකොට අපිට තාම උගන්නන්නේ නිවුටෝනියානු යාන්ත්‍රණයමයි. හැබැයි සූත්‍ර වලින් එන උත්තර ආසන්න වශයෙන් සමානයිලු. ඒත් ඉතින් හත්තිලව්වේ අපි ඉගෙනගන්නේ බොරුමනේ…

අයිසෙක් නිව්ට‍න්ගේ ඔළුවට ඇපල් ගෙඩියක් වැටෙන්නේ නැතිව පොල් ගෙඩියක් වැටුනානං අපි මෙච්චර දුක් විඳින්න ඔනේ නෑ කියලා කවුද එකෙක් කියනකොට, එහේ ඒ ‍කාලේ පොල් තියෙන්නේ නැතුව ඇති කියලා ප්‍රති උත්තර දුන්නාට මගේම යටි හිත කියනවා මගේ ඔළුවට පොල් ගෙඩියක් වැටුනානං ලෝකෙම වෙනස් කරන්න තිබුනා කියලා… ඔච්චර පොඩි ඇපල් ගෙඩියක් ඔහොම ඔළුවට වැටිලා ඔච්චර දෙයක් හොයාගත්තානං ඔළුවට ‍හොඳවයින් පොල් පරාලයක්, යගුලියක් හරි තඩි කලු ගලක් හරි වැටුනානං මොනවා කරන්න තිබුනාද කියලා කාටද කියන්න පුලුවන්?

ඇහැට නොපෙනෙන ‍ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ගැන ඉගෙනගෙන හිරෝෂිමාවට බෝම්බ දාලා ලක්ෂ ගණනින් මරණවාට වඩා හොඳ නැද්ද තමුන්ගෙම කියලා කුඹුරක් කොටාගෙන දෙ‍තුන් දෙනෙක් ජීවත් කරන එක?

ධන වාදය, සමාජ වාදය, නාසි වාදය, අර වාදය මේ වාදය ගැන වාද කර කර හිටපු කාලේ වෙන වැඩකට යොදාගන්න පුලුවං වුනානං දහස් ගානක ජීවිත බේරන්න තිබුනා. පරිසර දූෂණේ නැති කරන්න තිබුනා… සැහැල්ලුවෙන් ජීවත් වෙන්න තිබුනා…

හික් හික් තව තව එව්වා ලියැවුනා… ඒවායේ නං කිසි වැදගම්මක් ඇති දේවල් නෙවෙයි… බලන්නකෝ ‍ප්‍රස්ථාව පිරුළු වලින් පටන්ගෙන ඉවරවෙනකොට මොකද වෙලා තියෙන්නේ කියලා… මට නං හොඳටම විකාර! මං යනවා නිදාගන්න 😀 මේවා හීනෙනුත් පෙනෙයිද මන්දා… 😮