උසස් පෙළ කරන්නේ මෙහෙමයි #දීර්ඝසටහනක් 20

පළවෙනි කාරණේ, ජීවිතය විඳින ගමන් උසස් පෙළ කරන්න බෑ. උසස් පෙළ කරන කාලෙ ජීවිතයක් නෑ. තිබිය යුත්තේ උසස් පෙළ විතරයි.

එහෙම තමයි හැම ගුරුවරයෙක්ම උසස් පෙළ උගන්වන්න පටන්ගන්නේ. හැම දෙනාම උසස් පෙළ පන්ති පටන් අරගෙන අඩුම වශයෙන් මාස තුනක් බොහොම උනන්දුවෙන් වැඩ කරනවා. ඒත් බහුතරයක් වැඩේ අතඇරලා දානවා. සමහර අය හිතාගෙන ඉන්නවා තමන් උසස් පෙළ වැඩ කරමින් ඉන්නවා ය, විභාග ලියන්න පුලුවන් වේවි කියලා. එහෙම බෑ. එහෙම බෑ කියල තේරෙන්නෙ විභාගෙ ලියද්දි. විභාගෙ ලියද්දි හැමෝටම තේරෙන කාරණයක් තියෙනවා…

ඒ තමයි, ප්‍රශ්න ලේසියි… ඉගෙනගත්තානම් හොඳට ලියන්න තිබුනා කියන එක.

ඇත්තටම, ඔය උසස් පෙළ අමාරුයි කියන එක ගොඩක් අය නිදහසට කියන කාරණයක්. ඒකට හේතුව විභාගය නෙවෙයි, තමන් ඒ අවුරුදු කිහිපය ගත කරන විදිහ. සාපේක්ෂව අවුරුදු දෙකක් ඉගෙනගත්ත දේවල් පැය දෙකක්, තුනක්, පහක්, ඇතුළත දී ගොනු කරලා ලියන එක.

සුදාරකට මේ වගේ සටහනක් ලියන්න තියෙන සුදුසුකම් මොනවාද? සුදාරක උසස් පෙළ පළමු උත්සාහය ෆේල්. විෂයයන් තුනම. සාමාන්‍යයෙන් උසස් පෙළට විෂයයන් තුනම ෆේල් වෙනවා කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. පළවෙනිපාරට විභාගෙ ලියන්නේ ගණිත අංශයෙන්. විභාගෙ ලියන මේසෙ ඉස්සරහම තමයි පන්ති කාමරේ ජනේලය තිබුනේ. ඉතින් කුරුල්ලො පියාඹන හැටි, ඉස්කෝලෙ හදල තිබුන කෘතිම ඔසු උයන වගේම උදේට ඉර එලියත් එක්ක වැටෙන ලස්සන මල් වැහි දකින්න පුලුවන් වුනා. මල් වැස්ස නම් මාර ලස්සනයි. ඊට අමතරව, මං රාජකීය විද්‍යාලයට හය වසරේදී ඇතුළත් වුන 6C පන්තියත් තිබුනේ ඉස්සරහින්. තමන් පාසල් ජීවිතය අවසන් කරන තැන සහ පාසල් ජීවිතය ආරම්භ කළ තැන එකට හමුවීම නම් හරිම මායාකාර යථාර්වාදීයි!

සුදාරක උසස් පෙළ ලියන කාලයේ ගෑනු ළමයි (එක්කෙනෙක්ට පස්සෙ එක්කෙනෙක් වශයෙන්) දෙන්නෙක්ට ආදරය කරනවා! ඔය අතරෙ එක එක සංගම් වල වැඩ කරනවා. සමහර වැඩ සාර්ථක වෙනවා, සමහර වැඩ කොට උඩට වැටෙනවා. නාගන්නවා. කවි ලියනවා. බැනුම් අහනවා. ගෙදර එනකොට රෑ 12යි. රස්තියාදු ගහනවා. ආසාවට පාර්ට් ටයිම් ජොබ් කරනවා. අන්තිමේ උසස් පෙළ අතඅරිනවා. ප්‍රතිඵල නැති නිසා කොළඹ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පදනම් පාඨමාලාව කරලා, #BIT උපාධියේ පළමු වසර සම්පූර්ණ කරනවා. ඊට පස්සෙ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (#SLIIT) පූර්ණ කාලීන ශිෂ්‍යයෙක් වශයෙන් උසස් පෙළ ප්‍රතිඵල පෙන්වන පොරොන්දුව මත ඇතුළත් වෙනවා. ඒ පොරොන්දුව මත මේ වෙද්දි මම උසස් පෙළ අවසානයි (එක ප්‍රශ්න පත්‍රයක් ඉතිරි වෙලා තියෙනවා). ඒ අතර උපාධියේ පළමු වසර අවසන් අර්ධය සම්පූර්ණ කරමින් සිටිනවා.

අපි හිතමු… කන්දක් තියෙනවා කවුරුත් නගින්න ගියේ නැති. අන්තිමට කවුරුහරි මුලින් මේ කන්ද නැගලා ඉහළටම ගිහින් ඇවිත් කන්ද පහළ තියෙන පුවරුවක කන්ද නගින හැටි ලියනවා, තව කෙනෙක් ඒක අනුගමනය කරමින් කන්ද නගින අතරේ තමන් විසින්ම හොයාගන්න කෙටි මං ගැන නැවත පහළට ඇවිත් අර පුවරුවේ සමහර සටහන් මකලා සංශෝධනය කරනවා. මේකත් ඒ වගේ වැඩක්. 🙂

1. උසස් පෙළ හැර අනෙක් සියලු වැඩ

උසස් පෙළ කාලේ ආලේ ගැන පසුව කතා කරමු. මේ කතාරන්නේ පාසලේ සංගම් වැඩ ගැන. ඔබ උසස් පෙළ විද්‍යා අංශයෙන් පෙනී සිටිනවානම් හොඳම දේ තමයි සංගම් වැඩ අත්හරින එක. එහෙම නැතිනම් මූන පෙන්නලා ෂේප් න්‍යාය දාන එක. පාසල් සංගම් වල වැඩ කරන එකෙන් මොනවද වෙන සෙතේ?

  • මිනිස්සු එක්ක වැඩ කරන හැටි / මිනිස්සු ගැන ඉගෙනගන්න පුලුවන්
  • වැඩ වලින් ලැබෙන ආත්ම තෘප්තිය
  • ඒ ඒ අදාළ ව්‍යාපෘති සඳහා ඇසුරු කරන්න ලැබෙන පාඨ ග්‍රන්ථ / සංදේශ / රූපණ / පුද්ගලයින් / ආයතන තුළින් ලැබෙන අත්දැකීම් හරහා උසස් පෙළට නොවැදගත් නමුත්, නොවිධිමත් අධ්‍යාපනයක් ලබාගන්න පුලුවන්.

ඒත්, කණගාටුවට කාරණය ඒ දේවල් වලට වඩා උසස් පෙළ විභාගය වැදගත්. හැබැයි ඔබ කලා විෂයන් හදාරන ශිෂ්‍යයෙක්නම්, ඔබ වැඩිපුර පාසල් සංගම් සමඟ හෝ ආයතන සමඟ සම්බන්ද වෙලා සිටින කාලය තුළ එකතු කරගන්නා අත්දැකීම් උසස් පෙළ විභාගයට බොහොම වැදගත්.

ඉතින් තරමක් ආත්මාර්ථකාමී වීම, බැහැ කීම මේ කාලයේ නරක දෙයක් නෙවෙයි.

2. උසස් පෙළ පන්ති සහ පාසල

ප්‍රසිද්ධ පන්ති තෝරාගැනීම හැකි තරම් අඩුකරන්න. මොකද ඇත්තටම සමහර පන්ති නිවාඩු කාල වලදී උදේ අටේ ඉඳලා හවස හයාමාරවත් වෙනකන් තියෙනවා. ඉතින් ළමයි හැම දෙනාම එක වගේ නැති නිසා ගුරුවරයා බොහොම දරදඬු උපක්‍රම වලින් ශිෂ්‍යයාව පාලනය කරලා තියාගන්න එයාගේ පෞරුෂය පාවිච්චි කරනවා. ඈනුම් අරින්න බැහැ, ළඟ කෙනා එක්ක කතා කරන්න එපා, නිදාගන්න එපා වගේ දේවල් වලින්. නිදාගෙන අහුවුනොත් ඉස්සරහට ගෙනැවිත් දෙනෝදාහක් ඉදිරියේ “බයිට්” කරන නිසා, ළමයි මේ දේවල් කරන්නත් බයයි. මේකෙන් ඇත්තටම තමන්ගේ සිතීමේ නිදහස සීමා වෙනවා. විවිධ වර්ගයේ ගැටලු වලට එකම ක්‍රමය ආදේශ කරන්න පුරුදු වෙනවා. මේකෙන් ඇතිවන ආතතිය නිසා ගෙදර ගිහින් වැඩ කරන්න පෙළඹෙන්නෙත් නැහැ. ඒ වගේම වඩාත්ම භයානක දේ, තමන් පැය සෑහෙන්න ප්‍රමාණයක් පන්තියේ හිටියා කියල හිතන නිසා ඒකෙන් තමුන් සෑහෙන්න දේවල් ඉගෙනගත්තා, ඒක ඇති කියල හිතන එක. මනසට සහනයක් දෙන්න අර ඉගෙනගත්ත කාලයට වඩා සෑහෙන්න කාලයක් වැය කරන්න ඒකෙන් පුරුදු වෙනව.

ඒක නිසා ගෙදරට ළඟ, අඩු ප්‍රමාණයක් ඉන්න, තරමක් ප්‍රසිද්ධ නැති පන්ති තෝරාගන්න. මේ වගේ පන්තියකදී තමන්ට කම්මැලි වුනාම අඩුම තරමේ මුහුන හෝදාගෙන එන්නවත් පුලුවන්. ගුරුවරයා ඔබ කොතරම් අදක්ෂ වුනත් ඔබට හිතවත් යැයි හැ‍ඟෙනවා. ඒක සෑහෙන්න හිතට නිදහසක්.

පාසල් වේලාව මඟ අරින්න එපා. මේ කාලය ආයෙ එන්නෙ නෑ. ඔබේ උසස් පෙළ කාලයේ යාලුවන් ඔබේ ජීවිත කාලයටම මතක හිටීවි. පන්තියේදිත් ඉන් එළියෙත් ඇති තරම් විනෝද වෙන්න, වලි වලට යන්න “හිතෙනවානම්” යන්න! පාසලේ විශ්වාස කරන්න පුලුවන් ගුරුවරුන්ගෙන් පුලුවන් තරම් ඉගෙනගන්න.

3. මානසික පීඩන තත්ව – ගෙදරට කියන්න බැරි ප්‍රශ්න

ගැහැනු ළමයින්ටනම් ඇත්තටම මේ වයස වෙද්දි සම වයසේ පිරිමි ළමයින්ගෙන් සෑහෙන්න බලපෑම් එනවා. ඒක ඇත්තටම සෑහෙන්න ලොකු සමාජ අර්බුදයක් බවට පත් වෙලා ඉවරයි. අපිට මේ මොහොතේ සමාජය එකපාරටම හදන්න අපහසු නිසා, අපි හොඳ මානසික තත්වයක් සහ පෞරුෂයක් ගොඩ නගාගන්න වෙනවා. සමහරවිට තමන් කැමතියි කියපු ගෑනු ළමයා බෑ කියන්න පුලුවන්, එහෙම නැතිනම් තමන්ට ආදරෙයි කියපු ගෑනු ළමයා තමන්ගෙන් වෙන් වෙලා ටික දවසකින් වෙන කෙනෙක් අතින් අල්ලගෙන පුස්තකාලයට යනවා ඇහැටම දකින්න ලැබෙන්න පුලුවන්! මේ වගේ ගැටලු නිසා ගොඩක් දෙනෙක් මාස ගණන්, අවුරුදු ගණන් කාලය නාස්ති කරනවා.

පළවෙනි කාරණය: ඔබ තනිවෙලා නෑ! මේ සිදුවීම් වලට මුහුනදෙන පළමු හෝ අවසාන කෙනා ඔබ නෙවෙයි. ඒ සමහරවිට තමන් soul mate කියලා හිතන කෙනා වෙන්න පුලුවන්. ඒත්, උසස් පෙළ විභාගය අත්හරින්න එපා. ඔබට අපහසුනම්, ඔව්… උසස් පෙළ අත්හරින්න. තමන් නැවත යථා තත්වයට එනකන් උසස් පෙළ අත්හරින්න . මෙතැනදී තමයි, මම මුලින් කී යාලුවෝ උදව්වට උන්නේ.

“මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පැවතී බිතු සිවම් රූ මෙනි පිටු නොපාවිතී” කියන්නේ කට කහනවට නොවෙයි. මේ වගේ දේවල් වලට මුහුන දෙන්න නම් හොඳ පෞරුෂයක් හදාගන්න ඕනේ. මෙහෙම දෙයක් වුනාම හිත හදාගන්න අපහසු නිසා, ඒ වගේ දෙයක් වෙන්න කලින් වලක්වාගන්න උත්සාහ කරමු. ඒ ගැන තමයි අපි ඊළඟට කතා කරන්නේ….

4. උසස් පෙළ ආදර කතා

උසස් පෙළ කාලයේ අලුත් ආදරයක පැටලෙන්න හිතන්න එපා. කාලය ගන්න. හොඳ මිතුරන් වෙන්න. ඒත්, ආදරය කරන්න නම් එපා! ඒත්, ඔබ දැනටමත් ආදර සම්බන්ධතාවක ඉන්නවානම්, උසස් පෙළ නිසාම ඒකෙන් අයින් වෙන එකත් නුවණට හුරු දෙයක් නොවේ.

ආදර සම්බන්ධතාවක් නැතිනම් ඔබ නිදහස්. මීට කලින් ආදර සම්බන්ධතාවක ඉඳලත් නැතිනම්, ආදර සම්බන්ධතාවක් නොමැති වීම පිළිබඳ එතරම් අමුත්තක් දැනෙන්නෙත් නෑ. ඒක නිසා ඒ තත්වය දිගටම තියාගන්න.

ආදරය සම්බන්ධයක් කලින් තිබිලා මේ වෙනකොට නැතිනම් ඔබ කිසියම් පීඩනයක ඉන්නවා වගේ දැනෙන්න පුලුවන්. හොඳම දේ මිතුරන් සමඟ හැකිතරම් වේලා ගත කිරීම, ඉගෙනීමට අවධානය යොමු කිරීම. හිත ගිය කෙනෙක් ඉන්නවානම් ආදර සම්බන්ධයක් දක්වා දුර යෑම නම් නුවණට හුරු දෙයක් නොවෙයි. ඇය/ඔහු සමඟ මිතුරුකම මිසක් (Friendzone!) ඊට වඩා දුර යන්න එපා. ඒත්… හැඟීම් කියන දේ සමහර වෙලාවට ඉස්සරහට එනවා… ඒක හරි සංකීර්ණ තත්වයක්. එහෙනම් හැඟීම් පාලනයත් අවශ්‍යයි කියලා තේරුම්ගන්න පුලුවන් නේද?

ඔබ ආදර සම්බන්ධතාවක ඉන්නවානම්, උසස් පෙළ ඔබගේ ආදර සම්බන්ධතාවට බාධාවක් යැයි සිතන්න එපා. මම නැවත කියනවා, “සිතන්න එපා!” එහෙම හිතුවාම ඔබට නැති ප්‍රශ්න පේන්න ගන්නවා, අන්තිමට… ආදර සම්බන්ධතාව වදයක්ම වෙනවා. මේ තත්වය ඔබට විතරක් නෙවෙයි සහකරු/සහකාරියටත් සෑහෙන්න ගැටලු ඇතිකරවනවා. අනවශ්‍ය ගැටුම් නිසා අනවශ්‍ය හිත් රිදවීම් ඇතිවෙනවා. සමහර වෙලාවට තමන්ටම හෝ අනෙකාට රිදවන්න උත්සාහ ගන්නවා. ඉතින් අන්තිමේ උසස් පෙළත් නැහැ. ආදරයත් නැහැ. උසස් පෙළත් එක්කම ආදරය ගෙනයමින් සාර්ථක වූ බොහොම සුලු ප්‍රමාණයයි ඉන්නේ. සියයට දශම පහක් වගේ. 0.5% ඉතින් ඒ අතළොස්ස අතරට යන සොඳුරු යුවල ඔබද, නැතිනම් සියල්ලම නැතිකරගත් පුද්ගලයා ඔබද පිළිබඳ තීරණය කිරීම ඔබේ අතේ.

ප්‍රධාන කරුණු කතා කරලා ඉවරයි.

ඉගෙනගන්න තමන්ගෙම ක්‍රම පාවිච්චි කරන්න. දැනටමත් ඔබ සාමාන්‍ය පෙළ වෙනකන් ඉගෙනගෙන අවසන් නිසා ඔබට ඔබගේ ඉගෙනුම් හැකියාවන් ගැන තේරෙනවා ඇති. හැබැයි සාමාන්‍ය පෙළ වගේ කලින්දා රෑ පාඩම් කරලා හොඳ ප්‍රතිඵල උසස් පෙළදී බලාපොරොත්තු වෙන බෑ. මේ විභාග දෙක සහමුලින්ම වෙනස්. මමම උදාහරණයක් අරගෙන පෙන්වන්නද? මට සාමාන්‍ය පෙළට A8යි B 1යි. ඒත් පළමු උසස් පෙළ පෙනී සිටීම සියලු විෂයයන් අසමත්!

ඔබ මත්පැන් පානය කරනවාද? මට ඒ ගැන පැහැදිලි උපදෙසක් දෙන්න බැරි, මම උසස් පෙළ ලියන වයසේදී මත්පැන් සමඟ කිසිදු ආකාරයක සම්බන්ධයක් නොතිබුන නිසා. නමුත් මම හිතනවා මත්පැන් පානය සහ සිගරට් පානය කරනා අය ඒ සඳහා දරුණු ඇබ්බැහියකින් තොර ස්වයං පාලනයක් තියෙනවානම් එතරම් ගැටලුවක් නැහැ. මේ කියන ස්වයං පාලනය ඔබට තියෙනවා කියල ඔබ හිතාගත්තාට, ඇත්තටම වෙන කෙනෙක්ට ඒක ඇබ්බැහියක් වගේ පේනවානම්, වහාව වෛද්‍ය උපදෙස් ලබාගන්න. ඒ අය මේ වගේ වෙලාවකදී සෑහෙන්න උදව් කරනවා. ඒත් කොහොමටවත් ජෙල් පැකට් විකන්න, සිරප් බොන්න, ටැබ්ලට් ගහන්න වගේ ආතල් ගන්නනම් තියාගන්න එපා.

මම මෙතැන ඉන්නේ මගේ දෙමව්පියන් නිසා. ඔවුන්ට ඒ හැටි නොවුනත්, මාව #SLIIT (ස්ලිට් එක වෙනත් උසස් අධ්‍යාපන ආයතන වලට වඩා ගෙවිය යුතු මිලට සාපේක්ෂව සෑහෙන්න දේවල් ලබාගතහැකි තැනක්. මුදල් ගෙවා හෝ නෙගෙවා කිසියම්ම හෝ ඉගෙනගන්නා තැනකට යනවානම්, එතැනින් උපරිම ප්‍රයෝජන ගැනීම සම්පූර්ණ ඔබේ වගකීමක්) එකට යවන්න ඔවුන්ගෙ රජයෙ රැකියාව නිසා හැකියාව තිබුනා. නමුත් මම තවම රජයේ විශ්ව විද්‍යාලයකට යන්න නොලැබීම පිළිබඳ සිතේ යම් දුකක් තියෙනවා. මේක කිව්වෙ මගේ දෙමව්පියන්ට සල්ලි තියෙනවා ය කියන්න නොවේ. සමහර විට ඔබේ පවුලේ තවත් සහෝදර සහෝදරියන් ඉන්නවා වෙන්න පුලුවන්. එහෙම වෙලාවේදී වඩා වගකීම් සහගතව වැඩකරන්න වෙනවා. උසස් පෙළම නෙවෙයි ජීවිතය. උදාහරණයක් විදිහට ඔබට උසස් පෙළ නොමැති වුනත් දැන් සහනාදායී මිලකට BIT වැනි පිළිගත් උපාධි හැදෑරීමට අවස්ථාව තියෙනවා. එහෙම නොමැතිවුනත් ස්ව අධ්‍යයනයෙන් උසස් පෙළ සමත් හෝ උපාධිධාරීන්ට හෝ වඩා ඉහළ තැනකට ගිය අය ඕනෑ තරම් මා දැක තිබෙනවා. ඒ තමුන්ගේ හැකියාව මත. මේ හැමදේම තීන්දු වෙන්නේ ඔබ විසින් ගන්නා තීන්දු මත. කොහොමනමුත් මට අවශ්‍යවුනේ උසස් පෙළ කළ යුතුයැයි සිතා සිටිනා අයට කිසියම් දෙයක් ලිවීම.

ඉතින් ඔබට ජය!

20 thoughts on “උසස් පෙළ කරන්නේ මෙහෙමයි #දීර්ඝසටහනක්

  1. Reply [email protected] Aug 28,2013 9:03 pm

    “අන්තිමට කවුරුහරි මුලින් මේ කන්ද නැගලා ඉහළටම ගිහින් ඇවිත් කන්ද පහළ තියෙන පුවරුවක කන්ද නගින හැටි ලියනවා”
    ජීවිතේ මුහුන දීපු ගොඩක් දේවල් ගැන මෙහෙම කන්ද පහලට ආපහු ඇවිත් ඊලඟට ඒක නගින්න ඉන්න කෙනාට උපදෙස් ටිකක් ලියල තියන්න ඕන කියල හිතුනු වාර අනන්තයි. ඒත් අර කියපු කන්ද මුදුනට නැගලා වටපිට බලද්දි ඊලඟට තියන ඊටත් වඩා උස කන්ද දැක්කම ඒ ‘උතුම්’ චේතනාව දියවෙලා යනවා.

    ප්‍රොජෙක්ට් එකේ දාහක් වැඩ මැද්දෙ වුනත් කියවන්න වටිනව කියල හිතුනු නිසා ඔක්කොම කියෙව්වා. මතු පරපුරට උපදෙස් දෙනව කියන එක බෝම පරිස්සමෙන් කරන්ටෝන වැඩක්. එකක් දෙකක් කරුනු ගැන පුද්ගලිකව එකඟ වෙන්න බැරිකමක් තිබුනත් මෝඩයෙක් නෙමෙයි නං කෙනෙක් කියවල නොමග යන මට්ටමේ දේවල් නෑ. 😀
    ඇත්තටම කිව්වොත් සමාන අත්දැකීමක් තියන නිසා කියන්න පුලුවන් මේ කියාපු බොහොමයක් දේවල් 100%ක් ඇත්ත!

    🙂

    AL රිසල්ට්ස් ආපු දවසෙ මං ලියපු පම්පෝරිය…

    http://amuthusena.wordpress.com/2011/12/25/27/

  2. Reply Nandasiri Wanninayaka Aug 28,2013 9:49 pm

    මම හිතුවේ ඔබ මහා ඉහළින් උසස් පෙළ සමත්වෙයි කියලා. මම ඔය කියපු ප්‍රශ්න ඔක්කොම වගේ දෑ ගත්ත නිසා අඩුම තරමින් උසස් පෙළ ලියන්නවත් යන්න බැරි උණා. මම කළේ ජීව විද්‍යා විෂයයන්. කොහොම හරි පස්සේ කාලෙක සාමාන්‍ය පෙළ ලියලා හරියටම අවුරුදු 10කට පස්සේ කලා අංශයෙන් උසස් පෙළ ලියලා සමත් වුණා. එත් විශ්ව විද්‍යාලයකට යන්න බැරිවුණ එක ගැන අදටත් දුක් වෙනවා.

  3. Reply Sameera Shaakunthala Aug 28,2013 9:58 pm

    // සාමාන්‍ය පෙළ වගේ කලින්දා රෑ පාඩම් කරලා හොඳ ප්‍රතිඵල උසස් පෙළදී බලාපොරොත්තු වෙන බෑ. මේ විභාග දෙක සහමුලින්ම වෙනස්. මමම උදාහරණයක් අරගෙන පෙන්වන්නද? මට සාමාන්‍ය පෙළට A8යි B 1යි. ඒත් පළමු උසස් පෙළ පෙනී සිටීම සියලු විෂයයන් අසමත්!

    Bloom’s Taxonomy of Learning Domains ගැන අසා තිබේද?
    [ http://www.nwlink.com/~donclark/hrd/bloom.html ]

    O/L = Knowledge & Comprehension
    A/L = Comprehension & Application

    ඔන්න ඕක තමා වෙනස.

  4. Reply arunasir Aug 28,2013 11:13 pm

    මම උසස් පෙ ල කරපු කාලේ සතියකට දවස් 4ක් ඉස්කෝලේ ගියා. හැමදාම රෑට හොටෙල් එකක කිචන් එකේ පිඟන් හේදුවා. රෑ ගෙදර යද්දී හැමදාම 12 , 1 වෙලා. නංගී ඇහැරවලා පාඩම් කරන්න දාල මං නිදා ගන්නවා. සති අන්තේ දවස් දෙකේම උදේ ඉඳං හවස 6 වෙනකං පංති. මං දුර්වලයි. යාන්ත්‍ර විද්‍යාව ගනං උදේ එලිවෙනකං හැදුවා මුල කාලේ. එදා එදා වැඩ එදා එදාම කරන්න ඕන. අත් දැකීම් තියෙන දක්ෂ ගුරුවරු යටතේ පාස් පේපර් විස්සක් විතර එක විෂයකිං විභාගෙට කලිං ඔරලෝසුව තියං ලියන්න ඕන.එච්චරයි. අවසානෙට වෛද්‍ය හීනේ නැති උනත් විද්‍යාපීඨය හරි ඉතුරු උනා. මහන්සි වෙලා මං පාඩම් කලා. ඕන කමක් තිබුනා දැවෙන ප්‍රශ්න වලිං ගොඩ යන්න. අද ගොඩ දෙනෙක් ටීවී වල හරසුන් දේවල් බලලා නිදා ගන්නවා ෆන් ගන්නවා. එච්චර තමයි. අවසානේ අපරාදේ සල්ලි.

    ආදරේ වගේ දේවල් අළුත් පරම්පරාවල අයට විහිළුවක් වෙලා.(http://erangapcs.wordpress.com/2013/08/22/%e0%b6%b8%e0%b7%8f-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1/)දෙමාපියන් ළමයි හදන්නේ කුරුඳුවත්තේ නැති සැපට. අවසානයේ සමාජ ගත වෙන්නේ පුස් ඔළු ටිකක්.

    මං ගුරුවරයෙක් වෙලා මගේ ගුරුවරු මට කරපු වැරදි නොකර උගන්නනවා. ඒත් ළමයි යන්නෙම විසූක දස්සන පස්සේ. දේමාපියන්ට පව්. ඒ සල්ලි පව් කියලා මට හිතෙන වාර අනන්තයි.

  5. Reply wathsala Aug 29,2013 12:54 am

    සාකුන්තල එක්ක එකඟයි.මට අදටත් හිතෙන දෙයක් තමා මහන්සි වෙලා පාඩම් කරානම් ලෙහෙසියෙන්ම විභාගය සමත් වෙන්න තිබුනා කියලා. හේතුව ..එදා අපිත් එක්ක හිටි අයගෙන් ඉහළ ලකුණු අරන් විශ්ව විද්‍යාලයට ගියේ ඇත්තටම දක්ෂයින් නෙමෙයි…. ඔය අතරේ අහම්බයෙන් වගේ මාව ත් විශ්ව විද්‍යාලයේ අවසන් අඩියට තේරුනාම මට පුදුමත් හිතුනා.පළමුවෙන්ම තේරුනේ සබරගමුව ව්‍යවහාරික පීඨයට.ඒ වෙන කොට බොහොම අඩු වයසින් රජයේ රැකියාවක් (ලිපිකරු) මට ලැබිල තිබ්බ නිසා මම විශ්ව විද්‍යාලයට යෑම අත්හිටවලා දැම්මා.මට අද වගේ මතකයි මම වැඩ කරපු තැන ආයතනයේ ලොක්කා මට කතා කරල බැනපු හැටි (විශ්ව විද්‍යල ප්‍රෙව්ශයට නොගිය එකට)… ඇස් දෙකේ කඳුළු පුරවන් බ්‍රාන්ච් එකට ආවාත් ආපුහු විශ්ව විද්‍යාලයට යන්න හිතුවෙවත් නැහැ.ඒත් ඉන් සති දෙකකට විතර පස්සෙ රුහුණු විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යා පාඨමාලාවේ පුරප්පාඩු (බෝට්ටු)වකට මට ලියුම් ආවා….

    ආයතන ප්‍රධානියාගේ ආශිර්වාදයෙන් මම නොහිතපු විදිහට විශ්ව විද්‍යාලයට තේරුනේ එහෙමයි.විශ්ව විද්‍යාලය ඇතුලෙත් සුපුන් වගේ බාහිර වැඩ කන්දරාවක් කරපු අය තමයි මම දැකපු යහපත්ම මිනිස්සු.(දේශපාලනය හැර)ඒ අයගෙන් සමහර අය තවමත් උපාධිය සම්පූර්ණ කරල නැහැ.ඒ කියන්නෙ එයාල අදක්ෂයින් නෙමෙයි.විශ්ව විද්‍යාලයේ හිටි හොඳම සාරය…….

    අද මම ගුරුවරියක් හැටියට දරුවන්ගෙන් දකින්නෙ මගෙ පාසල් කාලය.ඔවුන් කිසිම කෙනෙක් අදක්ෂ නැහැ.ඒත් මේ යන රටාවට නතු වෙන්න ඒ ගොඩ දෙනෙක්ට බැහැ.රටාව අල්ල ගත්ත අය ගොඩ යනවා.ඒක එක අතකින් දක්ෂකමක්….. අදටත් මම උපාධියට කරපු කිසි දෙයක් මට මතක නැහැ…. (කෙටි කාලීන මතකය) ගිල්ලා වැමෑරුවා….උරා ගත්ත දෙයක් නෑ….ඒත් ඒ කාල සීමාව තුල උකහාගත්ත දේ බොහෝමයි.

    ප,ලි:- මට අදටත් මතකයි බ්ලොග් සුහද හමුව (දෙක) දි මම යන්න හදන කොට සුපුන් දුවගෙන ඇවිත් මා එක්ක කතා කරා. එකමෙක දවසක් සුපුන්ලගේ ස්කෝල වැඩකට දාපු බ්ලොග් පෝස්ට් එහෙකට මම ලියපු කමෙන් එහෙකට ස්තූති කරා….බොහොම කාර්යක්ෂම කඩිසර පිරිමි ළමයා.ජීවිතය ජයගන්න ඔබට සුබ පතනවා…..

    විභාගය අසමත් වුනොත් එතනින් එහාට මොනා කරන්නද කියලා අතරමන් වෙන අයව බිලිබාගන්න අය බොහෝමයි…ඒ අතරේ ගෙවන මිලට සාධාරණ අධ්‍යාපනයක් ලබා ගන්න පුලුවන් පාඨමාලා වලට දරුවන් යොමු කරන එක වැඩිහිටිකාගෙත් වගකීමක්.විශේෂයෙන් පාසල් අධ්‍යාපනයෙන් පසුව අවශ්‍ය වෙන්නේ වෘත්තීය අධ්‍යාපනයක්…..

    දක්ෂයො හැමෝම විභාග පාස් වෙන්නෑ…. විභාග පාස් වුනු හැමෝම දක්ෂයොත් නෙමෙයි.

  6. Reply ආගන්තුකයා. Aug 29,2013 11:13 am

    පිස්සු බං. ඕනිකම තියෙනවානම් ඔය ඔක්කොම කරලා විභාගෙත් කරන්න පුළුවන්.
    මේවා උඹ කියන්න ඕනි දේවල් නෙමෙයි.
    උඹ මේ කරලා තියෙන්නේ අර ජී එල් පීරිස් නීති පොත් ලියනවා වගේ වැඩක්.. 😛
    කැම්පස් වල ඉස්කෝලවල මානසික රෝගීන් වගේ හිටපු බුවාලත් මේකෙ කමෙන්ට් කරන්න හෝ කරලා තියෙන්න ඉඩ තියෙනවා. මම නම් කියන්නේ විභාගේ තමා අංක එක. ඒක ගොඩදාන්න පුළුවන් උපරිමේ කරන්න ඕනි. බැරිනම් තමා දෙවනි එක.

    • Reply ආගන්තුකයා. Aug 29,2013 11:19 am

      මානසික රෝගී කුලකයට මාවත් ඇතුලත් වෙන්න පුළුවන්. නොවෙන්නත් පුළුවන්. ඒක සාපේක්ෂයි.. හරිද? 

  7. Reply පෙදරේරුවා නොහොත් මේසන්බාස් Aug 29,2013 1:08 pm

    “දක්ෂයො හැමෝම විභාග පාස් වෙන්නෑ…. විභාග පාස් වුනු හැමෝම දක්ෂයොත් නෙමෙයි.“

    මේක ඇත්ත.
    ඒත් උත්සහවන්තයාටත් අනිවාර්ය ඉඩක් තියෙනවා සාර්ථකත්වය ලබන්න.

  8. Reply hare :-) Aug 29,2013 8:17 pm

    ඔයා අහල ඇතිනෙ පාලිත ආරියවංශ කියල පොරක් ගැන. මම හිතන්නෙ ජනමාධ්‍ය පොරක්. අපි ඒලෙ වලට ඉස්කෝලෙ ගිය මුල්ම දවසෙ පොර අපේ ප්‍රින්සිපල්ගෙ ආරාධනයෙන් අපට තිබ්බ මේ උඹ කියපු කතා සියල්ල ඇතුලත් ‍සාරගර්භ දේශණයක්. කෝ අපි ඇහුවද?

  9. Reply Sudham Aug 30,2013 10:57 pm

    ඉතා හොඳ ලිපියක්…

    මේ ලිපිය කියවද්දි මම ඉබේම දැනට අවුරුදු 12-13 කට කලින් උසස් පෙළ කරපු කාලෙට යැවුන. මම ගණිත අංශයෙන් උසස් පෙල කරන්න රාජකීය විද්‍යාලයට ඇතුලත් උනා, අපේ කලෙ තිබුන විදියට ඩී 8ක් අරගෙන. උසස් පෙලට පාඩම් කරන්න ගත්තු අලුත හරිම උනන්දුයි. ගනන් හදන්නේ හොය හොය . ඒත් කාලයක් යද්දි ඒ උනන්දුව අඩු උනා, ඇත්තටම.

    ගොඩක් පෞද්ගලික පන්තිවලින් කෙරෙන දෙයක් තමයි පාසලේ ඉගැන්වීම ගැන විශ්වාසය නැති කරන එක. ඒත් මම පෞද්ගලිකව අත්විඳපු දෙයක් තමයි, පාසලේ ගුරුවරු කොයි තරම් කැපවීමෙන් උගන්නනවද කියන එක. අපිට නිවාඩු කාලවල ඉස්කොලෙට එන්න කියල සමහර විෂය කොටස් ඉගැන්නුවේ, අපෙ පන්තියට උගන්නපු ගුරුතුමියන් තුන් දෙනා. විභාගෙ කිට්ටුවෙද්දි, උදේට ඉස්කොලේ පටන්ගන්න පැයකට කලින් එන්න කියල විභාග ප්‍රශ්න සකච්ඡා කලා. ඒත් අපිට ඒ කාලෙදි එවයේ අගයක් තේරුනේ නෑ. ඉස්කොලෙට හිනා උනු සමහරු, අඩුම ගානේ විෂය නිර්දේශය සම්පූර්ණ කළෙත් නැහැ.

    ටියුෂන් පන්තිවලට යනකොට, රැල්ලට, ප්‍රසිද්ධ පන්ති තොරගත්තේ මම. තේරුමක් තිබුනෙ නෑ, පන්තිවල උගන්නන දෙයින් අපිට ප්‍රයෝජනයක් තියෙනවද කියල. මම සංයුක්ත ගණිතයට ගියපු පන්තියේ “සර්” කලේ, ගණන් හදන විදිය බෝර්ඩ් එකේ ලියපු එක . අපිත් අවුරුදු දෙකක් සෙනසුරදා උදේ වරුව වෙන් කලේ පොත් පිරෙනකල් ඒ උත්තර කොපි කරගන්න එකට…

    ගෑනු ළමයි….  සමහර අයගෙ ජීවිතේ ගමන් කරන්නේ කොයි පැත්තටද කියල තීරණය වෙන සාධකේ වෙන්න පුලුවන් උසස් පෙල කාලේ හිතට රිංගන ගෑනු ළමය. මගේ කතාව ගත්තොත්, මට උසස්පෙල විභාගේ පටන් ගන්න දවස් 40 කට කලින් හොඳ සැර බූට් පාරක් ලැබුනා… විභාගෙ කරන්න හිත හදා ගන්නත් සෑහෙන්න අමාරු උනා. ඒත්, ඒ සිදුවීමෙන් උන බලපෑම ආශිර්වාදයක් උනා කියල හිතෙනව, වැඩිය ප්‍රසිද්ධ නැති උනත් රැකියා අවස්තා අතින් ඉතාමත් ඉහල තත්ත්වෙක තියෙන විශ්වවිද්‍යාල උපාධි පාඨමාලවකට ඇතුලත් වෙන්න.

    උසස් පෙල කාලෙදි කරන බාහිර වැඩවලින් ලැබෙන අත්දැකීම් සහ පුහුණුව, විශ්වවිද්යාලදි වගේම එතනින් එහා ජීවිතේටත් වැදගත්, පහුගිය කාලෙදි තේරුම් ගත්ත විදියට.

    උසස් පෙලින් ජීවිතේ ගමන් කරන මාර්ගය තීරණය වෙනවා තමයි යම් තාක් දුරකට. ඒත්, උසස් පෙල කියන්නේ අවසානයක් නෙවේ. තමන්ට උත්සාහය තියෙනව නම්, ඉගෙන ගෙන ඉහලට යන්න ඕන තරම් අවස්ථා, අද ලංකාවේ තියෙනව, සමාජය ඒවට හරියට හැඩගැහිල නැති උනත්.

    කමෙන්ට් එක ලිපියක් වගේ වෙන්න අවිත්… මෙතනින් නවතින්නම්.

    ජය වේවා…

  10. Reply Sunil Niranjan De Silva Sep 3,2013 2:28 pm

    “මම තවම රජයේ විශ්ව විද්‍යාලයකට යන්න නොලැබීම පිළිබඳ සිතේ යම් දුකක් තියෙනවා.”
    පිස්සුද ?
    මෙහේ “පිස්සු විද්‍යාලයකට ගිහින් ජීවිතේ වනසා ගන්නවට වඩා ඔයා SLIIT එකෙන් හරි ඉගෙන ගත්ත එක ගැන සතුටු වෙන්න.නැත් නම් ඔයාටත් ලිප්ටන් වට රවුමේ බෝඩ් එකක් උස්සගෙන අපිට රැකියා දියව් කිය කියා කෑගහ ගහ ඉන්න තිබුනා.

    • Reply ආගන්තුකයා. Sep 4,2013 4:05 pm

      මෙන්න ඇවිල්ලා. රජයේ විශ්වවිද්‍යාල හම ගහන එකෙක්. අපිත් ඔය කියන රජයේ විශ්වවිද්‍යාලවලට ගියේ. හැබැයි එක දවසක්වත් බෝඩ් උස්සගෙන හිටියේ නෑ..

  11. Reply Thambaru Wijesekara Jan 7,2014 6:43 pm

    // තමන් පැය සෑහෙන්න ප්‍රමාණයක් පන්තියේ හිටියා කියල හිතන නිසා ඒකෙන් තමුන් සෑහෙන්න දේවල් ඉගෙනගත්තා, ඒක ඇති කියල හිතන එක. මනසට සහනයක් දෙන්න අර ඉගෙනගත්ත කාලයට වඩා සෑහෙන්න කාලයක් වැය කරන්න ඒකෙන් පුරුදු වෙනව. //

    සිරා කතාව! ක්ලාස් එකේදි නිදාගෙන ඉඳලා ආවත් ඔහොම හිතෙනවා. අනික වැඩේ කියන්නෙ වැඩිහිටියො උනත් හිතන් ඉන්නෙ ක්ලාස් ගියාම සේරම හරි කියලා. ගෙදර ඉඳන් තමන් වැඩ කළ යුතුයි කියන එක තේරෙන් නැහැ!
    හොඳ පෝස්ට් එකක්.

  12. Reply priya Jan 17,2014 10:58 am

    සුපුන් ගේ අවවාද වල ලොකු සංයමයක් තියනවා. මාත් ඔයිට දසක ගාණකට ඉස්සර ඔය ඉස්කෝලෙටම 6 පන්තියේදි ආවේ. මට ඔයාගේ උසස් පෙල ප්‍රතිඵලයේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලය ලැබුනා. මම හිතන්නේ නෑ මම දක්ශයෙක් කියලා මම කළේ දක්ශයො දිහා බලලා හැදිච්ච එක. ඉස්කෝලේ බිත්ති වල නම් තියලා ගිය හැමෝම මම ආදර්ෂයට ගත්තා.

    එදා මෙදා අපේ ඉස්කෝම ලමයින්ගේ තියන එක ලොකු අඩුවක් තියනවා. ඒ අඩුව තමා ශ්‍රමය අගය නොකිරීම. ඔක්කොම බාහිර වැඩ මදාවි වැඩ ප්‍රේමවන්ත වැඩ කරලා හොඳ ප්‍රතිඵල ගන්න කෙනා අගය කරන එක වරදක් නැති වුනත් පාඩම් විතරක් කරන කෙනාව අගය කරන්නෙ නෑ. මේ හින්දා තමන්ට ඔරොත්තු දෙන්නේ නැති පොරක් වෙන්න ගිහින් ගොඩක් අය ඇනගන්න බව තමයි පේන්නේ.එහෙම පොර වුනා කියලා විභාග ෆේල් වුනාම කවුරුවත් අපිට පිහිට වෙන්නේ නෑ. අද නම් ‘ස්ලිට්’ වගේ තැන්වත් තියනවා. ඒත් එදා ඒවා තිබ්බෙත් නෑ.

    ඒ නිසා අපි කවුද, අපි ට කරන්න පුලුවන් දේවල් මොනවද කියලා දැනගන වැඩ කරන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලනවා. නැත්තම් මැරෙනකම් හීන් දුකක් හිතේ තියේවි. ඒ ලෙවල් වල පොර වෙලා අමුතු මත කිය කිය ඉඳලා අන්තිමට අම්මා තාත්තාගේ සල්ලි වලින්ම නේද ස්ලිට් එකට ගෙවන්නේ ( සුපුන් එහෙම නොවෙන්න පුලුවන් ). ඒ නිසා පොඩි කාලෙ ඉඳන් තමන් තමන්ට වගකියන්න ජීවත් වෙනවනම් මේ පසුතැවිල්ල අපෙන් ඈත් වෙයි.

  13. Reply [email protected] Feb 14,2014 7:43 pm

    උසස්පෙළ පෞද්ගලිකව ලියන්නේ කොහොමද කියන්නකෝ

  14. Reply avindu viduranga May 28,2015 9:40 am

    nice article

  15. Reply Suranjith Jan 16,2016 8:46 pm

    උසස් පෙලට ජීව විද්‍යාව,ICT හා කෘෂි විද්‍යාව කරන්න පුලුවන්ද?

  16. Reply Imasha Umayangi Perera Nov 17,2016 11:54 pm

    Really found some interesting good articles here. This is one of the best. And would like to add,
    “උසස් පෙළ කඩයිම ජය ගැනීමෙන් පමණක්ම කෙනෙකු දක්ෂයෙකු වන්නේද අසමත් වීමෙන් අදක්ෂයෙකු වන්නේද නැත. උපන් හැකියාව බුද්ධිය අභිබවා මහන්සිය කැපවීම උනන්දුව ජීවිතය ජයග්‍රහණය කරා ගෙන යන තැනක් වන්නේද ඒ උසස් පෙළම වන්නේය.
    ඔබට ජීවිතේ යම් කඩඉමක් වැරදීමට හැකිය. එහෙත් එය සදාකාලික පරාජයක් කර නොගෙන නැවතුන තැනින් යලි අරඹා ජයග්‍රහණය කරා යෑම ඔබ සතුය. ආයතන සියල්ලේම ඉහළ තනතුරු දරන සියල්ලෝම රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් එළියට බට පුද්ගලයෝම නොවෙති. පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් එළියට බට පුද්ගලයෝද බොහොමයක් ඔවුන් අතර සිටිති. තම දක්ෂතාවයන් වැලලී යාමට ඉඩ නොදී ඔබෙ අනාගතය සෑදීමේ වගකීම ඔබ අතේම වන්නේය. “

Leave a Reply

%d bloggers like this: