නවකතාවකින් කොටසක් යැයි සැකකළ හැකි යමක් 14

උදේ පාන්දර ඉස්කෝලෙට එන්ටර් වෙනකොට හද්ද චාටර්. ඉස්කෝලෙ තාප්පෙටත් වඩා උසට ප්‍රිෆෙක්ට්ල තාප්පෙ. ඇතුල්වුනෙත් මරණ බයෙන්. කඩාගෙන බිඳගෙන යන්න හැදුව විතරයි. ම්හු.!

“කොහෙ යනවයි කියලද හිතාගෙන ඉන්නෙ?
යනව ගිහින් හිටගන්නව.”

වෙලාව හරියටම උදේ පාන්දර හතයි හතලිස් පහයි. ඉස්සර නං සංගමේ වැඩ ඕන හුටප්පරයක් කියල ඇතුළට යත හැකි. අම්මෝ බලන්න එපැයි අලුතෙන් පත්වෙච්ච ශිෂ්‍ය නායක මණ්ඩලේ ආඩම්බර.

“මොකෝ පරක්කු?”
“බස් එක කැඩුන.”

“යකෝ අද පාරෙ කීයක් බස් කැඩිලද බං?”

එහෙම කියනකොටයි ටිකක් වටපිට බැලුවෙ. හත්වලාමෙ සෙනඟ. ඉස්කෝලෙන් බාගයක් එළියෙ. උදේ පාන්දර අව්ව තපිනවා. මොනව වුනත් අපරාදෙ කියන්න බෑ ශිෂ්‍ය නායකයො අපේ ශරීර සෞඛ්‍ය ගැන හිතනවා. විටමින් ඩී දෝරෙ ගලනව ඇඟේ. ඉර අව්ව ඔළුවට මාර සනීපයි. දිව්‍ය ලෝකෙ යන්න හිතෙනව.

එක එකා ගේට්ටුව ඇතුළෙන් එන විදිහ දැක්කම බඩ පැලෙන්න මාර හිනා. උදේට කාලත් නෑ. අපරාදෙ. රහීම එකෙන් පරාටයි පරිප්පුයි කාලා ආවානං ටිකක් හයිය ඇතිව හිටගන්න තිබුන. සමහරු ගේට්ටුවට සෑහෙන්න දුර තියල නැවතිලා බලාගෙනත් ඉන්නව පේනව.

රස සාගරයයි.

“යකෝ කොණ්ඩෙ කපල නෑ, රැවුල කපල නෑ, සපත්තු පොලිෂ් කරල නෑ. උඹල කුරුදුවත්තෙ ඉස්කෝලෙද? යකෝ ඔහොම ආවාම බස් පිටින් කැඩෙන එක අහන්නත් දෙයක්ද? බස් වල එන්න එපා යකුනේ බස් වලටත් අපලයි තොපි ඔහොම ආවාම.”

වැඩිය අවුලක් වුනේ නෑ. බිග් මැච් එකට කොඩි හදන්න කට්ටියට බාර දුන්න. කොණ්ඩෙ තමයි කොණ්ඩෙ. රැවුල නං ෂේප්.

“මෙහෙමද යකෝ ඉස්කෝලෙ එන්නෙ?”

“අයියෙ හෙට කපාගෙන එන්නං.”

“උඹලටත් ඉතින් බාලගිරි දෝෂෙ තමා.”

නායක අයියලා දන්නවයැ අපිට තියෙන ප්‍රශ්න. පවුල් ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න සහ තවත් බොහෝ දෑ උන්දැලාට තේරෙන එකක්යැ. මාත් ඉල්ලනව අම්මප ප්‍රිෆෙක්ට්ෂිප්. එතකොට ඔය ප්‍රශ්න සේරම අපිටත් නැති වෙනව නෙව.

පන්තියට යනකොට එක දානවා. සර්ට මල මාත් එක්ක. අවාරෙට හැලෙන පොල් වගේ පන්තියට යන්නෙ. දොර ළඟ හිටියට දැක්කෙ නෑ වගේ එක දානවා. හොඳ වෙලාවෙට මාත් එක්ක තව දෙනෙක් උදේ අව්ව තැපල දොරකඩ ළඟ ඉන්නව. කට තියෙන එකෙකුත් හිටිය නිසා හොඳට ගියා.

“සර්, මාත් ඉන්නව.”

ආ ඉන්නවද? එහෙනං එනව ඇතුළට.

ජයවේවා. අද පන්තියෙ මාර සෙනඟ. කරුමෙට අද පන්තියෙ ඔක්කොම ඇවිත්. ඒ කියන්නෙ අද රිවිෂන් ක්ලාස් නෑ. ඉඳගන්න තැනකුත් නෑ.

“ඒ, අඩෝ. මං ඔතන බං.”
“උඹ මේ පන්තියෙද?”
“ඔව් බං. සාහිත් යෙ චෙයාමන්.”
“අඩූ සොරි. පස්වාන් දහසකට බුදුවන්න.”

මේ වගෙ පන්තියක් තවත් නැතිව ඇති. සයන්ස් චෙයාමන්, මැත්ස් චෙයාමන්, ආර්ට්ස් චෙයාමන්, සාහිත්‍ය චෙයමන්, බැඩ්මින්ටර් කැප්ටන්, පිළියන්දල චූටි, හැම එයාම මේකෙ. දෙයියො බලල තෝරපු පංතියක් වගේ. ඒ මදිවට පැන්සලයි කොලෙයි අතේ තියාගත්තු චිත්‍ර කාරයෝ, වයලින් එක පිටේ එල්ල ගත්ත ඔකෙස්ට්‍රා එකේ කට්ටියත් මේකෙ. කොමස් චෙයාමන් විතරයි අඩු. මීඩියා චෙයාමන් ඉංග්ලිෂ් මීඩියම්.

“පුතේ දැන් දහතුන වසරෙත් අන්තිම හරිය.
මට නං හිතාගන්න බෑ තමුන් කොයි ලෝකෙන් ආපු උන්දැලාද කියල.
අනිත් පන්ති වලට ස්කන්ධ කේන්ද්‍රය කරල ටියුට් එකත් කරල ඉවරයි.
තමුන්ට තාම තියරි.
ඔහොම නං බෑ පුතේ. මගේ මේ උගන්වන 33වෙනි වසර. මම ආනන්දෙත් සෑහෙන්න කල් උගන්නල තියෙනව. ඒත් මේ වගෙ පන්තියක් නං මං දැකලම නෑ.”

ඩොන්ග වෙනුවට අලුතෙන් ආපු ඇප්ලයිඩ් සර් ස්කන්ධ කේන්ද්‍රය හදනව. පට්ටෙට උගන්වනව. අපේ එවුන් වැලන්ටයින් එකට මොනවද දෙන්නෙ කියල කල්පනා කරනව. එකෙක් රුපියල් 8000ක තෑගි උපන්දිනේට අරන්දීල දැන් වැලන්ටයින් එකට අරන් දෙන්න දෙයක් නැතිව කල්පනා කරනව. එකෙක් තව එකෙක්ට කියල කාඩ් එකේ ගෝල්ඩන් අකුරෙන් එක එක ඒව ලියවගන්නව.

මචන් සාහිත් යෙ, කියහංකො හොඳ ලව් වර්ස් එකක් උඹ දන්න. උඹ ඉතින් සාහිත්‍ය කාරයානෙ. හැබැයි සිංහලෙන් බෑ. කඩ්ඩෙන්. සිංහලෙන් හිතල කඩ්ඩට දාලා කියපං.

ආච්චිගෙ රෙද්ද. මම මේ වැලේ වැල් නැතුව ඉන්නව. මුං එනව සුරුට්ටු පත්තු කරන්න. ජෙනරල් ඉංග්ලිෂ් වලට මේ පාරත් හුලං තමයි.

කෙමිස්ට්‍රි ප්‍රැක්ටිකල් යනකොට නිකන් විකාරයි. එක එක දවසට එක එක ගඳයි.

“ආ මචන් කොහොමද? මේ තමයි මචං කෙමිස්ට්‍රි ලැබ් එක. උඹ අලුතෙන්නෙ අපෙ ක්ලාස් එකට ආවෙ. අඳුරගනිං. මේ තමයි අනුමාපන ප්ලාස්කුව.”

“මම දන්නවා ඕයි!”

දන්නව කිව්වට දන්නෙ නෑ…


දෙවෙනි කොටස පසුවට.

14 thoughts on “නවකතාවකින් කොටසක් යැයි සැකකළ හැකි යමක්

  1. Reply ෴ සොඳුරු සිත ෴ Feb 8,2011 9:19 pm

    අගෙයි සුපුන් සුදාරක…

    හැබැයි ඉතින් දැන් නැවතුම් නැහැ හොඳ ද? මේ මාර්ගය හොදයි.. දිගටම ලියමු.

  2. Reply මිත්‍රයා Feb 8,2011 9:21 pm

    අපි ගැන ඉතිං කියන්ඩ ඕනෙ නෑනෙ! 😛 😀

  3. Reply ෴ සොඳුරු සිත ෴ Feb 8,2011 9:24 pm

    සැක කරන්න දෙයක් නැහැ සුපුන්. . . අර කිවත් වගේ හරි අගෙයි.

    අනුමාපන ප්ලාස්ක් එකයි … පිපෙට්ටුවයි , බියුරේට්ටුවයි අදුරන්නෙ නැතිව රසායන විද්‍යාව පාස් වෙන ළමයි ඕනි තරම් ඉන්නව.ඒත්
    සයන්ස් ක්ලාස් එකක ඉන්න සාහිත්‍ය සංගමයේ සභාපතිල ගොඩක් අඩුයි…

    සාහිත්‍ය සංගමයේ සභාපති විදිහට මේ කතාව දිගටම ලියයි කියල විශ්වාස කරන්නම්…

    • Reply Hasitha Feb 18,2011 6:03 am

      සයන්ස් ක්ලාස් එකක ඉන්න සාහිත්‍ය සංගමයේ සභාපතිල ගොඩක් අඩුයි

      රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ හැටි හුඟාක් වෙලාවට එහෙම තමා 🙂

  4. Reply සංජීව් Feb 8,2011 10:07 pm

    එලය, දිගටම ලියන්න

  5. Reply Rukshan Feb 8,2011 11:34 pm

    apo anita num AL karana kale prefects la part danda awe ne, AL kale thama iskolle yanda maruma kale :p

  6. Reply කොට ජීවිතේ Feb 9,2011 1:36 am

    හ්හ්ම්ම්ම්… හරිම ලස්සන්යි… දිගටම ලියන්න… 🙂

  7. Reply හසිත මදුශංක Feb 9,2011 10:19 am

    නියමයි සුදා එලටම ලියලා තියෙනවා. දිගටම ලියන්න මගෙන් සුභ පැතුම්.

  8. Reply Anandawardhana Feb 9,2011 11:11 am

    හත්වලාමෙ දැනුයි දැක්කෙ! නියමයි නෙවැ 😀

    ඔහොම යං..

  9. Reply සුපුන් සුදාරක Feb 9,2011 7:59 pm

    @හැමදෙනාම: බොහොම ඉස්තූතියි කිව්ව ඕං. 🙂

  10. Reply ක්ෂිතිජ විජේමාන්න | විත්ති Feb 10,2011 10:24 am

    දිගටම ලියහන් කියවන්න ආස හිතුනා

  11. Reply Hasitha Feb 18,2011 6:05 am

    උදේට බෝක් ගේට් එක ගාව වෙන සෙල්ලම් ටික කියෙව්වාම මගෙත් සීනියර් ප්‍රිෆෙක්ට් අවුරුද්ද මතක් වුණා. උපරිමයි 🙂

  12. Reply lakmal Apr 14,2011 7:58 am

    matath nikan mage iskole kale tokkak anala mathak karala dunna wagee ela ela..ohoma yamu

Leave a Reply

%d bloggers like this: