සමාජයීය සංවර්ධනය උදෙසා තොරතුරු තාක්ෂණයේ භාවිතය. 10

වර්තමානයේ බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වන මාතෘකාවකි තොරතුරු තාක්ෂණය. තොරතුරු තාක්ෂණ භාවිතයේ ගුණාත්මක භාවය ශ්‍රී ලංකාව වැනි රටක් තුළ කෙසේ සිදුවන්නේද යන්න පිළිබඳව සාකච්ඡාවට බඳුන් විය යුතු කාලයකි මේ. සාකච්ඡාව, සංවාදය තුළින් වඩාත් යහපත් තොරතුරු තාක්ෂණ භාවිතය සඳහා භාවිතාකරුවන් පෙළැඹවීම තුළින් තොරතුරු තාක්ෂණ භාවිතා‍ව පිළිබඳව පොදුජන මතය තව දුරටත් ශක්තිමත් කරලීම තුළින් ශ්‍රී ලංකාව තුළ වඩාත් නිවැරදි සහ ඵලදායී තොරතුරු තාක්ෂණ භාවිතයක් ඇතිකිරීම මෙම ලියවිල්ලේ මූලික අරමුණයි.

තොරතුරු තාක්ෂණයේ ප්‍රධානතම අංගයක්. උප සංස්කෘතියක් වන අන්තර්ජාලය වර්තමානය වන විට සීඝ්‍ර දියුණුවක් අත්කරගනිමින් සිටිනා බව ඔබ අප සැම සියලුම දෙනා දන්නා කරුණක්. තරගකාරී ගෝලීයකරණ ආර්ථික පසුබිමක් තුළ ශ්‍රී ලංකාවේ පුරවැසියන් අන්තර්ජාලය වැනි ශක්තිමත් පුළුල් පරාසයක් තුළ විහිදුනු ආර්ථික උපාය මාර්ග භාවිතා කිරීම පිළිබඳව මඳක් පසුගාමී තත්වයක් අනෙකුත් රටවල් හා සසඳන කල්හී නිරීක්ෂණයට ලක්වන කරුණක්. කෙසේ නමුත් අන්තර්ජාල සම්බන්ධතාවන් ලබා ගැනීමේ විවිධ තාක්ෂණික ක්‍රම ශිල්ප ශ්‍රී ලංකාව පුරා ඉතාමත් සීග්‍රයෙන් පැතිරීයාමත් සමඟ අන්තර්ජාලය සමඟ සම්බන්ධ වීමේ පුද්ගලයින් සංඛාව දිනෙන් දින ඉහළයමින් පැවතීම ඉතාමත් සාධනීය කරුණක්. නමුත්, මෙම සාධනීය ලක්ෂණය වඩාත් ඵලදායී ආකාරයකින් ඉහළ යනවාද යන කාරණය සංවාදගත විය යුතු බවයි අදහස.

බොහෝ දෙනා අන්තර්ජාලය හුදෙක් විනෝදාස්වාදය සපයන උපකරණයක් ලෙසින් සහ සමාජ ජාල අනුගත කෙරෙන අංගයක් ලෙසින් පමණක් දැකීම ඉතාමත් අභාග්‍ය සම්පන්න කරුණක්. අන්තර්ජාලය වඩාත් ඵලදායී ලෙසින් භාවිතා කිරීමේ හැකියාව පිළිබඳව ඔවුන්ගේ මනසට කාවැද්දීම තුළින් භූගෝලීය දේශ සීමාවක් තුළ රටක් වශයෙන් සිය ආර්ථික හා සාමාජයීය වටිනාකම් ඉහළට ගැනීමට හැකි බව පරිශීලකයින්ට අවබෝධ කරලීම වැදගත්.

ආර්ථික, සමාජීය, දේශපාලනික, සාහිත්‍යික සහ අධ්‍යාපනික වටිනාකම් අන්තර්ජාලය තුළ සැඟවී ඇති බව අවබෝධ කරවීම තුළින් සාමාන්‍ය පුරවැසියා තොරතුරු තාක්ෂණය හරහා බලාත්මක කිරීම තුළින් විශාල සංවර්ධනයක් පුද්ගලික වශයෙන්ද, කණ්ඩායම් වශයෙන්ද අවසාන වශයෙන් රටක් ලෙසින්ද ලබාගැනීමට හැකියවනවා නියතයි.

ඉංග්‍රීසි භාෂාව පමණක් නොව වෙනත් භාෂාවන් සමඟ ගනුදෙනු කිරීමේ විනිවිදයාමේ හැකියාවන් ඉස්මතු කරගැනීමට අන්තර්ජාලය හරහා ලැබෙනුයේ ඉතාමත් විශාල පිටිවහලක්. එමෙන්ම, පුළුල් පරාසයක් තුළ පැතිරෙන දැනුම් සම්භාරයක් එක්කර ගැනීමටද අන්තර්ජාලය හරහා එහි පරිශීලකයින්ට අවස්ථාව හිමිවනවා. එමෙන්ම එක දැනුම අතරට අපගේ දැනුමද එක්රැස් කිරීමේ හැකියාවද හිමිවීම නිසා තමන් තුළ පුද්ගලික වටිනාකම් ගොඩනගා ගැනීමට‍ හැකිවීමද සුවිශේෂී ලක්ෂණක් විදහා දැක්වෙනවා.

සරල උදාහරණයක් වශයෙන් විකීපිඩියා අන්තර්ජාල විශ්වකෝෂය ‍තුළ ඉතාමත් පුළුල් පරාසයක් තුළ විහිදී යන දැනුම් සම්භාරය ගබඩා වී තිබීම පිළිබඳ කරුණ ඔබට අමුත්තක් නොවෙයි. විද්‍යාත්ම දැනුම, සමාජයීය දැනුම සහ සාහිත්‍යමය දැනුම කේන්ද්‍රගත වූ ස්ථානයක් ලෙසින් විකීපීඩියා අන්තර්ජාල විශ්වකෝෂය හැඳින්වීමට හැකියි. එහි විශාල අන්තර්ගතයක් ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණය වී තිබීම සාමාන්‍ය ග්‍රාමීය ජනතාව වෙතට තොරතුරු ගෙනයාම පිළිබඳ අභියෝගයක් වන නමුත්, එම අභියෝගය ජය ගැනීමට අවශ්‍ය කරනු ලබන උත්ප්‍රේරක ඔවුන් වෙත ගෙනයාම වැදගත්. එවිටයි මේ සම්බන්ධයෙන් රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ මැදිහත්වීම අවශ්‍යවන්නේ. දිවයින පුරා නැණසල මධ්‍යස්ථාන බිහි වී තිබීම සහ නොයෙකුත් ව්‍යාපෘති හරහා තොරතුරු තාක්ෂණය සමාජගත කරවීමට ඒ හරහා ලැබෙන පිටිවහල අවතක්සේරු නොකළ යුතුයි. නමුත් ඒවායෙහි ගුණාත්මක බව තවදුරටත් ඉහළ යා යුතුයි.

ස්වදේශීය භාෂා අන්තර්ගතයන් අන්තර්ජාලය‍ට එකතු වීම අත්‍යවශ්‍ය කාරණයක්. ස්වදේශීය භාෂා හරහා තවත් විශාල පිරිසක් අන්තර්ජාලයට විවෘත වනවාක් මෙන්ම ඒ හරහා ඔවුන් විශාල අවබෝධයක් ලබා ගන්නවා ඇති. එමෙන්ම එම අන්තර්ගතයන් වැඩිවීම තුළින් Google Translate වෙත සිංහල හා ‍දමිළ භාෂාවන් එකතු වීම නිරායාසයෙන්ම සිදුවනු ඇති. ඒ හරහා පුද්ගලයින් විවිධ භාෂා අධ්‍යයනට නිරායාසයෙන් යොමු වනු ඇති අතර පොදුවේ ග්‍රාමීය මට්ටමේ සහ අර්ධ වශයෙන් නාගරික මට්ටමේ පොදු ගැටලුවක් වන ඉංග්‍රීසි භාෂා දැනීමේ අඩුව මින් පුරවාලිය හැකිවනවා ඇත. ස්වයං අධ්‍යනය හරහා වඩාත් නිදහස් අවකාශ‍යක් ලෙසින් අන්තර්ජාල භාවිතය තුළින් වඩාත් ඵලදායී ලෙසින් අධ්‍යයන කටයුතු වල නිරත වීම තුළින් දැනුමෙන් සන්නද්ධ වීමට පරිශීලකයාට අවස්ථාව හිමිවනු ඇති.

නමුත් සාමාන්‍ය පරිශීලකයාට මෙම දැනුම ගෙනයාමට ඇති අන්තර්ගතයන් ඒ ඒ භාෂාවෙන් සංවර්ධනය වීම සඳහා ඒ ඒ භාෂාවන්ගෙන් ඒ ඒ විවිධ වූ අංශ පිළිබඳව ප්‍රවීණත්වයට පැමිණි පිරිස් අන්තර්ජාලයට එකතු වීම වැදගත්. බොහෝ විට උදාහරණයක් වශයෙන් ඉංග්‍රීසි, හින්දි, චීන (මැන්ඩරින්) වැනි භාෂා දත් ප්‍රවීනයන්, විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරුන්, ආචාර්ය-මහාචාර්යවරුන් සහ ශිෂ්‍යයින් අන්තර්ජාලය තුළ විකීපීඩියා හෝ ‍වෙනයම් අනෙකුත් වෙබ් අඩවි බ්ලොග් අඩවි හරහා දැනුමෙන් සන්නද්ධ අන්තර්ගතයන් ඉදිරිපත් කිරීම දැකිය හැකියි. නමුත් ස්වදේශීය භාෂා‍වන්ගෙන් දැනුම අන්තර්ගතයන් එකතු වීම පවතින්නේ ඉතාමත් අඩු මට්ටමකින්. එයට ප්‍රධාන හේතුව සම්පත් දායක පුද්ගලයින් අවම වීම සහ සා‍පේක්ෂව ඉහත කී භාෂා භාවිතාකරුවන්ට සාපේක්ෂව ස්වදේශීය භාෂා භාවිතාකරුවන් අවම වීම. නමුත් මෙය අඩුවක් කරගත යුතු නැහැ. එම අඩුවම අභියෝගයක් බවට පත්කරගැනීම තුළින් ඉදිරියට යා හැකි බවයි විශ්වාසය. විශේෂයෙන්ම විශ්ව විද්‍යාල සිසුන් සහ පාසල් සිසුන්ට මේ සඳහා දැනුවත්ව හෝ නොදැනුවත්වම දායකත්වය දැක්වීමට හැකියි. නමුත් එලෙස දායකත්වය දක්වන්නේ කී‍යකින් කී දෙනාද? අවම වශයෙන් තොරතුරු තාක්ෂණ පීඨ වල සිසුන් සමස්තය අතුරින් බ්ලොග් අඩවි ලියනු ලබන සිසුන් ප්‍රමාණය කවර ප්‍රතිශතයක්ද?

ඒ සඳහා ප්‍රධාන හේතුව ඔවුන් දැනුම ගවේෂණයට පෙළැඹිමේ ප්‍රවනාතව අවම අගයක් ගැනීම. ඔවුන්ට සරල භාෂාවකින් පැවසු‍වහොත් “වෙන වැඩ” තිබීම මෙහි හේතුවක් ලෙසින් ගත හැකියි. දැනුම සොයා යාමට නිදහස් අවකාශය ලංකාව වැනි පරිසරයක් තුළ නොමැති වීම කණගාටුවට කරුණක්. සරල උදාහරණයක් උසස් පෙළ සිසුවකු වශයෙන් මා තුළින්ම ගත හැකියි. විභාග ඉලක්කයක් කේන්ද්‍ර කරගනිමින් ඉතාමත් සුවිශාල වැඩකොටසක් මා මෙන්ම මාගේ මිතුරන් සතුවත් පවතිනවා. ඔවුන්ට නිදහස් මනසකින් යුතුව ගීයක්, චිත්‍රපටියක්, නවකතාවක් හෝ අඩුම තරමින් බ්ලොග් අඩවියක් හෝ රසවිඳීමට අවකාශ හිමිවන්නේ නැහැ. මේක ඉතාමත් අවාසනාවන්ත සමාජයීය වටපිටාවක්. මේ විභාග සමත් කරවීමේ ක්‍රියාදාමය කිසිලෙසකින්වත් ශ්‍රී ලංකාවේ ඉදිරිගමනට බල නොපාන බවයි මගේ නම් විශ්වාසය.

ඉතින් අපිට දෙවියන්ගේම පිහිටයි!

කෙසේ නමුත් තොරතුරු තාක්ෂණ භාවිතය සංවර්ධනය කිරීම පිළිබඳව සංවාදය තව දුරටත් ඉදිරියට ගෙනයාම අත්‍යවශ්‍ය කරුණක්. ලංකාවේ විශ්ව විද්‍යාලයක වෙබ් අඩවියක් දකින විටත් ඇති වන්නේ සරල සංවේගයක්. අන්තර්ගතය කෙසේ වෙතත් නිමාව පිළිබඳව අර්බුදයක් පරිශීලක මනසේ ඇතිවනවාට කිසිදු සැකයක් නැහැ. w3school වැනි වෙබ් අඩවියක් හරහා කිසිදු මූලික දැනුමකින් ‍තොරව වෙබ් අඩවි නිර්මාණය පිළිබඳව දැනීම ලබාගැනීමට හැකි මෙවන් යුගයක, විශ්ව විද්‍යාල සිසුන්ටම එක්වී සරල නමුත් ආකර්ශනීය ආකාරයෙන් වෙබ් අඩවියක් නිර්මාණය කර නොහැකිදැයි ප්‍රශ්නයක් ඇති වීම සාධාරණයි. w3school සහ තවත් නොයෙකුත් වෙබ් අඩවි හරහා ඉතාමත් පහසුවෙන් වෙබ් අඩවි නිර්මාණ සහ ග්‍රැෆික් නිර්මාණය පිළිබඳව ඉගෙනීමේ හැකියාව දැන් අන්තර්ජාලය හරහා ඔබට හිමිවනු ලැබීම ඉතාමත් වාසිදායක දෙයක්. ස්වයං අධ්‍යයනය තුළින් ඉගෙනීමට හැකිවීම හරහා ඔබට වැය වනු‍යේ අන්තර්ජාල සම්බන්ධතාවට අදාල ගාස්තුව සහ කාලය පමණයි. ඒ හරහා ලැබෙන දැනුම තුළින්ම අන්තර්ජාලය තුළ විවිධාකාරයේ රැකියා කිරීම තුළින් යම්කිසි ආදායමක් ලැබීමටද හැකියි. එලෙස මුදල් උපයන වෙනත් රැකියාවන් නොකරන තරමේ පිරිසක්ද බිහිවී තිබෙනවා. අන්තර්ජාලයෙන් මුදල් සංයුක්ත තැටි වලට නොරැවටී තමන්ගේම ක්‍රම හරහා අන්තර්ජාලය ජයගැනීමට හැකියාව දැන් ඔබ සතුයි. එබැවින් මේ පිළිබඳව අවධානයෙන් සිටින්න.

අන්තර්ජාලය තොරතුරු තාක්ෂණයේ එක් උපක්‍රමයක් පමණයි. විවිධ උපක්‍රම විවිධාකාරයෙන් අත්හදා බලමින් පුද්ගලික වශයෙන් වටිනාකම් එක්රැස් කරගැනීමට අමතක කරන්න එපා. බ්ලොග්කරණයේ නියැලීමත් තවත් එක් අංගයක්. ඒ හරහා උප සංස්කෘතියක් නිර්මාණ වෙමින් පවතින බවත් ඔබේ අවධානයට ලක් කිරීමට කැමතියි. ඔබගේ ලිවීමේ හැකියාවන් දියුණු කරගැනීමට බ්ලොග් අඩවි සුවිශාල පිටිවහලක්!

10 thoughts on “සමාජයීය සංවර්ධනය උදෙසා තොරතුරු තාක්ෂණයේ භාවිතය.

  1. Reply ප්‍රවීන් ඉන්ද්‍රනාම Sep 4,2009 8:06 pm

    උඹේ මතයට මම එකඟයි..

    සරලව කිව්වොත්, 2009 කියන්නේ තොරතුරු තාක්ෂණ (හා ඉංග්‍රීසි භාෂා) වසර කියලයි පටං ගන්නකොට කිව්වෙ.
    දැන් 2009 ඉවර වෙන්නත් කිට්ටුයි..
    ඒත් තොරතුරු තාක්ෂණයේ දියුණුව වෙනුවෙන් අපේ රටේ අහවල් කෙංගෙඩියක්ද කෙරුනෙ මේ අවුරුද්ද ඇතුලත?
    (හැබැයි සල්ලි කොච්චර ඒ වෙනුවෙන් වෙන් වෙන්න ඇද්ද? ඒවා කොහේ ගියාද? යන ප්‍රශ්ණ ගැන හිත යොමුකිරීම ඔබට බාරයි)

  2. Reply පිටස්තරයා Sep 4,2009 8:13 pm

    පහුගිය දවසක දැන ගත්තේ ලංකාවේ අන්තර්ජාලය භාවිතා කරන අයගෙන් 2/3ක් විතර සිංහල යුනිකේත ගැන දන්නේ නෑති බව. දෙමළ ගැන තත්වය හරියටම දන්නේ නෑ. ඒක ලොකු අඩුපාඩුවක් වගේම දේශීය අන්තර්ගතය නැතිවීමට වැදගත් හේතුවක්.

    අනිත් එක ලංකාවේ අන්තර්ජාල bandwidth එක වැඩියෙන් වැය වෙන්නේ මොනවටද කියලත් දන්නවනේ. ඔය වගේ තැන වලදි සමාජයීය කරුණුත් එකතු වෙනවා.

    Full reset එකක් නැතිව බෑ කියලා හිතෙන්නේ ඔය වගේ වෙලාවට.

  3. Reply බුධාජීව Sep 4,2009 10:41 pm

    අන්තර්ජාලයේ ස්‍වභාෂා අන්‍තර්ගතයේ ප්‍රතිශතය ඉහළ නැංවීමේ අවැසිතාව ලෙස අප දකින්නේ එකී බස පිළිබඳ පමණක් අවබෝධයක් ඇති ජනතාවට තොරතුරු ප්‍රේරණය කෙරුමයි. නමුත්, මට සැකයක් තියනවා දැනටත් පවතින මේ ස්‍වභාෂා අන්‍තර්ගත පරිහරණය කරන්නේ ඉංග්‍රීසියෙනුත් එකී අන්‍තර්ගත පරිහරණය කළ හැකි පරිශීලකයන් විතරක්ම නේද කියන එක.

    එක එක නම් වලින් ව්‍යාපෘති ආවත්, ගමට කොහෙද තොරතුරු තාක්‍ෂණය ගිහිල්ලා ? (Exceptions නැතුවාම නොවේ. උදා: මහවිලච්චිය Horizon, නිහිළුව eVillage.) කොයි ගැමියාද විකිපිඩියා එක බලලා යෙදියයතු පොහොර වල සාන්‍ද්‍රණය තීරණය කරන්නේ ?

    මේක රජයේම වරදක් කියන්න බෑ. මේක පද්ධතියේම වරදක්. අපි තොරතුරු තාක්‍ෂණය ඔවුන් මත බලෙන් පටවන්න හදන්නේ. ඔවුන්ගෙන් තොරතුරු තාක්‍ෂණයට ඉල්ලුමක් නැහැ. මේ බව දන්නා රජය මිනිසුන් ප්‍රතිඵල බලාපොරොත්තු නොවෙන ව්‍යාපෘති යෝජනා කර කර ඒවාට යොදන මිල මුදල් තමන්ගේ සාක්කු වලට යවාගන්නවාට සැක නැහැ.

    ඔය කියන ඊනියා ගැමියන් ඕන නැහැ. අපිට මොකක් හරි රටට ප්‍රයෝජනවත් තොරතුරු තාක්‍ෂණ අදහසක් ආවම ඒක ලංකාවෙ තොරතුරු තාක්‍ෂණය බාර ආයතනයට කියන්නේ නැතිව, ඇයි අපිම කරන්න හදන්නේ ? අපිට ඔවුන් විශ්වාස නැති නිසා සහ ඔවුන්ට අපේ අදහස් ඕන නැති නිසා. ඔවුන්ට අපේ අදහස් ඕන නැහැ වගේම ඔවුන් ඉලක්ක කරන ඊනියා ගැමියාගේ අදහසුත් ඔවුන් විමසන්නේ නෑ. කෙහෙල්මල් තොරතුරු තාක්‍ෂණයක් ඔවුන්ට ඕනෑත් නැති නිසා ඔවුන් ඒ ගැන අහන්නේත් නැහැ.

    කරන්න ඕනේ තොරතුරු තාක්‍ෂණයේ ප්‍රයෝජන දිය කරලා පෙවුවත් තේරුම් ගන්න බැරි වයසක ප්‍රජාව වෙත එය බලෙන් පටවනඑක නෙවෙයි, හැම teenager කෙනෙකුටම lap එකක්, net connection එකක්, PDA එකක් දීලා ඒකෙන් ගන්න පුළුවන් උපරිම වැඩ ගන්න ඒ අයට පුළුවන් කරන එකයි. නැණසලවල් කියන සම්ප්‍රදායික computer class එකෙන් ඒක කරන්න බෑ.

    කඩදාසි කොල වල මොනා ලියල තිබුනත් ඕක තමයි ලංකාවෙ තොරතුරු තාක්‍ෂණේ.

    ආණ්ඩුව දෙන්න ඕන එකා දන්නෙ නෑ. දෙන එකාට IT ඕන නෑ. IT ඕන එකාට දෙන්නෙ නෑ.

    • Reply බෙන්ජමින් Sep 5,2009 3:05 pm

      මොකක්ද කොළුවො ඔය ඊනියා ගැමියො කියන වචනයේ තේරැම.උඹ ඒ තරමටම නාගරිකද?

      • Reply බුධාජීව Sep 5,2009 6:47 pm

        @බෙන්ජමින්:
        ඒකෙන් කියවෙන්නේ මම නාගරිකයි කියන එක කියලද හිතන්නේ ? පොඩ්ඩක් වැරදිලා වගේ. මම කියන්නේ ඔය කියන IT පිපාසෙන් පෙලෙන “ගැමියා” ඉන්නෙ ව්‍යාපෘති සැලසුම්කරුවන්ගෙ මනස් ඇතුලෙ විතරයි. මායාවක්. ඇත්ත ගැමියගෙන් IT වලට ඉල්ලුමක් ඉදිරිපත් වෙලා තියනවද ?

  4. Reply බහිෂ්කාර Sep 7,2009 11:36 am

    මචං , “භාවිතාව” කියන එක වැරැදියි. ” භාවිතය”‍ ලෙසට වෙස් කරන්න.

    • Reply සුපුන් සුදාරක Sep 7,2009 11:50 am

      එළ එළ! භාවිතාව කියන එක භාවිතය විදිහට වෙනස් කරා. තව වෙනම තිබ්බ වැරදි වගයකුත් නිවැරදි කරා. බොහොම ස්තූතියි. :)

  5. Reply බහිෂ්කාර Sep 7,2009 11:38 am

    වෙස් නෙමෙයි වෙනස්

Leave a Reply

%d bloggers like this: