Categories
ජන මාධ්‍ය විචිත්‍ර

අලුත් වෙච්ච පරණ රොබින්

robin-hood

දැන් මම මේ සටහන ලියන්න පටන්ගන්නේ ම‍ං හිතන විදිහට හතර වෙනි හෝ පස් වෙනි වතාවට. හැම ඉරිදාම හවස හතේ ඉඳලා රෑ අට වෙනකං මේ ‍දවස්වල ටීවියෙක දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නේ වෙන කවුරුත් දිහා නෙවෙයි. මාතෘකාවේ තියෙන විදිහටම රොබින් දිහා. රොබින් කියන්නේ ‍මේ රොබින් හුඩ්. ඒ හැමදාම ඒක බලලා ඉවරවෙලා කොම්පියුටරේ ළඟට දුවගෙන එන්නේ “අලුත් වෙච්ච පරණ රොබින්” ගැන ලියන්න වුනාට විවිධ වූ හේතූන් මත ලියැ‍විල්ල නතර වීම ගැන මට ප්‍රශ්නයක් ඇතිවුනත් ඒ ප්‍රශ්නේ සතියේ ඊළඟ දින වලදී ඔළුට උඩට වැටෙන වැඩ රාජකාරී එක්ක අමතක වෙලා යන නිසා ආයෙත් “අලුත් වෙච්ච පරණ රොබින්” ගැන ලියන්න හ‍ිතෙන්නේ ඉරිදා රෑ අටට. රොබින් හුඩ් බලලා ඉවර වුනාම. ඉතින් කොහොමහරි මේක අදනං ලියලා ඉවරවෙනවාමයි කියලා හිතාගෙන පුටුව උඩ වාඩි වුනේ. ‍ඉතින් හ’ර්න් දෙයියා‍ගේ පිහිටෙන් ඇල්බියන් අසිපතේ ආනුභාවයෙන්වත් මේක ලියැ‍වුනොත් තමයි හොඳ.

හරි. පළවෙනි ‍ඡේදය ඉවරයි. ඊළඟට අමාරු හරිය.

Robin Hood

මේ රොබින් හුඩ් ඒ රොබින් හුඩ් නෙවෙයි. ඒ රොබින් හුඩ් කිව්වේ මේ අපි අර පොඩි කාලේ බලපු රොබින් හුඩ්. ඒ රොබින් හුඩ්, මේ රොබින් හුඩ් නෙවෙයි. හරි ගුප්තයි. අනික මට මතක හැටියට එයා ඒකේ සුදු චරිතයක් විතරයි. ඒත් මේ අලුත් රොබින්. ඒ රොබින් වගේ නෙවෙයි. කළු-සුදු දෙකම පෙන්නන මරු රොබින් කෙනෙක්.

මං දන්නවා දැන් කට්ටියට මඤ්ඤං වෙලා කියලා. ඒ රොබින් – මේ රොබින් – රොබින් රොබින් රොබින්. හරි මට පේනවා නිකන් ඔළුව වටේ රොබින් කුරුල්ලෝ පියාඹනවා වගේ…

ආ හරි කමක් නෑ. මේ කියාගෙන ගියේ රොබින් කුරුල්ලෝ ගැන නෙවෙයි. ෂර්වුඩ් වනාන්තරේ රොබින් හුඩ් ගැන. හරි මං කියාගෙන ගියේ. ඒ රොබින් ගැනම වුනත් අලුත් රොබින් කෙනෙක් ගැන.

ඔන්න මොන ‍මොන වැඩේ තිබුනත්. ඉරිදා රෑ හත වෙනකොට දහම් පාසල් වුනත් ඉවරවෙලා තියෙන නිසාත්. රෑ හත නිදහස්ව තියාගන්න අමතක කරන්න එපා. ජාතික රූපවාහිනිය මේ වෙනකොට කොච්චර පිරිහිලා තිබුනත්. මටම පුදුමයි මේක  විකාශනය කරන්න පටන්ගත්තේ ඇයි කියලා.

‍gui-gisbon

මේක මම බලන්නේ, බලන්න කියන්නේ රස වින්දනය නිසාම විතරක් නෙවෙයි. බලන අයට අවබෝධ කරගන්න ලැබේවි මේ කතාවත් එක්ක තමන්ට සමාජ දේශපාලනික කාරනා ගොඩක් තේරුම්ගන්න ලැබේවි කියන එක. ඒක ‍එදාට විතරක් නෙවෙයි. කතාව නිර්මාණය වෙලා තියෙන අද කාලයටත් හොඳින් ගැලපෙනවා කියන එකයි මගේ අදහස. ඉතින් දේශපාලනයේ තියෙන ආර්ට් එක තේරුම්ගන්න කැමතිනං පොඩ්ඩක් හොඳට විවෘත මනසකින් කතාව බලන්න අමතක කරන්න එපා. රොබින්හුඩ්ට ජනතාව අ‍තරේ කැපී පෙනෙන්න තියෙන අවශ්‍යතාව. සේවය කිරීමෙන් ලැබෙන තෘප්තිය. දේශපාලනික සම්බන්ධතා හතුරා එක්ක නිර්මාණය කරගැනීම කියන දේවල් පොඩ්ඩක් මනස විවෘත කරලා බලන්න.

meriyan

හැබැයි. ඔය කොයි මනස වුනත් වැහෙන වෙලාවක් එනවා. ඒ තමයි මැරියන් පේන්න ඉන්න වෙලාව 😀

නැද්ද මං අහන්නේ… මැරියන්ගේ ලස්සනට ඉන්න තැනත් අමතක වෙනවා 😀

robinhood1

අලුත් වෙච්ච පරණ රොබින් හුඩ්ට කැමතිනං (අකමැති වුනත් කමක් නෑ) මෙන්න මේවා බලන්නත් අමතක කරන්න එපා.

විකීපීඩියා ලිපිය
IMDB
රසිකයන්ගේ අඩවිය (Fan Site)
නිල වෙබ් අඩවිය

Categories
ඉසව් පොත් සාහිත්‍ය හිනා

අකුරු දිගේ පියමනින්න – එන්න අකුරු මංපෙතට

මේකත් කොහෙන් පටන් අරගෙන කොහෙන් ඉවරකරගන්නද කියලා හිතාගන්න බැරුවයි හිටියේ. මොකද දැනටමත් දෙක තුනක් ලියලා මකලා ආයෙත් ලියලා ඉන්න නිසා වැඩේ අතෑරලා දාලා ඉන්නකොටයි මේ ආනන්දවර්ධන මාමා එක්ක සංවාදගත වෙලා ඉන්නකොට ලියලා ඉවර කරන්න ඕනෙයි කියලා අදහස ආවේ.

ඊයේ තිබුන භෞතික විද්‍යා පංතිය අකමැත්තෙන්ම කට් කරලා දාන්න වුනේ (හෝව්! ගෙදර අයට සිංහල යුනිකෝඩ් නැති නිසා හොඳයි. ඔන්න ඉතින් ගෙදරට මාට්ටු කරලා කැත වැඩ එහෙම කරනවා නෙවෙයි!) මේ අකුරු මංපෙතට එන්න ඕන නිසාමයි. මොකද මේ පාර අකුරුමංපෙත හරි විශේෂයි. මොකද මේ පාර කතාවට ගැනෙන්නේ අටවක පුත්තු පොත වෙච්ච නිසයි. ආයෙමත් අමුතුවෙන් අටවක පුත්තු ‍පොත ගැන කියන්න අවැසි නැහැනේ. මේ පොත ජීවිතේ වෙනස් කරපු සංධිස්ථානයකට පැටලිලා තියෙන නිසා පොත ගැන තියෙන්නේ පුදුම ඇල්මක්. ඉතින් එහෙව් එකේ පොත ගැන කෙරෙන කතාවක් කොහොම කියලා මඟ අරින්නද. ඉතින් අන්න ඒ කාරණේ නිසා එක දවසකට වුනත් භෞතික විද්‍යාවට වාරණයක් දාගත්තු එක ලොකු පාඩුවක් නම් නෙවෙයි. පාඩුවක් තමයි. ඒත් ඉතින් මොනවාමහරි දෙයක් ලබාගන්න මොනවාමහරි දෙයක් කැපකරන්න වෙනවා නෙව.

මේ පාර අකුරු මංපෙතේ කියවන්න ගැනෙන්නේ අටවක පුත්තු පොත කියලා ඇහිච්ච ගමන්ම යන්න ඕනේ කියන අදහස ඔලුවේ තිබුනත්. එච්චර කික් එකක් තිබුනේ නැත්තේ වෙලාව ප්‍රශ්නය නිසා. නුගේගොඩ ඉඳලා සැලකිය යුතු ඩොටේ දුරකින් ගෙදර පිහිටලා තියෙන නිසාත්, යායට පායනා පෝදා හඳ වගේ භෞතික විද්‍යාවට පායන ‍පුරහඳ බලාගන්න තිබුන අවශ්‍යතාව නිසාත්… කොහොමත් ‍මේ වගේ කාලෙක රෑ ජාමේ තනි පංගලමේ මං වගේ කොල්ලෙක් යන එකේ විශාල අවුලක් 😉 (මට නෙවෙයි, ගෙදර අයට) තිබුන නිසාත්. යන්නමයි කියලා ඔළුවට බලපෑමක් ආවේ නෑ. ඔන්න ඔය අතරේ තමයි අර කලින් එකමත් එක පිටරටක කවි පොත කියවලා ලියපු සටහනට අපේ පාලිත සහෝදරයා එකතු කරපු ප්‍රතිචාරයෙන් කියවුනු විදිහට මේ පොත් කියැවිල්ලට ලියනගේ අමරකීර්ති සූරීනුත් සහභාගී වෙනවා කියන කාරණේ දැකලා, අර අකුරු මංපෙතට යන්න ඕනේ කියලා හිතට ආපු අදහස තහවුරු වුනා. ඉතින් මං විතරක් මේකට තනියම යන එක හරි නෑ නෙව. කතා කරා ‍මාත් එක්ක අටවක පුත්තු බෙදාගත්තු අංජුට. අංජුට පස්සේ අපේ නිමේෂ්ට. ඒ වගේම අපේ ඉද්දාට. ඒ වගේම අපේ සාහිත්යේ සභාපති තුමාටයි, ලේකම් තුමාටයි දෙන්නාටමත් එන්න කිව්වා.

ඉද්දාට නං ‍ඉතින් ගෙදරින් සම්බාධක පනවලා යුධ මුක්ත කලාපයකට හිර කරලා තිබුන නිසාත්, හමුදාව වගේ පස් බැමි බිඳගෙන යන්න බැරි නිසාත් ඉද්දාව අතාරින්න වුනා. ඉද්දාටත් වැඩසටහන අතාරින්න වුනා. ඒ වගේම නියම වැඩේ කියන්නේ, අපේ ‍සභාපති තුමා හිතාගෙන තියෙන්නේ සරසවිය කිව්වාම විශ්ව විද්‍යාලේ කියලා. අන්තිම මොහොතේ සරසවියට ඇවිල්ලා ඒ අය ආපහු හැරිලා ගිහිල්ලා කියලා තමයි මට දැනගන්න ලැබුනේ. ඔන්න දැක්කාද වැඩිපුර සමාන පද දැනගෙන හිටියාම වෙන වැඩ? 😀 අන්තිමේ සභාපති තුමා අහලා තිබුනා…

තෝ අපිට පොල්ල තිබ්බා නේද?

මොනවා කරන්නද ඉතින්… මායි, අංජුයි, නිමේෂුයි, අපේ ලේකම් ලහිරුයි අපේ කණ්ඩා‍යමෙන් අකුරු මංපෙතට සහභාගී වුනා. ආරංචි විදිහට මේ පස්වැනි කියැවීම. අපේ පළවෙනි කියැවීම. අපි පහයි හතළිස් අට වෙනකොට සරසවිය ඇතුළේ. එතකොට කට්ටිය ඇවිල්ලා හිටියා වුනාට පටන් ගෙන තිබුනේ නෑ. ඔය අතරේ කවුරුහරි මට එක්තරා පුද්ගලයෙක් පෙන්නලා කිව්වාට අර තමයි ලියනගේ අමරකීර්ති කියලා… මට හිතාගන්න බැරිවුනා. ඒ අතින් පුද්ගලයින් අඳුනාගැනීම කියලා විෂයක් උසස් පෙළට තිබුනොත් අනිවාර්යයෙන්ම මට සෙකන්ඩ් ෂයි එක… අඩුගානේ තර්ඩ් ෂයි එකවත් කරලා තමයි නවතින්න වෙන්නේ. වැඩසටහන පටන්ගත්තාමයි දැනගත්තේ ඒ තමයි මම අදහන අටවක පුත්තු පොතේ කර්තෘ ලියනගේ අමරකීර්ති ශුරීන් කියලා…

ආරම්භය ඉතාමත් හෙමින් වුනාට… ටික ටික – ටික ටික වැඩේ නැගලා යන්න පටන් ගත්තා. මුලින්ම ලියනගේ අමරකීර්ති සූරින්ගෙන් පටන්ගත්ත කියැවීම් වාරය, එතුමා පොතේ කැමති තැන් වලින් කියවන්න පටන් අරගත්තා. එතුමා කියපු විදිහටම. පොතේ කැමති තැන් කියවන්න ගියා නං… මුලු පොතම කියවලා තමයි නතර කරන්න වෙන්නේ. ඔහොම පටන් ගත්ත අටවක පුත්තු කියැවීම ඊට පස්සේ අපේ රටේ දේශපාලනය, සමාජය වගේ තැන් කියවන්නටත් පටන්ගත්තා. ඒ කියැවීම ඉතාමත්ම ආශ්වාදජනක වුනා කියලා තමයි පස්සේ අපේ ගැන්සියේ අයත් එක්ක කතා කරනකොට මටත් තේරුනේ. ඉක්මනට ගෙදර යන්න ඕනේ නැත්තං අම්මාගෙන කේස් වැටෙයි කියලා කලින් යන්න සෙට් වෙලා හිටපු අපේ නිමේෂුත් සරසවියේ ටයිල් උඩ අපි වගේම කතාවට වහ වැටිලා ටයිල් වලට ඇලවිලා හිටියා. ඒ අර දෙල් ගෙඩිය, දමයන්තගේ ඔළුට උඩ‍ට ගෙනආපු, එහෙමත් නැත්තං ලියනගේ අමරකීර්තී සූරීන් කියපු විදිහට එතුමාගේ ඔළුට උඩටත් දෙල් ගෙඩියක් ගෙන ආපු ගුරුත්වාකර්ෂණය නිසා නෙවෙයි. එතන තිබුනේ අකුරුමංපෙතාකර්ෂණය කියලා තමයි දැන් මේ ලියන වේලාවේ මට හිතුනේ. සංවාදය නම් අටවක පුත්තු පොත වගේම හරිම රසවත්. පොතේ කතාව විග්‍රහ වෙද්දී, එතනට එකතුවෙලා හිටපු තවත් මහත්මයෙකුත් දැන් සමාජය ගැන අදහස් දැක්වීමක් ඉදිරිපත් කරපු වෙලාව හුඟක් හිතට වැදුනා…

මේ අලුත් පරම්පරාව. පොෂ් විදිහට ඇඳුම් අඳින මොබයිල් ෆෝන් අතේ තියාගෙන රසාස්වාදයෙන් ඈත් වෙලා ජීවත් වෙනවා කියලා තමන් හිතාගෙන හිටපු මතේ මෙතනට ඇවිල්ලා තමන්ට අමතක වුන බව කිව්වාම අපිට ඇතිවුනේ සියුම් සතුටක්.

ඒ වගේම කියන්න ඕනේ කාරණයක් තියෙනවා. මතය 50%ක් හෝ, 75%ක් විතර සාධාරණීයකරණය කරන්නත් බැරි කමක් නෑ. මොකද මේ තියෙන ක්‍රමයක් එක්ක එහෙම කට්ටිය තමන්ගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හිරවෙලා. ඉතින් එහෙම අයට අදකාලේ අකුරු මංපෙත ඒ හිරවෙච්ච බැම්ම කඩාගෙන එළියට එන්න හොඳ තෝතැන්නක් වේවි ඉස්සරහට.

වෙලාව කියන දේ හැමදේටම සීමාවක් තියන නිසා අකුරුමංපෙත නවත්තන්න වුන එක ගැන හරිම කණගාටුවක් අන්තිමට දැනුනේ. ලියනගේ අමරකීර්ති සූරීන් වගේම එතනට එකතු වෙලා හිටපු අනිත් අයත් දැන අඳුනාගන්න‍ ලොකු ආසාවක් තිබුනා වුනාට. තවත් වෙලා එතන හිටියොත් ම‍ගේ වගේම අපේ ගැන්සියේ අයගේ වෙලාව නරක අතට හැරෙන නිසා දුකෙන් වුනත් අපි ගැන්සිය එන්න පිටත් වුනා. ඉතින් අපිට සමාවෙන්න ඕනේ තවදුරටත් එතන රැඳිලා හිටියේ නැති වුනාට. පස්සේ දවසක නැවතත් හමුවෙමු!

හැබැයි ‍ලොකු චෝදනා පත්‍රයක් මට තියෙනවා සංවිධායකින්ට එල්ල කරන්න.

වෙලාව අන්තිම නරකයි 😀
වෙලාව නරක නිසා කතා කරලා විසඳගන්න ලැබෙන කාලයත් අඩුයි 😀

ලොකු කිව්වාට ලොකුම නෑ, පේලි දෙකක් විතරයි. ඒත් ඉතින් අප්පා පුංචි පහේ අපි අකුරු මංපෙතට ගිහිල්ලා ගෙදර යන‍කොට ගෙදර උන්දැලා කැති-පොලෝ-මුඟුරු-මන්න-අරවා-මෙව්වා උස්සගෙන යුධ ප්‍රකාශ කරලා පවුලෙන් නෙරපලා ඇරියොත් කාට කියන්නද… තොපි ගිහිල්ලා රොටරි කැන්ටිමෙන් කාලා සරසවියෙම පුටුවක් උඩ බුදියගනිං කිව්වොත් කාට කියන්නද… නිදහස් නිස්කලංක හවසක් හරි… විශේෂයෙන්ම උදැසනක් හරි මේකට යොදාගත්තා නං අගේ කියලා නිමකරන්න බෑ. සතිඅන්ත (ඉරිදා) උදයක් වුනානං මරු. වෙලාවත් ඇති තරම් තියෙනවා නෙව. කට්ටිය දහම් පාසල් යන්නෙත් නෑ නෙව 🙂 මොනවා වුනත් ඉතින් අපි දන්නවා. කට්ටියට වැඩ තියෙනවා තමයි. ඉතින් අපේ පැත්තෙන් චෝදනාව ඒක තමයි. ඉතින් විත්තිකරුවෝ සලකා බලත්වා. අපිට රසවත් අත්දැකීමක් දුන්නාට බොහොම ස්තූතියි!

ෂහ්. පුදුමයි. මේක ලියැවිලා ඉවරයි නෙව. මට දැන් ලොකු ලෙඩක් තියෙනවා වගෙයි පේන්නේ. මොකද ලියනවා කියලා හිතාගෙන ලිව්වොත් ලියවෙන්නේ නෑ. වෙන වෙලාවක ඔන්න අහම්බෙන් පටන්ගත්තොත්… මෙන්න බොලේ ලියැවෙනවා! 😀