අබා සමඟින් සටහන් ශතක පූරණය 5

මේ දවස්වල හැමෝම කතා කරන්නේ ලාංකීය සිනමාව, ඉතිහාසය ගැන තමයි. වැඩි දෙයක් කියන්න අවශ්‍ය වෙන්නේ නෑ. මාතෘකාව දැකපු ගමන් කියන්න ඇහැකි මොකක්ද ‍මේ දැන් මම මේ කතා කරන්නේ හදන්නේ කියලා. ඔව් කතා කරන්න යන්නේ අබා චිත්‍රපටිය ගැන. අබා චිත්‍රපටි කතාව නම් කියන්නේ නැහැ. මොකද ඒක ලංකාවේ ඉතිහාසය හදාරපු ඕන කෙනෙක් දන්න නිසා වගේම, මෙය කියවන ඔබගේ රසවින්ඳනයට බාධා කරන්න කරන්න අකමැති නිසා. දැන් මාතෘකාවේ පළවෙනි කොටස තේරෙන්න ඇති. අබා චිත්‍රපටිය සිංහල සිනමාවේ සන්ධිස්ථානයක් වගේම සුදාරකගේ අන්තර්ජාල සටහනේ සිය වෙනි සටහන කියන්නේ සුදාරකේ අන්තර්ජාල සටහනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක්. මේ දෙකම එකට ගැලපුනේ පුදුම අවස්ථාවකදී. ඒ ‍‍කො‍හොම වෙතත්, සුදාරකගේ අන්තර්ජාල සටහනේ සියවෙනි සටහන මෙවර ලියැවෙන්නේ, සිංහල සිනමාවට විශේෂ මෙහෙයක් ඉටු කරන, කරමින් සිටින ජැක්සන් ඇන්තනී කලා ශූරින්ට කෙරෙන ගෞරවයක් වශයෙන් වගේම, අබා චිත්‍රපටිය හා එහි සංවාදයට ගැනෙන ලංකා ඉතිහාසය ගැන මට හිතෙන දේ ගැන කියන්න. ඉතිහාසය ගැන මගේ දැනුම අඩු වුනත්, ඉතිහාසය හදාරන්න පොඩි කාලේ ඉඳලාම තිබ්බ ආශාව නිසාම අබා චිත්‍රපටියේ එන ඉතිහාස කතාව ගැන මට හිතෙන දේ කියන්නයි මේ හදන්නේ.

මුලින්ම චිත්‍රපටිය බලපු හැටි කියලා ඉන්න එපැයි.

චිත්‍රපටිය බලන්න ඕන ඕන ඕන කියලා කිව්වාට මොකට බලන්න යන්න තැනක් හිතාගන්න බැරිවයි හිටියේ. මේ දවස් ටිකේ අපේ ඉස්කෝලේ අමතර නිවාඩු කාලීන පන්ති වගයක් පවත්වපු නිසා අපේ නේවාසිකා‍ගාරේ අයත් මේ දවස්වල ‍ඉස්කෝලේම නැවතිලා ඉන්නවා. ඉතින් ඔන්න මට අදහසක් ආවා අපේ පන්තියේ ඉන්න නේවාසිකා‍ගාරේ කට්ටියම එකතු‍ වෙලා සැවෝයි එකේ චිත්‍රපටිය බලන්න යන්න. කිහිප‍ දෙනෙකුට ටිකට් ඇරන්දෙන්නවා කියලත් පොරොන්දු වෙලා දිනයක් ලේස්ති කරගත්තා. ඒ දවස තමයි මම මේ දැන් කියන දිනයට පස්සේ දවස. ‍පොරොන්දුව වෙච්ච දිනයේ හවස මට අමතර පන්තියක් තිබ්බ නිසා අපේ ඉස්කෝලේ ආපනශාලාවෙන් කෑම එකක් ගත්තා. කෑම එක ටිකක් ඇඟට ඇල්ලුවේ නැති ගතියක් තිබ්බ නිසා. ඇඟ දෙවෙනියට තියලා බඩ ගැන හිතලා කෑම එක ගත්තා. අනික සල්ලි දීලා ගත්තු කෑම එකනේ. අත අරින්නත් බෑනේ කියලා කෑම එකට වැ‍ඩේ දුන්නා. හිටු කියලා වැඩේ දුන්නට බස් එකට නැග්තා විතරයි. කාපුවා ඇඟේ වැඩකරන්න පටන් ඇරගෙන පොඩි බඩේ අමාරුවකුත් හැදුනා. කොහොමහරි බස් එක පන්තියට ළං වෙච්චි, ළං වුනාට දැන් පන්තියට යන්න බැරි තරමට ‍බ‍ඩේ අමාරුව උත්සන්න වෙලා. අන්තිමට පන්තිත් යන්නේ නැතිව කෙලින්ම ගෙදර ඇවිල්ලා වැසිකිලියේ තමා නතර වුනේ. 😀 ඉතින් ඔන්න පහු ගිය දවසේ. ඒ කියන්නේ අබා බලන්න යන්න තීරණය කරගත්ත දවසේ ඉස්කෝලේ යන්න බැරි වුනා. එදත් Live @ 55, පුවත් වියමන වගේ පැයෙන් පැයට වැසිකිළියට වාර්තා කරන්න සිද්ද වුනා 😀 . අද තමයි අර නිවාඩු කාලීන අමතර පන්ති පැවැත්වුන අන්තිම දවස. අන්තිම දවසේ තිබ්බේ එක කාල පරිච්ඡේදයක් විතරක් නිසා උදේ 9.30 වෙනකොට ඉස්කෝලේ අහවර වුනා. අර මගේ නින්ද වීඩියෝ කරපු යාළුවත් එක්ක තමයි මම සාමාන්‍යයෙන් මහරගමට එන්නේ, ඉතින් ඔන්න මහරගමට ලං‍ වෙලා වෙලාව බැලුවාම 10.15යි. වෙලාව බැලුවාම තමයි ඕං ගණ දෙවි නුවණ පහලවුනේ. 😀 එකපාරටම ඔළුවට විදුලියක් කෙටුවා වගේ මතක් වුනා මහරගම නැෂනල් සිනමා ශාලාවේ අබා පෙන්නනවා කියලා. ඒ අතරේ හිමීට සාක්කුවත් ඇදලා බැලුවා. ඇදලා බැලින්නං මෙන්න රුපියල් 150කුත් සාක්කුවේ. මං යාළුවගෙන් හිමීට අහලා බැලුවා “මචන්, රුපියල් පනහක් තියේද? මං අතින් 50ක් දාලා යමුද අබා චිත්‍රපටිය බලන්න?” (මං මේ මහා දාන පතියා වෙන්න හදනවා නෙවෙයි. ඇත්ත කතාව කියන්න එපැයි ඉතින්. මට කියන්න ඕනේ වුනේ මේක හදිස්සියේ ගත්ත තීරණයක් කියලා කියන්න) වැ‍ඩේ කියන්නේ මිනිහා අතේ සන්තකේටමත් හරියටම තිබ්බේ රුපියල් 50යි. ඉතින් ඉබ්බා දියේ දැම්මාම ඇන්නෑවේ කියලා කිව්වාලු. මහරගමින් බහිනකොට උදේ 10.25යි. කොහොමහරි පාර මාරු වෙලා. මහරගම නැෂනල් ශාලාවට ගිහිල්ලා හරියටම චිත්‍රපටිය පටන්ගන්නකොටම අසුන් ගත්තා. හැබැයි මහරගම නැෂනල් එකේ DTS එහෙම නැති නිසා හරියට ශබ්ද රසේ නම් විඳගන්න බැරිවුනා. ඒත් ඉතින් මට මේ කතාව නොවැ වැදගත්. ඉතින් ඕං ඔහොමයි අබා චිත්‍රපටිය බලන්න අවස්ථාව ලැබුනේ. හැබැයි ඉතින් අම්මාට නොකියා හදිස්සියේ චිත්‍රපටිය බැලුවා කියලා බැනුම් අහන්නත් වුනා. ඒක ඉතින් වෙනම කතාවක්. මම හැබැයි කලින් අම්මාගෙනුයි තාත්තාගෙනුයි අවසර ඇරගෙන තිබුනේ හොස්ට‍ල් එකේ අයත් එක්ක බලන්න යන්න. ඒත් ඉතින් කරුම බඩේ අමාරුවක් හැදුනා නොවැ. හරි දැන් මාතෘකාවට පිවිසෙමුකෝ…

ලංකාවේ නිර්මාණය වෙච්චි චිත්‍රපටි අතුරින් අක්ෂරය චිත්‍රපටියට (බලලා නැහැ. බලන්න වයස හරි නෑ නොවැ. මේක බලපු කෙනෙකුගෙන් අහලා දැනගත්ත එකක්) පස්සේ සිංහල සිනමාවට ලෝක සිනමා තාක්ෂණය නියමාකාරයෙන් එකතු වෙච්ච සිනමා නිර්මාණයක්. තාක්ෂණය එකතු වෙනවා කියන එකේ අර්ථය මම මෙතනට යොදාගෙන තියෙන්නේ ත්‍රිමාණ සජීවීකරණ වගේ දේවල් ගැන නෙමෙයි. මම මෙතැනදී තාක්ෂණය කියන්නේ කැමරා, පසුතල නිර්මාණය හා ශබ්ද පරිපාලනය කියන දේවල්වලට. ලංකාවේ පළවෙනි වතාවට ‍දේශීය නිෂ්පාදකව‍රයෙකු යටතේ කෙරෙන ලද අති දැවැන්තම නිර්මාණයත් මේකම වෙන්න ඇති. ලංකාවේ නිර්මාණය වෙච්ච චිත්‍රපටියක් විදිහට ගත්තොත් නම් අති විශිෂ්ට ගණයේ සිනමා නිර්මාණයක්. ඒත් මේ චිත්‍රපටියට යම් තාක් දුරකට ලෝක සිනමාව සමගත් ගැටෙන්න බැරි කමක් නැහැ. චිත්‍රපටියේ නම අබා වුනාට චිත්‍රපටියේ වැඩි තැනක් දීලා ති‍බුනේ හබරා චරිතයට. ඇත්තෙන්ම මෙම චරිතය නිරූපණය කරන සෞම්‍ය ලියනගේ අති දක්ෂ අන්දමින් මෙම චරිතයට සාධාරණයක් ඉටු කරලා තිබුනා. මේ චිත්‍රපටියේ ඔහුගේ දක්ෂතා දැක්කාම මට හිතෙනවා අර මස් පුම්බගෙන ජනප්‍රියතාවයට දඟලන ලංකාවේ අනිත් නළුවන්ට වඩා සෞම්‍ය ලියනගේ අති දක්ෂයෙක් කියන එක. අවිවාදයි! සෞම්‍ය ලියනගේ තමයි ලංකාවේ දැනට අතිදක්ෂ චිත්‍රපටි රංගන ශිල්පියා!!. ඒ වගේම චිත්‍රපටි‍යේ ප්‍රධාන චරිතය, එසේත් නැතිනම් අබා චරිතයට රඟ දක්වන ළමා නළු සජිත අනුත්තරත් දක්ෂයි. ඒත් පොඩි පොඩි අඩුපාඩුකම් නැත්තේ නැහැ. ඔහුට තියෙනවා දැන් සෑහෙන්න දුර ගමනක් ඉදිරියට යන්න. ඔහුටත් මෙය අවස්ථාවක් කරගන්නවා සුභ පතන්නට. ඒ වගේම පොඩි අඩුපාඩුවක් තියෙන තැනක් දකිනවා. ඒක තමයි, මේ චිත්‍රපටියේ චිත්‍රරාජ චරිතයට අමුතු දේව රූපයක් මවාදී තිබීම. මෙය හැරීපෝටර් චිත්‍රපටියේ/කතාමාලාවේ හැරීපොටර්ගේ දෙමව්පියන් මරණයෙන් පසු නැවතත් භූතාත්මයක් විදිහට පැමිණ තම පුතාට සහය ලබාදෙනවා. අන්න ඒ විදිහට අබා චිත්‍රපටියේ චිත්‍රරාජ චරිතය මතු කරලා තිබෙනවා. සමහරු කියනවා චිත්‍රරාජ චරිතය මේ චිත්‍රපටියේ නිර්මාණ කරලා තියෙන්නේ එක්තරා ආගමක නායකයෙක්ව සිහිගන්වමින් කියලා. රූපය නම් යම්තාක් දුරකට සමානයි. ඒත් එච්චර අන්තවාදීව හිතන එක හරි නෑ. මොකද මේ චිත්‍රපටියේ කිසිම විදිහකින් ඒ ආගම ඉස්මතු කරන්න උත්සාහ කරලා නැහැ. අපි අපිම තමයි ඒක බොරුවට ඉස්මතු කරගෙන අපි අපිටම ගහගන්න යනවා කියන දේ තමයි මට එක පැත්තකින් හිතෙන්නේ. අධ්‍යක්ෂකවරයා අන්‍යාගමිකයෙක් වූ පමණින් එ‍සේ ලේබල් ගැසිම නම් හොඳ දෙයක් නෙවෙයි. ඒවාගෙම මෙහි චිත්‍රරාජ මරණයට ගෙන යන අවස්ථාව නිරූපණය කරවලා තියෙන්නේ හරියට අර ආගමික නායකයා මරණයට ගෙන යනවා වගේ තමයි. ඒත් එය චිත්‍රපටියේ උච්ඡ නාට්‍යමය අවස්ථාවක් නිරූපණය කිරීමට යොදවාගන්නා ලද්දක් මිසක්, ඒ ආගම ඉස්මතු කරවීමක් ලෙස නොවෙයි මා නම් එය දුටුවේ. අමතර දෙයක් කියන්න තියෙනවා. අපි අව් කණ්ණාඩියක් දාගත්තාම අපිට පේ‍න හැමදෙයක්ම කලු පාටට, ඒ ‍වගේ එක එක පාට කණ්ණාඩි දාගත්තාම අපිට ‍දේවල් පේන්නේ ඒ ඒ පාටට. නමුත් චිත්‍රපටියක් ඒ විදිහට පාට පාට කණ්ණාඩි දාගෙන බලන එක හොඳ දෙයක් නෙවෙයි. අපි අපේ කණ්ණාඩි අපිටම තියාගත්තාවේ. ඒත් චිත්‍රපටියකදී, වි‍ශේෂයෙන්ම මේ ව‍ගේ ලාංකීය දැවැන්ත නිර්මාණයකදී එසේ කිරීම වැරදියි. මෙහි යම්කිසි ආගමකට, ජාතියකට කිසිදු ආකාරයෙන් නිගරුවක් කරලා නැහැ කියලා ඔබට අර කණ්ණාඩි ගලවලා බැලුවාම පෙනේවි. චිත්‍රපටියේ කිරියක්කිනි චරිතයට වෙනුවෙන් නිරූපණය කරන දිනූෂා රාජපතිරණත් ඉතා අලංකාර ආකාරයෙන් හැඟීම් දනවමින් චිත්‍රපටියේ තමන්ගේ රංග කාර්යය කෙටි චරිතයක් වුවත්, ඉටු කරලා තියෙනවා. මේ ආකාරයට, චිත්‍රපටියේ අනෙකුතු රංගන ශිල්පීන් තමන්ට හැකි උපරිමයෙන් දායකත්වය ලබාදෙද්දී නවක නිළි දුලානි අනුරාධා විසින්, මෙහි තවත් ප්‍රධාන චරිතයක් වන ශුකුම්බකබතා චරිතය නිරූපනය කරනවා දකින්න පුළුවන්. ඇගේ රං
ගන හැකියාව මීට වඩා තවත් ටිකක් දියුණු කරගන්න තිබ්බා කියලා තමයි මට නම් හිතෙන්නේ. කෙසේ වෙතත්, ඇයද ඇයගේ චරිතයට සාධාරණයක් ඉටු කිරීමට සමත්වී තිබෙනවා.

මීළඟට මෙහි එන ඉතිහාස කතාව ගැන අවධානය යොමු කරමු.

මෙම චිත්‍රපටියෙන් කිසිදු ආකාරයෙන් භාවිත ඉතිහාසය විකෘති කිරීමක් සිදුවී නැහැ කියලයි මුලින්ම කියන්න අවශ්‍ය. එමෙන්ම පණ්ඩුකාභය කුමරුගේ පියා දීඝ ගාමිණී කුමරු නොවන බව අධ්‍යක්ෂක විසින් පවතා තිබෙනවා. එමෙන්ම සාමාන්‍යයෙන් පිළිගනු ලබන දීඝ ගාමිණී කුමරුගේ චරිතය රූප රාමු කිහිපයක‍ට පමණක් සීමා කරමින් චිත්‍රරාජ චරිතය ඉස්මතු කරවීමට අධ්‍යක්ෂවරයා උත්සාහ ගෙන තිබෙනවා. චිත්‍රරාජ, විජය රජු විසින් උදුරාගත්, තම ගෝත්‍රයේ ප්‍රෞඩත්වය උපක්‍රමශීලීව නැවත ගොඩනගාගනිමින් රටේ හිමිකාරයන් වෙත රටේ බලය හිමිකරගැනිමට දිවිපරදුවට තබා ගනු ලබන උත්සාහය ඉස්මතු කර පෙන්වීමට ගනු ලබන උත්සාහය මැනවින් මෙහි නිරූපණය වී තිබෙනවා. චිත්‍රපටියේ සැඟවුනු අර්ථයට අනුව චිත්‍රරාජ චරිතය යනු උන්මාද චිත්‍රගේ ආරක්ෂාවට පිහිටුවන්නා නොව, ගෝත්‍රික ඔටුන්න හිමි කුමාර චරිතයකි. ඒ විදිහට මෙහෙම නිගමනයකට එන්න පුළුවන්. චිත්‍රරාජ තමන්ගේ ගෝත්‍රයේ නිවහල්භාවය වෙනුවෙන් වංග රටින් පැමිණි සිංහ වාංශිකයන්ගේ වහළෙකු වශයෙන් සේවය‍ට ගොස් දේශපාලනික උපක්‍රමයක් යොදවයි. යක්ෂ ග්‍රෝත්‍රික ලෙයින් බලවත් රාජ වංශයක් ඇරඹීමට තවත් රාජ වංශික කුමාරිකාවක් වන උන්මාද චිත්‍රාවගෙන් දරුවකු උපද්දවයි. ඔහුට දේශීය යුධ දැනුම ලබාදී ඔහු ලවා පිටදේශක්කාර ඔහුගේම මාමාවරුන් නූතන සිංහල  රාජවංශය ලක්දිව පිහිටවනු ලබවයි. මෙය අපේ ඉතිහාසය පිළිබඳ දැවැන්ත අභිරහසක් හෙළි දරව් කරනු ඇත. පණ්ඩුකාභය Half Blood Prince කෙනෙකු විය නොහැකිද? දැන්, ඔහුගෙන් නූතන සිංහල පරපුර පැවතගෙන ඒ යැයි නිගමනය කළ හැක්කේ නොවේද? හෙළ පරපුරක් වූ යක්ෂයින්ගේ උපායශීලී බව, තාක්ෂණික ඥානය, රාජ්‍යෝපායන් මිශ්‍ර වූ ඉන්දු ආර්ය මිශ්‍ර වූ බලවත් ජාතියක ආරම්භය මෙය යැයි සැලකිය හැකිද? ඒ බලවත් ජාතියේ බලය මෑත කාලීනව හීන වූයේද යන ආකාරයේ උභතෝකෝටික ප්‍රශ්ණ මාලාවක් සාමාන්‍ය අයෙකුගේ සිතේ ඇතිවීම සාධාරණයි නොවේද?

එය එසේ තිබෙද්දී පුරාවිද්‍යාත්මක සාධක ඔස්සේ යමින්, අනුරාධපුරය නමැති ‍ලෝක පූජිත ගණයේ රාජ්‍යය ගොඩනංවනු ලැබුයේ පණ්ඩුකාභය රජු නොවේ යන්නටද විවිධ මත පළවෙමින් ඇත. කෙසේ වෙතත්, සිංහල නම් දුර්ලභ ජාතියේ මූලය සොයාගැනීමේ අර්බුධය මුලින්ම ඉපදුනේ කිකිළිද බිත්‍තරේද කියන ගැටළුවටත් වඩා අපහසු කරුණක් වී ඇත. කවුරුන්හෝ මේ ජාතියේ තොරතුරු යටගියාවේ සඟවා ඇත. එය හොඳට හෝ නරකකට විය හැකියි. සමාවෙන්න, භාෂා භාවිතයේදී වෙච්ච අත් වැරැද්දට නොදැනීම ලියැවෙන භාෂාවෙන් ලියැවිලා අන්තිම ටික. ඔන්න ඕකයි කතාව.

කොහොමහරි අබා දෙවැනි කොටසක් අනිවාර්යයෙන්ම එනවා වගේ හිතෙනවා. ඒ දෙවැනි කොටසේ රංගන ශිල්පීන්ගේ දක්සතා ටිකක් වැඩි වෙලා තියෙන්න ඕනේ. ඒ ‍වගේම අති නවීන තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද යුධමය ජවනිකා අඩංගු වේ යැයි බලාපොරොත්තු වෙනවා.

ඒ කිව්වේ අබා චිත්‍රපටිය ගැනනේ. අබා චිත්‍රපටිය ගැන එළකිරි වෙබ් අඩවියේ ෆෝරමයට ඇමුණුමක් එවා තිබුණා “අබා අප වනසන සොබා” කියන නමින්. ඒකට ප්‍රතිචාරයක් දක්වලා ම‍ගේ බ්ලොග් අඩවියේ ‍තියෙන්නේ වල් පල් කියලා අහගන්නත් වුනා නොවැ. ඉතින් හිතුවා බ්ලොග් අඩවියේ තත්ත්වය දියුණු කරගන්න මේ බ්ලොග් අඩවිය කියවන ඔබගෙන් අදහස් ලබාගන්න අවශ්‍යයි කියලා. මේ ‍බ්ලොග් අඩවිය ගැන ඔබේ අදහස් මෙම බ්ලොග් අඩවියේ “මත විමසුම” පිටුවේ සටහන් කරන්න පුළුවන්. ලිඛිත අදහස් තියෙනවා නම්, ඒවා මගේ ඊමේල් ලිපිනය වන supun[@]sudaraka[dot]com යන ලිපිනයට යොමු කරන්න.

5 thoughts on “අබා සමඟින් සටහන් ශතක පූරණය

  1. Reply කසුන් Aug 16,2008 12:02 pm

    මලයා, ඔය අන්තවාදී ප්‍රතිචාරයන් ගනන් ගත යුතු නැහැ. කොහොමත් ලංකාව ගමන් ගනිමින් ඉන්නේ කෙළවරක් නැති අගාධයකට. කලා නිර්මාණයක් හා සැබෑව අතර වෙනස හඳුනා ගැනීමට නොහැකි මේ ඊනියා චින්තකයින්, කලා නිර්මාණයකින් බලාපොරොත්තු වෙන්නේත් තමන් දරන මතය වෙනුවෙන් ආවරණයක් පමණයි. මේක කණගාටුදායක තත්වයක් වුනත්, ඊට එරෙහි සමාජ මතවාදයන් ප්‍රභල ලෙස ඉස්මතු වෙන්නේ නැහැ. අක්ෂරය ගතහොත් එය නිශේධනාත්මක නිර්මාණයක් විය හැකියි. නමුත් ඒ හේතුවෙන් එය තහනම් කිරීම යුක්ති සහගතද? මට අනුව නම් අක්ෂරය නිර්දය ලෙස විවේචනයකට ඉඩ හැරිය යුතුව තිබුනා. අක්ෂරය දකින්නටත් පෙර ඒ සම්බන්ධයෙන් ගොඩනැඟුනු ඊනියා විවේචනයන් තුල එවැනි දෙයකට ඉඩක් ඉතිරි කොට නැහැ.
    අබා සම්බන්ධයෙන් වූ විවේචනයන් ගත්තත් ඒවා හුදු අන්තවාදී ඉසව් කරා ගමන් කරන බවක් මිස සාධනීය ලක්ෂණයන් පෙන්වන්නේ නැහැ. !

  2. Reply haresh Aug 16,2008 2:41 pm

    මේ සුපුන් කියන දේවල් සහතික ඇත්ත. මතවාදකාරයො නම් ලංකාවෙ ඉන්නව ඇති වෙන්න. කට්ටිය මේ කියන දේවල් ඇත්තටම හරිම අසාධාරණයි. අන්තවාදියි. මුළු ලෝකෙම පවා අද වැරදි තැනකට යමින් ඉන්නෙ මේ බෙදීම් නිසා. කලාව කියන නිදහස් මාධ්‍යයත් කට්ටිය මනින්නෙ තමන්ගෙ ඔළුවෙ තියෙන බෙදීම් හරහා. කවුරුන් හෝ කමක් නෑ හොඳ දෙයක් කිරීමේ අරමුණින් කරන දෙයක් මෙහෙම රාමු වලට තල්ලු කිරීම අපේ ඉදිරි ගමන වලක්වා ගැනීමක්.

  3. Reply නිදහස Aug 16,2008 9:15 pm

    කලා නිර්මාණ රස විඳින්නෙ දන්නෙ නැති රටක් මේක. ජැක්සන් කලේ වාර්තා චිත්‍රපටියක් නෙවෙයිනෙ. ඉතිහාසය තමන්ගෙ නිර්මාණයට අදාලව යොදා ගන්න නිර්මාපකයට අයිතිය තියෙනවා. ඔය ආගම් වාදී චෝදනා කරන උදවිය පන්සිල් පද පහ වත් දන්නවද කියන එක සැකයි. ඉතිහාසය ඉගෙන ගන්න ඕන නම් ජාතික කෞතුකාගාරයට ගියා නම් හරි. ලංකාවෙ මිනිස්සු කල් කරුවන්ගෙ නිර්මාණ ගැන නෙවේ හොයන්නෙ . පෞද්ගලික ජීවිත , රස්සාව, ගෙදර කාමර ගාන, බඩු ගහනවද , පන්සල් යනවද වගේ දේවල්. සංස්කෘතික වශයෙන් අබ්බගාත රටක ජීවත් වෙනකොට මේ වගේ අය හම්බ වෙන එක පුදුමයක් නෙවේ.

  4. Reply අරවින්ද Aug 17,2008 7:54 pm

    හරියට හරි. විත්‍රපටයක කාර්ය මිනිස්සුන්ට ඉතිහාසය ඉගැන්වීම නොවෙයිනේ. කලා නිර්මාණයක් කියන්නේ සත්‍යයත් කල්පිතයත් අතර දෙයක් කියලා කියනවා. ඒ කියන්නේ සත්‍යය වගේ ම නිර්මාණකරුවාගේ සිතේ මැවුණු දේත් එහි අඩංගු යි.
    කොහොම වුණත් මම තාම මේ චිත්‍රපටය බලලා නෑ. චිත්‍රපටය නොබලා ඒ ගැන අදහස් පළ කිරීම ගැන සමා වෙන්න.

  5. Reply රන්දුනු Aug 18,2008 1:41 pm

    මල්ලී චිත්‍රපටය බලන්න කලින් අර ලිපිය කියවලා ඔයාගේ හිතේ ඇඳුනු චිත්‍රය එහෙම් පිටින්ම වෙනස්‌ වුණා නේද?
    ඔබ ච්ත්‍රපටිය බලලාම විචාරයක්‌ ලිවීම ගැන මාගේ හද පිරි ස්‌තූතිය.. තවත් කී දෙනෙක්‌ ඔය ලිපියට අනුව යමින් විශිෂ්ඨ නිර්මාණයක රසය ලැබීමට ඇති අවස්‌තාව නැති කර ගනීවිද දන්නේ නෑ..???

    රන්දුනු

Leave a Reply

%d bloggers like this: