Categories
විවිධ

සිංහල බැරි සිංහල නිවේදිකාවෝ හා නිළියෝ (තාම නළුවෙක් දැක්කේ නෑ!)

ඔන්න අදින් වාර විභාගේ ඉවරයි. විභාගේ ඉවරවෙනවාත් එක්කම ලැබිච්ච නිවාඩුව නිසා එක පැත්තකින් සතුටක් දැනුනත් අනිත් පැත්තෙන් දුකක් දැනෙන්නේ විභාගේ ප්‍රතිඵල දැනගන්නත් කළින් නිවාඩු ලැබිච්ච එකට. කමක් නෑ. මාතෘකාවට පිවිසෙමුකෝ. මේ දවස්වල බොහෝ දෙනෙක් දන්නා විදිහට ලංකාවේ සිංහල රූපවාහිනී නාලිකාවල බොහෝ විට හවස් යාමේ වෙනකොට අළුත් ප්‍රවණතාවයක් ඇතිවෙලා තියෙනවා කියලා දන්නවා ඇති. ඔව් ඒ තමයි ගීත ඉල්ලීමේ වැඩසටහන් හා මායා පෙට්ටි වැඩසටහන්. හැබැයි මේ නාලිකා දකිනකොට අපිට අපි ගැනම පුදුම දුකක් තියෙන්නේ. දැන් හැම නිවේදිකාවක්ම කතාකරන්නේ අමුතු සිංහල උච්ඡාරණයකින්. මේක නිසා විශේෂයෙන්ම සිංහල ඉගෙනගන්න කුඩා ළමයින් අතරමං වෙන්න පුළුවන්. ඇති තමුන්ගේ අයියලා අක්කලා කෙල හල හල මේවා බලනකොට ඒ අයට හිතෙනවා මේක තමයි නියම සිංහල උච්ඡාරණය කරන ක්‍රමය කියලා. ඉතින් ඔන්න ඕකයි තත්ත්වේ. ඒ මදිවට හොඳට හිටපු එක නිළියකුත් (ළඟදී Sirasa Dancing Stars එකේ නටලා හති වැටිලා කෙටි පණිවිඩ ජන්දෙන් අයින් වෙච්ච එක්කෙනෙක්) ළඟදී ඉඳන් අමුතු සිංහලක් කතා කරනවා. සාමාන්‍යයෙන් සිංහල හෝඩිය නිර්මාණ‍ය වෙලා තියෙන්නෙත් ශබ්ද උච්ඡාරණය කෙරෙනු ලබන ආකාරය සලකා බලලා නිසා, මොවුන්ගේ භාෂා විලාශය නිසා අනාගතයේ යම් යම් භාෂාත්මක ගැටලු ඇතිවීමටත් හැකියාව තියේවි. සිංහල භාෂාව පිළිබඳව විවිධ මත මේ පිළීබඳව අන්තර්ජාලය තුලත් දකින්නට ලැබීම සතුටක්.මාගේ මීළඟට ඉදිරිපත් කරන සටහනකින් එම සියලුම සටහන් එකට ටැග් කරන්නයි බලාපොරොත්තුව. අපි බලමු අනාගතේදී මොනවාද වෙන්නේ කියලා. එක්කෝ මේ අය සිංහල උච්ජාරණය කරන විදිහට සිංහල උච්ඡාරණය කරන්න ඕනේ, නැත්තන් මේ අය ඉංග්‍රීසි උච්ඡාරණය කරන විදිහට ඉංග්‍රීසී උච්ඡාරණය කරන්න ඕනේ එහෙම නැත්තන් මුන් එල්ලිලා මැරුණානම් හොඳයි භාෂාව මරන්නේ නැතිව.

———————————————————

පසු සටහන : රූපවාහිනී කියන්නේ ලංකාව තුළ සජීවි මාධ්‍යයක්. එම නිසා භාෂාව භාවිතයේදී මීඩ වඩා සැලකිලිමත් වියයුතුයි. කතා කරන භාෂාවෙන් රූපවාහිනිය තුළ භාෂාව භාවිතා කිරී‍මේ වරදක් මා දකින්නේ නැහැ. ඒ ඒ භාෂාවට ආවේනික වූත් අලංකාර වූත් ලක්ෂණ තිබෙනවා. කතා කිරීමේදී ඉංග්‍රීසි හා සිංහල වචන එකතු කරගැනීමේදීද කිසිදු ගැටළුවක් මා දකින්නේ නැහැ. නමුත් ඉංග්‍රීසි උච්ජාරණය කරන විදිහට සිංහල උච්ඡාරණය කරනකොට හිරිකිතක් දැනෙනවා (මේකට භාවිතා කරන වචනේ “පොෂ්” කියන එකද කොහේද) ඔබටත් ඒ හිරිකිත දැනෙනවාද?

Categories
ඉතිහාස ගවේෂණ

සැබෑ සිංහලයන් යනු කවුරුන්ද? (සංවාදයට අනිවාර්යයෙන්ම විවෘතයි)

මා සතුව ඇති ඉතිහාසය පිළිබඳව දැනීම මඳ වූවත් මෑතකදී මවිසින් පරිශීලනය කරන ලද පොත් පත් හරහා මට පෙනී ගියේ දැනට අප විසින් සාමාන්‍යයෙන් විශ්වාස කරනු ලබන මතය වන සිංහලයන් යනු විජය රජුගෙන් පැවත එන්නන් යන විශ්වාසය බිඳ හෙලිය හැකි බව යන්නයි. මාගේ හා තවත් ඉතිහාසඥයින් කිහිප දෙනෙකුගේ මතයන් වනුයේ සිංහලයින් යනු ඊටත් වඩා පුරාණ ඉතිහාසයක් සහිත වූ ජාතියක් යන්නය. කෙටියෙන්ම පැවසුවහොත් ශ්‍රී ලංකාව යනු ලෝකයේ කේන්ද්‍රස්ථානය වන්නේය.

මුලින්ම සිංහලයන් යනු කවුරුන්දැයි විමසා බලනු කැමැත්තෙමි. සිංහලයන් යනු සිව් හෙළයින් වේ. එම සිව් හෙළයින් මෙසේ දැක්වීම හැකියාව ඇත

  1. යක්ෂ ගෝත්‍රිකයින්
  2. නාග ගෝත්‍රිකයින්‍
  3. දේව ගෝත්‍රිකයින්
  4. තවත් එක් යම්කිසි ගෝත්‍රික කණ්ඩායමක්

මේ අනුව මෙම ගෝත්‍ර හතරේ එකමුතුවෙන් සෑදුනු ඒකීය ජන කණ්ඩායම සිව් හෙළයින් හෙවත් සිංහලයින් වේ. මෙම සිංහලයින් සතුව ඉතාමත් ප්‍රෞඩ ඉතිහාසයක් ඇති අතර එම ඉතිහාසය අවම වශයෙන් වසර 10,000කටවත් ඈත අතීතයකට හිමිකම් කියයි. මෙම ඉතිහාසය පිළිබඳ දැනට ඇති මූලාශ්‍ර ඉතාමත් අවම වන නමුත් මෙම මතය ඉදිරිපත් කිරීමට පෙන්විය හැකි ප්‍රධානතම සාධකය වනුනේ රාමායනය නම් වන වීර කාව්‍යයයි. එමෙන්ම මෙම ඉතිහාසය පිළිබඳ සනාථ කළ හැකි ප්‍රාග් ඓතිහාසික සාධකද මේ වන විට හමුවී ඇති අතර, හමුවෙමින්ද පවතින බව මා හට ජනමාධ්‍ය හරහා විටින් විට දැක ගැනීමට හැකියාව ලැබිණ.

එමෙන්ම මෑතකදී සොයාගන්නා ලද ප්‍රාග් ඓතිහාසික සොහොනක්ද (මට එය පිහිටා ඇති ස්ථානය නම් නම් මතකයේ නෑ. කොහොම හරි ලංකාවේ තමයි පිහිටලා තියෙන්නේ) අපගේ සාධක වන සත්‍ය භාවය වඩාත් තීව්‍ර කරයි. එය දැනට අප විසින් පිළිගනු  ලබන ප්‍රථම රජු වන විජය රජු පැමිණිමට පෙර කාලයකට අයත් වන්නක් වේ. ප්‍රාග් ඓතිහාසික සොහොනක් තුලින් පෙන්නු‍ම් කෙරනුයේ එකල සමාජය තුළ තිබූ ක්‍රමවත් භාවය වන අතර එයින්ම පෙන්නුම් කරනුයේ එම සමාජය තුළ තිබූ ක්‍රමවත් භාවය බැවින්, අප හ‍ට පිළිගැනීමට හැකිවන්නේ විජය රජු පැමිණීමට පෙරද අප සතුව අතිශයින් ක්‍රමවත් සමාජ පද්ධතියක් තිබූ බවයි.

තවත් ලිපි ඉදිරියේදී බලාපොරොත්තු වන්න. යම් කිසි අදහසක් ලබා ගැනීම සඳහා 2008-01-27 දින පළවූ ජයරත්න පතිර ආරචිචි මහතාගේ රාවණ රජ සමයේ පුරා විද්‍යාත්මක සාක්ෂි (http://www.rivira.lk/2008/01/27/rividahara1.htm) ලිපිය කියවන්න. සැබෑ සිංහලයින් කවුරුන්දැයි අපි අන්තර්ජාලය හරහා සොයා බලමු.

සුපුන්  සුදාරක – http://blog.sudaraka.com