Categories
විකාර විවිධ

ගෝලීය උණුසුම

මෙච්චර කල් මට පෞද්ගලිකව නොදැනුන දෙයක් දැන් දැනෙන්න පටන් අරගෙන. ඒ මොකක්වත් නෙවෙයි. ගෝලීය උණුසුම. ගෝලය කෙසේවෙතත්. ගෝලය මැද්දෙ පුංචි (අ)මුතු ඇ‍ටේ නම් මේ දවස්වල විඳින්නෙ පුදුම පීඩාවක්. මේ තත්වෙ දිගටම තිබුනොත් නම්, මැතිවරණ උණුසුම කෙසේවෙතත්. කට්ටිය ගෝලීය උණුසුමෙන් හෙම්බත්වෙයි කියලයි මට නං හිතෙන්නෙ.

වැඩවසම් යුගයෙන් පස්සෙ එන කාර්මික විප්ලව යුගයෙ අවුරුදු 200 පහුකරගෙන එනකොට අපි හැමෝම ආතතියෙන් කඩා වැටිල. සල්‍ලි පස්සෙ දුවගෙන යන සමාජ ක්‍රමයක් ඇතුළෙ පරිසර පද්ධති වලට ඒක සෑහෙන්න බලපෑවෙ නොමිලේ සොබාදහමෙන් ලැබෙන ගස්, වැල්, ගල්, මුල්, මල්, තෙල් මේ හැමදෙයකටම ආර්ථික වටිනාකමක් එකතුවුන නිසා. ලොකු ලොකු ඉඩම් එකතුකරගත්ත අයට පස්සෙ කාලෙ ආර්ථික වශයෙන් සෑහෙන්න වාසියි!

මේ අවුරුදු දෙසිය ගාණ ඇතුළෙ පරිසර සම්පත් සීඝ්‍ර වශයෙන් මුදල් බවට පරිවර්තනය වෙලා වාෂ්ප වේගෙන යනකොට, බහුතරය‍‍කගෙ ඔළුවෙ මේ සම්පත් රැකගන්නෙ කොහොමද කියල කිසීම හැඟීමක් තිබුනෙ නැහැ. භෞතික දියුණුව සියයට දාහකින් අඛණ්ඩව වර්ධනය වෙනකොට ඊට ප්‍රතිලෝමව ආධ්‍යාත්මික දියුණුව පාරිසරික බැඳීම් පද්ධතිය සියයට දස දහසකින් කඩාගෙන වැටෙන්න පටන්ගත්ත.

පරිසරය සමඟ බැඳුන විශිෂ්ට ජන කොට්ඨාශ වුන මායාවරු, රතු ඉන්දියන්වරු සහ ඕස්ට්‍රේලියානු ඇබරින්ජියානුවන් සමූල ඝාතනය කරල ඔවුන්ගෙ නිජ භූමි අයිතිකරගත්ත සුදු ජාතියන්, දැන් ඉන්නෙ සෑහෙන්න දියුණු මට්ටමක. ඊට පස්සෙ ඒ සුදු ජාතීන්ට තමන්ගෙ පුද්ගල ශ්‍රමය අලෙවි කිරීමේ කඩිසර දක්ෂයින් වුන ජපානය තවත් ඉහළ තැනක. ඒත් ලංකාව කියන්නෙ කිසිම විදිහකින් ක්‍රමානුකූලව භෞතික දියුණුවක් අත්පත්කරගත් රටක් නෙවෙයි. දියුණුව අතින් අපි සෑහෙන්න පිටිපස්සෙන් වගේම, පාරිසරික අතිනුත් අපිට පේන්න තියෙන දියුණුවක් නැත්තෙ ගෝලීය උණුසුම හා සමගාමීව ඉහළ යන මැතිවරණ උණුසුමේ අශෝභනම ප්‍රතිඵලයක් වෙන ඡන්ද පෝස්ටර් කටවුට් වලින් පිරිච්ච තාප්ප දැක්කාම. ඒක තනිකරම අපේ හිත්වලට ගෙන‍එන්නෙ මානසික අසහනයක්. ඒකත් එක්තරා ආකාරයක පාරිසරික දූෂණයක්. කෙලින්ම කිව්වොත් සොබාදහම් මාතාව අතවරයට ලක් වෙලා ඉවරයි!

ගෝලීය උණුසුම ඉහළ යාම පිළිබඳව සෑහෙන්න කරුණු කාරණා තොගයක් තියෙනව. ඒව එකින් එක විස්තර කිරීම අවශ්‍ය නැහැ. පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනී සහ අන්තර්ජාලය වගේ මාධ්‍යවලින් ‍පොඩ්ඩක් හොයල බැලුවොත් සෑහෙන්න තොරතුරු දැනගන්න පුලුවන් වෙයි. සාමාන්‍යයෙන් මම කතාකරන්නෙ වල්-පල් නෙව. ඉතින් අපි ටිකක් වල්පල් කතාකරමු.

මේ දවස්වල ඡන්ද උණුසුමත් එක්ක ‍ගෝලීය උණුසුම ඉහළ යනඑක ඉස්සරහට සෑහෙන්න බලපාන කාරණයක්. උණුසුම ඉහළ යාම නිසා සාමාන්‍ය මිනිස්සුන්ගෙ ලේ රත්වෙන එක ස්වභාවිකයිනෙ. මේ ලේ රත්වෙන උණුසුම පිටකරගන්න බොහෝ විට උත්සාහ කරන්නෙ ගැටුම් වලින් බව පේන්න තියෙන කාරණයක්. ඉතින් ඡන්ද උණුසුමත් එක්ක මිනිස්සුන්ගෙ ලේ රත්වෙන එකත්, මේ ගෝලීය උණුසුම වැඩිවෙනකොට ඒ රත්වීම දෙගුණ වීමත් නිසා අපිට ඉස්සරහට ගැටුම් වලින් පිරුණු ලංකාවක් දකින්න ලැබෙයි කියල තමයි අපිට අනාවැකි කියන්න පුලුවන්.

එහෙම නොවෙන්න නම් කරන්න දේවලුත් නැතුවා නෙවෙයි.

යන යන තැන ජංගම නාන තටාක ගෙනියන එක ඇඟට ගුණයි. මොකද එතකොට පුලුවන් තමන්ගෙ ජනතාව ඒකට බස්සලා පවත්වන දේශන පවත්වගෙන යන්න. ඒ වගේම ජනතාවට ටවල් එකක් දීල, ගුවන් යානා මඟින් වතුර ඉහින එකත් නරකම නෑ. මොකද ජනතාව කූල් ඩවුන් එකේ තියාගන්න එකයි වැදගත්. නැතිනම් ලේ කුපිත වෙන ජනතාව මැතිවරණ වේදිකාව උඩට කඩාගෙන පනින්න පුළුවන්! කවුරුහරි ප්‍රතිවාදියො කැති පොලු මුගුරු අරගෙන ආවොත් ගහගන්න යන්න එපා. කරන්න තියෙන්නෙ නාවන එකයි. මේකට අපේ පොලීසිය ගාව හොඳ උපකරණයක් තියෙනවා නෙව. අර අපේ කැම්පස් අයියල පාරට බැහැල උද්ඝෝෂණය කරනකොට විදින්නෙ, අන්න ඒක මේ ගෝලීය උණුසුම ඉහළ යාමත් එක්ක පොලීසියෙන් ක්‍රියාවට නැගුන හොඳ අදහසක් කියල තමයි සුදාරකගෙ පුංචි මොල ගෙඩියට තේරෙන්නෙ.

‍මේ දේශපාලන වසන්තය නිසා කට්ටියගෙ මඩ ප්‍රහාර සැලකිය යුතු මට්ටමින් ඉහළ යනකොට, ඕනෑම දේශපාලන පක්ෂයක ඉන්නව රෙදි හෝදන ‍කෙනෙක්. ඉතින් මිනිහට ගජ වාසි. රෙදි හෝදනව කියන රාජකාරිය හැමෝටම කරන්න බැහැ. පොඩ්ඩ වැරදුනොත් ඉතින් මඩ නාගෙන තමයි ගෙදර යන්න වෙන්නෙ. ඉතින් එහෙව් එකේ මේ ගෝලීය උණුසුමෙන් හොඳට ප්‍රයෝජන ගන්න පුලුවන්. රෙදි හෝදලා ඉක්මනට වේලගන්න පුළුවන් නිසා ආයෙත් දේශපාලකයින්ට මහජනතාව ඉදිරියේ පාරෙ බැහැල යන්න පුලුවන්.

ඉතින් රෙදි හෝදන්නන්ට ජයවේවා!

ප. ලි: ගෝලීය උණුසුම ගැන විකීපීඩියාවෙන් කියවන්න අමතක කරන්න එපා!