Categories
අධ්‍යාපනික විශේෂාංග ලිපි

ලංකාවේ අධ්‍යාපනයට නව මුහුනුවරක් අවශ්‍ය ඇයි…

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට වෙනසක් අවශ්‍ය ඇයි?අධ්‍යාපනික වශයෙන් යල් පැනගිය ක්‍රමවේදයක් අනුගමනය කරනු ලබන ශ්‍රී ලංකා අධ්‍යාපන රටාව කාලානුක්‍රමිකව වෙනස් වීමේ තදබල අවශ්‍යතාව දිනෙන් දින ඉහළ යමින් පවතින ශිෂ්‍ය අසහනය පිළිබඳව සලකා බැලීමේදී මතුවූ තදබල අවශ්‍යතාවකි. වාර විභාග ප්‍රශ්න පත්‍ර ගැටලු. විශ්ව විද්‍යාලයන්ට ඇතුළත් වීමේදී ශිෂ්‍යයින්ට මුහුනපාන්නට සිදුවන ගැටලු සහ වාර විභාග වලට මුහුනදීමට නොහැකිව සියදිවි නසාගන්නා ශිෂ්‍ය ප්‍රමාණය ඉහළ යමින් පවතින යුගයකි මේ. නිසි බලධාරීන් නිසි පියවර නොගතහොත් අඳුරට යැවෙන්නේ මේ රටේ අනාගතයයි. මේ රටේ ශිෂ්‍ය ප්‍රජාවයි. සියලුම අංශ හී වගකීම රජයකට, ආණ්ඩුවකට පැවරීම වර්තමානයට නොගැලපෙන කරුණකි. අවශ්‍යවන්නේ රජය අවශ්‍ය කරනු ලබන ප්‍රතිපාදන නිසි ලෙසින් නිසියාකාරව සපයා වඩාත් ශක්තිමත් අධ්‍යාපනික පරිසරයක් නිර්මාණය වීමට ඉඩහසර සැලසීම ය. ර‍ටක, එසේත් නැතිනම් යම් කිසි භූගෝලීය වපසරියක් තුළ අනාගතය පදනම් වන්නේ එරට අධ්‍යාපනික පදනම හරහා වේ. එබැවින් වඩාත් ඉහළ ගුණාත්මක බවකින් යුතු පාසල්, විශ්ව විද්‍යාල නිර්මාණය වීම අත්‍යවශ්‍ය කරුණකි. පාසල් තුළ පවතින ශිෂ්‍ය අසහනකාරී තත්වයන් උදා වීමට ප්‍රධානතම හේතුව කාලානුක්‍රමිකව යාවත්කාලීන නොවන ගුරු පද්ධතියක් සිටීම සහ විෂය නිර්දේශයක් නිර්මාණය වී තිබීම ය.

අධ්‍යයන අවකාශයක් තුළ ශිෂ්‍යයා වඩාත් නිදහස් පුද්ගලයෙක් බවට පත් නොකර විෂය නි‍ර්දේශයකට පමණක් සීමා කරවීම නිසා ශිෂ්‍යයා පත්වන අපහසුතාව මෙතෙකැයි කිය නොහැක. උදාහරණයක් වශයෙන් උසස් පෙළ ශිෂ්‍යයා, උසස් පෙළ විභාගයට මුහුනදීම සඳහා 80%ක පාසල් පැමිණීම සටහන් කළ යුතු ය. මෙයින් ශිෂ්‍යයා තව දුරටත් විෂය නිර්දේශයටම සහ පාසල් භූමියටම සීමා කිරීම පමණක් සිදුවන අතර එයින් බලාපොරොත්තු විය හැකි යහපතක් නොමැත. පවතින විභාග ක්‍රමය තුළ ඉහළට යාමට නම් බහුතරයක් උප‍යෝගී කරගන්නා ක්‍රියාමාර්ගය වනුයේ පොතෙහිම ඇලී ගැලී බාහිර කාල්පනිකත්වයකින් තුරුව විෂය නිර්දේශ අධ්‍යයනයෙහි නියැලීම ය. එය වූ කලී සීමිත පිරිසකට පමණක් යෝග්‍ය වන කරුණක් මිසක විවිධ වූ දක්ෂතාවන්ගේ නිරත පාසල් සිසුන්ට සිදුවන අසාධාරණයකි. වි‍ශේෂයෙන්ම ශිෂ්‍යයාගෙන් ශිෂ්‍යයාට ආවේණික වූ අධ්‍යයන ක්‍රමවේදයක් ඇත. එලෙස ගත් කල මේ ක්‍රමය හරහා බිහිවන්නේ තවදුරටත් ආත්මාර්ථකාමීත්වයට යොමු වූ සමාජයට වෛර කරන “බුද්ධිමත්” “උගත්” ප්‍රජාවක් පමණි.

ඒ ආකාරයෙන් වර්තමාන අධ්‍යාපන රාමුවෙන් මිදී තමාටම ආවේණික ක්‍රමයන් හරහා ඉදිරියට පැමිණි පිරිස් සැලකිල්ලට ගැනීමේදී එයින් බහුතරයක් කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල පිරිසකි. ඔවුන් තමන්ට ලැබෙන අධ්‍යාපනික අවකාශය පිළිබඳ දැනීම සහ අතැති මුදල් නිසාවෙන් අනෙකුත් අධ්‍යාපනික මූලාශ්‍රයන් හඹායෑමේ සමත්කම් දක්වයි. වර්තමානයේ කොළඹින් බැහැර පෙදෙස්වලින් ඉදිරියට පැමිණ ජීවිතය ජයගනු ලබන්නේ සැලකිය යුතු සුලු පිරිසක් පමණි.‍ ඒ තමන්ගේ ඇති ආසාව නිසාම පමණක් මිස වෙනත් උත්ප්‍රේරකයක් නිසා නොවේ.

සත්‍ය නම් අධ්‍යාපනික රාමුවෙන් මිදී පැමිණීමට ස්වෝත්සාහය අවශ්‍ය බවයි. නමුත්. එලෙස ස්වෝත්සාහී වීමට පවතින අධ්‍යාපනය ක්‍රමයෙන් උත්ප්‍රේරක ලැබෙන්නේද?

නැත. කිසිසේත්ම නැත. පාසලේ ඉගැන්විය යුතු නිසා ගුරුවරුන් උගන්වන අතරතුර ඉගෙනගත යුතු නිසා සිසුන් ඉගෙනීමෙහි නිරත වෙයි. වඩාත් ලෝකයට විවෘත විය යුතු උසස් පෙළ සිසුවාද සංවෘත කරදමන්නේ අධ්‍යාපන ක්‍රමයයි. අවසානයේ බිහිවන්නේ පෙර කී පරිදි සමාජයට වෛර කරන ප්‍රජාවකි.

මෙය 100%ක්ම සාධාරණීයකරණය කිරීමට නොහැකි වූවත් අවම වශයෙන් 85%ක ප්‍රතිශතයකින්වත් සාධාරණීයකරණය කළ හැකි තත්වයකි. වහාම මේ ක්‍රමයන් වෙනස් නොවන්නේ නම් ඉදිරියේදී රටක් වශයෙන් සහ භූගෝලීය බිම් ප්‍රදේශයක් වශයෙන් මුහුන දීමට සිදුවන අපහසුතාව ගණනය කළ ‍නොහැක.

‍‍මේ සඳහා තවදුරටත් කෑ ගැසීමෙන් ඇතිවන ප්‍ර‍යෝජනයක් නැත. අප අපම හැකි පමණින් විසඳුම් ඉදිරිපත් නොකළහොත් මේ සඳහා පියවරක් කා හටවත් තැබීමට නොහැකි වනු ඇත. පුළුන් කොට්ට මත මොළය තබා ඒ මත වාඩි වී සිහිල් වායු සමීකරණ සුළං රැල්ලෙන් සිත සනහා තීන්දු තීරණ ගන්නා යුගයක. අප අපම වහ වහා විසඳුම් යෝජනාකරමින් පතුරුවා හැරිය යුතු ය. ඒ තුවක්කුවෙන් නොවේ. අවිහිංසකවාදී ප්‍රතිපත්තිමය විලාශයෙනි. එවිට අපට නොමැති වුවත් අපගේ ඉදිරි පරම්පරාව‍ට එයින් යම්කිසිම හෝ ප්‍රයෝජනයක් ලබාගැනීමට හැකි වනවා නියත ය.

ශිෂ්‍යත්වයේදී සමත්කම් නොපෑ ශිෂ්‍යයා සාමාන්‍ය පෙළ දී සමත්කම් ප්‍රදර්ශනය කළ හැක. එසේත් නැතිනම් උසස් පෙළ මට්ටමේදී සමත්කම් ප්‍රදර්ශනය කළ හැක. නොඑසේනම් පසුකාලීනව තම හැකියාවන් ඉදිරිපත් කරනු ඇත. මේ බව තේරුම්ගනිමින් එක්තරා සීමාවකට කොටු නොකර. ශිෂ්‍යයින් සියල්ලන්ම එකම මට්ටමකැයි නොසලකා නිදහස් අධ්‍යාපනික වාතාවරණයක් නිර්මාණ කළ යුතු ය. විෂය නිර්දේශයකට අනුකූලව ඉගැන්වීමෙහි සහ ඉගෙනීමෙහි නිරත විය යුතු ය. නමුත් ශිෂ්‍යයා එයට කොටු නොකළ යුතු ය.

සත්‍ය වශයෙන්ම අතිරේක පන්ති ශිෂ්‍යයාගේ අධ්‍යාපනය අවකාශය සීමා කර දමනු ලබයි. අතිරේක පන්ති වලින් ලබන්නේ අතිරේක දැනුමක් නොව විෂය නි‍ර්දේශයටම සීමා කරන ලද දැනීමකි. පාසලේ ඉගැන්වෙන දෙය ඊට පෙර ඉගෙන යාමට අවශ්‍ය කරනු ලබන කටයුත්ත එයින් ඉටුවනවා පමණක්ම මිස ‍ඇතිවන විශේෂ දැනුමක් නොමැත. අතිරේක පන්ති වලට යොමුවන්නේ පාසල තුළ ඉගැන්‍වීම් නිසියාකාරයෙන් සිදුනොවෙතැයි යන සිතුවිල්ලෙනි. එනිසාවෙන් අතිරේක පන්ති වෙත යොමු නොවී පාසල තුළම සහ එයින් බාහිරව අන්තර්ජාලය හා පොත් පත් ඇසුරින් දැනුම ‍සොයා යාමේ ක්‍රමවේදයක් නිර්මාණය වී යුතු ය. ශිෂ්‍යයා වඩාත් දැනුවත් වෙන්නේ එකතැන හිඳිමින් ඉගෙනීමෙන් නොව දැනුම සොයා යාමෙනි.

තවත් කරුණක් නම් ඇතැම් පාසල් වල ගුරුවරුන්ගේ සහ ශිෂ්‍ය නායක නායිකාවන්ගේ ක්‍රියා කලාපයයි. පාසල ක්‍රියාත්මක විය යුත්තේ අධ්‍යාපනික වශයෙන් මිස පාසල පවුල් සහ සමාජ සම්බන්ධතා වෙත අත නොදැමීමේ බලවත් අවශ්‍යතාව මේ වන විට මතු වෙමින් පවතී. පසුගිය දිනෙක තම පෙම් සම්බන්ධතාව පාසලට ආරන්චි වී තම දෙමව්පියන් පාසලට කැඳවන්නට යැයි ලැබූ නියෝගයත් සමඟ අත්තන ඇට කා සිය දිවි නසාගත් පුවතක් වාර්තා විය. සමාජ සම්බන්ධතාවන්ට අත දැමීම බරපතල කරුණකි. එය අධ්‍යාපනය සම්බන්ධ ගැටලුවක් නොව හැඟීම් හා දැනීම් සම්බන්ධ ගැටලුවකි. පාසල විසින් එලෙස දෙමාපියන් කැඳවන්නටැයි නියෝග කිරීමද, සියදිවි නසාගැනීමද අතිශයින්ම පිළිකුල් සහගත කරුණු බව නැවත නැවතත් සිහිකැඳවිය යුතු නැත. සියදිවි නසාගැනීමට මෙහිදී මුලික හේතුව නිසි සමාජ දැනීමක් නොමැති වීමද, නිසි සමාජ දැනීමක් නොමැති වීමට හේතුව වන්නේද පෙර කී පරිදි විෂය නිර්දේශයන්ට සහ පාසලට පමණක් සිසුවා කොටු කර තැබීම ය. සමාජ අවබෝධය ඇතිවන්නේ සමාජය සමඟ කටයුතු කිරීමෙනි. එය විෂය නි‍ර්දේශයකින් ඉගෙනිය නොහැක. එය ඉගෙනගත හැක්කේ සමාජය සමඟ ගැටීමෙන්, සාහිත්‍ය කලා අධ්‍යයනයෙන්, නව කතා – කෙටි කතා පරිශීලනයෙනි. නමුත් එලෙස වටපිටාවක් වර්තමානයේ නිර්මාණය වී නොමැති බව පවසන්නට සිදුව ඇත්තේ කණගාටුවෙනි. මේ මිය යන්නේ රටේ අනාගතයයි.


සියදිවි නසාගැනීමේ ප්‍රවෘත්තිය පිළිබඳ දැනුවත් කළ සුපුන් බුධාජීව සොහොයුරාට තුති.

Categories
අධ්‍යාපනික අන්තර්ජාලය තොරතුරු තාක්ෂණය

මේ තොරතුරු තාක්ෂණ හා ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධන වසරයි!

2009 අවුරුද්දත් ලැබුවා එහෙනම්. අලුත් අවුරුද්දේ කරන්න නම් වැඩ‍ කෝටියයි. ඔන්න ‍මේ අවුරුද්ද එසේ මෙසේ අවුරුද්දක් නම් නෙවෙයි. ත්‍රස්තවාදය ලංකාවෙන් තුරන් කරන අවුරුද්ද තමයි මේක. ඒ විතරක් නෙවෙයි, මේ අවුරුද්ද තමයි තොරතුරු තාක්ෂණ හා ඉංග්‍රීසි ප්‍රවර්ධන වසර. ‍ඉංග්‍රීසි ප්‍රවර්ධනය හොඳයි තමයි, ඒ වුනත් ඕක මෙහෙම වුනානම් හොඳයි කියලා මට හිතෙනවා. ‍”තොරතුරු තාක්ෂණ හා ත්‍රෛභාෂා, පරිශීලන හා ප්‍රවර්ධන වසර. ඇයි ඒ ත්‍රෛභාෂා කිව්වේ. ඔව් ඔව්, ත්‍රෛභාෂා කිව්වේ සිංහල, දමිළ, ඉංග්‍රීසි තමයි. මම අදහස් කරේ… ලංකාවේ අන්තර්ජාලය භාවිතා වෙන්නේ වැඩිපුරම ඉංග්‍රීසියෙන් නේ… ඒක නිසා ඉංග්‍රීසි ප්‍රවර්ධනය කිරීම වැදගත් වගේම. මව් භාෂාවනුත් අන්තර්ජාලය හා අනෙකුත් තොරතුරු තාක්ෂණ උපක්‍රමත් එක්ක බද්ධ කරොත් හොඳයි කියලයි. හැබැයි ඉතින් දැන් ඕක වෙනස් කරන්න මට බෑනේ. කොහොමින් කොහොමින් හරි මේ වගේ වසරක් ප්‍රකාශ කරපු එකට අපි ස්තූතිවන්න වෙන්න ඕනේ, අන්තර්ජාල තොරතුරු ප්‍රචාරණ බ්ලොග්කරුවන් විදිහට. හැබැයි මේක නම් කරාට විතරක් මදි. ක්‍රියාවට නං වන්නත් ඕන. ඉතින් හැබෑටම කොහොමද මේක ක්‍රියාවට නංවන්නේ? ඒක නම් ප්‍රශ්නයක්.

තොරතුරු තාක්ෂණය, එහෙමත් නැත්නම් IT (මේ IT අකුරු දෙක තමයි වැඩිපුර භාවිතා වෙන්නේ) කිව්වාම ලංකාවේ ගොඩක් දෙනෙක්ගේ ඔළුවට එන්නේ පරිගණකය, ගේම් ගැහිල්ල, වර්ඩ් වලින් ලියුමක් ටයිප් කරන එක විතරයි කියලා තමයි මටනම් හිතෙන්නේ. ඒත් ඒක වැරදියි. මුලින්ම මේක පිළිබඳ අවබෝධයක් ලබාදීම වැදගත් වෙනවා. Internet, Web, E-Mail, Chatting, Video Conferencing, Social Networking, Web Based Job Market (වෙබ් පදනම් කරගත් රැකියා වෙළඳ පොළ) හා ක්ෂණික තොරතුරු සම්ප්‍රේෂණය වගේ දේවල් පිළිබඳ වගේම ලංකාවේ නව ප්‍රවණතාවය වෙන Blog ගැන හැඳින්වීම් ඇතුලත් අංග සම්පූර්ණ දේශණ පවත්වන්න අවශ්‍යයි. මේක හරි ලේසියි. ICTA එකේ ඉන්නේ සම්පත් දායකයන්ට ඉතාමත් පහසුවෙන් පුලුවන්. පාසල් ග්‍රහණය කරගන්න. අවුරුද්දට දින 365ක් තියෙනවා නෙව. ඒකෙන් අවම වශයෙන් දින 222ක්වත් පාසල් පැ‍වැත්වෙනවා. ඉතින් මේ එක දවසකට පාසල් 10කට වත් තමන්‍ගේ එක නියෝජිතයෙක්වත් (ඇත්තටම එක නියෝජිතයෙක් ඇති) යවලා පොඩි සම්මන්ත්‍රණ, වැඩමුළු වගේ දේවල් පවත්වන්න පුළුවන්. හැබැයි පරහක් තියෙනවා. සමහර පාසල් වලට විදුලිබල පහසුකම් නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට හරි හැටි ශාලාවක් නැතිවෙන්න පුළුවන්. මෙන්න ‍මේ නිසා, වහාම වගකිව යුතු පුද්ගලයින් එකතුවෙලා, ඒ පහසුකම් යම් වශයෙන් හරි සපුරාලන්න අවශ්‍යයි. එහෙම කරලා, ඊට පස්සේ අර නියෝජිතයාට ගිහිල්ලා තමන්ගේ වැඩමුළුව පවත්වන්න පුළුවන්. ඒ වගේම Schoolnet එක පුළුල් කරන්න අවශ්‍යයි. ළමයි අනවශ්‍ය වෙබ් අඩවි වලට යනවා කියලා හිතෙනවානං (එහෙම යනවා තමයි 😉 ) සුදුසු පෙරහන් භාවිතා කරන්න පුළුවන්. හැබැයි ඒක 100%ක්ම සාර්ථක නෑ. ඒක නිසා සුදුසු මඟ පෙන්වන්නෙක් අවශ්‍ය කරනවා. ඇත්තම තත්ත්වය කිව්වොත්, 90%ක් පාසල් ගුරුවරුන්ට තොරතුරු තාක්ෂණය පිළිබඳ තේරුමක් නෑ කියලයි මට හිතෙන්නේ. ඒක නිසාම තමයි, සමහර පාසල් වල කොම්පියුට‍ර් ටික විදුහල්පති වරයා‍ගේ කාමරේ හරි, නැත්තන් වෙන කාමරේක හරි හිර කරලා තියන්න සමහරු පෙළඹුනේ. මෙන්න මේ කරුණ නිසා, ICTA හෝ, වෙනයම් ආයතනයකින් පුහුනුවලත් දැනුම් තේරුම් ඇති පිරිසක්, අවම වශයෙන් 3ක්වත් එක් පාසලකට ලබාදීම වැදගත්. එතකොට ලංකාවේ රැකියා ප්‍රශ්නයටත් සැලකිය යුතු විසඳුමක් ලැබේවි. මේ කියන්නේ බැරි ‍වැඩක් නෙවෙයි කියලයි මට නම් හිතෙන්නේ. තමන්ට ඇත්තටම තොරතුරු තාක්ෂණ ප්‍රවර්ධනය කරන්න අවශ්‍යනම්, මේ දේවල් මහලොකු වැඩ‍ නෙවෙයි. ඊළඟට සෑම ගමකටම සියළුම සන්නිවේදන පහසුකම් ඇතුලත් නැණසළක් තියෙනවානම්, ඒක ඉතාමත් වැදගත් දෙයක්. ඒ වගේම SLT, Mobitel, Dialog වගේ ආයතනවලට තමන්ගේ සේවාවන් පුළුල් කරන්න අවස්ථාව ලබාදෙන්න ඕනේ වගේම, ඔවුන් තමන්ගේ සේවාවන් තදාසන්න ප්‍රදේශවලින් බැහැරට ගෙනියන්න අවශ්‍ය කරන යටිතල පහසුකම් සම්පාදනය කරගන්න උනන්දුවෙන්න ඕනේ. රටපුරා විහිදෙන ප්‍රකාශ තන්තු ජාලයකින්, Wi-Fi ජාලයකින්, Wi-Max, 3G ජාලයකින් හෝ HSDPA ජාලයකින් පහසු, ලාභදායි ජාලකරණ ක්‍රමයක් නිර්මාණය කරන්න අවශ්‍යයි. මේ සඳහා සුදුසු පියවර ගැනීම වැදගත්. ග්‍රාම සේවක වරුන්ට, තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනීමක් තියෙනවානං හොඳයි තමයි, ඒත්… ‍ගොඩක් ග්‍රාමසේවක වරු මේ සම්බන්ධයෙන් උනන්දුවක් නෑ. උනන්දුවක් තියෙන අය නැතිවාම නෙවෙයි. ඒ වුනාට බහුතරයකට නෑ කියලා තමයි මට හිතෙන්නේ. මේ උනන්දුව නැති නිසාම ග්‍රහණය කරගන්න එක අමාරු වෙයි IT කියන දේ. මොකද තමන්ගේ උනන්දුව තියෙනවානං ඉතාමත් පහසුවෙන් තොරතුරු තාක්ෂණය අල්ලගන්න පුළුවන්. තොරතුරු තාක්ෂණයේ ගැඹුරටම යන්න අවශ්‍ය නෑ. මූලික‍ ‍දේවල්, ඒ කියන්නේ ඔෆිස් මෘදුකාංග, අන්තර්ජාලය වගේ ‍‍දේවල් දන්නවානං විශාල සේවාවක් සපයන්න ග්‍රාමසේවක නිලධාරීන් හරහා පුළුවන් වේවි. ග්‍රාම සේවක නිළධාරීන් හරහා ‍ගොවීන්ට, ගෘහනියන්, ශ්‍රමිකයන් සහ අනෙකුත් අයව එකතු කරගන්න පුළුවන්. ඒ ව‍ගේම පාසල් වල තොරතුරු තාක්ෂණ සංගම් පිහිටුවීම වැදගත් දෙයක් වේවි.

ඊළඟට ඉංග්‍රීසි. ඉංග්‍රීසි විතරක් නෙවෙයි භාෂා තුනම ප්‍රවර්ධනය කරා නං තමයි හොඳ. එතකොට දුර බැහැර, ඉංග්‍රීසි භාෂාව නොදන්නා අයට ඉතාමත් පහසුවෙන් අන්තර්ජාලයට එකතු වෙන්න පුළුවන් වේවි. අන්තර්ජාලයට එකතු වුනාම. ඒ අය සිංහල භාෂා අඩවි වල විතරක් හිර වෙන්නේ නෑ. අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි අඩවි වලටත් පිවිසෙනවා. ඒත් එක්කම ඒ අයට තේරේවි ඉංග්‍රීසි භාෂාව අවශ්‍ය බව. ඉතින් ඔන්න ඒ අයත් ඉංග්‍රීසි දැනුම හඹා යාවි. දමිළ භාෂාව නං ප්‍රවර්ධනය කරන්න දෙයක් නෑ. මං‍ මේ කිව්වේ අහිතකින් නෙවෙයි. අපි පිළිගන්න ඕනේ ලෝකයේ දමිළ භාෂාව කතා කරන පිරිස, සිංහල භාෂාව කතා කරන පිරිසට වඩා වැඩි බව. ඔවුන් බොහෝ විට අන්තර්ජාලයේ දමිළ භාෂාව භාවිතා කරනවා. ඉතින් අමුතුවෙන් දමිළ භාෂාව ප්‍රවර්ධනය කරන්න අවශ්‍ය නෑ තමයි. ඒ වුනත්, ලංකාවේ දමිළ භාෂාවෙන් වැඩ කරන අයට අන්තර්ජාලයේ දමිළ භාෂාවට ඇති ‍තැන පෙන්නා දීලා, අන්තර්ජාලයට එකතු කරන එක වැදගත් එතකොට මුලින් කිව්වා වා‍ගේ, ‍ඉංග්‍රීසි භාෂාව නිකන්ම ප්‍රවර්ධනය වේවි. ඒ කොහොම වුනත්, ඉංග්‍රීසි භාෂාව ප්‍රවර්ධනයටත් යම් කිසි පියවරයන් ගැනීම අවශ්‍යයි. ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රියාත්මක රූපවාහිනී නාලිකා ප්‍රමාණය වැඩි කරන එක එක ක්‍රමයක්. ඉංග්‍රීසි චිත්‍රපටි වගේ දේවල් විකාශනය කරන එකත් තව ක්‍රමයක්. අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි අධ්‍යාපන පද්ධතිය ක්‍රමවත් කරන එක තමයි වැදගත්. ඉංග්‍රීසි ගුරුවරුන් නගර වලින් බැහැර ප්‍රදේශ වලට යවන්න පියවර ඇරගන්න ඕනේ. හැබැයි හැමෝම කරනකන් බලන්න ඉන්න බෑ. මම මගේ අවුරුදු සුබ පැතුමේ කියලා තියෙන විදිහට… තම තමන්ම නිසි පියවර ගන්න එක වැදගත්. එනිසා මාධ්‍ය හරහා අඩු තරමේ මේ පිළිබඳව ජනතාව දැනුවත් කරන්න ඕනේ.

තොරතුරු තාක්ෂණය ප්‍රවර්ධනය වන ඉංග්‍රීසි දැනුම දියුණු වන අලුත් අවුරුද්දකට ඔන්න ආයෙමත් මගෙන් උණුසුම් සුබ පැතුම්! 🙂