Categories
ආදර සිතුවිලි නිර්මාණ විචිත්‍ර

හමුවෙමු අපි මතු සසරක – අලුත් උදෑසනක

රාත්‍රිය නිසලමුත්,
සිත තාම චංචලයි.
මිනිස් කය නිසලමුත්,
සිත තාම චංචලයි.

සුදෝ සුඳු සඳ රිදී රළ පෙළ
කවුළුවෙන් ඇස තුළට
වැදී තෙරපී හඬා…
කළෙත් මා සිත අවදි,
සිත කෙළේ කය අවදි.

සුරත් ගත් මිතුරු පන්හිඳ,
සරත් සුදු පත්ඉරුව මත.
සිපගනිමින්…

නමුත් සොඳුරිය, වත නුඹේ ඔය,
නොලද්දෙමි අවසර සිඹින්නට.
නමුත් මා සිත තුළ ‍නුඹේ වත රුව,
සිතින් පමණක් සිප සැනහෙන්නට,
ලදිමි අවසර ආදරේ නා‍මෙන්…
නමුත් එය ආදරය නම් නොව,
අඩක් පිරවූ – අඩක් හිස්වූ,
සොඳුරු පැහැදිලි අති අංකෘත,
බි‍ඳෙන සුළු බඳුනක් ය. වීදුරු.

අහෝ…
වැටුනි වීදුරුව බිම,
හදවතද කඩාගෙන,
බිඳුනි සීසීකඩ වැටෙන්නට.

සියුම් තුඩු සම කපා යද්දී..
හදවතට ඇනුනා මහමෙරක් මෙන්.
රුධිර ධාරා ගලා නොමයයි.
කඳුළු දහරා ගලා යයි.

රුධිර දහරා නොම ගලන්නට,
ඇදිමි සියුම් වීදුරු කැබලිති.
එකින් එක ගෙන ඒ කැබැල්ලෙන්,
සැදුවෙමි අලුත් වීදුරුවක්.

අහෝ…
පතුලේ සියුම් සිදුරකි.
සෙවූමුත් සැමතැනම වීදුරු කැබැල්ල,
නොමැත මා හට හමුවුනේ.

හදවත කෙවෙන කල…
විදුලි පන්දම ගෙන අතට,
ගැසුවා ආලෝක ධාරා හදවතට.
දිලිසි දිලිසී මුතු මැණික විලසින්,
හද වතේ මැදටමම සිරවී,
කුරිරු විලසින් මා වෙත සිනාසුනි.

වීදුරු කැබැල්ල…
“මට ඉන්න දීපං උඹේ හදවතත් එක්ක,
ගැලොව්වොත් හදවතින් මාව,
අලුත් වීදුරුවක් හැදුවත් වැඩක් නෑ…
මා ගලවා දැමු සැනින්…
රුධිර දහලා ගලාවි එළියට!”

අහෝ…

මා තැනූ මගේම වීදුරුව,
මගේ ආදරයෙන්ම පිරවූ…
මටම එරෙහිව – මටම මරණය,
කැඳවන්නටයි මේ හදන්නේ.
එපා හදවතේ කෙවෙන්නට…
රිදෙයි මට මරණයටත් වඩා එය.
එහෙයින් මා අසුරු සැනින්,
නුඹ ගලවා ඉවත් කරමි!

ඉතින් ආයුබෝවන්…
හමුවෙමු අපි මතු සසරක
තවත් අලුත් පන්තියක…
තවත් අලුත් උදෑසනක…

නමුත්,
මීට වඩා උදෑසනින්…

අතුරු කතා: රචකයාට කඳුළු කඩාහැලෙයි…

Categories
අධ්‍යාපනික විචිත්‍ර විවිධ

කවි පද තේරීම

අපේ නවය වසරේ මල්ලී කෙනෙක් එයාගේ සිංහල පොත (මුද්‍රිත) ගෙනල්ලා මට කවියක් පෙන්නලා කිව්වා තේරුම කියලා දෙන්න කියලා පඬියා වගේ පොත අතට ගත්තාට මොකද තේරුම නම් හිතාගන්න බැරිවුනා. හැබැයි මට පුදුම හිතුනා ඇයි මේ වගේ බැරෑරුම් කවියක් 9ශ්‍රේණිය වගේ සාපේක්ෂව පොඩි පන්තියකට දීලා තියෙන්නේ කියලා. කොහොමහරි මෙන්න මේකයි කවිය,

මියගිය කොළ හා දොඩමින් තරුවක්
සිටියයි, මහ රෑ යාමේ,
හමන සුළඟ පමණයි, ඒ මොහොතේ
මගෙ තනියට හිටියේ

නුපුරුදු අසරණකමින් පෙළෙමින්
හවුල්වෙන්න හැදුවෙමි ඒ දෙබසට
එවිට තරුව හදිසියේ ම අහසින්
මහ පොළොවට බැස්සයි, හනි හනිකට

මිය ගිය කොළ අතරෙහි මා සැමතැන
සෙවුමුත් බැරිවිය, සොයා ගන්නට එය
කවදාවත් එය හමුවූයේ නැත

(ෂුබොයි ෂිගෙජි – ජපානය)
(පරිවර්තයනය – සිසිර රාත්‍රිය – ජිනදාස දනන්සූරිය)

මේ කවිය කියෙව්වාම ඔබට හිතෙන්නේ මොකක්ද? මේ කවියේ අදහස මොකක්ද කියලා ඔබ දන්නවානම් ප්‍රතිචාරයක් (Comment) විදිහට සටහන් කරන්න.