Categories
විවිධ

අද ඉරිදා… හෙට සඳුදා… ඉස්කෝලේ පළවෙනිදා…

මේ පරණ ළමා ගීතයක් නෙව. ඔන්න ඒකත් මටම කොහොමහරි හරියටම ගැළපුනා. ඔන්න උසස් පෙළ නීත්‍යනුකූලව පටාන්ගන්නයි මේ හදන්නේ… දැන් ඉතින් දුවපං ඉස්කෝලේ!

ළඟදී හරියට මුකුත් ලියන්න බැරිවුනා. ඒකට නම් හේතු ගොඩක් තියෙනවා. ප්‍රධානම හේතුව තමයි කවි, කතා ලියන්න උත්ප්‍රේරකයක් වෙච්ච දේත් නැතිවුනා. මට කලින් මට වඩා ලක් කාරයෙක් ඔන්න උරුමකම් කියලාලු… කමක් නෑ ඉතින්… මොනවා කරන්නද නේද? ඒක පාර්ශ්වික ආදරේත් එක්ක කවි කතා ලියන්න තිබ්බ සිතිවිලිත් ඉතින් එකතැනටම පල් වෙලා ගියා…

අනිත් එව්වානං ඉතින් එච්චර වැදගත් ‍හේතුම නෙවෙයි. මොකද ඉතින් මෙන මල කරදරේ තිබුනත් බ්ලොග් එක ලියන්න නම් අමතක නොකරන නිසා. සිංහල බ්ලොග්කරණ ව්‍යාපෘතියේ වැඩ ගොඩකට හිරවුනා. දැනට එපමණ තරගකාරීත්වයක් පෙනෙන්න නොතිබුනාට අපි මේ දාගෙන යන පදනම හරහා ඉදිරි මාස දෙක තුනේදී සිංහල බ්ලොග්කරණ තරගාවලිය ඉතාමත් ආකර්ෂණීය ඉසව්වක් වේවි කියන එක තමයි මගේනං අදහස.

මේ කාලේ මට එක එක අදහස් පහළවුනා. අනේ මන්දා… අම්මා කියන්නේ නං මගේ ඔළුවේ ඉන්නේ රාහු-ලු. රාහු ලැබුවාම ඉතින් එක එක දේවල් ගැන හිතනවා කියනවානේ‍‍ ජ්‍යොතිෂ්‍යයේ. ඉතින් ඒක ඇත්ත වගේ. මට කලා විෂයන් හදාරනවාද? භෞතිය විද්‍යා (ගණිත) විෂයන් හදාරනවාද කියලා මාරම ගැටළුවක් ඇති වුනේ මෙන්න මේ කාලේදී තමයි. මගේ ෆේස්බුක් යාළුවන්ටනම් මේ කතාව එච්චර අලුත් කතාවක් නම් නෙවෙයි. කොහොමහරි අවසන් තීරණයකට ආවා. ඒ ගණිත විෂයම කරනවා කියලා තමයි. මේ වගේම ප්‍රශ්නයකට සාමාන්‍ය පෙළ ලියලා ඉවරවුනාමත්, ඊට කලිනුත් මම මුහුන දුන්නා. අනේ මන්දා…. මට ගැලපෙන්නේ කලා විෂයන් කියලා හොඳට ‍තේරුනාත්. ගණිත-විද්‍යා විෂයනුත් මට එච්චර අප්සැට් නැති නිසාත් (මං මේ පම්පෝරි ගහනවා කියලානං හිතන්නෙපා හො‍ඳේ…) ඉදිරි අනාගතේ ලංකාව ඇතුලේ කලා කාරයෙක්ට ෂුවර් නෑ කියලා සාමාන්‍ය ජන මතය නිසාත් මම ආපහු ගණිත අංශයටම හිරවෙන්න තීරණය කරා. ඒක එක පැත්තකින් අපරාදයක් වගේ හිතුනත් පෙරලුනු පිට හොඳයි කියන්නා වගේ මම මුලින් හිතපු විදිහට සිංහලයි ජනමාධ්‍යකරණය වගේ විෂයනුයි දෙක වෙනම භාහිරව හදාරන්නයි කල්පනාව.

මේ විෂයන් තෝරාගනිද්දී මගේ ඉලක්කය මොකක්ද කියන එකනේ ඉතින් බලපාන්නේ. ඇත්තම කිව්වොත් මට ඉංජිනේරුවෙක්, විද්‍යාඥයෙක් වගේ මොකෙක්වත් වෙන්න කිසිම අවශ්‍යතාවක් නෑ. මට ඔනේ මේ… නිදහස් ජීවිතයක්. හැබැයි නිදහස් ජීවිතේ වගේ නෙවෙයි සල්ලි කියන කාරණෙත්. කවදා වෙනකං ඉතින් දෙමව්පියන්ගෙන් කියලා යැපෙන්නද? අපිත් ඉතින් පවුලක් පන්සලක් වෙන්න එපැයි! (අපොයි මූ හිතන දුර!) ඉතින් ඉස්සරහට මුහුන‍‍ දෙන්න වෙන – දැනටමත් මුහුණදෙන්න වෙලා තියෙන ලෝක ආර්ථික අර්බුද ගැනත් හිතුවාම අනාගතේ මොනවායින් මොනවා වෙයිද කියලා කවුද දන්නේ… ‍

සාපෙල ඉවරවෙලා ළි‍ඳේ පනින්න තරම් කම්මැලිකමට හිටිය වෙලාවේම ළි‍ඳේ පැනලා ඉවරයක් කරගත්තානං හොඳයි කියලා හිතෙන්නේ මේ බදාගෙන ඉන්න, බදාගන්න ඉන්න වැඩ කන්දරාව දැක්කාම. දැන් ඉතින් ඉස්කෝලෙත් පටන්ගන්න එකේ… නොදැනීම මේ අවුරුදු දෙකත් ගෙවිලා ගිහිල්ලා උසස්‍ පෙළත් ලියලා ඉවරවෙලාම තමයි පස්ස බලන්න වෙන්නේ. දවසෙන් තුන් කාලක්ම ඉතින් ගෙදරින් එළියට හිරවේවි. ඉතින් ඒකත් එක්තරා ආකාරයක විනෝදයක් තමයි. උදෙන් නැගිටිනවා-ඉස්කෝලේ යනවා-ව්‍යාපෘතියේ වැඩකරනවා-පන්ති යනවා-බස් එකේ පැයක් දෙකක් නිදාගන්නවා-ගෙදර එනවා…

ඉතින් ඔන්න ඔහොම තමයි ජීවිතේ! ජීවිතේ නං මල්ල්ල්ල්ල්…….ල්!