මේ දවස්වල ප්‍රවෘත්ති බලනකොට රජයේ ඇමති මාමා කෙනෙක් කියලා තියෙනවා ලංකාවට පෞද්ගලික විශ්ව විද්‍යාල අත්‍යවශ්‍ය බව. ඉතින් ඒක ඇහුවාම මට මෙන්න මෙහෙම හිතුනා. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර උතුමාණන් විසින් ලංකාවට හඳුන්වාදීපු නොමිලේ අධ්‍යාපනය, එහෙමත් නැත්නම් නිදහස් අධ්‍යාපන ක්‍රමය නිසා පන්ති බේදයක් නැතිව, දුප්පත් පොහොසත් බේදයක් නැතිව හැම දෙනාටම ඉගෙනගන්නට ලැබුනා. මේ නිසාම දැන් ලංකාවේ සාක්ෂරතා මට්ටම ඉහළ ගිහිල්ලා තියෙනවා. මං මේ කතා කරන්නේ අන්තර්ජාතික පාසල්, එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් ඉස්කෝලත් එක්ක තියෙන වෛරයක් පිරිමහගන්න නෙවෙයි. ඒත් මට මෙහෙම හිතෙනවා. පෞද්ගලික පාසල් නිසා කුඩා දරුවන් අතර සමානාත්මතාව බිඳ වැටිලා. එක එක නිළ ඇඳුම්. බස් එකේ ඉඳලා ගෙදර එනකොට නානාප්‍රකාර ඇඳුම් ඇඳගත්ත පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ. ඒකේ පේන්න තරම් ප්‍රශ්නයක් නෑ තමයි. ඒත් හැම දෙනාම එකම වගේ නිල ඇඳුමක් අඳිනවා නම් කොච්චර ලස්සනද කියලා දවසක් බස් එකේ යද්දී හිතට ආවා. ඒක පොඩි සුළු කාරණයක්. දැන් අපි බලමු බැරෑරුම් ප්‍රශ්න මොනවාද කියලා, අධ්‍යාපන වාණිජකරණය වෙලා. ඒක නිසාම දැන් රජයේ පාසල් වල ගුරුවරුත් තමන්ගේ ගෞරවය බල්ලට දාලා වර්ජනය කරන්න පටන් ඇරගෙන. (වාර්තා වෙන විදිහට නම් හෙටත් වර්ජනයක් තියෙනවා) මේකෙන් අපිට අයිස් ගහන්න ලැබෙන එක වෙනම කාරණයක් ඒ වුනාට බොර දියේ මාලු බාන කෙනෙකුට ඇත්ත ප්‍රශ්නෙටත් වඩා දේවල් මවලා පෙන්නලා ගුරුවරුන්ගේ ප්‍රතිරූපය විනාස කරන්න පුළුවන්. මෙන්න මේ කාරණය නිසා රජයේ පාසල් වල තත්ත්වය පහළ යනවා වගේම, අන්තර්ජාතික පාසල් වලට හොඳ ප්‍රචාරණයක් ලැබෙනවා. ඒ වගේම මේ පාසල් වල උගන්වන්නේ මුදලටනේ. ඉතින් ඒ පාසල් වලට යන්නේ ලොකු ලොකු පැලැන්ති වල උදවිය. මෙන්න මේක නිසා එතන කිසි විවිධත්වයක් නෑ. සමාජයක් එක්ක ගනුදෙනු කරන්න තේරෙන්නේ නෑ. රජයේ පාසලක එහෙමද? උදාහරණයක් විදිහට අපේ පාසල ගමු. අන්ත දුප්පතාගේ ඉඳලා මැති ඇමතිවරුන්ගේ පුත්තු වෙනකම්ම එනවා. ඒ අය සමහර වෙලාවට සුහදව කතා කරගන්නවා. සමහර වෙලාවට ගහගන්නවා. මේවා සියල්ලම ජීවන අත්දැකීම් විදිහට තමන්ගේ ජීවිතයට එකතු වෙනවා. එතකොට පස්සේ කාලෙකදී තමන් සමාජයක හැසිරෙන්න ඕනේ කොහොමද කියලා අත්දැකීම් ලැබෙනවා වගේම සමාජ පන්ති අතර සුහදත්වය ගොඩනැගෙනවා. ශිෂ්‍ය ජීවිතයේ වාසිය උපරිම වශයෙන් විඳිනවා. අන්තර්ජාතික පාසලක මොන පහසුකම් තිබුනත් ඒ දේ නම් නෑ. එන්නේ ලොකු ලොකු පැලැන්ති වලින්. ඒ වගේම තමන්ගේ ඉඩ කඩම් උගස් කරලා අන්තර්ජාතික පාසල් වලට දාන ළමයිනුත් ඉන්නවා. ඉතින් ඒ අය සුළුතරයක් විතරයි. ඒ අය අර බහුතරයක් වෙච්ච ලොකු පැලැන්තියේ ග්‍රහණයට හසුවෙනවා. තමන්ගේ හැකියාවන්, උවමනාවන් මොනවාද කියලා දන්නේ නැතිව ඒ සුළුතරය අර බහුතරය අතරේ හිර වෙන එක සාමාන්‍ය කාරණයක්. අන්තර්ජාතික පාසල් වලට ළමයින් ඇතුලත් කරන්නේ ඒ ළමයින්ගේ ඉංග්‍රීසි භාෂාව දියුණු කරන්න. ඇයි කට්ටිය තමන්ගේ දරුවාව සිංහල භාෂාව පිළිබඳ උගන්වන පාසල් වලට යොමු කරන්නේ නැත්තේ? ඔව්! ඒ වර්තමාන ලෝක ආර්ථික තත්ත්වය නිසා තමයි. ඉංග්‍රීසි භාෂාව දැන් මව් භාෂාවටත් වඩා අත්‍යවශ්‍ය භාෂාවක් වෙලා ඉවරයි. මෙන්න මේ කාරණය නිසා, සිංහල භාෂාව නොදත් සිංහල කළු සුද්දන් පැළැන්තියක් බිහිවෙනවා.
අවසාන වශයෙන් සිද්ධ වෙන්නේ, ලංකාවේ පන්ති බේදයක් නිර්මාණය වීම පමණයි.
ජාතියේ ඉදිරි පැවැත්මක් මේකෙන් වෙන්නේ නෑ. හැමෝම කළු සුද්දන් වෙනවා. ඉංග්‍රීසි භාෂාව හැදැරීම ගැන ප්‍රශ්නයක් නෙවෙයි මේ තියෙන්නේ, ඇයි කාටවත් බැරි සිංහල භාෂාව හා සමගාමීව ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න තමන්‍ගේ දරුවා යොමු කරන්න? ලෝකයේ හොඳම ඉංග්‍රීසි කියන්නේ බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි. බ්‍රිතාන්‍ය ඉංග්‍රීසින් හැරුනාම ලෝකයේ හොඳටම ඉංග්‍රීසි භාෂාව කතා කරන්නේ ශ්‍රී ලාංකිකයන් බව අතිශයෝක්තියක් නෙවෙයි. ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි. මේ අපූරු සිංහල මව් භාෂාව නිසා. මේක අපිට උපතින්ම දායාද වෙලා තියෙනවා. සිංහල භාෂාවෙන් ලැබූ දායාදය නිසා අපි ඉතාමත් අලංකාරව ඉංග්‍රීසි භාෂාව කතා කරනවා. ඒත් දැන් වෙන්න යන්නේ මොකක්ද? ඉංග්‍රීසි භාෂාව කතා කරන්න ගිහිල්ලා දැන් අමුතු විදිහට සිංහල කතා කරන්න පටන් ඇරගෙන. මං හිතන්නේ දැන් පරපුර ඒක කරන්නේ විලාසිතාවට. බලන්න බල්ලෙක් පස්සෙන් පැන්නුවොත් “බුදු අම්මෝ!” කියලා දුවන්නේ නැද්ද කියලා?
ඒ අන්තර්ජාතික පාසල් නිසා මව් භාෂාවට අත් වන ඉරණම. සාමාන්‍යයෙන් එදිනෙදා අපි අපි කතාකරගන්නකොට ඉංග්‍රීසි වදන් යොදාගැනීම නෙවෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඕනැවට වඩා ඉංග්‍රීසි වෙන්න ගිහිල්ලා සිදුවෙන්නේ තමන්ගේ මව් භාෂාව ක්ෂීණ වෙලා යන එකයි. වෙන්න ඕනේ තමන්ගේ මව් භාෂාවයි. ඉංග්‍රීසි භාෂාවයි දෙකම පිළිබඳ දැනුමක් තිබිය යුතුයි. හරි අපි හිතමු අනාගතේ අපි ඉංග්‍රීසියෙන් විතරක් වැඩක් කරන්න ගියා කියලා, එතකොට අපිට කිසිම රහසක් තියාගන්න බැරිවෙනවා. මේ සරල උදාහරණයක්.
අපේ ක්‍රිකට් කණ්ඩායම ඔන්න ගියා පිටරට මේ අය එක්කෙනෙක් වත් හරියට සිංහල භාෂාව වත් දන්නේ නැ. (සමහර දෙමළ අයටයි මුස්ලිම් අයටයි දැන් සිංහල අයටත් වඩා හොඳට සිංහල භාෂාව කතා කරන්න පුළුවන්) ඉතින් කොහොමද කණ්ඩායම තමන් ක්‍රීඩා පිටියේ ඉඳිද්දී එකිනෙකා අතර තමන්ගේ ක්‍රීඩා උපක්‍රමය පිළිබඳව අනිත් අයත් එක්ක අදහස් හුවමාරු කරගන්නේ? ඔක්කොම උපක්‍රම ප්‍රතිවාදී කණ්ඩායම දැනගන්නවා.
ලෝකේ සීමිත සිංහල ජාතියට වගේ මේ ලැබිලා තියෙන ස්වර්ණමය භාෂාවක් රැකගන්න බැරිනම් අපි සිංහල වෙලා ඇති වැඩක් නෑ. ජපානයේ රැකියාවකට අවශ්‍ය මූලික සුදුසුකම ඉංග්‍රීසි දැන සිටීම නොවෙයි. ජපන් භාෂාව හොඳින් දැන සිටීමයි.
ඉතින් මම අවධාරණය කරන්නේ, අපි ඉස්සරහට ජාතියක් වශයෙන් ඉදිරියට යන්න අවශ්‍ය නම්, අපි ලෝකයා සමඟ ගනුදෙනු කරමින් ආර්ථික පැවැත්ම පවත්වා ගැනීමට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ හොඳ දැනුවත්කමින් සිටිය යුතුවා වාගේම, ජාතියේ පැවැත්ම වෙනුවෙන් සිංහල භාෂාව හා සිංහල චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ මනා අවබෝධයක් තිබීම වැදගත්.
නැතිනම් සිංහල ජාතිය පැවතෙන්නේ තවත් පරම්පරා කීපයක් පමණයි. ඊට පසු වඳවී ගිය මානව කොට්ඨාසයක් ලෙසින් ඉතිහාසයට වැළලිලා යාවි.
ඉතින් මේකට අන්තර්ජාතික පාසල් වහලා හරියන්නේ නම් නෑ. රජයක් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ!
හරිම සරලයි, හරිම පහසුයි. ජනතාවගේ සල්ලි වලින් ඩෙඟා නටන්නේ නැතිව ඒ මුදල් රටේ අධ්‍යාපනයට ආයෝජනය කරපල්ලා යකුනේ!!! ත්‍රස්තවාදය මැඬලන්න කරගෙන යන යුද්ධයට මුදල් යෙදෙව්වාට පසු, ජනතාව වෙනුවෙන් ආයෝජනය කරන්න තවත් මුදල් රාශියක් භාණ්ඩාගාරයේ තියෙනවා. ඇයි නෑ කියන්නේ? එහෙනම් කෝටි ගණන් අර අහවල් ආයතනයට යොදලා බංකොලොත් කරගත්තේ? අර අහවල් සමුළුව තිව්වේ කොහොමද? පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ගේ දරුවන් හොඳ පාසල් වලට ගිහිල්ලා පිස්සු කෙලිද්දී හිසට වහළක් නැතිව ගස් යට වාඩි වෙලා අධ්‍යාපනය ලබන අහිංසක ළමයින්ගේ ජීවිතත් එක්ක විහිලු කරන්න එපා කරුණාකරලා… ඕන නැටුමක් නටාගන්න! ඒත් රටේ අනාගතය භාරගන්න බලාගෙන ඉන්න අයට පාර හදලා දීලා ඉන්න. ගොවියාගේ, කම්කරුවාගේ දරුවා කොහොමද අන්තර්ජාතික පාසලකට ගිහිල්ලා කඩ්ඩෙන් කොටන්න ඉගෙනගන්නේ? ඊළඟට ඒ දරුවාට ඉතිරිවෙන්නේ අමුඩ ලේන්සුවයි, උදැල්ලයි විතරයි. කඩ්ඩෙන් කෙටිල්ල කෙසේ වෙතත් කුඹුරු කෙටිල්ල විතරයි ඉතිරිවෙන්නේ. ඒ පාසල් වල අවශ්‍ය පහසුකම් තිබුනානම් ඒ දරුවා ඉගෙනගන්නවා කොහොමද නව තාක්ෂණය යොදාගෙන ඵලදාව දියුණු කරන්නේ කියලා. අධ්‍යාපනයට සල්ලි යෙදවීම විහිළුවක් කරගන්න එපා. ඒක හරිම බරපතලයි. අනාගතේ නිෂ්පාදන ක්‍රියාවලිය කඩන් වැටෙනවා නිසි අධ්‍යාපනයක් නැති වුනාම. හරියට රටක් පාලනය කරගන්න බැරි දේශපාලනය ගැන නොදන්න විදේශ ගැති මී හරක් රැලකට නොමිලේ පුන්නක්කු දෙන තැනක් වෙනවා අනාගත පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවේ උත්තරීතර බව රඳාපවතින්න නම් දේශපාලන දැනීම තියෙන. පොදු ජනතාවත් එක්ක ගනුදෙනු කරන අයයි පත් වෙන්න ඕනේ. ඉතින් ඒක අනාගතේ වෙයිද?
ඔය භාණ්ඩාගාරයේ තියෙන මුදල් වලින් ගමේ නගරයේ පාසල් වලට යටිතල පහසුකම් සපයන්න. ගුරුවරු අතිරික්තයන් පවතින තැන් වලින් ඌනතාවන්ගෙන් පිරිච්ච පාසල් වලට මාරු කරන්න. මුදල් නැතිනම් ණය ගන්න. ඒක අනාගතයට ආයෝජනයක් විදිහට යොදන්න ඔය එක එක මඟුල් කරන්නේ නැතිව. මං මේ කියන්නේ දැන් ආණ්ඩුවට විතරක් නෙවෙයි. ඔය එන්න බලාගෙන වලි කන එවුන්ටත් එක්ක. උනුත් ඇවිල්ලා කාලා බීලා ජොලි කරලා ආතල් එකේ ඉඳලා යනවා විතරයි. අධ්‍යාපනයට යොදන මුදල් කප්පාදු කරන්න එපා. අද දුප්පත් කම්කරුවාගේ පුතා, දුව හෙට රටට වැඩදායී නව දැනුමෙන් සන්නද්ධ පුරවැසියෙකු බිහිවෙනවා නියතයි!
- වැහිච්ච පාසල් නැවත විවෘත කරන්න
- හිසට වහලක් හදලා දෙන්න
- ළමයින්ගේ අච්චු පොත් එක්ක පිස්සු කෙලින්නේ නැතිව වගකීමෙන් වැඩකරන්න
- පාසල් තුළ ඉංග්‍රීසි, සහ දේශීය භාෂාවන් (සිංහල, දමිළ) පිළිබඳ අධ්‍යාපනයට වැඩි අවධානයක් දී ඒවා දියුණු කරන්න
- බටහිර සංගීතය, පෙරදිග සංගීතය, දේශීය සංගීතය, නර්තනය පිළිබඳ ප්‍රායෝගික අධ්‍යාපනය දියුණු කරන්න
- යටි මඩි ගහන්නේ නැතිව ඉගෙනුම් උපකරණ, විද්‍යාගාර, පරිගණක විද්‍යාගාර, අන්තර්ජාල පහසුකම් ලබාදෙන්න.
- කෘෂිකර්මය පිළිබඳ දැනුම තීව්‍ර කරන්න උත්සාහ කරන්න
- ගුරුවරුන්ට නිසි ඇගයීම් කරන්න
ගමේ සම්පත් ගමෙන් වෙන් නොකර, ගම තුලම ව්‍යවසායකත්වය දියුණු කිරීම අන්තර්ජාල පහසුකම්, දුරස්ථ අධ්‍යාපන උපක්‍රම දියුණු කරන්න.
මේවා කරන්න බැරි දේවල් නෙවෙයි. මේවා කරාම අර අන්තර්ජාතික පාසල් වලට නිර්මාණය වෙමින් තියෙන තැන කඩාගෙන වැඩෙටනවා. සමාජ තත්ත්වය දියුණු වෙනවා. අනාගතේ සුවිශාල සමාජයයීය බලවත්කමක් නිර්මාණය වෙනවා වගේම නිෂ්පාදනය දියුණු වෙනවා. ඒකෙන් රටේ දියුණුව ඇති වෙනවා විතරක් නෙවෙයි සංස්කෘතිය පිරිහෙන්නෙත් නැහැ. සාමාජ පන්ති නිර්මාණය වෙලා අන්ත දුප්පත් පීඩනයට පත් කම්කරු පන්තියක් නිර්මාණය නොවී, ශක්තිමත් දැනුමෙන් පිරි කම්කරු පන්තියක් නිර්මාණය වෙනවා.
ලංකාවේ තවම පෞද්ගලික විශ්ව විද්‍යාල බිහි වෙලා නෑ. රජය නිසි ප්‍රතිපාදන දැනට පවතින විශ්ව විද්‍යාල වලට යොදනවා නම්, ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල නිර්මාණය කරන්න කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැහැ. විශ්ව විද්‍යාල වලට හොඳට ප්‍රතිපාදන යොදනවා නම්, බොර දියේ මාලු බාන්න එක එක දේශපාලන පක්ෂ වලට අවශ්‍ය වෙන්නේ නැහැ. මහත් බලාපොරොත්තු තියාගෙන ගමේ කට්ට කාලා විශ්ව විද්‍යාලයට ආපු ශිෂ්‍යාවෝ කිහිපදෙනෙක් කොළඹ සමාජය විසින් දැනටමත් ඩැහැගෙන. කැසිනෝ ශාලා වල සේවය කරන්න ඔවුන්ව යොදවනවා කියලා අපිට ආරන්චියි. ඉතින් පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරාම මේ තත්ත්වය දෙගුණ තෙගුණ වෙනවා. දැන් පොදු ජනතාවගේ ආර්ථික තත්ත්වය ඇරගෙන බැලුවාම මේ තත්ත්වය ගණිකා වෘත්තියෙනුත් එහා ගිහිල්ලා එයිනුත් නතර වෙන්නේ නැහැ. මේ විනාශ වෙන්නේ නිකන්ම නිකන් අය නෙවෙයි රටේ මානව සම්පත. ඉතින් සිසුන්ට හා විශ්ව විද්‍යාල වලට නිසි ප්‍රතිපාදන වෙන් කරලා හොඳ විශ්ව විද්‍යාල අපේ රටේ නිර්මාණය කරන්න පුළුවන්. ඊළඟට විදෙස් රටවලින් සිසුන්ව ගෙන්න ගන්න පුළුවන්. විදෙස් රටවලින් සිසුන්ගේ පැමිණීමත් සමඟම රටට විදේශ විණිමය ලැබෙනවා. විදේශ විණිමය ලබාගන්න එතකොට විශ්ව විද්‍යාල අරින්න වැඩක් නැහැ. රාජ්‍ය ව්‍යවසාය හරහා විශිෂ්ට විශ්ව විද්‍යාල නිර්මාණය කර, ඒවාට විදේශයන්ගෙන් සිසුන් ගෙන්වා ගැනීමෙන් විදේශ විණිමය ලංකාවට ලබාගත හැකියි.
මේ කියන්නේ කරන්න බැරි දේවල් නෙවෙයි නේද? මට මේක පේන්නේ මේ විදිහට. ඔබට වෙනත් විදිහකට පේන්න පුළුවන්. ඔබේ අදහස් මොනවාද?