Categories
අධ්‍යාපනික ඉතිහාස ගවේෂණ විවිධ ශ්‍රී ලංකා

ලංකාවට අත නොතබනු! (වර්තමාන ඉන්දියන් සාධකයට එරෙහිව!!)

ශ්‍රී ලංකාවට ආසන්නම රට ඉන්දියාව කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් මෑතකදී ත්‍රස්තවාදයට එරෙහිව ලබාගන්නා ලද සුවිශේෂී ජයග්‍රහණයන් හමුවේ, එක් ශ්‍රී ලාංකීය ජාතියක් විදිහට අවසන් ශ්‍රී ලංකා නිදහස් සටන ගෙනියන මේ වෙලාවේදී, ඉන්දියාව තමන්ගේ අනිසි මැදිහත්වීම ලංකා ආණ්ඩුව වෙතට එල්ල කරන බව ඔබ අප සැම දෙනා දැන් දන්නා කරුණක්. මේ පිළිබඳව දේශපාලන ලෝකයේ විවිධ කතාවන් නිර්මාණය වෙලා තියෙද්දී, සාමාන්‍යයෙන් අපි අපි අතරත් කතා බහ සිදුවෙනවා. මේ මැදිහත්වීම නිසාම දැන් බොහෝ ශ්‍රී ලාංකිකයන්ට අවබෝධ වෙලා තියෙන කරුණක් වන්නේ අප සැම දෙනාම එකම ජාතියක් වශයෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය වෙනුවෙන් එකතුවිය යුතු බව. කෙ‍සේ නමුත් ලෝක ආර්ථික හා දේශපාලන වශයෙන් බල‍වතෙක් වෙමින් නැඟී සිටින ඉන්දියානු මහා පොදු සාධකය නිසාවෙන් ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුධය විසඳා ගැනීමේ ගැටළු රාශියකට මුහුන දීමට සිදු වෙලා තියෙනවා.

ලංකාව‍ට ඓතිහාසිකව එල්ලවූ ඉන්දියානු බලපෑම් මුලින්ම හඳුනාගනිමු.

මහාවංශය, ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව ප්‍රධානතම මූලාශ්‍රය. උතුරු ඉන්දියානු ආර්ය ජනකොට්ඨාශයකින් පැවත එන සිංහබාහු පරපුරේ ඊළඟ පුරුක වූ විජය කුමරු ලංකාවට පැමිනෙන්නේ අහම්බෙන්. අහම්බෙන් පැමිණි නමුත් කුවේණිය සමඟින් කරන ලද රාජ්‍ය කුමන්ත්‍රණය හරහා ශ්‍රී ලංකාවේ බලය යක්ෂ ගෝත්‍රයෙන් ලබාගැනීමට සමත්වනවා. නමුත් ලංකාව ඉන්දියාවේ පාලනයට යටත් වන්නේ නැති බව මෙහිදී අවධාරණය කළ යුතු කාරණයක්. කෙසේ නමුත් උතුරු ඉන්දියානු ආර්ය ගෝත්‍රය සමඟින් සම්මිශ්‍රණය වූ ස්වදේශික ජනතාව එක්සත් වී සිංහල නමැති ඒකීය ජාතිය පිහිටුවාගැනීමට පණ්ඩුකාභය රජු දවස සමත්වීම නිසාවෙන් ලංකාවට ඉන්දියාවෙන් එල්ලවූ බලපෑම යම්තාක් දුරකට සමනය වූවත්, දක්ෂිණ ඉන්දියා‍වේ බලවත් වූ ද්‍රවිඩ රජ පරපුර සිය දමිළ රාජ්‍යය ව්‍යාප්ත කිරීම සඳහා ලංකාවට විවිධ ආක්‍රමණ දියත් කරන නමුත් ශ්‍රී ලාංකීය යක්ෂ ගෝත්‍රයේ හා ආර්ය සම්මිශ්‍රණයේ ජානමය බලපෑම හමුවේ ආක්‍රමණ සාර්ථක කරගැනීමට ‍නොහැකි වනවා.

කෙසේ නමුත් අපි සැලකිල්ලට ගත යුතු කරුණක් වන්නේ…

ශ්‍රී ලංකාව යනු ඉන්දියාවෙන් වෙන්වූ පැවැත්මක් ඇති ඒකීය ‍ස්වෛරී රාජ්‍යයක් වන බවයි.

චණ්ඩාශෝක නමින් විරුධාවලිය ලත් අශෝක නම් වූ ඉන්දියානු අධිරාජ්‍යයා සිය අධිරාජ්‍ය පුළුල් කිරීමේ පරමාර්ථය වෙනුවෙන් ඇප කැපවෙමින් කටයුතු කරනු ලැබූ අතර අවසානයේ සිය දිග්විජය ප්‍රතිපත්තිය වෙනු‍වට ධර්ම විජය ප්‍රතිපත්තිය දියත් කරන ලද්දේ අන් කිසිවක් සඳහා නෙවෙයි. අපි දන්නවා යම් කිසි ජනකොට්ඨාශයක් සිය පැවැත්මට අනුගත කර ගැනීමට අවශ්‍ය නම් ඔවුන්ගේ මොළ ගුද්ධ කිරීමක් අවශ්‍ය බව (බ්‍රේන් වොෂ් කිරීමක් – Brain Wash) ඉතින් ඉන්දියානු අධිරාජ්‍යාත් ඒ අවස්ථාවේදී බුදු දහම ලංකාවට හඳුන්වාදෙමින් ශ්‍රී ලංකාව තමන්ට අනුගත ආකාරයට නම්‍යශීලි කරගනු ලැබුවා. තිස්ස රජතුමා දේවානම්පිය යන මුල් නාමය එකතු කරගැනීම. ඉන්දියාවෙන් රාජ කකුධ භාණ්ඩ ගෙන්වාගනිමින් නැවත රාජාභිෂේකය ලබාගැනීම හරහා වක්‍රාකාරයෙන් ඉන්දියානු බලපෑමට ලංකාව නතු වුනා.

මෙය මෑත කාලීන ඉතිහාසයට මේ ආකාරයෙන්ම සම්බන්ධ කරන්නම්. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඇතිවූ සීතල යුධ සමයේදී ලෝක බලවතුන් ලෙසින් නැඟි ආ අමෙරිකානු එක්සත් ජනපදය සිය ධනවාරී ආර්ථික ක්‍රමයට ලෝකයා අනුගත කිරීමට උත්සාහ දැරීම සහ, එයට සමගාමීව සෝවියට් රුසියාව සමාජවාදී ආර්ථික ක්‍රමයකට ලෝකයා අනුගත කරගැනීමට උත්සාහ ගැනීම. මෙහිදී යම් කිසි රටකට එරෙහිව යුධමය ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. නමුත් සිදුවන්නේ බ්‍රේන් වොෂ් කිරීමක්. එය යුද්ධ කිරීමට වඩා බරපතල දෙයක්. ඒ වගේම ඊටත් පෙර ඉතිහාසයේ; ඉස්ලාම් රාජ්‍ය බිහි කිරීම, එක්සත් ක්‍රිස්තු ලෝකයක් බිහි කිරීම වැනි දෑ සිද්ධ වුනා. එයද එක්තරා ආකාරයකට බ්‍රේන් වොෂ් කිරීමක්.

මා උත්සාහ කළේ ලංකාවේ බෞද්ධාගම ස්ථාපිත වීම හෑල්ලු කිරීමට නොවෙයි. දේශපාලන උපක්‍රම පිළිබඳව ඔබට දැනුමක් ලබාදීමටයි. කෙසේ නමුත් බෞද්ධාගම ස්ථාපනය කිරීම නිසා ඇතිවූ බ්‍රේන් වොෂ් කිරීම නිසාවෙන් ලංකාවේ ඒකීය භාවය පසුකාලීනව සුරැකීම විශේෂත්වයක් වගේම, ඉන්දියාව හා ලංකාව අතර විශාල සම්බන්ධතාවයක් ඇති බවට විශ්වාස කිරීමට මිනිසුන්ව පෙළඹුවා.

ඒ ඉන්දියාව සහ ලංකාව අතර ඇතිවූ දේශපාලනමය සම්බන්ධතාවයයි. කෙසේ නමුත් ඉන්දියාවේ බෞද්ධාගම සිඳී යාමත්, හින්දු ආගමේ නැඟී සිටීමත් සමඟම ශ්‍රී ලංකා – ඉන්දියා සමාජ සම්බන්ධතාවයන්ගේ නූල දිරායන්ට පටන්ගත්තා. මේ නිසාම ඉන්දියාවෙන් ශ්‍රී ලංකාව ගැලවීමක් ලැබීම සතුටට පත්විය යුතු කාරණයක්. එසේ නොවුනානම්, වර්තමානයේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වීම වලක්වන්නට නොහැකි වනවා නිසැකයි.

ඒ ඉන්දියාවත් ලංකාවත් අතර ඓතිහාසිකව ඇතිවු දේශපාලනික හා සාමාජීක සම්බන්ධාවයන් පිළිබඳ කෙටි කරුණු ඉදිරිපත් කිරීමක් පමණයි. තවත් වැඩි විස්තර ඒ සම්බන්ධයෙන් අවශ්‍යනම් ලංකා ඉතිහාසය අධ්‍යයනය කරන්න. එතකොට ඔබට මේ ‍වගේ තවත් සුවිශේෂී දේශපාලනික හා සාමාජීය සම්බන්ධතා රැසක් සපයාගන්න හැකිවේවි.

දැන් අපි මෑත ඉතිහාසය පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබාගමු.
ඉන්දියානු නිදහස් සටනේදී එක්සත්ව ක්‍රියාකරන ලද හින්දු, මුස්ලිම් සහ දමිළ ජනතාව අතුරෙන් මුලින්ම මොහොමඩ් අලි ජින්නා ප්‍රමුඛ මුස්ලිම් ජාතිය ඉන්දියාවෙන් වෙන්වූ පැවැත්මක් සහිත පකිස්ථානු රාජ්‍යය නිර්මාණය කරගනු ලබන්නේ තමන්ට ස්වයං තීරණ අයිතියක් ලබාගැනීම සඳහායි. නමුත් පකිස්ථානය වෙන් වීමටත් ප්‍රථමයෙන් දමිළ ජනයාද ඉන්දියාවෙන් වෙන් වී වෙනම රාජ්‍යයක් සඳහා වූ “අපි දෙමළ” නම් වූ ව්‍යාපාරය දියත් කරා. නමුත් ඔවුන්ට එය නිදහසට පසුව වූවත් සිදු කරගැනීමට නොහැකි වීම හා ඔවුන් කොපමණ උත්සාහ කරත් අති බහුතරයක් වූ හින්දු ජනයාගෙන් ඒ සඳහා ඉඩක් ලැබුනේ නැහැ. මේ කාරණය නිසා ඔවුන් ලංකාවේ වෙනම රාජ්‍යයක් නිර්මාණය කරගැනීම සඳහා ඩී. එස් සේනානායක, එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරණායක වැනි ප්‍රබල ශ්‍රී ලංකා දේශපාලඥයින් සමඟින් සාකච්ජා පැවැත්වූවත් බණ්ඩාරණායක මහතා එයට කැමැත්ත ප්‍රකාශ නොකරමින් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවාගැනීමත් රාජ්‍ය බලය ලබාගැනිමත් නිසාවෙන් ඒ අරමුණ ඉටු කරගැනීමට ඔවුන්ට ‍නොහැකි වනවා. මෙන්න මේ නිසා ඉන්දියාව තුළ කැකෑරෙන ගිනි බෝලයක් හිමින් සීරුවේ නිර්මාණය වීම ඇරඹුනා. මෙසේ කැකෑරෙමින් පැවැති අර්බුධය ඉන්දියාවට ඉමහත් හිසරදයක් වෙමින් පැවතුනා.

ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ධූරය හොබවන ලද ජේ. ආර් ජයවර්ධන මහතා විසින් ගෙනියන විදේශ ප්‍රතිපත්ති පිළිබඳව මීළඟට අවධානය යොමු කිරීම වැදගත්. 1977දී ධනවාදී විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ලංකාවට හඳුන්වාදීම ඉන්දියාවේ ඇහේ කටු අනින්න‍ වගේ වුනා. එවකට සෝවියට් රුසියා හිතවාදී රටක් වුනු ඉන්දියාවට මෙන්ම රුසියාවටද මෙය දරාගැනීමට අපහසු වුනා. එමෙන්ම ජයවර්ධන ජනාධිපතිතුමා අමෙරිකාව සමඟින් සමීප සම්බන්ධකම් පැවැත්වීම හා ‍ශ්‍රී ලංකාවේ හොඳම මිතුරා පකිස්ථානය බව පැවසීම නිසා ඉන්දියානු හොඳ හිත පළුදු වීම සිද්ධ වුනා. මේ හේතුව නිසාවෙන් ඉන්දියානු රහස් ඔත්තු සේවා ශ්‍රී ලංකාවේ රාජ්‍ය හමුදාවටත් වඩා හමුදා බටයින් විශාල සංඛ්‍යාවක් එල්. ටී. ටී. ඊ සංවිධානයට පුහුණු කරදෙමින් එල්. ටී. ටී. ඊ සංවිධානය ඇති කරාක් මෙන්ම යුද්ධයක් ඇති කිරීම සඳහා අවශ්‍ය සියළුම අනුබලදීම් එල්. ටී. ටී. ඊ සංවිධානයට ලබාදීම සිදු කරා. ඉන්දියාව බලාපොරොත්තු වූ ආකාරයෙන් පළමු ඊළාම් යුද්ධය නිර්මාණය වූ අතර ඉන්දියාව එහි අවසානයට ළඟා වෙමින් තිබියදී අහසින් පරිප්පු දමමින් බාධාවන් රැසක් එල්ල කරමින්, ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති‍ගේ අතින් අඹරා ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරගැනීමට සමත්වුනා. වර්තමාන අර්බුදයට ඉන්දියානු මැදිහත්වීමේ ආරම්භය එයයි

ඉන් අනතුරුව ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගෙන් පසුව පත්වූ සියලූම ලංකා රාජ්‍ය නායකයින්ට ඉන්දියාවට හිස නැමීමට සිදු වීම අවාසනාවට කරුණක්. කෙසේ නමුත් මෙතෙක් ලංකාවේ නොතිබූ තරමේ ඊළාම් අර්බුධයක් නිර්මාණය කිරීමට ඉන්දියාව සමත්වුනා. ඒ තුලින් ලංකාවේ සාමාජීය, ආර්ථික තත්ත්වයන්ට විශාල බලපැමක් එල්ලවූ අතර එහි අනිටු පළවිපාක වත්මන් පරපුර විඳිනු ලබයි.

ඉන්දියාව ඉන් අනතුරුව ධනවාදී ආර්ථික ක්‍රමයකට යොමු වෙමින් ශ්‍රී ලංකාව පිළිබඳ දෙබිඩි විදේශ ප්‍රතිපත්තියක් ප්‍රදර්ශණයක කරා. ලංකා‍වේ සියළුම සොබාවික සම්පත කප්පමක් වශයෙන් ලබාගැනීමටත්, ඉන්දියාවේ වෙළඳපළ ලංකාවේ නිර්මාණය කිරීමට ඉන්දියානු බලධරයන් සමත්වන අතර, ඔවුන් ත්‍රස්තවාදයට අනුබලදීම් රාශියක් සිදු කරා. ලංකාවට යුධමය ආධාර ලබාදීමට එකඟ වුනේද ඉතාමත් සැක සහිත ආකාරයකින්. ඔවුන් පැවසුවේ ලංකාවට අපි ලබාදෙන්නේ ප්‍රහාරාත්මක අවි නොව ආරක්ෂක අවි පමණක් බවයි. ප්‍රහාරාත්මක අවි වලින් තොරව ඇති ආරක්ෂක අවි වලින් කුමක් කරන්නද? එය ‍කඩුව නොමැතිව පළිහ පමණක් රැගෙන යුධ පිටියට ගියාක් හා සමාන වන්නක් නොවේද? අවසානයේ පළිහ දරා පස්සෙන් පස්සට තල්ලූ වී හිරවී මියායම පමණයි නේද සිදුවන්නේ? එයින්ම පැහැදිලි වන ආකාරයට පෙනෙනුයේ එය ඉන්දියානු බලධරයන් සිදුකරන ලද්දේ ඔවුනට ලබාගැනීමට අවශ්‍ය ආර්ථික වාසි වෙනුවෙනුයි. එමෙන්ම ඉන්දියාව තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇතිකිරිමට ඔවුන් ලංකාවේ ත්‍රස්තවාදී අර්බුධය දඩමීමා කරගනු ලැබුවා. ඉන්දියාව තුළ ඊළාම් යුද්ධයක් ඇතිවනවා වෙනුවට දමිළයන්ට ලංකාව තුළ ස්වයං පාලන අයිතියක් ලැබෙන බවත් එනිසා ඉන්දියාව තුළ ගැටුම් ඇති නොකරගත යුතු බවත් යන්න පෙන්වමින් ඉන්දියාවේ දමිළ ප්‍රජාව විසින් ඇතිකරනු ලැබීමට නියමිතව තිබූ නිදහස් සටන ලංකාවේදී ඉතාමත් අසාධාරණ තත්ත්වයන් යටතේ ඇතිවුනා. (ලංකාව යනු දමිළයන්ගේ නිජභූමිය නොවේ. ඉන්දියාව දමිළයන්ගේ නිජභූමියයි. එනිසා ඔවුන්ට සිය නිජභූමිය පිළිබඳව අයිතිවාසික ප්‍රකාශ කර හැක්කේ ඉන්දියාව තුළදී පමණි. ලංකාව තුළදී දමිළයන් යනු ශ්‍රී ලාංකීය ජාතියේ කොටසකි. එවිට ඔවුන් සිතිය යුත්තේ ශ්‍රී ලාංකිකයන් විදියටයි.)

වර්තමානයේදී යුද්ධයේ අවසානයේ ආසන්නයටම පැමිණ ඇත.
එසේනම්,

යුද්ධය අවසන්වීම ඉන්දියාවට බලපාන්නේ මේ ආකාරයෙනි

  • තමිල්නාඩුව තුළ නිදහස් අරගලයක් නිර්මාණය වීම
  • ලංකාව ඉන්දියාවට ආර්ථිකමය වාසි ලබාදෙන, ඉන්දියාවේ පදේට නැටීමට සූදානම් ඔවුන්ගේ ආර්ථිකම ප්‍රාන්තයක් බවට පත් වීම වැලැක්වීම නිසා ඉන්දියාවට ලෝක බලවතෙකුගේ තත්වයට පැමිණීම ප්‍රමාද වීම
  • ඉන්දියාවට ආසන්නයේ ශක්තිමත් ඒකීය ජාතික රාජ්‍යයක් නිර්මාණ වීම හරහා. සොබාවික සම්පත් වලින් අනූන වූ ශක්තිමත් ආර්ථිකයකින් යුතු රටක් නිර්මාණය වීම ඔවුන්ගේ ආර්ථිකයට බලපෑම් එල්ල කිරීමට සමත් වීම.

මීට අමතරව සමස්ථ ලංකාවම ඉන්දියානු ප්‍රාන්තයක් කරගැනීමේ යටි අරමුණ ඉටු කරගැනීමට නොහැකි වීම යන කරුණු පෙන්විය හැකියි. ඉතින් ජාතියක් වශයෙන් අප සියළු‍ දෙනාම එකතු විය යුතුයි. ඉන්දියාවේ තවත් එක් ප්‍රාන්තයක් බවට ලංකාව පත් වෙනවාට ඔබ කැමතිද? එසේත් නැතිනම් අ‍‍පේ සියළුම සොබාවික සම්පත ඉන්දියානු ආර්ථික හස්තයට හසු‍වනවාට ඔබ කැමතිද? ඔබ අකමැති වනවාට කිසිදු සැකයක් නැහැ. එනිසා දැන් දැන්ම එකතු වෙමු හඬක් නඟමු! ලංකාවේ ස්වෛරීභාවය වෙනුවෙන් එකතු වෙමු!

අවසාන වශයෙන් ඔබට තවත් මෙවැනිම ඉතිහාස සාධයකයක් පෙන්වීමට සිතුනා. ඒ අමෙරිකා එක්සත් ජනපදයයි. ඔවුන්ගේ මුල් බිම වූයේ මහා බ්‍රිතාන්‍යයි. නමුත් ඔවුන් සිය නිදහස් නිවහල් භාවය වෙනුවෙන් සිය මව් රට වූ බ්‍රිතාන්‍ය සමඟින්ද සටන් කරා!. දැන් බලන්න ඔවුන් කෙ‍තරම් දියුණු වී ඇත්ද? ජාතික රාජ්‍යයක් ගොඩනගාගැනීම තුළින් ලෝක බලවතෙකු තත්ත්වයට පත්වූ ආකාරය බලන්න. ඉදින්, ඉන්දියාව එවන් තත්වයක් අපෙන් ඇතිවීම වලක්වන ආකාරයක් ඔබට නොපෙනෙන්නේද?
ඇමරිකානු නිදහස් සටන පිළිබඳ වැඩි විස්තර – http://en.wikipedia.org/wiki/American_Revolution

ඉන්දියාව මේ සම්බන්ධව කුමන මතයක් ලෝකයාට පෙන්වූවත් තිත්ත ඇත්ත එයයි. තමිල්නාඩුව වර්තමානයේ ප්‍රදර්ශණය කරන්නේ මධ්‍යම ආණ්ඩුවේ උවමනාවයි. ඒ බව අප තේරුම්ගත යුතුය.

එන්න, එක්සත්ව එක්සිත්ව ඒකීය ස්වෛරී ජාතික රාජ්‍යයක් නිර්මාණ කිරීම උදෙසා හඬනඟන්න!

(මෙම සටහනට පදනම් වූයේ 2008.10.20 දින ටී. එන්. එල් රූපවාහිනී නාලිකාවේ විකාශය වූ “ජන හඬ” දේශපාලානාත්මක සංවාද‍යයි. එම වැඩසටහනට සහභාගී වූ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයා වන විජිත හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට සහ ජාතික හෙළ උරුමය නියෝජනය කරන ලද ස්වාමීන් වහන්සේට මාගේ විශේෂ ස්තූතිය.)

Categories
විවිධ හිනා

අනේ අපොයි සහ තවත් බොහෝ දෑ…

සාමාන්‍යයෙන් කෙනෙක්ට අනේ අපොයි කියලා කියැවෙන්නේ කරදරයක් වුනාම. ඔව්! මටත් දැන් අනේ අපොයි කියැවුනේ ඒක නිසාම තමයි! කරදර ගොඩකට මැදිවෙන්න වුනා කලින් මේ බ්ලොග් එක තිබ්බ සේවාදායකයත් (Server) එක්ක. ඒක නිසා මට හිතුනා මගේම ‍තැන හොඳයි කියලා. ඕන් ඒක නිසාම, ආපහු මගේ තැනටම මාරු වුනා. ඒක තමයි පළවෙනි කාරණය. මේ දෙවැනි කාරණය. සාමාන්‍ය පෙළට තව මාස දෙකයි. ඒත් තාම ජාතික හැඳුනුම්පත නම් දකින්න ලැබුනේ නෑ. ඕන් අද එක්කෙනෙක් පන්තියට ඇවිල්ලා කියාපි, ජාතික හැඳුනුම්පත් දැන්ම හැදෙන්නේ නෑ ඒක නිසා ඉක්මනට තැපැල් හැඳුනුම්පත හදාගන්නයි කියලා! හත්තිලව්වට ගහපු කලා‍බරේ කිව්වාලු! ඇයි දෙයියනේ දැන් මේ හදිස්සියේ දුවපන්කෝ තැපැල් කාර්යාලේ. අනික… මේ දවස්වල ඉස්කෝලේ මඟහරින්නත් බෑ. සෙනසුරාදා තමයි වැඩිපුර පාඩම් කරන දවස. කොච්චර පාඩම් කරලා හිටියත් විභාගෙට ලියන්න බැරිවෙන නිසා සෙනසුරාදා දවසක් නිරපරා‍‍දේ වියදම් කරන්න නම් අනිවාර්ය‍යෙන්ම වෙනවා. මොනවා කරන්නද? මේක අපේ ඉස්කෝලේවත්, පණිවිඩේ ගෙනාපු කෙනාගේවත් වරදක් නෙවෙයි. සම්පූර්ණ වරද තියෙන්නේ පුද්ගලයින් ලියාපදිංච් කිරීමේ දෙපාර්තමේන්තුවේ! මුළු ලංකාවටම හැඳුනුම් පත් හදන්න භාරව ඉන්න මේකේ පරිගණක අංශයේ ඉන්නේ පස් දෙනයිලු! මල කෙළියයි! පස් දෙනෙක්ගෙන් කොහොමද මුළු රටටම හැඳුනුම් පත් හදන්නේ? අනේ මන්දා එතකොට අපේ හැඳුනුම්පත් හැදිලා ලැබෙනකොට දත් වැටිලා, කොණ්ඩේ ඉදිලා නාකි වෙලා තියෙයි!

ඔන්න ඔහොමයි හැටි. මම ඉතින් ඕවාට කට අරි‍න්න යන‍්නේ නෑ. මොකද මට වෙන වැඩ තියෙන නිසා. පස්සේ වෙලාවක බලාගමුකෝ… 😀 දැනට බේරුනා කියලා හිතාගනින්! 😉

ඉතින් කාලය ඔහොම ගතවෙද්දී අපේ ඉස්කෝලේ අපේ ශ්‍රේණියේ පන්තියක සහෝදරයන්ගේ ආරාධනාවකින් රාජකීය විද්‍යාලයට ආවා සුප්‍රසිද්ධ ධනාත්මක චින්තනය පිළිබඳ දේශකයෙක්. ඒ වෙන කවුරුවත් නෙවෙයි. ඒ තමයි නාලක හේවාමද්දුම මහතා. ඒ ආවේ වෙන මොකකටවත් නෙවෙයි! තව මාස දෙකකින් තියෙන සාමාන්‍ය පෙළ විභාගේ සමත්වෙන්නේ කොහොමද කියලා දේශනයක් තියන්න. 11 වසරේ අපි කවුරුත් වගේ දේශනයට සවන්දුන්නේ හරිම ආසාවෙන්. ඒ වගේම අපිට තියෙන ප්‍රශ්නත් අහන්න අවස්ථාව ලබලා දුනා ඉතින් හැමෝටම හොඳ උපදෙස් රාශියක් ලැබුනා. කට්ටිය වැඩියෙන්ම අහපු ප්‍රශ්නේ තමයි… (අනේ මන්දා…, කියන එකත් හරිද මන්දා… :D) තමන්ගේ ගෑනු ළමයා මතක් වෙනවාලු පාඩම් කරනකොට. ඉතින් එයා දීපු උපදෙස තමයි, විභා‍ගේ දිනුවේ නැත්තන් ඔය කවුරුත් අපිට නැ. ඒක නිසා එයා ලබාගන්නවා කියලා හිතලාම විභාගෙන් සමත්වෙන්න පාඩම් කටයතු කරන්න කියලා. ‍(හොඳ වෙලාවට මට නම් එහෙම ප්‍රශ්නයක් නෑ තාම 😉 )

මේ ඒ දේසනේට සවන්දෙන්න බැරිවෙච්ච ලංකාව වටේ ඉන්න අපේ එකොළහේ යාළුවන්ට… (සහ ඉදිරියට විභාග වලට සූදානම් වෙන්න ඉන්න හැමෝටම)
දැන් විභාගේ ලංවෙලා තියෙන නිසා, දැන් ඒක රේස් එකකට සූදානම් වෙනවා කියලා හිතාගන්න. දැන් තියෙන්නේ රේස් එකේ පිට්ටනියට බැහැලා දුවලා දුවලා පුරුදුවෙන්න කියලත් හිතාගන්න. ඒක නිසා… දැන් කරන්න තියෙන්නේ පනදාගෙන පාඩම් කරනවා වෙනුවට, ප්‍රශ්න පත්‍ර ලියලා පුරුදුවෙන එකයි. මොකද කට්ටිය ගොඩක් පාඩම් කරගෙන හිටියත් ප්‍රශ්න පත්තරේ දැක්කාම උත්තර මතක් වෙන්නේ නැති ගතියක් එහෙම තියෙනවා නේද? ඒක නිසා… දැන් කරන්න තියෙන හොඳම වැඩේ තමයි දවසකට අවම වශයෙන් පැය 4ක්වත් ආදර්ශ ප්‍රශ්න පත්‍ර තනිවම ලියන්න. ප්‍රශ්න වලට උත්තර දන්නේ නැත්තම් ඒත් කලබල වෙන්න එපා. ගන්න අච්චු පොත හරි ලියන පොත හරි. ඒකෙන් අවශ්‍ය පාඩම පෙරලාගෙන කියවලා උත්තරය ලියන්න. මේ වෙලාවේ ප්‍රශ්න පත්තරේ උත්තර පත්‍රය පෙරළගෙන ඒකේ තියෙන උත්තරේම ලියන්න එපා. වෙන්න ඕනේ තමන්ම අවබෝධයෙන් ප්‍රශ්නයට උත්තරය සොයාගැනීමයි.
ඒ වගේම රාත්‍ර 12.00 ත් 4.00ත් කාලයේ නින්ද ලබාගැනීම වැදගත් වගේම අවම වශයෙන් පැය 6ක්වත් නින්ද ලබාගන්න. ඒ වගේම දවල්ට නින්ද ලබාගන්න එක අඩුකරගන්න. මාත් මගේ බස් එකේ නිදාගන්න නරක පුරුද්ද අතඅරින්න ගොඩක් උත්සාහ කරනවා. ඒ වගේම තවත් දෙයක්! හැමවෙලාවෙම වගේ වතුර බොන්න. ඒ කියන්නේ බෝතල් ගනනින් නෙවෙයි! 😀 බෝතලක් ළඟ තියාගෙන උගුර වේලෙන්න දෙන්නේ නැතිව තියාගන්න. නැත්තන් එතකොට පාඩම් කරනකොට පොඩි stress ගතියක් දැනෙන්න එහෙම පුළුවන්. ඔන්න ඕක තමයි අපිට නාලක හේවාමද්දුම මහත්තයා කියලා දුන්නේ. ඔයාලටත් වැදගත් වේවි කියලා හිතෙන නිසයි බ්ලොග් එකේ දැම්මේ. ඒ ඇරෙන්න තමන් විසින්ම නිර්මාණය කරගත්තු පාඩම් ක්‍රම අනුගමනය කරන්න.

ඒ අතරේ විභාග පීඩනයෙන් මිදෙන්න කරන වැඩ දෙකෙන් එකක් තමයි බ්ලොග් එක ලියන එක. ඒ වගේම ඉඩ තියෙන වෙලාවක හොඳ හින්දි චිත්‍රපටියක් බලන්න අමතක කරන්නේ නෑ. මේ ළඟදී බලපු හින්දි චිත්‍රපටි දෙකක් තියෙනවා. එයින් එකක් තමයි…

කිස්මත් කනෙක්ෂන් (Kismat Konnection)
හරිම අපූරු හින්දි චිත්‍රපටියක්. රඟපාන්නේ වෙන කවුරුවත් නෙවෙයි සායිඩ් කපූර් සමඟින් විද්‍යා බාලන්. හැබැයි මට සායිඩ් කපූර්ව නම් මේ චිත්‍රපටියේ පෙනුනේ ෂාරුක් ඛාන් විදිහට. මට විතරක් නෙවෙයි, මේ හින්දි චිත්‍රපටිය බලපු මගේ යාළුවෙකුටත් පෙනිලා තියෙන්නේ ඒ විදියට. ඒ කියන්නේ… සායිඩ් කපූර් ෂාරුක් ඛාන්ව අනුකරණය කරනවා වත්ද? හැබැයි නැටුම් ගැන නම් කියලා වැඩක් නෑ! එළම එළ කිරී!

බොරු නම් බලන්කෝ! සින්දුත් ඒ වගේමයි.

ඔන්න මේ චිත්‍රපටිය නම් බලන්න අමතක කරන්න එපා! ටොරන්ට් ඇති හොයලා බලන්න (14ට වැඩි අයට 😉 )

මේ දෙවෙනි එක

බච්නා ඒ හසීනෝ (Bachna Ae Haseeno)
සාවරියා චිත්‍රපටිය රංගන දිවිය ආරම්භ කරපු රන්බීර් කපූර්ගේ මේ චිත්‍රපටියෙත් රඟපෑම හොඳයි. හැබැයි උසස්ම නිර්මාණයක් විදිහට මම නම් දකින්නේ නෑ. ඒ වුනාට සාමාන්‍ය වශයෙන් හොඳයි. බටහිර රොමෑන්ස් කොමඩි චිත්‍රපටි අනුගමනය (හෝ අනුකරණය) කරමින් නිර්මාණය කරලා තියෙන මේ චිත්‍රපටියේ රඟපාන්න තවත් නිළියන් තුන්දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් දීපිකා පදුකෝන්, අනිත් කෙනා බිපාෂා බාසු, අනිත් කෙ‍නාගේ නම නම් මතක නෑ :D. ඒ වුනාට එයත් ‍‍හොඳට රඟපානවා කියලා කියන්න පුළුවන්. පොඩ්ඩක් හොයලා බැලුවොත් අළුතෙන්ම නිකුත් කරපු DVD එකේ DVDRip එක හොයාගන්න බැරිවෙන එකක් එහෙම නෑ. (මෙන්න හොරූ…ඌ… 😛 ) මේ චිත්‍රපටිය හැබැයි 15ට වැඩි අයට 😉

ආ මේක මතක් වුනේ පහුවෙලා 😀
ලෝක ගුරු දිනය යෙදිලා තිබුනේ මේ ළඟදී නේ… අපේ මාධ්‍ය ඒකකයේ ල රෝයාල්, (LÈ ROYALE) කණ්ඩායම ඒ වෙනුවෙන් අපේ පාසලේ පවත්වපු උත්සවේ වීඩියෝ කිහිපයක් අන්තර්ජාලයට එකතු කරලා තියෙනවා දැක්කා. ඒ වගේම සිංහල සාහිත්‍ය දිනයේ වීඩි‍යෝ කිහිපයකුත් එකතු කරලා තිබුනා ඒ ඔක්කොම බලන්න http://www.leroyale.tv හරහා යූටියුබ් නාලිකාවට පිවිසෙන්න අමතක කරන්න එපා. ආ කියන්න හැදුවේ ගුරු දිනය ගැනනේ. ගුරුදිනය වෙනුවෙන් උත්සවය සමරන වෙලාවේ අපේ පන්තියේ අයත් ගුරුදිනය ඉහළින්ම සැමරුවා. පන්තිය මැද්දේ පොඩි ගිනි මැලයක් ගහලා කට්ටිය ඒක වටේ පොඩි ගෝත්‍රික නැටුමක් දාලා ඉතාම සතුටෙන් ගුරු දිනය සැමරුවේ එදා හැම ගුරුව‍රයෙක් වගේම මේ උත්සවයට සහභාගි වෙලා හිටපු නිසයි 😀 කියලා වැඩක් නෑ එදා ගත්ත ආතල් එක :D. මම මේ පොඩි සිදුවීමක් කිව්වේ. දන්නේ නැද්ද ඉතින්, පන්ති ගිහිල්ලා විභාග ලියලා, තවත් ලියන්න හෙම්බත් වෙලා ඉන්න කොල්ලෝ සෙට්ටෙක ඉතින් මේ වගේ අවස්ථාවක් ආවාම මඟහරින්න කොහොමවත් කැමති නෑ නොවැ 😀 . හැබැයි ඒකෙන් කාටවත් හිරිහැරයක් වුනේ නෑ. ඒක නිසා ප්‍රශ්නයකුත් නෑ 😉

ඒක නම් සුබම සුබ ගුරුදිනයක්!

ආ…
මලින්ත අයියා අළුත් සයිට් දෙකක් ඇරලා. අම්මේ… ලස්සනේ බෑ 😀 කෙල ‍බේරෙනවා! නැද්ද මං අහන්නේ?
ගිහිල්ලාම බලන්නකෝ..
මැගී ආච්චි – www.maggieaachchi.com
ලංකා කොමික්ස් – www.lankacomics.com

තවත් සිදුවීම් එමටයි. ඒත් ඉතින් ඒවා ලියන්න ගියොත් මට පාඩම් කරන්න හම්බවෙන්නේ නෑ! ඒවා පස්සට…. හ්ම්… දැන් පාඩමට! ගම‍නේ… යා!!!