Categories
විවිධ

අනාගතය වෙනුවෙන් වර්තමානයට‍ කොමාවක්.

ම්… මේක සැහෙන්න හිතලා… කොටින්ම කියනවානං අහස පොළව ගැටලන්න කම්පනා කොරලා ගත්ත තීරණයක් ඕං. අකමැත්තෙන් වුනත් මේ තීරණය ගත්තා. උසස් පෙළ කියන්නේ සාමාන්‍ය පෙළ වගේ ‍ලේසි විභාගයක් (ගණන් පේපරේ අමතක කරමුකෝ) නෙවෙයි කියන එක ඉතින් හැමෝම දන්නවානේ… ඉතින් උසස් පෙළ ට්‍රැක් එකෙන් එළියට වැටුනොත් ආයේ පීලි වලට වැටෙනවා කියන එක බොරු. ඉතින් මුල ඉඳලාම තමන්ගේ වැඩ හරියට කරගන්න ඕනේ. සා.පේ කාලේ පිස්සු කෙළියා වගේ නෙවෙයි උසස් පෙළ කියන්නේ. අනික මමත් හිතලා හිතලා තෝරාගත්තේ ජල්තර විෂයක් නෙව. ඔව් ගණිතය ගැන තමයි කියන්නේ. ඉතින් ඒක නිසා, බ්ලොග් අඩවිය හැර අනිත් ඔක්කොම අඩවි වලට නැවතීමේ තිත තියන්නයි මේ හදන්නේ. පහුගිය කාලේ විභාගේ නිසා, වෙබ් සම්බන්ධව අතගහන්න බැරි වෙච්ච නිසා, මුදල් අතිනුත් පාඩුයි. ඉතින් ඒක නිසා කරන්න තියෙන හොඳම වැඩේ මේවා නවත්තන එක. ඒක නිසා බ්ලොග් අඩවිය හැර, අනිත් ‍ඔක්කොම අඩවි ටික වහන්න තීරණය කරා. ඔන්න කැමති කෙනෙක් ඉන්නවා නම්, YuthMAX වෙබ් අඩවිය මිලට ගන්න පුලුවන්. ගාන කතාකරගන්න, මේල් කරන්න (supun[@]sudaraka.com) වලට.

පහුගිය කාලේ ළිඳේ පනින්න තිබ්බ ආකල්පය නම් නිවාරණයි ඕං. ඇයි ඉතින් ආපහු පන්ති යන්න පටන් ගත්තා නෙව. පන්ති යන්නේ නුගේගොඩ රොටරි‍යේ. ‍හොස්ටල් එකේ යාලුවොත් ළඟ ළඟ බෝඩිම් හොයාගෙන. කට්ටිය එන්නෙත් රොටරිම තමයි. ඉතින් සා.පෙන් පස්සේ වෙන් වෙනවායි හිතුවාට කිසිම වෙන්වීමක් නෑ. ජීවිතේ ඉතින් ‍ඔහොම තමයි. ගල්, මුල්, මල්, තිත්, කොමා, විශ්මයාර්ථ ලකුණු වලින් පිරිලා… පස්සේ වෙලාවක තව ලියන්නම්කෝ… 😀

Categories
විවිධ

සටහන ඉවත් කිරීම සහ සමාව ඉල්ලීම.

අද අලුයම සිරස මාධ්‍ය ආයතනයට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් යෙදූ සටහන හා එයට ලැබුනු ප්‍රතිචාර සලකා බලා. එම සටහන ‍යොදා ඇත්තේ මා‍ගේ නොදැනුවත් කම නිසා බැවින්, ඔබේ ප්‍රතිචාර හරහා සත්‍යය තේරුම්ගත් බැවින්, එම සටහන ඉවත් කරනු ලබන අතර, මා නිවැරදි කිරීම සඳහා ඔබ විසින් ලබාදුන් ප්‍රතිචාර ස්තූති පූර්වකව පිළිගනිමි. එම සටහන නිවැරදි කරමින්, සිරස මාධ්‍යයට එල්ලවූ ප්‍රහාරය තරයේ හෙළා දකින අතර. මෙවන් ප්‍රහාර මින් ඉදිරියට කිසිදු මාධ්‍ය ආයතනයකට එල්ල‍ නොවේවා යන්න මාගේ ප්‍රාර්ථනයයි. ප්‍රතිචාර දක්වාලමින් මා නිවැරදි කරන ලද ඔබට ස්තූතිවන්ත වන අතර සිදුවී ඇති දෝෂය හේතුවෙන් ඇතිවූ අපහසුතාවයන්ට සිරස නාලිකාව හා සටහන කියැවූ ඔබ සැමගෙන් මම සමාව ඉල්ලා සිටිමි. මෙවන් නොදැනුවත්කමකින් යුතුව මින් ඉදිරියට සටහන් නොකිරීමට වගබලාගන්නා බවද මෙයින් දන්වා සිටිමි. බ්ලොග් අඩවිය සමඟ රැඳී සිටියාට ස්තූතියි