Categories
කෙටි කතා

කුරුලු කුමාරයා

ඔන්න එකමත් එක රටවල් දෙකක බොහොම කඩවසම් කුමාරයෙක් සහ කැතම කැත කුමාරිකාවක් ජීවත් වුනා. කුමාරයාගෙ රාජධානියට අසල්වැසි රාජධානි වල ලස්සන කුමාරිකාවන්ගෙන් කුමාරයාට විවිධාකාරයේ විවාහ යෝජනා ආවත් කවුරුත් නොදන්න හේතුවක් නිසා කුමාරයා ඒ විවාහ යෝජනා වලට කැමති වුනේ නැහැ.

මේ කාලෙ තමයි කොමියුනිස්ට්කාරයෝ රාජාණ්ඩු වලට එරෙහිව කැරලි ගහන්න පටන්ගත්තේ. කුමාරයාගේ රටේ වගේම අසල්වැසි රාජධානි වලත් රාජාණ්ඩු වල රජ පවුල් සිරභාරයට ගනු ලැබෙනවා. අවාසනාවට අර ලස්සන කුමාරිකාවෝ හැම දෙනෙක්ම වගේ සිරභාරයේදී කොමියුනිස්ට්කාරයෝ අතින් දූෂණය වෙලා මරා දැමෙනවා. කුමාරයා දූෂණය කරන්න නම් කවුරුවත් එන්නෙ නෑ.

මේ කුමාරයාට මිතුරියක් හිටියා. ඇය තරුණ මන්ත්‍රකාරියක්. මිතුරියක් කිව්වාට ඉතින් කුමාරයාගේ හිතේ නම් ඈ ගැන තිබුනෙ ආදරයක්. ඒ වුනත් රාජාණ්ඩුවේ නීති අනුව කුමාරයාට රාජ්‍යය හිමිවෙද්දි ඔහුට අයිතිවෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය විතරයි. රැජිනටයි භූමියේ බලතල හිමිවෙන්නේ. ඉතින් කොහොමත් මිනිස්සු තුළ මන්ත්‍රකාරියන් ගැන තිබුනෙ පැහැදීමක් නොවෙයි නිසා, මේ දෙන්න කවදාවත් එකතු වුනේ නම් නෑ.

සිරගෙයි හිර වෙලා හිටපු කුමාරයා බේරාගන්න, මන්ත්‍රකාරිය මේ කුමාරයාව කුරුල්ලෙක් කරනවා. කුරුලු වෙස්ගත්ත කුමාරයා හිරෙන් පැනලා යනවා. බොහෝ දින ගණන් පියාසර කරන කුරුලු කුමාරයා අන්තිමට එන්නෙ අර කැත කුමාරියගෙ රාජධානියට. කොමියුනිස්ට්කාරයන්ගේ කැරැල්ල පරාජය කරන්න සමත් වුනේ මේ රාජධානිය විතරයි. රාජාණ්ඩුව විසින් කැරලිකාරන්ව සමූල ඝාතනය කරලා නැවත රාජාණ්ඩුව පිහිටවනවා. තමන් ඇතුළුවන්නේ රජ උයනටයි නොදන්නා කුරුලු-කුමාරයා උයනේ මදක් නැවතිලා ගිමන් හරිනවා. ඒ අතරේ තමන්ට අර මන්ත්‍රකාරිය ගැන හිතේ තිබුන ආදරය ගීතයක් බවට ප්‍රකාශ කරලා ගායනා කරනවා.

උයනෙන් ඇහෙන කුරුලු ගී හඬට වහ වැටුන කුමාරිකාව රාජ පුරුෂයෝ යොදවලා කුරුලු-කුමාරයාව අල්ලලා කූඩු කරනවා. කෑම බීමත්, ආරක්ෂාවත් තියෙන නිසා… මන්ත්‍රකාරිය ඇවිත් බේරාගනිවී යැයි හිතාගෙන කූඩුවේ ජීවිතයට කුමාරයා පුරුදු වෙනවා. ඔහොම අවුරුදු ගතවෙන අතරෙ කොමියුනිස්ට් විප්ලවේ ප්‍රධාන සාමාජිකයෙක් එක්ක මන්ත්‍රකාරි විවාහ වෙන්න තීරණය කරනවා.

කල්ගතවෙද්දි කූඩුවේ ජීවිතය එපාවුන කුරුල්ලා සින්දු කියන එකත් නතර කරනවා. වැඩකට නැති කුරුල්ලාව කුමාරියටත්, රජ මාලිගාවේ සේවකයින්ටත් අමතක වෙනවා. කලට වේලාවට ආහාර හා සැලකිලි නොලැබෙන කුරුල්ලා අන්තිමේ ඇස් පියාගන්නවා… රටේ කලබල ඉවරවුනත්, අරාජිකත්වය සහ කොමියුනිස්ට්වාදීන්ගේ පාලනයේ දුර්වලතා නිසා රටේ බලය අස්ථාවර වෙනවා. බලය සඳහා රටේ සීතල යුද්ධයක් ඇවිලෙන මොහොතේදී, මන්ත්‍රකාරිය තීරණය කරනවා ගිහින් කුමාරයාව බේරගන්න. ඒත් එතකොට ඈ ප්‍රමාද වැඩියි. ඇගේ ඉදිරිපිටදී කුරුලු-කුමාරයා අවසන් හුස්ම හෙලනවා.

මළ පුද්ගලයෙකුට නැවත ජීවිතය දීම බොහොම අපහසු කාර්යයක්. ඒ සඳහා ජීවත් වන පුද්ගලයෙක් මිය යා යුතුයි. මිය යන පුද්ගලයාගේ ආත්මයද බොහෝ බලගතු හා මියගිය පුද්ගලයාගේ ආත්මයට සම්බන්ධ විය යුතුයි. එහෙම හිටියේ මන්ත්‍රකාරිය විතරයි. ඒත් ඒ වෙනකොටත් ඇයට බලාගන්න පවුලක් තිබුනා. මායා ගින්නෙන් පුළුස්සන කුරුලු-කුමාරයාගේ අළු රැගෙන නැවත මව්බිමට එන ඈ, භූමියේ අළු නිදන් කරනවා.

Categories
ආදරය කෙටි කතා

උසස් පෙළ කාලේ ආලේ #කෙටි-කතාවකි

අවුරුද්දක් පිරුණ ආදරේ සමරන්න එයාගෙ ඉස්කෝලෙ ළඟ මුනගැහුන අපි හෙමින් හෙමින් ටොරින්ග්ටන් එක දිහාට ඇවිදගෙන යන්න පටන්ගත්තෙ වෙන යන්න තැනක් නැති නිසා. තාම උසස් පෙළ කරන පොඩි ළමයි වුන නිසා සැරටම ආදරේ කරනවා කියල අනිත් අයට පෙන්නන්න ඕනෙ වුනේ නෑ. ඒක නිසයි විහාරමහාදේවී එක තෝරගත්තෙ නැත්තෙ.

කලින් පාරක් ඓතිහාසික ගොඩනැගිල්ලෙ හෙවණ යට වාඩි වුන වෙලාවක ආරක්ෂක අංශයේ මාමා කිව්වෙ මෙතන කපල් වලට ඉන්න බෑ, පහළට යන්න කියල. අඩුමගානෙ අතින්වත් අල්ලගෙන නොහිටපු වෙලාවක එහෙම කිව්වම රතු වුන මුහුනෙ ලජ්ජාවයි, වැඩිහිටි පරම්පරාව එක්ක තියෙන වෛරයයි හිතේ තියාගෙන පහළ තණකොල ගොඩේ ගහක් යට වාඩිවුනත්, එතන අර ඓතිහාසික ගොඩනැගිල්ලට වඩා ආදරය කරන්න සුදුසු වටපිටාවක් තිබුණා. ආරක්ෂක අංශයේ මාමා එක්ක තිබුන වෛරය මෛත්‍රියකට පෙරළුනේ ඒ විදිහටයි.

ඔය සිද්ධිය මතක් කරමින්ම සහ සිනහවෙමින් අපි ඓතිහාසික ගොඩනැගිල්ල දිහා බලාගෙන තණකොල ගොඩේ ගහක් යට වාඩි වුනා. එන අතරමඟදි කොළඹ කැම්පස් එක හරහා එද්දි දැකපු විප්ලවේ අලවලා තිබුන පෝස්ටර ගැන එකින් එක මතක් කරමින් වර්ෂ පූර්ණ කතාව පටන්ගත්තා.

කොළඹ සාමාන්‍යයෙන් බොහොම රස්නය අධික වුනත්, ගෙදර ගියාම ප්‍රවෘත්ති වලින් අහන්න ලැබුන විදිහට එදා තමයි වාර්තාගත වශයෙන් අවම උෂ්ණත්වයක් කොළඹට පැවතුන දවස. ඒ සීතලත් වෙනදා පායපු සැර අව්වත් නොතිබුන නිසා ඒ වටපිටාව (පොත් වල සහ චිත්‍රපට වල තිබූ ආකාරයෙන්) ආදරය කිරීමට බොහොම ලස්සනට සැරසී තිබුනා.

මලා! අන්න පොලිස්කාරයෙක්!

අපේ දිහාට ඇවිදගෙන එන පොලිස් මාමාකෙනෙක් දැකල ඇහි පිය ගහන ක්ෂණයෙන් අපි දෙන්න දෙපැත්තට විසිවුනේ මුහුදු වෙරළවල් වල, බෝගම්බර වැව රවුමේ අඩු වයසෙන් ආදරය කරපු අය කුදලගෙන ගිහින් ආයෙ දෙමව්පියන්ට බාර දෙන ව්‍යාපෘතිය ගැන ඔළුවෙ තිබුන නිසා. මොහොතක් හරි වෙන් වෙලා ඉන්න එක හොඳයි, ගෙදරට මුකුත් ආරන්චි වෙන එකට වඩා. නිකන් මොකටද ආදරේ නාමයෙන් යුද්ධ කරන්නෙ? අන්තිමට ගඩාෆිට වුනා වගේ බෝක්කුවක් ඇතුළෙ (දේශ)ප්‍රේමය මරාදමන්න තමයි වෙන්නෙ.

ඇත්තටම පොලිස් මාමා ගියේ වෙන වැඩකට. අපිව දැක්කෙවත් නෑ. ගව් ගානක් දුරින් හිටපු අපි හෙමින් හෙමින් ආයෙත් ළං වුනාට පස්සෙ තමයි, වතුර වුන ලේ ආයෙ ලේ බවටම පත් වුනේ.

හොඳ පොලිස් මාමා කෙනෙක් නේද?

ක්ලාස් කට් කරල ඇවිදින්න යන අය, ෆුට්බෝල් ගහන අය, රූපවාහිනී සංස්ථාවට යන එන අය සහ හොඳටම දන්න අඳුරන අය දුරින් යනව දැකලත් කතා නොකර අපි දෙන්න පාඩුවේ කතා කරන්න වුනා. ඇත්තටම වැඩිය කතා කරන්න දේවල් තිබුනෙ නෑ. ඒක නිසා අතින් අල්ලගෙන පැය ගාණක් කරේ අපි දෙන්නගෙ එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු කපල් එකේ උදව්වට ඇවිත් පැත්තක ගහක් යටට වෙලා ඔහේ බලාගෙන හිටපු ගෑනු ළමයා දිහා බලාගෙන හිටපු එකයි.

“මොකද කියන්නෙ? මෙතනට එන්න කියමුද?”
“මාර අනුකම්පාවක්නෙ ඔයාට තියෙන්නෙ?”
“ඇයි? අනුකම්පා කරන්න හොඳ නැද්ද?”
“ගෑනු ළමයින්ට අනුකම්පා කරන්න එපා”
“ඒ මොකද?”
“අනුකම්පාව භූමිකම්පාවක් වෙන්න ඉඩ තියෙනවා.”
“ලංකාවෙ කොහෙද භූමිකම්පා?”

“ඔය ඉඳහිට වෙන්නෙ” කියල උත්තරේ නොදී එයා කළේ හිමින් හිනාවෙන එක. වචන කොච්චර බොළඳ වුනත් මේක කියන්නම ඕනෙ, එයා හිනාවෙනකොට හරි ලස්සනයි. ඒත් මගෙ යාළුවො කිව්වෙ එයා හිනාවෙන්න දන්නෙ නෑ කියල. මොකද දහ පාරක් හිනා වෙනකොට නව පාරක් හිනාවෙන්නෙ කට තද කරගෙන. සමහර විට එයාලගෙ ඉස්කෝලෙ සිංහල බෞද්ධ හැදියාවක පාසලක් වුන නිසා ඉගෙනගෙන ඇත්තෙ “සිනා නොමසෙන් දසන් දක්වා” කියල වෙන්න ඇති.

“මට ඔයාව වැඩිය මුනගැහෙන්න වෙන එකක් නෑ ඉස්කෝලෙ පටන්ගත්තම.”
“මටත් මේ අවුරුද්දෙම වැඩ. විභාග තුනක්ම තියේ.”
“අපි දෙන්නට කොච්චර කල් මෙහෙම ඈතට වෙලා ඉන්න වෙයිද?”
“අවුරුදු අටක්?”
“අවුරුදු අටක්??”
“හ්ම්…”
“එච්චර කල් දෙන්නට දෙන්න එපා නොවී ඉන්නෙ කොහොමද?”
“මාත් මේ ළඟදි ඔය කාරණේ කල්පනා කරා. අවුරුද්දක් දෙකක් යද්දිම අපි දෙන්නට දෙන්න ගැන හැමදේම ඉගෙනගන්න නිසා, ආයෙ අමුතුවෙන් දැනගන්න දේකුත් ඉතිරි නොවෙන නිසා අපි දෙන්නට දෙන්න එපාවෙයි”
“අපෝ. එතකොට හරි කම්මැලියිනෙ. මිනිස්සු මොකට ප්‍රාර්ථනා කරනවද මන්ද ආත්ම ගාණක් ඔයාත් එක්කම ඉන්න ලැබෙන්න කියල”
“ඒක ඇත්ත. ආත්ම ගානක් එකම මනුස්සය එක්ක කොහොම ඉන්නද මන්ද? හරි බෝරින්ග් නේ.”
“අපි දෙන්නටත්, අපි දෙන්නව එපා වෙයි නේ?”
“මොකද කියන්නෙ? අවුල් ගිහිල්ල අප්පිරිය වෙලා වෙන්වෙනවට වඩා…”
“…”
“මේ හොඳම කාලෙ වෙන්වෙමු?”
“ඒකත් නරක නෑ. මට එතකොට අර අපෙ ක්ලාස් එකේ සමීරව සෙට් කරගතහැකි.”
“ඒකනෙ. එහෙනම්?”
“හරි.”

SHIT HAPPENS! කිව්වලු. ඊට පස්සෙ අපි ආයෙ කතා කළේ නෑ. ඔහේ වාඩි වෙලා බලාගෙන හිටපු එක මිසක්. දෙන්නගෙන් එක්කෙනෙක්වත් අඬන පාටකුත් නෑ. ඔහොම ඉන්න අතරෙ තමයි තැපෑලෙන් වදින්න පටන්ගත්තෙ, මම මෙච්චර කල් හොයපු කෙනා මෙයා කියලත්, මෙයාට වඩා හොඳ කෙනෙක් කොහෙන් හොයාගන්නද කියලත් එකපාර ඔළුවට කල්පනා වුනා. අඬන්න ඕනෙකම තිබුනත්, ඒක හරි බොළඳ අවර ගනයේ වැඩක් නිසාත්, වටේ පිටේ කට්ටිය හිටපු නිසාත්, කඳුළු නම් එලියට ආවෙ නෑ. ඔහොම කතා නැතිව ඉන්න අතරෙ තමයි එක පාරටම හැමදේම අඳුරු වෙනව වගේ දැනුනෙ. වෙන මොකකටවත් නෙවෙයි. එයාගෙම මුහුණෙ හෙවනැල්ලට. මටත් නොදැනෙන්න හිමීට ළං වෙලා මගේ තොල් දෙක සිපගත්ත ඈ-හිමීට පපුවට තුරුල් වුනා.

“මට පාළුයි ඔයා නැතිව.”

දේශගුණය බලපෑවෙ ඊටත් සෑහෙන්න වෙලාවකට පස්සෙ. ඊළඟ දවස් දෙකම දෙන්නට ගෙවල් වලට වෙලා ඉන්න සැරටම උණ අරගෙන තිබුණා.

#ප. ලි: සියලු චරිත හා සිදුවීම් මනඃකල්පිතයි.