Categories
ජීවිතේ

අවුරුදු දෙකක බ්ලොග් කෙරුවාව

කාලයක්ම බ්ලොග් අවකාශයේ නිහඬව හිටියා නෙව. ඒත් දැන් නිහැඬියාවට තිත තියන්න ඕනෙ කාලෙ ඇවිත් කියලයි හිතෙන්නෙ. මං හිතන්නෙ මාස දෙක තුනකින් හරියට කෙටි කතාවක්වත් ‍ලිව්වේ නැති තරම්. ඉතින් ඔය ඉන්න එකේ ඒවත් ඉඩ තියෙන තියෙන විදිහට ලියන්න ඕනෙ. මාතෘකාවෙන් පිට යාම මගේ සිරිත නිසාම මුලින් කිව්වෙම මාතෘකාවට එච්චර අදාළ නැති දෙයක්.

බ්ලොග් අවකාශයේ නිහඬව ඉන්න තවත් හේතු වුනේ හෙන ගැහුව වගේ අන්තර්ජාල සම්බන්ධතාව බිඳවැටීමත්. ඒත් එක්කම බ්ලොග් අඩවිය බිම ඇදගෙන වැටීමත් හරි. ඔන්න ඒ ප්‍රශ්න ඉවරයක් වුනා කියමු‍කෝ. වර්ඩ්ප්‍රෙස් ඩොට් කොම් උඩ‍ට බ්ලොග් අඩවිය අරගෙන එද්දි, මට නිකමට වගේ හිතුන කවද්ද මුලින්ම බ්ලොග් එක ලියල තියෙන දවස කියල හොයල බලන්න. බැලින්නම් දෙදාස් අට අවුරුද්දෙ ජනවාරි 20. ඒක බ්ලොග් ලිපියක් නෙවෙයි. බ්ලොග් එක හදන මුල් කාලෙ නිකන් ‍විහිළුවට වගේ දාපු පොඩි සටහනක්. ඒ අර්ථයෙන් ගත්තම ඊට පහුවෙනිද ඕම් ශාන්ති ඕම් චිත්‍රපටිය ගැන ලියල තමයි මේ ලියවෙන සුදාරකගේ අන්තර්ජාල සටහන ලියවෙන්න පටන් අරගෙන තියෙන්නෙ.

මීට කලින් බ්ලොග්-ස්‍‍පොට් ඇතුළෙ මුලින්ම බ්ලොග් කෙරුවාව පටන්ගත්තත්. ඒක එතන තියාගෙන හිටියෙ නම් නැහැ. කෙලින්ම වර්ඩ්ප්‍රෙස් වලිනුයි වැඩේ පටන්අරගත්තෙ. ඉතින් එහෙම බලනකොටත්, ඕම් ශාන්ති ඕම් චිත්‍රපටියෙන් ලිවිල්ල ඇරඹුන දිනය 21වීමත්, මේ කියන හැම මාසෙම විසි එක්වෙනි දිනය ජීවිතයත් එක්ක මහ ගුප්ත විදිහට බැඳිල තියෙන නිසාත්. මමම බ්ලොග් අඩවියේ ආරම්භක දිනය විදිහට දෙදාස් අටේ ජනවාරි විසිඑක්වෙනි දිනය තීරණය කළා. ඒක තනිකර ඒකමතික ඒකාධිපති තීරණයක්!

එහෙම ගත්තාම 2010 ජනවාරි 21වෙනි දිනයට මේ බ්ලොග් අඩවියට අවුරුදු 2ක්. “සුදාරකගේ අන්තර්ජාල සටහන” කියන නම මේකට වැටුනෙ හිතාමතා නෙවෙයි. ඒක නිකම්ම ඔළුවට ආපු නමක් වෙන්න ඇති. කොහොමහරි මේ නම මේකට වැටෙන්න හේතුවක් වෙන්න ඇත්තෙ ඒ කාලෙ අන්තර්ජාලයේ තිබුන සීමිත සිංහල බ්ලොග් ප්‍රමාණයක් අතරින් නිතිපතා වගේ යාවත්කාල වුන, හැම වෙලාවෙම වගේ කියවපු “මලින්තගේ සටහන” වෙන්න ඕනෙ. “මලින්තගේ” නම කපල ඒකට “සුදාරක” දාලා, ඒ මැදට “අන්තර්ජාල” ඔබල තමයි බ්ලොග් අඩවියට නම හදාගත්තෙ. මට මතක විදිහට නම් වුනේ එහෙමයි. 🙂

ඒ කාලෙ මම පොඩි එකා. දැනුත් මහලොකු වෙනසක් නැහැ ඉතින් බැලුවම. තාමත් ඒ උස ඒ උසමයි, ඒ කොට ඒ කොටමයි! 😀 හැබැයි බ්ලොග් ලියන්න පටන්ගත්ත එකෙන් ජීව විද්‍යාත්මකව වෙන වැඩිවිය පැමිණීම ඉක්මවෙලා ගිහින් නියම විදිහට සිතිවිලි පරිණත කරගන්න ලැබුනෙ ‍මේ අවුරුදු දෙකක් වගේ සුලු කාලයක් ඇතුළත. ඒ කාලයේ බ්ලොග් ලිවීමත්, ඒකට එන ප්‍රතිචාරත්… ඒ වගේම අන්තර්ජාලය හරහා ඇසුරුකරන්න ලැබුන පුද්ගලයින් කිහිප දෙනෙක් නිසා හිතන විදිහ සෑහෙන්න මට්ටමකින් වෙනස් වුනා. ඒක අන්තර්ජාලයට පහසුවෙන් සිංහල එකතුවීම කියන කාරණය වෙන්න පුලුවන්. මම ඒකෙන් අදහස් කරේ, ‍කෙනෙක්ට තමන් හිතන භාෂා‍වෙන් වැඩකරන්න, අන්තර්ජාලයේ සැරිසරන්න වැඩිපුර අවස්ථාව ලැබුනොත් ඒකෙන් ලොකු ආකල්ප වෙනසක් කරන්න පුලුවනි. ඒක කෙලින්ම බලපාන්නෙ රටේ දියුණුවට. ඒකයි මොන මඩ ප්‍රචාර, දේශපාලනික, ‍අදේශපාලනික, වැඩිහිටි අන්තර්ගත අරව මේව තිබුනත් මේව බලෙන් වාරණය සහ පාලනය නොකර ඉන්න ඕනෙ. කුතුහලය තියෙනවානම් ඒවා සොයායෑමේ වරදක් දකින්න නැහැ. මේව වාරණය වුනොත් අපිට ඉතිරිවෙන්නෙ බබාලන්තයක් විතරයි. සමහරවිට මුකුත්ම ඉතිරිවෙන එකක් නැතිවෙන්නත් පුලුවන්!

ආයෙත් මාතෘකාව වෙනත් පැත්තකට හැරෙව්ව නෙව. ඒක මගේ හැටි.

මට කියන්න ඕනෙ වුනේ බ්ලොග් අවකාශය කෙනෙක්ව උපරිම වශයෙන් පරිණත කරනව. ඒ කියන්නෙ අපි හරිහැටි ප්‍රස්ථාරගත කිරීමක් කරොත් කෙනෙක් බ්ලොග් අවකාශයට ඇතුළත් වීමට පෙර හා පසු කියල. අහස උසට කඩාගෙන යන වර්ධන රේඛාවක් දකින්න ලැබෙයි. ඒක තමයි ඇත්ත.

ඉතින්‍ සුදාරකගේ අන්තර්ජාල සටහනට අවුරුදු දෙකයි. ඉස්සරහට පන කෙන්ද රැකුණොත් සහ 2012 ‍‍ලෝක විනාශය සිද්ධ නොවුනොත්, තව ඉස්සරහට ‍මොනවහරි ලියන්න ලැබෙයි. මතක තියාගන්න. මේ බ්ලොග් එකේ තියෙන්නෙ 100%ක්ම වල්-පල්. මුල ඉඳල අගට බැලුවොත් සමහර විට කියවපු දෙයක් ඇත්තෙ නෑ වගේ දැනෙන්නත් පුලුවනි. ඒක තමයි මේ ලිවිල්ලෙ හැටි.

Categories
ජීවිතේ

මඳ විරාමයකට පසු…

මාතෘකාවක් විදිහට මඳ විරාමයක් කිව්වාට මේ ගත්ත විරාමය නම් හොඳටම දිග වැඩියි කියල හිතෙන්නෙ. මාස දෙකකට ආසන්න කාලයක් ගත්තු මේ විවේකයට විරාමක් තියල ආයෙත් වැඩට බහින්නයි සූදානම. ජීවිතේ මොනතරම් කාර්යබහුලකම් තිබ්බත් බ්ලොග් එක අතඅරින්න බැරි හේතු ගොඩක් තියෙනව. හිතට එන එක එක අදහස් කන්දරාව හිතෙන් පිටකරල නිදහස් කරගන්න තියෙන තැන බ්ලොග් එක නිසා මේක මගේ හිතේ Recycle Bin එක වගේ තමයි. ඒකත් මරු!

ව්‍යාපෘති, විභාග ආදී එකී නොකී මෙකී දහසක් වැඩ එකතුකරගෙන ජීවිතේ ගෙනියනකොට කොච්චර ආතති ආවත් අන්තිමේ ගානක් දෙකක් හදල, ව්‍යාපෘතියක් දෙකක් රැස්වීමක් ඉවරකරාම හිතෙන දැනෙන සහනය කියල නිම කරන්න බැරි තරම්. මුකුත් නොකර ඉන්නවට වඩා වැඩ ටිකක් බදාගෙන කරනකොට වෙලාව යනව තේරෙන්නෙත් නැති තරම්. ඒ අතරතුරේ ආදරෙත් ගඟක් වගේ ගලාගෙන යනව.

උදේ පාන්දර බස් එකට නැග්ග‍ට පස්සෙ හිතට එන එක එක අදහස් කන්දරාව ආයෙත් බස් එකෙන් බහිනවාත් එක්කම හිතෙනුත් බැහැල ගිහිල්ල. මම තාමත් කියන්නෙ අදහස් වල උල්පත බස් එක කියල. ‍දැන් වැඩිය බස් එකේ යන නින්දකුත් නැහැ. ඇහැත් ඇරගෙන ජනේලයෙන් එහා බලාගෙන යනකොට ඔළුවට එන අදහස් කන්දරාව ඒ වෙලාවෙම මොකේ හරි ලියන්න පුලුවන්කමක් තිබ්බනං මෙලහකට පොත් දහයක් පහලොවක් ගහල ඉවරයි. ඒත් ඉතින් ඒකත් නිකන් කරන්න පුලුවන් වැඩක්යැ. හිතට එන අදහස් කළමනාකරණය කරගන්නත් ඕනේ.

ඉදිරි මාස කිහිපය ඇතුළත අපේ වැඩ ටික ටික එළියට ඒවි. එලියට දැම්මාම කියන්නංකො. බ්ලොග් අඩවිය පරණ පුරුදු http://blog.sudaraka.com ඇතුළටම රිංගුව. වර්ඩ්ප්‍රෙස් ඇතුළෙම හිටවලා තියෙන නිසා අතිරේක කර‍දරේකුත් නැහැ. ලියන්නනං ගොඩක් දේවල් තියෙනව. ඒත් ලියන්න ඕනෙ කරන මූඩ් එක තමයි නැත්තෙ.

ලියන්න මූඩ් එක එනකන්…
සුබ අනාගතයක්! 😀