Categories
අධ්‍යාපනික ආරාධිත සටහන්

නව රසායන විද්‍යා විෂය නිර්දේශය සිසුන්ට විෂ වෙයිද?

හපුතලේ කන්ද දැකලා කරත්තකාරයෙක්ට බඩදන විදිහටමයි මට අලුත් රසායන විද්‍යා සිලබස් එක දැකලා බඩ දන්න ගත්තේ. අහල පහළ ඩයජින් එකක්වත් හොයාගන්න තරම් පිනක් නොතිබුන නිසා ෆේස්බුක් එකේ Status Message පාරකට ‍හේත්තු වෙලා ඉන්නකොටයි අපේ තූර්ය අයියා කතාවට එකතු වුනේ. අලුත්ම අලුත් රසායන විද්‍යා විෂය නිර්දේශය ගැනයි මේ කතාබහ ඇතිවුනේ… ඉතින් ඒ කතාබහ. බ්ලොග් සටහනකට පෙරළලා ලියන්න ඔන්න සුදාරක ආරාධනා කරා තූර්ය අයියාට. මෙන්න කාලෙකට පස්සේ සුදාරකගේ බ්ලොග් අඩවියේ ලියැවෙන ආරාධිත බ්ලොග් සටහනක්… වැඩි අටුවා ටිකා මොකටද? මේකත් ඉතින් අපේ ආතල් අධ්‍යාපනේ ගැන තමා.!

මුලින්ම මට මේ සටහන ලියන්න ආරාධනා කල සහ නව රසායන විද්‍යා විෂය නිර්දේශය පිළිබඳ දැනුම් දුන් සුපුන් සුදාරක මල්ලිට මම ස්තුති කරනව. ඇත්ත වශයෙන්ම පැරණි විෂය නිර්දේශය යටතේ එක් වරක් විභාගයට මුහුණ දුන් කෙනෙක් විදිහට මේ ගැන යමක් ලියන එක වැදගත් කියල මට හිතුණ. මක්නිසාදයත් උසස් පෙළ භෞතිය විද්‍යා හා ජීව විද්‍යා යන විෂය මාලා දෙකටම මේ විෂය ඇතුලත් වන නිසාවෙන්. තවත් එක් වැදගත් කරුණක් වන්නේ රසායන විද්‍යාව අමා…..රුයි කියල සිසුන් අතර මුල් බැහැගෙන තියෙන මිත්‍යාව. මේ මිත්‍යාව නිසා සමහර සිසුන්ට උසස් පෙළ පන්තියට ඇතුල් වෙනකොටම රසායනය එපා වෙලා ඉවරයි.

උසස් පෙළ රසායනයට අලුතෙන් එකතු වුනේ මොනව්ද කියල බලන්න කලින් අපි බලමු සාමාන්‍ය පෙළ රසායනයට අලුතෙන් ඇවිල්ල තියෙන්නෙ මොනවද කියල. මටනම් පැරණි සා.පෙළ විද්‍යා විෂය නිර්දේශය හා අලුත් එක අතර මහ වෙනසක් පේන්නෑ. තාප රසායනය, රෙඩොක්ස් ප්‍රතික්‍රියා, යකඩ විඛාදනය වැනි කොටස් අලුතෙන් එකතු කර තිබුනත් ඒවා දීර්ඝ වශයෙන් සාකච්ඡා වෙලා නෑ. එමනිසා අලුත් උ.පෙළ විෂය නිර්දේශයේද එම කොටස් “අ” යන්නේ සිටම ඉගැන්වීමට උපදෙස් දීලා තියෙනවා. ඒ නිසා, මේ සා. පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශ වෙනස්වීමෙන් ප්‍රායෝගිකව අලුත් දෙයක් සිසුන්ට ලැබුනේද යන්න මට ගැටලුවකි. නමුත් ගණිතය නව නිර්දේශයන්ගෙන් ( සා.පෙළ හා උ.පෙළ ) චන්ද්‍රිකා-තාරා මුග්ධ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් ඉවත් කරන ලද වැදගත් කොටස් කිහිපයක් නැවත එකතු කර තිබේ.

දැන් අපි උසස් පෙළ රසායනයට බහිමු. මෙම නව විෂය නිර්දේශය පිලිබඳව අධ්‍යයනය කිරීමේදී පෙනීයන එක් කරුණක් නම් 21වැනි සියවසට ගැලපෙන ආකාරයට විෂය කොටස් එක් කිරීමට දරා තිබීමයි. එම උත්සාහය ගැන පැසසිය යුතුය. අප මේ ඉගෙන ගන්නා රසායන විද්‍යාවේ සමහර කොටස් දියුණු රටවල් අතහැර තිබෙන්නේ 2වන ලෝක යුධ සමයේදීය. එමගින් අප ලොව තුල සිටින්නේ කොපමණ පිටුපසින්දැයි ඔබට සිතාගත හැකිය. නමුත් මෙම එකතු කිරීම නිසා ප්‍රායෝගිකව ගැටළු කිහිපයක් මතුවේ. අලුතෙන් කොටස් එකතු කළද පැරණි කොටස් එලෙසම පවතී. එම නිසා විෂය නිර්දේශය ඉතා දිගුවීම වලැක්විය නොහැක. පැරණි නිර්දේශයේ පවතින ඒකක ගණන 15කි. අලුත් නිර්දේශයේ එය 16කි. ඉලක්කම් වලින් ගණන් කල විට එහි වැඩිවීම එකක් වුවත් සැබෑ වෙනස තේරෙන්නේ එහි අන්තර්ගතය බැලූවිටය. පැරණි නිර්දේශය, සාමාන්‍ය රසායනය (ඒකක 4), භෞතික රසායනය (ඒකක 4), කාබනික රසායනය (ඒකක 4), අකාබනික රසායනය (ඒකක 3) යනුවෙන් ප්‍රධාන කොටස් 4කින් සමන්විත විය. මෙහිදී නව නිර්දේශයේ වැඩි වෙනසක් නොවී පවතින්නේ කාබනිකයේ ඒකක 4 සහ අකාබනිකයේ එක ඒකකයක් පමණි. පැරණි නිර්දේශයේ සාමාන්‍ය රසායනයේ ඒකක 3ක් වූ පරමාණුක ව්‍යුහය, ආවර්තිතාව හා මූලික සංකල්ප (කොටසක්) නව නිර්දේශය යටතේ පළමු ඒකකයේ අනු කොටස් ලෙස එක් ඒකකයට ගෙන තිබේ. මෙහිදී මෙම කොටස් වල පැරණි නිර්දේශයේ අතුලත් වූ සියල්ල අතුලත් වන අතර තවත් අලුතෙන් කොටස් කිහිපයක් ද එකතුවී තිබේ. ඉතින් මෙවැනි අති දීර්ඝ විෂය නිර්දේශයක් අවුරුදු දෙකක් වනි කෙටි කලකින් අවසන් කිරීමටනම් ගුරුවරු “ෆාස්ට්” එකේ ඉගැන්විය යුතුය. නමුත් එය සිසුන්ට “ෆිට්” නොවන බවට මට විශ්වාසය. මක්නිසාදයක් පැරණි නිර්දේශයේ ඒකක 15 නිම කිරීමටද මෙම අවුරුදු 2 ප්‍රමාණවත් වූයේ යන්තමිනි.

භෞතික රසායන කොටසට නව අංග රාශියක් එකතු වී තිබේ. සන්නයනමිතිය, වර්ණාවලීක්ෂය භාවිතය වැනි කොටස් එකතු වීම එක් අතකින් හොඳය. මේවා අද ලෝකයට ගැලපෙන වැදගත් ක්‍රමවේදයන්ය. එහෙත් මෙම විෂය කරුණු ග්‍රහණය කරගැනීමට තරම් මූලික දැනුමක් අප සිසුන්ට ලැබී තිබේද යන්න විමසා බැලිය යුතුය. 2011 උසස් පෙළට මුහුණ දෙන කණ්ඩායමට නම් මෙම නව නිර්දේශය මහත් අභියෝගයකි. ඒ ඔවුනට මෙම නිර්දේශයට අදාල වන ලෙස මූලික අධ්‍යාපනයක් නොලැබ තිබීමයි. නමුත් අද දවසේ 6, 7 පන්තියේ නව අධ්‍යාපන රටාව යටතේ ඉගෙනුම ලබන සිසුන්ට නම් මෙම නිර්දේශය අපහසු නොවනු ඇත.

තවත් එක් ගැටළුවක් නම් කොපමණ විෂය කරුණු අතුලත් කළද රචනා ප්‍රශ්න පත්‍රයට ඇතුලත් වන්නේ ප්‍රශ්න 10කි. එමනිසා හැම ඒකකයකින්ම ප්‍රශ්න අතුලත් කල නොහැක. එසේ කලහොත් සිදුවන්නේ මෙවර සා.පෙළ ගණිතය 2 පත්‍රයට වුණු හදියයි. ප්‍රශ්නයක අඩංගු කොටස් ගණන වැඩීවී වැඩේ අච්චාරු වීමයි (මෙම තත්වය ප්‍රධාන පාසල් වල උ.පෙළ අවසන් වාර විභාග වල පවතී). උ. පෙළ සංයුක්ත ගණිත ප්‍රශ්න පත්‍රය සලැකීමේදී ඉතා වැදගත් විෂය කොටසක් වන දෛශික වලින් 2000 සිට මේ දක්වා එකඳු ගණනක් දී නොමැත. එනිසා බොහෝ සිසුන් දැන් දෛශික කොටස ඉගෙනුම අත් හරී. මෙම නව රසායන විද්‍යා නිර්දේශයේ දිගු බව නිසා ඉහත අයුරින් සමහර විෂය කොටස් සදහටම විභාගයට නොඒමට ඉඩ තිබෙන ඉඩකඩ වැඩිය. එම නිසා උ.පෙළ විභාග දෙක තුනක් යනවිට සිසුන් විභාගෙට නොආ කොටස් තම හිසේ බර සැහල්ලු කරගැනීමට අත්හරිනු ඇත.

මෙවැනි ගැටළු නිසා රසායන විද්‍යාව පිළිබඳව සිසුන් තුළ දැනට පවතින අනියත බිය සත්‍ය භීතියක් වීමට ඉඩ තිබේ. මා මෙතෙක් ඉදිරිපත් කලේ උසස් පෙළට එක් වරක් මුහුණ දුන් සහ මෙවරත් මුහුණ දීමට සූදනම් වන සිසුවෙක් හැටියට මට වැටහුණු දේ සහ මට පැණ නැගුණු ගැටළුයි. මේ ගැන මට වඩා කරුණු දන්නා අය බොහෝ සිටින බව මම දනිමි. ඔවුන්ගේ අදහස් උදහස් ඉතා ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. හිතට තව බොහෝ දේ ආවත් ලිපිය තව දිගු වන නිසාත් විභාගෙට තව දින 68 ක් පමණක් තිබෙන නිසා මෙතැනින් නවතිමි.

තූර්ය ඕවිටිපාන

නව රසායන විද්‍යා විෂය නිර්දේශය මෙතැනින් ලබාගන්න…

ඉතින් ඔන්න ඕකයි කතාව. මේ බ්ලොග් සටහනෙන් සුදාරකගේ අන්තර්ජාල සටහනට තවත් අලංකාරයක් එකතු කරපු තූර්ය අයියාටයි මේ ස්තූතියි පුදකරන්නේ… ඉතින් අධ්‍යාපනය ගැන මොකද හිතෙන්නේ?

Categories
ආරාධිත සටහන් විවිධ

ප්‍රගති මහීලාල් (1964 – 2009): ඔහු නොවූයේ නම් ‘විජය පරිගණක’ සඟරාවද නොවන්නේය

pragathi

අද විජය පරිගණක සඟරාව නොදන්නකු නැති තරම්ය. මගේ දැනීමේ හැටියට එය දකුණු ආසියාවේ දේශීය භාෂාවකින් පළවන, වැඩිම අලෙවියක් ඇති පරිගණක/සන්නිවේදන මාසිකයයි. එහෙත් මේ දීර්ඝ ගමනද 1997 ජූලි මාසයේදී ආරම්භ වූයේ තනි කුඩා පියවරකිනි. එහි මුල්ම කාර්ය මණ්ඩලයේ වූවෝ දෙදෙනෙකි. එක් කෙනක් ඒක පුද්ගල කතෘ මණ්ඩලය වූ මමය. අනෙකා දින කිහිපයකට පෙර අපෙන් වියෝ වූ ප්‍රගති මහීලාල්ය. ප්‍රගතිගේ රාජකාරිය වූයේ ලිපි ලිවීම හැරුණු විට අනෙක් සියළුම දේවල්ය. වෙළෙඳ දැන්වීම් සොයා ගැනීම, මුද්‍රණය, බෙදාහැරීම පමණක් නොව මට අවශ්‍ය පොත්පත් සොයා පොත්හල් ගානේ රස්තියාදුවීමද ඒ අතර විය.

“කළු මහත ළමයෙක්. කඩියා වගේ වැඩ!” මේ ලංකාදීප ප්‍රධන කතෘ සිරි රණසිංහයන් දෙවැකියකින් මට ප්‍රගති හඳුන්වා දුන් හැටිය. සහතික ඇත්ත. ප්‍රගති කඩියෙකි. වැඩක් බාරගත් මොහොතේ සිට සාර්ථකව ඉවර කරන තුරු ඔහුට නිවනක් නැත. උදේ සිට රෑ වනතුරු කළේ ඒ වෙනුවෙන් දුවන එකය.

මුල්ම පරිගණක සඟරාව එළි දක්වන්නට අප දෙදෙනාට මසක කාලයක් ලැබිණි. (මෙය ‘විජය පරිගණක’ වූයේ පසුවය. කලින් පුරුද්දට මට තවමත් එය කියැවෙන්නේ ‘පරිගණක’ සඟරාව හැටියටය.) අද නම් එවැන්නක් සතියකින් කළ හැකිය. එදා එය විශාල අභියෝගයකි. වසර දොළහකට පෙර පරිගණක තාක්ෂණය ගැන හොඳ ලිපියක් සරල භාෂාවෙන් ලියන්නට පවා කෙනකු නොවිණි. ලියූවන් ලිව්වේද එක්කෝ බාග ඉංගිරිසියෙනි. නැතිනම් පාඨකයන්ට තියා ලේඛකයාටවත් නොතේරෙන භාෂාවකිනි. නිසි වදන් නැතිවීම තවත් අඩුවක් විය. (බොහෝ වදන් බන්දුසීල, එඩ්වින් ආරියදාස වැනි වියතුන්ගේද සහාය ඇතිව අපි තනා ගතිමු. ‘වෙබ් අඩවි’, ‘බා ගත කිරීම’, ‘ජව ගැන්වීම’,’සංගත තැටි, ‘තැටිති’ අප එදා නිර්මාණය කළ යෙදුම් කිහිපයකි.) ‘සිංහලෙන් ඕවා ලියන්න පුළුවන්ද?’ ඇසුවෝත් වූහ. එඩ්වින් ආරියදාස, මහාචාර්ය වී. කේ සමරනායක වැනි සුළු පිරිසක් අප දිරිමත් කළද ඔවුනගේ අදහස වූයේද සිංහල මාධ්‍ය පරිගණක සඟරාවකට පිටපත් දස දහසකට වඩා අළෙවියක් නැති බවය. මේ කතා කරන්නේ 1997 ගැනය. දහයකින් කෙනකුවත් පරිගණකයක් දැක නොතිබිණි. රටේ භාවිතා වූ මුළු ජංගම දුරකථන සංඛ්‍යාව ලක්ෂයකට අඩුවිය. වෙනෙකක් තියා මුළු ලංකාදීප කතෘ මණ්ඩලයටම එකම පරිගණකයක් වත් තිබුනේ නැත.

විජය පුවත්පත් සමාගමේ පාලනාධිකාරියෙන් අපට සඟරාව පළ කරනවාට අමතරව තවත් අභියෝගයක් ලැබුණේය. ඒ සමාගමේ සියළුම ප්‍රකාශනවල පිටු සැකසීම පරිගණීකරණය ආරම්භ කරන ලෙසය. ඒ වන තුරුම විජය පුවත්පත් සමාගමට සිංහල පිටු සැකසීම් අංශයක් කියා දෙයක් නොතිබිණි. සිටියේත් පිටු සැකසීම් ශිල්පීන් නොව පරිගණක යතුරු ලියන්නන්ය. ඔවුන් කොලම් මහතට යතුරු ලියා දෙන ලිපි පරණ විදියට සුදු කඩදාසියේ ඇළවීමෙන්ය පිටු සකසා ගත්තේ. පේජ් මේකර් හා ෆොටෝ ෂොප් පරිගණකයන්හි ස්ථාපනය කොට තිබුනද භාවිතාවක් නොවීය. පළමු වරට ඒවා භාවිතා කළේ පරිගණක සඟරාව වෙනුවෙනි. අද මතක් වන විට සිනා පහළ වුවත්, වැඩි වැඩ නැතිව පළමු පිට සකසා ගැනීමට මටත් චන්දන, ගුණතිලක දෙසොහොයුරන්ටත් පැය තුනකට ආසන්න කාලයක් ගතවිය.
මේ දීර්ඝ අටුවාව ලීවේ ප්‍රගතිත් මාත් භාරගත් අභියෝගයේ තරම කියන්නටය. මම ප්‍රගතිගේ බොස් වීමිද, නැතහොත් ප්‍රගති මගේ බොස් වීද මම අදත් නොදනිමි. එවැන්නක් සිතීමට වත් අවකාශයක් වූයේ නොවේ. අගෝස්තු 12 වැනිදා ලංකාදීප පුවත්පත සමඟ නිකුත් වීමට නියමිත පළමු පරිගණක කලාපයේ වැඩ කටයුතු අප නිමා කළේ ඉන් පෙරදිනය. මුද්‍රණයට යන්නට පැයකට පෙරත් ප්‍රගති පිටු මාරුවක අවුල් ඇරියා මතකය. මුල්ම සඟරාව මුද්‍රණය වී එනතුරු විජය පුවත්පත් ආයතනයේ පහළ මහලේ බලා සිටීම ප්‍රගතිටත් මටත් නවමු අත්දැකීමක් විය. අපේ උත්සාහයේ මිහිර විඳ ගැනීමට ලැබුනේ පසුවදා පාරේ තැඹිලි විකුනන්නන්ද පරිගණක සඟරාව කියවනු දැකීමෙනි.
paraiganaka-first-issue

ප්‍රගති ගැනත් පරිගණක සඟරාව ගැනත් මට තවත් බොහෝ මතකයන් ඇත. එහෙත් ඒ වෙනුවට අප දිනාගත් දේ ගැන කතාකිරීම වඩාත් අවස්ථෝචිතය. 1999දී තනිව නැඟී සිටීම ආරම්භවූ පරිගණක සඟරාවට මුලදී දස දහසක මාසික අළෙවියක් වත් නොතිබිණි. මගේ මතකය නිවැරදි නම් දෙවැන්න කලාප 6,000 කටද, තෙවැන්න 5,000 කටද පහත වැටුණේය. මේ වනවිට අපේ උත්සාහය ගැන අපටම සැක පහළ වුවද අවසාන මොහොත දක්වා සටන අත නොහැරීමට අපි අධිෂ්ඨාන ශීලී වීමු. මාසයකට දහස දෙදහස ගණනේ අළෙවිය ඉහළ නැංගේය. 2001 ආර්ථික අවපාත සමයේ වෙනත් බොහෝ ප්‍රකාශනවල අළෙවිය වැටෙද්දී අපි නොකඩවා ඉහළ නැංගෙමු. අවසානයේ ප්‍රගති හා මා 2004 දී ඉන් ඉවත් වන විට විජය පරිගණක සඟරාවේ මාසික අළෙවිය 42,000 ඉක්මවා තිබුණේය. අපෙන් පසු ඒ කටයුත්ත භාරගත් පාලිත අමරසුරිය සොහොයුරා දැන් එය එමෙන් කිහිප ගුණයක් ඉහළ නංවා කිසිම තරගයක් නැතිව එය වෙළෙඳපළ නියමුවා කොට ඇත.

මීට අමතරව විජය පරිගණක සඟරාව මඟින් අපි ශ්‍රී ලංකාවේ පළමු වරට ජාතික මට්ටමේ පරිගණක සම්මේලන පැවැත් වූයෙමු. පදනම් ආයතනයේ විශාල ශාලාව පිරෙන්නට මේවාට සෙනඟ එක් රැස්වූ බව මට මතකය. පළමු සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා වුයේ එවකට ජනමාධ්‍ය ඇමති ධර්මසිරි සේනානායකය. මහාචාර්ය වී. කේ සමරනායක, මහාචාර්ය ගිහාන් ඩයස්, ආචාර්ය බන්දු රණසිංහ, ක්‍රිශාන්ත සිල්වා (දැනට ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති ), ගාමිණි ගුණවර්ධන, එස්. එම්. බන්දුසීල, ටී. එම්.ජී. චන්ද්‍රසේකර (ඔහුගේ ‘අන්තර්ජාලය ඔබේ නිවසට’ වැඩසටහන එවකට අතිශය ජනප්‍රිය විය.) හා නාලක ගුණවර්ධන  මේවාට සම්පත් දායකයින් සේ සහභාගි වූයේ සතයක් වත් නොගෙනය. මෙහි සම්පූර්ණ ගෞරවය යායුත්තේ ප්‍රගතිටය. ඔහුගේ අපූර්ව සංවිධාන ශක්තිය නොවීනම් මේ කිසිවක් සිදුවිය නොහැකිව තිබිණි.

වෘත්තීය සගයකු හැටියට ප්‍රගති සමඟ තරම් පහසුවෙන් මම වෙනත් කිසිවකු සමඟ කටයුතු කළේ යැයි නොසිතමි. සාමාන්‍යයෙන් මා සමඟ වැඩ කිරීම කෙනකුට පහසු නැත. මාධ්‍ය ජීවිතයේදී එය වඩාත් දැනේ. එහෙත් ඔහු සමඟ කටයුතු කළ දීර්ඝ කාලය තුළ වරක් හෝ අප අතර වාදයක්, උනුසුම් කතාබහක් නොවීය. අප දෙදෙනා එකකු ලෙස හැපුණේ අනුන් සමඟය.

විජය පරිගණක සඟරාව පිළිබඳ බොහෝ කටයුතු මා කළේ නිර්නාමිකව හෝ ආරූඪ නම් වලිනි. විවිධ නම් විසි පහකට වැඩි සංඛ්‍යාවකින් මම ඊට ලියා ඇත්තෙමි. හේතුව මාධ්‍ය භාවිතාව මගේ අනෙකුත් රැකියා කටයුතු වලට බාධාවක් වීමය. මට සේම ප්‍රගතිටත් ඒ වෙනුවෙන් ලැබුනේ සොච්චමකි. එහෙත් ඒ ගැන අප දෙදෙනාටම අවංකව සතුටුවීමට කරුණු කාරණා තිබිණි. අද අපට හමුවන පරිගණක ක්ෂේත්‍රයේ දැනුමැති යව්වනයෝ ජීවිතයේ එක්තරා වයසක විජය පරිගණක සඟරාවෙන් එක්තරා මට්ටමකට උගැන්මක් ලැබූවෝය. ඔවුන් ඒ මට්ටමට ගත්තේ අපයැයි මම නොකියමි. එහෙත් අප ඔවුනට රුකුලක් වී නම් ඒ ගැන අවංකව සතුටු විය හැකිය.

පරිගණක සඟරාවෙන් ඉවත් වූ පසු ප්‍රගතිගේත් මගෙත් සන්නිවේදනය එක්තරා මට්ටමකට සීමා විය. එය වසර ගණනාවකට පසු මෑතක යළි අළුත් වූයේ ඔහු ‘ඩේලි මිරර්’ පුවත්පතෙහි වෙළඳ දැන්වීම් කළමනාකාර ධුරයට පත්වීම සමඟය. බොහෝ කාලයකට පසුව රැකියාවේ ධනාත්මක වෙනසක් වන්නට යෑම ප්‍රගතිට සුභ ආරංචියක් විය. (පරිගණක සඟරාවෙන් ඉවත් වීමෙන් පසු ඔහු කළේ තොරතුරු තාක්ෂණ අංශයේ වැඩි අභියෝගයක් නැති වැඩ කටයුතුය.) කෙසේවෙතත්, ආර්ථික අර්බූදයක් ඉදිරියේ තබාගෙන රැකියාවේ වෙනසක් වීමේ අවදානම ගත යුතුද යන්න ඔහුට ගැටළුවක් විය. ප්‍රගති ගැන දන්නා මම ඊට දිරි දුනිමි. ප්‍රගතිට අවශ්‍ය වූයේ අභියෝගය. අභියෝග නැති තැන ඔහු උදාසීන වෙයි. අළුත් රැකියාව ඔහු දීර්ඝ කාලයක් තිස්සේ බලාපොරොත්තු වූ අභියෝගය ඔහුට ලබා දෙනු ඇතැයි මම කල්පනා කළෙමි. ඒ සති කිහිපයකින් ඇසෙන්නට යන අසුභ ආරංචිය නොදැනය.

ප්‍රගති ‘පරිගණක’ පවුලේ අපට අහිමි වූ පළමුවැන්නා නොවේ. අප මුලින් සෝපත් කළේ PC Quest හි ආරම්භක කතුවරයා වූ ඇන්තනි ඩේවිඩ් රාජුය. ප්‍රගති සේම ඩේවිඩ්ද මියගියේ අඩු වයසිනි. ඩේවිඩ් පසට යටකළ ඒ අවාසනාවන්ත උදෑසන අපි ප්‍රගති සමඟ කඳුළ බෙදා ගතිමු. අද ප්‍රගතිද අප හැර ගොසිනි. අපි ඔහුද ඩේවිඩ් සේම දෙව් මව් තුරුළට යවමු.

“ප්‍රීතිමත් කුමාරයානෙනි – ඔබට සුභ රාත්‍රියක්” මේ ඩේවිඩ් වෙනුවෙන් අප මින් වසර දහයකට කලින් ලියූ ලිපියක මාතෘකාවය. ප්‍රගති වෙනුවෙන්ද එය භාවිතය නුසුදුසු යැයි මට නොසිතෙයි.

චානුක වත්තේගම
ආරම්භක සංස්කාරක (1997-2004)
‘විජය පරිගණක’