Categories
විවිධ

ජීවත් වෙලා මක්කටෙයි?

අපිව මේ ලෝකයේ ජීවත් කරවන කරුණු කාරනා කිහිපයක්ම තියෙනවා කියලා මට මතක් වුනේ කෑමෙන් පස්සේ දත් ටික මැද මැද ඉන්නකොට. දත්ටික නැත්තං ජීවත් වෙලා හමාරයි වගේ තේරුමක් දත් ටික මැද මැද ඉන්නකොට හිතට ආවත්. මනුස්සයා කියන සතා දස්සයා නිසා දත්ටික බඩට යන්න පාරක් වැදිලා හිටියත් බටේකින් හරි ආහාර අරගෙන ජීවත් වෙන්න ට්‍රයි කරන නිසා… දත් ටික මිනිසා ජීවත් කිරීම ‍හෝ කරවීම පිළිබඳ ලොකු බලපෑමක් එල්ල කරන්නේ නැහැ කියන කාරණය තමයි එතනින් ගම්‍ය වෙන්නේ. ඒ වුනාට දත් ටික නැතිව ජීවත් වෙලා මොකටද වගේ කතාවක් කතා කෙරුනත්. ඔය ඕනතරම් මිනිස්සු දත් ටික නැතිව ජීවත් වෙන්නේ…

අර සින්දුවකුත් තියෙන්නේ…

ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ…
‍ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙක් ඕනෑ වේ…

මංජූ…… හ්ම්… හ්ම්…

ඕක අපේම අය. මේ විදිහට කිව්වා.

ලෝකේ ජීවත් වන්නට බත් ටික ඕනෑ වේ…
ඒ බත් ටික කන්නට දත් ටික ‍ඕනෑ වේ…
ඒ දත් ටික කන්නට පනුවෝ ඕනැ වේ…
…………………………….. ඕනැ වේ…

ඔහොම ඉවරයක් නැති සින්දුවක් කියාගෙන ගියපු එකෙක්ව නවත්තන්න වුනේ කටට ප්ලාස්ටරයක් දාලා…

නෑ. ඒක බොරු. අපිත් හිනාවෙවි අහ අහ හිටියා මිසක් (සමහර කෑලි අපිත් එකතු කළා මිසක්) ප්ලාස්ටර් දාන්න යන්න තරම් වාරණ චේතනාවක් අපට ඇතිවුනේ නැහැ.

හරි. ඒ අතුරු කතා. මං කියාගෙන ගියේ මේ. ජීවත් වෙන්නේ ඇයි කියන කාරණේ ගැන නෙව. හරි. වෙනදා වගේම මාතෘකාවෙන් පිට පැන්නත් ආයෙමත් මාතෘකාවටම එමු.

හරි. දැන් අර කලින් කියපු විදිහට ලෝකේ ජීවත් වෙන්නට බත්ටික ඕනෑ ‍වේ කියන කා‍රනේ වෙනම අරගෙන බැලුවොත් එතන පේනවා ජීවත් වෙන්න නං ආහාර ගන්නම ඕනෑ කියලා. ඒක ගැන කල්පනා කර කර ඉන්නකොට මගේ ඔළුවට ආවේ අපේ හොස්ටල් කන්න පෝලිම් ගැහිලා පැරේඩ් එකේ ඉන්නකොට එතනට ආපු හොස්ටල් එකේ නතර වෙලා හිටපු සිංහල ගුරුවරයෙක් කියපු කතාවක්.

සමහරු ජීවත් වෙන්න කනවා.
සමහරු කන්න ජීවත් වෙනවා.

අපි පොඩි එවුන් නිසා අපිට හිතුනේ‍ මේක ගුරුවරයාම කියපු කතාවක් කියලා. ඒත් ඒක ‍එහෙම නෙවෙයි. පස්සේ තමයි දැනගත්තේ ඒක ප්‍රසිද්ධ කියමනක් කියලා. හරි. එහෙම බැලුවාම ඇයි අපි ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නයට තවත් උත්තරයක් ලැබෙනවා. ඒ ජීවත්වෙන්නේ… කන්න. ඔය කෑමත් ඉතින් බඩට යන කෑම විතරක් නෙවෙයි නෙව. ගසා කෑම. සූරා කෑම. ඉතින් ඒ මිනිස්සු ජීවත් වෙන්නේ ගසා කන්න. සූරා කන්න. ඉතින් ඒ දිහා බලන් ඉන්න අපිට හිතෙනවා තමයි මුං ජීවත් වෙලා ඇති වැඩේ මොකක්ද කියලා. බලාගෙන ගියාම සූරං කන්නේ ජීවත් වෙන්න. ජීවත් වෙන්නේ සූරං කන්න. හරිම පුදුම අනුලෝම ප්‍රතිලෝම සම්බන්ධයක්.
කාගෙහරි ඔළුවට අදහසක් ආවාද නිකං ජොලියට හරි මැරිලා බලන්න. ඒත් ඕනම කෙනෙක්ට අවාසනාවට මැරෙන්න පුලුවන් එක පාරයි. ඔය කවුරු කිව්වත් මං මැරිලා ඉපදුනා කියලා… ඒක බොරු. නිකං අහලා බලන්න මැරුනාම කොහොමද දැන්නේ කියලා… මං කියන්නේ මැරෙන එකෙත් ආතල් එකක් තියෙනවා කියන එක. ඒ වුනාට ආතල්ද නැද්ද කියලා මට තාම හරියටම කියන්න බෑ. මොකද මං තාම මැරිලා ‍නෑ නෙව. පහුගිය ආත්ම භව වල මැරිලා තියෙන්න පුළුවන් බව හැබැයි. ඒත් කවුද දන්නේ මට පහුගිය ආත්ම භවයක් තිබුනාද කියලා. සමහර විට මේ මගේ පළවෙනි ආත්ම භවේ වෙන්න ඇති. පහුගිය ආත්ම භාව තිබ්බා නං අනිවාර්යයෙන්ම පව් කරන්න 90%ක සම්භාවිතාවක් තියෙන නිසා මේ ආත්මේ මනුස්ස භාවයක් ලබන්න නං පහුගිය ආත්ම භාවයක් තිබිලා නෑ කියලා තමයි මට නං හිතෙන්නේ. කොහොමත් මට ආගම දහම ගැන වැඩි දැනීමක් නැති නිසා මෙතනින් එයාට යන්නේ නැහැ. මොකද බුදුහාමුදුරුවෝ දේසනා කරලා තියෙනවා බුදුදහම සර්පයෙක් වගේ. වලිගයෙන් අල්ල‍ගත්තොත් නං ඉවරයි, ඒක නිසා හරියටම ඔළුවෙන් අල්ලගන්න කියලා. ඉතින් ආගමික දේවල් ගැන විවාද කිරීම ඒ ගැන හරිහැටි දැනීමක් නැතිව වාද කිරීම හරි බැරෑරුම්. ඉතින් වැඩිදුර ඒ ගැන කතාකරන්න යන්නේ නැතිව මාතෘකාවට එමුකෝ…

මාතෘකාවට එන අතරේ මට ලෝවැඩ සඟරාවෙන් කවියක පද දෙකක් මතකයට ආවා…

කලකිනි බුදු කෙනෙකුන්     උපදින්නේ
දුකකිනි මිනිසත් බව ලැබ    ගන්නේ

ඉතින් අපි මේ අපිට ලැබුනු මනුස්සකම අරගෙන ජීවත් වෙනවා. ඇයි ඉතින් අපි ජීවත් වෙන්නේ?
ඕකට හරි කෙටි පිළිතුරක් තියෙනවා ජීව විද්‍යාවේ.

තමන්ගේ වර්ගයා බෝ කරන්න.

ඒත් මට ඒකෙන් සෑහීමට පත් වෙන්න කොහෙත්ම නං බෑ. ඔන්න ඕක ඇමීබාවා වගේ එකෙක්ට කිව්වානං අවුලක් නෑ. ඌට කං ඇහෙන්නෙත් නැති නිසා ඌ ඒක වැඩි ගානකට ගන්න එකකුත් නෑ.

මේක සිරා ප්‍රශ්නයක්. ඇයි අපි ජීවත් වෙන්නේ… හරි. අපි ජීවත් කරවන කරුණු කිහිපයක් තියෙනවා.

එකක්. “අම්මා.”
අනික “ආදරය.”
තව එකක් “මුදල්”
තව එකක් “ආහාර”
තව එකක් “ගින්දර”

ඔය වගේ කරුණු ගොඩක් කිව්වත්. ඕකෙන් පළවෙනි කාරණය විතරයි හරියටම අපිව ජීවත් කරවන්නේ. ආදරය (මං මේ කියන්නේ කෙල්ලෙක් ගැන කොල්ලෙක්ට හිතේ ඇතිවන ආදරය ව‍ගේ දෙයක්. සරලව. ඔයිට වඩා සංකීර්ණතා තියෙනවා ලෝකේ. ඒත් මං කතාකරන්නේ මේ ආදරය ගැන) එතනට ආසන්නව ලං වුනත්. ආදරය නිසා මැරිච්ච අය ලෝකේ ඕනේ තරම් ඉන්නවා. හොඳම උදාහරණය රෝමියෝ අයියයි. ජුලියට් අක්කයි. ඕවා පොතේ තිබුනාට. පොතෙන් මෙහාටත් ඒක එහෙම්මම තමයි. මුදල්, ආහාර, ගින්දර, ජලය වගේ තවත් දේවල් තිබුනාට. ඒවාම අනිත් පැත්තට අපිව මරවන කාරණා. ඉතින් අම්මා තරම් තවත් වස්තුවක් මේ ලෝකේ නෑ කියන්නේ කට කහනවට නෙවෙයි.

ඉතින් අම්මා වුනත් මේ මැරීමට සමහර විට දායක වෙන තැන් අපි දැකලා තියෙනවා නෙව. ඒ අතින් බැලුවාම ගබ්සාව හරිම අමානුෂිකයි තමයි. ඒත් සමාජය විසින් මේ වගේ සමාජ තත්වයන් ඇති කරලා තියෙනවා.

ඉතින් මං තාමත් හොයනවා ජීවත් වෙන්නේ ඇයි කියලා…
හැබැයි මගෙ නං තාම මැරෙන්න අදහසක් නැහැ.

ලෝවැඩ සඟර‍ාවේ කවිය සම්පූර්ණ කරලාම මම එහෙනං නවතින්නම්.

කලකිනි බුදු කෙනෙකුන්         උපදින්නේ
දුකකිනි මිනිසත් බව ලැබ            ගන්නේ
මෙදෙකින් මෙසසර දුක් දුර        ලන්නේ
සුදනෙනි කිම වීරිය නො          කරන්නේ

Categories
ජන මාධ්‍ය විචිත්‍ර

අලුත් වෙච්ච පරණ රොබින්

robin-hood

දැන් මම මේ සටහන ලියන්න පටන්ගන්නේ ම‍ං හිතන විදිහට හතර වෙනි හෝ පස් වෙනි වතාවට. හැම ඉරිදාම හවස හතේ ඉඳලා රෑ අට වෙනකං මේ ‍දවස්වල ටීවියෙක දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නේ වෙන කවුරුත් දිහා නෙවෙයි. මාතෘකාවේ තියෙන විදිහටම රොබින් දිහා. රොබින් කියන්නේ ‍මේ රොබින් හුඩ්. ඒ හැමදාම ඒක බලලා ඉවරවෙලා කොම්පියුටරේ ළඟට දුවගෙන එන්නේ “අලුත් වෙච්ච පරණ රොබින්” ගැන ලියන්න වුනාට විවිධ වූ හේතූන් මත ලියැ‍විල්ල නතර වීම ගැන මට ප්‍රශ්නයක් ඇතිවුනත් ඒ ප්‍රශ්නේ සතියේ ඊළඟ දින වලදී ඔළුට උඩට වැටෙන වැඩ රාජකාරී එක්ක අමතක වෙලා යන නිසා ආයෙත් “අලුත් වෙච්ච පරණ රොබින්” ගැන ලියන්න හ‍ිතෙන්නේ ඉරිදා රෑ අටට. රොබින් හුඩ් බලලා ඉවර වුනාම. ඉතින් කොහොමහරි මේක අදනං ලියලා ඉවරවෙනවාමයි කියලා හිතාගෙන පුටුව උඩ වාඩි වුනේ. ‍ඉතින් හ’ර්න් දෙයියා‍ගේ පිහිටෙන් ඇල්බියන් අසිපතේ ආනුභාවයෙන්වත් මේක ලියැ‍වුනොත් තමයි හොඳ.

හරි. පළවෙනි ‍ඡේදය ඉවරයි. ඊළඟට අමාරු හරිය.

Robin Hood

මේ රොබින් හුඩ් ඒ රොබින් හුඩ් නෙවෙයි. ඒ රොබින් හුඩ් කිව්වේ මේ අපි අර පොඩි කාලේ බලපු රොබින් හුඩ්. ඒ රොබින් හුඩ්, මේ රොබින් හුඩ් නෙවෙයි. හරි ගුප්තයි. අනික මට මතක හැටියට එයා ඒකේ සුදු චරිතයක් විතරයි. ඒත් මේ අලුත් රොබින්. ඒ රොබින් වගේ නෙවෙයි. කළු-සුදු දෙකම පෙන්නන මරු රොබින් කෙනෙක්.

මං දන්නවා දැන් කට්ටියට මඤ්ඤං වෙලා කියලා. ඒ රොබින් – මේ රොබින් – රොබින් රොබින් රොබින්. හරි මට පේනවා නිකන් ඔළුව වටේ රොබින් කුරුල්ලෝ පියාඹනවා වගේ…

ආ හරි කමක් නෑ. මේ කියාගෙන ගියේ රොබින් කුරුල්ලෝ ගැන නෙවෙයි. ෂර්වුඩ් වනාන්තරේ රොබින් හුඩ් ගැන. හරි මං කියාගෙන ගියේ. ඒ රොබින් ගැනම වුනත් අලුත් රොබින් කෙනෙක් ගැන.

ඔන්න මොන ‍මොන වැඩේ තිබුනත්. ඉරිදා රෑ හත වෙනකොට දහම් පාසල් වුනත් ඉවරවෙලා තියෙන නිසාත්. රෑ හත නිදහස්ව තියාගන්න අමතක කරන්න එපා. ජාතික රූපවාහිනිය මේ වෙනකොට කොච්චර පිරිහිලා තිබුනත්. මටම පුදුමයි මේක  විකාශනය කරන්න පටන්ගත්තේ ඇයි කියලා.

‍gui-gisbon

මේක මම බලන්නේ, බලන්න කියන්නේ රස වින්දනය නිසාම විතරක් නෙවෙයි. බලන අයට අවබෝධ කරගන්න ලැබේවි මේ කතාවත් එක්ක තමන්ට සමාජ දේශපාලනික කාරනා ගොඩක් තේරුම්ගන්න ලැබේවි කියන එක. ඒක ‍එදාට විතරක් නෙවෙයි. කතාව නිර්මාණය වෙලා තියෙන අද කාලයටත් හොඳින් ගැලපෙනවා කියන එකයි මගේ අදහස. ඉතින් දේශපාලනයේ තියෙන ආර්ට් එක තේරුම්ගන්න කැමතිනං පොඩ්ඩක් හොඳට විවෘත මනසකින් කතාව බලන්න අමතක කරන්න එපා. රොබින්හුඩ්ට ජනතාව අ‍තරේ කැපී පෙනෙන්න තියෙන අවශ්‍යතාව. සේවය කිරීමෙන් ලැබෙන තෘප්තිය. දේශපාලනික සම්බන්ධතා හතුරා එක්ක නිර්මාණය කරගැනීම කියන දේවල් පොඩ්ඩක් මනස විවෘත කරලා බලන්න.

meriyan

හැබැයි. ඔය කොයි මනස වුනත් වැහෙන වෙලාවක් එනවා. ඒ තමයි මැරියන් පේන්න ඉන්න වෙලාව 😀

නැද්ද මං අහන්නේ… මැරියන්ගේ ලස්සනට ඉන්න තැනත් අමතක වෙනවා 😀

robinhood1

අලුත් වෙච්ච පරණ රොබින් හුඩ්ට කැමතිනං (අකමැති වුනත් කමක් නෑ) මෙන්න මේවා බලන්නත් අමතක කරන්න එපා.

විකීපීඩියා ලිපිය
IMDB
රසිකයන්ගේ අඩවිය (Fan Site)
නිල වෙබ් අඩවිය