Categories
විශේෂ නිවේදන

bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය

bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය මෙසේ වේ.

ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී. lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන ත්‍රෛ භාෂා මාධ්‍යයෙන් අංශ 3න් තරග 3ක් පවත්වන ලදී. අදාල අංශයේ හොඳම වෙබ් අඩවිය තෝරන ලද්දේ පරිශීලක මනාපවලිනි. මේ කියන්නට සැරසෙන්නේ එම තරගාවලියේ අවසන් අදියරේදී රඟ දක්වන්නට සැරසෙන විකට ජවනිකාව පිලිබඳවය.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් සිය සාමාජිකයන් වෙනුවෙන් නොමිලේ පවත්වාගෙන යන බ්ලොග් සේවය වන myblog.lk ද අප විසින් උක්ත තරඟයේ සිංහල භාෂා මාධ්‍ය අංශයට ඉදිරිපත් කරන ලදී. මනාප දැක්වීම අවසන් කරන දිනය වන විට එය අවසන් තරගකරුවන් 5 දෙනා අතරට පැමිණ ඇති බව දන්වන ලදී.

ඉන්පසුව තරඟ සංවිධායකවරුන් විසින් ඉදිරි වැඩ කටයුතු පිලිබඳව දැන්වීමට අප වෙත ඊමේල් පණිවුඩයක් එවන ලදී. සසික රණසිංහ නමින් එවා ඇති එහි සඳහන් ආකාරයට ත්‍යාග ප්‍රදානෝත්සවය නොවැම්බර් 20 වෙනි දින බත්තරමුල්ල Waters Edge හෝටලයේදී පැවැත්වෙනු ඇත. ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වන අය රු 3500/=ක් මිල වන ටිකට්පතක් මිලදීගත යුතු බව එහි පහළින් සඳහන් වන අතර, ටිකට්පත් ලබාගත හැකි ආකාර සවිස්තරාත්මකව සඳහන් කර ඇත.

ජයග්‍රාහකයන්ගෙන් මුදල් අයකර ත්‍යාග පිරිනමන තරගාවලියක් පිළිබඳව අපි මීට පෙර අසා නැත්තෙමු.

BestWeb.lk තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාගය වනුයේ සහතික පත්‍රයක් වන අතර. මේ සහතික පත්‍රය ලබාගැනීම සඳහා අදාළ අඩවිය නියෝජනය කරමින් පැමිණෙන සියලු දෙනා එක් අයෙක් රු 3500/= බැගින් වන පරිදි ටිකට්පත් මිලදී ගත යුතු ය! BestWeb.lk තරගාවලියේ නිල වෙබ් අඩවියේ (http://www.bestweb.lk/) සඳහන් පරිදි ලාංකික ආයතන හා සමාගම් රැසක් (ICTA, ඩයලොග්, සිරස මාධ්‍ය ජාලය, MTV, Sunday Times, Daily Mirror) මෙම තරගාවලිය සඳහා අනුග්‍රහකත්වය (Sponsorships) පිරිනමයි, එනම් මූල්‍යමය අනුග්‍රහයක් දක්වයි. එසේ තිබියදී ටිකට්පතකට රුපියල් 3500/=ක මුදලක් ජයග්‍රාහකයන්ගෙන් (නරඹන්නන්ගෙන් නොවේ) අය කිරීම අසාධාරණ නොවේද ?

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වශයෙන් අපේ ස්ථාවරය නම් මෙය අපට කරන ලද අපහාසයක් ලෙස අප විසින් සලකන බවයි. මුදල් දී සහතිකපත් ලබාගැනීමට අපට කිසිදු අවශ්‍යතාවක් නැති අතර, මෙය මෙබඳු අන්දමේ තරගයක් බව මිට පෙර දැන සිටියානම් මෙම තරගයට ඉදිරිපත් වීමද අප විසින් නොකරනු ඇත. (මෙය ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය මගින් සංවිධානය කිරීමත්, ICTA වැනි වගකිවයුතු ආයතනයක් අනුග්‍රහ දැක්වීමත් නිසා අප සිතුවේ මෙය ජාතික වැදගත්කමකින් යුතු එකක් ලෙස ය).

තරග සංවිධායකයන් අපට කර ඇති අවමානයට විරෝධය පෑමක් ලෙස සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් ඉදිරිපත් කරන ලද myblog.lk අඩවිය Most Favourite Sri Lankan Website- 2009- Sinhala Category තරගයෙන් ඉල්ලා අස්කරගනු ලැබේ.

මෙයට,
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය.

Categories
ජීවිතේ විවිධ

මොරටු කැම්පස් යාම සහ තවත් අතුරු කතා…

මේ දවස්වල ලියන්න කියන්න බොහෝමයක් දේවල් තිබුනත් වෙලාව සහ හිතේ ලියැවෙන වේගයේ කිසියම් වේගයේ අඩුවීමක් ‍වගේම අත ළඟ තියෙන කන පැලෙන පළවෙනි වාර විභාගයත් නිසා දැන් ලියවෙන්නෙ කියවෙන්නෙ බොහොම අඩුවෙන්. ඒ වගේම වෙනද තනිකම නිසා ලියවුනු බ්ලොග් සටහන් මීට පස්සෙ නොලියවෙන නිසාත් සැලකිය යුතු මට්ටමේ ප්‍රතිශතයකින් බ්ලොග් ලිපි ලියැවිල්ල අඩුවෙන්නත් පුලුවන්. ඒ වගේම මේ ලියන්නෙ නොලියා ඉන්න බැරි නිසාම වාගේම, කාලෙකින් මුකුත් ලියන්න බැරි වුන නිසාමයි.

ශ්‍රී ලංකාවේ ඩොට් LK ඩොමේන් නාම ලියාපදිංචි කරන ආයතනය. එහෙමත් නැත්තං LK වසම් ලේඛකාධිකාරය. එහෙමත් නැත්තං අපි මව් භාෂාවටත් වඩා හොඳින් දන්න භාෂාවෙන් කිව්වොත් LK Domain Registryය විසින් සංවිධානය කරපු ජාලගත තරග ඉසව්වක් වුනු ජනප්‍රිය ඩොට් LK වෙබ් අඩවිය ‍තේරීමේ තරගය වෙනුවෙන් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් ක්‍රියාත්මක කරවනු ලබන myblog.lk වෙබ් අඩවියට මනාපය පළ කිරීම නිසා මටත් ඒ මනාපය පළ කිරීම වෙනුවෙන් ලැබෙන තෑග්ගක් ලැබිලා කියල දැනගන්න ලැබුනෙ පහුගිය දවසක සාපේක්ෂව වෙනස් පන්තියට යන ගමන්, ම‍ගේ දෙවෙනි නිවහන ‍වගේ හඳුන්වන්න පුලුවන් බස් එක ඇතුළෙදි. ඉතින් ඒ අදාල ත්‍යාගය ලබාගන්න මොරටුව විශ්ව විද්‍යාලයට එන්න කියල ආරාධනාවක් ලැබුන එත තමයි වුනේ. තෑග්ග ‍මොනව වුනත්, වැස්සකටවත් ගොඩ වෙන්න චාන්ස් එක නැති විශ්ව විද්‍යාලයක් ඇතුළට යන්න ලැබෙන එකම ලොකු දෙයක් නිසා. මායි මගේ යාලුවෙකුයි අද, අපේ ටියුෂන් පුරවරය සහ හදවතට වඩාත් සමීප නගරය වෙලා තියෙන නුගේගොඩදී, නුගේගොඩ සරසවි පොත්හල ඇතුළෙ සෙට් වෙලා යන්න පිටත් වුනා. බස් එකේ ගියාට, සිහිය තිබුනෙ බස් එකේ නෙවෙයි. හරි. අඩුගානෙ මගේ ළඟ නෙවෙයි. කැම්පස් එක ඇතුළෙ. එතන මොනවගේද, කොහොම තැනක්ද කියල බලාගන්නකං ‍නොඉවසිල්ලකින් හිටපු නිසා. හිත තිබුනෙ මගේ ළඟවත්. බස් එ‍ක ඇතුළෙවත් ‍නෙවෙයි. දෙතැනක. එතකොට කැම්පස් එක කියන්නෙ තව තැනක්. අනිත් තැන මොකක්ද කියලා තවම ප්‍රසිද්ධියේ නිවේදනය කරන්න බැරි තැනක්. ඒක ඉතින් දන්නෝ දනිති.

බ්ලොග් සටහනක් ලියද්දී, මගේ තියෙන නරකම පුරුද්ද මාතෘකාවෙන් පිට පනින එක. ඒ වැරැද්ද පැත්තකින් තියලා… ආයෙමත් මාතෘකාවට ආවොත්. අපි දැන් ‍මේ යමින් ඉන්නෙ මොරටු විශ්ව විද්‍යාලයට. ඒ යන්නෙ, තෑග්ගක් අරගන්න. තෑග්ග අරගන්නෙ LK ඩොමේන් රෙජිස්ට්‍රියෙන්. බ්ලොග් එකක් වගේ එක්තරා ආකාරයක සංදේශමය වැදගත්කමකින් වටිනා දෙයකට. මග වර්ණනාවක් කරන්නේ නැතිනම් ඒකෙ අගේ නැතිවෙල යනව. පණීඩිඩය අරගෙන ගියපු සැළලිහිණියා අච්චර මග වැනුම් කරා නං. ඒ වැනිල්ලට ඒ කාව්‍යයට ලැබිලා තියෙන වටිනාකම. කවදහරි බ්ලොග් වලටත් නොලැබී ‍තියෙන්න විදිහක් නැහැ…

හරි. ආපහු මාතෘකාවට. මාතෘකාවේ උප මාතෘකාව. මාර්ග වර්ණනාව.

මම මේ ගාලු පාරට ඇතුළත් වුනේ මං හිතන්නෙ අවුරුදු ගානකට පස්සෙ. මං හිතන්නෙ අවම වශයෙන් අවුරුදු දෙකකටවත් පස්සෙ. සමහර විට වැඩිවෙන්න පුලුවන්. සමහර විට අඩුවෙන්නත් පුලුවන්. කොහොමහරි ගාලු පාරට එච්චර කාලකයකට පස්සෙ ඇතුළත් වෙන්න ලැබීමයි වැදගත්. ළඟදි විවෘත කරපු ගුවන් පාලම ළඟින් යද්දි, මට ඉබේම මගේ යාලුවට ඇහෙන්න කියවුන “අඩේ, මේක නේද ළඟදි විවෘත කරේ?” ප්‍රශ්නය ඇහුණ. අපි වාඩිවෙලා හිටපු තැන නැගිටලා හිටපු නංගි කෙනෙක් තමංගෙ අම්මගෙ මූන දිහා බලල හිනා වුනා. මේ වගේ වැදගත් ප්‍රශ්නයක් අහපු වෙලාවක හිනා වීම, තමයි මොරටු ගමනේදී අපිට ලැබුන ප‍ළවෙනි බයිට්ටෙක.

කටුබැද්දෙන් බැහැපු අපි. කටුබැද්දෙන් මොරටු විශ්ව විද්‍යාලයට හැරෙන පාරට හැරුන අපි. පාර බලා කියාගන්නත් එක්ක පයිංම යමු කියල පිටත් වුනා. යනවා… යනවා… ඉවරයක් නැහැ…

තාම යනවා…

හරි. ඔන්න අපි යන්තං මේක තමයි කැම්පස් එක කියල අඳුරගත්ත. ටිකෙන් ටික බය හිතෙන්න පටන්ගත්ත. අනේ මන්ද ඇයි කියල. එහෙම හේතුවක් කියන්න බෑ. එකම හේතුව අපි කැම්පස් එකට ළං වීම විතරයි.

කැම්පස් එකට ගියපු අපි තුන්දෙනාටම. ඒ කියන්නෙ මටයි, යාළුවටයි, මගේ හිතටයි. ඕනෙ වුනේ මේ විශ්ව විද්‍යාලය මොකක්ද කියල බලාගන්න. අර මුලින් කිව්ව වගේ. වැස්සකටවත් ගොඩ වෙන්න චාන්ස් එකක් ෂුවර් නැති අපිට, ඇතුළට යාමම ලොකු දෙයක්. අඩුගානෙ ළඟින් ගියත් ඇති! ගේට්ටුවේ ආරක්ෂක අංශයට මේ ගැන කිව්වම දාහක් ප්‍රශ්න. කොහොමහරි විශ්ව විද්‍යාලෙ තියෙන ‍රෙස්පෙක්ට් එක. ඒ අයගෙ ඇඟෙත් තිබුන. තමන් වැඩකරන තැන තියෙන ‍ගෞරවය, පිළිගැනීම. තමන්ගෙ ඇඟටත් ආරෝපණය වෙලා තිබුන. කොහොමහරි. අනේ අපොයි කියල, කැම්පස් එක බලන්න මාර ‍බලාපොරොත්තුවෙන් ආපු මටයි මගේ හිතටයි යාළුවාටයි කියන තුන්දෙනාගෙන්. දෙන්නෙකුට විතරයි අවස්ථාව ලැබුනෙ කැම්පස් එක ඇතුළට යන්න. ඒ කියන්නෙ මටයි මගේ හිතටයි. එතකොට යාලුවාට යන්න ලැබුනෙ නැහැ. මිත්‍රත්වයේ නාමයෙන් යාලුවව ගේට්ටුව ළඟ දාලා. මම. නෑ, මම නෙවෙයි. මගේ හිත සහ මම. හිමින් හිමින් බයෙන් බයෙන් විශ්ව විද්‍යාලය ඇතුළට අඩිය තිව්ව. ඔන්න දැං මම බයෙන් ඉස්සරහට යනව. මූනට හම්බවෙනව ලංකාවෙම බ්‍රයිට් කේස් ටික. පිට තැනකදී වෙනම මූනට මූන බලන එකයි. කැම්පස් එක ඇතුළෙ මූනට මූන බලන එකයි අතර තිබුනෙ හෙන වෙනසක්. ඒ මූනු දකිනකොටත් බයයි. අනේ මන්ද. කොහොමහරි මට දැනුනෙ බයක්. ඔන්න මං හිමින් සීරුවෙ ඉස්සරහට ඇදෙනව. බයටම, ගේට්ටුවෙන් අහගත්ත මාර්ග විස්තරය අමතක වෙලා ගිහිල්ල තිබුන. ඔන්න දැං මං මොරටුව විශ්ව විද්‍යාලයේ අතරමං වෙලා. තනියම ‍නෙවෙයි. හිතත් එක්ක. යාලුවානං ගේට්ටුව ළඟ අතරමං වෙලා හිටිය බවයි ආපහු ‍එනගමන් දැනගන්න ලැබුනෙ. හිතත් අතරමං වෙලා හිටපු නිසා වගේම. මංමුලා වුන කෙනෙක්ගෙන් පාර අහල වැඩක් නැති නිසාම… මම මගේ… උපරිම ධෛර්යය දාලා ගියා අයිය කෙනෙක් ළඟට.

එක්ස්කියුස්මී අයියෙ,
(ඇහුන් නෑ…)
අයියෙ,
මේ… LK Domain Registry එක කොතනද දන්නෑ තියෙන්නෙ…

ඒ මොකක්ද මල්ලි…?
(මට ක්ලාන්තය දැනින)

මේ… මට තෑග්ගක් ලැබිල තියෙනව. ඉතින් ඒක අරගන්න අද එන්න කියල තිබුන.

ආ මල්ලි… අර අතන පුටු වගයක් හදන්න තියෙනව. මල්ලිට ඒකට වෙන්නැති එන්න කියන්නැත්තේ…
(පොළව පලාගෙන යන්න සිතුණි)

මේ වෙලාවෙ තමයි මට මතක් වුනේ… ගේට්ටුවෙන් කියපු බිල්ඩිමේ නම.
අර… සුගතදාස බිල්ඩිම?

ආ… ඒකද…හරි හරි ‍ඔහොම යන්න…

ඉතින් ඒක තමයි දෙවෙනි වගේම, වැදගත්ම බයිට් එක.

කොහොමහරි බිල්ඩිම හොයාගත්ත කියමුකෝ. තියෙන තැනත් හොයාගත්ත කියමුකෝ… තෑග්ග ගන්න ආපු බවට සහතික කරන්න, වෙව්ලන අතින් අත්සන් කරෙ. මට මතක විදිහට හරියට අත්සන ගහගන්නත් බැරිවුනා. ඒ තරමට අත පය වෙව්ලිල්ල. හොඳ‍ වෙලාවට වාඩි වෙන්න පුටුවක් ලැබුනෙ. නැත්තං, අද ගෙදර එන්න වෙන්නෙ ඇම්බියුලන්ස් එකකින් කියල ෂුවර්.

අන්තිමේ. මට මතක නෑ ආවෙ කොහොමද, දැන් ආපහු යන්නෙ මොන පාරෙන්ද කියල. කොහොමහරි එතන කැරකි කැරකි ඉඳල, යන්තං එළියට ආවා. එහෙම වුනේ නැත්තං. මම තාමත් සුගතදාස බිල්ඩිම ඇතුළෙ කැරකැවෙනව. දැං නං මට කැරකැවිල්ල වගෙ.

ඉතින් ඔන්න බිල්ඩිමෙන් වගේම කැම්පස් එකෙනුත් එළියට ඇවිල්ල. මායි යාළුවයි හිතයි. අපි තුන්දෙනාටම ඇති වෙන්න. තුන් දෙනා ගැනම සිනා පහළ වුනා. අන්තිමේ පන එපා කියල. නුගේගොඩ එන්න පිටත් වුනා.

ඉතින් ඔන්න ඕක තමයි. මොරටු කැම්පස් යාම පිළිබඳ කතාව. උසස් පෙළ ලියන්නත් කලින් කැම්පස් යන්න ලැබුන එක ලොකු දෙයක්. ඉතින් කැම්පස් එකේ අයියලගෙන් රැග් නොකා. තමන් විසින්ම කන්න පුලුවන් රැග් එක උපරිමයෙන්ම කෑවෙ ‍ඔහොමයි. මේක ඉතින් එච්චර වැදගම්මක් ඇති කතාවක් නම් නෙවෙයි. හැබැයි ඉතින් මට ආපහු වෙලාවක බලල මතක්කරගෙන මට මං ගැනම හිනාවෙන්නයි. මේක ලියුවෙ. ඉතින් දුන්න තෑග්ගට බොහොම ඉස්තූතියි. අද මහ රෑ පන්ති ගිහිල්ල එද්දි කඩං පාත් වුන ධාරාණිපාත වර්ෂාවට ඔළුටට උඩින් ඉඳගෙන මාව ආරක්ෂා කරේ අන්න ඒක තමයි…

හරි.
ආයෙත් කැම්පස් යන්න ලැබු‍නොත් මේ වගේම මොනවහරි දෙයක් ලියන්න ලැබේවි. ඔන්න ඔහොමයි දවසකට හරි කැම්පස් ගියේ. මටත් ඉතින් දැන් බය නැතුව රස්සාවකට ගියාම කියත හැකි මාත් මොරටු කැම්පස් ගිහිල්ල තියෙනව කියල.