Categories
විවිධ

සබඳ අපි කඳු නොවෙමු

සබඳ, අපි කඳු නොවෙමු…
උනුන්… පරයා නැගෙන.
සුනිල දිය දහර වෙමු…
එකම… ගඟකට වැටෙන. 🙂

සබඳ, අපි කඳු නොවෙමු.
උනුන්… පරයා නැගෙන…
සුනිල දිය දහර වෙමු…
එකම… ගඟකට වැටෙන..

වියරු ගිනි දැල් නොවෙමු
වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු
දැවෙන කැළයට වසින

සබඳ, අපි කඳු නොවෙමු.
උනුන්… පරයා නැගෙන…
සුනිල දිය දහර වෙමු…
එකම… ගඟකට වැටෙන..

නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
දනන් නින්දෙන් මුදන!!!

සබඳ, අපි කඳු නොවෙමු.
උනුන්… පරයා නැගෙන…
සුනිල දිය දහර වෙමු…
එකම… ගඟකට වැටෙන..

සබඳ, අපි කඳු නොවෙමු.
උනුන්… පරයා නැගෙන…
සුනිල දිය දහර වෙමු…
එකම… ගඟකට වැටෙන..

[youtube=https://www.youtube.com/watch?v=2LuKaQkpM_M][/youtube]

මේ සින්දුව බොහොම රෝමාන්තික විදිහට ලංකාවෙ දේශපාලන වේදිකා වල  මිනිස්සු ගොනාට අන්දන්න භාවිතා කරපු එකක්. ඒත් ගොනාට ඇඳගන්න තරම්ම ඒ සින්දුව මාර ලස්සනයි සහ අර්ථවත්.

මට සින්දුවේ දේශපාලනය ගැන කතා කරන්න ඕනේ  නැහැ. මට කතා කරන්න ඕනෙ සින්දුව ගැන විතරයි. ඒ අස්සෙ මගේ දේශපාලනය එලියට එන්න පුලුවන්. එතකොට සොරි.
සින්දුව කියන්නෙ ගුණදාස කපුගේ.  සින්දුව ලියන්නේ දර්ශන මේදිස්. දර්ශන මේදිස්ගෙ එකම ගී පද රචනය මේක කියලත් මම අහල තියෙනවා. සින්දුව ගැන Google සෙවීම් අතරෙන් ලැබුන බූන්දි වෙබ් අඩවියෙන් තියෙන දර්ශන මේදිස්ගේ කෙටි සටහනකින්ම මම කලින් කී කාරණාව ඔප්පු වෙනවා.

මෙම කවිය ඇසුරෙන් සකස් කොට, ගායක ගුණදාස කපුගේ ගයන ගීතය නිසි මාතෘකාව යටතේ ඉදිරිපත් නොවීම ගැන මම කම්පා වෙමි
-කතෘ

http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtID=985

අපේ තරුණ පරම්පරාව ඉදිරියේ හිටිය දැවැන්ත ප්‍රතිරූප සියල්ල අපිව දාලා යන්න ගිහින් වැඩි කාලයක් නෙවෙයි. ගුණදාස කපුගේ, හෙන්රි ජයසේන, ප්‍රේමසිරි කේමදාස ඒ අතරින් ටික දෙනෙක්. ඉතින් අපිට වෙනත් රටවල දැවැන්ත ප්‍රතිරූප හොයාගෙන යන්න වෙලා. ඉතින් ඒකට මේ සිංහල බෞද්ධ සහෝදරවරු අපිට කලු සුද්දෝ, නයිට්ක්ලබ් බෞද්ධයෝ කියල කොන් කරනවා. මම පුද්ගලිකව ඒ කොන් කිරීමට කැමතියි.
එහෙව් මොහොතක ලාංකීය සමාජය ඉදිරියේ මහා ප්‍රතිරූප වෙලා ඉන්නෙ දේශපාලන වෘත්තියේ නියැලී සිටින්නන් සහ මෙලෝ රහකට නැති නලු නිලියන්. අන්තිමට අපිට අපිව නියෝජනය කරන ඇඟ විකුණන වේසාවන්ට ඡන්දය ප්‍රකාශ කරන්න වෙලා.

මේක හරි විහිලුවක්. අපිට අලුත් සමාජයක් ඕනෙ. ඒ සමාජය ඉහත කී ගීයෙන් නිරූපනය වෙන සමාජය වෙන්න ඕනෙ. ධනපති ක්‍රමය ඇතුළෙ තමන් කැමති මඟුලක් සඳහා තරඟ වැදුනට කමක් නෑ. ඒ තරග වඳින අතරෙ මනුස්සකම අමතක කරන්න එපා. මුස්ලිම් මූලධර්මවාදීන්ට රට ආක්‍රමණය කරන්න නොදෙනවා වගේම ඔවුන්ගෙ ව්‍යාපාර වලට ගරු කරන්න පුරුද්ද තියෙන්න ඕනෙ. ශ්‍රී ලංකාවෙ උපත ලද පුරවැසියෙක් නම් කලු සුදු හෝ ලේ වර්ගයේ බේදයකින් තොරව අනිත් එකා එක්ක මූන බලල හිනාවෙලා කතා කරන්න ඉඩක් තියෙන්න ඕනෙ. එහෙම නැත්තන් ඔයාට ලංකාවෙ නෙවෙයි ලෝකෙ කොහෙවත් පය ගහන්න තියෙන අයිතියට ඔයා කරන්නෙ පට්ට නින්දාවක්. නිග්‍රහයක්.

Categories
Social Media තොරතුරු තාක්ෂණය බ්ලොග්

බ්ලොග්?

මේක මේ සිංහල භාෂාව හා තොරතුරු තාක්ෂණය සම්බන්ද කතාවක්. දැන් උසස් පෙළටත් තොරතුරු සන්නිවේදන තාක්ෂණය ඉගැන්වීම් කෙරෙනවා නෙව. ඔය අතරෙ මුනගැහෙනවා මෙලෝ රහක් නැති සිංහල වචන. උදාහරණයක් විදිහට ROM එකට කියන්නෙ පඨන මාත්‍ර මතකය. පඨන මාත්‍ර මතකය කිව්වම ROM එකක් මැවිල පේනවාද?

නෑනෙ.

වචනයක් වුනාම ඒකෙන් අර්ථ දක්වන රූපය මවාගන්න පුලුවන් වෙන්න ඕනෙ. ඉතින් ඒ මවාගැනීම පහසුවෙන තරමට භාෂාව සරල වෙනවා වාගේම ඉගෙනීමේ ක්‍රියාවලියත් පහසු වෙනවා.

අටවක පුත්තු පොතේ මෙහෙම තියෙනවා. [SPOILER ALERT]

රෙජින නෝන බයිසිකලයෙන් බැහැලා මං ලඟට ඇවිත් “ගං මෙහාට ඕකගෙ මැනික් කටුව” කිව්වා. ඔය මැනික් කටුව කියන්නේ අපේ ඇඟේ තියෙන විකාරම තැන. කකුලෙ එහෙම තැනට වලලු කර කියලා අතේ එහෙම තැනට මැනික් කටුව කියන්නේ මොකද? සිංහල භාශාව හදපු එකා භාශා විද්‍යාව මොනව දැනගෙන හිටියත්, පාශාන විද්‍යාව ගැන මොන මඟුලක්වත් දන්නෙ නෑ. ඒ විතරක්යැ. පෝෂන විද්‍යාව ගැන උගේ දැනුමත් ඔහොම තමයි. නැත්තන් අර කකුලෙ අහවල් තැනට බත් කෙන්ද කියයියැ? කකුලෙ කොහෙද බත්?

ඉතින් ඔය වගේ සිංහල භාෂාවේ සමහර වචන හරිම පැටලිලි සහගතයි. ඉතින් “බටහිර දැනුම” ඉගෙනගන්නවා නම්, මුලින් ඉංග්‍රීසි දැනුම තියෙනවානම් එතනින් එහාට ඒ දේවල් ඉගෙනගැනීම හරි පහසුයි.

වටින් ගොඩින් කියාගෙන ආවෙ මට මේ ළඟදි ඉඳලා “බ්ලොග්” කියන වචනය අල්ලන්නෙ නැතුව ගියා. සිංහල පත්තර වල “බ්ලොග්” ගැන ලිපි දැක්කාම කියවන්න හිතුනෙත් නෑ. බ්ලොග් වලට වඩා සරල සිංහල වචනයක් යොදාගන්න බැරිද කියන ප්‍රශ්නෙ තමයි මට දැන් තියෙන්නේ. මුලින් ඕකට “වියුණ” කියන වචනය පාවිච්චි කරමු කියල යෝජනාවක් ආවත්, ඒක එහෙම්ම නැති වෙලා ගියා. ආණ්ඩුවෙනුයි මයික්‍රොසොෆ්ට් එකෙනුයි එකතුවෙලා මුද්‍රණය කරපු තොරතුරු සන්නිවේදන තාක්ෂණ වදන් මාලාවෙත්, බ්ලොග් කියන වචනය නිල වශයෙන් පිළිඅරගෙන තිබුනා. ඒත්… මේ බ්ලොග් කියන වචනය… සාමාන්‍ය පාඨකයන්ට ළඟා කරවන්න පුලුවන් වචනයක්ද කියලා හිතේ ප්‍රශ්නයක් තියෙනවා.

බ්ලොග්, බ්ලොග්කරුවෝ, බ්ලොග් ලියන්නෝ, බ්ලොග්කරණ තරගාවලිය වගේ ලියැවීම් ජුගුප්සාජනක (මෙලෝ රහක් නැති) හැඟීම් ඇති කරන්නේ මට විතරක්ද?