Categories
ජන මාධ්‍ය විචිත්‍ර විවිධ

ඒහි පස්සිකෝ බ්ලොග් මැරතන්!

බ්ලොග් මැරතන් වලට තව දින කිහිපයයි. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ කට්ටිය ගජරාමෙට හිටු කියලා වැඩ. හැම දෙනාම අඩු වැඩි වශයෙන් වැඩ. ඒ අතුරින් අපේ ආනන්දවර්ධන, මලින්ත, කාලිංග, වරුණ කනිෂ්ක නම් අමතක කරන්න බෑ. ඒ වගේම ඔක්කොම දමලා ගහලා ගියපු ටිරෝන්වත් (ටිරොන්ගේ අදහස හරිද වැරදිද කියලා ඔබත් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ වෙබ් අඩවිය බලලා තීරණය කරන්න) අමතක කරන්න බෑ. ඇමරිකන් කුස්සි අම්මාගේ මැරතන් දායාදය අපේ කරගන්නයි මේ හදන්නේ. අළුත් අවුරුද්දේ සාමයෙන් සමඟියෙන් කට්ටිය එකතු වෙලා බ්ලොග් මැරතන් එකටයි ලියන්න සූදානම. තමන් කැමති දෙයක්, කැමති විදිහකට, තමන්ගේ විදිහට ලියන්නයි තියෙන්නේ. බ්ලොග් මැරතන් එකේ ප්‍රධාන ‍අරමණු කිහිපයක් තියෙනවා.

ඒවා නම්,

  • බ්ලොග්කරුවන් අතර සහයෝගීතාවය වර්ධනය කිරීම
  • සිංහල භාෂාවට අන්තර්ජාතික මට්ටමින් ප්‍රචාරණයක් ලබාදීම
  • සිංහල අන්තර්ජාල, පුද්ගලික, පුරවැසි මාධ්‍යකරණය පුළුල් කිරීම
  • සහ තවත් බොහෝ දෑ…

සිංහල භාෂාවෙන් බ්ලොග් ලියන බොහෝ දෙනෙක් මෙවර ප්‍රථම සිංහල බ්ලොග් මැරතන් ඉසව්වට සහභාගී වන බවට දන්වා තිබෙනවා. ඔබ තාමත් ප්‍රමාද නෑ. 18වෙනිදා උදාවෙන්න කලින්ම ඔබේ සහභාගීත්වය සනිටුහන් කරන්න. ඒ වගේම ඔබට මේ ඉසව්ව මඟ‍ දෙපස හිටගෙන, හාන්සි වෙලා, දන ගහගෙන ඕන විදිහකට නැරඹීමට හැකි වන විදිහට සියලුම වැඩ කටයුතු සලස්වලායි තියෙන්නේ. ඔබට මේ තරඟය නැරඹීමට තිබිය යුතු එකම සුදුසු කම තමයි, සිංහල යුනිකේත සහය ඔබගේ පරිගණකයේ තිබීම. ඒ වගේම මේ තරඟය නැරඹීමේදී ඔබට පූර්ණ නිදහස තියෙනවා මැරතන් දුවන අයව දිරිගන්වන්න, වතුර ගහන්න (හැබැයි මොනිටර් එකට වතුර ගහලා මොනිටර් එක නම් නාස්ති කරගන්න එපා!) විතරක් නෙමෙයි බනින්නත් පුළුවන් (අසභ්‍ය වචන නම් පාවිච්චි කරන්න එපා) ඒ වගේම බෝම්බ වලට බයවෙන්න ඕනෙත් නෑ, කට්ටිය පෙරළගන්න ඕනෙත් නෑ. නිවි සැනසිල්ලේ තේකක් බොනගමන් වුනත් මේ තරඟය බලන්න පුළුවන්. ඒ තරමට මේ අවරුදු මැරතන් එකේ ප්‍රේක්ෂකයන්ට පූර්ණ නිදහස තියෙනවා. ඒ වගේම වෙනදා ගම හරහා, රට හරහා මැරතන් දුවපු අයට පුළුවන් සියළු බාධක බිඳලා ලෝකේ හරහාම මැරතන් දුවන්න. කම්මැලි කමක් දැනු‍නොත් (කම්මැලි කමක් දැනෙන එකක් නෑ. ඒත් හදිස්සියේ දැනුනොත්?) චිත්‍රපටියක් බලන්න, යූ ටියුබ් එක පැත්තේ යන්නත් පුළුවන්. ඒ එක්කම අපේ පාර්ලිමේන්තුව ඇතුලේ කතා ඇතුලත් වීඩියෝ පට තියෙනවානම් ඒවා බලන්නත් අමතක කරන්න එපා හො‍‍ඳේ..’

බ්ලොග් මැරතන් එක ගැන වැඩියෙනු‍ත් එක්ක කිව්වාද මන්දා… ඔන්න එහෙනම් බ්ලොග් මැරතන් බලන විදිය පිළිබඳව පොඩ්ඩක් දැනගන්න…

පළමු ක්‍රමය – මැරතන් සින්ඩ්කේටරය.

http://marathon.sinhalabloggers.com වෙබ් අඩවියට පිවිසීම තුලින් ඔබට විනාඩි පහළෙ‍ාවෙන් පහළොවට යාවත්කාලීන වල, බ්ලොග් මැරතන් වලට සහභාගී වන සියළු දෙනාගේ සටහන් රසවිඳීමට හැකියි. මේ අඩවිය Bookmark කරගන්න අමතක කරන්න නම් එපා!

දෙවන ක්‍රමේ – යාහූ පයිප්පේ!

මේ පයිප්පේ අපේ සීයලා පාවිච්චි කරපු වගේ පයිප්පයක් වගේ නම් නෙමේ. ඒකට වඩා ගොඩක් දියුණ පයිප්පයක්. හැබැයි මේ පයිප්පෙන් මැරතන් බලලා මත් වුනොත් එහෙම ඕන් අපිට කරන්න නම් දෙයක් නෑ (විහිළුවක් කරේ!) මම නම් ඉතින් පොඩි එක‍ානේ, ඒක නිසා සුරාමේරය මජ්ජපමාදට්ඨානං වේරමණී සික්ඛාපදං සමාදියාමි! අහ් මැරතන් මාර්ගයෙන් පැන්නා නේද? එහෙනම් නැවත මාතෘකාවට පිවිසෙමු. යාහූ පයිප්පෙන් මැරතන් රසවිඳින්න පිවිසෙන්න;

තුන්වන පිම්ම! – ගූ-කතා හරහා!

කැතයි වගේද දන්නේ නෑ. ඒත් ඉතින් සිංහල ක්‍රමේට Google Talk කෙටි කරා එහෙම නේද කියන්නේ? ඔබ Google Talk භාවිතා කරනවානම්, marathon@sinhalabloggers.com
විද්‍යුත් තැපැල් ලිපිනය මිතුරෙකු ලෙසට එකතු කරගන්න. මේක තමයි මම අංක එකට නිර්දේශ කරන ක්‍රමය. ලේසියි. පහසුයි.

සිව් වැනි ක්‍රමේ – ට්වී‍ටරේ මැරතන්!

වැඩි විස්තරයක් ඕනේ නෑ http://twitter.com/BlogMarathon පස්සෙන් මැරතන් දුවන්නයි ඕනේ (Follow කරන්න) වැඩිය මහන්සි වෙන්න ඕනේ නෑ. පුටුවේ ඉඳගෙනම ෆලෝ එකක් දෙන්නයි ඕනේ.

ඔන්න ඔහොමයි පින්වතුනි බ්ලොග් මැරතන් බලන්නේ.  ඉතින් මැරතන් දුවන හැමෝටම චියර් එකක් දෙන්න අමතක කරන්න එපා. මම දුවනකොට මෙන්න මෙහෙම චියර් කරන්න…

කවුද බෝයි! – සුදාරක…

තව පාරක්! – සුදාරක…
තව හයියෙන් – සුදාරක…

සු…!
දා…!
ර…!
ක…!

සුදාරක!
අනිත් අයටත් මේ විදිහම චියර් කරන්න හොඳේ!

Categories
විචිත්‍ර හින්දි චිත්‍රපටි

ජබ් වී මෙට් (Jab We Met)

Jab We Met Hindi Movie Poster

ඔන්න මීට කලින් සැලසුම් කරපු විදිහටම ජබ් වී මෙට් (Jab We Met) චිත්‍රපටිය ඊයේ (2008.04.12) රාත්‍රී 9.30ට ස්වර්ණවාහිනියෙන් සිංහල උපසිරැසි සමඟින්ම නැරඹීමට හැකියාව ලැබුනා. ඇත්තෙන්ම මේ චිත්‍රපටිය සරල, එහෙත් ආකර්ෂණීය සිනමා නිර්මානයක් ලෙස සැලකීමට හැකියි. චිත්‍රපටියේ ගීත සියල්ලම ඉතාමත් වින්දනීය ආකාරයෙන් නිර්මාණය කර තිබෙන ඇති අතර එහි සියළුම ගෞරවය හිමිවන්නේ මෙම චිත්‍රපටියට සංගීතයෙන් දායකත්වය දැක්වූ “ප්‍රීතම්” , “සන්ජෝයි චවුද්‍රි” හා “ඉර්ෂාඩ් කමිල්” වෙතටයි.

මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිත වන්නේ…

Shahid Kapoor

ආදිත්‍ය කාශ්‍යප් (සායිඩ් කපූර්) – තරුණ ව්‍යාපාර හිමියෙකු වන මොහුගේ පි‍යාගේ අභාවයෙන් පසු මුළු ව්‍යාපාරයම කඩාවැටෙනවා. ඒ අතර තම පෙම්වතියද තමාගෙන් ඉවත්වී ‍අන් පුද්ගලයෙකු විවාහ කරගැනීම නිසා මානසික වශයෙන් ඇද වැටීමකට ලක් වනවා නමුත් ගීත් ගේ අහඹු මුනගැසීමෙන් පසු සියල්ලම වෙනස් වනවා. ඔහුගේ සියළුම ව්‍යාපාර තිබූවාටත් වඩා හොඳින් ගොඩනැගීමට ඔහුට හැකිවනවා.

ගීත් දිලොන් (කරීනා කපූර්) – ජීවිතයම ක්‍රීඩාවක් කරගත් ඇත සියල්ල සරලව, යහපත්ව සිදුවේයැයි විශ්වාස කරන්නාවූ කටකාර තරුණියක්.  ඇය නිසා ආදිත්‍යගේ ජීවිතය වෙනස් වූ නමුත් ඇය විශාල ඇදවැටීමකට ලක්වෙනවා. නමුත් නැවතත් ආදිත්‍යගේ හමුවීම නිසාවෙන්ම ඇගේ ජීවිතය ආලෝකමත් වෙනවා.

මෙහි තවත් චරිත කීපයක් එක් එක් අවස්ථාවලදී ඉස්මතු වූවත් ඉහතින් දැක්වූ චරිත 2වටා පමණක් චිත්‍රපටියේ කතාන්දරය ගලා යැවීමට මෙහි අධ්‍යක්ෂකවරයා වශයෙන් ඉමිතියාස් අලී සමත් වී තිබෙනවා. එමෙන්ම මේ චිත්‍රපටියේ කැමරාකරණය වෙනත් හින්දි චිත්‍රපටි වලට වඩා ස්වල්ප වශයෙන් වෙනසක් තිබෙනවා.

ස්වර්ණවාහිනියේ මේ චිත්‍රපටිය නැරඹීමට ඔබට නොහැකි වුනානම් DVD හෝ VCD එකක් හරහා මේ චිත්‍රපටිය රසවිඳින්න අමතක කරන්න එපා. චිත්‍රපටිය සිනමාහල්වල ප්‍රදර්ශනයට පැමිණි මුල් කාලයේ මෙම චිත්‍රපටිය ආදායම් වශයේ යම් සාර්ථකත්වයක් ලැබූවත් අතිවිශිෂ්ට නිර්මාණයක් වූ ඕම් ශාන්ති ඕම් චිත්‍රපටිය හා සාවරියා චිත්‍රපටිය මේ කාලයේම ප්‍රදර්ශනයට පැමිණීම නිසා එම මහා පරිමාණ නිෂ්පාදන සමඟ තරඟවැදීමට අපහසු වීම නිසා සිනමාහල් වලින් චිත්‍රපටිය ඉවත් වුනා. නමුත් මෙම චිත්‍රපටියේ ඇති සුන්දර බව නිසාම මෙම චිත්‍රපටිය සම්මාන කිහිපයකින්ම පිදුම් ලැබීමට සමත් වුනා. ඒ අතර…

2007 හොඳම නිළිය ෆිල්ම් ෆෙයාර් සම්මානය (කරීනා කපූර්)
2007 හොඳම දෙබස් සඳහා ෆිල්ම් ෆෙයාර් සම්මානය (ඉමිතියාස් අලි)
2007 හොඳම නිලිය සඳහා HT Café සිනමා සම්මානය (කරීනා කපූර්)

ප්‍රධාන වෙනවා. මේ සම්මාන ත්‍රිත්වයට අමතරව තවත් සම්මාන කිහිපයක්ද සම්මාන සඳහා නිර්දේශිත නාම අතරටද මෙම චිත්‍රපටිය පැමිණීමට සමත් වි තිබෙනවා. මෙහි ප්‍රධාන චරිතයකට පන පොවන කරීනා කපූර්ගේ සිනමා දිවියේ එක් සන්ධිස්ථානයක්ද මෙම චිත්‍රපටියෙන් සනිටුහන් වෙනවා. මෙම චිත්‍රපටියෙදීත් සත්‍ය ජීවිතයේදීත් පෙම්වතා වූ සායිඩ් කපූර්වත් අත්හැරීයේද මේ චිත්‍රපටියෙන් පසු වීමද තවත් විශේෂත්වයක්. මෙම චිත්‍රපටියේදී සිය රංගනයෙන් සාර්ථකත්වය ලැබීම නිසා මේ දිනවල ඉන්දියාවේ නිෂ්පාදකවරු, අධ්‍යක්ෂවරු බොහෝ දෙනෙක් ඇය පස්සෙන් යන බවනම් හැමෝටම ආරංචි ඇති. එමෙන්ම කරීනා කපූර් තමයි මේ දිනවල වැඩියෙන්ම ගාස්තු අය කරන බොලි‍වුඩ් නිළිය.

එතකොට සායිඩ් කපූර්?
සායිඩ් කපූර්ට නම් වැඩිය සම්මාන ලැබිලා නෑ. නමුත් මේ දිනවල ඔහුගේ රසිකාවියන්ගෙන් ලැබෙන පැසසුම් නම් එන්න එන්නම වැඩිවෙනවා කියලා තමයි ආරංචිය. කෙසේ වෙතත් චිත්‍රපටියට ඔහුගෙන් ලැබෙන රංගන දායකත්වයේ නම් කිසිම අඩුපාඩුවක් නම් මා දකින්නේ නෑ. කෙසේ වෙතත් සායිඩ් කපූර් තමයි මේ චිත්‍රපටියේ මේ චරිතයට ගැලපෙනම නළුවා කියලා තමයි මගේ විශ්වාසය.

වෙනදා වගේම චිත්‍රපටියේ කතාව නම් මම කියන්නේ නෑ. ඔබම මේ චිත්‍රපටිය නරඹලා රසවිඳින්න. දැනට ජබ් වී මෙට් ගැන මෙපමණයි. ඊළඟ සටහන ලියන තෙක් මේ චිත්‍රපටියේ “නගාඩා නගාඩා” පන්ජාබ් ගීතය රසවිඳින්න…

වෙනත් යොමු: විකීපිඩියානිල වෙබ් අඩවිය