යුධ ජයග්‍රහණයක් සහ විවාහ සංවත්සරයක්.

මගේ අම්ම සිංහල, තාත්ත දෙමළ. ඒ දෙන්නගෙ ජීවන යුද්ධයට අවුරුදු 25ක් පිරෙන්නෙ හෙට අනිද්දා.

අපේ තාත්ත දෙමළ නිසා අම්ම තාත්තව බඳින්න තීරණය කරාම අම්මගෙ පවුලෙන් යුද්ධ ප්‍රකාශ කරා. අම්මයි තාත්තයි හොඳ වෙලාවට රජයෙ සේවකයො නිසා ඒ කාලෙ හැටියට ගෙදරින් ස්වාධීන වෙලා ජීවත් වෙන්න තරම් සල්ලි තිබුනා.

ඔහොම මොණරාගල රාජකාරි කරන අතරෙ එහේ සිංහල මිනිස්සු තාත්තව මරන්න හොයල තිබුනා, ඒ රට බෙදන යුද්ධෙ නැගල යන කාලෙ. එතකොට තාත්තව හංගගෙන බේරගෙන තිබුනේ තාත්තා වැඩ කරපු තැන හිටපු මහත්තයෙක්. එයා සිංහල.

එතකොට නම් තාත්තව මරන්න හොයල තිබුනෙ තාත්තා කොටියෙක් නිසා නෙවෙයි. නිකම්ම නිකන් දෙමළ නිසා.

මම ඉපදුනාට පස්සෙ තමයි ඊළඟ යුද්ධෙ. දෙන්නටම හිතාගන්න බැරිවුනා මම දෙමළ දරුවෙක්ද, සිංහල දරුවෙක්ද කියලා. (මටත් තාම හිතාගන්න බෑ) එතකොට දකුණු පළාතෙත් අන්ත දකුණෙම ජීවත් වුන නිසා මිනිස්සු මා දිහා අමුතු විදිහට නොබලයි කියන බලාපොරොත්තුවෙන් මට සිංහල නමක් තිබ්බා.

තාත්තගේ පවුලෙ නම හරිම ලස්සනයි, ගාම්භීරයි. ඒත් ඒ නම දෙමළ නිසා මගේ පවුලෙ නමත් කොට කරලා කාලිදාස වෛනා කන්දනාදන් වෙනුවට “කාලිදාසගේ” කියල දෙමළ නමත් සිංහල කරල තමයි මට තිව්වෙ.

චන්ද්‍රිකා මැඩම් බලයට පත්වුනාම සිවිල් යුද්ධෙ මුහුනුවර වෙනස් වුනා. යුද්ධෙ කරන්නෙ කොටින්ට විරුද්ධව මිසක් දෙමළ මිනිස්සුන්ට එරෙහිව නෙවෙයි කියල මාකට් කරන්න පටන්ගත්තට පස්සෙ දකුණෙ හිටපු සිංහල දෙමළ මිනිස්සු අතර සමඟිකම් ඇතිවෙන්න ගත්තා. අපේ අම්මගෙ පවුලට තාත්තගෙනුත් පොඩි පොඩි උදව් වුන නිසා පරණ විරසකත් අඩු වුනා. අපි ජීවත් වුන තිස්සමහාරාම පැත්තෙ සිංහල මිනිස්සුන්ගෙනුත් තාත්තට කිසි වරදක් වුනේ නෑ, සෑහෙන්න මිතුරු සබඳකම් ඇතිවුනා මිසක්.

අපේ ලොකු අම්මගෙ ලොකුම පුතා තමයි අපේ පවුලෙ හිටපු හොඳම ගතිගුණ තිබුන මනුස්සය. උසස් පෙළත් පාස් වුනාට කැම්පස් යන්න තරම් ලකුණු තිබුනෙ නෑ. අන්තිමට එයා බැඳුන නාවික හමුදාවට. නාවික හමුදාවෙ ඉංජිනේරු අංශයට බැඳුනම අපි හිතුවෙ එයාට වැඩිපුර යුද්ධ කරන්න ලැබෙන්නෙ නැතිවෙයි කියල. ඒත් දවසක් නිවාඩු අරගෙන එද්දි නිරායුධ නාවික හමුදා සෙබලුන්ව ඉලක්ක කරපු ක්ලේමෝ බෝම්බයකට අහුවෙලා එයා නැතිවුනා. එදා මගේ සිංහල අම්ම වගේම දෙමළ තාත්තත්, ලොකු අම්මගෙ ගෙවල් ළඟ හිටපු මුස්ලිම් අයත් බොහොම දුක්වුනා.

තාත්ත ඡන්දෙ දුන්නෙ ජේවීපී එකට. සාම ගිවිසුම ගහපු එජාප ආණ්ඩුව පෙරළන්න ජවිපෙ මහින්ද එක්ක සන්ධානගතවුනාම, තාත්ත ඡන්දෙ දුන්නෙ මහින්දට. ඊටපස්සෙ මහින්ද මහත්තයගෙ නායකත්වය යටතේ හමුදාව යුද්ධෙ දිනුවම මගේ දෙමළ තාත්ත වගේම සිංහල අම්මත්, අපේ ගෙවල් ළඟ මුස්ලිම් අයත් සතුටුවුනා. ඒ, හැමෝටම බයක් සැකක් නැතුව පාරෙ බැහැල යන්න පුලුවන් නේද කියලා.

2009 මැයි 17 වෙනිදා ලැබුන යුධ ජයග්‍රහණයට අදට අවුරුදු හයක්. අද අපි වගේම සාමාන්‍ය පවුල් ත්‍රස්තවාදයට බය නෑ. නිදහසේ ඉන්නවා. මගේ තාත්ත දෙමළ කියල ලියන්න බයත් නෑ. ත්‍රස්තවාදය පරද්දන්න සටන් කරල මිය ගියපු හමුදාව හැමදාම අපේ මතකෙ තියෙයි.

ඉතින් මේ පුංචි ශ්‍රී ලංකා පවුල බෙදන්න හදන ජාතිවාදී සිංහල-දෙමළ දේශපාලන නායකයින්ගෙන්, ගස් කපල කැලෑ වනසන මුස්ලිම් නායකයින්ගෙන්, සල්ලි බෙදල ආගම මාරු කරවන ක්‍රිස්ත්‍රියානි නායකයින්ගෙන් බේරාගන්න එක අපි හැමෝගෙම වගකීම.

Join the Conversation

11 Comments

  1. ” ශ්‍රී ලංකා පවුල බෙදන්න හදන ජාතිවාදී සිංහල-දෙමළ දේශපාලන නායකයින්ගෙන්, ගස් කපල කැලෑ වනසන මුස්ලිම් නායකයින්ගෙන්, සල්ලි බෙදල ආගම මාරු කරවන ක්‍රිස්ත්‍රියානි නායකයින්ගෙන් බේරාගන්න එක අපි හැමෝගෙම වගකීම.”
    ඔව් බං.. මාත් එකයි උබත් එක්ක.. කෙනක් සිංහල උනත් දෙමල උනත් මුස්ලිම් උනත් මට වැඩක් නෑ මචං… මනුස්ස කම තමා වටින්නේ…. ඒක තේරුම් ගන්න බැරි මිනිස්සු හා ජාති වාදයට උඩ ගෙඩි දෙන අය නිසා තමා අද ලංකාව මෙහෙම වෙලා තියෙන්නේ …
    පට්ට පොස්ට් එක… සෑහෙන්න දෙයක් සමාජයට කියනවා.. (Y)

  2. අනේ පුංචි කාලිදාස , 🙂
    ෆේස් බුකියේ “කාලිදාස” කියල නම දැක්කම මං හිතුවේ “කවි” වලට කැමැති නිසා ඒ නම තියන්න ඇති කියලා.
    හද්ද දකුණෙ තිස්සමහාරාමය ගම කියල දැන ගත්තම මං හිතුවේ.
    ” සුපුන් දුධාරක ” කියන මුහුණටම ගැලපෙන නම නිසා මං හිතුවේ සිංහල සාහිත්‍යට කැමැති දොමාපියන් ඒ නම නියමෙට ගලපල තියනව කියලා.
    සාහිත්‍ය සමිති වලයි අරකෙයි මේකෙයි දුවල පැනල වැඩ කරද්දි
    බ්ලොග් හමුවෙදි සුහදව හිනා වෙලා කතා කරද්දි දැනුනෙ පුදුම ලෙංගතුකමක්.

    දැන් ඉතින් ඒ ඔක්කම වෙනස් වෙලා යනව හොදද ……….. ඇත්තම කියනව නම් තිබුණු ලෙංගතුකම වඩ වඩාත් ආදරණිය දැනෙනවා….

    කාලෙකින් සුධාරක ලියපු මේ ඉතාම කෙටි ඉතාම රසවත් බ්ලොග් සටහන කියවද්දි මට සිහි වුනේ සිත්‍රපටියක් වගේ සිදුවීම් මාලාවක්. හැබැයි ඉතින් සිංහල පැත්තට බර වෙච්චි මේ වගේ කතා වල දෙමළ වෙන්නේ තාත්තා නෙමේ අම්මා. මොකද කියනව නම් එතනත් හීනියට වගේ මොකක් දෝ දෙයක් උඩට මතු කරන්න හදනවා.

    ඒ නිසා මේ කතාව චිත්‍රපටයකටත් වඩා සොඳුරුයි….කොටින්ම අහල ඇතිනේ ” සත්‍ය සැමවිටම කල්පිතයට වඩා සුන්දරයි ” කියලා…………

  3. ඔක්කොම සෙල්ලම් පණකෙන්ද තියෙනකන්. ඉන්න ටික කාලේ ජාති බේද නැතිව ජීවත් වෙන්නයි ඕනේ. දෙමාපියන්ට සුබපැතුම්.

  4. දෙමව්පියන්ට වාසනාවන්ත අනාගතයක් සහ සතුට පිරි සංවත්සරයක් පතමි!

  5. ඔබේ පවුල වගේම සිංහල – දෙමල මිශ්‍ර විවාහයක් සහිත, යුධයෙදී බයෙන් හැංගිලා ඉඳලා අද නිදහසේ ඉන්න පවුල් විශාල ගණනක් ඉන්නවා.

    මම කියන්නම් හොඳ කතාවක්. 1996 දී වවුනියාවේ සේවය කළ මගේ මිත්‍ර යුද හමුදා කපිතන් වරයෙක් වවුනියාව නගරයේ කොමියුනිකේෂන් කඩයක වැඩ කරපු ලස්සන දෙමළ කෙල්ලෙක් එක්ක යාලු වුණා. තේරෙනවද මේකේ බරපතලකම. හමුදාව දැනගත්තොත් රස්සාව ගහලා යනවා. LTTE එක දැනගත්තොත් අර කෙල්ල මරනවා. නමුත් අපි බය නැතුව මේ ප්‍රේමයට උදව් කළා.

    පසුව ඔහු හමුදාවෙන් ඉල්ලා අස්වුණා තම ප්‍රේමය වෙනුවෙන්. වෙන රසාවක් හොයාගත්තා. අද ඔවුන්දෙන්නා දරු දෙදෙනෙකුගේ සුරතල් බලමින් සතුටින් ඉන්නවා.

  6. මම නම් ආස සහ ගරු කරන්නේ මෙතන සඳහන්වෙන ජාති කුල ගෝත්‍ර පුපුරවල ඇරපු විවාහ සංවත්සරයට. මේ වගේ විහාව තව තව වෙනව නම් යුද්ධ ඇති වෙන්නේ නෑ

  7. ඔබේ තාත්තව මරන්න හොයපු මිනිස්සුත් සිංහල, තාත්තට ඔවුන්ගෙන් හංගගෙන ජීවත් කරන්න හදපු මනුස්සයත් සිංහල. එකම දේ ගැන එකම මිනිස්සු දකින විදිහේ වැදගත්කම කොයිතරම්ද?

    ඔබගේ දෙමාපියන්ට සුභ අනාගතයක් සේම සතුට පිරි සංවත්සරයක්ද පතමි.

    ජය !

  8. විවාහයක් කියන්නෙ එක අතකින් බලනකොට හරිම පුදුම දෙයක්. ජීවිතේ ගේම් චේන්ජර් එක විවාහය කියන්නෙ. පාරවල් දෙකක අතීත දෙකක එන දෙන්නෙක් එකිනෙකාව ඉවසන්න පොරොන්දු වෙලා සතුටින් ඉන්න දෙන ප්‍රතිඥාවක්. ඒ සිහිනය බොඳ වෙන්නෙ නැතුව තියාගන්න හුඟක් ආදරය ඕන, ගොඩක් අල්ලගන්නෙ නැතුව ඉන්න ඕන. ජාති දෙකක විවාහයේ අභියෝග ගොඩයි. දෙපැත්තටම එක් වෙන අලුත් නෑදෑයා අමුතුයි.. ඒවා පොඩි වැඩ. ගෙදරදි ජීවත් වෙනකොට තමා ගොඩාක් දේවල් වෙනස් වෙන්නෙ. ඒත් වැඩි පණ්ඩිත කම් නැතුව සරලව ඉන්නවා නම් ඔය කොයිදේත් ඉවසන්න විතරක් නෙවෙයි රසවිඳින්නත් පුළුවන්. එහෙම ඉන්නවා නම් අලියෙකුටයි කූඹියකුටයි වුනත් බැඳලා සතුටෙන් ඉන්න පුළුවන්. එහෙම නැත්තම් ඉතින් නෑනයි මස්සිනයි වුනත් අවුල්. ජීවිතේ ලස්සන තියන්නෙ පොඩිම පොඩි නොමිලේ ලැබෙන දේවල් වලින් බව දන්නවා නම් හැමදාම හැම්දේම එක වගේ ලස්සනයි.

    මෙතන හොඳම දේ තමා මේගොල්ලො මේ රට දාලා ‘මයිග්‍රේට්’ නොකරපු එක. පොඩි කාලෙ ඉඳලා ජීවත් වුන රටට බැන බැන රට යන අය යුද්ධෙ තිබ්බ ලංකාවෙ වගෙම යුද්දෙ නැති ලංකාවෙත් කොච්චර ඉන්නවද? ඉස්සර ගියේ “ළමයිට බෝම්බ නොකා උගන්නන්න ” කියලා. දැන් යන්නෙ ” රටේ දූශනය නිසා”. මේ රටේ ජීවත් වුනත් මේ රටේ නොවන අයත් අද තරුණ අය අතරෙ බොහොමයි. ඉංග්‍රිසියෙන් හිතන අය වගේම ඉංග්‍රිසියෙන් හිතනවා කියලා පෙන්නන අය කොච්චරද? ඒ උගුල් එකකවත් අහු නොවී ජීවිතේ ගෙන ගිය මේ දෙන්නා හාරිම අපූරුයි.

    හැමෝම බඳින්න ඕන අඩුම ගානෙ තමන් ට වඩා වෙනස් අදහස් තියන කෙනෙක්. එහෙම දෙන්නෙක් හරියට ජීවතේ අල්ල ගත්තොත් ලස්සන දේවල් බිහිවෙනවා..හරියට ‘සුපුන් සුධාරක ‘ වගේ !

Leave a comment

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: