ලංකාවට අත නොතබනු! (වර්තමාන ඉන්දියන් සාධකයට එරෙහිව!!)

ශ්‍රී ලංකාවට ආසන්නම රට ඉන්දියාව කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් මෑතකදී ත්‍රස්තවාදයට එරෙහිව ලබාගන්නා ලද සුවිශේෂී ජයග්‍රහණයන් හමුවේ, එක් ශ්‍රී ලාංකීය ජාතියක් විදිහට අවසන් ශ්‍රී ලංකා නිදහස් සටන ගෙනියන මේ වෙලාවේදී, ඉන්දියාව තමන්ගේ අනිසි මැදිහත්වීම ලංකා ආණ්ඩුව වෙතට එල්ල කරන බව ඔබ අප සැම දෙනා දැන් දන්නා කරුණක්. මේ පිළිබඳව දේශපාලන ලෝකයේ විවිධ කතාවන් නිර්මාණය වෙලා තියෙද්දී, සාමාන්‍යයෙන් අපි අපි අතරත් කතා බහ සිදුවෙනවා. මේ මැදිහත්වීම නිසාම දැන් බොහෝ ශ්‍රී ලාංකිකයන්ට අවබෝධ වෙලා තියෙන කරුණක් වන්නේ අප සැම දෙනාම එකම ජාතියක් වශයෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය වෙනුවෙන් එකතුවිය යුතු බව. කෙ‍සේ නමුත් ලෝක ආර්ථික හා දේශපාලන වශයෙන් බල‍වතෙක් වෙමින් නැඟී සිටින ඉන්දියානු මහා පොදු සාධකය නිසාවෙන් ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුධය විසඳා ගැනීමේ ගැටළු රාශියකට මුහුන දීමට සිදු වෙලා තියෙනවා.

ලංකාව‍ට ඓතිහාසිකව එල්ලවූ ඉන්දියානු බලපෑම් මුලින්ම හඳුනාගනිමු.

මහාවංශය, ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව ප්‍රධානතම මූලාශ්‍රය. උතුරු ඉන්දියානු ආර්ය ජනකොට්ඨාශයකින් පැවත එන සිංහබාහු පරපුරේ ඊළඟ පුරුක වූ විජය කුමරු ලංකාවට පැමිනෙන්නේ අහම්බෙන්. අහම්බෙන් පැමිණි නමුත් කුවේණිය සමඟින් කරන ලද රාජ්‍ය කුමන්ත්‍රණය හරහා ශ්‍රී ලංකාවේ බලය යක්ෂ ගෝත්‍රයෙන් ලබාගැනීමට සමත්වනවා. නමුත් ලංකාව ඉන්දියාවේ පාලනයට යටත් වන්නේ නැති බව මෙහිදී අවධාරණය කළ යුතු කාරණයක්. කෙසේ නමුත් උතුරු ඉන්දියානු ආර්ය ගෝත්‍රය සමඟින් සම්මිශ්‍රණය වූ ස්වදේශික ජනතාව එක්සත් වී සිංහල නමැති ඒකීය ජාතිය පිහිටුවාගැනීමට පණ්ඩුකාභය රජු දවස සමත්වීම නිසාවෙන් ලංකාවට ඉන්දියාවෙන් එල්ලවූ බලපෑම යම්තාක් දුරකට සමනය වූවත්, දක්ෂිණ ඉන්දියා‍වේ බලවත් වූ ද්‍රවිඩ රජ පරපුර සිය දමිළ රාජ්‍යය ව්‍යාප්ත කිරීම සඳහා ලංකාවට විවිධ ආක්‍රමණ දියත් කරන නමුත් ශ්‍රී ලාංකීය යක්ෂ ගෝත්‍රයේ හා ආර්ය සම්මිශ්‍රණයේ ජානමය බලපෑම හමුවේ ආක්‍රමණ සාර්ථක කරගැනීමට ‍නොහැකි වනවා.

කෙසේ නමුත් අපි සැලකිල්ලට ගත යුතු කරුණක් වන්නේ…

ශ්‍රී ලංකාව යනු ඉන්දියාවෙන් වෙන්වූ පැවැත්මක් ඇති ඒකීය ‍ස්වෛරී රාජ්‍යයක් වන බවයි.

චණ්ඩාශෝක නමින් විරුධාවලිය ලත් අශෝක නම් වූ ඉන්දියානු අධිරාජ්‍යයා සිය අධිරාජ්‍ය පුළුල් කිරීමේ පරමාර්ථය වෙනුවෙන් ඇප කැපවෙමින් කටයුතු කරනු ලැබූ අතර අවසානයේ සිය දිග්විජය ප්‍රතිපත්තිය වෙනු‍වට ධර්ම විජය ප්‍රතිපත්තිය දියත් කරන ලද්දේ අන් කිසිවක් සඳහා නෙවෙයි. අපි දන්නවා යම් කිසි ජනකොට්ඨාශයක් සිය පැවැත්මට අනුගත කර ගැනීමට අවශ්‍ය නම් ඔවුන්ගේ මොළ ගුද්ධ කිරීමක් අවශ්‍ය බව (බ්‍රේන් වොෂ් කිරීමක් – Brain Wash) ඉතින් ඉන්දියානු අධිරාජ්‍යාත් ඒ අවස්ථාවේදී බුදු දහම ලංකාවට හඳුන්වාදෙමින් ශ්‍රී ලංකාව තමන්ට අනුගත ආකාරයට නම්‍යශීලි කරගනු ලැබුවා. තිස්ස රජතුමා දේවානම්පිය යන මුල් නාමය එකතු කරගැනීම. ඉන්දියාවෙන් රාජ කකුධ භාණ්ඩ ගෙන්වාගනිමින් නැවත රාජාභිෂේකය ලබාගැනීම හරහා වක්‍රාකාරයෙන් ඉන්දියානු බලපෑමට ලංකාව නතු වුනා.

මෙය මෑත කාලීන ඉතිහාසයට මේ ආකාරයෙන්ම සම්බන්ධ කරන්නම්. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඇතිවූ සීතල යුධ සමයේදී ලෝක බලවතුන් ලෙසින් නැඟි ආ අමෙරිකානු එක්සත් ජනපදය සිය ධනවාරී ආර්ථික ක්‍රමයට ලෝකයා අනුගත කිරීමට උත්සාහ දැරීම සහ, එයට සමගාමීව සෝවියට් රුසියාව සමාජවාදී ආර්ථික ක්‍රමයකට ලෝකයා අනුගත කරගැනීමට උත්සාහ ගැනීම. මෙහිදී යම් කිසි රටකට එරෙහිව යුධමය ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. නමුත් සිදුවන්නේ බ්‍රේන් වොෂ් කිරීමක්. එය යුද්ධ කිරීමට වඩා බරපතල දෙයක්. ඒ වගේම ඊටත් පෙර ඉතිහාසයේ; ඉස්ලාම් රාජ්‍ය බිහි කිරීම, එක්සත් ක්‍රිස්තු ලෝකයක් බිහි කිරීම වැනි දෑ සිද්ධ වුනා. එයද එක්තරා ආකාරයකට බ්‍රේන් වොෂ් කිරීමක්.

මා උත්සාහ කළේ ලංකාවේ බෞද්ධාගම ස්ථාපිත වීම හෑල්ලු කිරීමට නොවෙයි. දේශපාලන උපක්‍රම පිළිබඳව ඔබට දැනුමක් ලබාදීමටයි. කෙසේ නමුත් බෞද්ධාගම ස්ථාපනය කිරීම නිසා ඇතිවූ බ්‍රේන් වොෂ් කිරීම නිසාවෙන් ලංකාවේ ඒකීය භාවය පසුකාලීනව සුරැකීම විශේෂත්වයක් වගේම, ඉන්දියාව හා ලංකාව අතර විශාල සම්බන්ධතාවයක් ඇති බවට විශ්වාස කිරීමට මිනිසුන්ව පෙළඹුවා.

ඒ ඉන්දියාව සහ ලංකාව අතර ඇතිවූ දේශපාලනමය සම්බන්ධතාවයයි. කෙසේ නමුත් ඉන්දියාවේ බෞද්ධාගම සිඳී යාමත්, හින්දු ආගමේ නැඟී සිටීමත් සමඟම ශ්‍රී ලංකා – ඉන්දියා සමාජ සම්බන්ධතාවයන්ගේ නූල දිරායන්ට පටන්ගත්තා. මේ නිසාම ඉන්දියාවෙන් ශ්‍රී ලංකාව ගැලවීමක් ලැබීම සතුටට පත්විය යුතු කාරණයක්. එසේ නොවුනානම්, වර්තමානයේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වීම වලක්වන්නට නොහැකි වනවා නිසැකයි.

ඒ ඉන්දියාවත් ලංකාවත් අතර ඓතිහාසිකව ඇතිවු දේශපාලනික හා සාමාජීක සම්බන්ධාවයන් පිළිබඳ කෙටි කරුණු ඉදිරිපත් කිරීමක් පමණයි. තවත් වැඩි විස්තර ඒ සම්බන්ධයෙන් අවශ්‍යනම් ලංකා ඉතිහාසය අධ්‍යයනය කරන්න. එතකොට ඔබට මේ ‍වගේ තවත් සුවිශේෂී දේශපාලනික හා සාමාජීය සම්බන්ධතා රැසක් සපයාගන්න හැකිවේවි.

දැන් අපි මෑත ඉතිහාසය පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබාගමු.
ඉන්දියානු නිදහස් සටනේදී එක්සත්ව ක්‍රියාකරන ලද හින්දු, මුස්ලිම් සහ දමිළ ජනතාව අතුරෙන් මුලින්ම මොහොමඩ් අලි ජින්නා ප්‍රමුඛ මුස්ලිම් ජාතිය ඉන්දියාවෙන් වෙන්වූ පැවැත්මක් සහිත පකිස්ථානු රාජ්‍යය නිර්මාණය කරගනු ලබන්නේ තමන්ට ස්වයං තීරණ අයිතියක් ලබාගැනීම සඳහායි. නමුත් පකිස්ථානය වෙන් වීමටත් ප්‍රථමයෙන් දමිළ ජනයාද ඉන්දියාවෙන් වෙන් වී වෙනම රාජ්‍යයක් සඳහා වූ “අපි දෙමළ” නම් වූ ව්‍යාපාරය දියත් කරා. නමුත් ඔවුන්ට එය නිදහසට පසුව වූවත් සිදු කරගැනීමට නොහැකි වීම හා ඔවුන් කොපමණ උත්සාහ කරත් අති බහුතරයක් වූ හින්දු ජනයාගෙන් ඒ සඳහා ඉඩක් ලැබුනේ නැහැ. මේ කාරණය නිසා ඔවුන් ලංකාවේ වෙනම රාජ්‍යයක් නිර්මාණය කරගැනීම සඳහා ඩී. එස් සේනානායක, එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරණායක වැනි ප්‍රබල ශ්‍රී ලංකා දේශපාලඥයින් සමඟින් සාකච්ජා පැවැත්වූවත් බණ්ඩාරණායක මහතා එයට කැමැත්ත ප්‍රකාශ නොකරමින් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවාගැනීමත් රාජ්‍ය බලය ලබාගැනිමත් නිසාවෙන් ඒ අරමුණ ඉටු කරගැනීමට ඔවුන්ට ‍නොහැකි වනවා. මෙන්න මේ නිසා ඉන්දියාව තුළ කැකෑරෙන ගිනි බෝලයක් හිමින් සීරුවේ නිර්මාණය වීම ඇරඹුනා. මෙසේ කැකෑරෙමින් පැවැති අර්බුධය ඉන්දියාවට ඉමහත් හිසරදයක් වෙමින් පැවතුනා.

ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ධූරය හොබවන ලද ජේ. ආර් ජයවර්ධන මහතා විසින් ගෙනියන විදේශ ප්‍රතිපත්ති පිළිබඳව මීළඟට අවධානය යොමු කිරීම වැදගත්. 1977දී ධනවාදී විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ලංකාවට හඳුන්වාදීම ඉන්දියාවේ ඇහේ කටු අනින්න‍ වගේ වුනා. එවකට සෝවියට් රුසියා හිතවාදී රටක් වුනු ඉන්දියාවට මෙන්ම රුසියාවටද මෙය දරාගැනීමට අපහසු වුනා. එමෙන්ම ජයවර්ධන ජනාධිපතිතුමා අමෙරිකාව සමඟින් සමීප සම්බන්ධකම් පැවැත්වීම හා ‍ශ්‍රී ලංකාවේ හොඳම මිතුරා පකිස්ථානය බව පැවසීම නිසා ඉන්දියානු හොඳ හිත පළුදු වීම සිද්ධ වුනා. මේ හේතුව නිසාවෙන් ඉන්දියානු රහස් ඔත්තු සේවා ශ්‍රී ලංකාවේ රාජ්‍ය හමුදාවටත් වඩා හමුදා බටයින් විශාල සංඛ්‍යාවක් එල්. ටී. ටී. ඊ සංවිධානයට පුහුණු කරදෙමින් එල්. ටී. ටී. ඊ සංවිධානය ඇති කරාක් මෙන්ම යුද්ධයක් ඇති කිරීම සඳහා අවශ්‍ය සියළුම අනුබලදීම් එල්. ටී. ටී. ඊ සංවිධානයට ලබාදීම සිදු කරා. ඉන්දියාව බලාපොරොත්තු වූ ආකාරයෙන් පළමු ඊළාම් යුද්ධය නිර්මාණය වූ අතර ඉන්දියාව එහි අවසානයට ළඟා වෙමින් තිබියදී අහසින් පරිප්පු දමමින් බාධාවන් රැසක් එල්ල කරමින්, ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති‍ගේ අතින් අඹරා ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරගැනීමට සමත්වුනා. වර්තමාන අර්බුදයට ඉන්දියානු මැදිහත්වීමේ ආරම්භය එයයි

ඉන් අනතුරුව ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගෙන් පසුව පත්වූ සියලූම ලංකා රාජ්‍ය නායකයින්ට ඉන්දියාවට හිස නැමීමට සිදු වීම අවාසනාවට කරුණක්. කෙසේ නමුත් මෙතෙක් ලංකාවේ නොතිබූ තරමේ ඊළාම් අර්බුධයක් නිර්මාණය කිරීමට ඉන්දියාව සමත්වුනා. ඒ තුලින් ලංකාවේ සාමාජීය, ආර්ථික තත්ත්වයන්ට විශාල බලපැමක් එල්ලවූ අතර එහි අනිටු පළවිපාක වත්මන් පරපුර විඳිනු ලබයි.

ඉන්දියාව ඉන් අනතුරුව ධනවාදී ආර්ථික ක්‍රමයකට යොමු වෙමින් ශ්‍රී ලංකාව පිළිබඳ දෙබිඩි විදේශ ප්‍රතිපත්තියක් ප්‍රදර්ශණයක කරා. ලංකා‍වේ සියළුම සොබාවික සම්පත කප්පමක් වශයෙන් ලබාගැනීමටත්, ඉන්දියාවේ වෙළඳපළ ලංකාවේ නිර්මාණය කිරීමට ඉන්දියානු බලධරයන් සමත්වන අතර, ඔවුන් ත්‍රස්තවාදයට අනුබලදීම් රාශියක් සිදු කරා. ලංකාවට යුධමය ආධාර ලබාදීමට එකඟ වුනේද ඉතාමත් සැක සහිත ආකාරයකින්. ඔවුන් පැවසුවේ ලංකාවට අපි ලබාදෙන්නේ ප්‍රහාරාත්මක අවි නොව ආරක්ෂක අවි පමණක් බවයි. ප්‍රහාරාත්මක අවි වලින් තොරව ඇති ආරක්ෂක අවි වලින් කුමක් කරන්නද? එය ‍කඩුව නොමැතිව පළිහ පමණක් රැගෙන යුධ පිටියට ගියාක් හා සමාන වන්නක් නොවේද? අවසානයේ පළිහ දරා පස්සෙන් පස්සට තල්ලූ වී හිරවී මියායම පමණයි නේද සිදුවන්නේ? එයින්ම පැහැදිලි වන ආකාරයට පෙනෙනුයේ එය ඉන්දියානු බලධරයන් සිදුකරන ලද්දේ ඔවුනට ලබාගැනීමට අවශ්‍ය ආර්ථික වාසි වෙනුවෙනුයි. එමෙන්ම ඉන්දියාව තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇතිකිරිමට ඔවුන් ලංකාවේ ත්‍රස්තවාදී අර්බුධය දඩමීමා කරගනු ලැබුවා. ඉන්දියාව තුළ ඊළාම් යුද්ධයක් ඇතිවනවා වෙනුවට දමිළයන්ට ලංකාව තුළ ස්වයං පාලන අයිතියක් ලැබෙන බවත් එනිසා ඉන්දියාව තුළ ගැටුම් ඇති නොකරගත යුතු බවත් යන්න පෙන්වමින් ඉන්දියාවේ දමිළ ප්‍රජාව විසින් ඇතිකරනු ලැබීමට නියමිතව තිබූ නිදහස් සටන ලංකාවේදී ඉතාමත් අසාධාරණ තත්ත්වයන් යටතේ ඇතිවුනා. (ලංකාව යනු දමිළයන්ගේ නිජභූමිය නොවේ. ඉන්දියාව දමිළයන්ගේ නිජභූමියයි. එනිසා ඔවුන්ට සිය නිජභූමිය පිළිබඳව අයිතිවාසික ප්‍රකාශ කර හැක්කේ ඉන්දියාව තුළදී පමණි. ලංකාව තුළදී දමිළයන් යනු ශ්‍රී ලාංකීය ජාතියේ කොටසකි. එවිට ඔවුන් සිතිය යුත්තේ ශ්‍රී ලාංකිකයන් විදියටයි.)

වර්තමානයේදී යුද්ධයේ අවසානයේ ආසන්නයටම පැමිණ ඇත.
එසේනම්,

යුද්ධය අවසන්වීම ඉන්දියාවට බලපාන්නේ මේ ආකාරයෙනි

  • තමිල්නාඩුව තුළ නිදහස් අරගලයක් නිර්මාණය වීම
  • ලංකාව ඉන්දියාවට ආර්ථිකමය වාසි ලබාදෙන, ඉන්දියාවේ පදේට නැටීමට සූදානම් ඔවුන්ගේ ආර්ථිකම ප්‍රාන්තයක් බවට පත් වීම වැලැක්වීම නිසා ඉන්දියාවට ලෝක බලවතෙකුගේ තත්වයට පැමිණීම ප්‍රමාද වීම
  • ඉන්දියාවට ආසන්නයේ ශක්තිමත් ඒකීය ජාතික රාජ්‍යයක් නිර්මාණ වීම හරහා. සොබාවික සම්පත් වලින් අනූන වූ ශක්තිමත් ආර්ථිකයකින් යුතු රටක් නිර්මාණය වීම ඔවුන්ගේ ආර්ථිකයට බලපෑම් එල්ල කිරීමට සමත් වීම.

මීට අමතරව සමස්ථ ලංකාවම ඉන්දියානු ප්‍රාන්තයක් කරගැනීමේ යටි අරමුණ ඉටු කරගැනීමට නොහැකි වීම යන කරුණු පෙන්විය හැකියි. ඉතින් ජාතියක් වශයෙන් අප සියළු‍ දෙනාම එකතු විය යුතුයි. ඉන්දියාවේ තවත් එක් ප්‍රාන්තයක් බවට ලංකාව පත් වෙනවාට ඔබ කැමතිද? එසේත් නැතිනම් අ‍‍පේ සියළුම සොබාවික සම්පත ඉන්දියානු ආර්ථික හස්තයට හසු‍වනවාට ඔබ කැමතිද? ඔබ අකමැති වනවාට කිසිදු සැකයක් නැහැ. එනිසා දැන් දැන්ම එකතු වෙමු හඬක් නඟමු! ලංකාවේ ස්වෛරීභාවය වෙනුවෙන් එකතු වෙමු!

අවසාන වශයෙන් ඔබට තවත් මෙවැනිම ඉතිහාස සාධයකයක් පෙන්වීමට සිතුනා. ඒ අමෙරිකා එක්සත් ජනපදයයි. ඔවුන්ගේ මුල් බිම වූයේ මහා බ්‍රිතාන්‍යයි. නමුත් ඔවුන් සිය නිදහස් නිවහල් භාවය වෙනුවෙන් සිය මව් රට වූ බ්‍රිතාන්‍ය සමඟින්ද සටන් කරා!. දැන් බලන්න ඔවුන් කෙ‍තරම් දියුණු වී ඇත්ද? ජාතික රාජ්‍යයක් ගොඩනගාගැනීම තුළින් ලෝක බලවතෙකු තත්ත්වයට පත්වූ ආකාරය බලන්න. ඉදින්, ඉන්දියාව එවන් තත්වයක් අපෙන් ඇතිවීම වලක්වන ආකාරයක් ඔබට නොපෙනෙන්නේද?
ඇමරිකානු නිදහස් සටන පිළිබඳ වැඩි විස්තර – http://en.wikipedia.org/wiki/American_Revolution

ඉන්දියාව මේ සම්බන්ධව කුමන මතයක් ලෝකයාට පෙන්වූවත් තිත්ත ඇත්ත එයයි. තමිල්නාඩුව වර්තමානයේ ප්‍රදර්ශණය කරන්නේ මධ්‍යම ආණ්ඩුවේ උවමනාවයි. ඒ බව අප තේරුම්ගත යුතුය.

එන්න, එක්සත්ව එක්සිත්ව ඒකීය ස්වෛරී ජාතික රාජ්‍යයක් නිර්මාණ කිරීම උදෙසා හඬනඟන්න!

(මෙම සටහනට පදනම් වූයේ 2008.10.20 දින ටී. එන්. එල් රූපවාහිනී නාලිකාවේ විකාශය වූ “ජන හඬ” දේශපාලානාත්මක සංවාද‍යයි. එම වැඩසටහනට සහභාගී වූ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයා වන විජිත හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට සහ ජාතික හෙළ උරුමය නියෝජනය කරන ලද ස්වාමීන් වහන්සේට මාගේ විශේෂ ස්තූතිය.)

Join the Conversation

11 Comments

  1. මම නම් මේ ගැන වැඩිය දන්නෙ නෑ.. පවතින දේශපාලන ක්‍රමවේදය විසින් කාලෙන් කාලෙට හදන subject ගණයට අයිති දෙයක් තමයි මේ කතිකාවත්. මේ ගැන මිනිස්සුන්ගෙ තියෙන උනන්දුවත් ඇත්තටම ගත්තොත් කුහක එකක් කියලයි මට හිතෙන්නේ. මේ සංකල්ප ඓන්ද්‍රීය නෑ. ඒ කියන්නෙ මිනිස්සු වෙන අළුත් කතාවක් අහු වෙන කල් සාකච්ඡා මේසෙ තියාගන්න තවත් එක කතාවක් විතරයි මේකත් කියලයි මම නම් හිතන්නේ.

    වැඩ කරන මිනිස්සුන්ට මේ දේශපාලනික බයිල ඕන නෑ. එයාල තමන්ගෙ වැඩ කොටස කොහොමත් කරනව. මම සුපුන් ගැන වැරද්දක් කියනව නෙවෙයි. නමුත් මම දන්න ඉතිහාසයේ (මම දන්නෙ බොහොම පොඩි ඉතිහාසයක්, ලංකාවෙ ඉතිහාසය ය කියන එකත් ඔය දේශපාලකයන් ඇසුරේ හිටපු ලේඛකයොම ලියපු එකක්නේ. ඒව මට කතා විතරයි. ඇත්තටම වෙන දේ දැන් කාලෙදිවත් දැනගන්න වෙන්නෙ නෑනේ) නම් ලංකාව ඔමොමම තමයි. ලංකාවෙ මිනිස්සුත් එහෙමයි. ඇත්තටම රටට ආදරයක් තියෙන මිනිස්සුන්ට ආදරයක් තියෙන නායකයෙක් අපට නෑ. ඉන්නෙ කුහක සදාචාරයේ සළු පෙරවන් ඉන්න හොරු. මෙයාලගෙ කතා වලට අහු වෙන්න එපා.

  2. සුපුන් ඔබ මේ පිළිබදව අවධානය යොමුකිරීම ගැන මම සතුටු වෙනවා .ඔබ ඉතා පැහැදිලිව ඉන්දියානු බලපෑම පිළිබදව විස්තර කරලා තියෙනවා.ඒත් අපි නිදහස වෙනුවෙන් එකතු වෙන්නේ කාත් එක්කද ? ඔබ සිතන්නේ හෙළ උරුමයත්, ජනතා විමුක්ති පෙරමුනත් , හෝ වෙනත් දේශපාලන පක්ෂයක් මෙ කාර්ය ඉටුකරාවියි කියලද ? මට නම් හිතෙන්නේ ඔවින් කරන්නේ වෙනත් දෙයක්

  3. වැඩක් නෑ අප්පා කිසිම ‍එකෙක්ට රට ගැන හැගීමක් නෑ…මට මේ ලගදි අහම්බෙන් අහන්න ලැබුනා විපක්ෂේ මන්ත්‍රී කෙනෙක් කියනවා අපි ඉන්දියන් මධ්‍යම ආණ්ඩුවට කලින් තමිල්ණාඩුව දැනුවත් කරලා ඉන්න ඕනි කියලා…මොන විකාරයක්ද? මට නම් හිතෙන්නේ අපේ ‍රටේ දේශපාළුවෝ කියන්නේ කොන්ද පණ නැති නපුංසකයෝ ටිකක් (වර්තමාන අය විතරක් නෙවෙයි නිදහස ලබපු දා ඉදන් හිටිය හැම කෙනෙක්ම ) හැමෝම කලේ බොරුවට රට ගැන කැක්කුමක් පෙන්නලා විදේශයකට කඩේ ගියපු එක උනුත් එකයි මුනුත් ‍එකයි බලමු ඉස්සරහටවත්!

  4. ලංකාවේ දෙස් පලුවෝ නිසා තමයි අප මේ තත්වේ. ඕක ලොකු දිග කතාවක්. ජවිපෙ, හෙල උරුමය වගේ පක්ෂත් මේ හැමදෙයකට වග කිව යුතුයි නොවෙද? බණ වලටනම් මේ හැමෝම දක්ෂයි. කාගෙවත් නැත්තේ වැඩ තමයි.

  5. සමහර කරුණු පිලිබඳ එකඟත්වයක් නැති වුනත් සුදාරකගේ කතාවේ අන්තර්ගතයට මම එකඟයි. සුදාරක http://www.kalaya.org වෙබ් අඩවියේ තියෙනවා නලින් ද සිල්වා සර්ගේ ප්‍රබාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා පොතේ pdf සංස්කරනයක්. ඒක කියවලා බලන්න මේ ප්‍රශ්නය පිලිබඳ තවත් පුළුල්ව බලන්න උදව්වක් වේවි. මම එහෙම හිතනවා…..

  6. @ manoj – නෑ මම ඒ සම්බන්ධයෙන් ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක ක්‍රියාකාරීත්වය පිළිබඳ එතරම් ලොකු විශ්වාසයක් නැහැ. නමුත් දේශපාලන පක්ෂයක වගකීම වන්නේ පවතින තත්ත්වය පිළිබඳ දේශපාලනමය දැනීමක් රටක පුරවැසියන්ට ලබාදීමයි. ඉහත කී රූපවාහිනී නාලිකාවේ පැවැත්වුනු දේශපාලනයම සාකච්ජාවේදී ලංකාවේ පුරවැසියන් මේ සම්බන්ධයෙන් වැඩිපුරම දැනුවත් කරන ලද්දේ ප්‍රධාන ආණ්ඩු පක්ෂය හෝ ප්‍රධාන විපක්ෂය හෝ නොවෙයි. ප්‍රධාන විපක්ෂය නම් ඇති වෙනකන් නාගත්තා. විපක්ෂයේ කණ්ඩා‍යමක් වන ජනතා විමුක්ති පෙරමුණයි, හෙළ උරුමයයි තමයි මේ පිළිබඳව ජනතාව දැනුවත් කරන්න පුළුවන් තරම් උත්සාහ ගත්තේ. එනිසා ඔවුන්ට යම් කිසි ගරු කිරීමක් ලබාදෙන්න සිතූ නිසයි අවසානයේ එම දෙදෙනාටම ස්තූති කරේ.

  7. @ හරේෂ් අයියා – නෑ අයියේ, මේක කලින් කලට ඇතිවෙන කතාවන් අතරට එකතු වෙන තවත් කතාවක් නෙවෙයි. ලංකාව වගේ කුඩා රටක් දියුණු කරන්න නම්, ත්‍රස්තවාදය අවසන් කරන්න ඕනේ වෙනවා. මෙන්න මේ කාරණාවේදී ඉන්දියාව ඉතාමත් පහත් තත්ත්වයේ මැදිහත් වීම් රාශියක් කරනවා. ඔවුන්ගේ මැදිහත්වීමත් සමඟම අපේ හඬත් ඒහා සමානව නැඟී සිටීම වැදගත් වෙනවා. ඒ නිසා ඔබ කියන ආකාරයේ කරුණක් නෙවෙයි මේ වර්තමාන තත්ත්වය. අතීතයේ ඔවුන් එය සිදු කරානම්, ලංකාවට ත්‍රස්තවාදය අවසන් කිරීමට ලැබුනු ස්වර්ණමය අවස්ථාවකට මැදිහත් වුනානම්, දැනුත් එය නොකර ඉඳියිද? ඉන්දියාව අවශ්‍ය මේක හිඟන්නාගේ තුවාලේ වගේ ලංකාවේ ඇතුලේම පවත්වාගන්න. අන්න ඒක නිසයි මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත්.

  8. @ නිලන්ත මහත්මා – මම මේ ජනතා විමුක්ති පෙරමුණට හරි හෙළ උරුමයට කඩේ යනවා නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණ ලංකා ඉතිහාසයේ වැදගත් පක්ෂයක් වන්නේ මෑත කාලයේදී. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පැමිණීමත් සමඟම ඔවුන්ගේ දේශපාලන හැසිරීම පිළිබඳ සැලකිල්ලෙන් බැලීම වැදගත්. ප්‍රධාන වශයෙන් ජනාධිපතිවරණයේදී ඔවුන්ගේ කිසිදු පැත්තකට සහය නොදුන්නානම් අද මෙවන් තත්ත්වයක් වෙනුවට සිදුවන්නේ බටහිර ‍හෝ ඉන්දියානු ගැන වෙළඳපොළක් බවට ලංකාව පත් වෙනවා මිසක්, ජාතික හැඟීම් ඉස්මතුවන මෙවන් දේශයක් නොවීමට ‍බොහෝ ඉඩ කඩ තිබුණා. මෙන්න මේ කරුණු නිසා හැමදෙනාගේම දේශපාලනික හැසිරීම පිළිපඳ අවබෝධයෙන් සිටීම වැදගත්. ලංකාවේ වරතමාන තත්ත්වය වගකිව යුතු කණ්ඩයම් දෙක මේ දෙකම පමණක් නොවෙයි. ලංකාවේ වර්තමාන අර්බුධ බොහෝමයකට වගකිවයුත්තේ මෙතුවක් කල් රට කරවපු ප්‍රධාන පක්ෂ දෙකයි කියලා තමයි මටනම් හිතෙන්නේ.

  9. @ මලී අක්කා – ඒ ඉන්දියාව කඩේ ගියපු එකාම තමයි මේ සාකච්ජාවට ආවේ. එයා වක්‍රව පුන පුනා කිව්වේ ‍කිව්වේ අපි තමිල්නාඩුව යාළු කරගෙන වහාම සටන් විරාමයකට යා යුතුයි කියලා.කියලා වැඩක් නෑ… ඒ ගැන නම්…

    බොරදි‍යේ මාළු බාන මේ වගේ විපක්ෂයක් ලංකාවට ලැබීම නම් දෛවයේ සරදමක්

  10. @ අමල් ඉෂාන්ත – අනිවාර්යයෙන්ම ඉඩක් ලද විගස කියවන්නම්. බොහොම ස්තූතියි
    @ ඔක්කොම – ඔබ සියළුදෙනාගේම ප්‍රතිචාර වැදගත්. බොහොම ස්තූතියි.

  11. ඇත්තටම මට නම් තියෙන්නේ ඔය ගැන මේ වගේ අදහසක්,
    මේක පිරිභාහිරන්ගේ මූල්ය බලය මත තමිල්නාඩු කොටි හෙන්චයියන් විසින් ක‍රන සෙප්පඩ විජ්ජාවක් පමණයි. මෙකෙන් ඔවුන් බලාපොරොත්තුවක් වන්නේ තමන්ගේ චන්ද මලු පොදි ටික තියා ගැනිම වෙන්නත් පුලුවන්.
    ස‍රලම තර්කේ තම්යි ඉන්දියාව කශ්මීර් දේශ සිමා වල කෙරෙන යුද්ධයට බල පෑම ක‍රන්න අපට ඉඩ දෙන්නේ ද? කියන එක 😉
    මෙවා ගැන වැඩිය කල බල වෙන්න ඔනි නෑ මොකද ඉන්දියාවේ මිනිස්සුන්ට මීට වඩා වැඩ තියෙනවා ඔය කරුණා නිධිට නැති උනාට.

Leave a comment

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: